ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 8/15 16-21 පි.
  • “සියලු ජාතීන්ට” සාක්ෂි දැරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සියලු ජාතීන්ට” සාක්ෂි දැරීම
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවඃවහන්සේගේ ආත්මය සහ ශුභාරංචිය
  • ආත්මික අවශ්‍යතාවක් පිළිබඳව සාවධානත්වය
  • ශුභාරංචිය දැනුම් දීමට සාර්ථක ක්‍රම
  • ක්‍රිස්තියානි හැසිරීමද සාක්ෂියකි
  • දාස පංතිය හරි උපකරණ සපයයි
  • අප සියල්ලන්ටම වගකීමක් තිබේ
  • යෙහෝවාගේ සංවිධානය ඔබේ දේවසේවයට අනුබල දෙයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ඉන්නේ දෙවි අනුමත කරන ආගමේ කියලා ඔයාට විශ්වාස ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පළමුකොට මේ ශුභාරංචිය දේශනා කළ යුතුය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 8/15 16-21 පි.

“සියලු ජාතීන්ට” සාක්ෂි දැරීම

“රාජ්‍යයේ මේ ශුභාරංචිය සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේය; ඉන්පසු අන්තිමය පැමිණෙනු ඇත.”—මතෙව් 24:14, NW.

1. මතෙව් 24:14හි වාර්තාවී තිබෙන යේසුස්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ගෝලයන්ට පුදුමයක් වූවා විය හැකි වන්නේ මන්ද?

යේසුස්වහන්සේගේ ඉහත වදන් සිය යුදෙව් ගෝලයන්ට මොනතරම් පුදුමයක් ඇති කළා විය යුතුද! පවිත්‍ර කරනු ලැබූ යුදෙව්වන්, “අපවිත්‍ර” යුදෙව් නොවන්නන් හෙවත්, “අන්‍ය ජාතීන්” හට කථා කිරීමට යනවාය යන අදහසම ඔවුන්ට අමුතු දෙයක් විය, අතිශයින් අප්‍රිය දෙයක්ද විය.a ඇරත්, ඍජු අන්දමින් කටයුතු කරන යුදෙව්වෙක් අන්‍ය ජාතිකයෙකුගේ නිවසට ඇතුල් වීම ගැන සිතන්නේවත් නැත! එම යුදෙව් ගෝලයන්ට යේසුස්වහන්සේ ගැන, උන්වහන්සේගේ ප්‍රේමය හා උන්වහන්සේගේ දයානුකම්පාව පිළිබඳව තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබුණි. තවද යෙහෝවඃවහන්සේගේ අපක්ෂපාතබව පිළිබඳවද තවත් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඔවුන්ට තිබුණි.—ක්‍රියා 10:28, 34, 35, 45.

2. (අ) සාක්ෂිකරුවන්ගේ දේව සේවය කොතරම් පුළුල් වී තිබේද? (ආ) සාක්ෂිකරුවන්ගේ ප්‍රගතිය සඳහා දායක වී ඇති ප්‍රධාන සාධක තුන කුමක්ද?

2 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, නවීන දින ඉශ්‍රායලය ඇතුළුව, ජාතීන්ට ශුභාරංචිය දේශනා කර ඇති අතර, වෙන කවරදාකටත් වඩා දැන් තවත් බොහෝ ජාතීන්ට ප්‍රකාශ කරමින් සිටිති. වර්ෂ 1994දී, සාක්ෂිකරුවන් මිලියන හතරාමාරකට වඩා වැඩි සංඛ්‍යාවක්, රටවල් 230ක පමණ දේශනා කරමින් සිටිත්. ඔවුහු, උනන්දුව දක්වන අය සමඟ නිවාස බයිබල් පාඩම් මිලියන හතරාමාරක් පමණ පවත්වමින් සිටිති. මෙය කරනු ලබමින් තිබෙන්නේ, බොහෝවිට සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් හා ඔවුන්ගේ චේතනා සම්බන්ධව කිසිම සොයා බැලීමකින් තොරව ලෝක ව්‍යාප්තව ගොඩනඟා තිබෙන අගතිය හමුවේය. මුල් ක්‍රිස්තියානීන් සම්බන්ධව පැවසුවාක් මෙන්, මොවුන් ගැනද මෙසේ කිව හැකියි: “මේ ලබ්ධිය [නිකාය, NW] ගැන සියලු තැන්හි විරුද්ධව කථා කරන බව අපි දනිමු.” (ක්‍රියා 28:22) එසේ නම්, ඔවුන්ගේ සාර්ථක දේව සේවයට හේතු වී ඇත්තේ කුමක් කියා අපට කිව හැකිද? ඔවුන්ගේ ප්‍රගතියට දායක වන සාධක අඩු තරමින් තුනක් තිබේ—යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම අනුගමනය කිරීම, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රායෝගික ක්‍රම අනුකරණය කිරීම සහ බලපෑමෙන් යුත් අදහස් හුවමාරුව සඳහා නිවැරදි මෙවලම් භාවිතා කිරීමය.

