අපගේ ජීවිතයේ යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට හිමි උචිත තැන
“දවස පුරා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි, අනන්තවත් කාලයක් පුරා, සදහටම වුවත් ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.”—ගීතාවලිය 145:2, NW.
1. නමස්කාරය සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවඃවහන්සේ කුමක් ඉල්ලා සිටිනසේක්ද?
“තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, [තනි භක්තිය ඉල්ලා සිටින, NW] . . . දෙවිකෙනෙක්ය.” (නික්මයාම 20:5, 6) එම ප්රකාශනය මෝසෙස් යෙහෝවඃවහන්සේගෙන් ඇසූ අතර, පසුව ඔහු ඉශ්රායෙල් ජාතිය ඇමතූ අවස්ථාවේදී එය යළිත් සඳහන් කළේය. (ද්විතීය කථාව 5:9) යෙහෝවඃ දෙවියන්වහන්සේ සිය සේවකයන්ගෙන් තමන්ට පමණක් නමස්කාර කිරීම අපේක්ෂා කළ බවට කිසිදු සැකයක් මෝසෙස්ගේ මනසේ නොවීය.
2, 3. (අ) සීනයි කන්ද අසල සිදුවූ දෙය අසාමාන්‍ය යමක් බවට ඉශ්‍රායෙලිතයන් තුළ තහවුරුවක් ලබා දුන්නේ කුමක්ද? (ආ) අප පරීක්ෂා කර බැලීමට යන්නේ ඉශ්‍රායෙලිතයන් විසින් හා අදදින දෙවියන්වහන්සේගේ සේවකයන් විසින් කරන නමස්කාරය පිළිබඳ කුමන ප්‍රශ්නද?
2 සීනයි කන්ද අසල කූඩාරම් ගසාගෙන සිටියදී, ඉශ්රායෙල්වරුන් මෙන්ම ඔවුන් සමඟ මිසරයෙන් පිටත්ව ආ “මිශ්‍ර සමූහය” අසාමාන්‍ය යමක් දුටූහ. (නික්මයාම 12:38) එය විපත්, නැතහොත් පීඩා දහයකින් මේ වන විට අවමානයට පත් කර තිබූ, මිසරයේ දෙවිවරුන්ගේ නමස්කාරයට සමානත්වයක් දැරුවේ නැත. යෙහෝවඃවහන්සේ ස්වකීය පැමිණ සිටීම මෝසෙස්ට විදහා පෙන්වූ විට, භය-උපදවන ආශ්චර්යවත් සිද්ධීන් සිදුවිය: එනම්, කූඩාරම් ගසාගෙන සිටි සියල්ලන් තිගැස්මට පත් කළ ගිගිරුම්ද, විදුලිද, එමෙන්ම ඉතා තද හොරණෑ ශබ්දයක්ද ඇති විය. අනතුරුව මුළු කන්ද බොහෝසෙයින් කම්පා වෙත්ම, ගින්දරද දුම්ද ඇති විය. (නික්මයාම 19:16-20; හෙබ්‍රෙව් 12:18-21) සිදුවෙමින් තිබූ දෙය අසාමාන්‍ය යමක් බවට යම් ඉශ්රායෙලිතයෙකුට වැඩිමනත් ඔප්පුවක් අවශ්‍යව තිබුණේ නම් එය පැමිණීමට තිබුණේ තව මොහොතකිනි. වැඩිකල්යන්ට මත්තෙන් දෙවියන්වහන්සේගේ ආඥාවල දෙවන පිටපත ලැබීමෙන් පසු මෝසෙස් කන්දෙන් බැස්සේය. දේවානුභාවය ලත් වාර්තාව අනුව, “[මෝසෙස්ගේ] මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය; එබැවින් [ජනයා] ඔහු ළඟට එන්ට භයවූය.” සැබවින්ම, අමතක කළ නොහැකි, මනුෂ්‍යත්වය ඉක්මවූ අද්දැකීමකි!—නික්මයාම 34:30.
