යෝබ්ගේ විපාකය—බලාපොරොත්තුවේ උල්පතකි
‘යෙහෝවඃවහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක.’—යෝබ් 42:12.
1. පරීක්ෂා ස්වකීය සේවකයන්ව මහත් සේ දුර්වල තත්ත්වයට පත්කළත්, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා උදෙසා කුමක් කරනසේක්ද?
යෙහෝවඃවහන්සේ “උන්වහන්සේව උනන්දුවෙන් සොයන්නන්ට විපාක දෙන කෙනෙක් බවට පත් වනසේක.” (හෙබ්‍රෙව් 11:6, NW) යම් පරීක්ෂාවලින් ස්වකීය සේවකයන්ව මළවුන් තරමට දුර්වල කර ඇතත්, ධෛර්යසම්පන්නව සාක්ෂි දැරීමට උන්වහන්සේ ස්වකීය කැපවූ ජනයාව පොලඹවනසේක. (යෝබ් 26:5; එළිදරව් 11:3, 7, 11) දුක්විඳිමින් සිටි යෝබ්ගේ සිද්ධියේදී එය සැබෑවක් බවට ඔප්පු විණි. බොරු සැනසිලිකාරයන් තුන්දෙනා විසින් අගුණ කීමකට ලක්වුවත්, මනුෂ්‍යයන්ට ඇති භය මගින් ඔහු නිශ්ශබ්ද වූයේ නැත. ඒ වෙනුවට, ඔහු නිර්භීත සාක්ෂියක් දුන්නේය.
2. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පීඩා සහ අසීරුතා විඳ තිබුණද, ඔවුන් පරීක්ෂාවලින් ජයගෙන තිබෙන්නේ කෙසේද?
2 වත්මන් දින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝ දෙනෙක්, මරණය සමීපයට පැමිණෙන තරමට මහත් පීඩා සහ අසීරුතා විඳ තිබේ. (2 කොරින්ති 11:23) කෙසේවෙතත්, යෝබ් මෙන්, දෙවියන්වහන්සේ උදෙසා ප්‍රේමය පෙන්වා ඇති ඔවුහු, ධර්මිෂ්ඨකම පවත්වා සිටිති. (එසකියෙල් 14:14, 20) යෙහෝවඃවහන්සේ සතුටු කිරීමට අදිටන් කරගෙන, නිර්භීත සාක්ෂියක් දීමට ශක්තිමත් කරනු ලැබ එමෙන්ම අව්‍යාජ බලාපොරොත්තුවකින් පිරී, ඔවුහු තම පරීක්ෂාවලින් බේරී ඒවායින් ජය ගෙන සිටිති.
යෝබ් නිර්භීත සාක්ෂියක් දෙයි
3. යෝබ් තම අවසාන කථාව තුළ කුමන ආකාරයේ සාක්ෂියක් දුන්නේද?
3 තම අවසාන කථාවේදී, යෝබ් කලින් කථාවේදී දුන්නාටත් වඩා මහත් සාක්ෂියක් දුන්නේය. ඔහු තම බොරු සැනසිලිකරුවන්ව මුළුමනින්ම නිහඬ කළේය. තියුණු සරදමක්ද සහිතව ඔහු මෙසේ පැවසීය: “නුඹ ශක්තිය නැත්තාට උපකාරකළහැටි!” (යෝබ් 26:2) අපගේ පොළොව හිස් අවකාශයේ එල්ලා තබාගෙන, පොළොවට ඉහළින් වතුර පිරි වලාකුළු රඳවා සිටින බලය සහිත යෙහෝවඃවහන්සේට යෝබ් මහත් සේ ප්‍රශංසා කළේය. (යෝබ් 26:7-9) එහෙත්, යෝබ් පැවසුවේ, එවන් පුදුමයන් යෙහෝවඃවහන්සේගේ ‘මාර්ගවල අල්පමාත්රයක් පමණක්’ බවයි.—යෝබ් 26:14.
4. අඛණ්ඩතාව ගැන යෝබ් පැවසුවේ කුමක්ද, තවද ඔහුට එම ආකාරයෙන් අදහස් දැක්වීමට හැකි වූයේ මන්ද?
