විසිවන-සියවසේ දේව පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම
“දෙවියන්වහන්සේ නොසිටින බවට වූ සංකල්පයට ජනතාව යටත් වෙමින්, දෙවියන්වහන්සේව සැලකිල්ලට නොගනිමින්ද හොඳට හෝ නරකට මඟ පාදමින් ඔවුහු ස්වාධීනව සිය ජීවිත සංවිධානය කර ගනිති.”—වන් හන්ඩ්‍රඩ් යර්ස් ඔෆ් ඩිබේට් ඕවර් ගෝඩ්—ද සෝර්ස් ඔෆ් මොඩර්න් ඒතිඉසම්.
පළමු වතාවට දකින විට රූස්ස ගසක් සිත්ගන්නා යමක් වුවද, අවසානයේදී එය සලකනු ලබන්නේ සාමාන්‍ය දෙයක් හැටියටය. එහි පැවැත්ම, දැක පුරුදු යමක් වන අතර එහි උස තවදුරටත් විස්මයදනවන යමක් නොවන්නේය.
අදේවවාදය සම්බන්ධයෙන්ද තත්ත්වය ඒ හා සමාන වේ. දහනවවන සියවස තුළ එය වාද විවාද බොහොමයක් ඇති කළද, දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම අදදින කම්පිත හෝ අවුල් කරවන යමක් නොවන්නේය. ඉවසීමෙන් කටයුතු කරන යුගයක් මගින් අදේවවාදයට, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමත් සමඟ සාමකාමි සහජීවනයක් පවත්වන තත්ත්වයකට පත්වීමට ඉඩහැර ඇත.
ජනයාගෙන් වැඩි පිරිසක් දෙවියන්වහන්සේව එකහෙළා ප්‍රතික්ෂේප කරන බව මින් අදහස් කරන්නේ නැත; මීට පටහැනිව, අමෙරිකාව, යුරෝපය හා ආසියාව පුරා රටවල් 11ක කරන ලද ජනමත විචාරණයක් එළිදරව් කරන්නේ, දළ වශයෙන්, සියයට දෙකකට මඳක් වැඩි පිරිසක් තමන් අදේවවාදීන් යයි කියා සිටින බවය. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ පවතින බව විශ්වාස කරන බොහෝදෙනෙකු තුළ පවා, අදේවවාදී ආකල්පයක් දක්නට ලැබේ. මෙය කෙසේ සිදුවිය හැකිද?
දෙවියන්වහන්සේගේ අධිකාරය ප්‍රතික්ෂේප කිරීම
“ඇතැම් අවස්ථාවන්හි අදේවවාදය සරලව අදහස් කරන්නේ ඇත්තවශයෙන්ම දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම හෝ නොසලකා හැරීම” යයි එන්සයික්ලොපීඩියා අමෙරිකානා සඳහන් කරයි. මෙම හේතුව නිසා, ද නිව් ෂෝටර් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි නම් ශබ්දකෝෂය “අදේවවාදියා” වෙනුවෙන් මතු දැක්වෙන දෙවන නිර්වචනය දෙයි: “සදාචාරාත්මකව දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක්; අභක්තික පුද්ගලයෙක්.”—ඇල අකුරු අපගේය.
එසේය, දෙවියන්වහන්සේගේ පැවැත්ම හෝ උන්වහන්සේගේ ආධිපත්‍යය, නැතහොත් ඒ දෙකම ප්‍රතික්ෂේප කිරීමක් අදේවවාදයෙහි ගැබ්ව තිබෙන්ට පුළුවන. බයිබලය තීතස් 1:16හි මෙම අදේවවාදී ආකල්පයට යොමු දක්වයි: “ඔවුහු දෙවියන්වහන්සේ ඒත්තු ගන්නා බවට කියා සිටිති, නමුත් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව පිළිනොගනිති.”—ද නිව් ඉංග්ලිෂ් බයිබල්; සසඳන්න ගීතාවලිය 14:1.
