සමාව දීමට කැමති විය යුත්තේ මන්ද?
සමාව දීම වනාහි, “සියලු සදාචාර පාඩම්වල ඇති උසස්ම හා වඩාත් දුෂ්කරම පාඩම” යයි යුදෙව් විශාරද සහ ලේඛක යෝසෆ් ජේකබ්ස් වරක් විස්තර කළේය. ඇත්ත වශයෙන්ම, “මම ඔබට සමාව දෙනවා” කියා කීම බොහෝ දෙනෙකුට ඉතා දුෂ්කර දෙයක් බව පෙනේ.
සමාව දීම, බොහෝ දුරට, මුදල් හා සමාන යයි පෙනෙන්ට තිබේ. එය අනෙක් අය කෙරෙහි නොමිලයේ හා දයානුකම්පිත ලෙස වැය කළ හැකිය, නැතහොත් මසුරු ලෙස තමන්ට රැස්කර තබා ගත හැකිය. කලින් සඳහන් කර ඇත්තේ දෙවියන්වහන්සේගේ ආකාරයයි. සමාව දීම ගත් කල, නොමසුරු ලෙස වියදම් කිරීමේ පුරුදු අප වගා කළ යුතුය. මන්ද? දෙවියන්වහන්සේ මෙය දිරිගන්වන බැවින්ය, තවද සමාව නොදෙනසුලු පළිගන්නාසුලු ස්වභාවයකින් වන්නේ කාරණා තවත් දරුණු තත්ත්වයට පත්කරවීම පමණක් වන නිසාය.
බොහෝ විට මෙම වචන අසන්නට ලැබේ: “මම කෝපවන්නේ නැහැ; නමුත් ඒ වෙනුවට මම පළිගන්නවා!” මෙම ප්‍රකාශය අදදින බොහෝ දෙනෙකුගේ ජීවිත හසුරුවන ප්‍රතිපත්තියක් වීම කනගාටුදායකය. නිදසුනක් වශයෙන්, එක් ස්ත්‍රියක්, වසර ගණනාවක් පුරා ඇගේ නෑනා සමඟ කථා නොකර සිටියාය, මෙම ස්ත්‍රිය පවසන පරිදි, ඊට හේතුව වූයේ, “ඈ මට සිතන්න බැරි තරම් කැත වැඩක් කරලා තියෙනවා, මට කවරදාකවත් ඈට සමාව දීමට පුළුවන් වෙලා නැහැ.” එහෙත්, චූදිතයා ලවා තමාගෙන් සමාව ඉල්ලවීමට යොදන උපක්‍රමයක් ලෙසට හෝ දඬුවම් කිරීමට පාවිච්චි කරන ආයුධයක් වශයෙන් එසේ කථා නොකර සිටින විට, පළිගැනීමට ඇති ආශාව සංසිඳෙන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට, ඉන් සිදුවිය හැක්කේ අමනාපය හොඳින් පැසවුණු යමක් දක්වා වර්ධනයවීමට ඉඩ හරිමින්, අර්බුදය තවත් දිග්ගැස්සවීමය. මෙම චක්‍රය නොබිඳුවහොත්, කෲර ලෙස පළිගැනීමට තිබෙන මෙම වියරු දැඩි ආශාව හේතුවෙන් සබඳතාද, යමෙකුගේ සෞඛ්‍යයද විනාශ වී යෑම පවා සිදු විය හැකියි.
සමාව නොදෙනසුලු ස්වභාවයක හානිය
යම් පුද්ගලයෙක් සමාව නොදෙන විට, ඇතිවන ගැටුම් හේතුවෙන් පීඩනය ඇතිවෙයි. අනතුරුව, මෙම පීඩනය බරපතළ අසනීපවලට තුඩු දිය හැකිය. වෛද්‍ය විලියම් එස්. සැඩ්ලර් ලීවේ මෙසේය: “කනස්සල්ල, භය, ගැටුම්, . . . සුවදායී නොවන සිතිවිලි හා අපිරිසිදු ජීවන රටා සමඟ මිනිස් රෝග හා දුක් පුදුමසහගත අන්දමින් කොතරම් විශාල ප්‍රතිශතයක් ඍජුවම සම්බන්ධ වී ඇති බවට වූ කාරණය ඒත්තු ගැනීමට වෛද්‍යවරයෙකු තරම් කිසිවෙකුට නොහැකිය.” එනමුත්, ඇත්ත වශයෙන්ම, චිත්තවේගීය කැළඹීම කොතරම් හානියක් සිදු කරයිද? එක් වෛද්‍ය ප්රකාශනයක් මෙසේ පිළිතුරු දෙයි: “වෛද්‍යවරයෙක් කරා ගිය රෝගීන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුටම මානසික පීඩනය නිසා ඇතිවූ හෝ ඒ මගින් උග්‍ර කරන ලද රෝග ලක්ෂණ තිබූ බවට . . . සංඛ්‍යාලේඛන ඇඟවිණි.”
