යෙහෝවඃ වහන්සේ තුළ රැකවරණය සොයන්න
“අහෝ, යෙහෝවඃ වහන්ස, මම ඔබ තුළ රැකවරණය සෙවීමි.”—ගීතාවලිය 31:1, NW.
1. තිස්එක් වෙනි ගීතිකාවෙන්, රැකවරණය සැපයීමට යෙහෝවඃ වහන්සේ සතු බලය ගැන නිසැකකම පළවන්නේ කෙසේ ද?
මනසින් හා සිරුරෙන් අතිශයින් විඩාවට පත් වී සිටිය ද, යෙහෝවඃ වහන්සේ මත රැඳී සිටීමට යත්න දරන මිනිසෙකු පිළිබඳ ව කන්කලු ගීයක කියැවේ. ඇදහිල්ල ජයග්‍රහණය කරන බව එම පරිශුද්ධ ගීතයේ පද මාලාවෙන් කියැවේ. සර්ව බලධාරී තැනන් වහන්සේගේ හස්තයේ රැඳී සිටින මෙම මිනිසා, ලුහුබැඳ එන පීඩාකරුවන්ගෙන් ආරක්ෂාව ලබන්නේ ය. ඔහුගේ ගීතය මෙසේ ගැයෙයි: “අහෝ, යෙහෝවඃ වහන්ස, මම ඔබ තුළ රැකවරණය සෙවීමි. අහෝ මා කිසිවිටෙකත් ලජ්ජා නොවෙත්වා. ඔබගේ ධර්මිෂ්ඨකම තුළින් මට ගැලවීම සපයා දුන මැනව.”—ගීතාවලිය 31:1, NW.
2. (අ) අපගේ බලකොටුව වශයෙන් යෙහෝවඃ වහන්සේ තුළ රැකවරණය සෙවීමට අපට හැකි කරවන කුළුණු දෙක කුමක් ද? (ආ) යෙහෝවඃ වහන්සේ කෙබඳු දෙවි කෙනෙක් ද?
2 ගීතිකාකරුට එක රක්ෂස්ථානයක් තිබේ—එය හොඳ ම රක්ෂස්ථානයයි! අනෙකුත් දේ සැකයෙන් තිබුණා වේ, එහෙත් මෙම සත්‍යය එසේ ම පවතී: යෙහෝවඃ වහන්සේ ඔහුගේ බලකොටුව ය, ඔහුගේ ආරක්ෂිත ස්ථානය ය. ඔහුගේ නිසැකකම ස්ථිර කුළුණු දෙකක් මත රැඳී තිබේ. එකක්, යෙහෝවඃ වහන්සේ ලජ්ජාවට පත් නොකරන ඔහුගේ ඇදහිල්ල ය, අනෙක, ස්වකීය සේවකයා කිසි ම විටෙක ස්ථිර ලෙස අත්හැර නොදමනු ලබනවා යන අරුත් දෙන යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨකම ය. යෙහෝවඃ වහන්සේ වනාහි ස්වකීය ඇදහිලිවන්ත සේවකයන් ලජ්ජාවට පත් කරන දෙවි කෙනෙකු නොවේ; උන් වහන්සේ පොරොන්දු කඩකරන්නෙකු ද නොවේ. ඒ වෙනුවට, උන් වහන්සේ සත්‍යතාවයේ දෙවිකෙනෙකු වන අතර, ඉතා උනන්දුවෙන් තමන් වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන අයට විපාක දෙන කෙනෙකු වන සේක. අවසානයේ දී, ඇදහිල්ලට විපාක ලැබෙනු ඇත! ගැලවීම පැමිණෙනු නියත ය!—ගීතාවලිය 31:5, 6.
3. ගීතිකාකරු යෙහෝවඃ වහන්සේ ව වර්ණනා කරන්නේ කෙසේ ද?
3 සෝතැවුලේ පත්ලෙන් ම නැගී එන නිසැකකමේ උච්චාවස්ථා කරා පියමනින උස් පහත් ස්වරයෙන් යුත් සංගීතය නිර්මාණය කරන ගීතිකාකරු ඇතුළාන්ත ශක්තිය ලබා ගනී. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත ප්‍රේමය හේතු කොට ගෙන ඔහු උන් වහන්සේ ව වර්ණනා කරයි. ඔහු මෙසේ ගයයි: “යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා වේවා, මන්ද, විඩාවට පත් වූ නුවරක දී උන් වහන්සේ ස්වකීය පුදුමාකාර ප්‍රේමනීය කරුණාව මට පෙන්වූ සේක.”—ගීතාවලිය 31:21, NW.
රාජ්‍යය ප්‍රකාශකයන්ගේ ප්‍රබල සමූහ ගායනා
4, 5. (අ) අද දින යෙහෝවඃ වහන්සේ ප්‍රශංසාවට ලක් කරන සමූහ ගායනය කුමක් ද, තව ද පසුගිය සේවා වසර තුළ එය ඉටු වී තිබෙන්නේ කෙසේ ද? (පිටු 12-15 දක්වා වගුව බලන්න.) (ආ) තවත් බොහෝ පුද්ගලයන් රාජ්‍යය ප්‍රකාශකයන්ගේ සමූහ ගායනයට හවුල්වීමට කැමැත්තෙන් සිටින බව, සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාවෙන් ඇඟවෙන්නේ කිනම් ආකාරවලින් ද? (වගුව බලන්න.) (ඇ) සමූහ ගායනයට හවුල්වීම සඳහා පෙළ ගැසී සිටින ඔබගේ සභාවේ සිටින කණ්ඩායම කුමක් ද?