පළමු මනුෂ්‍ය යුවළ දක්වා අතීතයට යන විට දෙවියන්වහන්සේගේ අධිකාරය පිළිබඳ එවන් පිළිනොගැනීමක් සිදුවී ඇති බව පැහැදිලි වේ. ඒව දෙවියන්වහන්සේගේ පැවැත්ම ඒත්තු ගත්තාය; එහෙත්, ඇයට අවශ්‍ය වූයේ “යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන” වීමටය. මින් අඟවනු ලැබුවේ, ‘ඇයට තමාගේම ස්වාමියා වී,’ තමාගේම සදාචාර නීති මාලාව ඇති කරගත හැකි බවය. දෙවියන්වහන්සේගේ අධිකාරය මෙසේ ප්‍රතික්ෂේප කිරීමෙහිලා ආදම් පසුව ඒව හා එක් විය.—උත්පත්ති 3:5, 6.
මෙම ආකල්පය අදදින දක්නට ලැබේද? එසේය. වැඩිමනත් ස්වාධීනත්වය සඳහා වූ සෙවිල්ලක් තුළ සියුම් අදේවවාදයක් පැහැදිලි වේ. “අදදින ජනතාව දෙවියන්වහන්සේගේ පරීක්ෂාව යටතේ වාසය කිරීමෙන් වෙහෙසට පත්ව සිටී” යයි වන් හන්ඩ්‍රඩ් යර්ස් ඔෆ් ඩිබේට් ඕවර් ගෝඩ්—ද සෝර්සස් ඔෆ් මොඩර්න් ඒතිඉසම් නම් පොත පවසයි. “ඔවුහු . . . වැඩි කැමැත්තක් දක්වන්නේ නිදහසේ ජීවත් වීමටයි.” බයිබලයේ සදාචාර නීති මාලාව ක්රියාවේ යෙදවිය නොහැකි, අතාත්වික යමක් හැටියට ප්‍රතික්ෂේප කරනු ලැබේ. බොහෝදෙනෙකුගේ කල්පනාව, අවමන්සහගත ලෙස මෙසේ ප්‍රකාශ කළ මිසරයේ ඵාරාවෝගේ කල්පනාවට සමානය: “මා විසින් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නාඳුනමි.” හෙතෙම යෙහෝවඃවහන්සේගේ අධිකාරය ප්‍රතික්ෂේප කළේය.—නික්මයාම 5:2.
දෙවියන්වහන්සේ පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ පිළිනොගැනීම
දෙවියන්වහන්සේගේ අධිකාරය පිළිබඳ වඩාත්ම කම්පා කරවන පිළිනොගැනීම පැමිණෙන්නේ, බයිබලයේ නිර්මල සත්‍යයන් වෙනුවට මිනිසා විසින් නිර්මිත සම්ප්‍රදායන් අනුව ගොස් තිබෙන ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් ගෙනි. (මතෙව් 15:9 සසඳන්න.) මීට අමතරව, ඔවුන් 20වන සියවසේ වඩාත් වැඩියෙන් ලේ වගුරුවා ඇති යුද්ධවලට අනුබල දී ඇති අතර, මෙසේ ඔවුහු අව්‍යාජ ප්‍රේමය පෙන්වන හැටියට වූ බයිබල් ආඥාව ප්‍රතික්ෂේප කර ඇත්තාහ.—යොහන් 13:35.
දෙවියන්වහන්සේගේ සදාචාර ප්‍රමිතිවලට පිටුපෑමෙන්ද පූජක පක්ෂය උන්වහන්සේව ප්‍රතික්ෂේප කර ඇත. උදාහරණයක් වශයෙන්, ලිංගික ක්‍රියා වෙනුවෙන් දරුවන්ව යොදාගන්නා පූජකයන්ට එරෙහිව පවත්වන ලද අඛණ්ඩ නඩු මාලාවන් මෙයට සාක්ෂි වන්නේය. ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය පුරාතනයේ ඉශ්රායෙලයේ හා යුදයේ තිබූ තත්ත්වයට සමාන වේ. “දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ,” යයි දිවැස්වර එසකියෙල්ට කියනු ලැබීය, “මක්නිසාද—ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නොදක්නාසේක කියාද ඔව්හු කියති.” (එසකියෙල් 9:9; සසඳන්න යෙසායා 29:15.) බොහෝදෙනෙක් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සහමුලින්ම අත්හැර දැමීම පුදුමයක්ද! එහෙත් ඔවුන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය අත්හැර දැමිය යුතුද?