යෙහෝවඃවහන්සේගේ ආත්මය සහ ශුභාරංචිය

3. ඉටු කරනු ලැබ තිබෙන දෙය සම්බන්ධව පාරට්ටු කරගැනීමට අපට නොහැක්කේ මන්ද?

3 තමන්ට තිබිය හැකි යම් කිසි විශේෂ හැකියාවක් නිසාය කියා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ සාර්ථකත්වය ගැන පාරට්ටු කරගන්නවාද? නැත, මක්නිසාද යේසුස්වහන්සේගේ මෙම වචන අදාළ වේ: “නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියාපල්ලා.” තමන්ගේ පෞද්ගලික තත්ත්වය කුමක් වෙතත්, කැපවූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, දෙවියන්වහන්සේට සේවය කිරීමේ වගකීම භාර ගෙන සිටිති. ඇතැම් අය සඳහා, ඉන් අදහස් කරන්නේ, මිෂනාරිවරුන්, හෝ ශාඛා කාර්යාලවල හා ක්‍රිස්තියානි ප්‍රකාශන මුද්‍රණය කිරීම සඳහා පහසුකම්වල ස්වේච්ඡා සේවකයන් වශයෙන් පූර්ණ කාලීන සේවයේ නියැලීමය. එවැනි ක්‍රිස්තියානි කැමැත්ත දක්වන තවත් අය, ආගමික ගොඩනැගිලි ඉදිකිරීම සඳහාවූ ඉදිකිරීමේ වැඩ බිම්වල සේවය කරති, පුරෝගාමි දේව සේවකයන් වශයෙන් පූර්ණ කාලීනව දේශනා කරති, නැතහොත් තමන් අයත් සභාවල ශුභාරංචි ප්‍රචාරකයන් වශයෙන් අර්ධ-කාලීනව දේශනා කරති. අප කරන වැඩ ගැන පාරට්ටු කර ගැනීමට අපගෙන් කිසිවෙකුට හේතු සහිතව කළ නොහැක, මන්ද, ‘අප කළේ අප විසින් කළ යුතුව තිබුණු දේය.’—ලූක් 17:10; 1 කොරින්ති 9:16.

4. ක්‍රිස්තියානි දේව සේවයට ලොව පුරා ඇතිවී තිබෙන විරෝධතාව ජය ගෙන තිබෙන්නේ කෙසේද?

4 අපට තිබෙන ඕනෑම සාර්ථකත්වයකට දායක වී තිබෙන්නේ යෙහෝවඃවහන්සේගේ ආත්මය හෙවත් ක්‍රියාකාරක බලයයි. ප්‍රොපේත සෙකරියාගේ කාලයට වලංගු වූවාක් මෙන් අදදිනටත් මෙසේ පැවසීම වලංගුය: “සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ[යෙහෝවඃ වහන්සේගේ, NW] වචනය මේය. එනම්, [හමුදා, NW] බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.” මෙසේ සාක්ෂිකරුවන්ගේ දේශනා කර්තව්‍යයට මුළු ලෝකයාගෙන් එල්ල වී තිබෙන විරුද්ධතාව ජයගෙන ඇත්තේ, මිනිස් ප්‍රයත්න මගින් නොව, නමුත් යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම සහ ආරක්ෂාව මගිනි.—සෙකරියා 4:6.

5. රාජ්‍යය පණිවුඩය පතුරුවාලීමෙහිලා යෙහෝවඃවහන්සේ ඉටු කරන කාර්ය භාරය කුමක්ද?

5 රාජ්‍යය පණිවුඩයට ප්‍රතිචාරය දක්වන අය සම්බන්ධයෙන්, යේසුස්වහන්සේ මෙසේ කීසේක: “සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති. . . . මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරිය.” (යොහන් 6:45, 65) යෙහෝවඃවහන්සේට හෘද හා මනස් කියවිය හැක, තවද යම් පුද්ගලයෙක් උන්වහන්සේව නොදන්නවා වුවත්, ස්වකීය ප්‍රේමයට ප්‍රතිචාර දක්වන බවට පෙනෙන්ට තිබෙන අයව උන්වහන්සේ දන්නාසේක. මෙම අසහාය දේව සේවයට මඟ පෙන්වීම සඳහා උන්වහන්සේ දේව දූතයන්වද යොදා ගන්නාසේක. මේ තුළ දේව දූතමය සහභාගිත්වය දර්ශනයෙන් දුටු යොහන් මෙසේ ලීවේ එහෙයිනි: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි.”—එළිදරව් 14:6.