4 අද දින, එම ගීතිකාවේ වචනවලට යළිත් වරක් ජීවය කැවී තිබේ. යෙහෝවඃ වහන්සේට කරන ප්‍රශංසා ගායනා වළක්වන්නට කිසියම් නපුරු බලවේගයකටවත්, කිසි ම ස්වභාවික විපතකටවත්, නැතිනම් කිසි ම ආර්ථික දුෂ්කරතාවයකටවත් නොහැක; ඇත්තෙන් ම, යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව උන් වහන්සේගේ ජනයාට පුදුමාකාර එකක් වී තිබේ. පසුගිය සේවා වසරේ, ලොව වටා රටවල් 231ක, 47,09,889ක උපරිමයක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පණිවුඩයේ සමූහ ගායනය ගැයූහ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ විසින් පාලනය කරනු ලබන යෙහෝවඃ වහන්සේගේ ස්වර්ගික ආණ්ඩුව, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොකරන රැකවරණයකි. පසුගිය වසරේ, සභා 73,070කින් සමන්විත මෙම රාජ්‍යය ප්‍රකාශකයෝ, එවැන්ජලිස්ත වැඩය තුළ පැය 1,05,73,41,972ක් ගත කළහ. මෙය, පුද්ගලයන් 2,96,004ක් දෙවියන් වහන්සේට වූ තම කැප වීම වතුර බව්තීස්මය මගින් සංකේතවත් කිරීමට හේතු කරවා ඇත. තව ද, පසුගිය අගෝස්තු මාසයේ දී, කියේව්, යුක්රේන් හි පවත්වන ලද දිව්‍ය ඉගැන්වීම ජාත්‍යන්තර සමුළුවලට පැමිණි සියල්ලන් විසින් භුක්ති විඳින ලද්දේ බලාපොරොත්තු නොවූ මොනතරම් පුදුමාකාර දෙයක් ද! ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ බවට වාර්තා වී ඇති සැබෑ ක්‍රිස්තියානින්ගේ විශාලතම බව්තීස්මය ඔවුහු සියැසින් දුටුවෝ ය. යෙසායා 54:2, 3 හි පුරෝකථනය කර ඇති පරිදි, දෙවියන් වහන්සේගේ ජනයා, පෙර කිසිදා නොවූ විරූ අයුරින් ගණනින් වැඩි වෙමින් සිටී.
5 කෙසේ වුවද, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කැමැත්තෙන් ම යටත් වන මීට අමතර අය, එම සමූහ ගායනයට හවුල්වීමට පෙළ ගැසී සිටිති. පසුගිය වසරේ, යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමට පැමිණි විස්මිත සංඛ්‍යාව, 1,18,65,765ක් වූහ. මේ අයගෙන් බොහෝ දෙනෙක්, මෙම සේවා වසර තුළ දී, ගෙයින් ගෙට යමින් රාජ්‍යය ගීතය ගැයීමට සුදුසුකම් ලබනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි. එම අපේක්ෂාව සත්‍යයේ සතුරා වන සාතන් වන යක්ෂයා ව කොතරම් වියරුවෙන් පුරවනවා ඇත් ද!—එළිදරව් 12:12, 17.
6, 7. එක් උනන්දුමත් මිනිසෙක්, යෙහෝවඃ වහන්සේගේ උපකාරයෙන් භූත හිරිහැරවලින් මිදුණු ආකාරය පැහැදිලි කරන්න.
6 එම ප්‍රබල සමූහ ගායනයට කට හඬ මුසු කරන්නට කැමති තවත් අය ව වළක්වාලීමට සාතන් උත්සාහ කරයි. නිදසුනක් වශයෙන්, තායිලන්තයේ ප්‍රචාරකයන්ට හමුවන, භූත අතවරවලට ලක් වූ ජනයාගේ සංඛ්‍යාව එන්ට එන්ට ම වැඩිවෙයි. කෙසේ වෙතත්, අවංක බොහෝ දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ උපකාරයෙන් නිදහස ලැබ ඇත. එක් මිනිසෙක් තමාගේ කුතුහලය නිසා මන්තරකරුවෙකු හමුවීමට ගියපසු, වසර දහයක් මුළුල්ලේ භූතයන්ගේ බලපෑමට යටත් වී සිටියේ ය. ඔහු පූජකයෙකුගේ උපකාරය ඇතුව භූත බලපෑමෙන් මිදෙන්නට යත්න දැරූ නමුදු, ඉන් ඔහුට කිසිඳු සැබෑ උපකාරයක් නොලැබිණි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේව සේවකයෙක්, මෙම මිනිසා සමඟ බයිබල් පාඩමක් පටන් ගත් අතර, භූත බලවේගවලින් නිදහස් විය හැකි එක ම මඟ ඔහුට බයිබලයෙන් ඉගැන්වී ය. එය නම්, සත්‍යය පිළිබඳ ව ඒකාන්ත දැනුම ලබා ගෙන, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා, උන් වහන්සේට යාච්ඤාවෙන් කන්නලව් කිරීමයි.—1 කොරින්ති 2:5; පිලිප්පි 4:6, 7; 1 තිමෝති 2:3, 4.