අදේවවාදය සඳහා සාධාරණ හේතු තිබේද?
තමන් ආගම්වල කුහකකම නිරීක්ෂණය කර ඇතත් නැතත්, අදේවවාදීන් බොහොමයකට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය ලෝකයේ තිබෙන වේදනාවන් සමඟ අනුරූප කළ නොහැකිය. සිමෝන් ඩ බෝව්වා වරක් මෙසේ ප්‍රකාශ කළාය: “ලෝකයේ සියලු පරස්පර විරෝධීතාවන්ගෙන් බර කරන ලද මැවුම්කරුවෙක් ගැන කල්පනා කරනවාට වඩා මැවුම්කරුවෙකු නැති ලෝකයක් ගැන කල්පනා කිරීම මට වඩාත් පහසුය.”
කුහක ආගමිකයන් විසින් පොලඹවනු ලබන ඒවා ඇතුළුව, ලෝකයේ අයුක්තිසහගත තත්ත්වයන්, දෙවියන්වහන්සේ නොපවතින බව සනාථ කරයිද? මෙය සලකා බලන්න: අහිංසක තැනැත්තෙකුට තර්ජනය, තුවාල, නැතහොත් ඔහුව ඝාතනය කරන්ට පවා පිහියක් පාවිච්චි කරනු ලැබේ නම්, පිහියට නිර්මාතෘවරයෙකු නොසිටි බව මෙය සනාථ කරයිද? ඒ වෙනුවට එය පෙන්වන්නේ එම භාණ්ඩය වැරදි ආකාරයට පාවිච්චි කරනු ලැබූ බව නොවේද? සමානාකාරයෙන්, මානව වේදනාවන්ගෙන් බොහොමයක් පැහැදිලි කරනුයේ මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ විසින් දානය කරන ලද හැකියාවන් මෙන්ම පොළොවත් අනිසි ලෙස පාවිච්චි කරන බවය.
කෙසේවෙතත්, ඇතමෙකුට හැඟෙන්නේ අපට දෙවියන්වහන්සේව දැකිය නොහැකි නිසා, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම තර්කානුකූල නොවන බවය. එහෙත් වාතය, ධ්වනි තරංග හා ගන්ධයන් ගැන කුමක් කිව හැකිද? අපට මේ කිසිවක් දැකිය නොහැකිය, එහෙත් ඒවා පවතින බව අපි දනිමු. අපගේ පෙණහලු, කන් හා නාස් ඒ බව අපට පවසයි. නිසැකවම, දැකිය නොහැකි දේවල් පිළිබඳව අපට සාක්ෂි ඇත්නම්, අපි ඒවා විශ්වාස කරන්නෙමු.
ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පරමාණු, ඇමයිනෝ අම්ලය, මෙන්ම සංකීර්ණ වූ මොළය ඇතුළුව භෞතික සාක්ෂි සලකා බැලීමෙන් පසු, ස්වාභාවධර්මය පිළිබඳ විද්‍යාඥයෙක් වන අර්විං විලියම් නෝබ්ලොච් මෙසේ පැවසීමට පෙලඹුණේය: “මම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි, මන්දයත් මාහට දේවල් පවතින ආකාරය සඳහා තිබෙන එකම තර්කානුකූල පැහැදිලි කිරීම උන්වහන්සේගේ දිව්‍ය පැවැත්ම පමණකි.” (ගීතාවලිය 104:24 සසඳන්න.) සමානාකාරයෙන්, කාය වෛද්‍ය විශේෂඥ මාර්ලින් බුක්ස් ක්රයිඩර් මෙසේ පවසයි: “සාමාන්‍ය මනුෂ්‍යයෙකු හැටියටත්, සිය ජීවිතය විද්‍යාත්මක අධ්‍යයනය හා පර්යේෂණ සඳහා කැප වී සිටින කෙනෙකු හැටියටත්, දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි මට කිසිදු සැකයක් නැත.”
