අපි පළමුකොට රාජ්‍යය සොයා ඇත්තෙමු
ඔලිව් ස්ප්රිංගෙට් පැවසූ පරිදි
මව අපගේ යාච්ඤාවලට කන්දීමෙන් පසු ඉටිපන්දම නිවා කාමරයෙන් ඉවත්ව ගියා පමණයි. ඒත් සමඟම මගේ බාල සහෝදරයා මට කථා කොට, “ඔලිව්, ගඩොල් බිත්ති තුළින් දෙවියන්වහන්සේට අපව බලන්නත් අසන්නත් පුළුවන් වෙන්නේ කොහොමද?” කියා ඇසුවා.
“උන්වහන්සේට ඕනෑම දෙයක් තුළින්, කෙළින්ම අපගේ හෘදය පවා බලන්න පුළුවන් කියා අම්මා කියනවා” යයි මම පිළිතුරු දුන්ණා. අම්මා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ කාන්තාවක් මෙන්ම මහත් ආශාවෙන් බයිබලය කියවන්නියක් වූ අතර දරුවන් වූ අප තුළට ඇය කාවැද්දුවේ දෙවියන්වහන්සේ සඳහාත් බයිබල් ප්‍රතිපත්ති සඳහාත් ගැඹුරු ගෞරවයක්.
අපගේ මව්පියන් එංගලන්තයේ, කෙන්ට් ප්‍රාන්තයේ, චැතම් නම්වූ කුඩා නගරයේ තිබූ එංගලන්ත සභා පල්ලියේ සාමාජිකයන් වූවා. අම්මා නිතිපතා පල්ලියට යන තැනැත්තියක් වුනත්, ක්‍රිස්තියානියෙකුව සිටීම සතියකට වරක් පල්ලියේ ආසනයක් රත් කිරීමට වැඩියමක් අදහස් කළ බව විශ්වාස කළා. දෙවියන්වහන්සේට එක් සැබෑ සභාවක් පමණක් තිබිය යුතු බවටද ඇය තුළ නිසැකකමක් තිබුණා.
බයිබල් සත්‍යය සඳහා අගය
වර්ෂ 1918දී, මට අවුරුදු පහක්ව තිබියදී, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි පළමු සභාපති චාල්ස් ටී. රසල් විසින් රචිත, ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් නම් වෙළුම් මගේ මව ලබා ගත්තා. ඉන් වසර ස්වල්පයකට පසු, විග්මෝර් නම් කුඩා ස්ථානයේ වාසය කළ අතර, එවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හඳුන්වනු ලැබූ, බයිබල් ශිෂ්‍යයයෙකු මගේ මවට හමු වූවා. බයිබල් පාඩම් ආධාරකය වන ද හාර්ප් ඔෆ් ගෝඩ් ඇය ලබාගත් අතර එතුළින් ඇය තමාගේ බයිබල් ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සොයන්නට පටන් ගත්තා. සෑම සතියකම එක් එක් පරිච්ඡේදය මත මුද්‍රිත ප්‍රශ්න තිබූ රෝස පැහැති කාඩ්පතක් තැපෑලෙන් ලැබුණා. එම කාඩ්පත, පිළිතුරු සොයා ගත හැක්කේ පොතේ කොතැනින්ද යන වගත් පෙන්වූවා.
වර්ෂ 1926දී මගේ මව්පියන්ද, මගේ සහෝදරිය වන බෙරිල් මෙන්ම මාත්, එංගලන්ත සභා පල්ලියෙන් ඉවත්වූ අතර ඊට හේතු වූයේ දේශපාලන කටයුතුවලට පල්ලිය සම්බන්ධ වීමත්, එහි අසාධාරණ වූ ඉගැන්වීම් මගින් අප කලකිරීමට පත්ව සිටීමත්ය. ගිනිමය නිරයක සදාකාලයටම දෙවියන්වහන්සේ ජනයාට පීඩා පැමිණවීම මෙහි සුප්‍රකට ඉගැන්වීමක් වුණා. සැබවින්ම බයිබල් සත්‍යය සොයමින් සිටි මගේ මව, එංගලන්ත සභාව සැබෑ සභාව නොවූ බව ඒත්තු ගෙන සිටියා.
