වෙනස් ආකල්පයන් ඇති කරගත් සහෝදරයෝ
දෙමාපියන් විසින් ගනු ලබන තීරණ දරුවන්ට අනිවාර්යයෙන්ම බලපාන්නකි. අදදින මෙන්ම ඈත අතීතයේ ඒදන් උයනේදීද එය සැබෑවක් විය. ආදම් සහ ඒවගේ කැරලිකාරකම නිසාවෙන් සියලු මනුෂ්‍යවර්ගයාට මෙතෙකැයි කිව නොහැකි තරම් බලපෑමක් ඇති විය. (උත්පත්ති 2:15, 16; 3:1-6; රෝම 5:12) එනමුදු අප සතුටු නම් අප සෑම කෙනෙකුටම අපගේ මැවුම්කරු සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත හැකියි. ඒ බව මිනිස් ඉතිහාසයේ මුල් සහෝදරයන් වන කායින් සහ ආබෙල් පිළිබඳ වාර්තාවෙන් සනාථ වෙයි.
ඒදන් උයනෙන් ආදම් සහ ඒවව පිටුවහල් කළ පසු දෙවි ඔවුන් සමඟ කතා කළ බවක් බයිබලයේ වාර්තා වන්නේ නැත. නමුත් යෙහෝවා ඔවුන්ගේ දරුවන් සමඟ අදහස් හුවමාරු කළේය. සිදු වුණ දේ පිළිබඳව කායින් සහ ආබෙල් තම මාපියන්ගෙන් දැනගන්නට ඇති බව නිසැකයි. ‘ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැඟෙනහිරෙන් සිටි කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවද’ ඔවුන්ගේ නෙත ගැටෙන්න ඇති. (උත්පත්ති 3:24) එමෙන්ම මෙම මනුෂ්‍යයෝ ජීවිතයේ සියලු දවස්වලදී වෙහෙසීම හා වේදනාව අද්දැකීමට සිදු වෙයි කියා දෙවි කියූ ප්‍රකාශ සත්‍යයක් බව අද්දුටුවෝය.—උත්පත්ති 3:16, 19.
යෙහෝවා විසින් සර්පයාට පවසනු ලැබූ වචනද කායින් සහ ආබෙල් දැන සිටින්න ඇති. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) යෙහෝවා පිළිබඳව කායින් සහ ආබෙල් දැනගත් දේ ඔහු සමඟ පිළිගත හැකි සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට හැකියාවක් ලබා දුණි.
යෙහෝවාගේ අනාවැකි පිළිබඳවත්, ප්‍රේමනීය සැපයුම්කරුවෙක් වශයෙන් ඔහු සතු ගුණාංග පිළිබඳවත් සෝදිසි කර බැලීමෙන් කායින් සහ ආබෙල් තුළ දිව්‍ය අනුමැතිය ලබාගැනීමේ ආශාවක් මතු වන්න ඇති. නමුත් ඔවුන් එම ආශාව කොතරම් දුරකට වඩවාගනීවිද? දෙවිට නමස්කාර කිරීමට තිබෙන සහජ ආශාවත් ඔහු කෙරෙහි ඇදහිල්ලක් ඇති වන තරමට තම ආත්මිකත්වයත් ඔවුන් වර්ධනය කරගනීවිද?—මතෙව් 5:3, NW.
පූජා රැගෙන ආ සහෝදරයෝ
යම් කාලයක් යන විට කායින් සහ ආබෙල් දෙවිට පූජා රැගෙන ආහ. කායින් තමන් වගා කළ දෙයින් පූජාවක් රැගෙන ආ අතර ආබෙල් තම බැටළු රැළෙන් කුලුඳුල් සතුන්ව රැගෙන ආවේය. (උත්පත්ති 4:3, 4) ඒ වන විට කායින් සහ ආබෙල් පසු වුණේ සියවන වියේ පමණයයයි සිතිය හැකියි. මන්ද ආදම්ට තම පුත් සෙත් ලැබෙන විට ඔහුට වයස අවුරුදු 130යි.—උත්පත්ති 4:25; 5:3.