4 තමාගේ අහිංසකභාවය ගැන සහතික වෙමින් යෝබ් මෙසේ ප්‍රකාශ කළේය: “මා නසින තුරුම මාගේ අවංකකම [අඛණ්ඩතාව, NW] පහ නොකරන්නෙමි.” (යෝබ් 27:5) ඔහු මත එල්ල කරනු ලැබූ බොරු චෝදනා මොනවා වුවත්, ඔහු මත කඩා වැටුණු කිසිවකට සරිලන කිසිම දෙයක් ඔහු කර තිබුණේ නැත. යෙහෝවඃවහන්සේ ඇදහිල්ල අත්හළ අයගේ යාච්ඤා නොඅසන නමුත් අඛණ්ඩතාව රක්ෂාකරන්නන්ට විපාක දෙන බව යෝබ් දැන සිටියේය. මින් අපට ඉතා මැනවින් සිහිගැන්විය හැක්කේ, ඉක්මනින්ම අර්මගෙදොන් කුණාටුව මගින් දුෂ්ටයන්ව ඔවුන්ගේ බලය සහිත ස්ථානවලින් ඉවතට ගසා ගෙන යන බවත්, දෙවියන්වහන්සේගේ ගැළවිය නොහැකි හස්තයෙන් ඔවුන් නොබේරෙන බවත්ය. ඒතාක් කල්, යෙහෝවඃවහන්සේගේ ජනයා ඔවුන්ගේ අඛණ්ඩතාව තුළ ගමන් කරනවා ඇත.—යෝබ් 27:11-23.
5. යෝබ් සැබෑ ප්‍රඥාව නිර්වචනය කළේ කෙසේද?
5 මිනිසා තම දක්ෂතා රත්රන්, රිදී සහ භූමියේ සහ මුහුදේ අනෙකුත් නිධාන සෙවීමට යොදාගෙන ඇති බව යෝබ් විසින් පෙන්වනවාත් සමඟම, ලෞකික-ප්‍රඥාව ඇති මෙම තුන් කට්ටුව සවන් දී සිටිනවා මනසින් මවා ගන්න. “එහෙත්, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය” යයි ඔහු පැවසීය. (යෝබ් 28:18) සැබෑ ප්‍රඥාව මිල දී ගැනීමට යෝබ්ගේ බොරු සැනසිලිකරුවන්ට නොහැකි විණි. එහි උල්පත වනුයේ, සුළඟේ, වර්ෂාවේ, විදුලි කෙටීමේ සහ ගර්ජනාවේ මැවුම්කරුවාණෝය. ඇත්ත වශයෙන්ම, “ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි [ගෞරවාන්විත] භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්ය.”—යෝබ් 28:28.
6. යෝබ් තම මුල් ජීවිතය ගැන කථා කළේ මන්ද?
6 තම දුක් වේදනා කුමක් වුවද, යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් යෝබ් නැවතුණේ නැත. අතිමහෝත්තමයාණන්ගෙන් ඉවත්ව යනවා වෙනුවට, අඛණ්ඩතාවේ මෙම මිනිසා, පෙර වූ “දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාව” සඳහා ආශා කළේය. (යෝබ් 29:4, NW) තමා ‘අසරණයා ගැළවූ, තමාම ධර්මිෂ්ඨකම පැළඳගත්, දිළින්ඳාට පියෙක් වූ’ ආකාරය ගැන සඳහන් කරමින් සිටින විට යෝබ් පාරට්ටු කරගනිමින් සිටියා නොවේ. (යෝබ් 29:12-16) ඒ වෙනුවට, තමා යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සේවකයෙකු වශයෙන් තම ජීවිතයේ සැබෑ කරුණු සඳහන් කරමින් සිටියේය. ඔබ එවන් කදිම වාර්තාවක් ගොඩනගාගෙන සිටින්නෙහිද? ඇත්ත වශයෙන්ම, යෝබ් කරමින් සිටියේ මෙම ධාර්මික ප්‍රෝඩාකාරීන් තිදෙනා විසින් නඟන ලද බොරු චෝදනාවල වෙස් මුහුණු ගැළවීමයි.
7. යෝබ් කුමන ආකාරයේ පුද්ගලයෙකුව සිට තිබුණාද?
7 වයසින් බාලයෝ යෝබ්ට සිනාසුණ අතර, ‘ඔවුන්ගේ පියවරුන්ව යෝබ් තම රැළේ බල්ලන් සමඟවත් නොතබනු’ ඇත. ඔහුව පිළිකුල්කොට ඔහු මත කෙළ ගසනු ලැබීය. ඔහු කොතරම් දරුණු ලෙස පීඩාවට පත්වුවද, ඔහුට කිසිසේත් විශේෂ සැලකිල්ලක් නොදෙන ලදි. (යෝබ් 30:1, 10, 30) කෙසේ වෙතත්, ඔහු මුළුමනින්ම යෙහෝවඃවහන්සේට කැපවී සිටි නිසා, පිරිසිදු හෘදය සාක්ෂියක් ඔහුට තිබුණු අතර, මෙසේ කීමට ඔහුට හැකිවිණි: “උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා. එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම [අඛණ්ඩතාව, NW] දැනගන්නවා ඇත.” (යෝබ් 31:6) යෝබ් කාමමිථ්යාචාරිකයෙකුවත් කපටි උපා යොදන්නෙකුවත් නොවූ අතර, අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීමට ඔහු අපොහොසත් වී නොසිටියේය. ධනවත්ව සිට තිබුණද, ඔහු කිසිවිටෙකත් තම ද්‍රව්‍යමය සම්පත් කෙරෙහි දැඩි විශ්වාසය තැබුවේ නැත. එපමණක්ද නොව, සඳ වැනි අජීවි දේවලට භක්තිය දීම මගින් යෝබ් පිළිම වන්දනාවේ නියැලුණේ නැත. (යෝබ් 31:26-28) දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීම මගින්, ඔහු අඛණ්ඩතාව රක්ෂාකරන්නෙකු වශයෙන් කදිම ආදර්ශයක් තැබුවේය. ඔහුගේ සියලු දුක්වේදනා සහ බොරු සැනසිලිකාරයන්ගේ පැමිණීම හමුවේ, තමා වෙත එල්ල කරන ලද චෝදනාවලට ඉතා දක්ෂ ලෙස පිළිතුරු දුන් යෝබ්, ඉතා කදිම සාක්ෂියක් දුන්නේය. තම වචන නිමාවට පත්වනවාත් සමඟම, තම විනිශ්චයකරුවාණන් සහ විපාකදායකයාණන් වශයෙන් හේ දෙවියන්වහන්සේ දෙස බැලුවේය.—යෝබ් 31:35-40.