ඉන් මඳ කලකට පසු, අම්මාගේ උත්සහවන්ත යාච්ඤාවට පිළිතුරු වශයෙන්, බයිබල් ශිෂ්‍යාවක් වන, ජැක්සන් මහත්මිය අපව බලන්නට ආවා. පැය දෙකකට ආසන්න කාලයක් පුරා බයිබලයෙන් අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින්, ඇය අම්මා හා මා සමඟ කථා කළා. අපගේ යාච්ඤා, යම් අභිරහස් ත්‍රිත්වයක් වෙත නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි යොමු කළ යුතු බව, වෙනත් දෑ අතුරින්, ඉගෙන ගැනීමට අපි මහත් සේ සතුටු වුණා. (ගීතාවලිය 83:17; යොහන් 20:17) එහෙත් මට අමතක කළ නොහැකිම අම්මා ඇසූ ප්රශ්නය වූයේ මෙයයි: “පළමුකොට රාජ්‍යය සෙවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?”—මතෙව් 6:33.
ලැබුණු බයිබලය මත පදනම් පිළිතුර අපගේ ජීවිතවලට මහත් බලපෑමක් ඇති කළා. ඒ සතියේ පටන්, බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට යාමටත්, අප ඉගෙන ගත් දේවල් අන්‍යයන් සමඟ බෙදා ගන්නටත් අප පටන් ගත්තා. අප සත්‍යය සොයා ගත් බව අපට ඒත්තු ගියා. ඉන් මාස ස්වල්පයකට පසු, එනම් 1927දී, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට මවගේ කැපවීමේ සංකේතයක් වශයෙන් ඇය බව්තීස්ම කරනු ලැබූ අතර, 1930දී, මාත් බව්තීස්මය ලැබුවා.
පුරෝගාමි සේවයට ඇතුල් වීම
අපේ පවුල ගියේ, 25දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් ජිලිංහම් සභාවේ රැස්වීම්වලටයි. ඔවුන්ගෙන් කීපදෙනෙක් පුරෝගාමින් යයි හඳුන්වනු ලැබූ, පූර්ණ-කාලීන දේව සේවකයන් වූ අතර ඔවුන් සියල්ලන්ට තිබුණේ ස්වර්ගීය බලාපොරොත්තුවයි. (පිලිප්පි 3:14, 20) ඔවුන්ගේ ක්‍රිස්තියානි ජ්වලිතය බෝවන සුලු යමක් වුණා. තවමත් නවයොවුන් වියේ සිටි මා, 1930 ගණන්වල මුල් භාගයේදී කෙටි කලකට බෙල්ජියමේ පුරෝගාමි සේවයේ යෙදුණා. මෙය තවදුරටත් රාජ්‍යය සේවයේ යෙදීම සඳහා මගේ ආශාව වැඩි කළා. ඒ අවස්ථාවේදී අපි සෑම පූජකයෙකුටම ද කිංඩම්, ද හෝප් ඔෆ් ද වර්ල්ඩ් (රාජ්‍යය, ලෝකය සඳහා බලාපොරොත්තුව) නම් විවරණිකාවේ පිටපතක් බෙදා දීමෙහි නිරතව සිටියා.
කලකට පසු මගේ පියා අපගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට සෑහෙන විරුද්ධ වූ අතර ඒ හේතුවෙන්, මම 1932දී උසස් පාසලට යාම සඳහා ලන්ඩනයේ පදිංචියට ගියා. පසුව වසර හතරකට මා පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළ අතර එම කාලය තුළ, මා ඇසුරු කළේ එවකට ලන්ඩනයේ තිබූ සභා හතරෙන් එකක් වන, බ්ලැක්හීත් සභාවත් සමඟයි. හිට්ලර්ගේ ජර්මනියේ විසූ අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් හිට්ලර්ගේ යුද්ධ කටයුතුවලට අනුබල දීම ප්‍රතික්ෂේප කළ බැවින්, ඔවුන්ව සිරගත කිරීම හා ඔවුන්ට පීඩා සිදු කිරීම පිළිබඳ වාර්තා අප අසන්නට පටන් ගත්තේ ඒ කාලයේදීයි.
වර්ෂ 1938දී, මා ලබා ගත් පොත් සඳහා වූ ණයක් මා ගෙවා නිම කළ මාසයේදීම, පුරෝගාමියෙක් වීමට තිබූ මගේ ආශාව ඉෂ්ට කර ගැනීමට මම මගේ රැකියාවෙන් ඉවත් වුණා. මගේ සහෝදරිය වන බෙරිල් එම කාලයේදීම ලන්ඩනයේ පුරෝගාමි සේවය පටන් ගත්තත්, ඇය ජීවත් වූයේ වෙනත් පුරෝගාමි නිවසකයි. මගේ මුල් පුරෝගාමි හවුල්කාරිය වූයේ, දැන් යෙහෝවඃවහන්සේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෝන් බාර් සමඟ පසුව විවාහ වූ මිල්ඩ්රඩ් විලට්ය. අපගේ කණ්ඩායමේ අන් අය සමඟ, ක්ෂේත්රයේ බයිසිකලයෙන් ගිය අප, බොහෝ විට වැසි නොතකා දවස මුළුල්ලේම එහි රැඳී සිටියා.
