ඔබ ලෝකයේ ස්වභාවයට එරෙහි වෙමින් සිටින්නෙහිද?
“ලෝකයේ ආත්මය [ස්වභාවය, NW] නොව, දෙවියන්වහන්සේගේ ආත්මය ලැබීමුව.”—1 කොරින්ති 2:12.
1, 2. ඉන්දියාවේ භෝපාල් නගරයේදී, විෂසහිත වායුවක් සම්බන්ධයෙන් ඇතිවූ ව්‍යසනය කුමක්ද, නමුත් අප අවට ලෝකයා විසින් ආශ්වාස කරමින් තිබෙන වඩාත් මාරාන්තික “වායුව” කුමක්ද?
වර්ෂ 1984 දෙසැම්බර් මස එක් ශාන්ත රාත්‍රියක, ඉන්දියාවේ භෝපාල්හි කම්පිත කරවන යම් දෙයක් සිදුවිය. එම නගරයේ, රසායනික ද්‍රව්‍යය කර්මාන්ත ශාලාවක් ඇති අතර, දෙසැම්බරයේ එම රාත්‍රියේ, එහි එක් වායු ගබඩා ටැංකියක කපාටයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීය. හදිසියේම, මෙතිල් අයිසොසයනේට් ටොන් ගණනාවක් වාතය තුළට ගලා යාමට පටන් ගති. සුළඟට හසුවුණු මෙම මාරාන්තික වායුව නිවෙස් තුළටද නිදා සිටි පවුල් වෙතටද වේගයෙන් ගසාගෙන ගියේය. ඉන් මියගිය සංඛ්‍යාව දහස් ගණනක් වූ අතර, තවත් විශාල සංඛ්‍යාවක් අංගවිකල වූ ආබාධිතයන් බවට පත්වූහ. එම කාලය දක්වා සිදුවූ ඉතා දරුණුම කාර්මික අනතුර එය වූයේය.
2 භෝපාල් නගරයේ සිද්ධිය ඇසූ ජනයා ශෝක වූහ. එහෙත්, එය මාරාන්තික වුවද, එහි පිටවූ වායුවෙන් මියගිය සංඛ්‍යාව, සෑම දිනකම ලොව වටා වෙසෙන ජනයා ආශ්වාස කරන “වායුවකින්” ආත්මිකව මරා දමන මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝසෙයින් අඩුය. බයිබලය එය, “මේ ලෝකයේ ස්වභාවය” [NW] ලෙස හඳුන්වයි. “දෙවියන්වහන්සේ අපට [කාරුණිකව, NW] දෙනලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය [ස්වභාවය, NW] නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව” යනුවෙන් ප්‍රේරිත පාවුල් පවසන විට, ඔහු දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ පරස්පරයක් ලෙස සඳහන් කළ මාරාන්තික වාතාවරණය මෙයයි.—1 කොරින්ති 2:12.
3. “මේ ලෝකයේ ස්වභාවය” යනු කුමක්ද?
