ඔබ පෝෂණය ලබමින් සිටින්නේ කිනම් මේසයෙන්ද?
“ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මේසයටද යක්ෂයන්ගේ [භූතයන්ගේ, NW] මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.”—1 කොරින්ති 10:21.
1. අප ඉදිරියේ පිළියෙළ කර ඇති මේස මොනවාද, එමෙන්ම ඒවා පිළිබඳව ප්‍රේරිත පාවුල් දෙන්නේ කිනම් අනතුරු ඇඟවීමද?
ප්‍රේරිත පාවුල්ගේ දේවානුභාවය ලත් මෙම වදන් පෙන්වන්නේ මනුෂ්‍යවර්ගයා ඉදිරියේ සංකේතාත්මක මේස දෙකක් පිළියෙළ කර ඇති බවය. ඒ එක් එක් මේසය, ඒ මත තබා ඇති සංකේතාත්මක ආහාරයේ වර්ගය මගින් හඳුනාගනු ලබන අතර, අප සියල්ලන්ම සිටින්නේ ඉන් එකක හෝ තවෙකක පෝෂණය ලබමින්ය. කෙසේවෙතත්, දෙවියන්වහන්සේව සතුටු කරන්නට අප කැමති නම්, අප උන්වහන්සේගේ මේසයෙන් පෝෂණය ලබන අතර භූතයන්ගේ මේසයෙන්ද ටික ටික පෝෂණය වෙමින් සිටින්නට අපට නොහැකිය. ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවූයේ මෙසේය: “නුමුත් මිථ්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි [භූතයන්ටයි, NW] කියමි. නුඹලා යක්ෂයන් [භූතයන්, NW] සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලාට ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] කුසලානෙන්ද යක්ෂයන්ගේ [භූතයන්ගේ, NW] කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මේසයටද යක්ෂයන්ගේ [භූතයන්ගේ, NW] මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.”—1 කොරින්ති 10:20, 21.
2. (අ) පුරාතන ඉශ්රායෙල්වරුන්ගේ කාලයේ තිබුණේ යෙහෝවඃවහන්සේගේ කිනම් මේසයද, එමෙන්ම සහභාගිකමේ පූජාවන්ට පංගුකාරයන් වූයේ කවුරුන්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ මේසයට පංගුකාරයන් වීම යන්නෙන් අදදින අදහස් වන්නේ කුමක්ද?
2 පාවුල්ගේ වදන් අපට සිහිකරවන්නේ යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාව යටතේ පුරාතන ඉශ්‍රායෙලිතයන් ඔප්පු කළ ශාන්ති (සහභාගිකමේ) පූජාවන් ගැනය. දෙවියන්වහන්සේගේ පූජාසනය මේසයක් යයි හඳුන්වනු ලැබූ අතර පූජා කිරීමට නියමිත සත්ත්වයා ගෙනෙන තැනැත්තේ යෙහෝවඃවහන්සේ සමඟත් එම පූජකයන් සමඟත් සහභාගි වන්නේ යයි කියනු ලැබීය. ඒ කෙසේද? මුලින්ම, යෙහෝවඃවහන්සේ එම පූජාවට පංගුකාරයෙක් වූයේ එම රුධිරය උන්වහන්සේගේ පූජාසනය මත ඉසීමෙන් හා එහි තෙල් ඊට යටින් පිහිටි ගිනිදැල්වලින් දහනය කරනු ලැබීමෙන්ය. දෙවනුව, පූජකයා ඊට පංගුකාරයෙක් වූයේ ඔහු (හා ඔහුගේ පවුල) පූජා කරන ලද සත්ත්වයාගේ පුළුස්සන ලද පපුව හා දකුණු ගාතය අනුභව කිරීමෙනි. එමෙන්ම තෙවනුව, එය ඔප්පු කළ තැනැත්තා පංගුකාරයෙක් වුණේ එහි ඉතිරි කොටස අනුභව කිරීමෙනි. (ලෙවී කථාව 7:11-36) අදදින, යෙහෝවඃවහන්සේගේ මේසයෙන් පංගුකාරයන් වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, යේසුස්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් ආදර්ශ කොට දක්වන ලද ආකාරයට උන්වහන්සේට අවශ්‍ය කරන ආකාරයේ නමස්කාරය අප උන්වහන්සේට දීමය. මෙය කිරීමට නම්, යෙහෝවඃවහන්සේ ස්වකීය වචනය හා සංවිධානය තුළින් සපයන දෙයින් අප ආත්මික වශයෙන් පෝෂණය විය යුතුය. යෙහෝවඃවහන්සේ සමඟ උන්වහන්සේගේ මේසයේ සුවිශේෂී සහභාගිකමක් භුක්ති වින්ඳාවූ ඉශ්රායෙල්වරුන්ට, භූතයන්ගේ මේසයේ ඔවුන් සඳහා පූජා ඔප්පු කිරීම තහනම් කරනු ලැබීය. ආත්මික ඉශ්රායෙල්වරුන් මෙන්ම ඔවුන්ගේ ‘වෙනත් බැටළු’ සහායකයන් සිටින්නේද එම දිව්‍ය තහනම යටතේය.—යොහන් 10:16.
