ජීවිත කතාව
යෙහෝවා “සාමාන්‍ය ඉක්මවූ බලය” දුන්නා
පැවසුවේ හෙලන් මාක්ස්
එය වර්ෂ 1986 ගිම්හානයේ දැඩි උණුසුම් දවසක්. යුරෝපයේ එතරම් කාර්ය බහුල නැති ගුවන් තොටුපළක රේගු අංශයේ හිටියේ මම විතරයි. මම හිටියේ “ලෝකයේ පළවෙනිම අදේවවාදී රට” ලෙස ප්‍රකාශ කළ ඇල්බේනියාවේ ටිරාන්වල.
අවි සන්නද්ධ නිලධාරියෙක් මගේ බෑග් මලු පරීක්ෂා කරන්න පටන්ගත්තාම මම භයෙන් බලාගෙන හිටියා. හදිසියේවත් සැක හිතෙන දෙයක් මගේ අතින් සිදු වුණොත් මාව රටෙන් පිටුවහල් කරනවා. ඒ වගේම මං එනකම් පිටත බලා සිටින අයට හිරේ විලංගුවේ ලගින්න හරි බර වැඩ සහිත කඳවුරුවලට යන්න හරි සිදු වෙයි. මම නිලධාරියාට චූවිංගම් සහ බිස්කට් දීලා ඔහු සමඟ මිතුරු වුණා. වයස අවුරුදු හැට ගණන්වල ඉන්න ගැහැනියක් මේ වගේ තත්වයකට මුහුණ පෑවේ ඇයි? සැප පහසු ජීවිතයක් අත්හැර ජීවිතය අනතුරක තබා මාක්ස් ලෙනින්වාදය තදින් තිබුණු රටක රාජ්‍ය කටයුතු නඟා සිටුවීමට මම කටයුතු කළේ ඇයි?
දහසකුත් ප්‍රශ්න තිබූ රෝගාතුර දැරියක්
මම ඉපදුනේ 1920 ලීරාපෙට්රාවල. මම ඉපදී වසර දෙකකට පසු මගේ පියා නියුමෝනියාව වැළඳී මියැදුණා. අම්මා කියවන්න ලියන්න දන්නේ නැහැ. හරිම දුප්පත් කාන්තාවක්. දරුවෝ හතරදෙනෙක් හිටිය අපේ පවුලේ බඩපිස්සි මම. කහ උණ හැදුණ නිසා මම හරිම මලානික සහ දුර්වල තත්වයක ඉඳලා තියෙන්නේ. එනිසා තියෙන දෙයක් අනිත් ළමයි තුන්දෙනාට දීලා මාව ඔහේ මැරෙන්න අරින්න කියා අහල පහළ අය අම්මට කියලා තියෙනවා. ඒ මිනිස්සු කියපු දේට අම්මා ඇහුම්කන් නුදුන් එක ගැන මම ඇත්තෙන්ම සන්තෝෂ වෙනවා.
තාත්තාගේ ආත්මය ස්වර්ගයට ගියා කියලා සහතික කරගන්න අම්මා නිතරම කනත්තට ගිහින් ඕතොඩොක්ස් පූජකයෙක් ලව්වා දේවමෙහෙයන් පවත්වනවා. ඒ දේවමෙහෙයන් පවත්වන්නේ සෑහෙන මුදලකට. හොඳටම සීතල නත්තල් දවසක කනත්තේ ඉඳන් අම්මත් එක්ක මම ගාට ගාට ගෙදර ආව හැටි මට තවම මතකයි. එදා අපි ළඟ තිබුණු අන්තිම සතෙත් පූජකයාට දුන්නා. අම්මා අපිට කන්න එළවළු ටිකක් තම්බලා දීලා හිස් බඩින්ම කාමරයට ගියා. කිසිම බලාපොරොත්තුවක් නැති නිසා ඇගේ කම්මුල් කඳුළින් තෙමී තිබුණා. ටික කාලයක් ගියායින් පසු මම හිතට ධෛර්යය අරගෙන ඇයි තාත්තා මැරුණේ, මගේ දුප්පත් අම්මගෙන් මෙච්චර සල්ලි ගන්නේ ඇයි කියලා පූජකයා ළඟට ගිහින් ප්‍රශ්න කළා. ඔහු ලජ්ජාවෙන් වාගේ මෙහෙම උත්තර දුන්නා. “දෙවි ඔහුව අරගත්තා. ජීවිතේ හැටි ඔහොම තමයි. කල් යනකොට දුක තුනී වෙලා යයි.”