7 මෙම සාකච්ඡාවෙන් පසු රාත්‍රියේ දී, ඔහු දුටු සිහිනයක ඔහු තම නැසී ගිය පියා දුටු අතර, ආත්ම බන්ධන ක්‍රියාවල යළි නියැලෙන මෙන් පියා ඔහුට තර්ජනය කර සිටියේ ය. ඔහුගේ පවුල දුක් විඳීමට පටන් ගති. ඊට අවනත වීමට අකමැති වූ හේ, තම බයිබල් පාඩම් නොකඩවා කර ගෙන යමින්, රැස්වීම්වලට පැමිණීමට පටන් ගත්තේ ය. ආත්ම බන්ධන ක්‍රියාවල භාවිතා වන යම් යම් උපකරණ, ඒවායින් අත් මිදෙන්නට උත්සාහ කරන අයට හිරිහැර කිරීම සඳහා භූතයන් හට දොරටු විවෘත කර දෙන බව, එක් පාඩමක දී, පුරෝගාමියා පැහැදිලි කර සිටියේ ය. එවිට මිනිසාට මතක් වූයේ, තමාට යම් තෙල් වර්ගයක් තිබූ බවත්, ශාන්ති කර්මයක් ලෙස එය භාවිතා කොට තිබූ බවත් ය. එය ඉවතට වීසි කර දැමීමට තිබූ බව ඔහුට දැන් වැටහිණි. එය ඉවත් කළ දා පටන්, යළිත් ඔහුට දුෂ්ට ආත්මවලින් හිරිහැර පැමිණ තිබුණේ නැත. (සසඳන්න එපීස 6:13; යාකොබ් 4:7, 8.) ඔහු සහ ඔහුගේ භාර්යාව තම පාඩම තුළ හොඳ ප්‍රගතියක් ලබමින් සිටින අතර, බයිබලයෙන් උපදෙස් ලැබීම සඳහා නිති පතා රැස්වීම්වලට ද පැමිණෙති.
8, 9. සමහරක් රාජ්‍යය ප්‍රකාශකයන් ජයගෙන තිබෙන වෙනත් බාධා මොනවා ද?
8 ශුභාරංචියේ හඬට තවත් බාධාවන් තිබිය හැක. ඝානාවේ පවතින ඉතා කටුක ආර්ථික තත්ත්වය නිසා, සේවකයන්ගේ වැඩ නතර කොට තිබේ. ජීවන වියදම අහස උසට නැඟ තිබෙන අතර, ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගැනීම බලවත් ගැටලුවක් වී ඇත. යෙහෝවඃ වහන්සේගේ ජනයා මෙයට සාර්ථක ව මුහුණු දී ඇත්තේ කෙසේ ද? තමන් කෙරෙහි නොව, යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමෙනි. නිදසුනක් වශයෙන්, දිනක්, මිනිසෙක් ශාඛා කාර්යාලයේ ඇති පිළිගැනීමේ කාර්යාලයේ මේසය මත මුද්‍රා කරන ලද ලියුම් කවරයක් තබා ගියේ ය. මෙම ලියුම් කවරයේ, $200ක් හෙවත් මාස තුනක අවම වැටුපක මුදලක් විය. මෙම ලියුම් කවරය නිර්නාමික ත්යාගවන්තයෙකුගෙන් පැමිණ තිබූ අතර, එහි මෙසේ සටහන් වී තිබුණි: “මට මගේ රැකියාව අහිමි වුණා, නමුත් යෙහෝවඃ වහන්සේ මට තවත් එකක් සැපයූවා. මම උන් වහන්සේටත් උන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් යේසුස් වහන්සේටත් කෘතඥ වෙනවා. අවසානය පැමිණීමට පෙර, රාජ්‍යය ශුභාරංචිය දේශනා කිරීම පුළුල් කිරීමට දෙන සහයෝගයක් වශයෙන්, මම මේ සමඟ සුළු සම්මාදමක් එවන්නෙමි.—2 කොරින්ති 9:11 සසඳන්න.
