රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“සහයෝගිතාවේ ස්වභාවයට ස්මාරකයකි”
ස්පාඤ්ඤයේ දකුණු අන්තය අසල ගිබ්රල්ටාර් යනුවෙන් හැඳින්වෙන අතිවිශාල හුණුගල් කන්දක් උස්ව පිහිටා තිබේ. වසර සිය ගණනක් පුරා, මෙම කන්ද දේශපාලන මත භේදයට හා ජාත්‍යන්තර කලහකාරිත්වයට නිහඬ සාක්ෂිකරුවෙකු වී ඇත. ඊට පටහැනිව, අදදින ලෝකයේ කලාතුරකින් දක්නට ලැබෙන සහයෝගිතාවේ හා එක්සත්භාවයේ විදහා පෙන්වීමක් සඳහා ගිබ්රල්ටාර් කන්ද මෑතකදී පසුබිම වුණේය.
ස්පාඤ්ඤයේ, ලා ලීනියා නම් නගරය පිහිටා තිබෙන්නේ මෙම කන්දේ සිට සැතපුම් දෙකක් දුරින්ය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවක ගොඩනැගීමේ කටයුතු සඳහා, සිය කාලය හා ශ්‍රමය පරිත්‍යාග කිරීමට උත්සුකවූ ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් එහි එක්රැස් විය. මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සඳහා උචිත ස්ථානයක් ගොඩනැගීමට ඔවුන් වෙහෙසෙත්ම, ගිබ්රල්ටාර් කන්දේ තේජාන්විත පසුබිම පවා ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘතිය හා සසඳන විට වැදගත්කමෙන් මිලානව ගියේය.
ලෝකයේ එම කොටසේ වාසය කරන රාජ්‍යය ප්‍රචාරකයෝ මෙම වාර්තාව එවති:
“වර්ෂ 1992, සැප්තැම්බර් මස 24වන දිනැති සිකුරාදා දිනයේ පටන් උද්යෝගවත් ස්වේච්ඡා සේවකයෝ නවසියයක් දිවා රෑ සේවය කළහ. ඉරුදින සවස හතවන විට, එම ගොඩනැගිල්ල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවක් හැටියට හඳුන්වා දෙමින් සංඥා පුවරුවක් හිටවන ලද අතර ආකර්ෂණීය වූ එම අලුත් ගොඩනැගිල්ල එදිනම පළමු ප්‍රසිද්ධ රැස්වීම සඳහා පාවිච්චි කරනු ලැබීය.
“සිය ස්පාඤ්ඤ සහෝදරයන්ට උපකාර කිරීම සඳහා ගිබ්රල්ටාර්හි වාසය කරන සාක්ෂිකරුවෝ බොහෝ දෙනෙක් දේශ සීමාව හරහා පැමිණියහ. ‘දේශපාලන භේද අපගේ ජාත්‍යන්තර සහෝදරත්වය පලුදු කළේ නැත’ යයි එක්තරා ස්වේච්ඡා සේවකයෙක්වූ ගිබ්රල්ටාර් වැසියෙක් පැහැදිලි කළේය. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේය: ‘දැනට වසර කීපයකට පෙර, ගිබ්රල්ටාර්හි අපගේ රාජ්‍යය ශාලාව ගොඩනැගීමෙහි අපට උපකාර කිරීමට, ලා ලීනියා වෙතින් සාක්ෂිකාර මිත්‍රයන් පැමිණියා. එනිසා දැන් අප සතුටු වෙනවා ඊට ප්‍රත්‍යුපකාර කරන්නට.’
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් දෙකේ හා ඇන්ඩලූෂියන් ප්‍රදේශයෙන් පැමිණි පුහුණු මෙහෙකරුවන් සිය ගණනකගේ නොමසුරු වෑයම්වලට සරිලන සේ යමක් පිරිමසාලීමට, අවශ්‍ය කරන භූමි භාගය පරිත්‍යාග කරන්නට ලා ලීනියා නගරය තීරණය කළේය. එම ඉදිකිරීමේ වැඩබිම නැරඹීමට පැමිණි එක් අවස්ථාවක ලා ලීනියාහි නගරාධිපති මෙසේ පහදා දුන්නේය: ‘සාම්ප්‍රදායිකව, ස්පාඤ්ඤයේ ප්‍රාදේශීය අධිකාරීන් කතෝලික පල්ලි ගොඩනැගීම සඳහා නිතර ඉඩම් ලබාදී තිබෙනවා. අනෙක් ආගමික නිකායන් සඳහාත් එසේම නොකළ යුත්තේ මන්ද? ස්වේච්ඡා සේවකයන්ගේ පරාර්ථකාමිත්වය මගේ සිතට තදින් කාවැදී ඇති අතර, අපගේ අනුග්‍රහය ඔවුන්ට ලැබිය යුතු යයි මා විශ්වාස කරනවා. අදදින පවතින භේද භින්නවූ ලෝකයේ අපට තවත් වැඩියෙන් ඕනෑ කරන්නේ මෙයාකාර ස්වභාවයක් තිබීමයි.’
“එම රාජ්‍යය ශාලාව ‘සහයෝගිතාවේ ස්වභාවයට ස්මාරකයක්’ හැටියට ඔහු සඳහන් කළේය. ඇත්ත වශයෙන්ම, වඩාත්ම සිත් ගත් අංගය වූයේ එම ගොඩනැගිල්ලේ නිර්මාණ ශිල්පීය සැලැස්ම හෝ එහි ප්‍රමාණය නොවේය. ඒ වෙනුවට, එහි බොහෝ දෙනෙකුගේ සිත් ගත්තේ එය සහමුලින්ම ස්වේච්ඡා සේවකයන් විසින් ගොඩනගනු ලැබීමත්, එය පැය 48ක් තුළ පමණක් නිම කරනු ලැබීමත්ය!”
ලා ලීනියා හා ඒ අවට ප්‍රදේශවල වාසය කරන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගලාති 6:10හි සඳහන් වදන්වලට එකඟව ක්‍රියා කරන බව පැහැදිලිය. එහි ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට අවවාද කළේ මෙසේය: “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.”