මම පාසැලේ ඉගෙනගත් පරමණ්ඩල යාච්ඤාවයි ඔහු දුන් පිළිතුරයි අතර පරස්පර විරෝධිකමක් තිබුණු නිසා ඔහු කිව්ව දේ මට පිළිගන්න අමාරු වුණා. එම යාච්ඤාවේ තියෙන ලස්සන අර්ථවත් ආරම්භක වදන් මට තවමත් මතකයි. “ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) දෙවිගේ අරමුණ ඔහුගේ කැමැත්ත පොළොවේ ඉටුවීම නම් ඇයි අපි මෙච්චර දුක් විඳින්නේ?
වර්ෂ 1929 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේශනා සේවකයෙක් වූ ඉමාන්වෙල් ලිඕනූඩාකිස් අපේ නිවසට පැමිණීමත් සමඟම මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීමට මං විවර වුණා.a මගේ අම්මා ඇයි ආවේ කියලා ඔහුගෙන් ප්‍රශ්න කළාම, ඉමාන්වෙල් වචනයක්වත් කියන්නේ නැතුව අම්මාට රාජ්‍ය පණිවිඩය ලියා තිබූ කාඩ් එකක් දුන්නා. අම්මා මට ඒක කියවන්න දුන්නා. එතකොට මට වයස අවුරුදු නමයක් විතර ඇති. එනිසා එච්චර දෙයක් මට තේරුණේ නැහැ. දේශනා කරන්න ආව කෙනාට කතා කරන්න බැහැ කියලා හිතලා අම්මා මෙහෙම කිව්වා. “අනේ පව්, ඔයාට කතා කරන්න බැහැ. මට කියවන්න බැහැ.” ඊට පස්සේ අම්මා දොර පෙන්නලා ඔහුට යන්න කිව්වා.
අවුරුදු කිහිපයක් ගියායින් පසු මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. එමන්විල් පටෙරකීස්ට, ඒ කියන්නේ මගේ අයියාට අපේ ගෙදර ආව පූර්ණ කාලීන සේවකයාගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ මළ අය කොහේද? යන පොත් පිංචය ලැබී තිබුණා.b ඒක කියවන කොට තාත්තාව දෙවි අරගත්තේ නැහැ කියලා දැනගන්න ලැබුණාම මට සහනයක් දැනුණා. මරණය මනුෂ්‍යයාගේ අසම්පූර්ණකමේ ප්‍රතිඵලයක් කියන එකත් තාත්තා පාරාදීස පොළොවක ජීවත් වීම සඳහා නැවත නැඟිටින බවත් මම තේරුම්ගත්තා.
“මේ පොත ඔයාව විනාශ කරලා”
බයිබලයේ තිබෙන සත්‍යය අපේ ඇස් ඇරියා. අපේ තාත්තාගේ බයිබලයක් අපට හම්බ වුණා. අපි හුඟක් වෙලාවට රෑට ගේ ඇතුලේ තියෙන ගිනි මැලේ ගාවට ගිහින් ඉටි පන්දම් පත්තු කරගෙන ඒක කියවනවා. ඒ පළාතේ බයිබලය ගැන උනන්දුවක් දැක්වුව එකම කාන්තාව මම. ඒ හින්දා අපේ පළාතේ හිටිය කුඩා සාක්ෂිකාර කණ්ඩායම එයාලගේ ක්‍රියාකාරකම්වලට මාව හවුල් කරගත්තේ නැහැ. ටික කාලයක් යන කල් මම හිතාගෙන හිටියේ මේ ආගම අදහන්නේ පිරිමි අය විතරයි කියලා.
දේශනා සේවය සඳහා මගේ අයියාට තිබුණු ජ්වලිතය මා තුළත් උනන්දුවක් ඇති කළා. ඒත් වැඩි කල් යන්න ඉස්සර පොලීසිය අපේ පවුලට ඇහැ ගහගෙන ඉන්න පටන්ගත්තා. එමන්විල්ව සහ පොත් පත් හොයන්න රෑ දහවල් දෙකේම නිතර නිතර පොලීසිය අපේ නිවසට ආවා ගියා. අපිව ආයෙත් පල්ලියට හරවාගන්න පූජකයා ආපු හැටි මට හොඳට මතකයි. එමන්විල් දෙවිගේ නම යෙහෝවා කියලා බයිබලයෙන් ඔහුට පෙන්නුවාම, පූජකයා බයිබලය උදුරගෙන මගේ අයියාගේ මුහුණට දික් කරලා “මේ පොත ඔයාව විනාශ කරලා” කියා කෑ ගහලා කිව්වා.