3 “මේ ලෝකයේ ස්වභාවය” හරියටම කුමක්ද? ද නිව් තැයර්ස් ග්‍රීක් ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්ට අනුව, “ස්වභාවය [spirit] (ග්‍රීක්, නියූʹමා)” යන වචනයේ සාමාන්‍ය අර්ථය නම්, “ඕනෑම කෙනෙකුගේ ආත්මය පුරවන හා පාලනය කරන තත්ත්වය හෝ බලපෑමය.” යම් පුද්ගලයෙකුට හොඳ හෝ නරක ස්වභාවයක් හෙවත් තත්ත්වයක් ඇතිව සිටිය හැක. (ගීතාවලිය 51:10; 2 තිමෝති 4:22) මිනිසුන් කණ්ඩායමකටද යම් ස්වභාවයක් හෙවත් ඔවුන් කෙරෙහි බලපවත්වන යම් තත්ත්වයක් ඇතිව සිටිය හැක. ප්‍රේරිත පාවුල් තම මිත්‍ර පිලෙමොන්ට මෙසේ ලීවේය: “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ [ලබන්ට නොවටිනා තරම්වූ, NW] කරුණාව නුඹලාගේ ආත්ම [ස්වභාවයන්, NW] සමඟ වේවා.” (පිලෙමොන් 25) ඒ හා සමානව—නමුත් ඉතා විශාල පරිමාණයෙන්—ලෝකයා පොදුවේ ඉතා ප්‍රබල එක්තරා තත්ත්වයක සිටින අතර, පාවුල් විසින් යොමු දක්වන ලද “මේ ලෝකයේ ස්වභාවය” මෙයයි. වින්සන්ට්ගේ වර්ඩ් ස්ටඩීස් ඉන් ද නිව් ටෙස්ටමන්ට්ට අනුව, “මෙම යෙදුමෙන් අදහස් කරන්නේ, යළි පුනරුත්ථාපනය කළ නොහැකි ලෝකය ප්‍රාණවත් කරවන නපුර පිළිබඳ ප්රතිපත්තියයි.” එය වනාහි, මෙම ලෝකයේ සිතිවිලිවලට කාවැදී ඇති, ජනයා ක්‍රියා කරන ආකාරය ප්‍රබල ලෙස බලපෑමට ලක් කරන පව්කාර ප්රවණතාවයයි.
4. මේ ලෝකයේ ස්වභාවයේ උල්පත කවුද, තවද මෙම ස්වභාවය මිනිසුන් මත ඇති කරන බලපෑම කුමක්ද?
4 මෙම ස්වභාවය විෂ සහිතය. මන්ද? එය නිකුත්වන්නේ “මේ ලෝකයේ පාලකයා” වන සාතන්ගෙන් වන බැවිනි. ඇත්තෙන්ම, ඔහුව හඳුන්වා ඇත්තේ, “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය [ස්වභාවය, NW] වන ආකාශයේ බලයේ අධිපතියා” ලෙසය. (යොහන් 12:31, NW; එපීස 2:2) මෙම ‘ආකාශයෙන්’ හෙවත් ‘අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මයෙන් [ස්වභාවයෙන්, NW]’ බේරීම අසීරුය. එය මිනිස් සමාජයේ සෑමතැනකම තිබේ. අප එය ආශ්වාස කරන්නේ නම්, අපි එහි ආකල්ප, එහි ඉලක්කවලට සකස් වීමට පටන් ගන්නෙමු. මෙම ලෝකයේ ස්වභාවයෙන් දිරිගැන්වෙන්නේ, ‘මාංසයට අනුව ජීවත් වීමටය,’ එනම්, අපගේ පව්කාර අසම්පූර්ණකමට අනුකූලව ජීවත් වීමටය. එය මාරාන්තිකය, “මන්දයත්, ඔබ මාංසයට අනුකූලව ජීවත් වෙනවා නම්, ඔබ මියයනවා නියතය.”—රෝම 8:13, NW.
මේ ලෝකයේ ස්වභාවය මඟ හැරීම
5. භෝපාල් නගරයේ ව්‍යසනයේදී එක් සාක්ෂිකරුවෙක් ඥානවන්ත ලෙස ක්‍රියා කළේ කෙසේද?
5 භෝපාල්හි ව්‍යසනයේදී, යෙහෝවඃවහන්සේගේ එක් සාක්ෂිකරුවෙක් අනතුරු හඟවන නළා හඬින් සහ විෂ වායුවේ කටුක ගන්ධය මගින් අවදි විණි. අප්‍රමාදව තම පවුලේ අය අවදි කරවා ගත් ඔහු, සැණෙකින් ඔවුන්ද කැටුව මාවතට පිවිසියේය. සුළඟේ දිසාව වටහා ගැනීමට මඳක් නැවතුණු හේ, වියවුල් වූ සමූහයා අතරින් දැඩි පරිශ්‍රමයෙන් යුතුව තම පවුලේ අයව නගරයෙන් පිටත කන්දක් මුදුනට මෙහෙයවීය. එහිදී ඔවුන්ට තම පෙණහලු, අසල වූ විලකින් හැමූ නැවුම්, පිරිසිදු වායුවෙන් පුරවා ගැනීමට හැකි විණි.