9 යෙහෝවඃ වහන්සේ හට ප්‍රබල ලෙස ප්‍රශංසා සමූහ ගායනා කිරීමට හවුල්වීමෙහි ලා පුහුණු වෙන අයට රැස්වීම්වලට පැමිණීම මහෝපකාරී වේ. (ගීතාවලිය 22:22 සසඳන්න.) හොන්දුරාස් හි දකුණු කොටසේ, එල් හෝර්ඩාන් නමින් හැඳින්වෙන සභාවක් ඇත. මෙම කුඩා කණ්ඩායම සම්බන්ධයෙන් තිබෙන විශේෂත්වය කුමක් ද? ඔවුන් විශ්වාසවන්ත ව රැස්වීම්වලට පැමිණීම ය. ප්‍රචාරකයන් 19 දෙනාගෙන්, 12 දෙනෙකුට, සෑම සතියක ම රැස්වීම්වලට පැමිණීම සඳහා, පළල් ගඟක් හරහා යාමට තිබේ. ගඟ හරහා තිබෙන ගල්වලට අඩි තබමින් යාමට හැකි නිසා වියළි කාලයේ දී එය විශාල ගැටලුවක් නොවේ. කෙසේ වෙතත්, වැසි සහිත කාලයේ දී, තත්ත්වයන් වෙනස් වෙයි. වරෙක නිසොල්මන් සේ පෙනෙන ජල කඳ, තම ගමන් මගේ තිබෙන සියල්ල සෝදා ගෙන යන මහා ජල ධාරාවක් බවට පත් වේ. මෙම බාධාවෙන් ජය ගැනීම සඳහා, සහෝදරයෝ ද, සහෝදරියෝ ද හොඳ පිහිණුම් කරුවන් විය යුතු ය. එය තරණය කිරීමට පෙර, රැස්වීම්වලට ඇඳීමට තිබෙන තම ඇඳුම් ටීනාවක (විශාල ලෝහ බාල්දියක) බහාලන ඔවුහු, අනතුරුව එය ප්ලාස්ටික් මල්ලක අසුරති. ශක්තිමත් ම පිහිණුම්කරු එම ටීනාව ඉපිල්ලාවක් සේ යොදා ගනිමින්, ගඟ තරණය කිරීමේ දී කණ්ඩායමේ පෙරමුණ ගනී. ආරක්ෂා සහිත ව ගඟේ අනෙක් පැත්තට යන ඔවුහු, තම ශරීර පිසදමා, ඇඳුම් ඇඳගෙන, ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව රාජ්‍යය ශාලාව වෙත ළඟා වෙන්නේ බබළන සුදකිනි!—ගීතාවලිය 40:9.
අපට වාසය කළ හැකි බලකොටුවක්
10. පීඩාකාරී කාලවලදී අපට යෙහෝවඃ වහන්සේ වෙතට හැරීමට හැක්කේ මන්ද?
10 ඔබ භූත බලපෑමට ඍජු ලෙස යටත් වී ඇති කෙනෙකු වේවා, නැත්නම් වෙනත් හේතු නිසා පීඩා විඳින පුද්ගලයෙකු වේවා, ඔබගේ බලකොටුව වීමට යෙහෝවඃ වහන්සේට හැකි ය. යාච්ඤාවෙන් උන් වහන්සේට මොර ගසන්න. උන් වහන්සේ ස්වකීය ජනයාගේ දුර්වල ම කෙඳිරියට පවා ඉතා වුවමනාවෙන් සවන් දෙන සේක. එය සැබෑවක් බව සොයා ගත් ගීතිකාකරු මෙසේ ලීවේ ය: “මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව. මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව. ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය.”—ගීතාවලිය 31:2-4.
11. යෙහෝවඃ වහන්සේගේ රක්ෂස්ථානය තාවකාලික තැනක් නොවන්නේ මන්දැයි පැහැදිලි කරන්න.
11 තාවකාලික රැකවරණයක් පමණක් නොව, අපට සුරක්ෂිත ව වාසය කළ හැකි වූ, ආක්‍රමණය කළ නොහැකි රක්ෂස්ථානයක් ද යෙහෝවඃ වහන්සේ අපට සපයන සේක. උන් වහන්සේගේ නායකත්වය හා මඟ පෙන්වීම ස්වකීය සෙනඟට අසාර්ථක ප්‍රතිඵල දී නොමැත. දිව්‍ය බලය, සාතන්ගේ හා ඔහුගේ කල්ලියේ සියුම් උපා සියල්ල නිෂ්ඵල කරයි. (එපීස 6:10, 11) අප මුළු හෘදයෙන් යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබත් ම උන් වහන්සේ සාතන්ගේ මලපත්වලින් අප ව ඉවතට ඇදගන්නවා ඇත. (2 පේතෘස් 2:9, 10) පසුගිය වසර හතර තුළ, රටවල් 35ක පමණ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩකටයුතු නිදහසේ කිරීම සඳහා අවසර ලැබී තිබේ. තව ද, සමාජීය, ආර්ථික හෝ දේශපාලන තත්ත්වයන් හේතු කොට ගෙන ශුභාරංචිය දේශනා කිරීම අඩාල වී තිබෙන, ලොවේ යම් පෙදෙස්වල, බැටළු ගුණැති ඇතැම් අය තවත් රටවල් වෙත ඇදී ගොස් තිබෙන අතර, එහි දී ඔවුන් වෙත පහසුවෙන් එළැඹිය හැකි වෙයි. ජපානය එවැනි රටකි.
12. ජපානයේ සිටින පුරෝගාමියෙක්, යෙහෝවඃ වහන්සේ ඔහුගේ බලකොටුව කර ගත්තේ කෙසේ ද?