යුද්ධයේ වලාකුළු ඒ වන විට යුරෝපයට පහත් වන්නට පටන් ගත්තා. වැසියන් සඳහා විෂ වායු හිස්වැසුම් දැමීමට පෙරහුරු පවත්වනු ලැබූ අතර, යුද්ධය පටන් ගත්තොත් දරුවන්ව එංගලන්තයේ ගම්බද ප්‍රදේශවලට හෝ කුඩා නගරවලට රැගෙන යාමට කටයුතු සූදානම් වෙමින් තිබුණා. ඒ වන විට මා ඉතුරු කරගෙන තිබූ මුදල් ප්‍රමාණවත් වූයේ සපත්තු ජෝඩුවක් ගැනීමට පමණයි. තවද මගේ මව්පියන්ගෙන්ද මූල්‍යාධාරයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත් ‘ඔබ පළමුකොට රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් සොයන්නේ නම් මේ වෙනත් දේවල් සියල්ල දෙනු ලබන්නේය.’ යයි යේසුස්වහන්සේ පවසා තිබුණා නොවේද? (මතෙව් 6:33) යෙහෝවඃවහන්සේ මගේ අවශ්‍යතාවයන් සියල්ල සපයනු ඇති බවට මා තුළ පූර්ණ ඇදහිල්ලක් තිබූ අතර, ගතවූ කාලය පුරා උන්වහන්සේ බහුලව එසේ කර තිබෙනවා. යුද්ධය පැවති කාලයේ ඇතැම් අවස්ථාවන්හි මා මගේ කුඩා ආහාර සලාකයට වෙනත් දේවල් එක් කර ගත්තේ, එළවළු පුරවා ගත් ට්‍රක් රථ ගමන් කිරීමෙන් පසු පාරේ වැටී තිබී අහුලා ගත් එළවළු සමඟිනි. තවද මම බොහෝ අවස්ථාවන්හි බයිබල් ප්‍රකාශන පලතුරු හා එළවළුවලට හුවමාරු කර ගැනීමෙන්ද ආහාර ලබා ගත්තා.
මගේ නංගි වන සෝනියා උපත් ලැබුවේ 1928දීය. ඇය තමාගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කළ විට, ඇගේ වයස අවුරු හතක් පමණයි. එම බාල අවධියේ පවා, පුරෝගාමි සේවය තමාගේ ඉලක්කය වූ බව සෝනියා පවසයි. වර්ෂ 1941දී, තමාගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේත කිරීමත් සමඟ, ඇය හා අම්මා දකුණු වේල්ස්හි, කාර්ෆිලි වෙතට ගොසින් පුරෝගාමින් හැටියට සේවය කරන්නට පැවරුම් ලද විට ඇය එම ඉලක්කය ඉෂ්ට කර ගත්තා.
යුද්ධ කාලය තුළ අපගේ දේව සේවය
වර්ෂ 1939 සැප්තැම්බර් මස, IIවන ලෝක යුද්ධය පටන් ගත් අතර, බ්‍රිතාන්‍යයේ සිටි අපගේ සහෝදර සහෝදරියන් නාට්සි ජර්මනියේ සිය සෙසු ඇදහිලිවන්තයන් සිරගත කරනු ලැබූ එම හේතු සඳහාම—එනම් යුද්ධයට සහභාගි වීම පිළිබඳ මධ්‍යස්ථ ස්ථාවරයක් දැරීම වෙනුවෙන්—සිරගත කරනු ලැබුවා. එංගලන්තයට බෝම්බ දැමීම ආරම්භ වුණේ 1940 මැද භාගයේදීයි. රැයක් රැයක් පාසා, දියත් කරන ලද වේගවත් ප්රහාරයන් කන් අඩි පුපුරා යන තත්වයක තිබුණද, යෙහෝවඃවහන්සේ උපකාරය ඇතිව අපට යම් ප්‍රමාණයක නින්දක් ලබා පසු දින දේශනා කිරීමේ කටයුත්ත සඳහා ප්‍රබෝධවත්ව සිටින්නට හැකි වුණා.