3 දෙවියන්වහන්සේගේ එම සැබෑ ජාතිය තුළ, යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට හිමි වූ තැන පිළිබඳව ප්‍රශ්නයක් නොවීය. උන්වහන්සේ ඔවුන්ගේ ගැළවුම්කරුවාණන් වූසේක. ඔවුහු තම ජීවිත සඳහා උන්වහන්සේට ණයගැතිව සිටියහ. උන්වහන්සේ ඔවුන්ගේ නීති සම්පාදකයාණෝද වූසේක. එහෙත් ඔවුහු යෙහෝවඃවහන්සේගේ නමස්කාරය මුල් තැනට තැබුවෝද? එමෙන්ම දෙවියන්වහන්සේගේ නවීන දින සේවකයන් ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට ඔවුන්ගේ ජීවිත තුළ හිමි වී ඇත්තේ කිනම් තැනක්ද?—රෝම 15:4.
යෙහෝවඃවහන්සේට ඉශ්‍රායෙලිතයන්ගේ නමස්කාරය
4. ඉශ්‍රායෙලිතයන් පාළුකරයේ තාවකාලිකව පදිංචිව සිටියදී ඔවුන්ගේ කඳවුරේ බිම් සැලැස්ම කුමක්වීද, එමෙන්ම කඳවුරේ හරි මැද තිබුණේ කුමක්ද?
4 අහසෙහි පියාසර කරන පක්ෂියෙකුට පෙනෙන ආකාරයෙන් ඔබට පාළුකරයේ කූඩාරම් ගසාගෙන සිටි ඉශ්‍රායෙලිතයන්ව දැකීමට අවස්ථාවක් ලැබුණේ නම්, ඔබ එහි දකිනු ඇත්තේ කුමක්ද? එක් එක් කණ්ඩායමට ගෝත්‍ර අන්දායම් තුන බැගින් අයත් වන ලෙස උතුර, දකුණ, නැගෙනහිර හා බස්නාහිර යනාදි පැතිවල බෙදා වෙන් කරන ලදුව, පුළුල් ප්‍රදේශයක් පුරා විහිදුණු, එහෙත් ක්‍රමානුකූලව ඉදිකරන ලද මිලියන තුනක් හෝ ඊටත් වැඩි ජන පිරිසක් පදිංචිව සිටින කූඩාරම් පෙළකි. ඕනෑකමින් වඩාත් සමීප බැල්මක් හෙළන විට, කඳවුරේ මැද ආසන්නයේ තවත් කණ්ඩායමක් පිහිටා තිබීම ඔබ දකිනවා ඇත. කුඩා වූ මෙම කුඩාරම් සමූහයන් හතරේ පදිංචිව සිටියේ ලෙවීවරුන්ගේ ගෝත්‍රයේ පවුල්ය. කඳවුරේ හරි මැද, රෙදි බිත්තියකින් වෙන් කරන ලද ප්‍රදේශයක, අතිවිශිෂ්ට නිර්මාණයක් තිබුණි. මෙය වනාහි යෙහෝවඃවහන්සේගේ සැලැස්ම අනුව “ප්‍රඥා සිත් ඇති” ඉශ්‍රායෙලිතයන් විසින් ගොඩනගන ලද, “සම්මුඛවීමේ කූඩාරම,” නොහොත් මණ්ඩපයයි.—නික්මයාම 35:10; ගණන් කථාව 1:52, 53; 2:3, 10, 17, 18, 25.
5. ඉශ්රායෙලයේ මණ්ඩපය තිබුණේ කුමන අරමුණක් උදෙසාද?