ආත්මික අවශ්‍යතාවක් පිළිබඳව සාවධානත්වය

6. ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය මූලික ආකල්පය කුමක්ද?

6 ශුභාරංචිය පිළිගැනීම සඳහා යෙහෝවඃවහන්සේ විසින් යම් පුද්ගලයෙකුට ප්‍රස්තාවක් දීමට තිබෙන තවත් සාධකයක් යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදි: “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය. මන්ද ස්වර්ග රාජ්‍යය අයත් වන්නේ ඔවුන්ටය.” (මතෙව් 5:3, NW) ආත්ම තෘප්තියට පත්වී සිටින පුද්ගලයෙක් හෝ සත්‍යය සොයමින් නොසිටින පුද්ගලයෙක් ආත්මික අවශ්‍යතා ගැන සාවධානව නොසිටී. ඔහු හෝ ඇය සිතන්නේ ද්‍රව්‍යමය, මාංසික පැත්තෙන් පමණි. තමා ගැනම සෑහීමට පත්වී සිටීම බාධකයක් බවට පත්වෙයි. එමනිසා, අප ගෙයින් ගෙට යන විට අපට හමුවන බොහෝ දෙනෙකු පණිවුඩය ප්‍රතික්ෂේප කරන කල්හි, ඔවුන්ගේ එම ප්‍රතික්‍රියාවට තිබිය හැකි නොයෙක් හේතු සියල්ලම අප විසින් සැලකිල්ලට ගැනීම වටී.

7. බොහෝ දෙනෙක් සත්‍යයට ප්‍රතිචාරය නොදක්වන්නේ මන්ද?

7 බොහෝ දෙනෙක් සවන්දීමට මැලිවෙති, මන්ද ඔවුන් තමන් උරුම කර ගත් ආගමට ඇලී සිටින අතර, සාකච්ඡාවට විවෘත නැත. තවත් අය තමන්ගේ පෞද්ගලිකත්වයට සරිලන ආගමට ඇලුම් වෙති—එනම්, ඇතැම් අය ගුප්ත දේවලට කැමතිය, තවත් අය චිත්තවේග විචිත්‍රව ප්‍රකාශ කිරීමට කැමතිය, තවත් අය තමන්ගේ පල්ලියේ සාමාජීය ඇසුරක් සොයති. අදදින බොහෝ දෙනෙක්, දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට පටහැනි ජීවන රටාවක් තෝරා ගෙන සිටිති. සමහරවිට ඔවුන් දුරාචාර ජීවිතයක් ගත කරනවා විය හැක, මේ නිසා, “මම උනන්දු නැහැ” යනුවෙන් කීමෙන් ඔවුහු හේතු ඉදිරිපත් කරති. එහෙත්, උගත් හා විද්‍යාත්මක යයි කියා සිටින තවත් අය බයිබලය සරල බොළඳ දෙයක් යයි සලකා එය ප්‍රතික්ෂේප කරති.—1 කොරින්ති 6:9-11; 2 කොරින්ති 4:3, 4.

8. ප්‍රතික්ෂේප කරනු ලැබීම, අපගේ ජ්වලිතය හීන නොකළ යුත්තේ මන්ද? (යොහන් 15:18-20)

8 බහුතරයක් මෙම ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන නිසා, ජීවිත ගළවන දේව සේවය තුළ අප දක්වන අපගේ ඇදහිල්ල හා ජ්වලිතය හීනවී යා යුතුද? පාවුල් විසින් රෝමවරුන්ට ලියන ලද වචනවලින් අපට සහනය උකහා ගත හැකිය: “ඉදින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද? එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චය කරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.”—රෝම 3:3, 4.

9, 10. බොහෝ රටවල විරෝධතා ජයගෙන ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