එසේය, තික්තබව, නොරුස්නාගතිය, හා වෛරය හානිකර නොවේ යයි කීම බොහෝසෙයින් උගහටය. මෙම පරුෂ චිත්තවේගයන් වනාහි මෝටර් රථයක බඳ ටිකෙන් ටික හෙමින් හෙමින් ක්ෂාදනය කරන යකඩ මල වැන්න. මෝටර් රථයේ පිටපැත්ත අලංකාරව පෙනෙන්නට පුළුවන, නමුත් එහි පින්තාරුව යට විනාශකාරී ක්‍රියාවලියක් සිදුවෙමින් පවතී.
ඊටත් වඩා වැදගත් දේ නම්, දයාව දැක්වීමට පදනමක් තිබියදී අප සමාව දීමට ප්‍රතික්ෂේප කිරීම, අප කෙරෙහි ආත්මික වශයෙන්ද හානිකරවීමය. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ, අප යේසුස්වහන්සේගේ උපහැරණයේ දාසයා හා සමාන විය හැකිය. එම දාසයාගේ ස්වාමියා විසින් ඔහුට මහත් විශාල ණයකට සමාව දෙනු ලැබිණි. එහෙත්, ඔහුගේ සෙසු දාසයා, සාපේක්ෂ වශයෙන් ඉතා කුඩා ණයකට සමාව දෙන ලෙස ආයාචනා කළ විට, ඔහු කර්කශ ලෙස ක්‍රියා කරමින් සමාව නොදී සිටියේය. අපත් ඒ සමානව සමාව දීමට කැමති වන්නේ නැත්නම්, යෙහෝවඃවහන්සේද අපේ පව්වලට සමාව දීම ප්‍රතික්ෂේප කරනු ඇති බවට යේසුස්වහන්සේ පැහැදිලිවම පැවසූසේක. (මතෙව් 18:21-35) එබැවින්, අපි සමාව නොදෙන්නෙමු නම්, අප දෙවියන්වහන්සේ ඉදිරියේ අපගේ පිරිසිදු හෘදය සාක්ෂියද, අනාගතය උදෙසා ඇති අපගේ බලාපොරොත්තුව පවාද අපි අහිමි කරගන්නෙමු! (2 තිමෝති 1:3 සසඳන්න.) එසේ නම් අපට කළ හැක්කේ කුමක්ද?
සමාව දීමට ඉගෙන ගන්න
සැබෑ සමාව දීම නික්මෙන්නේ හෘදයෙනි. වැරදිකරුගේ දෝෂයට වන්දි ලබා නොගෙන සමාව දීම සහ පළිගැනීමට ඇතිවන ඕනෑම ආශාවක් අත්හැර දැමීම ඊට ඇතුළත් වෙයි. මෙසේ, අන්තිම යුක්තිය ඉටු කිරීම හා විපාක දීම යෙහෝවඃවහන්සේගේ හස්තවලට භාර කෙරේ.—රෝම 12:19.
කෙසේවෙතත්, “සියල්ලටම වඩා සිත [හෘදය, NW] රැවටිලිකාරව . . . , ඒක දුෂ්ටවම” තිබෙන නිසා, එය සමාව දිය යුතු අවස්ථාවලදී පවා සෑමවිටම සමාව දීමට නැඹුරු නොවන බව සැලකිල්ලට ගත යුතුය. (යෙරෙමියා 17:9) යේසුස්වහන්සේම මෙසේ පැවසූසේක: “නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම්, සහ අපහාසකිරීම් සිතින් [හෘදයෙන්, NW] නික්මෙන්නේය.”—මතෙව් 15:19.
හරි දේ කිරීම සඳහා අපගේ හෘදය පුහුණු කළ හැකි වීම ගැන ස්තුතිවන්ත විය හැකිය. කෙසේවෙතත්, අපට අවශ්‍ය පුහුණුව පැමිණිය යුත්තේ වඩාත් උසස් උල්පතකිනි. එය අපට තනිවම කළ නොහැක. (යෙරෙමියා 10:23) මෙය හඳුනාගත් දේවානුභාව ලත් ගීතිකාකරුවෙක් දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළේය. ඔහු යාච්ඤාවෙන් යෙහෝවඃවහන්සේට ආයාචනා කළේ මෙසේයි: “ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව.”—ගීතාවලිය 119:26, 27.
