“අසත්‍ය කථා ප්‍රතික්ෂේප කරන්න”
බයිබලය, මිනිසුන් පිළිබඳ අද්දැකීම් හා කථාවලින් පිරී ඇත. ඒවා කියවීමෙන් ප්‍රීතිය පමණක් නොව, ප්‍රයෝජනද අපි ලබන්නෙමු. ප්‍රේරිත පාවුල් රෝමයේ ක්‍රිස්තියානි සභාවට ලිව්වේ මෙසේය: “ඉවසිල්ල [විඳදරාගැනීම, NW] කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.”—රෝම 15:4.
පාවුල්ම අද්දැකීම් හවුලේ බෙදා ගත්තේය. සිය පළමු මිෂනාරි සංචාරය අවසානයේදී, පාවුල් හා බාර්ණබස් පිළිබඳව බයිබලය මෙසේ පවසයි: “ඔව්හු [සිරියේ අන්තියෝකියට] ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ල . . . දැන්වුවෝය.” (ක්‍රියා 14:27) නිසැකවම සහෝදරයන් මෙම අද්දැකීම්වලින් මහත් දිරිගැන්වීමක් ලබන්නට ඇත.
කෙසේවෙතත්, සියලුම අද්දැකීම් වර්ධනය ගෙන දෙන ඒවා නොවේ. ආනුභාවයෙන් යුක්තව, පාවුල් තිමෝතිට අනතුරු ඇඟවූයේ “ශුද්ධ වූ දෑ කෙලසන්නාවූද මහලු ස්ත්‍රීන් පවසන්නාවූද අසත්‍ය කථා ප්‍රතික්ෂේප කරන්න” යනුවෙනි. (1 තිමෝති 4:7, NW) තවද තීතස්ට ඔහු ලිව්වේ පක්ෂපාත ක්‍රිස්තියානින් “යුදෙව් ප්‍රබන්ධද සැබෑකමෙන් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසලකා” කටයුතු කළ යුතු බවය.—තීතස් 1:13.
මෙම අසත්‍ය කථා, නොහොත් මිථ්‍යා ප්‍රබන්ධ කුමක්වීද? මෙම වදන් දෙකම පැමිණෙන්නේ ග්‍රීක් මිʹතොස් (“මිථ්‍යාව”) යන වචනයෙනි. දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා පවසන්නේ මෙම වදන “යථාර්ථය සමඟ සම්බන්ධකමක් නොමැති (ආගමික) කථාන්දරයක්” විස්තර කරන බවයි.
පාවුල්ගේ දවසට අයත් ලෝකය එවන් කථාවලින් පිරී තිබුණි. පෙනෙන හැටියට පාවුල්ගේ කාලයට වසර දෙසීයකට වැඩි කලකට පෙර ලියන ලද, තොබිත් නම් ද්විතීය සම්මත ග්රන්ථාවලියට ඇතුළත් පොත මේ පිළිබඳ උදාහරණයකි. මෙම කථාව පවසන්නේ පක්ෂියෙකුගේ අශූචි සිය ඇස්වලට වැටුණ විට අන්ධ වූ, භක්තිමත් යුදෙව්වෙක් වන, තොබිත් ගැනයි. පසුව, ඔහු ණයක් එකතු කිරීමට සිය පුත්‍රයා වන තොබියස්ව යවයි. අතර මගදී, දේවදූතයෙකුගේ මඟ පෙන්වීම අනුව, තොබියස් මාළුවෙකුගේ හෘදය, අක්මාව හා පිත ලබා ගනී. ඉන්පසුව ඔහුට වැන්දඹුවක් හමුවේ. ඇය සත්වතාවක් විවාහ වී සිටියද, විවාහ මංගල දින රාත්‍රියේ දුෂ්ට ආත්මයක් විසින් ඒ එක් එක් ස්වාමිපුරුෂයන්ව මරණයට පත් කරන ලද බැවින්, ඇය තවදුරටත් සිටියේ කන්‍යාවක් ලෙසයි. දේවදූතයාගේ පෙලඹීම යටතේ, තොබියස් ඇයව විවාහ කරගන්නා අතර මාළුවාගේ හෘදය හා අක්මාව පිළිස්සීමෙන් යක්ෂයාව පළවා හරී. එම මාළුවාගේ පිතෙන්, තොබියස් පසුව සිය පියාගේ පෙනීම ලබාදෙයි.