9 ලොව වටා රටවල් සම්බන්ධයෙන් බොහෝ උදාහරණවලින් අපට දිරිගැන්වීම ලැබිය හැක, මේවා ඉතා ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයක පෙනෙන්ට තිබුණද, කල් යත්ම, හරියටම එහි විරුද්ධ පැත්ත සිදුවී ඇති බව ඔප්පු වී තිබේ. එම රටවල යහපත් හෘද තිබෙන අය සොයා ගත හැකි බව යෙහෝවඃවහන්සේ සහ දේව දූතයෝ දැන සිටියහ—නමුත් තම දේව සේවය තුළ නොකඩවා අත්නෑර විඳදරාගැනීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට සිදුවිය. නිදසුනක් වශයෙන්, අයර්ලන්තය, ආර්ජන්ටිනාව, ඉතාලිය, කොලොම්බියාව, පෘතුගාලය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤය වැනි මීට වසර 50කට පමණ පෙර කතෝලික ධර්මය විසින් ජයගැනීමට නොහැකි බාධා ඇති කර තිබූ බවක් දක්නට තිබූ රටවල් ගැන සලකා බලන්න. වර්ෂ 1943දී, ලොව පුරා සාක්ෂිකරුවන් සිටියේ 1,26,000ක් වැනි ස්වල්ප සංඛ්‍යාවක් වූ අතර, මොවුන්ගෙන් 72,000ක්ම සිටියේ එක්සත් ජනපදවලය. සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදුවූ උදාසීනත්වය හා අගතිය, කිසිවිටෙකත් කැඩිය නොහැකි ගඩොල් බිත්තියක් මෙන් පෙනෙන්ට තිබුණි. එහෙත්, අදදින වාර්තාවී ඇති වඩාත් සාර්ථකම දේශනා කිරීමේ ප්‍රතිඵල ලැබී තිබෙන්නේ මෙම රටවලින්ය. මීට පෙර කොමියුනිස්ට් රටවලින් බොහොමයක් සම්බන්ධයෙන්ද මෙය සැබෑවක්ය. වර්ෂ 1993දී, යුක්‍රේන්හි කියෙව්වල පැවැති සමුළුවකදී 7,402ක් බව්තීස්ම වීම මීට සාක්ෂි ලබාදෙයි.

10 තමන්ගේ අසල්වාසීන් සමඟ ශුභාරංචිය බෙදාගැනීම පිණිස සාක්ෂිකරුවන් විසින් යොදා ගෙන ඇත්තේ කිනම් ක්‍රමද? සමහරුන් චෝදනා කර ඇති පරිදි, වෙනත් අයව තම ආගමට හරවා ගැනීම සඳහා ඔවුහු ද්‍රව්‍යමය දේවල් යොදා ගෙන තිබෙත්ද? තවත් අය කියා සිටින අන්දමට, ඔවුන් බැහැදැක ඇත්තේ දුප්පත් හා නූගත් අයව පමණක්ද?

ශුභාරංචිය දැනුම් දීමට සාර්ථක ක්‍රම

11. යේසුස්වහන්සේ සිය දේව සේවය තුළ තැබූ කදිම ආදර්ශය කුමක්ද? (යොහන් 4:6-26 බලන්න.)

11 ගෝලයන් සෑදීමේ කර්තව්‍ය තුළ සාක්ෂිකරුවන් අද දක්වා අනුගමනය කරන රටාව යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් විසින් ස්ථාපිත කරන ලදි. නිවෙස්වල වේවා, ප්‍රසිද්ධ ස්ථානවල වේවා, විල් අසල වේවා, කඳු අසබඩ වේවා, සිනගෝගවල පවා වේවා, මිනිසුන් කොහේ සිටියත්, දුප්පත් පොහොසත් සෑම කෙනෙක්ම හමුවීමට යේසුස්වහන්සේ ගියසේක.—මතෙව් 5:1, 2; 8:14; මාර්ක් 1:16; ලූක් 4:15.

12, 13. (අ) පාවුල් ක්‍රිස්තියානීන් උදෙසා රටාවක් තැබුවේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පාවුල්ගේ ආදර්ශය අනුගමනය කර ඇත්තේ කෙසේද?

12 තමාගේම දේව සේවය සම්බන්ධව, හරි ලෙස මෙසේ කීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය: “මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගතකළ හැටි නුඹලා දන්නහුය. මම . . . ස්වාමීන්වහන්සේට [දාසයෙකු මෙන්, NW] සේවය කළෙමි. ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින්ගෙටද නුඹලාට උගන්වමින්” සිටියෙමි.—ක්‍රියා 20:18-21.

13 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ප්‍රේරිතමය රටාව අනුගමනය කිරීම, එනම් ගෙයින්-ගෙට දේව සේවය සම්බන්ධයෙන් ඔවුන් ලොව පුරා ප්‍රකටය. අධික වියදම් සහිත, බාල, පෞද්ගලික සම්බන්ධයකින් තොරවූ රූපවාහිනී දේව සේවයක් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, සාක්ෂිකරුවෝ, දුප්පත් පොහොසත් ජනයා සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව මුහුණට මුහුණලා සම්මුඛ වෙති. දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය ගැන කථා කිරීමට ඔවුහු උත්සාහ කරති.b ද්‍රව්‍යමය තෑගි බෝග දීම මගින් බත් ක්‍රිස්තියානීන් ඇති කිරීමට ඔවුහු උත්සාහ නොකරති. මිනිස්වර්ගයාගේ ගැටලුවලට එකම විසඳුම වනුයේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය මගින් ගෙනෙන පාලනය බවත්, එය අපගේ පොළොව වඩාත් හොඳ තත්ත්වයන්ට වෙනස් කරන බවත්, කාරණා ගැන විමසා බැලීමට කැමති අයට ඔවුහු පෙන්නුම් කරති.—යෙසායා 65:17, 21-25; 2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4.