එලීහු කථා කරයි
8. එලීහු යනු කවරෙකු වීද, තවද ඔහු ගෞරවය සහ ධෛර්යය විදහා පෑවේ කෙසේද?
8 නාහොර්ගේ පුත්‍ර බූස්ගෙන් පැවතෙන්නෙකුවූද, මෙසේ යෙහෝවඃවහන්සේගේ මිත්‍ර ආබ්‍රහම්ගේ ඥාතියෙකුවූද එලීහු නම් යෞවන මිනිසා ඒ අසල සිටියේය. (යෙසායා 41:8) එලීහු වයසක මිනිසුන්හට ගෞරව දැක්වූයේ විවාදයේ දෙපැත්තටම සවන් දෙමිනි. එහෙත්, ඔවුන් වැරදිව සිටි කාරණා සම්බන්ධව ඔහු ධෛර්යයෙන් යුතුව කථා කළේය. නිදසුනක් වශයෙන්, ‘දෙවියන්වහන්සේට වඩා තමාගේම ආත්මය ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කළ’ විට ඔහුගේ කෝපය යෝබ් කෙරෙහි ඇවිළ ගියේය. විශේෂයෙන්ම එලීහුගේ උදහස යොමු වුණේ බොරු සැනසිලිකාරයන් මතය. ඔවුන්ගේ ප්‍රකාශයන් දෙවියන්වහන්සේව ප්‍රශංසා කරන බවක් පෙනෙන්ට තිබුණේය, නමුත් මෙම මතභේදයේදී සාතන්ගේ පැත්ත ගනිමින් ඒවායින් ඇත්තටම වූයේ දෙවියන්වහන්සේගේ නාමයට නින්දා පැමිණීමයි. ශුද්ධාත්මයෙන් පෙලඹී “වචනවලින් පිරී” සිටි එලීහු, යෙහෝවඃවහන්සේගේ අපක්ෂපාත සාක්ෂිකරුවෙක් වූයේය.—යෝබ් 32:2, 18, 21.
9. එලීහු යෝබ් සඳහා යළි පිහිටුවීමක් සිදුවන බව ඉඟි කළේ කෙසේද?
9 දෙවියන්වහන්සේව නිදොස්කරනවාට වඩා යෝබ් තමාවම නිදොස් කර ගැනීම ගැන වඩ වඩාත් සැලකිල්ල දක්වන තත්ත්වයට පත්ව තිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහු දෙවියන්වහන්සේ සමඟ වාද කර තිබුණි. කෙසේවෙතත්, යෝබ්ගේ ආත්මය මරණයට ළංවෙනවාත් සමඟම, ඔහුව යළි පිහිටුවන බවට ඉඟියක් විය. ඒ කෙසේ වීද? ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේ මෙම පණිවුඩය සමඟින් යෝබ්ට අනුග්‍රහ දැක්වූ බව කීමට එලීහු පෙලඹුණි: “මිනීවළට නොබසින ලෙස ඔහු මුදාපන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත. එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.”—යෝබ් 33:24, 25.
10. යෝබ්ව පරීක්ෂා කරනු ලැබීමට තිබුණේ කෙතරම් ප්රමාණයකටද, නමුත් 1 කොරින්ති 10:13 සලකා බැලූ කල අපට කුමක් ගැන සහතික විය හැකිද?
