පාඨකයන්ගෙන් ප්‍රශ්න
‘පාපය දොරකඩ ලැගගෙන සිටි බවත්,ඒකේ ආශාව ඔහු කෙරෙහි වූ’ බවත් දෙවියන්වහන්සේ කායින්ට අනතුරු ඇඟවූ සේක. මෙය වන සතෙක් උගේ ගොදුර කෙරෙහි මාන බලන ආකාරය පිළිබිඹු කරන බවක් පෙනේ. (උත්පත්ති 4:7) ජල ගැල්මට පෙර සතුන් ගස් කොළන් පමණක් අනුභව කළා නම්, එම භාෂා ශෛලිය භාවිතා කරනු ලබන්නේ මන්ද?
ඓතිහාසික පසුබිම අනුව ගත් කල, තැනට නොගැළපේ යයි අරුම පුදුම අන්දමින් පෙනිය හැකි, සැබෑ කාරණා සහ ඓතිහාසික සිදුවීම් ගැන කියාපාන පද ගණනාවන් මෝසෙස් විසින් ලියන ලද පෝත් තුළ අපට දක්නට ලැබේ.
උදාහරණයක් වශයෙන්, උත්පත්ති 2:10-14හි වාර්තාව ඒදන් උයන ගැන භූ විද්‍යාත්මක විස්තර ඉදිරිපත් කරයි. මෝසෙස් ලිව්වේ එහි ගංඟා අතරින් එකක් ‘අෂුර් දේශයේ නැගෙනහිර දෙසට ගලා ගිය’ බවයි. එහෙත් අෂුරිය දේශය එම නම ලබා ගත්තේ, ජල ගැල්මෙන් පසුව ඉපදුණ ෂෙම්ගේ පුත්, අෂුර්ගෙන්ය. (උත්පත්ති 10:8-11, 22; එසකියෙල් 27:23; මීකා 5:6) ප්‍රත්‍යක්ෂ ලෙස, ඔහුගේ නිවැරදි, දේවානුභාවයලත් වාර්තාවේ, මෝසෙස් හුදෙක් “අෂුර්” යන වදන භාවිතා කළේ සිය පාඨකයන් හොඳින් දැන සිටි ප්‍රදේශයක් වෙත යොමු දැක්වීමටය.
උත්පත්ති පොතේ මුල් පරිච්ඡේදවලින් වූ තවත් උදාහරණයක් සැලකිල්ලට ගන්න. ආදම් සහ ඒව පව් කර උයනෙන් නෙරපා දැමීමෙන් පසු, යෙහෝවඃවහන්සේ ඔවුන්ව ආපසු උයන වෙත ඒමෙන් වැළැක්වූ සේක. ඒ කෙසේද? උත්පත්ති 3:24 මෙසේ පවසයි: “උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.” මෙහි සඳහන් ‘ගිනිමයවූ කඩුව’ සැලකිල්ලට ගන්න. කඩුවල නිමවුම්කරු දෙවියන්වහන්සේ වීද?
කඩු හැටියට අප හඳුනන උපකරණය සෑදූ පළමුවන තැනැත්තා අපගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන් බව අප නිගමනය කළ යුතු නැත. ගිනිමය වූ කරකැවෙන යමක් දේව දූතයන් ඉදිරියේ තිබෙනවා ආදම් සහ ඒව දකින්නට ඇත. එය හරියටම කුමක් වීද? මෝසෙස් උත්පත්ති පොත ලියූ කාලය වන විට, කඩු කවුරුත් දන්නා මෙන්ම යුද්ධවලදී පාවිච්චි කරන යමක් විය. (උත්පත්ති 31:26; 34:26; 48:22; නික්මයාම 5:21; 17:13) එබැවින්, “ගිනිමයවූ කඩුවක්” යන මෝසෙස්ගේ වදන්, ඒදන් උයනට ඇතුල්වන තැන තිබූ දෙය යම්තාක් දුරට සිතෙන් මවා ගැනීමට සිය පාඨකයන් හට හැකියාවක් ලබා දුණි. මෝසෙස්ගේ දවසේ දැන සිටි තොරතුරු එවන් කාරණා තේරුම් ගැනීමට දායක විය. තවද මෝසෙස් යොදාගත් වදන්, යෙහෝවඃවහන්සේ එය බයිබලයට ඇතුළත් කර ගත් බැවින්, නිවැරදි වූවා විය යුතුය.—2 තිමෝති 3:16.