5 පාළුකරයේ ඔවුන්ගේ ගමන තුළ ඔවුන් කඳවුරු බැඳගත් 40ක් පමණ වූ ස්ථානවලින් සැමෙකකම, ඉශ්‍රායෙලිතයන් මණ්ඩපය ගොඩනැගූ අතර, ඔවුන්ගේ එම කඳවුරේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ එයයි. (ගණන් කථාව, 33වන පරිච්ඡේදය) උචිත ආකාරයකට, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාගේ කඳවුරේ හරි මැද වාසය කරන්නේ යයි බයිබලය විස්තර කරයි. උන්වහන්සේගේ තේජස එම මණ්ඩපය පුරා විහිද තිබුණි. (නික්මයාම 29:43-46; 40:34; ගණන් කථාව 5:3; 11:20; 16:3) අවර් ලිවිං බයිබල් නම් පොත මෙසේ අදහස් දක්වයි: “පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මෙම සිද්ධස්ථානය ගෝත්‍රයන් සඳහා ආගමික එක්රැස්වීමේ-මධ්‍යස්ථානයක් බිහි කළ බැවින්, අතිශය වැදගත්කමකින් යුක්ත විය. මෙසේ ඔවුන් කාන්තාරයේ සැරිසරමින් සිටි දීර්ඝ කාලය තුළ එය ඔවුන්ව එක්සත්ව තැබූ අතර සාමුහිකව ක්‍රියා කිරීමට ඔවුන්ට හැකිකම ලබා දුන්නේය.” ඊටත් වඩා, එම මණ්ඩපය සිය මැවුම්කරුවාණන් කෙරෙහි ඉශ්‍රායෙලිතයන්ගේ නමස්කාරය ඔවුන්ගේ ජීවිතවල මූලික අංගය බවට නිත්‍ය සිහිගැන්වීමක් හැටියටද ක්‍රියා කළේය.
6, 7. නමස්කාරය පිණිස ඉඳි කරන ලද කිනම් ගොඩනැගිල්ලක් මණ්ඩපය වෙනුවට ඉදිකරනු ලැබීද, එමෙන්ම එය ඉශ්රායෙල් ජාතියට සේවයක් කළේ කෙලෙසද?
6 ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට පැමිණීමෙන් පසු, එම මණ්ඩපය තවදුරටත් තිබුණේ ඉශ්‍රායෙල්ගේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය හැටියටය. (යෝෂුවා 18:1; 1 සාමුවෙල් 1:3) සුදුසු කාලයේදී, දාවිත් රජ ස්ථිර ගොඩනැගිල්ලක් සෑදීම පිළිබඳව යෝජනා කළේය. මෙය යථා කාලයේදී සිය පුත් සාලමොන් විසින් ගොඩනගන ලද දේවමාළිගාව බවට පත්විය. (2 සාමුවෙල් 7:1-10) එය විවෘත කිරීමේ උත්සවයේදී, එම ගොඩනැගිල්ල කෙරෙහි යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ඇඟවීමට වලාපටලයක් පහත් විය. “මම ඔබට නිවාස ගෘහයක්ද සදාකාලේටම ඔබට වැඩ සිටීමට ස්ථානයක්ද සැබවින්ම [සාර්ථකව, NW] ගොඩනැගීමි” යයි සාලමොන් යාච්ඤා කළේය. (1 රාජාවලිය 8:12, 13; 2 ලේකම් 6:2) අලුත ගොඩනගන ලද දේවමාළිගාව මෙහිදී පත්වූයේ ජාතියේ භක්තිය පිදීම සඳහා වූ මධ්‍යස්ථානය බවටය.
7 දෙවියන්වහන්සේගේ ආශීර්වාදයන් පිළිගැනීමක් හැටියට වසරකට තෙවරක් සියලු ඉශ්රායෙලිත පුරුෂයෝ දේවමාළිගාවේ ප්‍රීති උත්සවවලට සහභාගි වීමට යෙරුසලමට ගියහ. උචිත ලෙස, මෙම නැවත හමුවීම්, දෙවියන්වහන්සේගේ නමස්කාරය කෙරෙහි අවධානය යොමු කරමින්, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නියම මංගල්‍යයන්” හැටියට නම් කරනු ලැබීය. (ලෙවී කථාව 23:2, 4) භක්තිමත් ස්ත්‍රීහු පවුලේ වෙනත් සාමාජිකයන් සමඟ මෙයට සහභාගි වූහ.—1 සාමුවෙල් 1:3-7; ලූක් 2:41-44.