10 අඛණ්ඩතාව පැවැත්වීම මගින්, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීති වීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි යෝබ් විසින් පැවසීම සම්බන්ධයෙන් එලීහු ඔහුව නිවැරදි කළේය. එලීහු මෙසේ පැවසුවේය: “දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල [දෙනසේක].” යෝබ් තම ධර්මිෂ්ඨකම අවධාරණය කිරීම තුළ අවිචාරාත්මකව ක්‍රියා කළ අතර, ඔහු එසේ කළේ ප්‍රමාණවත් දැනුම සහ තීක්ෂ්ණ බුද්ධිය නොමැතිවයි. එලීහු මෙසේද කීය: “සිත් රිදවන මිනිසුන් අතර යෝබ් ඔහුගේ පිළිතුරු සම්බන්ධයෙන් සීමාවටම සෝදිසි කෙරේවා.” (යෝබ් 34:10, 11, 35, 36, NW) ඒ හා සමානව, අපව යම් ආකාරයකින්, ‘අපගේ සීමාවටම සෝදිසි කරනු ලබන්නේ’ නම්, අපගේ ඇදහිල්ල හා අඛණ්ඩතාව මුළුමනින්ම ඔප්පු කළ හැකිය. කෙසේවෙතත්, අපට දරා ගත හැකි ප්‍රමාණයට වඩා අප පරීක්ෂා කරනු ලැබීමට ප්‍රේමනීය ස්වර්ගික පියාණන් ඉඩ හරින්නේ නැත.—1 කොරින්ති 10:13.
11. තදබල ලෙස පරීක්ෂා කරනු ලබන කල, අප මතක තබා ගත යුත්තේ කුමක්ද?
11 එලීහු දිගටම කථාකරද්දී, ඔහු නැවතත් පෙන්වූයේ, යෝබ් තමාගේම ධර්මිෂ්ඨකම ගැන ඕනෑවට වඩා අවධාරණය කරමින් සිටි බවය. අවධානය යොමු කළ යුත්තේ අපගේ උත්තරීතර සැදුම්කරුවාණන් කෙරෙහිය. (යෝබ් 35:2, 6, 11) දෙවියන්වහන්සේ “දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක, නුමුත් අසරණවූ අයට යුක්තිය ඉෂ්ටකරදෙනසේක” යයි එලීහු පැවසීය. (යෝබ් 36:6) දෙවියන්වහන්සේගේ මාර්ගය ගැන ගණන් දීමක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමටද, උන්වහන්සේ අධර්මිෂ්ඨ වී ඇතැයි කීමටද කිසිවෙකුට නොහැකිය. අපට දැනගත හැකිවාටත් වඩා උන්වහන්සේ අතිශයින් උසස්ය, තවද උන්වහන්සේගේ අවුරුදු සොයාගත නොහැකි තරමට නිමාවකින් තොරය. (යෝබ් 36:22-26) තදබල ලෙස පරීක්ෂා කරනු ලැබූ කල, අපගේ සදාතනික දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත්, උන්වහන්සේගේ ප්‍රශංසාව පිණිස අපගේ ඇදහිලිවන්ත ක්‍රියාකාරකම් උදෙසා අපට විපාක දෙනු ඇති බවත් මතක තබා ගන්න.
12. දුෂ්ටයන් මත යෙහෝවඃවහන්සේගේ විනිශ්චය ඉටු කිරීම සම්බන්ධව එලීහුගේ අවසාන ප්‍රකාශවලින් හඟවන්නේ කුමක්ද?
12 එලීහු කථා කළ විට, කුණාටුවක් හට ගනිමින් තිබුණි. එය ළංවෙනවාත් සමඟම, ඔහුගේ හෘදය ඉතා වේගයෙන් ගැහෙන්ටත් භයෙන් වෙව්ලන්ටත් පටන් ගත්තේය. යෙහෝවඃවහන්සේ විසින් කරන ලද මහත් දේවල් ගැන කථා කරන්ට පටන් ගත් හේ මෙසේ පැවසීය: “අහෝ යෝබ් මීට ඇහුම්කන්දෙන්න, කෙළින් සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියාවලට ඔබම අවධානය දී තිබෙන බව පෙන්වන්න.” යෝබ් මෙන්, අපටත් දෙවියන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියා සහ ගරුබිය දනවන ගෞරවාන්විත බව ගැන සලකා බැලීමට අවශ්‍යය. “සර්වබලධාරි තැනැන්වහන්සේ සම්බන්ධව නම් අප උන්වහන්සේව සොයාගෙන නැත; උන්වහන්සේ බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේ යුක්තියද, ධර්මිෂ්ඨකමේ බහුලත්වයද සුළුකොට නොතකනසේක. එමනිසා මනුෂ්‍යයෝ උන්වහන්සේට භය වෙත්වා.” (යෝබ් 37:1, 14, 23, 24, NW) එලීහුගේ අවසාන ප්රකාශයන්ගෙන් අපට සිහිගන්වන්නේ, දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් දුෂ්ටයන් මත විනිශ්චය ඉටු කරන විට, උන්වහන්සේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම සුළු කොට නොතකන බවත්, ස්වකීය ගෞරවසම්පන්න නමස්කාරකයන් වශයෙන් තමන්වහන්සේට භය වන අයව ආරක්ෂා කරනු ඇති බවත්ය. යෙහෝවඃවහන්සේ විශ්වනීය පරමාධිපතියාණන් බව පිළිගන්නාවූ එවන් අඛණ්ඩතාව රක්‍ෂාකරන්නන් අතර සිටීම මොනතරම් වරප්‍රසාදයක්ද! යෝබ් විඳදරාගත්තාක් මෙන් විඳදරාගන්න, එමෙන්ම මෙම සන්තෝෂවත් සමූහයා අතර ඔබගේ ආශීර්වාද ලත් ස්ථානය ඔබගෙන් ඉවත් කිරීමට යක්ෂයාට කිසිවිටකත් ඉඩ නොදෙන්න.
