ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 12/1 2-5 පි.
  • අදේවවාදයේ මුල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අදේවවාදයේ මුල්
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුල් වටහාගැනීම
  • බීජ වපුරනු ලැබේ
  • සංශයවාදය දළුලයි
  • අදේවවාදය එහි මුදුන් පෙත්ත කරා ළඟා වේ
  • විසිවන-සියවසේ දේව පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගම නැති කල ලොවට යන කල
    2010 පිබිදෙව්!
  • ඔබ දෙවිව විශ්වාස කරනවාද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරිණාමවාදයේ බලපෑම්
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 12/1 2-5 පි.

අදේවවාදයේ මුල්

අප ජීවත්ව සිටින්නේ අර්බුදවලින් පිරුණු පොළොව මතය; පුවත්පත්වල සිරස්තල දෙස මොහොතකට බැලීම, දිනපතා එම සත්‍යය තහවුරු කරයි. අපගේ ලෝකයේ පවතින බලාපොරොත්තු සුන්වූ තත්ත්වය බොහෝ දෙනෙකුව පොලඹවා තිබෙන්නේ දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳව සැක පහළ කිරීමටය. ඇතමෙක්, තමන් අදේවවාදීන් යයි පවසමින් උන්වහන්සේගේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කරති. ඔබ සම්බන්ධයෙන් එය සැබෑවක්ද?

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය හෝ අවිශ්වාසය අනාගතය සම්බන්ධයෙන් ඔබගේ බලාපොරොත්තුවට ගැඹුරින් බලපෑ හැකිය. දෙවියන්වහන්සේ නොමැතිව, මානව වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහමුලින්ම රඳා පවතින්නේ මිනිසා මතය—මිනිසාගේ අතිප්‍රබල විනාශකාරි හැකියාවන් සලකා බලද්දී, එය නිරස සිතුවිල්ලකි. දෙවියන්වහන්සේ පවතින්නේ යයි ඔබ විශ්වාස කරන්නෙහි නම්, මෙම ග්‍රහලෝකය මත ජීවිතයට අරමුණක්—අවසානයේදී ඉටුවිය හැකි අරමුණක්—තිබෙන බව ඔබ බොහෝ දුරට පිළිගන්නවා ඇත.

දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම ඉතිහාසය පුරා විටින් විට සිදුවී ඇතත්, අදේවවාදයේ ජනප්‍රියභාවය ව්‍යාප්ත වී ඇත්තේ මෑත ශතවර්ෂයන් තුළ පමණකි. ඒ මන්දැයි ඔබ දන්නවාද?

මුල් වටහාගැනීම

රූස්ස ගසක් වනාහි සිත්ගන්නා දර්ශනයකි. එහෙත්, ඇස දකින්නේ එහි කොළ, අතු හා කඳ පමණකි. එම ගසේ ජීව ප්‍රභවය වන, එහි මුල් පිහිටා ඇත්තේ මතුපිට යටින් ගැඹුරු පසේ සැඟවුණු තත්ත්වයකය.

අදේවවාදය සම්බන්ධයෙන් කරුණුද බොහෝදුරට ඒ හා සමානය. දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම අතිවිශාල ගසක් මෙන්, 19වන ශතවර්ෂය වන විට, සිත්ගන්නා ස්වරූපයක් බවට වර්ධනය විය. අධිස්වාභාවික මූල හේතුවක් නොමැතිව ජීවය හා විශ්වය පැවතිය හැකිද? එවන් මැවුම්කරුවෙකු නමස්කාර කිරීම කාලය නාස්ති කිරීමක්ද? එම කාලයේ විසූ ප්‍රමුඛ පෙළේ දර්ශනවාදීන් දුන් පිළිතුරු බලවත් හා පැහැදිලි ඒවා විය. ෆ්‍රිඩ්රිච් නිචචි ප්‍රකාශ කළේ “අපට සදාචාර නීති සංග්‍රහයක් තවදුරටත් අවශ්‍ය නොවන්නාක් මෙන්, අපට ආගම්ද අවශ්‍ය නොවේ” යනුවෙනි. “ආගම වනාහි මනුෂ්‍ය මනසේ සිහිනයකි” යනුවෙන් ලූට්විච් ෆෝයියර්බාච් පැවසුවේය. තවද පසු දශකයන් තුළ සිය ලියවිලිවලින් දැඩි බලපෑමක් ඇති කිරීමට සිටි, කාර්ල් මාර්ක්ස්, නිර්භීතව ප්‍රකාශ කර සිටියේ, “ආගමේ දම්වැල්වලින් මුදා මනසේ නිදහස වැඩි කරන්ට මට වුවමනාය” යනුවෙනි.