ඇතැම් අවස්ථාවන්හි අප අපගේ දේශනා ක්ෂේත්රයට යන විට අපට දකින්නට ලැබෙන්නේ ගෙවල් වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. නොවැම්බර් මාසයේ අප කීපදෙනෙක් වාසය කළ නිවසෙන් යාර කීපයක් ඈතින් බෝම්බයක් වැටී, ජනෙල් සුනු විසුනු කළා. ඉදිරියෙහි වූ බර දොරටුව බිමට පහත්වූ අතර චිමිනිය කඩා වැටුණා. රාත්‍රියේ ඉතිරි කොටස ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානයක ගත කිරීමෙන් පසු, අපි වෙන් වී විවිධ සාක්ෂිකරුවන්ගේ නිවාසවල වාසයට ගියා.
ඉන් මඳ කලකට පසු, මහ ලන්ඩනයේ, ක්‍රොයිඩන් වෙතට මට පැවරුමක් ලැබුණා. ඈන් පාර්කින් මගේ හවුල්කාරිය වූ අතර පසු කාලෙක පුවර්ටෝ රිකෝහි ශාඛා කමිටු සම්බන්ධීකරණ සහෝදරයා බවට පත් වුණේ ඇගේ සහෝදරයා වන රොන් පාර්කිනුයි. ඉන් පසුව මා දකුණු වේල්ස්හි, බ්රිජන්ඩ් නගරයේ පදිංචියට ගිය අතර එහි මාස හයක් පුරා අශ්වයෙක් විසින් අදිනු ලැබූ කරත්තයක ජීවත් වෙමින්, මම දිගටම පුරෝගාමි සේවයේ නියැලුණා. එතැන් සිට පෝර්ට් ටල්බොට්හි පිහිටි, කිට්ටුම විශාල සභාවට සැතපුම් හතරක් අපි බයිසිකලයෙන් ගමන් කරනවා.
මේ වන විට පොදු ජනයා අපව කොන්චීස් (හෘදය සාක්ෂියට අනුව විරෝධයපාන්නන්) හැටියට අමතමින්, අපට යම් ප්‍රමාණයක විරුද්ධත්වයක් පළ කරන්නට පටන් ගත්තා. මෙය නවාතැන් සොයා ගැනීමට අපට දුෂ්කරතා ඇති කළද, පොරාන්දු වූ ආකාරයට යෙහෝවඃවහන්සේ අපට සැලකිල්ල දැක්වූවා.
ඉන්පසු, අපෙන් අටදෙනෙකුව දකුණු වේල්ස්හි වෙරළාසන්න නගරයක් වන, ස්වොන්සී වෙත විශේෂ පුරෝගාමින් හැටියට පත්කර යවනු ලැබුවා. යුද්ධය තව තවත් බලවත් වෙත්ම, අපට එරෙහි අගතියද වැඩි වන්නට පටන් ගත්තා. “මීයෝ” හා “භය ගුල්ලන්” යන වදන් අපගේ පුරෝගාමි නිවසේ බිත්තිය මත ලියා තිබුණා. මෙම විරුද්ධත්වය බලවත් ලෙස පොලඹවනු ලැබුවේ අපගේ මධ්‍යස්ථ ස්ථාවරය වෙනුවෙන් අපට දෝෂාරෝපණය කළ පුවත්පත් වාර්තා මගිනුයි. අවසානයේ, එකිනෙකා බැගින්, අපෙන් හත් දෙනෙක් හිරගෙට යවනු ලැබුවා. වර්ෂ 1942දී කාර්ඩිෆ් හිරගෙදර මා මාසයක් ගත කළ අතර, පසුව මගේ සහෝදරිය වන බෙරිල්ද එහි කාලයක් ගත කළා. උපහාස හා නිග්‍රහ වින්ඳද, අප ආත්මික වශයෙන් සිටියේ ධනවත් තත්ත්වයකයි.