6. මේ ලෝකයේ ස්වභාවයෙන් බේරීමට අපට යා හැක්කේ කොතැනකටද?
6 මෙම ලෝකයේ විෂසහිත “වායුවෙන්” බේරීම සඳහා ආරක්ෂාව පතා අපට යා හැකි යම් උසස්ථානයක් තිබේද? එසේ තිබෙන බව බයිබලය පවසයි. අපගේ කාලය දෙස බලමින්, අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේය: “මතු දවස්වලදී [දවස්වල අවසාන භාගයේදී, NW] ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වන සේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.” (යෙසායා 2:2, 3) මෙම ලෝකයේ හුස්ම හිරකරවන විෂසහිත වායුවෙන් තොරවූ, මෙම ග්‍රහයා මත තිබෙන එකම පිහිටීම නම්, ඉහළින් පිහිටි, “යෙහෝවඃවහන්සේගේ ගෘහයේ කන්ද” හෙවත් නිර්මල නමස්කාරයේ උසස්ථානයයි. ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් අතර යෙහෝවඃවහන්සේගේ ආත්මය නිදහසේ ගලා යන්නේ එතැනය.
7. මේ ලෝකයේ ස්වභාවයෙන් බොහෝ දෙනෙක් ගැලවී ඇත්තේ කෙසේද?
7 මෙම ලෝකයේ ස්වභාවය මීට පෙර ආශ්වාස කර තිබෙන බොහෝ දෙනා, භෝපාල්හි එම සාක්ෂිකරුවා විසින් අද්දැක්කාවූ සහනයට සමාන සහනයක් භුක්ති විඳ තිබේ. මෙම ලෝකයේ වාතය, හෙවත් ස්වභාවය ආශ්වාස කරන “අකීකරුකමේ පුත්‍රයන්” ගැන කථා කළායින් පසු, ප්‍රේරිත පාවුල් මෙසේ කියයි: “ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අයමෙන් උදහසේ දරුවෝව සිටියෙමුව. නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේමකළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, . . . ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්ක[ළ] . . . සේක.” (එපීස 2:3-5) වෙන කිසිවක් නොව නමුත් මෙම ලෝකයේ විෂසහිත වාතය ආශ්වාස කරන අය ආත්මික අර්ථයකින් මැරී සිටිති. කෙසේවුවද, යෙහෝවඃවහන්සේට ස්තුති වන්නට, අදදින මිලියන ගණනක් උස් ආත්මික බිම කරා පලා යමින් සිටින අතර, එම මාරාන්තික තත්ත්වයෙන් බේරී යති.
“ලෝක ස්වභාවයේ” ප්‍රකාශ වීම්
8, 9. (අ) මේ ලෝකයේ ස්වභාවයට එරෙහිව අප නිරතුරුවම සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවට කුමකින් පෙන්වයිද? (ආ) සාතන්ගේ ස්වභාවයට අප දූෂණය කළ හැක්කේ කෙසේද?
8 සාතන්ගේ මෙම මරණය-ගෙනදෙන වාතය අප වටා තවමත් වේගයෙන් ගසාගෙන යමින් තිබේ. අප සුපරීක්ෂාවෙන් සිටිය යුතු අතර, සමහරවිට ආත්මිකව හුස්ම හිරවී යා හැකි පරිද්දෙන්, අප යළිත් කිසිවිටෙකත් මේ ලෝකය තුළට පහතට නොදැනුවත්වම ඇදී නොයා යුතුයි. නිරතුරුවම දැඩි සුපරීක්ෂාවෙන් සිටීම මේ සඳහා අවශ්‍ය කරයි. (ලූක් 21:36; 1 කොරින්ති 16:13) නිදසුනක් වශයෙන්, මෙම සැබෑ කරුණ සැලකිල්ලට ගන්න. සියලු ක්‍රිස්තියානිහු යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන හුරුපුරුදුව සිටින අතර, කාමමිථ්‍යාචාරය, වේශ්‍යාකම, සමලිංගික සේවනය වැනි අපිරිසිදු පුරුදු පිළිගත හැකි ඒවා බවට කිසිවිටෙකත් එකඟ නොවෙති. එහෙත්, යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙන් සෑම වසරකම පුද්ගලයන් 40,000ක් පමණ සභා ඇසුරෙන් කපා හරිනු ලැබේ. ඒ මන්ද? බොහෝ සිද්ධීන්වලදී, එම අපිරිසිදු පුරුදු නිසාමය. එය සිදුවිය හැක්කේ කෙසේද?