මහත් සමූහයෝ මීට ඇදී ගියහ. කෙසේවෙතත්, මෙහිදී ඔවුන් දුටුවේ, අදේවවාදයේ නිකම්ම කොළ, අතු හා කඳ පමණකි. එහි මුල් 19වන ශතවර්ෂයට දීර්ඝ කලකට පෙර ස්ථානගතව වැඩෙමින් පැවතුණි. අදේවවාදයේ වත්මන් වර්ධනය පෝෂණය කරනු ලැබුවේ ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලින් යන්න කීම පුදුමයකි! ඒ කෙසේද? ඔවුන්ගේ දූෂණය නිසා, මෙම ආගමික ආයතන මහත් පරිමාණයකින් බලාපොරොත්තු කඩවීම හා විරෝධතා පළ කිරීමට පොලඹවා තිබේ.

බීජ වපුරනු ලැබේ

මධ්‍යකාලීන යුගය තුළ, කතෝලික සභාව එහි සාමාජිකයන් කෙරෙහි දැඩි ග්‍රහණයක් ඇතිව සිටියේය. “මෙම ධුරාවලිය ජනයාගේ ආත්මික අවශ්‍යතාවන්ට සැලකිල්ල දැක්වීමට සන්නාහ සන්නද්ධව නොසිටි බව පෙනේ” යයි ද එන්සයික්ලොපීඩියා අමෙරිකානා සඳහන් කරයි. “ඉහළ පෙළේ පූජක පක්ෂය, විශේෂයෙන්ම බිෂොප්වරුන්, රදළ පංතියෙන් බඳවාගන්නා ලද අතර තමන්ගේ පදවිය සැලකුවේ මූලිකව ගරුත්වයේ හා බලයේ මූලාශ්‍රයක් හැටියටය.”

ජොන් කැල්වින් හා මාටින් ලූතර් වැනි, ඇතමෙක්, පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීමට වෑයම් දැරූහ. කෙසේවෙතත්, ඔවුන්ගේ ක්‍රම, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රම හා සමාන නොවීය; එම ප්‍රතිසංස්කරණයේ සලකුණු වූයේ නුරුස්සනභාවය හා ලේ වැගිරවීමය. (මතෙව් 26:52 සසඳන්න.) එම ප්‍රහාරයන් සමහරක් කොතරම් දරුණු වූයේද යත්, ශතවර්ෂ තුනකට පසු එක්සත් ජනපදයේ තෙවන ජනාධිපති වන ටොමස් ජෙෆර්සන් මෙසේ ලීවේය: “කැල්වින්ගේ පාපිෂ්ඨ ගුණාංගවලින් දෙවියන්වහන්සේට අවමන් කරනවාට වඩා, කිසිදු දෙවිකෙනෙකු කෙරෙහි විශ්වාස නොකිරීම වඩාත් සමාව දිය හැකි යමක් වන්නේය.”a

පැහැදිලිවම, එම ප්‍රතිසංස්කරණය නිර්මල නමස්කාරය යළි ඇති කළේ නැත. එහෙත් එය කතෝලික සභාවේ බලය හීන කළේය. වැඩිදුරටත් වතිකානුව ජනයාගේ ආගමික ඇදහිල්ල කෙරෙහි පූර්ණ පාලනයක් දැරුවේ නැත. බොහෝ දෙනෙක් අලුත පිහිටුවන ලද රෙපරමාදු නිකායන්ට එක්වූහ. ආගමේ මුළාවෙන් කලකිරුණු වෙනත් අය, මිනිසාගේ මනස තම නමස්කාරයේ ඉලක්කය කරගත්හ. දෙවියන්වහන්සේ පිළිබඳව නානාප්‍රකාර අදහස්වලට ඉඩ සලසමින්, නිදහස් මතධාරී ආකල්පයක් බිහිවිය.