තවත් ගීතිකාවකට අනුව, ඉපැරණි ඉශ්‍රායලයේ දාවිත් රජ යෙහෝවඃවහන්සේගේ ‘මාර්ගය තේරුම් ගැනීමට’ පැමිණියේය. ඔහු එය ඍජුවම අද්දැක, ඉන් ඉගෙන ගත්තේය. මෙබැවින්, ඔහුට මෙසේ කියන්නට හැකි විය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] අනුකම්පාවෙන් [දයාවෙන්, NW] හා දයාවෙන් [කරුණාවෙන්, NW] පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. පියෙක් තම දරුවන්ට අනුකම්පා [දයා, NW] කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා [දයා, NW] කරනසේක.”—ගීතාවලිය 103:8, 13.
දාවිත් ඉගෙනගත්තාක් මෙන් අපත් ඉගෙන ගත යුතුය. සමාව දීම සම්බන්ධව දෙවියන්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශයද, එමෙන්ම උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආදර්ශයද යාච්ඤාපූර්වකව අධ්‍යයනය කරන්න. මෙසේ, හෘදයෙන්ම සමාව දීමට අපට ඉගෙන ගත හැකිය.
එහෙත්, ඇතැමෙක් මෙසේ අසනවා විය හැකියි: බරපතළ පව් ගැන කුමක් කිව හැකිද? සියලුම පව්වලට සමාව දිය යුතුද?
සමබර වීමට උත්සාහ දැරීම
යම් පුද්ගලයෙකුට එරෙහිව බරපතළ වරදක් කරනු ලැබූ අවස්ථාවක, ඔහුගේ වේදනාව ඉතා බලවත් විය හැකියි. එම තැනැත්තා බරපතළ පාපයකට අහිංසක ලෙස ගොදුරු වූවෙකු වූයේ නම්, මෙය විශේෂයෙන්ම සත්‍යයක් වෙයි. ‘මාව කුරිරු අන්දමින් ද්‍රෝහී ලෙස පාවාදී මට සිත් වේදනා දුන් තැනැන්තෙකුට මා සමාව දෙන්නේ කෙසේද?’ කියා ඇතැමෙකුට පවා කල්පනා විය හැක. සභා ඇසුරෙන් කපා දැමීමට සිදුවන බරපතළ පාපයක් කරනු ලැබූ විට, මතෙව් 18:15-17හි සඳහන් උපදෙස අදාළ කර ගැනීමට ඊට ගොදුරුවූ තැනැත්තාට අවශ්‍ය වන්නට පුළුවන.
ඕනෑම තත්ත්වයකදී, බොහෝ දේවල් රඳාපවතින්නේ, වරදකරුවා මතය. වරද කළ දා පටන්, අවංක පසුතැවිල්ලක ලකුණු දක්නට ලැබී තිබේද? සමහරවිට සැබෑ වෙනස්කම් කිරීමට යත්න දරමින් පව්කාරයා වෙනස් වී තිබේද? යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ එවන් පසුතැවිල්ලක්, සැබෑවටම භයානක පව් කළ විටෙක පවා සමාවදීමට මූලික සාධකය වන්නේය. නිදසුනක් වශයෙන්, ඉශ්රායෙල් ජනයාගේ ඉතිහාසයේ වඩාත්ම දුෂ්ට රජෙකු වූ මනස්සේට යෙහෝවඃවහන්සේ සමාව දුන්සේක. කිනම් පදනමක් මතද? දෙවියන්වහන්සේ එසේ කළේ මන්දයත්, අවසානයේදී මනස්සේ තමාවම යටත් කර ගෙන, තමාගේ නපුරුමාර්ග ගැන පසුතැවිලි වූ බැවිනි.—2 ලේකම් 33:12, 13.
අවංක ලෙස ආකල්පයේ වෙනසක්ද, කරන ලද ඕනෑම වරදක් සම්බන්ධයෙන් හෘදයාංගම පශ්චත්තාපයක්ද බයිබලයේ සඳහන් වන අව්‍යාජ පසුතැවිල්ලට ඇතුළත්ය. සුදුසු හැකි අවස්ථාවේදී, පාපයට ගොදුරු වූ තැනැත්තාට වන්දියක් ගෙවීමට වෑයමක් දැරීමද පසුතැවිල්ලට සම්බන්ධය. (ලූක් 19:7-10; 2 කොරින්ති 7:11) එවන් කිසිම පසුතැවිල්ලක් නැති කල, යෙහෝවඃවහන්සේ සමාව නොදෙනසේක.a මීටත් වඩා, වරෙක ආත්මිකව ඥානාලෝක කරනු ලැබූ නමුත් දැන් හිතාමතාම පසුතැවිලි නොවී පුරුද්දක් ලෙස පව්කරන අයට ක්‍රිස්තියානීන් විසින් සමාව දීම දෙවියන්වහන්සේ අපේක්ෂා නොකරනසේක. (හෙබ්‍රෙව් 10:26-31) අන්තයට ගිය අවස්ථාවලදී, සමාව දීම ඇත්තටම නුසුදුසු දෙයක් විය හැකියි.—ගීතාවලිය 139:21, 22; එසකියෙල් 18:30-32.