ඔවුන්ගේ පූජාවලින් පැහැදිලි වූයේ කායින් සහ ආබෙල් තම පව්කාර තත්වය තේරුම්ගත් බවත් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබූ බවත්ය. එමෙන්ම සර්පයා සහ ස්ත්‍රියගේ වංශය පිළිබඳ යෙහෝවාගේ පොරොන්දුව ගැනත් යම් අදහසක් ඔවුන්ගේ මනසේ තිබෙන්න ඇති. යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට කායින් සහ ආබෙල් කොයිතරම් කාලයක් වැය කළාද, කෙබඳු වෑයමක් දැරුවාද කියා සඳහන් වී නැත. නමුත් ඔවුන්ගේ පූජාවන්ට දෙවි දැක්වූ ප්‍රතිචාරය මගින් දෙදෙනා තුළ තිබූ යටි අදහස් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.
කායින් ඉපදුණු අවස්ථාවේදී “[යෙහෝවාගේ උපකාර ඇතුව, NW] මනුෂ්‍යයෙකු ලබාගතිමියි කියා” ඒව පැවසූ නිසා සර්පයාව විනාශ කරන “වංශය” කායින් කියා ඒව සිතූ බව සමහර විශාරදයන්ගේ අදහසයි. (උත්පත්ති 4:1) කායින්ද එම අදහසම දැරුවා නම් එය මුළුමනින්ම වැරදියි. නමුත් ආබෙල් පූජාව ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමනිසා “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් [දෙවිට] ඔප්පු කළේය.”—හෙබ්‍රෙව් 11:4.
මෙම සහෝදරයන් දෙදෙනා එකිනෙකාට වෙනස් වූයේ ආබෙල්ට පුළුල් ආත්මික අවබෝධයක් තිබීමත් කායින්ට මද ආත්මික අවබෝධයක් තිබීමත් නිසාම නොවෙයි. ඔවුන්ගේ ආකල්පවල පවා වෙනස්කම් තිබිණ. එමනිසා, ‘යෙහෝවා ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකුවේය. එහෙත් ඔහු කායින් සහ ඔහුගේ පඬුර නොසැලකුවේය.’ කායින් තම පූජාව ඔප්පු කිරීම සැහැල්ලුවට තැකූ අතර එය දිය යුතු නිසා දුන් බවක් සිතාගත හැකිය. කිසිදු හැඟීමකින් තොරව කළ නමස්කාරය දෙවි පිළිගත්තේ නැත. කායින් දුෂ්ට සිතක් ඇති කරගෙන තිබූ අතර ඔහු තුළ වැරදි චේතනා තිබූ බව යෙහෝවාට තේරුම්ගියේය. කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප වූ විට ඔහුගේ නියම ස්වභාවය දිස් විය. ඔහු තම ආකල්ප සහ සිතුවිලි නිවැරදි කරගන්නවා වෙනුවට “අතිශයෙන් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය.” (උත්පත්ති 4:5) ඔහුගේ ක්‍රියාකලාපය තුළින් ඔහුගේ දුෂ්ට අදහස් සහ චේතනා දැකගැනීමට හැකි විය.
අනතුරු ඇඟවීම සහ ප්‍රතික්‍රියාව
දෙවි කායින්ගේ අදහස් දැනගත් විට මෙසේ අනතුරු ඇඟවීය. “නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? නුඹ යහපත [කරන්නෙහි] නම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි. ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය කෙරෙහි ආණ්ඩු කරන්නෙහිය.”—උත්පත්ති 4:6, 7.
මෙයින් අපට පාඩමක් උගත හැකියි. එනම් පාපය දොර ළඟ සැඟවී අපව ගිලගැනීමට මාන බලයි. නමුත් දෙවි අපට නිදහස් කැමැත්ත දී ඇති නිසා හරි දේ කිරීම අපට තෝරාගත හැකියි. යෙහෝවා කායින්ට ‘යහපත කරන්න’ කියා ආරාධනා කළ නමුත් වෙනස් වෙන්න කියා ඔහුට බල කළේ නැත. කායින් විසින්ම ඔහුගේ මාර්ගය තෝරාගත්තේය.