14. (අ) බොහෝ මිෂනාරිවරුන් හා පුරෝගාමීන් ස්ථිර අත්තිවාරමක් දමා ඇත්තේ කෙසේද? (ආ) ජපානයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීමෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද?

14 හැකි තරම් බොහෝ රටවල වැඩය ඉටු කර ගැනීම සඳහා, මිෂනාරිවරුන් හා පුරෝගාමීන්, බොහෝ ජාතීන් තුළ මූලික පදනමක් තබා ඇත. එනම්, ඔවුන් අත්තිවාරමක් දමා ඇති අතර, අනතුරුව දේශීය සාක්ෂිකරුවන් පෙරමුණ ගෙන තිබේ. මේ අයුරින්, දේශනා සේවය නොකඩවා කර ගෙන යෑමට හා එය මැනවින් සංවිධානය කරගැනීමට විදේශීය සාක්ෂිකරුවන් විශාල ගණනක් අවශ්‍ය වී නැත. මෙහි කැපී පෙනෙන උදාහරණයක් නම් ජපානයයි. පසුගිය 1940 ගණන්වල අග භාගයේ, ප්‍රධාන කොට ඕස්ට්‍රලේසියානු සහ බ්‍රිතාන්‍ය ජාතික මිෂනාරිවරුන් එම රට කරා යවනු ලැබූ අතර, ඔවුන් එහි භාෂාව ඉගෙන ගෙන, යුද්ධයට පසු එම අවදියේ එහි වූ තරමක් චාන් තත්ත්වයන්ට සකස් වී, ගෙයින් ගෙට සාක්ෂිදැරීමේ සේවය දියත් කළහ. දෙවන ලෝක යුද්ධය අතරේදී, සාක්ෂිකරුවන්ව තහනම් කොට තිබූ අතර, ජපානයේ ඔවුන්ට පීඩා තිබිණි. මේ අනුව, මිෂනාරිවරුන් එහි පැමිණි කල, ඔවුන්ට එහි දක්නට ලැබුණේ ක්‍රියාශීලී ජපන් ජාතික සාක්ෂිකරුවන් ඉතා ස්වල්ප දෙනෙක් පමණි. එහෙත් අදදින ඔවුන් සංඛ්‍යාවෙන් 1,87,000කට වැඩියෙන් වර්ධනය වී සිටින අතර, එහි සභා 3,000කටත් වඩා තිබේ! ඔවුන්ගේ මෙම මුල් අවදියේ සාර්ථකත්වයට රහස කුමක් වීද? වසර 25කට වඩා වැඩි කලක් එහි සේවයේ අද්දැකීම් ඇතුව සිටින එක් මිෂනාරිවරයෙක් මෙසේ පැවසීය: “ජනයා සමඟ කථා බහ කිරීමට ඉගෙන ගැනීම බොහෝසෙයින් වැදගත් දෙයක් වුණා. ඔවුන්ගේ භාෂාව ඉගෙන ගැනීමෙන්, ඔවුන්ගේ තත්ත්වයට අනුව හැඩ ගැහෙන්නටත්, ඔවුන්ගේ ජීවන ක්‍රමය අවබෝධ කරගෙන එය අගය කිරීමටත් අපට පුළුවන් වුණා. අප ජපන් ජාතිකයන්ට ප්‍රේම කරන බව පෙන්වීමට අපට සිදුවුණා. අප නිහතමානී ලෙස එම රටේ ප්‍රජාවගේ කොටසක් බවට පත්වීමට උත්සාහ කළා, නමුත්, ඇත්තෙන්ම, අපි අපගේ ක්‍රිස්තියානි සාරධර්ම පාවාදුන්නේ නම් නැහැ.”

ක්‍රිස්තියානි හැසිරීමද සාක්ෂියකි

15. සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි හැසිරීම නිරූපනය කර තිබෙන්නේ කෙසේද?

15 කෙසේවෙතත්, ජනයා බයිබල් පණිවුඩයටම පමණක් ප්‍රතිචාරය දක්වා නැත. ක්‍රිස්තියානි ධර්මය ක්‍රියාවට නැංවී තිබෙන අයුරුද ඔවුන් දැක තිබේ. සිවිල් යුද්ධ, ගෝත්‍රික අර්බුද සහ වාර්ගික වෛරය වැනි ඉතා පරීක්ෂණාත්මක තත්ත්වයන් යටතේ පවා සාක්ෂිකරුවන්ගේ ප්‍රේමය, සාමය හා එක්සත්කම ඔවුන් විසින් නිරීක්ෂණය කොට තිබේ. සියලු ගැටුම් අර්බුද හමුවේ, ක්‍රිස්තියානි මධ්‍යස්ථතාවේ පැහැදිලි ස්ථාවරයක් පවත්වාගෙන සිටින සාක්ෂිකරුවෝ, යේසුස්වහන්සේගේ වදන් ඉෂ්ට කර සිටිති, එනම්: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරපල්ලාය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:34, 35.