සමාව දිය හැකි වුවත් නැතත්, බරපතළ පාපයකට ගොදුරු වූ තැනැත්තාට තවත් ප්‍රශ්නයක් සලකා බැලීමට වුවමනා විය හැක: කාරණය මුළුමනින්ම නිරාකරණය වන තෙක්, මා තද සිත්වේදනාවක් හා කෝපයක් සහිතව, දැඩි චිත්තවේගීය වියවුල්සහගත තත්ත්වයක රැඳී සිටිය යුතුද? නිදසුනක් සලකා බලන්න. තම යුද සේනාපති යෝවාබ්, “[යෝවාබ්ට] වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු” වූ අබ්නේර් සහ අමාසා මරාදැමූ විට, දාවිත්ට තද සිත්වේදනාවක් දැනිණි. (1 රාජාවලිය 2:32) දාවිත් තමාගේ මෙම කෝපය හා අමනාපය වාචිකව හා සැකයකින් තොරව යාච්ඤාවෙන් යෙහෝවඃවහන්සේට ප්‍රකාශ කර සිටියේය. එහෙත්, කල් යත්ම, දාවිත්ගේ අව්‍යාජ හැඟීම්වල තීව්‍රතාව යටපත් වූ බවක් දක්නට තිබේ. ඔහු සිය දවස්වල අවසානය දක්වා කෝපය හා අමනාපය මගින් පාලනය වූයේ නැත. දාවිත් යෝවාබ් සමඟ දිගටම වැඩකරන්නටද වූ අතර, නමුත් ඔහු පසුතැවිලි නොවූ මෙම මිනීමරුවාට නිකම්ම සමාව දුන්නේ නැත, අවසානයේදී යුක්තිය ඉටු කරනු ලැබූ බවට දාවිත් වග බලාගත්තේය.—2 සාමුවෙල් 3:28-39; 1 රාජාවලිය 2:5, 6.
අන්‍යයන්ගේ බරපතළ පව් නිසා සිත්වේදනාවන්ට ගොදුරු වූ අයට තමන්ට මුලින් ඇතිවූ කෝපයෙන් ගොඩඒමට යම් කාලයක් ගත වීමටද ඒ සඳහා යම් ප්රයත්නයක් ගැනීමටද අවශ්‍ය විය හැකිය. වැරදිකරුවා තමාගේ වරද පිළිගෙන පසුතැවිලිවන විට, සුවවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු වීමට පුළුවන. කෙසේවෙතත්, වරදකරුවා ගන්නා ක්‍රියා මාර්ගය කුමක් හෝ වේවා, යෙහෝවඃවහන්සේගේ යුක්තිය හා ප්‍රඥාව සම්බන්ධව තමාගේ දැනුම තුළින්ද ක්‍රිස්තියානි සභාව තුළින්ද සැනසිල්ලක් හා අස්වැසිල්ලක් ලැබීමට පාපයට ගොදුරු වූ අහිංසක තැනැත්තාට හැකි විය යුතුය.
ඔබ ඇත්තටම පව්කාරයෙකුට සමාව දෙන විට, ඔබ පාපය ගණනකට නොගෙන සිටින බවක් මින් අදහස් නොකරන බවද වටහා ගන්න. ක්‍රිස්තියානියෙක් සම්බන්ධයෙන්, සමාව දීම යන්නෙන් අදහස් කරන්නේ, දැඩි විශ්වාසයකින් යුතුව කාරණය යෙහෝවඃවහන්සේගේ හස්තවලට භාර කිරීමයි. මුළු විශ්වයේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වනුයේ උන්වහන්සේය, තවද නියමිත කාලයේදී යුක්තිය ඉටු කරන්නේ උන්වහන්සේය. රැවටිලිකාර “වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද” විනිශ්චය කිරීම ඊට ඇතුළත් වෙයි.—හෙබ්‍රෙව් 13:4.