12 ජපානයට, වෙනත් රටවලින් රැකියා සොයා විශාල පිරිසක් පැමිණ සිටින අතර, විදේශ භාෂාවලින් යුත් සභා බොහොමයක් පිහිටුවනු ලැබ තිබේ. මෙම විදේශීය භාෂා ක්ෂේත්රය කොතරම් ඵලදායී ද යන්න, ජපානයේ සභාවක සහෝදරයෙකුගේ අත් දැකීමකින් ගෙන හැර පායි. අවශ්‍යතාවය වැඩියෙන් තිබූ ප්‍රදේශයක සේවය කිරීමට ඔහුට වුවමනා විය. කෙසේ වුවද, ඔහු එවිටමත් තමා සිටි ප්‍රදේශයේ බයිබල් පාඩම් දහයක් පවත්වමින් සිටියේ ය. ඔහුගේ මිතුරෙක් ඔහුට විහිළු කරමින් මෙසේ පැවසී ය: “ඔබ වඩාත් අවශ්‍යතාවය තිබෙන ප්‍රදේශයකට යනවා නම්, ඔබට එහි බයිබල් පාඩම් 20ක් පවත්වන්නට වේවි!” ඔහු පැවරුමක් ලැබ හිරෝෂීමාවට ගියේ ය. කෙසේ වුවත්, මාස හතරකට පසු, ඔහුට තිබුණේ එක් බයිබල් පාඩමක් පමණි. එක් දිනක්, ඔහුට බ්‍රසීලයෙන් පැමිණි, පෘතුගීසි බස පමණක් කථා කළ මිනිසෙකු හමු වූයේ ය. මෙම සහෝදරයාට එම මිනිසා සමඟ අදහස් හුවමාරු කිරීමට නොහැකි වූ නිසා, ඔහු පෘතුගීසි බසින් පළ වී තිබූ පොතක් මිලට ගත්තේ ය. සරල කථා බහේ යෙදීමට අවශ්‍ය යමක් ඉගෙන ගත් පසු, ඔහු යළිත් එම මිනිසා ව බැලීමට ගියේ ය. සහෝදරයා පෘතුගීසි බසින් එම මිනිසාට ආචාර කළ විට, ඔහු පුදුම ව, මහත් සිනහවකින් යුතු ව දොර විවෘත කරමින්, ඔහුට ඇතුළට ආරාධනා කෙළේ ය. බයිබල් පාඩමක් ආරම්භ කරන ලදි. වැඩි කල් යන්නට මත්තෙන්, මෙම සහෝදරයා, පෘතුගීසි බසින් පාඩම් 14ක් ද, ස්පාඤ්ඤ බසින් පාඩම් 6ක් ද, ජපන් බසින් පාඩම් 2ක් ද යන ලෙසින් පාඩම් 22ක් පවත්වමින් සිටියේ ය!
නිසැකකමින් යුතු ව දේශනා කිරීම
13. යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙහි නිරත වීමට කිසිවෙකු අප ව ලජ්ජාවට පත් නොකළ යුත්තේ මන්ද?
13 යෙහෝවඃ වහන්සේ තම බලකොටුව බවට පූර්ණ ඇදහිල්ලක් ඇති උන් වහන්සේගේ ජනයා, නිසැකකමින් යුතු ව රාජ්‍යය ගීතය ගයති. (ගීතාවලිය 31:14) ඔවුන් ලජ්ජා නොවනු ඇත—යෙහෝවඃ වහන්සේ ඔවුන් ව අවමානයට පත් කරන්නේ නැත, මන්ද, උන් වහන්සේ ස්වකීය වචනය ඉටු කරන බැවිනි. (ගීතාවලිය 31:17) යක්ෂයා සහ ඔහුගේ භූත රංචුව ලජ්ජාවට පත් වෙනවා ඇත. යෙහෝවඃ වහන්සේගේ ජනයාට දේශනා කිරීම සඳහා පවරා ඇත්තේ ලජ්ජාවෙන් තොර වූ පණිවුඩයක් බැවින්, අන්‍යයන්ගේ ලජ්ජාවට පාත්‍ර වුවද, ඔවුන්ගේ දේශනා කිරීමට එයින් බලපෑමක් නොලබනු ඇත. යෙහෝවඃ වහන්සේ හෝ ස්වකීය පුත්‍රයාණන් දෙවියන් වහන්සේට නමස්කාර කරන ලෙසට ස්වකීය ජනයා ව පොලඹවන්නේ ඒ අයුරින් නොවේ, යෙහෝවඃ වහන්සේගේ යහපත්කම හා ප්‍රේමනීය-කරුණාව උදෙසා ජනයාගේ හදවත් ඇදහිල්ලෙන් හා අගය කිරීමෙන් පිරී යන විට, ඔවුන්ගේ මුඛයෙන් කථා කිරීමට පොලඹවන්නේ ඔවුන්ගේ හදවත්වල යහපත් තත්ත්වයයි. (ලූක් 6:45) මෙසේ, අප සෑම මසක ම සේවයේ ගත කරන කාලය කොතරම් වුවත්, විශේෂයෙන් ම ඒ අපට ගත කරන්නට පුළුවන් උපරිමය නම්, එය යහපත් ය, ලජ්ජාශීලී දෙයක් නොවේ. යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ පියාණන් එම වැන්දඹුවගේ කුඩා තුට්ටු දෙක අගය කළේ නැද්ද?—ලූක් 21:1-4.
14. පුරෝගාමි සේවය සම්බන්ධයෙන් ඔබට කුමක් කියන්නට හැකි ද? (වගුව ද බලන්න.)