වර්ෂ 1940 එමන්විල් හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇල්බේනියාවේ යුධ පෙරමුණට යැව්වා. අපිට ඔහු ගැන කිසිම තොරතුරක් දැනගන්න බැරි වුණ නිසා අපි හිතුවා ඔහු ජීවතුන් අතර නැහැ කියලා. ඒත් අවුරුදු දෙකකට පස්සේ, බලාපොරොත්තු නොවුණු විදිහට ඔහු සිරගෙදර සිට ලියූ ලිපියක් අපට ලැබුණා. ඔහු ජීවතුන් අතර ඉන්නවා! එම ලියුමේ ඔහු මෙම බයිබල් පදය සඳහන් කර තිබුණා. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.’ (2 ලේකම් 16:9) ඒ බයිබල් පදේ මගේ හිතේ රැඳුණා. එවැනි දිරිගැන්වීම් අපට ලැබුණේ අවශ්‍ය වේලාවටමයි!
එමන්විල් සිරගෙදර ඉන්නකොට සහෝදරයන් කිහිපදෙනෙකුට පවසා තිබුණා මාව මුණගැහෙන්න කියලා. වැඩි කල් නොගොස් නගරයෙන් පිට ගොවිපොළක රහසිගතව ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන්න කටයුතු සූදානම් කළා. පොලීසිය අපිට ඇහැ ගහගෙන ඉන්න වගක් අපි දැනගෙන හිටියේ නැහැ. එක් ඉරිදාවක අවිගත් පොලිස් නිලධාරීන් අපිව වැටලුවා. ඊට පස්සේ අපිව ට්‍රක් එකක දමාගෙන හැමෝටම පේන්න අපිව නගරය මැදින් රැගෙන ගියා. මගේ කන් දෙකේ තවමත් දෝංකාර දෙනවා මිනිස්සු කෑ ගගහා සමච්චල් කරපු හැටි. ඒත් යෙහෝවා තමන්ගේ ආත්මය මගින් අපිට ඇතුළාන්ත සාමයක් ලබා දුන්නා.
ඒ සිද්ධියෙන් පස්සේ අපිව තවත් නගරයකට මාරු කළා. එහිදී අපිව අඳුරු අපිරිසිදු සිරකුටිවලට දැම්මා. මම හිටිය කාමරයේ තිබුණේ බාල්දි වැසිකිළියක්. ඒක සුද්ද කරන්නේ දවසකට එක සැරයයි. ඔවුන් හිතුවේ මම තමයි මේ කණ්ඩායමේ “ගුරා” කියලා. එනිසා මට මාස අටක සිර දඬුවමක් දුන්නා. කොහොමහරි අපිත් එක්ක එකට හිරේ හිටිය සහෝදරයෙකුගේ නීතිඥවරයා අපේ නඩුවට කතා කළ අතර අපව නිදහස් කරගැනීමට ඔහුට පුළුවන් වුණා.
අලුත් ජීවිතයක්
එමන්විල් නිදහස් වුණාට පසු ඔහු සංචාරක අවේක්ෂකයෙක් ලෙස ඇතන්ස්වල සභාවන් බැහැදකින්න ගියා. මම 1947 එම ප්‍රදේශයට පදිංචියට ගියා. ඒ ප්‍රදේශයේදී මට සාක්ෂිකරුවන් විශාල කණ්ඩායමක් මුණ ගැසුණා. එතන පුරුෂයන් විතරක් නෙමෙයි ස්ත්‍රීන් සහ දරුවන් පවා හිටියා. වර්ෂ 1947 ජූලි මාසයේදී යෙහෝවාට වූ මගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා. මිෂනාරිවරියක් වෙන්න මම සිහින මැව්වා. ඒ සඳහා ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නිසා මම රෑ පංතිවලට ගියා ඉංග්‍රීසි ඉගෙනගන්න. වර්ෂ 1950දී මම පුරෝගාමියෙක් වුණා. අම්මාත් අප සමඟ පදිංචියට ආවට පස්සේ බයිබල් සත්‍යය පිළිගත්තා. අවුරුදු 34කට පසු ඇය මියගියා. ඒ දක්වාම ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක්ව හිටියා.