පැහැදිලිවම, මෙම කථාව අසත්‍යයකි. සිතින් උපදවාගත් එහි ස්වභාවයට හා මිථ්‍යා විශ්වාසයට පක්ෂව එය තිබීමට අමතරව, එහි ගැබ්ව ඇත්තේ වැරදි දේවල්ය. උදාහරණයක් වශයෙන්, එම වාර්තාව පවසන්නේ වසර 257ක කාලාන්තරයකින් එකිනෙක වෙනස්වූ ඉශ්රායෙලයේ ඉතිහාසයේ සිද්ධීන් වන, උතුරු ගෝත්‍රයන්හි කැරැල්ල හා නිනිවයට ඉශ්රායෙල්වරුන් පිටුවහල් කිරීම තොබිත් දුටු බවයි. එහෙත්, එම කථාව පවසන්නේ සිය මරණය සිදුවන විට තොබිත් වසර 112ක් වයස්ව සිටි බවය.—තොබිත් 1:4, 11; 14:1, පොදු නව අනුවාදය.
එවන් මිථ්‍යා ප්‍රබන්ධ දෙවියන්වහන්සේගේ විශ්වාසනීය සේවකයන් විසින් ප්‍රකාශ කරනු ලබන “සාරවූ වචනවල” සත්‍යවාදී ‘ආදෘශයට’ බොහෝ සෙයින් දුරස්ථරය. (2 තිමෝති 1:13) ඒවා සිතෙහි මවාගැනීම්වල ප්‍රතිඵල වන්නේය, ඓතිහාසික සත්‍යයන්ට පටහැනිය, දේව භක්තිය නොදරන මැහැල්ලන් විසින් කියනු ලබන දේවල ආකාරයක් ගන්නේය. ක්‍රිස්තියානින් විසින් ප්‍රතික්ෂේප කළ යුතුවූ කථා මේවා විය.
සත්‍යයේ වචන පරීක්ෂා කිරීම
අදදිනත් සමානාකාර කථා බහුලව පවතී. පාවුල් ලිව්වේ “[ජනයා] සාරවත් ඉගැන්වීම් නොඉවසා, . . . සත්‍යයට කන් නොදී, ප්රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය” යනුවෙනි. (2 තිමෝති 4:3, 4) පොළොවේ ඇතැම් කොටස්වල, අධිස්වාභාවික කාරණා පිළිබඳ කථා ප්‍රචලිත හා ජනප්‍රියව ඇත. එබැවින්, ඒවා බයිබලයට එකඟව තිබෙන්නේදැයි බැලීමට, ක්‍රිස්තියානිහු, ඥානවන්තව ආගමික කථාවල ‘වචන විමසා’ බලති.—යෝබ් 12:11.
පැහැදිලිවම, බොහොමයක් එසේ එකඟ නොවේ. උදාහරණයක් වශයෙන්, ලෝකයේ බොහෝ කොටස්වල, මනුෂ්‍ය ආත්මය අමරණීය බවට වූ මතයට අනුබල දෙන කථා ඇසීම පොදු දෙයකි. මෙම කථා, අලුත උපන් ළදරුවෙකුගේ ශරීරයේ හෝ, ආත්මයක් හැටියට හෝ, සත්වයෙක් හැටියට හෝ, එසේත් නැතහොත් වෙනත් ස්ථානයක පුද්ගලයෙක් හැටියට හෝ නැවත පෙනී සිටීමට, කෙනෙක් මැරෙන ආකාරය විස්තර කරයි.
කෙසේවෙතත්, දේව වචනය, පෙන්වන්නේ මනුෂ්‍ය ආත්ම අමරණීය නොවන බවය; ආත්ම නසිති. (එසකියෙල් 18:4) වැඩිදුරටත්, බයිබලය පවසන්නේ මළාහු මිනීවළේ අප්‍රාණිකව, කල්පනා කිරීමට, කථා කිරීමට, නැතහොත් යමක් කිරීමට නොහැකිව සිටින බවය. (දේශනාකාරයා 9:5, 10; රෝම 6:23) මෙසේ, ආත්මය අමරණීය බවට වූ මතය පොලඹවන්නා වූ අසත්‍ය කථා මගින් නොමඟ යන්නෝ, පාවුල් පැවසූ ආකාරයට, බයිබලයේ ‘සාරවත් ඉගැන්වීම්වලින්’ පසෙකට ‘හැරී ගිය’ අය වන්නෝය.
ලෝකෝත්තර දෑ පිළිබඳ කථා
වෙනත් කථා අවධානය යොමු කරන්නේ මායාකාරියන් හා මන්ත්‍රකාරියන්ගේ ක්‍රියා මතටයි. උදාහරණයක් වශයෙන්, අප්‍රිකාවේ කොටස්වල, දුෂ්ටකමේ මෙම නියෝජිතයන් භයානක බලයක් ඇතිව සිටින්නේ යයි කියනු ලැබේ. මෙමගින් ඔවුන්ට තමන්ව හෝ අන්‍යයන්ව උරගයන්, වඳුරන් හා පක්ෂීන් බවට වෙනස් කළ හැක; සිය මෙහෙය ඉටු කිරීමට ගුවන හරහා පියාසර කළ හැක; පෙනී නොපෙනී යන්නට පුළුවන; බිත්ති හරහා යන්නට පුළුවන; එමෙන්ම පොළොව යට වළලා තිබෙන දේවල් දකින්නට පුළුවන.