9 මක්නිසාද අප සියලු දෙනාම අසම්පූර්ණය. මාංසය දුර්වලය, තවද අපගේ හෘදය තුළ මතුවන වැරදි ප්රවණතාවන්ට එරෙහිව නිරතුරුව සටන් කිරීමට අපට සිදුවේ. (දේශනාකාරයා 7:20; යෙරෙමියා 17:9) කෙසේවුවද, මෙම වැරදි ප්රවණතා පොලඹවනු ලබන්නේ මෙම ලෝකයේ ස්වභාවය මගිනි. මෙම ලෝකයේ බොහෝ දෙනෙක් දකින්නේ දුරාචාරයේ කිසි වරදක් නැති බවය, එමෙන්ම ඕනෑම දෙයක් කම්නැත යන අදහස සාතන්ගේ දේවල පිළිවෙළේ මානසික ප්රවණතාවයේ කොටසකි. අපි අපවම එවැනි සිතිවිලිවලට නිරාවරණය කරන්නෙමු නම්, අපත් ලෝකයා මෙන් සිතීමට පටන් ගන්නා බවට ප්‍රබල ඉඩකඩක් තිබෙන බව කිව හැක. වැඩිකල් යාමට මත්තෙන්, එවැනි අපිරිසිදු සිතිවිලිවලින්, බරපතළ පව්වලට තුඩු දෙන වැරදි ආසාවන් අප තුළ ජනිත විය හැකිය. (යාකොබ් 1:14, 15) අප යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරමය කඳු මුදුනේ සිට ඉවතට ඇදී ගොස් සාතන්ගේ ලෝකයේ දූෂිත වූ පහත් බිම්වලට ඇද වැටී සිටිනවා ඇත. තම කැමැත්තෙන්ම එහි රැඳී සිටින කිසිවෙක් සදාකාල ජීවනය උරුම කර ගන්නේ නැත.—එපීස 5:3-5, 7.
10. සාතන්ගේ වායුවේ එක් ප්‍රකාශ වීමක් කුමක්ද, තවද ක්‍රිස්තු අනුගාමිකයන් මින් වැළකී සිටිය යුත්තේ මන්ද?
10 මෙම ලෝකයේ ස්වභාවය අප අවට පැහැදිලිව දිස් වෙයි. නිදසුනක් වශයෙන්, බොහෝ දෙනෙක් ජීවිතය වෙතට පිවිසෙන කිසි වැදගැම්මකට නැති සරදම් සහිත ආකල්ප පවතී. දූෂිත හෝ අදක්ෂ දේශපාලකයන් හා දුරාචාර ගිජු ආගමික නායකයන් මගින් අන්දමන්ද වී සිටින ඔවුහු, බැරෑරුම් දේවල් ගැන පවා ඉතා අගෞරවනීය ලෙස කථා කරති. ක්‍රිස්තියානිහු මෙම ප්‍රවණතාවයට එරෙහිව සිටිති. අප අතර හොඳ ආකාරයකට හාස්‍යමය ගතියක් තිබිය හැකි වුවත්, ඇනුම්පද කියනසුලු අවමන්සහගත අගෞරවනීය ස්වභාවයක් සභාව තුළට ගෙන ඒමෙන් අපි වැලකෙන්නෙමු. ක්‍රිස්තු අනුගාමිකයෙකුගේ කථාවෙන් යෙහෝවඃවහන්සේ කෙරෙහි භයත් හෘදයේ නිර්මලත්වයත් පිළිබිඹු වෙයි. (යාකොබ් 3:10, 11; සසඳන්න හිතෝපදේශ 6:14.) අප යෞවන හෝ මහලු අය හෝ වේවා, අපගේ කථාව, ‘එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, [අපගේ] කථාව නිතරම ලුණෙන් රසවත්ව අනුග්‍රහයෙන් යුක්තව තිබිය යුතුය.’—කොලොස්සි 4:6.