යෙහෝවඃවහන්සේගෙන් යෝබ්ට පිළිතුරු
13, 14. (අ) යෙහෝවඃවහන්සේ යෝබ්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේ කුමක් සම්බන්ධවද? (ආ) දෙවියන්වහන්සේ යෝබ්ගෙන් ඇසූ වෙනත් ප්‍රශ්නවලින් කුමන කරුණු උකහා ගත හැකිද?
13 යෙහෝවඃවහන්සේ කුණාටුවේ සිට යෝබ්ව අමතන විට ඔහු මොනතරම් පුදුම වූවා විය යුතුද! මෙම කුණාටුව දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් විය, එය නිවස විනාශ කර දැමීමටත් යෝබ්ගේ දරුවන් මරාදැමීමටත් සාතන් විසින් යොදා ගන්නා ලද මහත් සුළඟ මෙන් නොවීය. “මා පොළොව පිහිටෙවූ කල නුඹ කොතැන සිටියෙහිද? . . . පහන් තාරකා එක්ව ගීතිකාකරමින්, දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?” යනුවෙන් දෙවියන්වහන්සේ ඇසූ විට යෝබ් නිරුත්තර විය. (යෝබ් 38:4, 6, 7) මුහුද ගැන, පොළොවට අතුරනයක් බඳුවූ වලාකුළු ගැන, අලුයම් කාලය ගැන, මරණයේ දොරටු ගැන, ආලෝකය සහ අන්ධකාරය ගැන එමෙන්ම තාරකා මණ්ඩල ගැන දෙවියන්වහන්සේ යෝබ් වෙත ප්‍රශ්න එකිනෙක ඉදිරිපත් කළසේක. “නුඹ අහසේ නියෝග දන්නවාද?” කියා අසන විට යෝබ්ට කිසිවක් පැවසිය නොහැකි විය.—යෝබ් 38:33.
14 මිනිසා මවනු ලැබීමට පෙර සහ මත්ස්‍යයන්, පක්ෂීන්, මෘගයන් හා බඩගා යන සතුන් කෙරෙහි අධිපතිකම් කිරීමට ඉඩ දීමට පෙර, කිසිදු මිනිස් උපකාරයකින් හෝ අවවාදයකින් තොරව දෙවියන්වහන්සේ ඔවුන්හට සපයමින් සිටි බව අනෙක් ප්‍රශ්නවලින් ඇඟවේ. යෙහෝවඃවහන්සේගේ අනෙකුත් ප්රශ්නවල කුළු හරකා, පැස්බරා සහ අශ්වයා වැනි සත්ත්වයන් ගැන සඳහන් විණි. යෝබ්ගෙන් මෙසේ අසන ලදි: “රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද?” (යෝබ් 39:27) ඇත්ත වශයෙන්ම නැත! “සර්වබලධාරි තැනැන්වහන්සේ සම්බන්ධයෙන් වැරදි සොයන්නෙක් කිසිලෙසකින්වත් පොරට සිටිය යුතුද?” යනුවෙන් දෙවියන්වහන්සේ යෝබ්ගෙන් අසන විට ඔහු තුළ ඇතිවූ ප්‍රතික්‍රියාව සිතා බලන්න. “මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි” කියා යෝබ් පැවසීම පුදුමයක් නොවේ. (යෝබ් 40:2, NW, යෝබ් 40:4) යෙහෝවඃවහන්සේ සෑමවිටම හරි නිසා, උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කිරීමට අප යම් විටක පරීක්ෂා කරනු ලැබුවහොත්, අප ‘අතින් කට වසා ගත’ යුතුය. දෙවියන්වහන්සේගේ ප්‍රශ්නවලින්, මැවිල්ල තුළින් පෙනීයන පරිදි, උන්වහන්සේගේ උසස්කම, ගෞරවය සහ ශක්තියද වර්ණනාකරන ලදි.
බෙහෙමොත් සහ ලෙවියාතන්
15. බෙහෙමොත් යනුවෙන් සාමාන්‍යයෙන් සැලකෙන සත්ත්වයා කවරෙක්ද, තවද උගේ ගති ලක්ෂණ සමහරක් මොනවාද?