මේ අතර, අම්මත් සෝනියාත් කාර්ෆිලි නම් නගරයේ පුරෝගාමි සේවයේ යෙදී සිටි අතර සමානාකාර අද්දැකීම් ලබමින් සිටියා. සෝනියා පැවැත්වූ මුල්ම බයිබල් පාඩම ඇය පැවැත්වූයේ සිකුරාදා සවසක බැහැදකින්නට ඇය සැලසුම් කර ගත් කාන්තාවක් සමඟයි. අම්මා තමා සමඟ එනු ඇතැයි සෝනියා විශ්වාස කළද, අම්මා ඇයට පැහැදිලි කළේ මෙසේයි: “මට තවත් වැඩක් තියෙනවා. සැලසුම් කර ගත්තේ ඔබයි, එනිසා ඔබ තනියම යා යුතුයි.” සෝනියාට අවුරුදු 13ක් වයස්ව තිබුණත්, ඇය තනිව ගිය අතර එම කාන්තාව හොඳ ආත්මික ප්‍රගතියක් ලබා යථා කාලයේදී කැප වූ සාක්ෂිකාරියක් බවට පත් වූවා.
යුද්ධයෙන් පසුව වැඩකටයුතු—අනතුරුව ගිලියඩ්
වර්ෂ 1945දී IIවන ලෝක යුද්ධය අවසන් වූ විට, මා වැඩ කරමින් සිටියේ ඩාබිෂයර්හි, වේලි බ්‍රිජ් නම් හුදකලා ප්‍රදේශයේයි. සටන් නැවැත්වීම නිවේදනය කළ උදයේ, යුද්ධ වැදීමත්, එහි ප්‍රතිඵල වූ අනාථයන්, වැන්දඹුවන් සුනු විසුනු වී ගිය මළ සිරුරු හේතුවෙන් එපා වූ තත්ත්වයක සිටි අයව බැලීමට ගොස් අපි ඔවුන්ව සැනසුවා.
ඉන් මාස කීපයකට පසු, හරිතවර්ණ දූපත වන, අයර්ලන්තයේ දේශනා කිරීමට සමිතිය ස්වෙච්ඡා සේවයකයන් කැඳෙව්වා. ඒ අවස්ථාවේ එම දූපතේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සිටියේ 140ක් පමණ බැවින්, එය සලකනු ලැබුවේ මිෂනාරි ක්ෂේත්රයක් හැටියටයි. මාස කීපයක් ඇතුළත, විශේෂ පුරෝගාමින් 40ක් පමණ එතැනට පැවරුම් ලද අතර, මාත් ඔවුන්ගෙන් කෙනෙක් වුණා.
යම් කලකට උතුරේ කොලරෙයින් හා කුක්ස්ටවුන්හි සේවය කිරීමෙන් පසු, තවත් තිදෙනෙක් සමඟ මාව, නැගෙනහිර වෙරළේ ඩ්රොග්හේඩා වෙතට පැවරුම් ලැබුවා. අයර්ලන්ත ජාතිකයන් ස්භාවයෙන්ම උණුසුම් හා ආගන්තුක සත්කාරයට ලැදි අය වුවත්, ආගමික අගතිය ප්‍රබල තත්වයක තිබුණා. මෙසේ සම්පූර්ණ වසරක් පුරාම,
අපට මහජනයා අතට පත් කරන්නට පුළුවන් වුණේ බයිබල් පාඩම් ආධාරක කීපයක් පමණයි.(ඇත්තෙන්ම එක පොතකුයි පොත් පිංච කිහිපයකුයි පමණයි).
අප ඩ්රොග්හේඩාහි නැවතී සිටි කාලය තුළ, මා එක් ගොවිපොළක සිට තවෙකකට බයිසිකලයෙන් යමින් සිටියදී, ගොවිපොළක වැඩ කරන යෞවනයෙක් හදිසියේම පාර අද්දර තිබූ පඳුරු තුළින් මාර්ගයට පිවිසුණා. ඔහු පාරේ දෙපැත්ත බලා, පහත් හඬින් “ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්ද?” කියා ඇසුවා. මම එසේ වෙමියි පිළිතුරු දුන් විට ඔහු තවදුරටත් මෙසේ පවසන්නට වුණා: “ඔය ගොල්ලන් ගැන ඊයේ රාත්‍රියේ මා මගේ පෙම්වතිය සමඟ සැර වාදයක් කළ අතර අප අපේ සම්බන්ධය කඩා දැමුවා. කතෝලික පූජකයන් මෙන්ම පුවත්පත් පවසන ආකාරයට, ඔබලා කොමියුනිස්ට්වාදීන් යයි ඇය තරයේ කියා සිටිනමුත්, ඔබලා විවෘතව ගෙයින් ගෙට යන නිසා එය සැබෑවක් විය නොහැකි යයි මා වාද කළා.”