14 වැඩිවන ප්රචාරක සංඛ්‍යාවකට මුළු ආත්මයෙන් තම නමස්කාරයේ යෙදීමට, පුරෝගාමින් හැටියට සේවය කිරීම ඇතුළත් වෙයි. පසුගිය වසරේ වැඩි ම මාසයේ සංඛ්‍යාව 8,90,231ක් විය! කලින් වසරේ ප්‍රගතිය පවත්වාගනු ලැබේ නම්, පෙනෙන හැටියට මෙම සංඛ්‍යාව, 10,00,000 ඉක්මවනු ඇත. නයිජීරියාවේ එක් සහෝදරියක් පුරෝගාමි පෙළට ඇතුළත් වූ ආකාරය පහත සඳහන් අත් දැකීමෙන් පෙනේ. ඈ මෙසේ ලියන්නී ය: “මා මගේ ද්විතීයක පාසල් අධ්‍යාපනය නිම කිරීමට ආසන්න ව සිටි විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පුරෝගාමි පාසලට පැමිණෙන අය සඳහා ආහාර පිසීමේ කටයුතුවලට උදව් වීමට ගියා. මට එහි දී මගේ ආච්චිට වඩා වයසක සහෝදරියන් දෙදෙනෙකු හමුවුණා. ඔවුන් පාසලට පැමිණි පුරෝගාමින් දෙදෙනෙකු යයි මට දැනගැනීමට ලැබුණු විට, ‘ඒ දෙදෙනාට පුරෝගාමි සේවය කරන්නට පුළුවන් නම්, ඇයි මට බැරි?’ කියා මට සිතුණා. ඉතින් මම පාසල් අධ්‍යාපනය අවසන් කළායින් පසු, මමත් ස්ථාවර පුරෝගාමියක බවට පත් වුණා.”
15. අන්‍යයන් විසින් යෙහෝවඃ වහන්සේ තුළ රැකවරණය සෙවීම සඳහා මං සැලසීමට අනියම් සාක්ෂි දැරීමට හැක්කේ කිනම් මාර්ගයෙන් ද?
15 සියල්ලන්ට ම පුරෝගාමි සේවය කරන්නට හැකිවා නොවේ, නමුත් සාක්ෂි දැරීමට ඔවුන්ට හැකියි. බෙල්ජියමේ 82 හැවිරිදි එක් සහෝදරියක් මස් මිලට ගැනීම සඳහා වෙළෙඳ සැලට ගියා ය. මස් වෙළෙඳ සැලේ අයිතිකරුගේ බිරිඳ, මෑතක සිදු වූ දේශපාලන අර්බුද හේතුවෙන් කනස්සල්ලට පත් වී සිටි බව ඈට වැටහුණි. එමනිසා මෙම සහෝදරිය, තම බිල් පත ගෙවන විට, මුදල් අතර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ කුමක් ද? නමැති පත්‍රිකාව බහාලූවා ය. මෙම සහෝදරිය නැවත එම වෙළෙඳ සැලට ගිය සැනින් ම වාගේ, මස් වෙළෙඳ සැලේ අයිතිකරුගේ බිරිඳ, සිදුවිය හැකි තුන්වන ලෝක යුද්ධයක් ගැන බයිබලය පවසන්නේ කුමක්දැයි විචාලා ය. සැබෑ සාමය හා සුරක්ෂිතභාවය—ඔබට ලබාගත හැක්කේ කෙසේ ද? යන පොත එම සහෝදරිය ඈ වෙත රැගෙන ගියා ය. දවස් කිහිපයකට පසු, මෙම වයසක සහෝදරිය එම මස් වෙළෙඳ සැලට පය තබනවාත් සමඟ ම, වෙළෙඳ සැල අයිතිකරුගේ බිරිඳට ඇසීමට තවත් බොහෝ ප්‍රශ්න තිබිණි. මෙම ස්ත්‍රිය කෙරෙහි සහෝදරියගේ හෘදය අනුකම්පාවෙන් උතුරා ගියේ ය; බයිබල් පාඩමක් පටන් ගැනීමට කැමති දැයි ඇසූ විගස ඈ එය පිළිගත්තා ය. දැන් මස් වෙළෙඳ සැල අයිතිකරුගේ බිරිඳට බව්තීස්ම වීමට වුවමනා වී තිබේ. මස් වෙළෙඳ සැල් අයිතිකරු ගැන කුමක් කිව හැකි ද? ඔහු පත්‍රිකාව කිය වූ අතර, ඔහුත් දැන් බයිබලය පාඩම් කරමින් සිටී.
‘යහපත්කමේ නිධානයක්’
16. යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා උදෙසා යහපත්කමේ නිධානයක් වෙන් කොට තබා ඇත්තේ කෙසේ ද?
16 මෙම පීඩාකාරී අන්තිම දවස්වල දී, යෙහෝවඃ වහන්සේ, තමන් වහන්සේ තුළ රැකවරණය සොයන අයට ස්වකීය “පුදුමාකාර ප්‍රේමනීය-කරුණාව” පෙන්වා නැද්ද? ප්‍රේමනීය, සුරැකි පියෙකු මෙන්, යෙහෝවඃ වහන්සේ ස්වකීය භූමික දරුවන් උදෙසා යහපත්කමේ නිධානයක් වෙන් කොට තබා තිබෙන සේක. ගීතිකාකරු මෙසේ කියන්නාක් මෙන්, උන් වහන්සේ බලා සිටින සියල්ලන් ඉදිරියේ ඔවුන් මත සන්තෝෂය වගුරවා තිබේ: “ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!”—ගීතාවලිය 31:19, 21.