එවන් කථා කෙරෙහි ව්‍යාප්ත විශ්වාසය සමඟින් ඒවා බොහොමයක් තිබීම, ඒවා සැබෑ බව විශ්වාස කිරීමට ක්‍රිස්තියානි සභාවේද ඇතැමෙක් කෙරෙහි බලපෑම් ඇති කරන්නට පුළුවන. සාමාන්‍ය මනුෂ්‍යයන්ට එවන් දේවල් කළ නොහැකි වුවත්, ආත්ම මැවිලිවලින් එනම් භූතයන්ගෙන් ලෝකෝත්තර බලයන් ලබන්නාවූ අයට, එසේ කළ හැකි යයි ඔවුන් තර්ක කරන්නට පුළුවන. මෙම නිගමනය සඳහා 2 තෙසලෝනික 2:9, 10 පදනමක් විය හැකි අතර එය පවසන්නේ මෙයයි: “ඔහුගේ [නොපනත්කම් කරන්නාගේ] ඊම සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැලවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.”
සාතන් බලගතු ක්‍රියා කිරීමේ හැකියාවකින් යුක්ත යයි මෙම ශුද්ධලියවිලි පාඨය පෙන්වන බව සැබෑවක් වන අතර සාතන් “බොරුවූ සියලු ආකාර ආශ්චර්ය” මෙන්ම “අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි” යනාදියෙහි කර්තෘවරයා හැටියටද එය සඳහන් කරයි. බයිබලය ස්ථිරසාරව පෙන්වන්නේ, සාතන් ‘මුළු ලෝකයා රවටන’ අග්රරැවටුම්කරුවා වන බවය. (එළිදරව් 12:9) සැබෑ නොවන දේවල් විශ්වාස කිරීමට ජනයාව සැලැස්වීමෙහිලා ඔහු අතිදක්ෂයෙකි.
මෙනිසා, භූත විශ්වාසයේ හා සූනියමේ නියැලී සිටින්නන්ගේ සාක්ෂි හා පාපෝච්චාරණ පවා බොහෝවිට තිබෙන්නේ විශ්වාස කළ නොහැකි තත්ත්වයකය. එවන් අය, යම් දේවල් තමන් දැක, අසා හෝ අද්දැක ඇතැයි අවංකව විශ්වාස කරන්නට පුළුවන; එහෙත්, ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ කර නැත. උදාහරණයක් හැටියට, තමන් මළවුන්ගේ ආත්ම සමඟ කථා කර ඇතැයි සිතන අය සිටිත්. එහෙත් ඔවුන් සිටින්නේ වැරදිසහගත, මුළා වූ, සාතන්ගේ රැවටීමට ගොදුරු වූ තත්ත්වයකය. බයිබලය පවසන්නේ මළවුන් “නිශ්ශබ්ද ස්ථානයට” යන බවය.—ගීතාවලිය 115:17.
කෙසේවෙතත්, රැවටීම පිළිබඳ යක්ෂයාගේ ඉතිහාසය සලකා බලන කල, ලෝකෝත්තර කථාවල සත්‍යභාවය, සැලකිල්ලට ගත යුත්තේ සැකයෙනි. මෙය සිතේ සපිරි මිථ්‍යා මත බොහොමයක් මවා ගැනීම්වල ප්‍රතිඵලයක් වන අතර, නිතර නිතර නැවත කීම මගින් ඒවා අතිශයෝක්තියෙන් පවසනු ලැබේ.
එවන් ප්‍රබන්ධ කථා නැවත නැවතත් පැවසීම දිරිගන්වන්නේ, බොරුවේ පියාගේ, සාතන් නම් යක්ෂයාගේ අභිමතයයි. (යොහන් 8:44) ඒවා පොලඹවන්නේ යෙහෝවඃවහන්සේට පිළිකුල්වූ ගුප්ත ව්‍යවහාරයන් කෙරෙහි උනන්දුවය. (ද්විතීය කථාව 18:10-12) ඒවා ජනයාව භීතියේ හා මිථ්‍යා විශ්වාසයේ දැලක අසුකර තබයි. මෙසේ “ප්‍රබන්ධ . . . නොසලකන හැටියට” පාවුල් ක්‍රිස්තියානින්ට උපදෙස් දීම පුදුමයක් නොවේ.—1 තිමෝති 1:3, 4.