එම අවුරුද්දේම ජෝන් මාක්ස්ව මට මුණ ගැසුණා. හොඳ ආත්මික මනසක් වගේම හොඳ නමක් ඔහු ඇති කරගෙන තිබුණා. ඔහුගේ පදිංචිය අමෙරිකාවේ. නමුත් ඉපදිලා තියෙන්නේ දකුණු ඇල්බේනියාවේ. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා තියෙන්නේ අමෙරිකාවේ පදිංචියට ගියායින් පස්සේ. වර්ෂ 1950දී ඇල්බේනියාවට යන්න වීසා ලබාගැනීමට ඔහු ග්‍රීසියට ගියා. ඒ කාලයේ තිබුණ දරුණු කොමියුනිස්ට් පාලනය නිසා පිට අයට ඇල්බේනියාවට ඇතුල් වීම තහනම් කරලයි තිබුණේ. ජෝන් 1936 ඉඳන් ඔහුගේ පවුලේ අයව දැකලා තිබුණේ නැති වුණත් ඇල්බේනියාවට ඇතුල් වෙන්න ඔහුට අවසර දුන්නේ නැහැ. යෙහෝවාගේ සේවය සඳහා ඔහුට තිබුණු ජ්වලිතයත් සහෝදරයන් කෙරෙහි තිබුණු ප්‍රේමයත් නිසා ඔහුට මගේ හිත ගියා. අපි 1953 අප්‍රියෙල් 3වෙනිදා විවාහ දිවියට පා තැබුවා. විවාහයෙන් පසු ඔහුත් සමඟ අමෙරිකාවේ නියූ ජ’සිවල අපේ අලුත් නිවසේ පදිංචියට ගියා.
අපි පූර්ණ කාලීන සේවයේ යෙදුණ නිසා අපේ ඕනෑ එපාකම් පිරිමසාගන්න ජෝනුයි මමයි නියූ ජ’සි මුහුදු වෙරළේ ඉඳන් මාළුකාරයන්ට උදේ කෑම විකුණුවා. අපි ඒගොල්ලන්ට කෑම දෙන්න හිමිදිරි පාන්දර ඉඳන් උදේ 9 වෙනකම්ම වැඩ කළා. අපි මේක කළේ ගිම්හාන කාලයේ විතරයි. අපේ ජීවිත සරල කරගැනීමත් ආත්මික ක්‍රියාකාරකම්වලට මුල් තැන දීමත් නිසා අපේ කාලයෙන් වැඩි හරියක් දේශනා සේවයේ යොදවන්න අපිට පුළුවන් වුණා. පසුගිය අවුරුදුවල දේශනාකරුවන්ගේ වැඩි අවශ්‍යතාවයක් තිබූ විවිධ නගරවලට යන්න අපිට පවරනු ලැබුවා. ඒ ගිය ස්ථානවල යෙහෝවාගේ උපකාරයෙන් උනන්දුව දැක්වූ අයට උපකාරය පිරිනැමීමටත්, සභාවන් ඇති කිරීමටත්, රාජ්‍ය ශාලා ගොඩනැඟීමට හවුල් වෙන්නත් අපිට පුළුවන් වුණා.
අවශ්‍යතා තිබුණු සහෝදරයන්ට අත හිත
ඉක්මනින්ම වගේ අපිට හොඳ බලාපොරොත්තුවක සේයාවක් දකින්න ලැබුණා. අපේ ක්‍රියාකාරකම් තහනම් කර තිබූ බෝල්කන් දේශවල ඉන්න ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීමට වගකීම් උසුලන සහෝදරයන්ට අවශ්‍ය වුණා. එම රටවල්වල හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් ජාත්‍යන්තර සහෝදරත්වයෙන් ඈත් වෙලයි හිටියේ. එයාලට හරිහැටි ආත්මික ආහාර ලැබුණේ නැහැ. දරුණු විරුද්ධවාදිකම්වලට පවා මුහුණ දුන්නා. ඔවුන්ගේ හුඟදෙනෙකුව නිරන්තර සුපරීක්ෂාවට ලක් කර තිබූ අතර තවත් සමහරුන්ව සිරගෙවල්වලට සහ ශ්‍රම කඳවුරුවලට යවා තිබුණා. එයාලට බයිබල් දැනුම සපයන ප්‍රකාශන, මඟ පෙන්වීම සහ දිරිගැන්වීම විගස ලබා දීම අවශ්‍යයි. “අනේ අපි වෙනුවෙන් දෙවිට යාච්ඤා කරන්න. ගෙවල්වලට ඇවිත් අපේ පොත් පත් අරගෙන යනවා. අපිට පාඩම් කරන්න දෙන්නේ නැහැ. සහෝදරයන් තුන්දෙනෙක්ව සිරභාරයට ගත්තා” කියා ඇල්බේනියාවෙන් ලැබුණු රහස් පණිවිඩය එයාලා විඳපු දුක කොයිතරම්ද කියන එකට උදාහරණයක්.