8. ගීතාවලිය 84:1-12 යෙහෝවඃවහන්සේගේ නමස්කාරයේ වැදගත්කම කෙසේ සහතික කරයිද?
8 දේවානුභාවය ලත් ගීතිකාකරුවෝ සිය ජීවිත තුළ නමස්කාරය කොතරම් වැදගත් කොට සලකනු ලැබුවේදැයි ව්‍යක්තව පිළිගත්හ. “සේනාවල ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!” කියා කෝරාගේ පුත්‍රයෝ ගායනා කළහ. ඔවුන් ඇත්තවශයෙන්ම හුදු ගොඩනැගිල්ලකට වර්ණනා කරමින් සිටියේ නැත. ඒ වෙනුවට, ඔවුන් යෙහෝවඃ දෙවියන්වහන්සේට හඬනගා ප්‍රශංසා කියා සිටියේ “මාගේ සිතත් [හදවතත්, NW] මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට [ප්‍රීතියෙන්, NW] මොරගසති” යනුවෙනි. ලෙවීවරුන්ගේ සේවය ඔවුන්ට මහත් සතුටක් ලබා දුන්නේය. “ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය [සන්තෝෂවත්හුය, NW]” යයි ඔවුහු පැවසූහ. “ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසාකරන්නෝය.” ඇත්තවශයෙන්ම ඉශ්රායෙලයේ සියල්ලන්ට මෙසේ ගායනා කළ හැකිව තිබුණි: “තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි [හදවතෙහි, NW] ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත්ය, NW]. . . . ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.” ඉශ්රායෙලිතයෙකු යෙරුසලමට යන ගමන දීර්ඝ හා වෙහෙසකර එකක් විය හැකි වුවත්, ඔහු එම අගනගරය කරා ළඟා වෙත්ම ඔහුගේ ශක්තිය අලුත් කරනු ලැබීය. හෙතෙම යෙහෝවඃවහන්සේව නමස්කාර කිරීමේ සිය වරප්‍රසාදය මහත් සේ ප්‍රශංසා කරත්ම ඔහුගේ හෘදය ප්‍රීතියෙන් පිරී ගියේය: “මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් [වෙනත් තැනක, NW] දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි. . . . සේනාවල ස්වාමිනි [යෙහෝවඃවහන්ස, NW], ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත්ය, NW].” එවන් ප්‍රකාශයන් එළිදරව් කරන්නේ ඉශ්‍රායෙලිතයන් යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට දුන් ප්‍රමුඛත්වයයි.—ගීතාවලිය 84:1-12.
9. යෙහෝවඃවහන්සේගේ නමස්කාරය පෙරමුණේ තැබීමට ඉශ්රායෙල් ජාතිය අසමත් වූ විට ඔවුන්ට කුමක් සිදුවීද?
9 ඉශ්‍රායෙලිතයන්ට සැබෑ නමස්කාරය පෙරමුණේ තැබීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. බොරු දෙවිවරුන්ට වන්දනාමාන කිරීම මගින් යෙහෝවඃවහන්සේ සඳහා වූ සිය ජ්වලිතය යටපත් කිරීමට ඔවුහු ඉඩහළහ. ඒ හේතුවෙන්, යෙහෝවඃවහන්සේ ඔවුන්ව සිය සතුරන්ට පාවා දෙමින්, බබිලෝනියේ වහල්භාවයට රැගෙන යෑමට ඉඩහළසේක. වසර 70කට පසු ඔවුන්ව සිය නිජ බිමේ යළි පදිංචි කරනු ලැබූ විට, යෙහෝවඃවහන්සේ හග්ගයි, සෙකරියා හා මලාකී යන විශ්වසනීය දිවැස්වරුන්ගේ ප්‍රබෝධවත් කරවන අනුශාසනා ඉශ්‍රායෙලිතයන්ට ලබා දුන්සේක. දේවමාළිගාව යළි ගොඩනැගීමටත් සැබෑ නමස්කාරය එහි යළි ඇති කිරීමටත් පූජක එස්රා හා ආණ්ඩුකාර නෙහෙමියා දෙවියන්වහන්සේගේ සෙනඟ දිරිගැන්වූහ. එහෙත් ශතවර්ෂයන් ගෙවී යත්ම, සැබෑ නමස්කාරයට යළිත් එම දේශයේ ප්රමුඛත්වයක් හිමි වූයේ නැත.