භූතයන්ගේ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම
කෙසේවෙතත්, එම කථා සත්‍ය ස්වරූපයක් දරන්නේ නම් කුමක් කිව හැකිද? ඇතැම් අවස්ථාවන්හි ආත්ම හා ආත්ම ආරූඪ වූ අය විසින් යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨතාව හා උන්වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සත්‍යවාදීභාවය පිළිගනු ලැබීම පිළිබඳ අද්දැකීම්, ප්‍රකාශ වේ. ක්‍රිස්තියානින් එවන් කථා නැවත නැවතත් පැවසිය යුතුද?
නැත, ඔවුන් එසේ නොකළ යුතුය. යේසුස්වහන්සේ දේව පුත්‍රයා යයි අශුද්ධ ආත්ම මොරගැසූ විට උන්වහන්සේ “තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස . . . බොහෝසේ ඔවුන්ට අණකළසේක” කියා බයිබලය පවසයි. (මාර්ක් 3:12) සමානාකාරයෙන්, පේන කියන භූතයෙක් පාවුල් හා බාර්ණබස්ව “මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසයෝ” හා “ගැලවීමේ මාර්ගය . . . ප්‍රකාශ” කරන්නන් හැටියට හඳුන්වා දීමට එක්තරා ගැහැනු ළමයෙකුව පෙලඹූ විට, පාවුල් එම ආත්මය ඇගෙන් ඉවත් කළේය. (ක්‍රියා 16:16-18) යේසුස්වහන්සේවත්, පාවුල්වත්, නැතිනම් බයිබල් ලේඛකයන් කිසිවෙක්වත්, දෙවියන්වහන්සේගේ අරමුණ හෝ උන්වහන්සේගේ තෝරා ගන්නා ලද සේවකයන් ගැන සාක්ෂි දරන්නට භූතයන්ට ඉඩ හැරියේ නැත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවට එන්නට පෙර ආත්ම විෂයෙහි පැවති බවද සටහන් කරගැනීම වටී. උන්වහන්සේ සාතන්ව පෞද්ගලිකව දැන සිටි සේක. එහෙත්, සාතන්ගේ ක්‍රියාවන් පිළිබඳ කථාවලින් යේසුස්වහන්සේ සිය ගෝලයන්ව විනෝදයට පත්කළේ හෝ සාතන්ට කළ හැකි හා කළ නොහැකි දේවල් පිළිබඳ විස්තර උන්වහන්සේ සැපයුවේ හෝ නැත. සාතන් හා ඔහුගේ භූතයන් යේසුස්වහන්සේගේ මිත්‍රයන් වූයේ නැත. ඔවුන් සාහසික අපරාධකරුවන්, කැරලිකරුවන්, ශුද්ධ දෙයට වෛර කරන්නන් හා දෙවියන්වහන්සේගේ සතුරන් වූහ.
අප දැන ගත යුතු දේ බයිබලය අපට පවසයි. භූතයෝ කවරහුද, ඔවුන් ජනයාව මුළා කරන්නේ කෙසේද, එමෙන්ම අපට ඔවුන්ගෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද යන්න බයිබලය පැහැදිලි කරයි. යෙහෝවඃවහන්සේ හා යේසුස්වහන්සේ භූතයන්ට වඩා බලගතු බව එය පෙන්වයි. එමෙන්ම අප පක්ෂපාතිව යෙහෝවඃවහන්සේට සේවය කරන්නේ නම්, දුෂ්ට ආත්මවලට කිසිඳු ස්ථිර හානියක් කළ නොහැකි බවද එය අපට උපදෙස් දෙයි.—යාකොබ් 4:7.
එබැවින්, දෙවියන්වහන්සේට විරුද්ධ වන්නන්ගේ සිතැඟියාවන් ප්‍රවර්ධනය කිරීමෙහි පමණක් දායක වන්නාවූ අසත්‍ය කථා, ක්‍රිස්තියානිහු හොඳ හේතු ඇතිව ප්‍රතික්ෂේප කරති. යේසුස්වහන්සේ ‘සත්‍යයට සාක්ෂි දැරුවාක්මෙන්’ අද දවසේ එතුමන්ගේ අනුගාමිකයන් කරන්නේ ඒ දෙයමය. (යොහන් 18:37) ඥානවන්ත ලෙස ඔවුහු බයිබලයේ මෙම අවවාදයට අවනත වන්නාහ: “යම් පමණ දේ සැබෑද, . . . ඒ දේවල් මෙනෙහිකරපල්ලා.”—පිලිප්පි 4:8.
[31වන පිටුවේ පින්තූරය]
ගුප්ත විශ්වාසයන්ගෙන් වූ සියලුම ප්‍රකාශනවලින් සැබෑ ක්‍රිස්තියානින් ස්ථිරව වැළකී සිටිය යුතුය