දැන් උත්පත්ති 4:7 ගැන කුමක් කිව හැකිද? එහිදී දෙවියන්වහන්සේ කායින්ට අනතුරු ඇඟවූයේ: “නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිය” යනුවෙනි. කලින් සඳහන් කළ පරිදි, එම වදන්වලින් මූර්තිමත් කරන බව පෙනෙන්නට ඇත්තේ හදිසියෙන් පැන ගොදුර අල්ලා ගිල දැමීමට මාන බලමින් ලැග සිටින සාගිනිවූ වනසතෙකුගේ රූපයකි.
කෙසේදයත්, බයිබලයේ සාක්ෂි පෙන්වන්නේ ආදම් සහ ඒව සියලු සත්ත්වයන් සමඟ සාමයෙන් සිටි බවය. ඇතැම් සත්ත්වයන් මනුෂ්‍යයන් වටා සිටියදී, යම් ප්‍රමාණයක පහසුවකින්, සමහරවිට ඔවුන් වටා සිටීමෙන් ප්‍රයෝජන පවා අත්කර ගනිමින් සිටින්නට ඇත. අන්‍යයන් ස්වභාවයෙන්ම මනුෂ්‍යයන්ගෙන් වෙන්ව වාසය කරන්නට සෙවූ, වනසතුන් වන්නට ඇත. (උත්පත්ති 1:25, 30; 2:19) එහෙත් කිසිඳු සත්ත්වයෙක් වෙනත් සත්ත්වයන් හෝ මනුෂ්‍යයන් මරා කෑ බව බයිබලය අඟවන්නේ නැත. මූලාරම්භයේදී, දෙවියන්වහන්සේ සත්ත්වයන් හා මනුෂ්‍යයන් යන දෙපිරිස සඳහාම ආහාරය හැටියට නිශ්චිත වශයෙන් නියම කළේ ශාකය. (උත්පත්ති 1:29, 30; 7:14-16) උත්පත්ති 9:2-5 අඟවන ආකාරයට, ජල ගැල්ම නිම වනතෙක්, එය වෙනස් වූයේ නැත.
එසේ නම්, උත්පත්ති 4:7හි අප කියවන ආකාරයට, කායින්ට කළ දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම ගැන කුමක් කිව හැකිද? ස්ථීර වශයෙන්ම, ගොදුර මත පනින්නට සූදානමින් ලැග සිටින ම්ලේච්ඡ මෘගයෙකුගේ ප්‍රතිරූපය මෝසෙස්ගේ දවසේ පහසුවෙන්ම තේරුම් ගන්නට ඇති අතර අපටත් එය තේරුම් ගත හැක්කකි. එබැවින්, නැවතත්, මෝසෙස් පාවිච්චි කරන්නට ඇත්තේ, ජල ගැල්මෙන් පසු ලෝකයේ පාඨකයන් හොඳින් දැන සිටි ශාෂා ශෛලියක් වන්නට ඇත. තවද කායින් එවන් සත්ත්වයෙක් කවදාවත් නොදකින්නට ඇතත්, ඔහු තුළ තිබූ පාපතර ආශාව සාගිනි, කෑදර වනසතෙකුට සමාන කළ අනතුරු ඇඟවීමක අදහස ලබා ගන්නට ඔහුට පුළුවන් වන්නට ඇත.
ස්ථිර වශයෙන්ම අප කෙරෙහි වඩාත් වැඩි බලපෑමක් ඇති කළ යුතු මූලික අංග වනුයේ, කායින්ට අනතුරු ඇඟවීමෙහිලා දෙවියන්වහන්සේගේ කරුණාවන්තකම, යටහත්ව උපදෙස් පිළිගැනීමේ වටිනාකම, ඊර්ෂ්‍යාව කොතරම් පහසුවෙන් කෙනෙකුව දූෂ්‍ය කරන්නට පුළුවන්ද යනවග හා අප වෙනුවෙන් ශුද්ධ ලියවිල්ලේ දෙවියන්වහන්සේ විසින් ඇතුලත් කරන ලද වෙනත් දිව්‍ය අනතුරු ඇඟවීම් අප කොතරම් බරපතළ ලෙස ගණන් ගත යුතුද යන මේවාය.—නික්මයාම 18:20; දේශනාකාරයා 12:12; එසකියෙල් 3:17-21; 1 කොරින්ති 10:11; හෙබ්‍රෙව් 12:11; යාකොබ් 1:14, 15; යූද් 7, 11.