11. (අ) මේ ලෝකයේ ස්වභාවයේ දෙවෙනි අංගය කුමක්ද? (ආ) මෙම අංගය පිළිබිඹු කරන අයගෙන් ක්‍රිස්තියානින් වෙනස් වන්නේ මන්ද?
11 මේ ලෝකයේ ස්වභාවය පිළිබිඹු කරන තවත් පොදු ප්‍රවණතාවයක් නම් වෛරයයි. මෙම ලෝකය වාර්ගික, ජාතික හා පෞද්ගලික දේවල් මත පවා පදනම් වූ වෛරයෙන් හා ආරවුල්වලින් බෙදී තිබේ. දෙවියන්වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක වන තැන්හි තත්ත්වය මීට වඩා කොපමණ හොඳද! ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගනිල්ලා. පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයෙනි, පළිනොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාක දෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේකැයි ලියා තිබේ. නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවහොත් ඔහුට කන්ට දීපන්න; පිපාසවුවහොත් ඔහුට බොන්ට දීපන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය. නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරපල්ලා.”—රෝම 12:17-21.
12. ක්‍රිස්තියානින් ද්‍රව්‍යවාදයෙන් වළකින්නේ මන්ද?
12 මේ ලෝකයේ ස්වභාවය ද්රව්යවාදයටද පොලඹවයි. වෙළඳ ලෝකය මගින් දිරිගැන්වෙන බොහෝ දෙනා අලුත්ම උපකරණවලට, අලුත්ම මෝස්තරවලට, නවීනතම පන්නයේ මෝටර් රථයට මහත්සේ කරදර වෙත්. ඔවුහු, ‘ඇස්වල තෘෂ්ණාවට’ වහල්ලු වී සිටිති. (1 යොහන් 2:16) බොහෝ දෙනෙක් තම ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ ඔවුන්ගේ නිවස හෝ ඔවුන්ගේ බැංකු ගිණුමෙන්ය. යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරයේ ඉහළින් පිහිටි කන්ද මත පිරිසිදු ආත්මික වාතය ආශ්වාස කරන ක්‍රිස්තියානිහු එවැනි ප්රවණතාවන්ට එරෙහි වෙත්. ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳීමට අදිටන් කර ගෙන සිටීම විනාශකාරී විය හැකි බව ඔවුහු දනිති. (1 තිමෝති 6:9, 10) යේසුස්වහන්සේ සිය ගෝලයන්හට මෙසේ සිහිගැන්වූ සේක: “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.”—ලූක් 12:15.
13. මේ ලෝකයේ ස්වභාවයේ මීට අමතර පිළිබිඹු කිරීම් සමහරක් කවරේද?
13 මෙම ලෝකයේ රෝගී “වාතයේ” වෙනත් ප්රකාශවීම්ද ඇත. එකක් නම් කැරලිකාරකමේ ස්වභාවයයි. (2 තිමෝති 3:1-3) බොහෝ දෙනෙක් තවදුරටත් අධිකාරින් සමඟ සහයෝගය නොදක්වන බව ඔබ දැක තිබේද? යමෙක් ඇත්තටම බලාගෙන නොසිටී නම්, වැඩ නොකිරීමේ පුරුද්ද ව්‍යාප්ත වී තිබෙනවා ඔබගේ බාහිර රැකියාවේදී ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? නීති කඩ කර ඇති—සමහරවිට තම බදුගෙවන විට වංචා කර තිබෙන හෝ වැඩකරන ස්ථානයෙන් සොරකම් කර තිබෙන—කී දෙනෙක්ව ඔබ දන්නෙහිද? ඔබ තවමත් පාසල් යන්නෙහි නම්, ඔබගේ පංතියේ ළමුන්, අධ්‍යාපනික වශයෙන් සාර්ථකවී ඇති අයව පහත් කොට සලකන නිසාවෙන් ඔබ ඔබගේ උපරිමය කිරීමට අධෛර්යය වී සිටින්නෙහිද? මේ සියල්ල, ක්‍රිස්තු අනුගාමිකයන් විසින් වැළකී සිටිය යුතු, මේ ලෝකයේ ස්වභාවයේ ප්රකාශවීම්ය.