සැබෑ නමස්කාරය සඳහා පළමු-ශතවර්ෂයේ ජ්වලිතය
10, 11. යේසුස්වහන්සේ පොළොව මත සිටියදී යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට ඇදහිලිවන්තයන්ගේ ජීවිත තුළ හිමි වූයේ කිනම් ස්ථානයක්ද?
10 යෙහෝවඃවහන්සේගේ නියමිත කාලයේදී, මෙසියස්වහන්සේ පැමිණිසේක. ඇදහිලිවන්තයෝ ගැළවීම පිණිස යෙහෝවඃවහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා සිටියහ. (ලූක් 2:25; 3:15) ලූක්ගේ ශුභාරංචි වාර්තාව, 84 හැවිරිදි ආනා පැහැදිලිව විස්තර කරන්නේ, “දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළ” වැන්දඹුවක් හැටියටය.—ලූක් 2:37.
11 “මාගේ කෑම නම් මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්තකොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීම” යයි යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 4:34) දේවමාළිගාවේ මිල මාරුකරන්නන් හමු වූ විට උන්වහන්සේ ප්‍රතික්‍රියා කළ ආකාරය සිහියට නගන්න. උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ගේ මේස මෙන්ම ආසන පෙරළා දැමූසේක. මාර්ක් මෙසේ පවසයි: “[යේසුස්වහන්සේ] දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක. උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුය.” (මාර්ක් 11:15-17) එසේය, නගරයේ වෙනත් කොටසකට භාණ්ඩ ගෙනයන විට දේවමාළිගාවේ මිදුල තුළින් කෙටි ගමන් මඟක් පවා සකසා ගැනීමට යේසුස්වහන්සේ ඉඩනොහළසේක. යේසුස්වහන්සේගේ ක්‍රියාවන් උන්වහන්සේ විසින් කලින් දෙනු ලැබූ “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද [දෙවියන්වහන්සේගේ] ධර්මිෂ්ඨකමද සොයාපල්ලා,” යන අවවාදයේ බලපෑම තව තවත් ශක්තිමත් කළේය. (මතෙව් 6:33) යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේට සිය තනි භක්තිය පිරිනැමීම සම්බන්ධයෙන් අපට කදිම ආදර්ශයක් තැබූසේක. උන්වහන්සේ තමන් දේශනා කළ දෙය සැබවින්ම ක්‍රියාවට නැංවූසේක.—1 පේතෘස් 2:21.
12. යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට තමන් ලබා දුන් ප්‍රමුඛත්වය යේසුස්වහන්සේගේ ගෝලයෝ කෙසේ නිරූපණය කළෝද?