කියවන්නට මා ඔහුට ලබා දුන් පොත්පිංචය ඔහු සාක්කුවේ සඟවා ගත් අතර, “මා ඔබ සමඟ කථා කරනවා කවුරුත් දැක්කොත්, මට මගේ රැකියාව අහිමි වේවි” යයි ඔහු පැවසූ නිසා, අඳුරු වූ පසු හමු වී තවත් වැඩියෙන් කථා කරන්නට අපි කටයුතු සැලසුම් කර ගත්තා. එම රාත්‍රියේ අප දෙදෙනෙක් ඔහුව හමු වී ඔහුගේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දුන්නා. මෙය සත්‍යය බව ඔහුට ඒත්තු ගිය බවක් පෙනෙන්නට තිබූ අතර තවත් කාරණා ඉගෙන ගැනීමට වෙනත් රාත්‍රියක අපගේ නිවසට එන්නට ඔහු පොරොන්දු වුණා. ඔහු එසේ නොපැමිණි බැවින්, අපට සිතුණේ පළමු රාත්‍රියේ එතැන පසුකර ගිය බයිසිකල්කරුවන් විසින් ඔහුව හඳුනාගෙන, ඇතැම් විට ඔහුගේ රැකියාව අහිමි වන්නට ඇති බවයි. අප නිතර දැනගන්නට කැමැත්තෙන් සිටියේ ඔහු කවදා හරි සාක්ෂිකරුවෙක් වූවාද යන්නයි.
වර්ෂ 1949දී එංගලන්තයේ දකුණු වෙරළේ බ්‍රයිටන්හි පවත්වනු ලැබූ දිස්ත්‍රික්ක සමුළුවට සහභාගි වීමෙන් පසු, අපෙන් කීපදෙනෙක් නිව් යෝර්ක් ජනපදයේ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් වෙත යාමට ආරාධනා ලැබුවා. මෙහි 15වන පන්තියට බ්‍රිතාන්‍යයෙන් 26 දෙනෙක් සහභාගි වූ අතර එහි උපාධි ප්රදානය කරනු ලැබුවේ, 1950 ජූලි 30වන දින යැංකි ක්‍රීඩාංගනයේ පවත්වන ලද ජාත්‍යන්තර සමුළුව තුළදීය.
බ්‍රසීලයේ අපගේ දේව සේවය
ඊළඟ වසරේ ලෝකයේ වඩාත් වේගයෙන්ම වර්ධනය වන නගරයක් වන බ්‍රසීලයේ, සාඕ පවුලෝ වෙතට මා ස්ථාන පැවරුම් ලැබුවා. ඒ අවස්ථාවේදී එහි තිබුණේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා පහක් පමණක් වුවත්, හැබැයි දැන් එහි සභා 600ක් පමණ තිබෙනවා!අයර්ලන්තයේ වැඩ කිරීමට වඩා එය කොතරම් වෙනස්වීද! සාඕ පාවුලෝහි අපගේ ක්ෂේත්රයේ නිවාස බොහොමයක්, කලාත්මක යකඩ ගේට්ටුවලින් හෙබි උස් යකඩ වැටවල් මගින් වටවූ මන්දිරයන් වුණා. අප එම නිවසේ අයිතිකරුවාට හෝ මෙහෙකාරියට කථා කළේ අත්පුඩි ගැසීමෙනුයි.
කාලය ගෙවී යත්ම, අපට අලුත් පැවරුම් ලැබුණා. සාඕ පවුලෝ ප්‍රාන්තයේ අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල අලුත් සභාවන් බිහි කිරිමෙහි උපකාර කිරීමට මට වරප්‍රසාද ලැබුණු අතර 1955 ශුන්ඩියයිහි පිහිටුවන ලද සභාව හා 1958 පිරසකාබාහි පිහිටුවන ලද සභාව මෙයට අයත් වෙනවා. පසුව, 1960දී, මගේ සහෝදරිය වන සෝනියා මගේ මිෂනාරි හවුල්කාරිය වූ අතර, අපව පවරනු ලැබුවේ රියෝ ග්‍රැන්ඩේ ඩො සුල් ප්‍රාන්තයේ අග නගරය වන, පොර්ටෝ ඇලෙග්රේ නම් ස්ථානයටයි. ඇය බ්‍රසීලයට පැමිණියේ කෙසේද? කියා ඔබ කල්පනා කරන්නට පුළුවන.