සංශයවාදය දළුලයි

දහඅටවන ශතවර්ෂය වන විට, බුද්ධිමත්ව කල්පනා කිරීම ලෝක ගැටලු සඳහා සාර්ව නිවාරණය හැටියට පොදුවේ ප්‍රශංසා කරනු ලැබීය. මඟ පෙන්වීම සඳහා දේශපාලනය හා ආගම කෙරෙහි සිය රැඳී සිටීම හේතුවෙන් මිනිසාගේ ප්‍රගතියට බාධා පැමිණෙන බව ජර්මානු දර්ශනවාදී ඉම්මානුවෙල් කාන්ට් ස්ථිර ලෙස ප්‍රකාශ කළේය. “මෙය තරයේ හිතට ගන්න! ඔබගේම බුද්ධි මහිමය පාවිච්චියට ගැනීම සඳහා නිර්භීත වන්න!” යයි ඔහු උදක්ම ඉල්ලා සිටියේය.

මෙම ආකල්පය ඥානාලෝකයේ මෙන්ම බුද්ධිමය සමයේ චරිත ලක්ෂණයක් විය. දහඅටවන ශතවර්ෂය මුළුල්ලේම පැවති මෙම කාලපරිච්ඡේදය දැනුම සඳහා දැඩි සෙවිල්ලක් මගින් සලකුණු විය. “සංශයවාදය, වෙනුවට අන්ධ ඇදහිල්ල පෙනී සිටි” බව මයිල්ස්ටෝන්ස් ඔෆ් හිස්ටරි නම් පොත පවසයි. “පැරණි සාධර්මිකතාවන් සියල්ලම ප්‍රශ්න කරනු ලැබීය.”

සියුම් පරීක්ෂාවට ලක්වූ ‘පැරණි සාධර්මිකතාවන්ගෙන්’ එකකි ආගම. “ආගම කෙරෙහි සිය බලාපොරොත්තුව මනුෂ්‍යයෝ වෙනස් කළහ” යයි දි යූනිවර්සල් හිස්ටරි ඔෆ් ද වර්ල්ඩ් නම් පොත පවසයි. “ඔවුන් වැඩිදුරටත් ස්වර්ගයේ විපාක පිළිබඳ පොරොන්දුවලින් තෘප්තියට පත්වූයේ නැත; ඔවුහු පොළොව මත වඩාත් යහපත් ජීවිතයක් ඉල්ලමින් සිටියහ. අධිස්වාභාවිකත්වය කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල හීන වීමට පටන්ගත්තේය.” ඇත්තවශයෙන්ම, ඥානාලෝකයේ දර්ශනවාදීහු වැඩිදෙනෙක් ආගම පිළිකුල් කළහ. විශේෂාකාරයෙන්, ජනයාව නොදැනුවත්කමින් තබාගැනීම වෙනුවෙන් ඔවුහු කතෝලික සභාවේ බලයට කෑදර නායකයන්ට දෝෂාරෝපණය කළහ.

ආගමත් සමඟ අසතුටට පත්ව සිටි, මෙම දර්ශනවාදීහු බොහෝදෙනෙක් දේවවාදීන් බවට පත්වූහ; ඔවුහු දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළද, උන්වහන්සේ මිනිසා කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව ස්ථිර ලෙස කියා සිටියහ.b ආගම “භේදයන්හි, උමතුවෙහි හා අපරාධයන්හි ප්‍රභවය” බව ප්‍රකාශ කළ, දර්ශනවාදී පෝල් ආන්රි ටිරි ඕල්බක් වැනි කීපදෙනෙක්, එළිපිටම කරුණු දැක්වූ අදේවවාදීහු බවට පත්වූහ. කාලය ගෙවී යත්ම, බොහෝදෙනෙක් ක්‍රිස්තියානි ලෝකය කෙරෙහි කලකිරීමට පත්ව ඕල්බක්ගේ අදහස් දරන්ට වූහ.