12 බොරු ආගමික පුරුදුවල බරෙන් පීඩාවට ලක්වූ, එහෙත් විශ්වාසවන්තව සිටි, යුදෙව්වන්ව මුදවාගැනීමට වූ සිය පැවරුම, යේසුස්වහන්සේ ඉෂ්ට කළ ආකාරයෙන්, උන්වහන්සේ අනුගමනය කිරීමට සිය ගෝලයන් සඳහා ආදර්ශයක් තැබූසේක. (ලූක් 4:18) ගෝලයන් සාදන්ටත් ඔවුන් බව්තීස්ම කරන්ටත් වූ යේසුස්වහන්සේගේ ආඥාවට කීකරු වීමක් වශයෙන්, මුල් ක්‍රිස්තියානීහු නැවත නැගුටුවන ලද සිය ස්වාමීන්වහන්සේ පිළිබඳ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත නිර්භීතව ප්‍රකාශ කළහ. තමන්වහන්සේගේ නමස්කාරයට ඔවුන් ලබා දුන් ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ඉතා ප්‍රසන්න වූසේක. ඒ අනුව, දෙවියන්වහන්සේගේම දූතයා ආශ්චර්යවත් ලෙස ප්‍රේරිතයන් වන පේතෘස් හා යොහන්ව හිරගෙයින් මුදාගෙන ඔවුන්ට මෙසේ ආඥා කළේය: “නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනගට කථාකරපල්ලා.” යළි ශක්තිමත් කරනු ලැබූ ඔවුහු, ඊට කීකරු වූහ. සෑම දවසකම, යෙරුසලමෙහිත් ගෙයින් ගෙටත් ඔවුහු “ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.”—ක්‍රියා 1:8; 4:29, 30; 5:20, 42; මතෙව් 28:19, 20.
13, 14. (අ) මුල් ක්‍රිස්තියානි කාලවල පටන්, සාතන් වෑයම් දරා ඇත්තේ දේව සේවකයන්ට කුමක් කිරීමටද? (ආ) දෙවියන්වහන්සේගේ විශ්වසනීය සේවකයන් දිගටම කර තිබෙන්නේ කුමක්ද?
13 ඔවුන්ගේ දේශනා කිරීමට විරෝධය වැඩි වෙත්ම, කාලෝචිත අවවාද ලිවීමට දෙවියන්වහන්සේ සිය ඇදහිලිවන්ත සේවකයන්ට මඟ පෙන්වූසේක. “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [යෙහෝවඃවහන්සේ] පිට තබාපල්ලා” යයි පො.යු. 60ට කෙටි කාලයකට පසු පේතෘස් ලීවේය. “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටපල්ලා.” මුල් ක්‍රිස්තියානීන්ට නිසැකවම එම වදන් තුළ ධෛර්යයක් ලැබුණි. මඳ කලකට තමන් දුක් විඳීමෙන් පසු, දෙවියන්වහන්සේ තමන්ගේ පුහුණුව අවසන් කරන බව ඔවුහු දැන සිටියහ. (1 පේතෘස් 5:7-10) යුදෙව් දේවල පිළිවෙළේ එම අවසාන දවස් තුළ, සැබෑ ක්‍රිස්තියානීහු යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රේමනීය නමස්කාරය නව ඉහළ මට්ටමකට නැංවූහ.—කොලොස්සි 1:23.
14 ප්‍රේරිත පාවුල් පුරෝකථනය කර තිබූ ආකාරයට, ඇදහිල්ල අත්හැරයෑමක්, එනම් සැබෑ නමස්කාරයෙන් ඉවත් වීමක්, සිදුවිය. (ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3) පළමු ශතවර්ෂයේ අවසාන දශකවලින් ලද බොහෝ සාක්ෂි මෙය තහවුරු කළේය. (1 යොහන් 2:18, 19) සාතන් සාර්ථක ලෙස තිරිඟු වැනි ක්‍රිස්තියානීන්ගෙන් “කිරිඳි” වෙන්කොට හඳුනාගැනීම දුෂ්කර කරවමින්, තිරිඟු වැනි වූ අව්‍යාජ ක්‍රිස්තියානීන් අතරට කිරිඳි වැනි වූ අනුකරණ ක්‍රිස්තියානීන්ව වැපිරීමක් සිදු කළේය. කෙසේවෙතත්, ගතවූ ශතවර්ෂයන් තුළ, ඇතැම් පුද්ගලයෝ තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින්, දෙවියන්වහන්සේව නමස්කාර කිරීම මුල් තැනට තැබූහ. එහෙත් සැබෑ නමස්කාරය නගා සිටුවීමට දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්ව නැවත එක්රැස් කිරීම ‘ජාතීන්ගේ නියමිත කාලවල’ අවසාන දශකයන් දක්වා සිදු නොකළසේක.—මතෙව් 13:24-30, 36-43; ලූක් 21:24, NW.