3. යම් කෙනෙක් අපගේ දවසේ භූතයන්ගේ මේසයට පංගුකාරයෙක් වීමේ වරදට හසුවිය හැක්කේ කෙසේද?
3 යම් කෙනෙක් අපගේ දවසේ යක්ෂයන්ගේ මේසයට පංගුකාරයෙක් වීමේ වරදට හසුවිය හැක්කේ කෙසේද? යෙහෝවඃවහන්සේට විරුද්ධවූ ඕනෑම දෙයක් පෙලඹවීමට ක්‍රියා කිරීම මගින්ය. භූතයන්ගේ මේසයට අයත් වන්නේ, නොමඟ යැවීමෙන් යෙහෝවඃවහන්සේ වෙතින් අපව අහකට හැරවීමට සැලසුම් කරන ලද සියලු භූතමය ප්රචාරක කටයුතුය. මෙවන් විෂවලින් තමාගේ හෘදයත් මනසත් පෝෂණය කරන්නට ඕනෑ කරන්නේ කාටද? අදදින වැඩිදෙනෙක් යුද්ධයේ හා වස්තුවේ දෙවිවරුන්ට පුද කරන යාගයන්හි හවුල් වීමට, සැබෑ ක්‍රිස්තියානිහු ප්‍රතික්ෂේප කරති.—මතෙව් 6:24.
“භූතයන්ගේ මේසය” මඟ හැරීම
4. අප සියල්ලන්ම මුහුණ දී සිටින්නේ කිනම් ප්‍රශ්නයටද, එමෙන්ම අපට දැන දැනම භූතයන්ගේ මේසයට පංගුකාරයන් වන්නට වුවමනා නොවනු ඇත්තේ මන්ද?
4 අප සියල්ලන්ම මුහුණ දී සිටින ප්රශ්නය නම්, මා පෝෂණය ලබමින් සිටින්නේ කිනම් මේසයෙන්ද? යන්නය. අප මින් එක් මේසයක හෝ තවෙකක අනුභව කිරීමට බැඳී සිටින බවට වූ සත්‍යයෙන් අපට මිදෙන්නට නුපුළුවන. (මතෙව් 12:30 සසඳන්න.) අපට දැන දැනම භූතයන්ගේ මේසයට පංගුකාරයන් වන්නට වුවමනාවක් නැත. එසේ කිරීම එකම සැබෑ හා ජීවමාන දෙවියන් වන, යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය අප විසින් නැති කර ගැනීමට හේතු වනු ඇත. අනෙක් අතට, යෙහෝවඃවහන්සේගේ මේසයේ පමණක් පංගුකාරයන් වීම මඟ පෙන්වන්නේ අපගේ සන්තෝෂවත් සදාකාල ජීවිතයටය! (යොහන් 17:3) පුද්ගලයෙක් තමා අනුභව කරන දෙය අනුව හැඩගැසෙන බවට කියමනක් ඇත. එසේ නම්, සිය කායික හා මානසික සෞඛ්‍යය හොඳ තත්ත්වයක තබා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙක්, තමාගේ ආහාරය ගැන පරීක්ෂාකාරි විය යුතුය. රසායනික ආදේශකයන් යෙදීමෙන් රසවත්ව සකස් කළත් මේද වැඩි අගුණ ආහාර අපගේ දිගු කාලීන කායික සෞඛ්‍යයට දායක නොවන්නාක්මෙන්, භූතමය අදහස්වලින් රසවත් කරන ලද මේ ලෝකයේ ප්‍රචාරයද, අපගේ මනස් දූෂ්‍ය කරන්නාවූ සංකේතාත්මක අගුණ ආහාර වන්නේය.
5. අදදින භූතයන්ගේ ගුරුකම් ලැබීම අපට මඟ හැරිය හැක්කේ කෙසේද?