15 හිපපොටේමස් යනුවෙන් සාමාන්‍යයෙන් සලකනු ලබන බෙහෙමොත් ගැන යෙහෝවඃවහන්සේ ඊළඟට සඳහන් කළසේක. (යෝබ් 40:15-24) උගේ අතිවිශාල තරම, මහත් බර සහ ගොරෝසු හම, කැපී පෙනෙනසුලුව තිබියදී මෙම ශාකභක්ෂක සත්ත්වයා ‘කන්නේ තණකොළය.’ උගේ බලය හා ශක්තිය නික්මෙන්නේ, උගේ තුනටියෙන් සහ බඩේ මස්ගොබවලිනි. උගේ පාදවල ඇටකටු “තඹ බට” [NW] මෙන් ශක්තිමත්ය. බෙහෙමොත් ගලායන සැඩ දියපහරේදී කලබල නොවෙයි, නමුත් දියපහරට එරෙහිව පහසුවෙන් පිහිනා යයි.
16. (අ) ලෙවියාතන් පිළිබඳ විස්තර ගැළපෙන්නේ කිනම් සත්ත්වයාටද, තවද ඌ පිළිබඳ සත්‍ය කරුණු කිහිපයක් මොනවාද? (ආ) බෙහෙමොත් සහ ලෙවියාතන්ගේ බලය, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ පැවරුම් ඉටු කිරීම පිළිබඳව කුමක් යෝජනා කරනවා විය හැකිද?
16 දෙවියන්වහන්සේ යෝබ්ගෙන් මෙසේද ඇසූසේක: “කිඹුලා [ලෙවියාතන්, NW] බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලණුවකින් පහත් කරන්ටවත් නුඹට පුළුවන්ද?” ලෙවියාතන් පිළිබඳ විස්තර මැනවින් ගැළපෙන්නේ කිඹුලාටය. (යෝබ් 41:1-34) ඌ කිසිකෙනෙකු සමඟ සාම ගිවිසුමක් ඇති කර නොගනී, මෙම උරගයාව ඇවිස්සිය හැකි තරමට නිර්භීත වූ කිසි ප්‍රඥාවන්ත මිනිසෙකු නැත. ඌව අහකට එළවා දමන්ට ඊතළවලට නුපුළුවන, තවද “කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය.” වියරු වූ ලෙවියාතන්, සැළියක වතුර මෙන් ගැඹුර නටවයි. ලෙවියාතන් සහ බෙහෙමොත් යෝබ්ට වඩා ඉතා බොහෝසෙයින් ශක්තිමත්ය යන කාරණය, නිහතමානී වීමට යෝබ්ට උපකාරවත් විය. අපත් අප තුළින්ම ශක්තිමත් නොවන බව අප නිහතමානීව පිළිගත යුතුය. සර්පයා වන සාතන්ගේ විසකුරු ප්‍රහාර මඟහැරීමට සහ යෙහෝවඃවහන්සේගේ සේවය තුළ අපගේ පැවරුම් ඉටු කිරීමට දෙවියන්වහන්සේ දානය කරන ප්‍රඥාව සහ ශක්තිය අපට අවශ්‍යය.—පිලිප්පි 4:13; එළිදරව් 12:9.
17. (අ) යෝබ් ‘දෙවියන්වහන්සේව දුටුවේ’ කෙසේද? (ආ) පිළිතුරු දීමට යෝබ්ට නොහැකි වූ ප්‍රශ්නවලින් ඔප්පු වූයේ කුමක්ද, තවද අපට උපකාර කිරීමට මෙයට හැක්කේ කෙසේද?
17 මුළුමනින්ම නිහතමානී වූ යෝබ්, තම වැරදි දෘෂ්ටිකෝණය පිළිගෙන, තමා දැනුම නැතිව කථා කළ බවට එකඟවූයේය. එහෙත්, තමා ‘දෙවියන්වහන්සේ දකිනු’ ඇති බවට ඇදහිල්ල පළ කොට තිබිණි. (යෝබ් 19:25-27) යෙහෝවඃවහන්සේ දැක කිසිකෙනෙකුට ජීවත් විය නොහැකි බැවින්, එය සිදු විය හැක්කේ කෙසේද? (නික්මයාම 33:20) ඇත්තෙන්ම, යෝබ් දිව්‍ය බලයේ විදහාපෑම දුටුවේය, දෙවියන්වහන්සේගේ වචනය ඇසුවේය, එමෙන්ම යෙහෝවඃවහන්සේ පිළිබඳ සත්‍යය දැකීමට තමාගේ වටහාගැනීම නමැති ඇස් විවෘත කර තිබුණේය. එමනිසා, යෝබ්, ‘තමාගේ වරද පිළිගෙන, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාප’ වුණේය. (යෝබ් 42:1-6) ඔහු විසින් පිළිතුරු දීමට නොහැකි වූ බොහෝ ප්‍රශ්නවලින් දෙවියන්වහන්සේගේ උත්කෘෂ්ටතාව ඔප්පු කොට තිබූ අතර, මිනිසෙකුගේ එනම්, යෝබ් වැනි යෙහෝවඃවහන්සේට කැපවූ සේවකයෙකුගේ පවා කුඩා බව පෙන්වා තිබුණි. අපගේ ඕනෑ එපාකම්, යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ කිරීමට සහ උන්වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමට වඩා ඉහළින් නොතිබිය යුතු බව දැක ගැනීමට මෙය අපට උපකාර කරයි. (මතෙව් 6:9, 10) අපගේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ, යෙහෝවඃවහන්සේ කෙරෙහි අඛණ්ඩතාව රැකගැනීමටත් උන්වහන්සේගේ නාමයට ගෞරවය ගෙන ඒමටත්ය.