ආනුභාවය ලත් වාර්තාව මෙසේ තවදුරටත් පවසයි. “කායින් තමාගේ සහෝදර වූ ආබෙල්ට කතා කළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදර වූ ආබෙල්ට විරුද්ධව නැඟිට ඔහු මැරුවේය.” (උත්පත්ති 4:8) කායින් අකීකරු වූවා පමණක් නොව හිතක් පපුවක් නොමැතිව අහිංසක ලේ නිරපරාදේ වැගිරුවේය. “නුඹේ සහෝදර වූ ආබෙල් කොහේදැයි?” යෙහෝවා කායින්ගෙන් ඇසූ විට ඔහු පසුතැවිලි වීමේ අල්ප මාත්‍රයක්වත් පෙන්නුම් නොකරමින් ඉතා රළු හා අහංකාර ලෙස “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ රැකවලාද?” කියා ඇසීය. (උත්පත්ති 4:9) චකිතයකින් තොරව කිවූ මුසාව හා වරද භාරගැනීමට අකමැති වීම මගින් කායින් හිතක් පපුවක් නැති කෙනෙකු බව දිස් විය.
යෙහෝවා කායින්ට ශාප කර ඒදන් උයනට නුදුරින් සිටි ඔහුව එම ස්ථානයෙන් පිටමං කළේය. ඒ වන විටත් භූමියට ශාප කර තිබූ නිසා කායින්ට එම ශාපයේ ප්‍රතිඵල වඩා දරුණු ලෙස බලපෑ අතර භූමියෙන් ඔහුට සාරවත් අස්වැන්නක් ලැබුණේ නැත. ඔහු කල් යැව්වේ භූමියේ තැනින් තැනට පලායන්නෙකු ලෙසයි. කායින්ට ලබා දුන් දඬුවමේ දරුණුකම ගැන ඔහු කළ චෝදනාවෙන් පැහැදිලි වන්නේ තම සහෝදරයාව මැරීම නිසා යමෙකු තමාගෙන් පළිගනීවි යන බිය ඔහු තුළ තිබූ බවයි. එනමුදු ඔහු අවංක පසුතැවිල්ලක් පෙන්නුම් නොකළේය. යෙහෝවා කායින්ට ලබා දුන්නේ අනිත් අය දන්නා මෙන්ම භාවිතයට ගත් ‘ලකුණකි.’ එවැනි ලකුණක් දුන්නේ අන් අය විසින් ඔහුව ඝාතනය කිරීම වැළැක්වීමටයි.—උත්පත්ති 4:10-15.
කායින් “[යෙහෝවා] ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කළේය.” (උත්පත්ති 4:16) ඔහු තම සහෝදරියන්ගෙන් කෙනෙකු හෝ තම ඥාති දියණියන්ගෙන් කෙනෙකු සහේට ගත්තේය. ඉන්පසු නුවරක් ගොඩනඟා තම කුලුඳුල් පුත්‍රයා වන ඒනොක්ගේ නමින් එම නුවර නම් කළේය. කායින්ගෙන් පැවතෙන්නෙකු වූ ලාමෙක් තම අභක්තික මුතුන්මිත්තා මෙන් අභක්තික පුද්ගලයෙකු විය. නමුත් නෝවාගේ ජලගැල්මේදී කායින්ගේ පරම්පරාව මුළුමනින්ම විනාශ විය.—උත්පත්ති 4:17-24.
අපට පාඩමක්
කායින් සහ ආබෙල්ගේ වාර්තාවෙන් අපට පාඩමක් උගත හැකියි. “තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින්” මෙන් නොවී එකිනෙකාට ප්‍රේම කරන්න කියා ප්‍රේරිත යොහන් ක්‍රිස්තියානීන්ගෙන් අයැදියි. මන්ද, කායින්ගේ ‘ක්‍රියා නපුරුව, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණේය.’ යොහන් තවදුරටත් සඳහන් කරන්නේ මෙසේයි. “තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුය.” ඔව්, අප අපේ සෙසු ක්‍රිස්තියානීන්ට සලකන ආකාරය, දෙවිත් අපත් අතර ඇති සම්බන්ධයට සහ අපගේ අනාගතික ජීවිතයට බලපාන්නකි. අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට වෛර කරමින් දෙවිගේ අනුමැතිය භුක්ති විඳීමට අපට නොහැක.—1 යොහන් 3:11-15; 4:20.