සෝනියයි අම්මායි IIවන ලෝක යුද්ධයෙන් පසු දිගටම පුරෝගාමි සේවය කරමින් සිටියේ එංගලන්තයේ. එහෙත් 1950 ගණන්වල මුල් භාගයේදී, අම්මා පිළිකා ශල්‍යකර්මයකට භාජනය වූ අතර මෙය ගෙයින් ගෙට යාමට තරම් තත්ත්වයක ඈ නොසිටියත් බයිබල් පාඩම් පැවැත්වීමට හා ලිපි ලිවීමට ඈට හැකි වුණා. සෝනියා දිගටම පුරෝගාමි සේවයේ නියැලී සිටි අතර, ඒත් සමඟම ඇය අම්මාට සාත්තු කිරිමෙහි උපකාර වූවා. වර්ෂ 1959දී, සෝනියාට ගිලියඩ්හි 33වන පන්තියට සහභාගි වීමේ වරප්‍රසාදය ලැබුන අතර ඇය පැවරුම් ලැබුවේ බ්රසීලයටයි. මේ අතර, 1962දී අම්මාගේ මරණය දක්වා බෙරිල් අම්මාට සාත්තු කළා. ඒ වන විට බෙරිල් විවාහ වූ අතර ඇයත් ඇගේ පවුලත් යෙහෝවඃවහන්සේට විශ්වාසනීයව සේවය කරමින් සිටිනවා.
බ්‍රසීලයේදී, සෝනියාත් මාත් කැපවීමට හා බව්තීස්මය ලැබීමට කීපදෙනෙකුට උපකාර කළා.කෙසේවෙතත්, බ්‍රසීලියානු ජාතිකයන් බොහෝ දෙනෙකුට තිබුණ ගැටලුවලින් එකක් නම් තමන්ගේ විවාහය නීත්‍යානුකූල කර ගැනීමයි. දික්කසාදයක් ලබා ගැනීමට බ්‍රසීලයේ තිබූ දුෂ්කරත්වය නිසා, නිත්‍යානුකූලව විවාහ නොවී නිකම් එකට ජීවත්වීම ජෝඩු අතර අසාමාන්‍ය දෙයක් නොවීය. මෙය විශේෂාකාරයෙන් සිදු වී තිබුණේ, කලින් නීත්‍යානුකූලව විවාහ වී සිටි කලත්‍රයාගෙන් එක් කලත්‍රයෙක් වෙන්ව සිටි අවස්ථාවන්හිය.
ඊවා නම් එක් කාන්තාවක් මා හමුවූ විට සිටියේ එම තත්ත්වයේයි. ඇගේ නීත්‍යානුකූල කලත්‍රයා අතුරුදහන් වී සිටි බැවින්, ඔහුව සොයා ගනු පිණිස, අපට ගුවන් විදුලියෙන් නිවේදනයක් කරන්නට සිදු වුණා. ඇගේ ස්වාමිපුරුෂයාව සොයා ගනු ලැබූ විට, ඇය ජීවත්ව සිටි අවිවාහක පුරුෂයා සමඟ ඇති ඇගේ සම්බන්ධතාවය ඇයට නිත්‍යානුකූල කර ගත හැකි ලෙසින්, ඇයව නිදහස් කරන්නා වූ යම් ලියවිල්ලකට ඔහුගේ අත්සන ලබා ගැනීම පිණිස, වෙනත් නගරයකට මම ඇය සමඟ ගියා. විනිශ්චයකාරයා ඉදිරියේ නඩුව විභාග කෙරෙන විට, තමාගේ විවාහ තත්වය නිරවුල් කර ගැනීමට ඇයට වුවමනා වීමට හේතුව පැහැදිලි කරන හැටියට, ඔහු ඊවා හා මගෙන් ඉල්ලා සිටියා. මෙය ඔහුට පැහැදිලි කරනු ලැබූ විට, එම විනිශ්චයකරුවා විමතිය හා සෑහීම පළ කළා.
තවත් අවස්ථාවක, ඇගේ නඩුවට ඉදිරිපත් වීමට නීතිඥයෙක් සූදානම් කිරීම පිණිස මම මගේ බයිබල් ශිෂ්‍යාවක් සමඟ ගියා. එවිටත් විවාහය හා දෙවියන්වහන්සේගේ සදාචාර ප්‍රමිති පිළිබඳ හොඳ සාක්ෂියක් දෙනු ලැබුවා. මේ අවස්ථාවේදී දික්කසාදයේ ගාස්තුව කොතරම් ඉහළ වූවාද කීවොත්, එය ගෙවන්නට කලත්‍රයන් දෙදෙනාටම වැඩ කරන්නට සිදුවුණා. එහෙත් මෙම අලුත් බයිබල් ශිෂ්‍යයන් මේ සඳහා දැරූ ප්රයත්නය වටිනා යමක් වුණා.ඔවුන්ගේ විවාහයට සාක්ෂිකරුවන් වීමේ වරප්‍රසාදය සෝනියාටත් මටත් ලැබුණ අතර, ඉන් පසුව, ඔවුන්ගේ නවයොවුන් වියේ දරුවන් තිදෙනා සමඟ, ඔවුන්ගේ නිවසේදී කෙටි බයිබල් කථාවකට අපි සවන් දුන්නා.