වර්ෂ 1960 නොවැම්බරයේදී එම සමහරක් රටවල්වල හිටිය අයව මුණ ගැහෙන්න අපි මාස හයක් තරම් දීර්ඝ චාරිකාවක් සූදානම් කළා. මේ සඳහා “සාමාන්‍ය ඉක්මවූ බලය,” දෙවි දුන් ධෛර්යය, නිර්භීතකම සහ දක්ෂකම අවශ්‍ය වුණා. (2 කොරින්ති 4:7, NW) අපි ඉස්සෙල්ලාම යන්න සැලසුම් කළේ ඇල්බේනියාවට. පැරිසියේදී අපි කාර් එකක් අරගෙන ගමන ආරම්භ කළා. රෝමයට ගියාට පස්සේ ඇල්බේනියාවට වීසා ලැබුණේ ජෝන්ට විතරයි. මට ග්‍රීසියේ ඇතන්ස් නුවරට ගොස් ඔහු එනතුරු බලා සිටින්න සිදු වුණා.
ජෝන් 1961 පෙබරවාරි අග ඇල්බේනියාවට ගිහිල්ලා මාර්තු අන්තිමය වෙනකම් හිටියා. ටිරාන්වලදී සහෝදරයෝ 30දෙනෙකු ඔහුට මුණ ගැසී තියෙනවා. අවශ්‍ය පොත් පත් සහ දිරිගැන්වීම ලැබෙන කොට එයාලා කොයිතරම් සතුටු වෙන්න ඇද්ද! අවුරුදු 24ක් යනකම්ම පිට කිසිම කෙනෙක් එයාලාව බැහැදකින්න ඇවිල්ලා නැහැ.
එම සහෝදරයන්ගේ අඛණ්ඩතාවයත් විඳදරාගැනීමත් ගැන ජෝන්ට පුදුම හිතිලා. ඔවුන් රජයේ කොමියුනිස්ට් ක්‍රියාකාරකම්වලට හවුල් නොවූ නිසා හුඟදෙනෙකුට රැකියාවල් අහිමි වෙලා තිබුණා. ජෝන්ගේ හිතට වැදිච්ච දෙයක් තමයි වයස අවුරුදු 80 ගණන්වල සිටින සහෝදරයන් දෙන්නෙක් කාලයක් පුරා තමන්ගේ සුළු විශ්‍රාම වැටුපෙන් ඉතුරු කරගත් ඩොලර් 100ක් (අමෙරිකානු ඩොලර්) දේශනා වැඩ සඳහා පරිත්‍යාග කිරීම.
ඇල්බේනියාවේ ජෝන් සිටි අවසන් දිනය, ඒ කියන්නේ 1961 මාර්තු 30වෙනිදා යේසුස්ගේ මරණය සිහි කිරීමේ දිනයයි. සිහි කිරීමේ කතාව දුන්නේ ජෝන්. ඒ කතාවට 37දෙනෙක් පැමිණ සිටියා. කොහොමහරි කතාව අවසන් වුණ හැටියේම සහෝදරයෝ ජෝන්ව පිටිපස්ස දොරින් ඩියූරස් වරායට ගෙනත් ඇරලවලා. එහිදී ඔහු ග්‍රීසියේ පිරෙයස් බලා යන තුර්කි වෙළඳ නැවකට ගොඩ වෙලා.
