ලෝක ආගමික සම්මේලනය—එය සාර්ථක වේවිද?
වර්ෂ 1993 ග්‍රීෂ්මයේදී, ඇ.එ.ජ.හි, ඉලිනොයි, චිකාගෝහි ලෝක ආගමික දෙවෙන සම්මේලනය [Parliament of World Religions] සඳහා ආගමික නායකයන් සිය ගණනක් රැස් වූහ. බෞද්ධ ධර්මය, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, හින්දු ධර්මය, යුදෙව් ධර්මය සහ ඉස්ලාම් ආගම යන සියල්ල එහිදී නියෝජනය විණි. යකැදුරෝ සහ දේවතාවියන්ට නමස්කාර කරන්නෝද එහි පෙනී සිටියහ. යුද්ධය අවසානයකට ගෙන ඒම සම්බන්ධව තම කාර්යභාරය ගැන ඔවුහු සාකච්ඡා කළෝය. “අද දින ලොවේ පවතින ප්‍රධාන ආරවුල් තුනෙන් දෙකක් පිටුපස ආගම් තිබෙන” බව සම්මේලනයේ සභාපති පිළිගත්තේය.
අවුරුදු සියයකට පෙර
සම්මේලනය සාර්ථක වූවාද? ලෝක ආගම්වල පළමුවෙනි සම්මේලනයේදී සිදුවූ දේ සලකා බලන්න. එයද 1893දී ග්රීෂ්මයේ චිකාගෝහි පැවති අතර, එහිදී ආගම් 40කට වඩා එහි නියෝජනය විය. ලෝක ආගම් සම්මේලනය සඳහාවූ කවුන්සලය එත්තු ගත් පරිදි, වර්ෂ 1893 ඊට පැමිණි අය, “එය අවබෝධයට, සාමයට හා ප්‍රගතියට දායක වනු ඇති ජාත්‍යන්තර අන්තර් ඇදහිලිවල එක්රැස්වීම් මාලාවේ පළමු අදියර වනු ඇතැයි විශ්වාස කළහ. එය එසේ වූයේ නැත. ආගමික නුරුස්නා බව හා ප්රචණ්ඩත්වය පසුගිය වසර 100 පුරා පැවති යුද්ධවල කොටසක් වී ඇති අතර, එය අද දින දක්වාම එසේ වී තිබේ.” අසාර්ථකත්වයට හේතුව කුමක්ද? කුමක්දයත් අන්තර් ඇදහිලි පිළිබඳ මුළු සංකල්පය දෙවියන්වහන්සේ විසින් අනුමත නොකෙරෙන නිසාය. “නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙල්ලා” යයි බයිබලය කියයි.—2 කොරින්ති 6:14-17.
වර්ෂ 1893 සැප්තැම්බර් මස සයන්ස් වොච් ටවර් කලාපය, ලෝක ආගමික සම්මේලනය සඳහා ශුද්ධ ලියවිල්ලෙන් කිසිම අනුබලයක් නොදීම ගැන යෝග්‍ය ලෙස මෙසේ පැවසුවේ, එය මඳක් උපහාසයටද ලක් කරමිනි: “බබිලෝනියාවේ සහ වෙනත් ඉපැරණි නගරවල නටබුන් අතරින් පුදුමාකාර මැටි සිලින්ඩර් බොහොමයක් ඔවුන් විසින් කණිනු ලැබ තිබේ, නමුත් ඇතැම් ඒවා තවමත් සොයා ගෙන නැත. . . . මෝසෙස් හා යෝෂුවා විසින් මෝවබ්වරුන් හා අම්මොන්වරුන්, එදොම්වරුන් සමඟ පැවති ‘ආගමික සම්මේලනයක්’ ගැන පවසන යම් කිසිවක් ඔවුන් විසින් තවමත් සොයා ගනු ලැබ නැත. . . . යෙහෝවඃවහන්සේගේ පූජකයන් සමඟ සම්මේලනයක් පැවැත්වීම සඳහා දාගොන්ගේ පූජකයන්ගේ නියෝජිත පිරිසක් ෂීලෝ වෙත එවන මෙන් ඉල්ලමින් උත්තුංග දේහධාරී සාමුවෙල්, ගාත් හා එක්‍රොන් වෙත පණිවුඩකරුවන් යැවූ බව පවසන යම් කිසිවක් ඔවුන් විසින් සොයා ගෙන නැත. . . . එකිනෙකාගේ ආගම් අතර අන්‍යෝන්‍ය ගෞරවය වැඩි වර්ධනය කිරීමේ අටියෙන්, තම ඇදහිලිවල ප්‍රතිපත්ති පිළිබඳව සතියක සාකච්ඡාවක් සඳහා බාල් හා මොලෙක්ගේ පූජකයන් සමඟ පැවැත්වීමට ගිය ‘සමුළුවක්’ සම්බන්ධව හම්පටි පැළඳ සිටි වයස්ගත එලියා විසින් කරන ලද යෝජනාවක් ගැන කියැවෙන යම් කිසිවක් ඔවුන් විසින් සොයා ගෙන නැත.”
දෙවියන්වහන්සේගේ රාජ්‍යය—එකම බලාපොරොත්තුව
ලෝක ආගමික සම්මේලනය සාර්ථක නොවනු ඇත. පුවත්පත් සහ නියෝජිතයන් සම්මේලනය සඳහා භාවිතා කර ඇත්තේ “අවුල් ජාලයක්,” “ආරවුලක්,” සහ “පිස්සන් කොටුවක්” යන යෙදුම්ය. එක් වාර්තාවක් පවසන පරිදි, දේශපාලන භේද නිසා ඇතිවූ ආරවුල් මැඩපැවැත්වීමට පොලිසියට පවා මැදිහත් වීමට සිදුවිය. වර්ෂ 1952දී එක් ලේඛනයක, මෙම සම්මේලනය එහි අරමුණුවලින් එකක් වශයෙන් මෙසේ ලැයිස්තු ගත කොට තිබේ: “ලෝක සාමය හා සියලු ජනයන් අතර අවබෝධය ඇතිකරලීම සඳහා එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්ථාවර ලෝක ආගමික සම්මේලනයක් පිහිටුවාලීමටය.” මීට පටහැනි ලෙස, යේසුස්වහන්සේ පැවසුවේ සිය රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවන බවය. මිනිස් වර්ගයාගේ ගැටලු සඳහා තිබෙන එකම විසඳුම වශයෙන් බයිබලය ගෙනහැර දක්වන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි.—දානියෙල් 2:44, 45; යොහන් 18:36.