මේ ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටිය හැකි අයුරු
14. ක්‍රිස්තියානින්, ක්‍රිස්තියානි නොවන අයට වඩා වෙනස් වන්නේ කිනම් ආකාරවලින්ද?
14 එසේනම්, අප මේ ලෝකයේ ඇත්තටම ජීවත් වෙමින් මේ ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටීමට අපට හැක්කේ කෙසේද? අප කායික වශයෙන් කොතැනක සිටියත්, අපි ආත්මික වශයෙන් මේ ලෝකයේ කොටසක් නොවන බව අප මතක තබා ගත යුතුය. (යොහන් 17:15, 16) අපගේ ඉලක්ක මේ ලෝකයේ ඉලක්ක නොවේ. අප දේවල් දෙස බලන ආකාරය වෙනස්ය. අපි වනාහි ආත්මික මනුෂ්‍යයන් වෙමු, “මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ [ආත්මය, NW] විසින් උගන්වනලද වචනවලින්” සිතන, කථා කරන අය වෙමු.—1 කොරින්ති 2:13.
15. මේ ලෝකයේ ස්වභාවයට එරෙහිවීමට අපට හැක්කේ කෙසේද?
15 යම් පුද්ගලයෙක්, තමා විෂසහිත වායුවෙන් යුත් දූෂිත ප්‍රදේශයක සිටින බව සොයාගත්තේ නම්, ඔහුට කුමක් කළ හැකිද? පිරිසිදු වාත සැපයුමකට සම්බන්ධිත විෂ වායුවලින් ආරක්ෂා කරන මුහුණු වැස්මක් දමා ගැනීමට ඔහුට හැක, නැතහොත් එම ප්‍රදේශයෙන් ඔහුට ඉවත් විය හැක. සාතන්ගේ වායුවෙන් වැළකීමට තිබෙන මාර්ගය මෙම ක්‍රමවල සම්මිශ්‍රණයකි. මේ ලෝකයේ ස්වභාවයෙන් අපගේ සිතිවිලි බලපෑමට ලක් කරවන ඕනෑම දෙයකින් කායික වශයෙන් අපවම ඉවත් කර ගැනීමට හැකිතාක් දුරට අපි උත්සුක වෙමු. මෙසේ අපි වැරදි ආශ්රයෙන් වැළකෙන්නෙමු, තවද ප්රචණ්ඩත්වය, දුරාචාරය, ආත්ම බන්ධන ක්‍රියා, කැරලිකාරකම හෝ වෙනත් ඕනෑම මාංසයේ ක්‍රියාවලට පොලඹවන ඕනෑම ආකාරයේ විනෝදාංශයකට නිරාවරණය වීමට අපි අපටම ඉඩ නොදෙමු. (ගලාති 5:19-21) කෙසේවුවද, අප ජීවත් වන්නේ ලෝකයේ නිසා, මෙම දේවලට මුළුමනින්ම නිරාවරණය වීමෙන් වැළකීමට අපට නොහැක. එමනිසා, අපි ආත්මික නැවුම් වායු සැපයුමකට සම්බන්ධ වන්නෙමු නම්, අප ඥානවන්තව ක්‍රියා කරන්නන් වන්නෙමු. නිතිපතා රැස්වීම්වලට පැමිණීමෙන්, පුද්ගලික පාඩමෙන්, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් හා ආශ්රයෙන් එමෙන්ම යාච්ඤාවෙන් අපි අපගේ ආත්මික පෙණහලු පුරවා ගනිමු. මේ අයුරින්, සාතන්ගේ වාතය යම් හෙයකින් අපගේ ආත්මික පෙණහලුවලට කාන්දු වන්නේ නම්, එය ප්‍රතික්ෂේප කිරීමට දෙවියන්වහන්සේගේ ආත්මය අපව ශක්තිමත් කරනවා ඇත.—ගීතාවලිය 17:1-3; හිතෝපදේශ 9:9; 13:20; 19:20; 22:17.