5 ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේ අන්තිම දවස්වල, ජනයා “යක්ෂයන්ගේ [භූතයන්ගේ, NW] ගුරුකම්” මගින් නොමඟ යනු ඇති බවයි. (1 තිමෝති 4:1) බොරු ආගමික විශ්වාසයන් තුළ එවන් භූතමය ඉගැන්වීම් දක්නට ලැබෙනවා පමණක් නොව නමුත්, වෙනත් ක්‍රම මගින් ඒවා පුළුල්ව ප්‍රසිද්ධ කොට ක්‍රියාවෙහි යෙදවීමක්ද සිදුවේ. උදාහරණයක් වශයෙන්, අපත් අපගේ දරුවනුත් කියවන්නේ කිනම් පොත් හා සඟරාද යනවග, අප බලන්නේ කුමන රූපවාහිනි වැඩසටහන්ද යනවග, එමෙන්ම අප නරඹන්නේ කුමන නාට්‍ය හා චිත්රපටද යනවග අප සවිස්තරව පරීක්ෂා කර එහි හිතකර හා අහිතකර පැති ගැන මැනවින් සැලකිලිමත් විය යුතුය. (හිතෝපදේශ 14:15) විනෝදය පිණිස අප ප්‍රබන්ධ කථා කියවන්නේ නම්, එය තේරුමක් නැති ප්‍රචණ්ඩතාව, අයථා ලිංගික හැසිරීම හෝ ගුප්ත ව්‍යවහාරයන් ගෙනහැර දක්වන්නේද? ගුරුකම් ලබනු පිණිස අප ප්රබන්ධමය නොවන දේවල් කියවන්නේ නම්, එය “ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ” දර්ශනයක් හෝ ජීවිත මාර්ගයක් විස්තර කරයිද? (කොලොස්සි 2:8) හිස් අනුමාන සිතුවිලි ඉදිරිපත් කර තිබේද, එසේත් නැතහොත් ලෞකික සමාජමය ව්‍යාපාරයන්ට සම්බන්ධවීමට පක්ෂව අදහස් දක්වා තිබේද? ඉතා ධනවත්වීමේ අධිෂ්ඨානය එය පෝෂණය කරයිද? (1 තිමෝති 6:9) එය ක්‍රිස්තුස්වහන්සේට පටහැනි භේදකාරී ඉගැන්වීම් සියුම්ව ඉදිරිපත් කරන ප්‍රකාශනයක්ද? පිළිතුර එසේය වන්නේ නම්, එමෙන්ම අප තවදුරටත් එම තොරතුරු කියවන්නට හෝ බලන්නට යෙදෙන්නේ නම්, අප සිටින්නේ භූතයන්ගේ මේසයෙන් පෝෂණය ලැබීමේ අවදානම යටතේය. අදදින, ඉතා ඥානවන්ත මෙන්ම තත්කාලීන බව පෙනෙන්නට ඇති ලෞකික දර්ශන පොලඹවන්නාවූ ප්‍රකාශන සිය දහස් සංඛ්‍යාවක් ඇත. (දේශනාකාරයා 12:12) එහෙත් මෙම ප්‍රචාරයන් කිසිවක් අලුත් නොවන්නේය; සාතන් කපටි ලෙසින් ඒවට පැවසූ දෙය ඇයගේ යහපතට හේතු නොවූවාක් මෙන්, මේ කිසිවක් කෙනෙකුගේ ප්‍රයෝජනයට හෝ යහපතට දායක වන්නට යන්නේ නැත.—2 කොරින්ති 11:3.
6. තමාගේ භූතමය අගුණ ආහාරවල රස බලන්නට යක්ෂයා අපට ආරාධනා කරන විට, අප ඇත්තවශයෙන්ම ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
6 එබැවින්, යක්ෂයා තමාගේ භූතමය අගුණ ආහාරවල රස බලන්නට අපට ආරාධනා කරන විට, අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? සාතන් විසින් ගල් රොටි බවට පත් කරන්නට කියා යේසුස්වහන්සේව පරීක්ෂා කරනු ලැබූ විට උන්වහන්සේ පිළිතුරු දුන් පරිදිය. “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවන් නොවන්නේය කියා ලියා තිබේය.” තවද යේසුස්වහන්සේ බිම වැටී ඔහුට නමස්කාර කළොත්, යක්ෂයා “ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද” උන්වහන්සේට දෙන බව පැවසූ විට, උන්වහන්සේ ප්‍රතිචාරය දැක්වූයේ “සාතන් අහක්ව යව, මක්නිසාද—තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නමස්කාරකරව, උන්වහන්සේට පමණක් [පරිශුද්ධ, NW] සේවය කරවයි [පිරිනමන්නැයි, NW] ලියා තිබේ” යයි පවසමින්ය.—මතෙව් 4:3, 4, 8-10.
7. අපට යෙහෝවඃවහන්සේගේ මේසයෙහිත් භූතයන්ගේ මේසයෙහිත් සාර්ථකව පෝෂණය ලැබිය හැකි යයි අප කල්පනා කළොත්, අප අපවම රවටමින් සිටින්නේ මන්ද?
7 යෙහෝවඃවහන්සේගේ මේසය හා ඔහුගේ භූතමය සතුරන් විසින් සකස් කර ඇති මේසය කිසිදිනක එකඟත්වයකට ගෙන එන්නට බැරිය! ඇත්තෙන්ම, මීට පෙර ඒ සඳහා වෑයම් දරා ඇත. දිවැස්වර එලියාගේ කාලයේ සිටි පුරාතන ඉශ්රායෙල්වරුන් මතකයට නගන්න. ජනයා යෙහෝවඃවහන්සේව නමස්කාර කරන බව කියා සිටියත්, ඔවුන් විශ්වාස කළේ, බාල් වැනි වෙනත් දෙවිවරුන්, සමෘද්ධිය පොරොන්දු කළ බවය. එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් පැවසුවේ, “නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] [සැබෑ, NW] දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව පලයල්ලා. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව පලයල්ලා” යනුවෙනි. නිසැකවම, ඉශ්‍රායෙලිතයන් සිටියේ “මුලින් එක් කකුලක් මතත් පසුව අනෙක මතත්” නොණ්ඩි ගසමින්ය. (1 රාජාවලිය 18:21; ද ජෙරූසලම් බයිබල්) එලියා බාල්ගේ පූජකයන්ට අභියෝග කළේ ඔවුන්ගේ දෙවියන්ගේ දේවත්වය ඔප්පු කරන හැටියටය. යාගයක් මතට ස්වර්ගයෙන් ගිනි එවීමට හැකි දෙවියන්වහන්සේම සැබෑ දෙවියන් වනු ඇත. මහත් වෑයමක් දැරූ නමුත් බාල්ගේ පූජකයෝ අසමත් වූහ. එවිට එලියා යාච්ඤා කළේ මෙලෙස සරලවය: “ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃවහන්ස, NW], මට උත්තර දුන මැනව, ස්වාමීවූ [යෙහෝවඃවූ, NW] ඔබ [සැබෑ, NW] දෙවියන්වහන්සේ බවත් මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනමැනව” යනුවෙනි. එකෙණෙහිම ස්වර්ගයෙන් ගිනි වේගයෙන් පැමිණ ජලයෙන් පොඟවන ලද සත්ත්ව යාගය දවා දැමීය. යෙහෝවඃවහන්සේගේ දේවත්වය පිළිබඳ ඒත්තු ගන්වන නිරූපනයෙන් පෙලඹීම් ලද ජනයා, එලියාට කීකරු වී, බාල්ගේ ප්‍රොපේතවරුන් 450දෙනාවම මරණයට පත් කළේය. (1 රාජාවලිය 18:24-40) එබැවින් අදදින, සැබෑ දෙවියන් හැටියට අප යෙහෝවඃවහන්සේව පිළිගත යුතු අතර, අප මෙතෙක් එසේ කර නැත්නම් ඒකාන්තයෙන්ම උන්වහන්සේගේ මේසයෙන් පමණක් පෝෂණය වීමට පියවර ගත යුතුය.
‘විශ්වාසවූ දාසයා’ යෙහෝවඃවහන්සේගේ මේසයේ බෙදා දෙයි
8. තම පැමිණ සිටීමේදී සිය ගෝලයන්ව පෝෂණය කරනු පිණිස තමන් පාවිච්චි කරන්නේ කිනම් දාසයායයි යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක්ද, එමෙන්ම එම දාසයාගේ අනන්‍යතාව කුමක්ද?
8 සිය පැමිණ සිටීමේදී ‘විශ්වාසවූ නුවණ ඇති දාසයෙකු’ සිය ගෝලයන්ට ආත්මික ආහාර සපයනු ඇති බවට ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරෝකථනය කළසේක: “ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂ ලද්දෙක්ය, NW]. සැබවක් නුඹලාට කියමි—ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.” (මතෙව් 24:45-47) මෙම දාසයා, යම් තනි පුද්ගලයෙකු නොව, එහෙත් කැපවූ, ආලේප ලත් ක්‍රිස්තියානින් පන්තිය බව තහවුරු වී ඇත. මෙම පන්තිය ආලේප ලත් ඉතිරි කොටසට මෙන්ම මහත් සමූහයටද කදිම ආත්මික ආහාර යෙහෝවඃවහන්සේගේ මේසය මත තබා ඇත. දැන් ගණනින් මිලියන හතරකට වැඩි, මෙම “මහත් සමූහය” යෙහෝවඃ දෙවියන්වහන්සේගේ සර්වලෝක පරමාධිපත්‍යය සඳහාත්, උන්වහන්සේ තම නාමය විශුද්ධ කරන්නාවූ ස්වකීය රාජ්‍යය උදෙසාත් සිය ස්ථාවරය ගෙන ඇත.—එළිදරව් 7:9-17.
9. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා ආත්මික ආහාර සැපයීමට දාස පන්තිය පාවිච්චි කර ඇත්තේ කිනම් උපකරණයද, එමෙන්ම ඔවුන්ගේ ආත්මික උත්සව පැවැත්වීම අනාවැකිමය ලෙස විස්තර කර ඇත්තේ කෙසේද?
9 මෙම විශ්වාස වූ දාස පන්තිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලු දෙනා සඳහා ආත්මික පෝෂණය සැපයීමට පාවිච්චි කර ඇත්තේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි යන සමිතියයි. ක්‍රිස්තියානි ලෝකයත්, මෙම දේවල පිළිවෙළේ ඉතිරි කොටසත් ජීවනදායක ආත්මික ආහාර සඳහා සාගින්නෙන් සිටින අතර යෙහෝවඃවහන්සේගේ ජනයා සිටින්නේ ආහාර බහුල තත්ත්වයකය. (ආමොස් 8:11) මෙය යෙසායා 25:6හි ඇති අනාවැකියේ ඉටුවීමකි. “සේනාවල ස්වාමීන්වහන්සේද [යෙහෝවඃවහන්සේද, NW] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.” එහි 7වන හා 8වන වගන්ති පෙන්වන ආකාරයට මෙම මංගල්‍යය සදාකාලයටම පවතිනු ඇත. යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයේ සිටින සියල්ලන්හට දැන් එය කොතරම් ආශීර්වාදයක්ද, එමෙන්ම අනාගතයේ එය දිගටම කොතරම් ආශීර්වාදයක් වන්නට යන්නේද!
භූතයන්ගේ මේසයේ විෂකර ආහාර ගැන පරෙස්සම් වන්න
10. (අ) නපුරු දාස පන්තිය මගින් බෙදා දෙනු ලබන්නේ කොයි ආකාරයේ ආහාරද, එමෙන්ම ඔවුන්ගේ චේතනාව කුමක්ද? (ආ) නපුරු දාස පන්තිය කලින් සිටි තමන්ගේ සහකාර දාසයන්ව සලකන්නේ කෙසේද?
10 භූතයන්ගේ මේසයේ තිබෙන ආහාර විෂකරය. උදාහරණයක් වශයෙන්, නපුරු දාස පන්තිය හා ඇදහිල්ල අත්හරින්නන් විසින් බෙදා දෙනු ලබන ආහාර ගැන සලකා බලන්න. එය පෝෂණයක් හෝ වර්ධනයක් ලබා දෙන්නේ නැත; ගුණයක් නැත. එය එසේ නොවන්නේ මන්දයත්, ඇදහිල්ල අත්හැර ගියාවූ අය යෙහෝවඃවහන්සේගේ මේසයෙන් පෝෂණය වීම නවතා ඇති නිසාය. මෙහි විපාකයක් වශයෙන්, ඔවුන් අලුත් පෞද්ගලිකත්වයේ යමක් වර්ධනය කළත් එය පහව ගොස් ඇත. ඔවුන්ව පොලඹවන සාධකය, ශුද්ධාත්මය නොව, එහෙත් උග්‍ර තික්තකමයි. ඔවුන්ගේ සිතේ ගැබ්ව තිබෙන්නේ එක් ඉලක්කයක් පමණි—එනම්, යේසුස්වහන්සේ පුරෝකථනය කළ ආකාරයට, පෙර සිටි තමන්ගේ සහකාර දාසයන්ට තැලීමය.—මතෙව් 24:48, 49.
11. ආත්මික ආහාරය පිළිබඳව කෙනෙකුගේ තෝරාගැන්ම සම්බන්ධයෙන් සී. ටී. රසල් ලිව්වේ කුමක්ද, එමෙන්ම යෙහෝවඃවහන්සේගේ මේසය අත්හැර යන්නන්ව ඔහු විස්තර කළේ කෙසේද?
11 උදාහරණයක් හැටියට, 1909 තරම් අතීතයේ, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි, සී. ටී. රසල්, යෙහෝවඃවහන්සේගේ මේසයෙන් පසෙකට හැරී පෙර සිටි තමන්ගේ සහකාර දාසයන්ට හිංසා කරන්නට පටන්ගත් අය ගැන ලිව්වේය. වර්ෂ 1909, ඔක්තෝබර් 1වන දිනැති ද වොච් ටවර් සඟරාව මෙසේ පැවසුවේය: “සමිතියෙන් හා එහි කටයුත්තෙන් තමන්ව වෙන් කරගන්නා සියල්ලන්ම, තමන්ව සමෘද්ධියට පත් කර ගනු නැතහොත් අන්‍යයන්ව ඇදහිල්ලේ මෙන්ම ශුද්ධාත්මයේ ඵලවලින් වර්ධනය කරවනු වෙනුවට, ප්රත්යක්ෂ ලෙසින් කරමින් සිටින්නේ පටහැනි දෙයයි—එනම් තමන් වරක් සේවය කළ හේතුවට හානි පැමිණීමට වෑයම් කිරීම මෙන්ම, ප්‍රසිද්ධියක් ලබමින් හෝ නොලබමින් අභාවයට යෑමය, මින් සිදුවන්නේ තමන්ටත් තමන් හා සමාන විවාදශීලී ස්වභාවයක් ඇති අයටත් හානි පැමිණවීම පමණකි. . . . වෙනත් මේසවල තමන්ට හොඳ හෝ වඩාත් හොඳ කෑම ලබා ගත හැකියයි, නැතහොත් හොඳ හෝ වඩාත් හොඳ කෑම තමන්ටම නිපදවන්නට පුළුවන්යයි යමෙක් කල්පනා කරන්නේ නම්—මේ අය තමන්ගේ පරිපාටිය ක්‍රියාත්මක කරත්වා. . . . එහෙත් අන්‍යයන් තමන්ට තෘප්තිමත් විය හැකි ආහාර හා ආලෝකය සෙවීමට ඕනෑම හා සෑම තැනකම යා යුතුයයි අප කැමැත්ත ප්‍රකාශ කළත්, පුදුමයකට මෙන්, අපගේ විරුද්ධවාදීන් වූ අය ක්‍රියාවට නගන්නේ අතිශයින් වෙනස් පරිපාටියකි. ලෝකයේ පුරුෂාකාර ආකල්පයෙන් ‘මා වඩාත් කැමති යමක් මා සොයා ගත්තා; මා යනවා!’ යයි පවසනු වෙනුවට, මොවුන් පෙන්වමින් සිටින්නේ ලෝකයේ අය ප්‍රදර්ශනය කරන්නේයයි අප දැක නැති තරමට, කෝපය, ද්වේෂය, බද්ධවෛරය, ආරවුල් වැනි ‘මාංසයේ හා යක්ෂයාගේ ක්‍රියාය.’ ඔවුන් උමතුවෙන් පෙලඹී, යක්ෂාකාර ජලභීතිකා රෝගයෙන් පෙළෙන බව පෙනෙන්නට ඇත. ඔවුන්ගෙන් සමහරෙක් අපට පහර දී, එම පහරදීම අප කළ බව කියා සිටිති. ඔවුන් නින්දිත අසත්‍යයන් කියන්නට හා ලියන්නටත්, අධම දේවල් කිරීමටත් පහත් වීමටත් සූදානම්ය.”
12. (අ) ඇදහිල්ල අත්හැර ගිය අය තමන්ගේ සහකාර දාසයන්ට පහර දෙන්නේ කෙසේද? (ආ) කුතුහලය නිසා ඇදහිල්ල අත්හැර ගිය අයගේ ලිපිවලින් පෝෂණය වීම අන්තරාදායක වන්නේ මන්ද?
12 එසේය, ඇදහිල්ල අත්හැර ගිය අය ප්‍රකාශයට පත් කරන්නේ තොරතුරු පෙරළා වැරදිලෙස දක්වන, අඩක් සත්‍ය වන්නාවූ, එමෙන්ම සම්පූර්ණයෙන් අසත්‍ය වන්නාවූ ප්රකාශනයන්ය. ඔවුහු සැලකිලිමත් නොවන්නන්ව අල්ලා ගැනීමට වෑයම් දරමින්, සාක්ෂිකරුවන්ගේ සමුළුවලට පැමිණෙන අයව ආපසු හරවා යැවීමට එම ශාලා අසල මුරකරුවන්මෙන් ගැවසෙති. එනිසා, එවන් ලේඛනවලින් පෝෂණය වීමට හෝ ඔවුන්ගේ අපහාසාත්මක කථාවන්ට සවන්දීමට අපව පෙලඹීමට අපගේ කුතුහලයට අප ඉඩහැරීම අන්තරාදායක දෙයක් වනු ඇත! පෞද්ගලිකව එය අපට අන්තරාදායක දෙයක් වනු ඇතැයි අප කල්පනා නොකළ හැකිමුත්, සිදුවිය හැකි උපද්‍රවය එසේම පවතී. ඒ මන්ද? එක් දෙයක් නම්, ඇදහිල්ල අත්හැර ගිය අයගේ ඇතැම් ප්‍රකාශන “සෞම්‍ය ප්‍රිය වචනවලින්” හා “වංචා වචනවලින්” අසත්‍යය ඉදිරිපත් කිරීමයි. (රෝම 16:17, 18; 2 පේතෘස් 2:3) භූතයන්ගේ මේසයෙන් ඔබ අපේක්ෂා කරනු ඇත්තේ මෙය නොවේද? තවද ඇදහිල්ල අත්හැර ගිය අය ඇතැම් කාරණා ඉදිරිපත් කළත්, මේවා සාමාන්‍යයෙන් එහි පාඨ සම්බන්ධයෙන් ඉවතට ගෙන ඇත්තේ අන්‍යයන්ව යෙහෝවඃවහන්සේගේ මේසයෙන් වෙනතකට යොමු කරවීමේ අභිප්‍රායෙනි. ඔවුන්ගේ සියලු ලියවිලි හුදෙක් විවේචනාත්මක හා බිඳ හෙළනසුලුය! කිසිවක් වර්ධනය ගෙනදෙන්නේ නැත.
13, 14. ඇදහිල්ල අත්හැර ගිය අයගේ මෙන්ම ඔවුන්ගේ ප්රචාරයන්හි ඵල මොනවාද?
13 යේසුස්වහන්සේ පැවසුවේ “ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය” යනුවෙනි. (මතෙව් 7:16) දැන්, ඇදහිල්ල අත්හැර ගිය අයගේ මෙන්ම ඔවුන්ගේ ප්රකාශනවල ඵල මොනවාද? කරුණු හතරක් ඔවුන්ගේ ප්‍රචාරයන් සලකුණු කරයි. (1) දක්ෂකම. එපීස 4:14 [NW] පවසනුයේ ඔවුන් ‘වැරදි උපායන් බිහි කිරීමෙහි කපටියන්’ වන බවය. (2) උඩඟුකමෙන් හෙබි බුද්ධිමත්කම. (3) ප්‍රේමය නොමැතිකම. (4) විවිධාකාරයෙන් යුත් වංකකම. මේවා භූතයන්ගේ මේසයේ තිබෙන ආහාර මිශ්‍රණයට අයත් දේවල් වන අතර මේවා යොදාගෙන ඇත්තේ යෙහෝවඃවහන්සේගේ ජනයාගේ ඇදහිල්ලට රහසින් අනතුරු පමුණුවන්නටයි.
14 එමෙන්ම තවත් පැත්තක් ඇත. ඇදහිල්ල අත්හැර ගිය අය පෙරළා පැමිණ ඇත්තේ කුමක් වෙතටද? බොහෝ අවස්ථාවන්හි, ඔවුන් යළිත් ඇතුල්වී ඇත්තේ සියලු ක්‍රිස්තියානින් ස්වර්ගයට යන බවට වූ විශ්වාසය දරන, ක්‍රිස්තියානි ලෝකයට හා එහි ධර්ම ඉගැන්වීම්වල අන්ධකාරයටය. එපමණක් නොව, වැඩිදෙනෙක් තවදුරටත් රුධිරය, මධ්‍යස්ථභාවය මෙන්ම, දේව රාජ්‍යය ගැන සාක්ෂිදැරීමට ඇති අවශ්‍යතාව ගැන ස්ථිර ශුද්ධලියවිලිමය ස්ථාවරයක් දරන්නේ නැත. කෙසේ නමුත්, අප මහා බබිලෝනියේ අන්ධකාරයෙන් බේරී සිටින අතර කිසිකලෙක ඊට හැරී යන්නට අපට වුවමනාවක් නැත. (එළිදරව් 18:2, 4) යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සේවකයන් වශයෙන්, අපට “සාරවූ වචන” ලබා ගැනීමට උපකාර කරන අයට දැන් වචනයෙන් පහර දෙන යෙහෝවඃවහන්සේගේ මේසය ප්‍රතික්ෂේප කරන මේ අය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ප්‍රචාරයන් දෙස අප කෙටි බැල්මක් පවා හෙළිය යුත්තේ කුමටද?—2 තිමෝති 1:13.
15. ඇදහිල්ල අත්හැර ගිය අය කරන දෝෂාරෝපණ අප අසන විට ඥානවන්ත ක්‍රියාමාර්ගය ගැනීමට අපට උපකාර කරන්නේ කිනම් බයිබල් ප්රතිපත්තියද?
15 ඇදහිල්ල අත්හැර ගිය අය කරන දෝෂාරෝපණ විපරම් කරන්නට ඇතැමෙකු කුතුහලයක් දක්වන්නට පුළුවන. එහෙත් ද්විතීය කථාව 12:30, 31හි ඇති ප්‍රතිපත්තිය අප හෘදයට ගත යුතුය. මෙහිදී මෝසෙස් තුළින් යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට අනතුරු ඇඟවූයේ පොරොන්දු දේශයේ මිථ්‍යාදෘෂ්ටික පදිංචිකරුවන්ගෙන් තමන් එය අත්කරගත් පසු වැළකී සිටිය යුතු දේවල් ගැනය. “ඔවුන් නුඹ ඉදිරියෙන් විනාශකරනු ලැබූ පසු, නුඹ ඔවුන් අනුව යෑමට අසුනොවන හැටියටත්: මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද, මමත් එලෙස කරන්නෙමියි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලාගනින්න. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] නුඹ විසින් එයාකාර නොකළ යුතුය.” එසේය, මනුෂ්‍ය කුතුහලය ක්‍රියා කරන ආකාරය යෙහෝවඃ දෙවියන්වහන්සේ දන්නාසේක. ඒව මෙන්ම ලොත්ගේ භාර්යාවත් මතක තබාගන්න! (ලූක් 17:32; 1 තිමෝති 2:14) ඇදහිල්ල අත්හැර ගිය අය කියන හෝ කරමින් සිටින දෙයට අපි කිසිකලෙක සවන් නොදෙමු. ඒ වෙනුවට, ජනයාව ගොඩනැගීමෙහිත් යෙහෝවඃවහන්සේගේ මේසයෙන් පක්ෂපාතීව පෝෂණය වීමෙහිත් අපි ක්‍රියාශීලීව සිටිමු!
ඉතිරි යෙහෝවඃවහන්සේගේ මේසය පමණකි
16, (අ) සාතන්ට, ඔහුගේ භූතයන්ට, මෙන්ම ලෝකයේ ජාතීන් පෝෂණය ලබමින් සිටි සංකේතවත් මේසයට කෙටිකලකින් සිදුවනු ඇත්තේ කුමක්ද? (ආ) භූතයන්ගේ මේසයෙන් දිගටම පෝෂණය ලබන්නාවූ සියලු මනුෂ්‍යයන්ට සිදුවනු ඇත්තේ කුමක්ද?
16 වැඩි කලක් යන්නට මත්තෙන්, මහත් පීඩාව හදිස්සියේම ඇරඹෙනු ඇත, එය “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” තුළදී උච්චාවස්ථාවකට ඉක්මනින් පත්වෙයි. (එළිදරව් 16:14, 16) එය මුදුන්පත් වනු ඇත්තේ මෙම දේවල පිළිවෙළද, ලෝකයේ ජාතීන් පෝෂණය ලබමින් සිටි සංකේතාත්මක මේසයද, යෙහෝවඃවහන්සේ විනාශ කිරීම සමඟිනි. යෙහෝවඃවහන්සේ සාතන් නම් යක්ෂයාගේ භූත රැළත් සමඟ ඔහුගේ මුළු මහත් අදෘශ්‍යමාන සංවිධානයද පරාජයට පත් කරනු ඇත. භූතයන්ගේ මේසය වන, සාතන්ගේ ආත්මික මේසයෙන් දිගටම පෝෂණය ලබා ඇති අය සැබෑ කෑමකට සහභාගි වන්නට බලකරනු ලබනවා ඇත, නැත පංගුකාරයන් හැටියට නොව, නමුත් තමන්ගේම විනාශය පිණිස භෝජනයේ ප්‍රධාන කොටස හැටියටයි!—බලන්න එසකියෙල් 39:4; එළිදරව් 19:17, 18.
17. යෙහෝවඃවහන්සේගේ මේසයෙන් පමණක් පෝෂණය ලබන්නාවූ අයට ලැබෙන ආශීර්වාද මොනවාද?
17 ඉතිරි වනු ඇත්තේ යෙහෝවඃවහන්සේගේ මේසය පමණකි. ඇගැයීමෙන් යුක්තව ඉන් පෝෂණය ලබන්නාවූ අය, ආරක්ෂා කරනු ලැබ සදාකාලයටම ඉන් පෝෂණය ලැබීමට වරප්‍රසාද ලබනු ඇත. ඉන්පසු කිසිකලෙක කිසිම ආකාරයක ආහාර හිඟයක් ඔවුන්ට තර්ජනය කරන්නට යන්නේ නැත. (ගීතාවලිය 67:6; 72:16) පරිපූර්ණ සෞඛ්‍යයෙන් යුක්තව ඔවුහු පාරාදීසයේ යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කරනු ඇත්තාහ! අන්තිමේදී “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” යනුවෙන් එළිදරව් 21:4හි ඇති ප්රබෝධාත්මක වදන් තේජවත් ආකාරයකට ඉෂ්ට වනු ඇති බැවිනි. තවදුරටත් විරුද්ධත්වයක් නොපවතිනු ඇති නිසා, පාරාදීසයේ පදිංචිව සිටින ගළවනු ලැබූ මනුෂ්‍යවර්ගයා කෙරෙහි නිමාවක් නොවන දිව්‍ය අනුග්‍රහය වගුරුවනු ලබත්ම, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ සර්වලෝක පරමාධිපත්‍යය සෑම තැනම සදාකාලයෙන් සදාකාලයට පවතිනු ඇත. මෙම ත්‍යාගය ලබනු පිණිස, හොඳම ආත්මික ආහාරයෙන් සම්පූර්ණයෙන්ම පිරී පවතින, යෙහෝවඃවහන්සේගේ මේසයට පමණක් පංගුකාරයන් වීමට අප සියල්ලන්ම අධිෂ්ඨානකර ගනිමු!
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ භූතමය ගුරුකම් මගින් නොමඟ යෑමෙන් අපට වැළකී සිටිය හැක්කේ කෙසේද?
◻ අපට යෙහෝවඃවහන්සේගේ මේසයෙහිත් භූතයන්ගේ මේසයෙහිත් යන දෙකෙන්ම සාර්ථකව පෝෂණය ලැබිය නොහැක්කේ මන්ද?
◻ ඇදහිල්ල අත්හැර ගිය අය විසින් බෙදා දෙනු ලබන්නේ කොයි ආකාරයේ ආහාරද?
◻ ඇදහිල්ල අත්හැර ගිය අයගේ චෝදනා ගැන කුතුහලයක් දැක්වීම අන්තරාදායක වන්නේ මන්ද?
◻ ඇදහිල්ල අත්හැර ගිය අයගේ ඵල මොනවාද?
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේගේ මේසය සම්පූර්ණයෙන් පිරී ඇත්තේ හොඳම ආත්මික ආහාරයෙනි