කරදරයක් නැතුව ඔහු මා ළඟට ආ එක ගැන මම සතුටු වුණා. ඊට පස්සේ අපිට ගමනේ ඉතුරු හරිය පටන්ගන්න පුළුවන් වුණා. අපේ වැඩ තහනම් කර තිබූ අනෙක් බෝල්කන් රටවල් තුනට ගියා. අනතුරුදායක කලාපයක් වුණත් අපි බයිබල් දැනුම අඩංගු පොත් පත්, යතුරුලියන සහ වෙනත් අවශ්‍ය කරන දේවල් රැගෙන ගියා. යෙහෝවා වෙනුවෙන් තම රැකියා, තම නිදහස හෝ තමන්ගේ ජීවිතය වුණත් පුදන්න තරම් පක්ෂපාත සහෝදර සහෝදරියන් මුණ ගැහෙන්න එහෙදී අපට භාග්‍යය ලැබුණා. එයාලගේ ජ්වලිතය සහ අව්‍යාජ ප්‍රේමය අප තුළ පිබිදීමක් ඇති කළා. ඒ වගේම යෙහෝවා සපයන “සාමාන්‍ය ඉක්මවූ බලය” ගැනත් අපි තුළ විශාල පැහැදීමක් ඇති වුණා.
අපේ ගමන සාර්ථකව නිම කිරීමෙන් පසු අපි එක්සත් ජනපදයට ගියා. ඉන්පසු ගත වූ අවුරුදුවල අපි දිගටම නොයෙකුත් ක්‍රම මගින් ඇල්බේනියාවට පොත් පත් යවන්නත් අපේ සහෝදරයන්ගේ ක්‍රියාකාරකම්වල වාර්තා ලබාගන්නත් උත්සාහ කළා.
උපද්‍රව සහිත ගමන්
කාලය ගෙවී ගියත් එක්කම 1981දී ජෝන් මියගියා. එවිට ඔහුට වයස අවුරුදු 76යි. මම තනි වුණ මොහොතේ සිට මගේ අක්කගේ දුව එවැන්ජේලියා සහ එයාගේ ස්වාමිපුරුෂයා ජෝර්ජ් ඔර්ෆනිඩීස් කරුණාවන්තව මාගේ ශාරීරික හා මානසික ඕනෑ එපාකම් ඉටු කළා. එයාලත් තහනම යටතේ පැවති සූඩානයේ සේවය කරද්දී යෙහෝවාගේ උපකාරය අද්දැක්කා.c
අවසානයේදී ඇල්බේනියාවේ සිටි සහෝදරයන් සමඟ පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා අලුත් වෑයමක් ක්‍රියාත්මක කළා. මගේ ස්වාමිපුරුෂයාගේ නෑදෑයින් එහි සිටි නිසා එම රටට චාරිකාවක් යන්න සතුටුද කියා මගෙන් ඇසුවා. මම කැමති වුණේ එක පයින්!
මාස ගණනක් උත්සාහ කරලා අන්තිමේදී 1986 මැයි මාසයේ ඇතන්ස් තානාපති කාර්යාලයෙන් ඇල්බේනියාවට වීසා ලබාගත්තා. එම රටට ගියාට පසු මට යම් අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණොත් වෙනත් රටවල්වලින් කිසිම උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා කියා එම කාර්යාලයේ සිටි අය මට අනතුරු ඇඟෙව්වා. ඊට පස්සේ මම ඇල්බේනියාවට ගුවන් ටිකට් පත ගන්න ඒජන්සියට ගියාම එහි සිටි පුද්ගලයා පුදුමයෙන් මගේ දිහා බලාගෙන හිටියා. කවුරු මොනවා කිව්වත් මම ඒ කතාවලට භය වුණේ නැහැ. සතියකට වතාවක් තිබෙන ගුවන් යානයෙන් මම ඇතන්ස් සිට ටිරාන්වලට ගියා. එම ගුවන් යානයේ, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ග්‍රීසියට ගොස් නැවත තම රට කරා යන වයසක ඇල්බේනියානුවන් තුන්දෙනෙක් හිටියා.
ගුවන් යානය ගොඩබැස්සුවාට පසු කිසිවෙකු නැති පාළු මඩුවකට මාව ගෙනිච්චා. ඒක තමයි රේගු කාර්යාලය! මගේ ස්වාමිපුරුෂයාගේ නංගියි මල්ලියි සාක්ෂිකරුවන් නොවුණාට ඒ පළාතේ හිටිය සහෝදරයන්ව මුණගැහෙන්න එයාලා මට උදව් කරන්න කැමති වුණා. නීතියේ හැටියට මගේ නෑදෑයින්ට සිදු වුණා මගේ පැමිණීම ගැන ගමේ මුලාදෑනියාට දැනුම් දෙන්න. මේ නිසා පොලීසියේ අය මං ගැන සෝදිසියෙන් හිටියේ. මට එළියට යන්න එපා, එයාලා ටිරාන්වල හිටිය සහෝදරයන් දෙන්නාව මා ළඟට එක්කගෙන එන්නම් කියා මගේ නෑයෝ යෝජනා කළා.