16. ප්‍රායෝගික ක්‍රිස්තියානි ප්‍රේමය නිරූපනය කරන අද්දැකීම කුමක්ද?

16 එක් වයසක තැනැත්තෙක්, එක්තරා පුවත් පතකට, “කදිම නෝනයි මහත්තයයි” පිළිබඳව ලියූ සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසි ප්‍රේමය මැනවින් පෙන්නුම් කෙරිණි. තමාගේ භාර්යාව මියයමින් සිටි අවදියේ පටන් තම අසල්වාසීන් තමාට ඉතා කරුණාවන්තව සිටියේ යයි හේ පැහැදිලි කළේය. “ඇය මියගිය දා පටන්, ඔවුන් ‘නියම’ විදිහට මාත් එක්ක කටයුතු කළා” කියා ඔහු ලියයි. “ඔවුන් මාව බලාගන්න පටන්ගෙන තිබෙනවා . . . ඔවුන් මගේ ගෙදර දොරේ වැඩකටයුතු සියල්ල කළා, වයස 74ක් වූ මේ මහලු විශ්‍රාම ගිය මිනිසාගේ ගැටලු විසඳා ගැනීමට උදව් වුණා. මෙය වඩාත් අසාමාන්‍ය දෙයක් කරවන්නේ ඔවුන් කලු ජාතිකයන් වීමයි, මම සුදු මිනිසෙක්, ඔවුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, මම පල්ලියෙන් පැත්තකට වුණු කතෝලිකයෙක්.”

17. අප වැළකී සිටිය යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

17 මේ අද්දැකීමෙන් පෙන්වන්නේ, අපගේ එදිනෙදා හැසිරීම ඇතුළුව, බොහෝ ආකාරවලින් අපට සාක්ෂියක් දිය හැකි බවයි. ඇත්තෙන්ම, අපගේ හැසිරීම ක්‍රිස්තුස්වහන්සේට සමාන නොවේ නම්, අපගේ දේව සේවය කිසිම බලපෑමක් නැති, ඵරිසිවරුන්ගේ මෙන් කුහක එකක් වනු ඇත. “ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වාපල්ලා. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත” යනුවෙන් යේසුස්වහන්සේ විස්තර කළ අයට සමාන වීමට අපට වුවමනා නොවනු ඇත.—මතෙව් 22:37-39; 23:3.

දාස පංතිය හරි උපකරණ සපයයි

18. අවංක හෘද ඇති ජනයාට උපකාර කිරීම සඳහා, බයිබල් පොත්පත් අපව සන්නද්ධ කරවන්නේ කෙසේද?

18 සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීමෙහිලා තවත් අතිවැදගත් සාධකයක් වී ඇත්තේ, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් නිපදවන බයිබල් පොත්පත් ලබාගැනීමට ඇති හැකියාවයි. අවංකව ප්‍රශ්න අසන සෑම කෙනෙකුවම පාහේ තෘප්තිමත් කළ හැකි පොත්, විවරණිකා, පත්‍රිකා සහ සඟරා අපට තිබේ. මුස්ලිම් ජාතිකයෙක්, හින්දු භක්තිකයෙක්, බෞද්ධයෙක්, ඩෞවාදියෙක්, නැතහොත් යුදෙව්වෙක් අපට හමුවුණහොත්, මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝර් ගෝඩ් පොත හෝ විවිධාකාර පත්‍රිකා හා පොත් පිංච හා යොදා ගෙන සංවාදයක් හෝ හැකි නම් බයිබල් පාඩමක් ආරම්භ කළ හැකිය. පරිණාමවාදියෙක් මැවීම ගැන ප්‍රශ්න කළහොත්, ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? පොත අපට යොදා ගත හැකියි. යම් යෞවනයෙක්, “ජීවිතයේ අරමුණ කුමක්ද?” කියා අපෙන් ඇසුවහොත්, පිබිදෙව්! සඟරාවේ පළ වන “යෞවනයෝ අසති” ලිපි මාලාවට ඔහුව යොමු කිරීමට අපට හැක. යම් තැනැත්තෙක්, විෂාදය, විඩාව, ස්ත්‍රී දූෂණය, දික්කසාදය වැනි පෞද්ගලික ගැටලුවලින් පීඩා විඳ තිබේ නම්, එවන් විෂයන් සම්බන්ධව ප්‍රායෝගික අයුරින් සාකච්ඡා කොට ඇති සඟරා අපට තිබේ. ඇත්තෙන්ම, “නියම වේලාවට කෑම” සපයමින් සිටිනු ඇතැයි යේසුස්වහන්සේ පුරෝකථනය කළ විශ්වාසවූ දාස පංතිය එහි කාර්ය භාරය ඉටු කරමින් සිටී.—මතෙව් 24:45-47.