16. දෙවියන්වහන්සේගේ ආත්මය අපට තිබෙන බව අප සාක්ෂි දෙන්නේ කෙසේද?
16 දෙවියන්වහන්සේගේ ආත්මය ක්‍රිස්තු අනුගාමියෙකුව, මෙම ලෝකයේ කොටසක් වන අයට වඩා වෙනස් පුද්ගලයෙකු ලෙසට කැපී පෙනෙන්ට සලස්වයි. (රෝම 12:1, 2) පාවුල් මෙසේ පැවසීය: “ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ, NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම [ආත්මදමනය, NW] යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.” (ගලාති 5:22, 23) දෙවියන්වහන්සේගේ ආත්මය ක්‍රිස්තු අනුගාමියෙකුට දේවල වඩාත් ගැඹුරු අවබෝධයක් දෙයි. “දෙවියන්වහන්සේගේ ආත්මය හැර, දෙවියන්වහන්සේගේ දේවල් දැන ගෙන ඇති කිසිවෙක් නැත” යනුවෙන් පාවුල් පැවසීය. (1 කොරින්ති 2:11, NW) පොදුවේ ගත් කල, “දෙවියන්වහන්සේගේ දේවල්” තුළ, මිදීමේ මිල පූජාව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යටතේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය, සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සහ මෙම දුෂ්ට ලෝකය ඉතා ඉක්මනින් ඉවත්වීම යන සත්‍යයන් ඇතුළත් වෙයි. දෙවියන්වහන්සේගේ ආත්මයේ උපකාරය සමඟින්, ක්‍රිස්තියානින් මෙම දේවල් සත්‍යය බවට දැනගෙන පිළිගන්නා අතර, ඔවුන් ජීවිතය දෙස බලන ආකාරය, ලෝකයා ජීවිතය දෙස බලන ආකාරයට වඩා වෙනස් වන්නේ මෙබැවිනි. දැන් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා තමන් ලබන ප්‍රීතියෙන් ඔවුන් සෑහීමට පත් වී ඇත්තේ, පැමිණීමට තිබෙන සදාකාලය පුරා උන්වහන්සේට සේවය කිරීමේ අපේක්ෂාවද ඇතිවය.
17. මේ ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටීමෙහිලා අති ශ්‍රේෂ්ඨ ආදර්ශය තැබුවේ කවුද?, තවද කෙසේද?
17 යේසුස්වහන්සේ වනාහි, මේ ලෝකයේ ස්වභාවයට එරෙහි වන අය සඳහා අති ශ්‍රේෂ්ඨ ආදර්ශය වූ සේක. යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් වැඩිකලක් ගතවීමට පෙර, සාතන් පරීක්ෂා තුනක් ඉදිරිපත් කිරීම මගින් උත්සාහ කළේ, යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් උන්වහන්සේව ඉවතට හැරවීමටයි. (මතෙව් 4:1-11) අවසාන පරීක්ෂාවට ඇතුළත් වූයේ, සාතන්ට කරන හුදෙක් එක් නමස්කාර ක්‍රියාවක් තුළින් මුළු ලෝකයේම පාලකත්වය ලබාගැනීමට යේසුස්වහන්සේට හැකිකර වීමටය. යේසුස්වහන්සේට මෙසේ තර්ක කිරීමට හැකිකම තිබුණි: ‘හොඳයි, මම නමස්කාර ක්‍රියාවක් කරනවා, ඉන්පසු මා ලෝකයේ පාලකත්වය ලබාගත්තායින් පසු, මා පසුතැවිලි වී ආපසු යෙහෝවඃවහන්සේට නමස්කාර කරනවා. නාසරෙත්වලින් පැමිණි වඩුවෙකු ලෙස දැන් මා සිටිනවාට වඩා, ලෝක පාලකයා වශයෙන් මට පුළුවන් වෙයි මිනිස් වර්ගයාට ප්‍රයෝජන ලබා දීමට වඩාත් හොඳ තත්ත්වයක සිටීමට.’ යේසුස්වහන්සේ ඒ අන්දමට තර්ක කළේ නැත. යෙහෝවඃවහන්සේ තමන්ට ලෝක පාලකත්වය දෙන තෙක් බලා සිටීමට උන්වහන්සේ කැමති විය. (ගීතාවලිය 2:8) එම අවස්ථාවේදී සහ තම ජීවිතයේ සියලු අවස්ථාවන්හිදී, උන්වහන්සේ සාතන්ගේ වායුවේ විෂසහිත බලපෑමට එරෙහිව සිටි සේක. මෙසේ, උන්වහන්සේ, ආත්මිකව දූෂණය වී ඇති මෙම ලෝකය ජය ගත් සේක.—යොහන් 16:33.