ඒ කාලය වෙන කොට මුළු ඇල්බේනියාවේම බව්තීස්ම ලැබූ සහෝදරයෝ හිටියේ නමදෙනයි. අවුරුදු ගණනක් තිස්සේ තිබූ තහනම, පීඩා සහ පොලීසියේ සුපරීක්ෂාව යටතේ සිටි නිසා ඔවුන් හිටියේ සෝදිසියෙන්. එයාලා මා දිහා බැලුවෙත් හරි සැකෙන්. මම සහෝදරයන් දෙදෙනාගේ විශ්වාසය දිනාගත්තට පස්සේ එයාලා ඇසූ පළවෙනි ප්රශ්නය තමයි “කෝ මුරටැඹ සඟරා?” කියලා. අවුරුදු ගණනාවකට ඔවුන්ට තිබිලා තියෙන්නේ පරණ පොත් දෙකක් විතරයි. අඩුම තරමේ බයිබලයක්වත් තිබිලා නැහැ.
ආණ්ඩුව ඔවුන්ට විරුද්ධව කර තිබෙන නපුරු දේවල් ගැන ඔවුන් දීර්ඝ විස්තරයක් දුන්නා. පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දයකදී මධ්‍යස්ථව සිටීමට ගත් අධිෂ්ඨානය නිසා එක් සහෝදරයෙකුට සිදු වූ කරදරයක් ගැනත් ඔවුන් පැවසුවා. හැම දෙයක්ම ආණ්ඩුව පාලනය කරන නිසා එම සහෝදරයාගේ පවුලේ අයට ලැබෙන ආහාර සලාක කපාහැරීම අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. ඒ වගේම, ඔහුගේ විවාහක දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය සාක්ෂිකරුවන් නොවුණත් ඔවුන්වත් සිරගෙදරට යවනවා. ඒ නිසා, ආරංචි වුණ විදිහට මේ සහෝදරයාගේ පවුලේ අය භයටම ඡන්දයට කලින් දා රෑ ඔහුව මරලා මිනිය ළිඳකට දමා තිබෙනවා. පස්සේ ප්‍රචාරය වුණේ ඔහුම ඇති වුණ භයට සිය දිවි හානි කරගෙන කියලා.
ඔවුන්ගේ නැති බැරිකම් දැක්කම මගේ හිත උණු වුණා. කොච්චර අඟ හිඟකම් තිබුණත් මම එක් එක්කෙනාට ඩොලර් 20 බැගින් දුන්නා. එතකොට ඔවුන් කිව්වා “අපිට ඕනේ ආත්මික ආහාර විතරයි” කියලා. මේ සහෝදරයන් දශක ගණනාවක් ජීවත් වී තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් අදේවවාදීන් බවට පත් කර ඇති ඒකාධිපති පාලනයක් යටතේයි. එහෙම වුණත් ඔවුන්ගේ ඇදහිල්ලත් අධිෂ්ඨානයත් අනෙක් තැන්වල සිටින සාක්ෂිකරුවන්ට දෙවෙනි නැහැ. සති දෙකකට පසු ඇල්බේනියාවෙන් පිටත් වෙන කොට දුෂ්කර අවස්ථාවන්වල වුණත් කටයුතු කරන්න යෙහෝවා දෙන “සාමාන්‍ය ඉක්මවූ බලය” ගැන මම ඇත්තට පැහැදුණා.
වර්ෂ 1989දීත් යළිත් 1991දීත් ඇල්බේනියාවට යන්න අවස්ථාව මට උදා වුණා. එම රට තුළ නිදහසේ කතා කිරීමටත් ආගම ඇදහීමටත් ක්‍රම ක්‍රමයෙන් නිදහස ලැබුණා. ඒ නිසා යෙහෝවාගේ නමස්කාර කරන්නන්ගේ ගණනද ඉක්මනින් වැඩි වුණා. වර්ෂ 1986දී අතලොස්සක් පමණ හිටිය කැප වූ ක්‍රිස්තියානීන් දැන් ප්‍රචාරකයන් 2,200ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අය අතර මගේ ස්වාමිපුරුෂයාගේ නංගි මෙල්පොත් සිටිනවා. යෙහෝවාගේ ආශීර්වාදය එම විශ්වාසවන්ත කණ්ඩායමට නැහැයි කියා කියන්නේ කවුද?