කායින් සහ ආබෙල් හැදී වැඩුණේ එකම පරිසරයක විය හැකියි. නමුත් දෙවි කෙරෙහි කායින්ට තිබුණේ මද ඇදහිල්ලකි. ඇත්තෙන්ම ඔහු පිළිබිඹු කළේ පටන්ගැන්මේ සිට ‘මිනීමරන්නෙකු වූත් බොරුවේ පියා වූත්’ යක්ෂයාගේ ස්වභාවයයි. (යොහන් 8:44) අප සැම තේරීමක් කළ යුතු බව කායින්ගේ ජීවන රටාවෙන් දැකගත හැකියි. පාපතර ජීවන රටාවක් තෝරාගන්නා අය දෙවිගෙන් ඈත් වන අතර පසුතැවිලි නොවන පව්කාරයන් මතට යෙහෝවා තම විනිශ්චය ක්‍රියාත්මක කරනු ඇත.
ආබෙල් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබුවේය. “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් [දෙවිට] ඔප්පු කළේය. ඔහුගේ දීමනා ගැන [දෙවි] සාක්ෂි දුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය.” ලියවිලිවල ආබෙල් පැවසූ එක් වදනක්වත් සඳහන් වී නැත. එනමුදු ඔහුගේ අද්විතීය ඇදහිල්ල නිසා ඔහු “තවම කතා කරන්නේය.”—හෙබ්‍රෙව් 11:4.
අඛණ්ඩතාවය පැවැත්වූවන්ගේ දීර්ඝ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ ආබෙල්ය. ඔහුගේ ලෙයෙහි ‘ශබ්දය භූමියෙන් යෙහෝවාට නැඟූ හඬ’ තවම අමතක වී නොමැත. (උත්පත්ති 4:10; ලූක් 11:48-51) අපත් ආබෙල් මෙන් ඇදහිල්ල ක්‍රියාවට නැඟුවොත් අපටත් යෙහෝවා සමඟ අගනා එමෙන්ම සදාකාලික සම්බන්ධතාවයක් භුක්ති විඳිය හැකියි.
[22වන පිටුවේ කොටුව]
ගොවියෙක් සහ එඬේරෙක්
දෙවි ආරම්භයේ ආදම්ට දුන් වගකීම්වලට වගා කිරීම සහ සතුන්ව රැකබලා ගැනීම ඇතුළත් වී තිබුණි. (උත්පත්ති 1:28; 2:15; 3:23) ඔහුගේ පුත් කායින් කෘෂි කර්මාන්තය කරගෙන ගිය අතර ආබෙල් එඬේරෙක් විය. (උත්පත්ති 4:2) ජලගැල්ම දක්වා මනුෂ්‍යයා අනුභව කළේ එළවළු සහ පලතුරු පමණක් නම් සතුන්ව ඇති කළේ මන්ද?—උත්පත්ති 1:29; 9:3, 4.
ඇත්තෙන්ම බැටළුවන්ට මනුෂ්‍ය රැකවරණය අවශ්‍යයි. ආබෙල්ගේ රැකියාවෙන් පැහැදිලි වන්නේ මෙම සතුන්ව මනුෂ්‍යයන් ඇති කිරීමට පටන්ගත්තේ මනුෂ්‍ය ඉතිහාසයේ ආරම්භයේ සිට බවයි. ජලගැල්මට පෙර සිටි මනුෂ්‍යයන් සතුන්ගේ කිරි ආහාරයට එක් කරගත්තාද යන්න ගැන ලියවිලිවල කිසිදු සඳහනක් කර නැත. එළවළු ආහාරයට ගත්තද බැටළු ලොම් වෙනත් අරමුණු සඳහා භාවිතා කළ හැකියි. බැටළුවන් මිය ගිය විට උන්ගේ සම්වලින් ප්‍රයෝජන රාශියක් ගත හැකියි. ආදම් සහ ඒවට යෙහෝවා ‘ඇඳුම් සාදා ඇන්දවූයේ සම්වලින්ය.’ —උත්පත්ති 3:21.
කාරණා කටයුතු කුමක් වුවත්, ඔවුන් පවුලේ අනෙක් අයට කන්න අඳින්න අවශ්‍ය දේ නිපදවූ නිසා කායින් සහ ආබෙල් ආරම්භයේදී සහයෝගයෙන් කටයුතු කරන්න ඇතැයි කියා සිතීම සාධාරණයි.
[23වන පිටුවේ පින්තූරය]
කායින්ගේ ‘ක්‍රියා නපුරුව තිබූ නමුත් ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණි’