භූත ඉගැන්වීම්වලට එරෙහිව දිව්‍ය ඉගැන්වීම
“සමහරු මුළාකරවන ආත්මයන්ද [ආනුභාවලත් ප්රකාශයන්ද, NW] යක්ෂයන්ගේ ගුරුකම්ද [භූත ඉගැන්වීම්ද, NW] සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇත.” —1 තිමෝති 4:1.
1. ක්‍රිස්තියානින් සිටින්නේ කිනම් යුද්ධය මැදද?
ඔබේ ජීවිතය පුරා ඔබ ජීවත්වන්නේ යුද කලාපයක යයි සිතන්න. තුවක්කුවල ශබ්දය අසමින් නින්දට ගොස් කාලතුවක්කුවල හෙන හඬට අවදිවන්නට සිදුවේ නම් එය කෙසේ වනු ඇත්ද? කනගාටුවට කරුණක් නම්, ලෝකයේ ඇතැම් කොටස්වල මිනිසුන් ඇත්තටම ජීවත් වන්නේ ඒ ආකාරයට වීමයි. එහෙත්, ආත්මික අර්ථයෙන් ගත් කල, සියලු ක්‍රිස්තියානිහු මේ ආකාරයෙන් ජීවත් වෙති. ඔවුන් සිටින්නේ, වසර 6,000ක් පමණ මුළුල්ලේ ඇවිලෙමින් පැවත ඇති, අපගේ කාලයේ වඩාත් තීව්‍රවී තිබෙන මහත් යුද්ධයක් මැදය. මෙතරම් දිගුකලක් පුරා පැවති මේ යුද්ධය කුමක්ද? බොරුවලට එරෙහිව සත්‍යයේ සටනය, භූත ඉගැන්වීම්වලට එරෙහිව දිව්‍ය ඉගැන්වීමේ සටනය. මෙය, අවම වශයෙන් එක ප්‍රතිවාදියෙකුගේ පැත්තෙන් බැලූ විට, මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ වඩාත් දයානුකම්පා විරහිත සහ වඩාත් මාරක ගැටුම කියා හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
2. (අ) පාවුල් පවසන පරිදි, එකිනෙකාට විරුද්ධව සිටින පැති දෙක කවරේද? (ආ) “ඇදහිල්ල” යනුවෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?
2 ප්‍රේරිත පාවුල්, තිමෝතිට ලියූ විට මෙම ගැටුමේ පැති දෙක සඳහන් කළේය: “පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද [ආනුභාවලත් ප්රකාශයන්ද, NW] යක්ෂයන්ගේ ගුරුකම්ද [භූත ඉගැන්වීම්ද, NW] සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ [දේවානුභාවලත් ප්‍රකාශය, NW] පැහැදිලි ලෙස කියන සේක [කියයි, NW].” (1 තිමෝති 4:1) මෙම භූත ඉගැන්වීම් විශේෂයෙන්ම බලපෑම් කරනු ඇත්තේ “පසු කාලවලදී” බව සැලකිල්ලට ගන්න. පාවුල්ගේ දවසේ සිට බලන කල, අප ජීවත් වෙමින් සිටින්නේ එවැනි කාලයකය. මෙහි භූත ඉගැන්වීම්වලට විරුද්ධව තිබෙන දෙය කුමක්ද කියා බලන්න, එය “ඇදහිල්ලය.” මෙහි, “ඇදහිල්ලෙන්” නියෝජනය වන්නේ, බයිබලයේ අන්තර්ගතව ඇති, දෙවියන්වහන්සේගේ දිව්‍යමය ආනුභාවලත් ප්‍රකාශන මත පදනම්ව ඇති දිව්‍ය ඉගැන්වීම්ය. එවන් ඇදහිල්ල ජීවනදායකය. එය, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට ක්‍රිස්තු අනුගාමියෙකුට උගන්වයි. සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය එයයි.—යොහන් 3:16; 6:40.
3. (අ) සත්‍යය හා බොරු අතර යුද්ධයේ ගොදුරුවූවන්ට කුමක් සිදුවේද? (ආ) භූත ඉගැන්වීම්වල පිටුපස සිටින්නේ කවුද?
3 ඇදහිල්ලෙන් වැටී යන ඕනෑම අයෙක් සදාකාල ජීවනය අහිමි කර ගනී. ඔවුහු වනාහි යුද්ධයට ගොදුරු වන්නෝය. යමෙක්, භූත ඉගැන්වීම්වලින් මුලා කරනු ලැබීමට තමාවම ඉඩ හැරීම මොනතරම් ඛේදනීය ප්‍රතිඵලයක්ද! (මතෙව් 24:24) ඊට ගොදුරු නොවී සිටීමට පුද්ගලයන් වශයෙන් අපට හැක්කේ කෙසේද? “භූත පාලකයාගේ,” එනම් යක්ෂයා වන සාතන්ගේ අරමුණ පමණක් ඉටු කරන, මෙම බොරු ඉගැන්වීම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම මගිනි. (මතෙව් 12:24) සාතන් වනාහි “බොරුවේ පියා” බැවින්, සාතන්ගේ ඉගැන්වීම් බොරු බව කලින්ම කිව හැක. (යොහන් 8:44) අපගේ පළමු දෙමාපියන්ව මුළා කිරීමට ඔහු දක්ෂ ලෙස බොරු යොදා ගත් ආකාරය සලකා බලන්න.
භූත ඉගැන්වීම් හෙළිවී
4, 5. සාතන් ඒවට පැවසූ බොරුව කුමක්ද, තවද එය එතරම් දුෂ්ට වූයේ මන්ද?
4 මෙම සිදුවීම් බයිබලයේ උත්පත්ති 3:1-5හි වාර්තා වී ඇත. සර්පයෙකු උපයෝගි කර ගත් සාතන්, ස්ත්‍රිය වන ඒව වෙත එළැඹ ඇගෙන් මෙසේ ඇසීය: “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපා කියා දෙවියන්වහන්සේ කීවාද?” මෙම ප්රශ්නය හානිකර එකක් ලෙස පෙනෙන්ට නොතිබේ, නමුත් ඒ දෙස නැවත බලන්න. “ඇත්තටම . . . කීවාද?” සාතන් පුදුමයෙන් එය පැවසුවාක්සේ පෙනී යයි, එය හරියට, ‘දෙවියන්වහන්සේ ඒ වගේ දෙයක් කියන්නේ ඇයි?’ යනුවෙන් ඇසුවා හා සමානය.
5 ඒව අහිංසක ලෙස ඇඟවූයේ මෙය එසේ වූ බවයි. මෙම කාරණය සම්බන්ධයෙන් දිව්‍ය ඉගැන්වීම ඈ දැන සිටියාය, එනම්, ඔවුන් යහපත හා නපුරු දැනගැනීමේ ගසෙන් කෑවොත් ඔවුන් මැරෙන බව දෙවියන්වහන්සේ ආදම්ට පවසා තිබූ බවය. (උත්පත්ති 2:16, 17) පෙනෙන විදහට සාතන්ගේ ප්රශ්නය ඇගේ කුතුහලය ඇවිස්සුවා විය හැක, එමනිසා ඔහු තම කරුණ අවධාරණය කළ විට ඈ ඔහුට සවන් දුන්නාය: “සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත. . . . යි ස්ත්‍රියට කීවේය.” පැවසීමට මොනතරම් දුෂ්ට දෙයක්ද! සත්‍යයේ දෙවියන්වහන්සේ, ප්‍රේමයේ දෙවියන්වහන්සේ, මැවුම්කරුවාණන්, තම මිනිස් දරුවන්ට බොරු කියන බවට සාතන් යෙහෝවඃවහන්සේට චෝදනා කළේය.—ගීතාවලිය 31:5; 1 යොහන් 4:16; එළිදරව් 4:11.
6. සාතන් යෙහෝවඃවහන්සේගේ යහපත්කම හා පරමාධිපත්‍යය අභියෝගයට ලක් කළේ කෙසේද?
6 එහෙත්, සාතන් තවත් දේවල් කියා සිටියේය. ඔහු තවදුරටත් කීවේ මෙසේයි: “මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේක.” සාතන් පවසන පරිදි, යෙහෝවඃ දෙවියන්වහන්සේට—එනම් අපගේ පළමු දෙමාපියන්ට එතරම්ම බහුල ලෙස සපයා තිබූ තැනැන්වහන්සේට—යම් විස්මයජනක දෙයක් ඔවුන්ගෙන් අහිමි කිරීමට වුවමනා විය. ඔවුන් දෙවිවරුන් හා සමාන වීමෙන් වැළැක්වීමට උන්වහන්සේට වුවමනා විය. මෙසේ, සාතන් දෙවියන්වහන්සේගේ යහපත්කමට අභියෝග කළේය. තවද ස්වයං-පිනවීමටද, දෙවියන්වහන්සේගේ නීති හිතාමතාම නොසලකා හැරියහොත් එය ප්‍රයෝජනදායක බව පවසමින් එසේ කිරීමටද ඔහු ඔවුන්ව පෙලඹවූයේය. ඇත්තෙන්ම, මිනිසා කළ දේ මත නීති දැමීමට දෙවියන්වහන්සේට කිසිඳු අයිතියක් නැතැයි කියා සිටිමින්, සාතන් අභියෝග කළේ දෙවියන්වහන්සේගේම මැවිලි කෙරෙහි උන්වහන්සේගේ පරමාධිපත්‍යයටයි.
7. පළමු වතාවට භූත ඉගැන්වීම් ඇසීමට ලැබුණේ කවදාද, එමෙන්ම අදදින ඒවා සමානවන්නේ කෙසේද?
7 සාතන්ගේ එම වචන සමඟ, භූතයන්ගේ ඉගැන්වීම්වල ආරම්භය ඇති විය. මෙම නපුරු ඉගැන්වීම් තවමත් ඒ හා සමාන අදේව ප්‍රතිපත්ති වැඩි දියුණු කරයි. ඒදන් උයනේදී කළාක් මෙන්, වෙනත් කැරලිකාර ආත්මයන් සමඟ සම්බන්ධ වී සිටින සාතන් ක්‍රියාවන්හි ප්‍රමිති තැබීමට දෙවියන්වහන්සේට ඇති අයිතියට අභියෝග එල්ල කරමින් සිටී. ඔහු තවමත් යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව ගැන චෝදනා කරන අතර, තම ස්වර්ගික පියාණන්ට අකීකරුවීමට මිනිසුන්ට බලපෑම් කිරීමට උත්සාහ කරයි.—1 යොහන් 3:8, 10.
8. ඒදන් උයනේදී ආදම් සහ ඒව අහිමි කර ගත්තේ කුමක්ද, නමුත් යෙහෝවඃවහන්සේ සැබෑ බවට ඔප්පු වූයේ කෙසේද?
8 දිව්‍ය ඉගැන්වීම හා භූත ඉගැන්වීම් අතර එම සටනේ පළමු ගැටුමේදී, ආදම් සහ ඒව වැරදි තීරණ ගත් අතර, සදාකාල ජීවිතය පිළිබඳ තම බලාපොරොත්තුව අහිමි කර ගත්හ. (උත්පත්ති 3:19) කාලය ගෙවී යත්ම, ඔවුන්ගේ ශරීර පිරිහී ගියෙන්, අතීතයේ ඒදන් උයනේදී බොරු කියා තිබුණේ කවුද සහ ඇත්ත කියා තිබුණේ කවුද කියා ඔවුන්ට හොඳින් තහවුරු වී ගියේය. කෙසේවෙතත්, ඔවුන් භෞතික වශයෙන් මියයාමට වසර සිය ගණනකට පෙර, ඔවුහු ජීවිතයේ උල්පත වූ තම මැවුම්කරුවාණන් විසින් ජීවත්වීමට නොවටින්නේ යයි විනිශ්චය කරනු ලැබූ විට, සත්‍යය හා බොරුව අතර සටනේ පළමු ගොදුරු වූවන් වූහ. ආත්මික අර්ථයෙන් ඔවුන් මියගියේ එවිටය.—ගීතාවලිය 36:9; සසඳන්න එපීස 2:1.
අදදින භූත ඉගැන්වීම්
9. සියවස් ගණනාව පුරා භූත ඉගැන්වීම් කොතරම් බලපෑමෙන් යුක්ත වී තිබේද?
9 එළිදරව් පොතෙහි වාර්තා වී ඇති පරිදි, ප්‍රේරිත යොහන් 1914න් ආරම්භ වූ “ස්වාමීන්වහන්සේගේ දවසට” ආනුභාවයෙන් ගෙන යන ලදි. (එළිදරව් 1:10) එම අවස්ථාවේදී, සාතන් සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයේ සිට පොළොව ආසන්න පෙදෙසට දමන ලදි—මෙය අපගේ උත්තරීතර මැවුම්කරුවාණන්ගේ මෙම විරුද්ධවාදියාගේ මහත් පසුබෑමක් විය. යෙහෝවඃවහන්සේගේ සේවකයන්ට එරෙහිව නිරතුරුවම චෝදනා කරන ඔහුගේ හඬ ස්වර්ගයේ තවත් ඇසුණේ නැත. (එළිදරව් 12:10) එනමුත්, ඒදන් උයනේ සිට මේ දක්වා පොළොව මත භූත ඉගැන්වීම් කිනම් ප්‍රගතියක් ලබා තිබේද? වාර්තාව මෙසේ කියයි: “මුළු ලෝකයා රවටන්නා [මුළු ජනාවාස පොළොව රවටමින් සිටින්නා, NW] වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා [මකරා, NW] නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය.” (එළිදරව් 12:9) මුළු ලෝකයම සාතන්ගේ බොරුවලට හසුවී සිටී! සාතන් “මේ ලෝකයේ පාලකයා” යයි හඳුන්වනු ලැබීම පුදුමයක් නොවේ!—යොහන් 12:31; 16:11, NW.
10, 11. අදදින සාතන් සහ ඔහුගේ දූතයන් ක්‍රියාශීලී වී ඇත්තේ කුමන ආකාරවලින්ද?
10 සාතන් ස්වර්ගයෙන් නෙරපා දමනු ලැබුවායින් පසු ඔහු තමාගේ පරාජය පිළිගත්තාද? කොහෙත්ම නැත! දිව්‍ය ඉගැන්වීමට සහ එයට ඇලී සිටින අයට විරුද්ධව දිගටම එරෙහිවීමට ඔහු අදිටන් කර ගත්තේය. ස්වර්ගයේ සිට පහතට හෙළනු ලැබීමෙන් පසු, සාතන් නොකඩවා තම යුද්ධය කර ගෙන ගියේය: “මහ සර්පයා [මකරා, NW] [සාතන්] ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.”—එළිදරව් 12:16.
11 දෙවියන්වහන්සේගේ සේවකයන්ට එරෙහිව සටන්වදිනවාට අමතරව, සාතන්, ඔහුගේ ප්‍රචාරවලින් ලෝකය පුරවන්නේ මිනිස් වර්ගයා තම දැඩි ග්‍රහණයේ තබා ගැනීමට වෙර දරමිනි. සාතන්, ඔහුගේ භූමික දේශපාලන සංවිධානය සහ අපගේ කාලයේ බලපවත්වන ලෝක බලය සංකේතවත් කරන වන මෘගයන් තිදෙනෙක්, ස්වාමීන්වහන්සේගේ දවස පිළිබඳව ප්‍රේරිත යොහන් ඔහුගේ එළිදරව් දර්ශනවලින් එකක දුටුවේය. මෙම මෘගයන් තිදෙනාගේ මුඛවලින්, මැඩියන් පිටතට ආවේය. මේවායින් සංකේත වූයේ කුමක්ද? යොහන් මෙසේ ලියයි: “ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය [භූත ආනුභාවෙන් පැමිණෙන ප්රකාශයන්ය, NW].” (එළිදරව් 16:14) පැහැදිලිවම, භූත ඉගැන්වීම් මෙම පොළොවේ ඉතා ක්‍රියාශීලීය. සාතන් සහ ඔහුගේ දූතයන් තවමත් දිව්‍ය ඉගැන්වීම්වලට එරෙහිව සටන් කරමින් සිටින අතර, මෙසියානු රජ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ඔවුන්ව බලහත්කාරයෙන් නවත්වන තෙක් ඔවුන් දිගටම එසේ කරනවා ඇත.—එළිදරව් 20:2.
භූත ඉගැන්වීම් හඳුනාගැනීම
12. (අ) භූත ඉගැන්වීම්වලට එරෙහිවීම කළ හැක්කක් වන්නේ මන්ද? (ආ) දෙවියන්වහන්සේගේ සේවකයන් සම්බන්ධයෙන් තම ඉලක්ක ඉටු කර ගැනීමට සාතන් මාන බලන්නේ කෙසේද?
12 දේව භයැති මිනිසුන්ට භූත ඉගැන්වීම්වලට එරෙහිව සිටිය හැකිද? ඇත්ත වශයෙන්ම හේතු දෙකක් නිසා ඔවුන්ට එසේ කළ හැක. පළමුවැන්න, දිව්‍ය ඉගැන්වීම් වඩාත් බලවත් නිසාය; දෙවැන්න, අපට එරෙහිව සිටිය හැකි පරිදි, යෙහෝවඃවහන්සේ සාතන්ගේ උපක්‍රම හෙළි කොට ඇති නිසාය. ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන්, “ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.” (2 කොරින්ති 2:11) තම ඉලක්ක අත්කර ගැනීම සඳහා සාතන් එක් ක්‍රමයක් ලෙස පීඩා උපයෝගි කරගන්නා බව අපි දනිමු, (2 තිමෝති 3:12) එහෙත්, ඔහු වඩාත් සියුම් ලෙස, දෙවියන්වහන්සේට සේවය කරන අයගේ මනස් හා හෘදවලට බලපෑම් කිරීමට මාන බලයි. ඔහු ඒවව මුලා කොට, ඇගේ හෘදය තුළට වැරදි ආශාවන් දැම්මේය. අදදිනත් ඔහු උත්සාහ කරන්නේ එම දේම කිරීමටය. පාවුල් කොරින්තිවරුන්ට ලීවේ මෙසේයි: “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.” (2 කොරින්ති 11:3) පොදුවේ ගත් කල, ඔහු මිනිස් වර්ගයාගේ සිතිවිලි දූෂණය කර ඇති ආකාරය සලකා බලන්න.
13. ඒදන් උයනේ පටන්, සාතන් මිනිස් වර්ගයාට පවසා තිබෙන බොරු මොනවාද?
13 යෙහෝවඃවහන්සේ බොරු කියන බව චෝදනා කළ සාතන්, මිනිසුන් තම මැවුම්කරුවාණන්හට අකීකරු වූවානම් ඔවුන්ට දෙවියන් හා සමාන වීමට හැකි බව ඒවට පැවසුවේය. අදදින මිනිස් වර්ගයාගේ පහත වැටුණු තත්ත්වයෙන් පෙන්වන්නේ, බොරුකාරයා වූයේ යෙහෝවඃවහන්සේ නොව නමුත් සාතන් බවයි. අදදින මිනිස්සු දෙවිවරුන් නොවෙති! කෙසේවෙතත්, සාතන් එම පළමු බොරුව සමඟ තවත් බොරු කියා පෑවේය. ඔහු මිනිස් ආත්මය අමරණීය, නොමැරෙනසුලු බවට වූ අදහස හඳුන්වා දුන්නේය. මෙසේ ඔහු, මිනිස් වර්ගයාහට වෙනත් ආකාරයකින් දෙවිවරුන් බවට පත්වීමේ හැකියාවක් ඔවුන් හමුවේ තැබුවේ ඉතා කූට අන්දමිනි. ඉන් අනතුරුව, ඔහු එම බොරු මූල ධර්මය පදනම් කර ගනිමින්, නිරාගින්න, ශුද්ධගිනිස්ථානය, ආත්ම බන්ධන ක්‍රියා සහ මුතුන් මිත්තන් නමස්කාරය පිළිබඳ ඉගැන්වීම් වැඩි දියුණු කළේය. මෙම බොරු, මිලියන සියගණනක් ජනතාව තවමත් වහල්භාවයේ තබා ගෙන සිටී.—ද්විතීය කථාව 18:9-13.
14, 15. මරණය සහ අනාගතය උදෙසා මිනිසාගේ බලාපොරොත්තුව පිළිබඳව සත්‍යය කුමක්ද?
14 ඇත්ත වශයෙන්ම, යෙහෝවඃවහන්සේ ආදම්ට පැවසූ දේ සත්‍යය විය. ආදම් දෙවියන්වහන්සේට විරුද්ධව පව් කළ විට ඔහු ඇත්තෙන්ම මියගියේය. (උත්පත්ති 5:5) ආදම් සහ ඔහුගෙන් පැවතෙන්නන් මියගිය විට, ඔවුහු මියගිය, සිහි නොමැති, අක්‍රියාශීලී ආත්ම බවට පත්වූහ. (උත්පත්ති 2:7; දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) ආදම්ගෙන් පාපය උරුම කර ගෙන සිටීම නිසා, සියලුම මිනිස් ආත්මයෝ මියයති. (රෝම 5:12) කෙසේවෙතත්, අතීතයේ ඒදන් උයනේදී, යෙහෝවඃවහන්සේ පොරොන්දු වූයේ, යක්ෂයාගේ ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට සමත් වංශයක් පැමිණෙනු ඇති බවයි. (උත්පත්ති 3:15) එම වංශය වූයේ දෙවියන්වහන්සේගේම ඒකජාතක පුත්‍රයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. යේසුස්වහන්සේ පාප රහිතව මියගිය අතර, උන්වහන්සේගේ යාගික ජීවිතය මිනිස් වර්ගයාව ඔවුන්ගේ මැරෙනසුලු තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා මිදීමේ මිලයක් බවට පත් විය. කීකරු ලෙස යේසුස්වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල ක්‍රියාවට නංවන අයට ආදම් අහිමි කරගත් සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව තිබේ.—යොහන් 3:36; රෝම 6:23; 1 තිමෝති 2:5, 6.
15 මිනිස් වර්ගයා සඳහා නියම බලාපොරොත්තුව වනුයේ, මරණින් පසු බේරී ජීවත් වන ආත්මය පිළිබඳ යම් නොපැහැදිලි අදහසක් නොව, නමුත් මෙම මිදීමේ මිලයයි. මෙය දිව්‍ය ඉගැන්වීම වෙයි. එය සත්‍යයය. තවද එය යෙහෝවඃවහන්සේගේ ප්‍රේමයේ සහ ප්‍රඥාවේ පුදුමාකාර නිරූපනයකි. (යොහන් 3:16) මෙම සත්‍යය ඉගෙන ගැනීමට ලැබීම ගැනත්, මෙම කාරණා සම්බන්ධයෙන් භූත ඉගැන්වීම්වලින් නිදහස් කර තිබීම ගැනත් අපි කොතරම් කෘතඥපූර්වක විය යුත්තෙමුද!—යොහන් 8:32.
16. මිනිසුන් තමන්ගේම ප්‍රඥාව අනුගමනය කරන විට ඇති වන දිගුකාලීන ප්‍රතිඵල මොනවාද?
16 ඒදන් උයනේ පැවසූ තම බොරු මගින්, සාතන්, ආදම් සහ ඒවව දිරිගැන්වූයේ දෙවියන්වහන්සේගෙන් ස්වාධීන වී, තමන්ගේම ප්‍රඥාව මත රඳා සිටීමට යත්න දරන ලෙසටයි. අදදින ලෝකයේ පවතින අපරාධ, ආර්ථික දුෂ්කරතා, යුද්ධ සහ බොහෝ සෙයින් වූ අසමානතාවය තුළ එහි දිගු කාලීන ප්‍රතිඵල අපට දැකිය හැකියි. “මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියේ මෝඩකම” යයි බයිබලය පැවසීම පුදුමයක් නොවේ. (1 කොරින්ති 3:19) එහෙත්, බොහෝ මිනිස්සු, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් පිළිගන්නවාට වඩා, මෝඩ ලෙස දුක්විඳීමට තෝරගනිති. (ගීතාවලිය 14:1-3; 107:17) දිව්‍ය ඉගැන්වීම් පිළිගෙන ඇති ක්‍රිස්තියානිහු, එම උගුලට වැටීමෙන් වැළකෙති.
17. සාතන් වැඩි දියුණු කර තිබෙන “දැනුම යයි බොරු ලෙස හඳුන්වනු ලබන” දේ මොනවාද, තවද එහි ඵල කවරේද?
17 පාවුල් තිමෝතිට මෙසේ ලීවේය: “තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ [දැනුම යයි බොරු ලෙස හඳුන්වනු ලබන, NW] අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරපන්න; සමහරු ඒ දැනගැන්ම [දැනුම, NW] තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය.” (1 තිමෝති 6:20, 21) එම “දැනුම” භූත ඉගැන්වීම්ද නියෝජනය කරයි. පාවුල්ගේ දවසේදී, ඒ මගින් යොමු දැක්වුණේ, සභාවේ ඇතැම් අය විසින් වැඩිදියුණු කරනු ලබමින් තිබූ ඇදහිල්ල අතහැර ගිය ඉගැන්වීම් බවට පෙනෙන්ට තිබේ. (2 තිමෝති 2:16-18) පසුව, ඥානවාදය සහ ග්‍රීක් දර්ශනවාදය වැනි බොරුවට දැනුම යයි හැඳින්වෙන දේවල් සභාව දූෂණය කළේය. අදදින, ලෝකයේ, අදේවවාදය, ආඥේයවාදය, පරිණාමවාදී මත සහ බයිබලය තදින් විවේචනය කිරීම වැනි දෑ දැනුම යයි හැඳින්වෙන බොරු දේවලට උදාහරණ වන අතර, නූතනයේ ඇදහිල්ල අතහැර ගිය අය විසින් වැඩි දියුණු කරන ලද ශුද්ධලියවිලිමය නොවන අදහස්වලට සමානය. දැනුම යයි බොරුවෙන් පවසන මෙම සියල්ලේ ඵල, සාතන්ගේ දේවල පිළිවෙළේ ලක්ෂණ වන සදාචාරය පිරිහීම, පුළුල්ව ව්‍යාප්තව ඇති අධිකාරිත්වයට අගෞරව කිරීම, වංකභාවය සහ ආත්මාර්ථය තුළ දක්නට තිබේ.
දිව්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටීම
18. අදදින දිව්‍ය ඉගැන්වීම සොයමින් සිටින්නෝ කවරහුද?
18 ඒදන් උයනේ කාලයේ සිට, සාතන් භූත ඉගැන්වීම්වලින් පොළොව පුරවා ඇතත්, දිව්‍ය ඉගැන්වීම් සෙව්වාවූ ඇතැම් අය සෑම විටම සිට ඇත. අදදින එවැනි අය සංඛ්‍යාවෙන් මිලියන ගණනක් වෙති. යේසුස්වහන්සේ සමඟ සිය ස්වර්ගික රාජ්‍යයේ රජකම් කිරීමේ ස්ථිර බලාපොරොත්තුව ඇති ආලේපලත් ක්‍රිස්තියානින්ගේ ඉතිරි කොටස සහ එම රාජ්‍යයේ භූමික විෂය උරුම කර ගැනීමේ අපේක්ෂාවෙන් යුත් “වෙනත් බැටළුවන්ගේ” වැඩි වෙමින් පවතින මහත් සමූහය මීට ඇතුළත් වෙයි. (මතෙව් 25:34; යොහන් 10:16; එළිදරව් 7:3, 9) අදදින, මොවුන් එක් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තුළට එක් රැස්කරනු ලැබ තිබෙන අතර, යෙසායාගේ මෙම වචන ඔවුන්ට අදාළ වෙයි: “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] විසින් උගන්වනු ලබන්නෝවෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.”—යෙසායා 54:13.
19. යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීමට ඇතුළත් වන්නේ මොනවාද?
19 යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම යන්නෙන් අදහස් කරන්නේ, එය වැදගත් යමක් වුවත් සැබෑ මූලධර්ම දැනගැනීමට වැඩි යමක් බවය. ජීවත් වන ආකාරය, අපගේ පෞද්ගලික ජීවිතවලට දිව්‍ය ඉගැන්වීම අදාළ කරගන්නා ආකාරය යෙහෝවඃවහන්සේ අපට උගන්වන සේක. නිදසුනක් වශයෙන්, අප අවට ලෝකය වටා හාත්පස පැතිර පවත්නා ආත්මාර්ථයට, දුරාචාරයට, ස්වාධීනත්වයේ ස්වභාවයට අපි එරෙහි වන්නෙමු. මෙම ලෝකයේ ධන සම්පත් පසුපස කරනු ලබන සිත්පිත්නැති ලුහුබැඳීමේ සැබෑ ස්වභාවය අපි හඳුනා ගනිමු—එනම් එය මරණය ගෙනදෙන බවය. (යාකොබ් 5:1-3) ප්‍රේරිත යොහන්ගේ වචන තුළ පළවී ඇති දිව්‍ය ඉගැන්වීම අපි කිසිවිටෙකත් අමතක නොකරමු: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.”—1 යොහන් 2:15.
20, 21. (අ) මිනිසුන්ව අන්ධ කිරීමෙහිලා දරන ප්රයත්නයේදී සාතන් යොදා ගන්නේ මොනවාද? (ආ) දිව්‍ය ඉගැන්වීමට ඇලී සිටින අයට පැමිණෙන ආශීර්වාද මොනවාද?
20 භූත ඉගැන්වීම්වලට ගොදුරුවූවන් කෙරෙහි එහි බලපෑම, කොරින්තිවරුන්ට ලියන ලද පාවුල්ගේ වදන් තුළ දක්නට ලැබේ: “නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, [සාතන්] ඔවුන්ගේ සිත් [මනස්, NW] අන්ධකළේය.” (2 කොරින්ති 4:4) සාතන් මේ ආකාරයෙන් ක්රිස්තියානින්වද අන්ධ කිරීමට කැමති වනු ඇත. අතීතයේ ඒදන් උයනේදී, දෙවියන්වහන්සේගේ සේවකයෙකුව මුළා කිරීම සඳහා ඔහු සර්පයෙකුව යොදා ගත්තේය. අදදින, ඔහු ප්‍රචණ්ඩකාරී හෝ දුරාචාර චිත්‍රපට හා රූපවාහිනි දර්ශන යොදා ගනී. ගුවන් විදුලිය, පොත්පත් හා සංගීතය ඔහු තම ප්‍රයෝජනයට අනිසි ලෙස යොදා ගනී. ඔහුගේ හිතු මනාපය පරිදි ඔහු යොදාගන්නා ප්‍රබල අවියකි, වැරදි ආශ්‍රය. (හිතෝපදේශ 4:14; 28:7; 29:3) එවැනි දේවල නියම ස්වරූපය නිතරම හඳුනාගන්න—එනම්, ඒවා, භූතයන්ගේ උගුල් හා ඉගැන්වීම් බවය.
21 මෙය මතක තබාගන්න, එනම් ඒදන් උයනේදී සාතන්ගේ වචන බොරු විය; යෙහෝවඃවහන්සේගේ වචන සැබෑ බවට ඔප්පු විය. එවක් පටන්, තත්ත්වය වී ඇත්තේ එයමය. සාතන් සෑම විටෙකම බොරුකාරයෙක් බවට ඔප්පු වී තිබෙන අතර, දිව්‍ය ඉගැන්වීම් නොවරදවාම සැබෑ වී තිබේ. (රෝම 3:4) අපි දේව වචනයට ඇලී සිටින්නෙමු නම්, සත්‍යය හා බොරු අතර සටන තුළ අප සෑම විටම ජයග්‍රාහී පැත්තේ සිටිනවා ඇත. (2 කොරින්ති 10:4, 5) එසේ නම්, අපි භූතයන්ගේ සියලු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට අදිටන් කර ගනිමු. මේ අයුරින්, සත්‍යය හා බොරුව අතර යුද්ධය අවසන් වන තෙක් අපි විඳදරා ගනිමු. එවිට සත්‍යය ජය ගෙන තිබෙනු ඇත. සාතන් පහව ගොස් සිටිනවා ඇත, තවද පොළොව මත ඇසෙනු ඇත්තේ දිව්‍ය ඉගැන්වීම් පමණක් වනු ඇත.—යෙසායා 11:9.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ භූත ඉගැන්වීම් පළමුව අසනු ලැබුවේ කවදාද?
◻ සාතන් සහ ඔහුගේ භූතයන් විසින් වැඩි දියුණු කරන ලද සමහරක් බොරු මොනවාද?
◻ අදදින සාතන් ඉතා ක්‍රියාශීලීව සිටින්නේ කිනම් මාර්ගවලින්ද?
◻ භූත ඉගැන්වීම් වැඩි දියුණු කිරීම පිණිස සාතන් යොදා ගන්නේ මොනවාද?
◻ දිව්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටින අයට අයත් ආශීර්වාද මොනවාද?
[9වන පිටුවේ පින්තූරය]
භූත ඉගැන්වීම පළමුව ඇසීමට ලැබුණේ ඒදන් උයනේදීය
[10වන පිටුවේ පින්තූරය]
මිනිස් වර්ගයා උදෙසා එකම බලාපොරොත්තුව ඉදිරිපත් වන්නේ මිදීමේ මිලය හා රාජ්‍යය පිළිබඳව දිව්‍ය ඉගැන්වීමෙන් පමණි