18. යෝබ්ගේ බොරු සැනසිලිකාරයන්ට කිරීමට අවශ්‍ය වූයේ කුමක්ද?
18 එසේ නම්, තමන්වම ධර්මිෂ්ඨ කර ගත් බොරු සැනසිලිකාරයන් ගැන කුමක් කිව හැකිද? යෝබ් මෙන් තමන්වහන්සේ ගැන සත්‍යය කථා නොකළ බැවින් එලීපස්ව, බිල්දද්ව සහ ශෝපර්ව යුක්තිසහගත ලෙස මරාදැමීමට යෙහෝවඃවහන්සේට හැකිව තිබිණි. දෙවියන්වහන්සේ මෙසේ පැවසූසේක: “එබැවින් ගොන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළඟට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරපල්ලා, මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය.” මීට එකඟ වනු පිණිස තමන්වම යටහත් පහත් කර ගැනීමට මෙම තුන් කට්ටුවට සිදුවිණි. අඛණ්ඩතාව රැකගත් යෝබ්ට ඔවුන් සඳහා යාච්ඤා කිරීමට සිදුවූ අතර, යෙහෝවඃවහන්සේ ඔහුගේ යාච්ඤාව පිළිගත්සේක. (යෝබ් 42:7-9) එහෙත්, දෙවියන්වහන්සේට ශාප කර මියයන මෙන් ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටි යෝබ්ගේ භාර්යාව ගැන කුමක් කිව හැකිද? දෙවියන්වහන්සේගේ දයාව කරණකොටගෙන ඇය දෙවියන්වහන්සේගේ සමාවට භාජනවූ බව පෙනෙන්ට තිබේ.
පොරොන්දු වූ විපාක අපට බලාපොරොත්තුව ගෙන දෙයි
19. යෝබ් සම්බන්ධව බැලූ කල, යෙහෝවඃවහන්සේ යක්ෂයාට වඩා ස්වකීය උත්තරීතර බව පෙන්වූයේ කෙසේද?
19 යෝබ් තම දුක්විඳීම පිළිබඳ කනස්සලුවීම නතර කොට, දෙවියන්වහන්සේගේ සේවය තුළ යළි ප්‍රාණවත් වීමත් සමඟම, යෙහෝවඃවහන්සේ ඔහු උදෙසා කාරණා වෙනස් කළසේක. යෝබ් තුන් කට්ටුව වෙනුවෙන් යාච්ඤා කළායින් පසු, දෙවියන්වහන්සේ ‘ඔහුගේ වහල්කම පහකොට පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩි කොට ඔහුට දුන්සේක.’ රෝගයකින් පහර දීමෙන් සාතන් ගෙනා ප්‍රහාරය ආපසු හැරවීමෙන් සහ යෝබ්ව ප්රාතිහාර්යමය ලෙස සුවකිරීමෙන් යෙහෝවඃවහන්සේ යක්ෂයාට එරෙහිව තම උත්කෘෂ්ට බව පෙන්වූසේක. තවද දෙවියන්වහන්සේ එම භූත රැළ පලවා හැර ඔවුන්ට ළංවී හානි පැමිණවීමට ඉඩ නොදී, යළිත් ස්වකීය දේවදූතමය ආරක්ෂක වැට යෝබ් වටා තැබූසේක.—යෝබ් 42:10; ගීතාවලිය 34:7.
20. යෙහෝවඃවහන්සේ යෝබ්ට විපාක දී ආශීර්වාද කළේ කෙසේද?