මේ සම්බන්ධයෙන් මෙම මනුෂ්‍යයන් සිටින්නේ තනිවම නොවේ. භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හෙන්රි මාර්ජනෝට අනුව, “ඔබ ප්රමුඛ පෙළේ විද්‍යාඥයන්ව සැලකිල්ලට ගතහොත්, ඔවුන් අතර ඔබට දක්නට ලැබෙන්නේ අදේවවාදීන් ඉතා ස්වල්පදෙනෙකු පමණකි.” විද්‍යාවේ දියුණුව හෝ ආගම්වල අසමර්ථයන් මැවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය අත්හැරීමට අපට බලකළ යුතු නැත. ඒ මන්දැයි අපි පරීක්ෂා කර බලමු.
සැබෑ ආගමේ වෙනස
වර්ෂ 1803දී, එක්සත් ජනපදයේ ජනාධිපති ටොමස් ජෙෆර්සන් මෙසේ ලීවේය: “ක්‍රිස්තියානි ධර්මයේ දූෂ්යකම්වලට මම, ඇත්තවශයෙන්ම, විරුද්ධ වන්නෙමි; එහෙත් යේසුස්වහන්සේගේ අව්‍යාජ ශික්ෂාවලට නොවේය.” එසේය, ක්‍රිස්තියානි ලෝකය හා ක්‍රිස්තියානි ධර්මය අතර වෙනසක් ඇත. ක්‍රිස්තියානි ලෝකයේ පිළිගත් ප්‍රතිපත්ති බොහොමයක් පදනම් වී ඇත්තේ මිනිසාගේ සම්ප්‍රදායන් මතය. මීට පටහැනිව, සැබෑ ක්‍රිස්තියානි ධර්මය එහි ඇදහිලි සහමුලින්ම පදනම් කරගන්නේ බයිබලය මතයි. මෙසේ, පාවුල් පළමු සියවසේ කොලොස්සිවරුන්ට ලිව්වේ ඔවුන් “ඒකාන්ත දැනුම” “ප්‍රඥාව,” හා “ආත්මික අවබෝධය” අත්කර ගත යුතු බවය.—කොලොස්සි 1:9, 10, NW.
අව්‍යාජ ක්‍රිස්තියානීන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මෙයයි, මන්දයත් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ ආඥා කළ නිසාය: “සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.”—මතෙව් 28:19, 20.
අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ලෝකයේ රටවල් 231ක මෙම ආඥාව ක්‍රියාවට නගමින් සිටිති. ඔවුන් බයිබලය භාෂා 12කට පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් 7,40,00,000කට වැඩියෙන් මුද්‍රණය කර ඇත්තාහ. එපමණක්ද නොව, නිවාස බයිබල් පාඩම් වැඩසටහනක් මගින්, ඔවුහු වර්තමානයේ 45,00,000කට වැඩි දෙනෙකුට ‘යේසුස්වහන්සේ අණකළ සියල්ලම පවත්වන්ට’ උපකාර කරමින් සිටිති.
මෙම අධ්‍යාපන වැඩසටහනෙන් පුළුල් ප්‍රතිඵල ලැබේ. එය සැබෑ ඥානාලෝකයක් ලබා දෙයි, මන්දයත් එය පදනම් වී ඇත්තේ, මිනිසාගේ සිතුවිලි මත නොව, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මතය. (හිතෝපදේශ 4:18) මීට අමතරව, එය සියලු ජාතීන්ට හා ගෝත්‍රවලට අයත් ජනයාට උපකාර කරන්නේ මිනිසාගේ “ඥානාලෝකය” මගින් ඉටු කළ නොහැකි යමක් කිරීමටය. එනම් එකිනෙකා කෙරෙහි අව්‍යාජ ප්‍රේමය වර්ධනය කිරීමට ඔවුන්ට හැකියාව ලබා දෙන “අලුත් මනුෂ්‍යයාව” පැළඳ ගැනීමට ඔවුන්ට අවකාශ සැලසීමය.—කොලොස්සි 3:9, 10.