17-19. ඝානාවේ එක් වයසක තැනැත්තෙක් තම විවාහය නීත්‍යානුකූල කිරීම නිසා ඇතිවූ යහපත් ප්‍රතිඵලය කුමක් ද?
17 එමනිසා, යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන අයගේ අවංකකම දකින ලෝකයේ මිනිස්සු ඒ ගැන පුදුම වෙති. නිදසුනක් වශයෙන්, ඝානාවේ එක් 96 වියැති මිනිසෙක් විවාහ ලියා පදිංචි කිරීමේ කාර්යාලය වෙත ගොස්, වසර 70ක් මුළුල්ලේ නීත්‍යානුකූල ව විවාහ නොවී තමා තම සහකාරිය සමඟ එකට ගත කළ දිවිය, දැන් නීත්‍යානුකූල ව ලියා පදිංචි කරන මෙන් ඉල්ලා සිටියේ ය. මින් විස්මිත වූ විවාහ ලේකම් නිලධාරියා මෙසේ ඇසුවේ ය: “මේ වයසේ දී ඔබට කිරීමට වුවමනා දේ ගැන ඔබට ස්ථිර ද?”
18 එම මිනිසා ඒ ගැන පැහැදිලි කළේ මෙසේයි: “මට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු වී, ලෝකාන්තිමයට පෙර කරන්නට තිබෙන අතිවැදගත් ම වැඩය වන දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයේ හවුල්වීමට වුවමනායි. මෙම වැඩය සදාකාල ජීවනයට මඟ පෙන්වනවා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විවාහ ලියා පදිංචි කිරීමේ නීතිය ඇතුළු, රටේ සිවිල් නීතිවලට කීකරු වෙනවා. එමනිසා, කරුණාකර මේ ලියා පදිංචි කිරීම කරන්න.” නිලධාරියා තුෂ්ණිම්භූත විය. ඔහු සැණෙකින් විවාහය ලියා පදිංචි කිරීමේ කටයුතු කර දුන් අතර, මෙම වයසක මිනිසා, තමා දැන් නීත්‍යානුකූල ව විවාහ වී සිටින බව දැන සතුටෙන් පිට ව ගියේ ය.—රෝම 12:2 සසඳන්න.
19 එම අවස්ථාවෙන් පසු ව, විවාහ ලියා පදිංචි කිරීමේ නිලධාරියා තමා අසා සිටි දේවල් ගැන මෙනෙහි කරන්නට විය. “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, . . . අතිවැදගත් ම වැඩය . . . ලෝකාන්තිමය . . . දෙවියන් වහන්සේගේ රාජ්‍යය . . . සදාකාල ජීවනය.” වයස අවුරුදු 96ක මිනිසෙකුට මේ සියල්ලෙන් අදහස් කළේ කුමක් දැයි යන ප්රහේලිකාවට මැදි වී සිටි ඔහු, මෙම කාරණය ගැන වැඩි දුරටත් සොයා බැලීම සඳහා සාක්ෂිකරුවන් සොයන්නට තීරණය කළේ ය. නිවාස බයිබල් පාඩමක් පටන් ගත් හේ, සීඝ්‍ර ප්‍රගතියක් පෙන්වූයේ ය. එම විවාහ ලියා පදිංචි කිරීමේ නිලධාරියා දැන් බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙකි. මෙසේ, අප කුඩා දේවල් යයි සැලකෙන කාරණාවල දී පවා යෙහෝවඃ වහන්සේට කීකරු වන විට, එය අපටත් අපගේ හැසිරීම දකින්නන්ටත් කිව නොහැකි යහපතකට තුඩු දිය හැකියි.—1 පේතෘස් 2:12 සසඳන්න.
20. මියන්මා හි, එක් යෞවන සහෝදරියකගේ අවංකකම හොඳ සාක්ෂියක් දැරීමට තුඩු දුන්නේ කෙසේ ද?
20 අවංක වීම සඳහා තමන් ව හැඩගැස්වීමට සත්‍යයට ඉඩ දී ඇති වයස් ගත අය, මෙම වංක ලෝකයේ යෞවනයන් සඳහා හොඳ ආදර්ශයක් තබත්. මියන්මාර් හි එවැනි එක් යෞවන සහෝදරියක් සිටී. ඈ පැමිණෙන්නේ දරුවන් දහදෙනෙකුගෙන් යුත් දුප්පත් යටහත් පහත් පවුලකිනි. එක් දිනක් පාසලේ දී, ඈ දියමන්ති මුද්දක් ඇහිලූ අතර, ඇය විගස එය තම ගුරුවරිය වෙත ගෙන ගියා ය. ඊළඟ දවසේ, පංතිය රැස්වූ විට, එම මුද්ද සොයාගත් ආකාරයත් අයිතිකරු වෙත දීම සඳහා එය ආපසු භාරදුන් ආකාරයත් ගැන ගුරුවරිය පංතියට පැවසුවා ය. එම මුදුව අනෙක් ළමුන්ට හමුවූවා නම්, ඔවුන් එය තමන් ළඟ ම තබා ගන්නා බව දැන සිටි ගුරුවරිය, යෞවන සහෝදරිය අමතා මුළු පංතිය ඉදිරිපිට සිටගන්නා ලෙස පවසා, ඈ මුදුව ආපසු භාර දුන්නේ මන්දැයි පැහැදිලි කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටියා ය. තමා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක බවත්, සොරකම් කිරීමට හෝ වෙන කුමන අයුරක හෝ වංකකමකට තමාගේ දෙවියන් වහන්සේ කැමති නැති බවත් සහෝදරිය පැහැදිලි කළා ය. මුළු පාසලට ම මේ ගැන දැනගන්නට ලැබුණු අතර, ගුරුවරුන්ට ද ළමුන්ට ද එක සමාන ව සාක්ෂි දැරීමට අපගේ යෞවන සහෝදරියට මේ මගින් කදිම ප්‍රස්තාවක් උදා විය.