ක්‍රිස්තියානි ලෝකය අදේවවාදයේ වර්ධනය පෙලඹවීම කොතරම් ව්‍යාජෝක්තියක්ද! “පල්ලි අදේවවාදයේ පස වූයේ” යයි දේවවේදය පිළිබඳ මහාචාර්ය මයිකල් ජේ. බාක්ලේ ලියයි. “බටහිර වාසීන්ගේ හෘදයසාක්ෂිය සංවිධානාත්මක ආගම් හේතුවෙන් මහත් සිත්වේදනාවකටත් පිළිකුල්සහගත බවකටත් පත්විය. එම පල්ලි හා නිකායන් යුරෝපය වනසා දමමින්, සමූලඝාතන ඇති කර, ආගමික විරෝධය නැතහොත් විප්ලව ඉල්ලා සිටිමින්, රජවරුන් සභාවෙන් ඉවත් කර හෝ ධුරයෙන් පහකර දැමීමට වෑයම් කර තිබුණි.”

අදේවවාදය එහි මුදුන් පෙත්ත කරා ළඟා වේ

දහනවවන සියවස වන විට, බාධාවකින් තොරව දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම විවෘතව කරනු ලැබූ අතර එය සඵල වෙමින් පැවතුණි. සිය දෘෂ්ටීන් නිර්භීතව ප්‍රකාශ කිරීමට දර්ශනවාදීන්ට හා විද්‍යාඥයන්ට කිසිදු සැකයක් තිබුණේ නැත. “අපගේ සතුරා දෙවියන්වහන්සේ” යයි විවෘතව අදහස් ප්‍රකාශ කළ එක් අදේවවාදියෙක් කියා සිටියේය. “දෙවියන්වහන්සේ කෙරෙහි බද්ධ වෛරය දැනගැන්මේ පටන්ගැන්මය. මිනිස්වර්ගයා සැබෑ ප්‍රගතියක් ලබන්නේ නම්, එය සිදුවනු ඇත්තේ අදේවවාදයේ පදනම මතය.”

කෙසේවෙතත්, 20වන සියවසේ සියුම් වෙනසක් සිදුවිය. දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම එතරම් කලහකාරි ලෙස සිදු නොවුවද, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන බව ප්‍රකාශ කළ අයට පවා බලපෑම් සිදු කරමින් වෙනස් ආකාරයක අදේවවාදයක් ව්‍යාප්ත වීමට පටන්ගත්තේය.

[පාදසටහන්වල]

a එම ප්‍රතිසංස්කරණයේ හේතුවක් වශයෙන් බිහිවූ රෙපරමාදු නිකායන් ශුද්ධ ලියවිල්ලට පටහැනි බොහෝ ධර්ම ඉගැන්වීම් තබාගත්තේය. වර්ෂ 1990 ඔක්තෝබර් 8 හා 1990 නොවැම්බර් 8 පිබිදෙව් කලාපයන්හි පිළිවෙළින් පිටු 10-14 හා 23-8 බලන්න.

b දේවවාදීන් කියා සිටියේ, ඔරලෝසු සාදන්නෙකු හා සමානව, දෙවියන්වහන්සේ ස්වකීය මැවිලි ක්‍රියාත්මක වීමට සලස්වා, ඉන් අනතුරුව ඊට කිසි ලෙසකින්වත් සම්බන්ධ නොවී සිය අවධානය සහමුලින්ම ඉන් ඉවත් කරගත් බවය. ද මොඩර්න් හෙරිටෙජ් නම් පොතට අනුව, දේවවාදීන් “විශ්වාස කළේ අදේවවාදය බලාපොරොත්තු රහිතභාවයෙන් ජනිත වූ වරදක් වුවද, කතෝලික සභාවේ අධිකාරවාදී ව්‍යූහය හා එහි ධර්ම ඉගැන්වීම්වල දැඩිභාවය හා නුරුස්සන ගතිය ඊටත් වඩා නින්දිත වූ බවය.”

[3වන පිටුවේ පින්තූරය]

කාර්ල් මාර්ක්ස්

[3වන පිටුවේ පින්තූරය]

ලූට්විච් ෆෝයියර්බාච්

[3වන පිටුවේ පින්තූරය]

ෆ්‍රිඩ්රිච් නිචචි

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Earth: By permission of the British Library; Nietzsche: Copyright British Museum (see also page 3); Calvin: Musée Historique de la Réformation, Genève (Photo F. Martin); Marx: U.S. National Archives photo (see also page 3); Planets, instruments, crusaders, locomotive: The Complete Encyclopedia of Illustration/​J. G. Heck; Feuerbach: The Bettmann Archive (see also page 3)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න