සැබෑ ආගම අපගේ 20වන සියවසේ ජයනද දෙමින් පවතී. එය දෙවියන්වහන්සේව—උන්වහන්සේගේ පැවැත්ම හෝ උන්වහන්සේගේ අධිකාරය—ප්‍රතික්ෂේප කරන්නේ නැත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවලින් එකකට ගොස් ඔබම මෙය පරීක්ෂා කර බලන මෙන් අපි ඔබට ආරාධනා කරන්නෙමු.
[6වන පිටුවේ කොටුව]
අදේවවාදයේ මුල් ශක්තිමත් කිරීම
දර්ශනවාදියෙක් වන ඩනි ඩිඩෙරො නැමැත්තාට දහඅටවන සියවසේ මැද භාගයේදී, එක් වෙළුමකින් සමන්විත විශ්වකෝෂයක් ඉංග්‍රීසි බසින් ප්‍රංශ බසට පරිවර්තනය කිරීමට නියම කරනු ලැබීය. කෙසේවෙතත්, ඔහු තම සේව්‍යයා බලාපොරොත්තු වූ පමණට වඩා අතිශයින් වැඩි වැඩ කොටසක් ඉෂ්ට කළේය. මෙහිදී කාණ්ඩ 28කින් සමන්විත තමාගේ ආන්සික්ලොපේඩි නම් විශ්වකෝෂය සම්පාදනය කරමින් ඩිඩෙරො දශක තුනක් පමණ වැය කළ අතර ඉන් ඔහු ජීවත්ව සිටි කාලයේ ස්වභාවය මැනවින් පිළිබිඹු විය.
එම ආන්සික්ලොපේඩි තුළ ප්‍රායෝගික තොරතුරු බොහොමයක් ගැබ්ව තිබුණද, එය අවධාරණය කළේ මානව ප්‍රඥාවය. ග්‍රේට් ඒජස් ඔෆ් මෑන් නම් පොත් කාණ්ඩයට අනුව, “මිනිසා තමාගේ මඟ පෙන්වන මූලධර්මය හැටියට ඇදහිල්ල වෙනුවට ඥාන ශක්තිය භාවිත කළේ නම්, ඔහුට සිය ජීවිත ක්‍රමය වැඩි දියුණු කරගත හැකි බවට වූ [දර්ශනවාදීන්ගේ] අන්තවාදී විශ්වාස” “උගන්වන්ට තරම් එය නිර්භීත විය.” දෙවියන්වහන්සේ ගැන සඳහන් කිරීමක් නොතිබීම කැපී පෙනුණු යමකි. “තමන් තෝරාගත් විෂයන් මගින් ලේඛකයන් පැහැදිලි කර සිටියේ ආගම ජනතාව දැනගත යුතු දේවලින් එකක් නොවූ බව” යයි ද මොඩර්න් හෙරිටෙජ් නම් පොත පවසයි. පල්ලිය එම ආන්සික්ලොපේඩි යටපත් කිරීමට වෑයම් දැරීම පුදුමයක් නොවේ. නීතිපති එය දේශපාලනයට, සදාචාරයට හා ආගමට විනාශදායක යයි හෙළාදැක්කේය.
ඊට සතුරු වූ අය සිටියද, දළ වශයෙන් 4,000ක් පමණ දෙනා විසින් ඩිඩෙරොගේ ආන්සික්ලොපේඩි ඉල්ලා සිටිනු ලැබීය. එහි අධික මිලය සැලකිල්ලට ගනිද්දී මෙය පුදුමදනවන සංඛ්‍යාවක් විය. මෙම ගුප්ත වූ අදේවවාදී ක්‍රියා කාරකය ඉතා ඉක්මනින්ම පූර්ණ පරිමාණයේ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නක් බවට වර්ධනය වීමට අවශ්‍ය වූයේ කාලය පමණි.