21. යෞවන අය යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබත් ම, ඔවුන්ගේ හැසිරීම උන් වහන්සේ මත පිළිබිඹු වන්නේ කෙසේ ද?
21 බෙල්ජියමේ එක් ගුරුවරයෙක් පංතියක දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන උනන්දුමත් ප්රකාශනයක් කළේ ය. ඔහු තම ශිෂ්‍යාවක වන යෞවන සහෝදරියකගේ හැසිරීම නිරීක්ෂණය කර, මෙසේ පැවසී ය: “මට දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන තිබෙන්නේ වෙනස් මතයක්. මට තිබූ අගති සහගත හැඟීම් නිසා මම කල්පනා කළේ ඔවුන් අඩුවෙන් ම ඉවසන මිනිසුන් කියායි. තම ප්‍රතිපත්ති පාවා නොදෙන අතර ම වැඩියෙන් ම ඉවසන අය ඔවුන් බව ඔප්පු වී තිබෙනවා.” සෑම වසරක ම, ගුරුවරුන් විසින් තමුන්ගේ හොඳ ම ශිෂ්‍යයන් හට ත්‍යාගයක් දෙනු ලබයි. අනෙකුත් විෂයන් අතර, විනය හැසිරීම සම්බන්ධයෙන් ද ත්‍යාගයක් පිරිනමනු ලැබේ. පිට පිට වසර තුනකට ම, මෙම ගුරුවරයා විසින් ඉහළ ශ්‍රේණි තුන සඳහා ත්‍යාග පිරිනමනු ලැබුවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ට ය. මෙසේ, යෙහෝවඃ වහන්සේ කෙරෙහි තම පක්ෂපාත දැඩි විශ්වාසය තබන අයට බොහෝ විට එය එසේ සිදු වෙයි.—ගීතාවලිය 31:23.
22. තිස්එක් වෙනි ගීතිකාවේ ජයනද සහිත අවසානය කුමක් ද, තව ද මෙම දේවල පිළිවෙළේ අවසාන දවස්වල එය අපට උපකාරවත් වන්නේ කෙසේ ද?
22 ගීතාවලිය 31 වෙනි පරිච්ඡේදය ජයනද දෙමින් නිම වන්නේ මෙසේ ය: “ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ, NW] කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් [නිර්භීත, NW] වව්; තොපගේ සිත [හෘදය, NW] ධෛර්යවත් වේවා.” (ගීතාවලිය 31:24) එමනිසා, අප සාතන්ගේ දුෂ්ට පිළිවෙළේ අවසාන දවස්වලට මුහුණ දෙනවාත් සමඟ ම, ඉඳුරා ම අප අත්හරිනවා වෙනුවට යෙහෝවඃ වහන්සේ අපගේ සමීපයට ම ළංවී, ස්වකීය බලය අප තුළට දමනවා ඇත. යෙහෝවඃ වහන්සේ විශ්වාසවන්ත ය, අසමත් නොවන සේක. උන් වහන්සේ අපගේ රැකවරණය ය; උන් වහන්සේ අපගේ ටැඹ ය.—හිතෝපදේශ 18:10.
ඔබට මතක ද?
◻ නිසැකකමින් යුතු ව යෙහෝවඃ වහන්සේ ව අපගේ රැකවරණය කර ගැනීමට අපට හැක්කේ මන්ද?
◻ ප්‍රබල ගායක සමූහයක් ධෛර්යයෙන් යුක්ත ව රාජ්‍යය ප්‍රශංසා ව ගයමින් සිටින බවට තිබෙන සාක්ෂි මොනවා ද?
◻ යෙහෝවඃ වහන්සේගේ ජනයා ව සාතන්ගේ දැලට හසු නොවන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?
◻ යෙහෝවඃ වහන්සේ තුළ රැකවරණය සොයන අය සඳහා තමන් වහන්සේ වෙන් කොට තබා තිබෙන නිධානය කුමක් ද?
[12-15වන පිටුවල වගුව]
ලෝක ව්‍යාප්ත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1993 සේවා වාර්ෂික වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[16, 17වන පිටුවේ පින්තූර]
යෙහෝවඃ වහන්සේ තුළ රැකවරණය සොයන අයගෙන්, 47,09,889කින් ශක්තිමත් වූ රාජ්‍යය ප්‍රකාශකයන්ගේ ප්‍රබල සමූහ ගායක පංතියක් සැකසේ!
1. සෙනිගාල්
2. බ්‍රසීලය
3. චිලී
4. බොලීවියාව