යෙහෝවාගේ බලය නිසා ජීවිතේ තෘප්තිමත්
අතීතය දෙස බැලුවාම ජෝන්ගෙයි මගෙයි වැඩය වතුරේ ගිහිල්ලා නැහැයි කියලා මට සහතිකයි. අපි අපේ යෞවන ශක්තිය ප්‍රයෝජනදායක දෙයකට යෙදෙව්වා. පූර්ණ කාලීන සේවයෙන් ලැබුණ අරුත්බර ජීවිතය වෙන දෙයකින් නම් ලැබෙන්නේ නැහැ. බයිබල් සත්‍යය ඉගෙනගන්න හුඟදෙනෙකුට උදව් කරන්න අපිට හැකිවීම ගැන මම සතුටු වෙනවා. මම දැන් වයසයි. මම මගේ මුළු හිතෙන් තරුණ අයට එක් දෙයක් කරන්න කියලා දිරිගන්වන්න කැමතියි. ඒ තමයි ‘ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කාරයා සිහිකරන්න’ කියන එක.—දේශනාකාරයා 12:1.
මට වයස අවුරුදු 81ක් වුණත් මම තවමත් ශුභාරංචිය දේශනා කරන පූර්ණ කාලීන දේවසේවිකාවක්. මම පාන්දරම නැඟිටලා බස් නැවතුම් පොළවල්වල ඉන්න අයට, රථ ගාල්වල ඉන්න අයට, මඟ තොට යන අයට සහ උද්‍යානවල ඉන්න අයට සාක්ෂි දරනවා. වයසට යන කොට දුර්වලකම් ඇති වෙනවානේ. ඒත් මගේ විශාල ආත්මික පවුලේ ඉන්න සහෝදර සහෝදරියන්, ඒ වගේම ඥාති දියණිය සහ එයාගේ පවුලේ අය උදව් උපකාර පිරිනමන්න කවදත් පසුබට වෙලා නැති නිසා මට ඒ දේවල් දරාගන්න පුළුවන්. මේ හැම දෙයකටම වඩා ‘සාමාන්‍ය ඉක්මවූ බලය’ දෙවිගේ මිසක අප තුළින් පැමිණෙන දෙයක් නොවෙයි කියා මම ඉගෙනගෙන තියෙනවා. —2 කොරින්ති 4:7.
[පාදසටහන්වල]
a ඉමාන්වෙල් ලිඕනූඩාකිස්ගේ ජීවිත කතාව 1999 සැප්තැම්බර් 1වෙනිදා මුරටැඹ කලාපයේ 25-9 දක්වා පිටුවල පළ වුණා.
b එමන්විල් පටෙරකීස්ගේ ජීවිත කතාව 1996 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 22-7 දක්වා පිටුවල පළ වුණා.
c යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැහැ) පිටු 91-2 බලන්න.
[25වන පිටුවේ පින්තූරය]
ඉහළ: 1950 ඇතන්ස්වල බෙතෙල් සේවකයන් කණ්ඩායමක් සමඟ ජෝන් (වම් කෙළවරේ), මම (මැද), මගේ අයියා එමන්විල් මගේ වම් පැත්තේ සහ ඔහුගේ වම් පැත්තේ අම්මා
[25වන පිටුවේ පින්තූරය]
වම් පැත්තේ: 1956දී, ජෝන් සමඟ නියූ ජ’සිවල අපේ ව්‍යාපාරයේ වැඩ කරමින්
[26වන පිටුවේ පින්තූරය]
1995දී ඇල්බේනියාවේ ටිරාන්වල දිස්ත්‍රික් සමුළුවකදී
[26වන පිටුවේ පින්තූරය]
1996දී නිමා කළ ඇල්බේනියාවේ ටිරාන්වල බෙතෙල් සංකීර්ණය
[26වන පිටුවේ පින්තූරය]
ඉහළ: රහසිගතව ඇල්බේනියානු භාෂාවට පරිවර්තනය කළ 1940 “මුරටැඹ” සඟරාවක ලිපියක්
[26වන පිටුවේ පින්තූරය]
මම මගේ අක්කාගේ දූ එවැන්ජේලියා ඔර්ෆනිඩීස් (දකුණේ) සහ ඇගේ ස්වාමිපුරුෂයා ජෝර්ජ් සමඟ