19, 20. අල්බේනියාවේ රාජ්‍යය වැඩකටයුතු වේගවත් වී තිබෙන්නේ කෙසේද?

19 එහෙත්, ජාතීන් වෙතට එළඹීම පිණිස, මෙම පොත්පත් බොහෝ භාෂාවලින් නිපදවීමට අවශ්‍ය වී තිබේ. බයිබල් සහ ශුද්ධ ලියවිලිමය පොත්පත් භාෂා 200කට වඩා වැඩියෙන් පරිවර්තනය කිරීමට හැකි වී තිබෙන්නේ කෙසේද? එක් උදාහරණයක් කෙටියෙන් සලකා බලන්න, එනම් අල්බේනියාවය. නවීන දින පෙන්තකොස්ත දවසක් නොමැතිව, විවිධ භාෂාවන්ට ඉක්මනින් යොමු වීම සඳහා, බලවත් දුෂ්කරතා අභිබවා ශුභාරංචිය වැඩි දියුණු කිරීමට විශ්වාසවූ නුවණ ඇති දාසයාට හැකි වී තිබෙන ආකාරය එම රට විස්තර කරයි.—ක්‍රියා 2:1-11.

20 හුදෙක් වසර කිහිපයකට පෙර, අල්බේනියාව, එකම සැබෑ අදේවවාදි කොමියුනිස්ට් රට වශයෙන් එවකට සලකන ලදි. නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව 1980දී මෙසේ ප්‍රකාශ කළේය: “ ‘ලෝකයේ පළමු අදේවවාදී රාජ්‍යය’ තමා බව 1967දී ප්‍රකාශයට පත් කරමින් අල්බේනියාව [ආගම] තහනම් කරයි. . . . අල්බේනියාවේ නව පරම්පරාවට දන්නේ අදේවවාදය පමණි.” දැන් එම කොමියුනිස්ට්වාදය පිරිහී ගොස් තිබෙන හෙයින්, තමන්ගේ ආත්මික අවශ්‍යතාව වටහා ගන්නා අල්බේනියානු ජාතිකයෝ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් කරනු ලබන දේශනා කිරීමට ප්‍රතිචාර දක්වමින් සිටිති. ඉතාලි සහ ඉංග්‍රීසි භාෂා දන්නා යෞවන සාක්ෂිකරුවන්ගෙන් සමන්විත වූ කුඩා පරිවර්තන කණ්ඩායමක්, 1992 දී ටිරාන සාදන ලදි. වෙනත් රටවලින් පැමිණි නිපුණ සහෝදරයෝ, අල්බේනියානු භාෂාවෙන් පාඨ ඇතුල් කිරීම සඳහා ලැප්ටොප් පරිගණක භාවිතා කිරීමට ඔවුන්ට ඉගැන්වූහ. ඔවුහු පළමුවෙන්ම පත්‍රිකා සහ මුරටැඹ සඟරාව පරිවර්තනය කිරීමට පටන් ගත්හ. අද්දැකීම් ලබා ගන්නවාත් සමඟම, ඔවුහු වෙනත් වටිනා බයිබල් ආධාරක පරිවර්තනය කිරීමේ කටයුතු කරගෙන යමින් සිටිත්. දැනට එම කුඩා රටේ (ජනගහනය 32,62,000) ක්‍රියාකාරී සාක්ෂිකරුවන් 200ක් පමණ සිටින අතර, 1994දී සිහිකිරීමේ උත්සවයට 1,984ක් පැමිණ සිටියහ.

අප සියල්ලන්ටම වගකීමක් තිබේ

21. අප ජීවත් වෙමින් සිටින්නේ කුමන අන්දමක කාල පරිච්ඡේදයකද?

21 ලෝක සිදුවීම් උච්චාවස්ථාවකට එළඹෙමින් තිබේ. අපරාධවල හා ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩිවීම, රටවල් ඇතුළත යුද්ධවලදී කෙරෙන මිනිස් ඝාතන හා ස්ත්‍රී දූෂණ, හාත්පස පැතිර පවත්නා සදාචාර පිරිහීම හා එහි ඵලදාව වන ලිංගිකව බෝවෙන රෝග, නීත්‍යානුකූල අධිකාරිත්වයට අගෞරවය යනාදි දේවල් සමඟින් ලෝකය එන්ට එන්ටම පාලනයක් නැති, ආණ්ඩු කළ නොහැකි එකක් වෙමින් තිබේ. අප දැන් සිටින්නේ, උත්පත්ති පොතේ සඳහන් කර ඇති ලෙසින් ජලගැල්මට පෙර කාලයට සමාන්තර කාලයකය, එහි මෙසේ කියයි: “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ [හෘදයේ, NW] කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දුටුසේක. තවද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.”—උත්පත්ති 6:5, 6; මතෙව් 24:37-39.

22. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියල්ලන්ටම තිබෙන ක්‍රිස්තියානි වගකීම කුමක්ද?

22 හරියටම නෝවාගේ කාලයේදී මෙන්, යෙහෝවඃවහන්සේ ක්‍රියා කරන්නට යනසේක. එහෙත්, යුක්තියෙන් හා ප්‍රේමයෙන් යුත් උන්වහන්සේට වුවමනා වන්නේ, පළමුව සියලු ජාතීන්ට ශුභාරංචිය හා අනතුරු ඇඟවීමේ පණිවුඩය දේශනා කරනු ලැබීමයි. (මාර්ක් 13:10) මේ සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වගකීමක් තිබේ—එනම්, දෙවියන්වහන්සේගේ සමාදානය ලැබීමට වටිනා අයව සොයාගෙන, සමාදානය පිළිබඳ උන්වහන්සේගේ මාර්ග ඔවුන්ට ඉගැන්වීමය. ඉක්මනින්ම, දෙවියන්වහන්සේගේ නියමිත වේලාවේදී, දේශනා කිරීමේ බලපැවරුම සාර්ථක ලෙස නිමාවෙනවා ඇත. “ඉන්පසු අන්තිමය පැමිණෙනු ඇත.”—මතෙව් 10:12, 13; 24:14, NW; මතෙ 28:19, 20.

[පාදසටහන්වල]

a අන්‍ය ජාතීන් පිළිබඳව තවදුරටත් දැනගැනීම සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්. මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 2 වෙළුම, පිටු 472-4 දක්වා “නේෂන්ස් [ජාතීන්]” යන තේමාව යටතේ බලන්න.

b ක්‍රිස්තියානි දේව සේවය පිළිබඳව ප්‍රායෝගික යෝජනා සඳහා, 1984 අගෝස්තු 15දා, ද වොච්ටවර් කලාපයේ 15 පිටුවේ, “හෞ ටු බිකම් ඉෆෙක්ටිව් මිනිස්ටර්ස් [බලපෑමෙන් යුත් දේව සේවකයන් බවට පත් වන ආකාරය] සහ 21 පිටුවේ “ඉෆෙක්ටිව් මිනිස්ට්‍රි ලීඩිං ටු මෝර් ඩිසයිපල්ස් [බලපෑමෙන් යුත් දේව සේවය තවත් ගෝලයන් සෑදීමට හේතු වෙයි]” යන ලිපි බලන්න.

ඔබට මතකද?

◻ නවීන දින සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේව සේවය තුළ ලබා ඇති සාර්ථකත්වය කෙබඳුද?

◻ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි පණිවුඩය ප්‍රතික්ෂේප කරන්නේ මන්ද?

◻ දේශනා කිරීම සඳහා සාක්ෂිකරුවන් යොදාගන්නේ කිනම් ප්‍රේරිතමය ක්‍රමද?

◻ බලපෑමෙන් යුත් දේව සේවයක් සඳහා අපට තිබෙන උපකරණ මොනවාද?

◻ මාර්ක් 13:10ට එකඟව, අප සියල්ලන්ම කළ යුත්තේ කුමක්ද?

[19වන පිටුවේ කොටුව]

රට 1943දී ක්‍රියාශීලීව සිටි සාක්ෂිකරුවෝ 1993දී

ආජෙන්ටිනාව 374 1,02,043

බ්‍රසීලය 430 3,66,297

චිලී 72 44,668

කොලොම්බියාව ?? 60,854

ප්‍රංශය දෙවන ලෝක යුද්ධය—වාර්තා නොමැත 1,22,254

අයර්ලන්තය 150? 4,224

ඉතාලිය දෙවන ලෝක යුද්ධය—වාර්තා නොමැත 2,01,440

මෙක්සිකෝව 1,565 3,80,201

පේරු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා නොමැත 45,363

පිලිප්පීනය දෙවන ලෝක යුද්ධය—වාර්තා නොමැත 1,16,576

පෝලන්තය දෙවන ලෝක යුද්ධය—වාර්තා නොමැත 1,13,551

පෘතුගාලය ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා නොමැත 41,842

ස්පාඤ්ඤය ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා නොමැත 97,595

උරුගුවේ 22 9,144

වෙනිසියුලාව ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා නොමැත 64,081

[17වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤය වැනි කතෝලික රටවල් බොහොමයක, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබේ

[18වන පිටුවේ පින්තූර]

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ලෝවටා සියලු ජාතීන් අතරෙහි ක්‍රියාශීලීව සිටිති

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න