සමාව දීමේ ප්‍රයෝජන
ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළේය: “මක්නිසාද ස්වාමිනි, [අහෝ යෙහෝවඃවහන්ස, NW] ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.” (ගීතාවලිය 86:5) ඔබත්, යෙහෝවඃවහන්සේ මෙන්, ‘සමාව දෙන්නට සූදානම්ද?’ ප්‍රයෝජන බොහෝය.
පළමුව, අන්‍යයන්ට සමාව දීම යහපත් සබඳතා වැඩි දියුණු කරයි. බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙසේය: “එකිනෙකාට කාරුණික වන්න, මුදු මොළොක්කමින් දයානුකම්පිත වන්න, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ ඔබට නොමසුරුව සමාව දුන්නාක් මෙන් එකිනෙකාට නොමසුරුව සමාව දෙන්න.”—එපීස 4:32, NW.
දෙවෙනුව, සමාව දීම සාමය ගෙන එයි. මෙය හුදෙක් සෙසු මිනිසුන් සමඟ සාමය ඇති කර ගැනීම පමණක් නොව ඇතුළාන්ත සාමයද ඇති කරගැනීමකි.—රෝම 14:19; කොලොස්සි 3:13-15.
තෙවැනුව, අන්‍යයන්ට සමාව දීම, අපටත් සමාව අවශ්‍ය බවට සිහිකර ගැනීමට උපකාරවත් වෙයි. එසේය, “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.”—රෝම 3:23.
අවසන් වශයෙන්, අන්‍යයන්ට සමාව දීම නිසා, දෙවියන්වහන්සේ විසින් අපගේ පාපවලට සමාව දීමට තිබෙන මාර්ගය එළිපෙහෙළි වෙයි. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක.”—මතෙව් 6:14.
යේසුස්වහන්සේගේ මරණය සිදුවුණු දහවල් කාලයේදී උන්වහන්සේගේ මනසේ මොනතරම් බොහෝ දේවල් රැඳී තිබුණා විය යුතුදැයි කල්පනා කර බලන්න. සිය ගෝලයන් ගැන, දේශනා කර්තව්‍ය ගැන, එමෙන්ම විශේෂයෙන්ම යෙහෝවඃවහන්සේට තම අඛණ්ඩතාව ගැන උන්වහන්සේ සැලකිලිමත්ව සිටිසේක. එහෙත්, වධ කණුව මත උන්වහන්සේ දැඩි වේදනාවකින් සිටියත්, උන්වහන්සේ කථා කළේ කුමක් ගැනද? උන්වහන්සේගේ අවසන් වචන අතර, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව” කියාද විය. (ලූක් 23:34) හෘදයෙන්ම එකිනෙකාට සමාව දීම මගින් අපට යේසුස්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුකරණය කිරීමට හැකියි.
[පාදසටහන්වල]
a කෙසේවුවද, කොතරම් දුරට සමාව දෙනවාද කියා නිර්ණය කිරීමේදී යෙහෝවඃවහන්සේ සැබවින්ම අනෙකුත් සාධකද සැලකිල්ලට ගන්නාසේක. උදාහරණයක් වශයෙන්, වැරදිකරු දෙවියන්වහන්සේගේ ප්‍රමිති නොදැන සිටියේ නම්, එම නොදැනුවත්කම වරදේ පීඩාකාරි බර සැහැල්ලු කරන්නට පුළුවන. යේසුස්වහන්සේ තම වධකයන්ට සමාව දෙන ලෙස සිය පියාණන්ගෙන් ඉල්ලූ විට, පෙනෙන විදිහට, උන්වහන්සේ කථා කරමින් සිටියේ තමා මරණයට පත් කළ රෝම හේවායන් ගැනය. ඇත්තටම උන්වහන්සේ කවුදැයි නොදැන සිටි ඔවුහු, ‘තමන් කරමින් සිටියේ කුමක්දැයි නොදැන සිටියෝය.’ කෙසේ වුවද, මරණයට පත්කිරීම පිටුපස සිටි ආගමික නායකයෝ වඩාත් මහත් වරදකාර බවක් දැරූහ. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කිසිම සමාවක් දිය නොහැකි විය.—යොහන් 11:45-53; සසඳන්න ක්‍රියා 17:30.
[5වන පිටුවේ පින්තූර]
සමාව නුදුන් දාසයා පිළිබඳ යේසුස්වහන්සේගේ උපහැරණයේ මූලික කරුණ ඔබ වටහා ගත්තෙහිද?
[7වන පිටුවේ පින්තූර]
අන්‍යයන්ට සමාව දීම යහපත් සබඳතා වැඩි දියුණු කර සන්තෝෂය ගෙන එයි