20 යෝබ්ගේ සහෝදර සහෝදරියෝ සහ කලින් සිටි අනෙක් හිතවත්තු ඔහු සමඟ කෑමටත්, ඔහුට තම සංවේගය පළ කිරීමටත්, යෙහෝවඃවහන්සේ ඔහු කෙරෙහි සිදුවීමට ඉඩදුන් විපත ගැන සැනසීමටත් ඔහු වෙතට එමින් සිටියෝය. ඒ එක් එක් අය මුදල්ද රන් මුදුවක්ද යෝබ්ට දුන්නේය. යෙහෝවඃවහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා අන්තිමයට ආශීර්වාද කළ අතර, මේ අයුරින්, බැටළුවන් 14,000ක්ද, ඔටුවන් 6,000ක්ද, ගොන්බාන් 1000ක්ද, කොටළුදෙනුන් 1000ක්ද ඔහුට හිමි විය. තවද යෝබ්ට මීට කලින් සිටි දරුවන් ගණන වූ පුත්‍රයන් සත්දෙනෙකුද දූවරුන් තුන්දෙනෙකුද නැවත ලැබිණි. යෙමීමා, කෙශීයා සහ කෙරෙන්-හප්-පූක් නමැති ඔහුගේ දියණියන් දේශයේ සිටි ඉතා රූමත්ම කාන්තාවන් වූ අතර, යෝබ් ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය. (යෝබ් 42:11-15) එපමණක්ද නොව, යෝබ් තවත් අවුරුදු 140ක් ජීවත් වූ අතර, ඔහුගේ ජනිතයන්ගෙන් පරම්පරා හතරක් දිටීය. වාර්තාව මෙසේ අවසන් කරයි: “ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මෙළේය.” (යෝබ් 42:16, 17) ඔහුගේ ජීවිතය දීර්ඝ කිරීම යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියාවක් විය.
21. යෝබ් සම්බන්ධ ශුද්ධ ලියවිලිමය වාර්තාව අපට උපකාරවත් වන්නේ කෙසේද, තවද අප කුමක් කිරීමට අධිෂ්ඨාන කරගත යුතුද?
21 යෝබ් සම්බන්ධ ශුද්ධ ලියවිලිමය වාර්තාව, සාතන්ගේ උපායන් ගැන අපව වඩාත් දැනුවත් කරවන අතර, විශ්වනීය පරමාධිපත්‍යය මිනිස් අඛණ්ඩතාව සමඟ බැඳී තිබෙන ආකාරය දැක ගැනීමට අපට උපකාර කරයි. යෝබ් මෙන්, දෙවියන්වහන්සේට ප්‍රේම කරන සියල්ලන්ම පරීක්ෂා කරනු ලබනවා ඇත. එහෙත්, යෝබ් විඳදරාගත්තාක් මෙන්, අපටත් විඳදරාගත හැකිය. ඇදහිල්ල සහ බලාපොරොත්තු සමඟින් සිය පරීක්ෂාවලින් සමත්වූ යෝබ්ගේ විපාක බොහෝ විය. අදදින යෙහෝවඃවහන්සේගේ සේවකයන් හැටියට, අපට ඇදහිල්ල සහ බලාපොරොත්තුව තිබේ. තවද මෙම ශ්‍රේෂ්ඨ විපාකදායකයාණන් අප එක් එක්කෙනා ඉදිරියේ තබා තිබෙන්නේ මොනතරම් උදාර බලාපොරොත්තුවක්ද! ස්වර්ගික විපාකය මනසේ තබාගෙන සිටීම, පොළොව මත තම ඉතිරි ජීවිතය පුරා දෙවියන්වහන්සේට පක්ෂපාතව සේවය කිරීමට ආලේප ලත් අයට පිටුවහලක්ය. භූමික අපේක්ෂාවන් ඇති බොහෝ දෙනෙකු කිසිදා මියනොයනු ඇත, නමුත් මියයන අය, යෝබ් සමඟ පොළොව මත පාරාදීසයේ නැවත නැගිටීමක් ලබනවා ඇත. එවන් අව්‍යාජ බලාපොරොත්තුවක් මනසේ හා හෘදයේ පෙරදැරි කරගෙන, දෙවියන්වහන්සේට ප්‍රේම කරන සියල්ලෝ, අඛණ්ඩතාව රක්ෂා කරන සහ යෙහෝවඃවහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යයට ස්ථිර අනුග්රාහකයන් වශයෙන් යෙහෝවඃවහන්සේගේ පැත්තේ ස්ථාවරව සිටීමෙන් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කරත්වා.
ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
◻ යෝබ් තම බොරු සැනසිලිකාරයන්ට දුන් අවසාන පිළිතුර තුළ ගෙනහැර දැක්වූ කරුණු සමහරක් මොනවාද?
◻ එලීහු යෙහෝවඃවහන්සේගේ අපක්ෂපාත සාක්ෂිකරුවෙකු බව ඔප්පු කළේ කෙසේද?
◻ දෙවියන්වහන්සේ යෝබ්හට නැගූ ප්‍රශ්න සමහරක් මොනවාද, ඒවා ඇති කළ බලපෑම කුමක්ද?
◻ යෝබ් සම්බන්ධ ශුද්ධ ලියවිලිමය වාර්තාවෙන් ඔබ ප්‍රයෝජන ගෙන ඇත්තේ කෙසේද?
[18වන පිටුවේ පින්තූර]
බෙහෙමොත් සහ ලෙවියාතන් පිළිබඳ යෙහෝවඃවහන්සේගේ ප්‍රකාශ, නිහතමානී වීමට යෝබ්ට උපකාරවත් විය