මහඟු, විපාකදායී ජීවිතයක්
සෝනියාත් මාත් අපගේ ජීවිත යෙහෝවඃවහන්සේට කැපකොට, පුරෝගාමින් බවට පත්වූ විට, අප බලාපොරොත්තු වුණේ, අපට හැකියාවක් තිබුණේ නම්, පූර්ණ-කාලීන දේව සේවය අපගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය කරවීමයි. අපගේ ජීවිතයේ පසු කාලයේදී නැතහොත් රෝගාතුර අවස්ථාවේදී එසේත් නැතහොත් මූල්‍ය දුෂ්කරතා ඇති වන විට කුමක් වනු ඇද්දැයි අප වැඩිපුර කල්පනා කළේ නැහැ. එහෙත් යෙහෝවඃවහන්සේ පොරොන්දු වූ ආකාරයට, අපව කවදාවත් අත්හරිනු ලැබුවේ නැහැ.—හෙබ්‍රෙව් 13:6.
එසේය, මුදල් නොමැතිකම ඇතැම් අවස්ථාවන්හි ගැටලුවක් වූ බව සැබෑවක්. එක් අවස්ථාවක, මගේ හවුල්කරු හා මා වසරක් පුරා දිවා ආහාරයට පාර්ස්ලි තැවරූ පාන් පෙති අනුභව කළද, අප කිසිදිනක නිරාහාරව සිටියේ හෝ මූලික අවශ්‍යතා නොමැතිව හෝ සිටියේ නැහැ.
කාලය අවුරුදු වලින් ගෙවීයත්ම, අපගේ ශක්තියද ඒ අනුව අඩු වී තිබෙනවා. වර්ෂ එක්දාස් නවසිය අසූ ගණන්වල මැද භාගයේදී, අප දෙදෙනාම බරපතළ ශල්‍යකර්මවලට මුහුණ දුන් අතර, එය අපට ප්‍රබල පීඩාවක් ඇති කරමින්, අපගේ දේශනා වැඩකටයුතු අතිශයින් සීමා කළා. වර්ෂ 1987 ජනවාරි මාසයේ, බ්‍රසීලයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථාන කාර්ය මණ්ඩලයේ කොටසක් වීමට අපට ආරාධනා ලැබුණා.
දේව සේවකයන් දහසකට වැඩි සංඛ්‍යාවකින් යුත් අපගේ විශාල පවුල, සාඕ පවුලෝට සැතපුම් 90ක් පමණ දුරින් පිහිටි අලංකාරවත් ගොඩනැගිලි සංකීර්ණයක පදිංචි කරවා ඇති අතර බ්රසීලයටත්, දකුණු අමෙරිකාවේ වෙනත් කොටස්වලටත් අවශ්‍ය බයිබල් ප්‍රකාශන, එම ස්ථානයේ අපි මුද්‍රණය කරනවා. දෙවියන්වහන්සේගේ කැපවූ සේවකයන්ගෙන් මෙහිදී අපි ප්‍රේමනීය සැලකිල්ලක් ලබනවා. වර්ෂ 1951දී මා මුලින්ම බ්‍රසීලයට පැමිණි විට, එහි රාජ්‍යය පණිවුඩයේ ප්‍රචාරකයන් 4,000ක් පමණ සිටියත්, දැන් 3,66,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිනවා! අපගේ දයාන්විත ස්වර්ගීය පියාණන්වහන්සේ, අප පළමුකොට රාජ්‍යය සෙවූ නිසා, ‘අන් සියල්ල’ ඇත්ත වශයෙන් ම අපට එක් කර තිබෙනවා.—මතෙව් 6:33
[22වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1939දී, තොරතුරු කරත්තයක් අසල මිල්ඩ්රඩ් විලට් සමඟ සිටින ඔලිව්
[25වන පිටුවේ පින්තූරය]
ඔලිව් හා සෝනියා ස්ප්රිංගේට්