18. අප විසින් ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටීම දෙවියන්වහන්සේට ප්‍රශංසා ගෙන එන්නේ කෙසේද?
18 අප යේසුස්වහන්සේගේ අඩිපාර ළඟින් අනුගමනය කළ යුතු යයි ප්‍රේරිත පේතෘස් පැවසුවේය. (1 පේතෘස් 2:21, NW) මීට වඩා අපට ඇත්තේ වෙන කිනම් ආදර්ශයක්ද? මේ ලෝකයේ ස්වභාවයේ බලපෑමට හසුවී සිටින මෙම අවසාන දවස්වල වෙසෙන ජනයා දුෂ්චරිතමය අගාධයේ ගැඹුරට එන්ට එන්ටම රූරා බසී. මෙවැනි ලෝකයක් මැද, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය නමැති ඉහළ පිහිටි ස්ථානය නිර්මලව හා පිරිසිදුව තිබීම මොනතරම් පුදුමාකාර දෙයක්ද! (මීකා 4:1, 2) මෙම ලෝකයේ හාත්පස පැතිර ඇති ස්වභාවයට එරෙහි වෙමින්, යෙහෝවඃහන්සේට ගෞරවය හා ප්‍රශංසාව ගෙන එමින්, මිලියන ගණනක් ජනයාට දෙවියන්වහන්සේගේ නමස්කාරමය ගෘහයට ගලා ඒම තුළ දෙවියන්වහන්සේගේ ආත්මයේ බලය නිරීක්ෂණය කළ හැකි බව සහතිකය! (1 පේතෘස් 2:11, 12) යෙහෝවඃවහන්සේගේ ආලේපලත් රජ විසින් මෙම දුෂ්ට ලෝකය ඉවත් කොට, සාතන් වන යක්ෂයාව සහ ඔහුගේ භූතයන්ව ඉවත් කරන තෙක් එම උසස්ථානයේ රැඳී සිටීමට අපි සියල්ලන්ම අධිෂ්ඨාන කර ගනිමු. (එළිදරව් 19:19-20:3) ඉන්පසු, මේ ලෝකයේ ස්වභාවය තවදුරටත් නොතිබෙනවා ඇත. එය මොනතරම් ආශීර්වාදාත්මක කාලයක් වේවිද!
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ මේ ලෝකයේ ස්වභාවය යනු කුමක්ද?
◻ මේ ලෝකයේ ස්වභාවය පුද්ගලයන් මත ඇති කරන බලපෑම කුමක්ද?
◻ මේ ලෝකයේ ස්වභාවයේ ප්‍රකාශවීම් සමහරක් කවරේද, තවද මින් වැළකීමට අපට හැක්කේ කෙසේද?
◻ අපට දෙවියන්වහන්සේගේ ආත්මය තිබෙන බව අප පෙන්වන්නේ කෙසේද?
◻ ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටින අයට පැමිණෙන ආශීර්වාද කවරේද?
[16, 17වන පිටුවේ පින්තූරය]
මේ ලෝකයේ ස්වභාවය සාතන්ගෙනි
ලෝකයේ ස්වභාවයෙන් බේරීම සඳහා, ඉහළින් පිහිටා ඇති යෙහෝවඃවහන්සේගේ නමස්කාර ස්ථානය කරා පලා යන්න