යෙහෝවඃවහන්සේගේ නමස්කාරය අදදින නගා සිටුවා ඇත
15. වර්ෂ 1919 පටන්, යෙසායා 2:2-4හි හා මීකා 4:1-4හි අනාවැකි ඉෂ්ට වී ඇත්තේ කෙලෙසද?
15 සැබෑ දෙවියන්වහන්සේව නමස්කාර කිරීම නගා සිටුවා ඇති, නිර්භීත වූ ලෝක ව්‍යාප්ත සාක්ෂිදැරීමේ ව්‍යාපාරයක් දියත් කරන්ට, 1919දී, යෙහෝවඃවහන්සේ ආලේප ලත් ඉතිරි කොටසට බලය පැවරූසේක. වර්ෂ 1935 පටන් මේ දක්වා සංකේතවත් “වෙනත් බැටළුවෝ” ඇතුල් වීමත් සමඟ, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ගෘහයේ කන්ද[ට]” ආත්මික වශයෙන් නගින්නාවූ ජන ධාරාව අඛණ්ඩව වැඩි වර්ධනය වී ඇත. වර්ෂ 1993 සේවා වසර තුළ, ස්වකීය නගා සිටුවන ලද නමස්කාරයේ එක්වීමට අන්‍යයන්ට ආරාධනා කිරීමෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ 47,09,889 දෙනෙක් උන්වහන්සේට ප්‍රශංසා කළහ. මෙය, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ නිකායික “කඳු(වල)” ආත්මික වශයෙන් නීච තත්ත්වයට වඩා කොතරම් වෙනසක් ඇති කරයිද!—යොහන් 10:16; යෙසායා 2:2-4; මීකා 4:1-4.
16. යෙසායා 2:10-22හි පුරෝකථනය කර ඇති දෑ සලකා බැලීමේදී, දෙවියන්වහන්සේගේ සේවකයන් සියලු දෙනාම කළ යුත්තේ කුමක්ද?
16 බොරු ආගමික භක්තිකයන් සිය පල්ලි හා ආසන දෙව් මැදුරුවලට මෙන්ම, සිය දේවගැතියන්ට පවා උදාර පදවි නාම හා ගරුත්වයන් පිරිනමමින්, ඔවුන්ව සලකන්නේ “උසස්” හැටියටය. එහෙත් යෙසායා පුරෝකථනය කළ දෙය සැලකිල්ලට ගන්න: “මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පමණක් උසස්කරනු ලබන්නේය.” මෙය සිදුවනු ඇත්තේ කවදාද? “පිළිම [කිසි වටිනාකමක් නැති දෙවිවරුන්, NW] සහමුලින්ම පහ(වන්නාවූ)” ඉතා ඉක්මනින් සිදුවන මහත් පීඩාව තුළය. එම භය-උපදවන කාලය ඉතා ආසන්නව ඇති නිසා, දෙවියන්වහන්සේගේ සේවකයන් සියල්ලන්ම බරපතළ ලෙස පරීක්ෂා කර බැලිය යුත්තේ සිය ජීවිතවල යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට තිබෙන ස්ථානය කුමක්ද යනවගය.—යෙසායා 2:10-22.
17. යෙහෝවඃවහන්සේගේ සේවකයන්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට තමන් දෙන ප්‍රමුඛත්වය අදදින විදහා පෙන්වන්නේ කෙසේද?
17 ජාත්‍යන්තර සහෝදරත්වයක් හැටියට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ රාජ්‍යය දේශනා කිරීම සම්බන්ධයෙන් සිය ජ්වලිතය සඳහා නම්දරා සිටිති. ඔවුන්ගේ නමස්කාරය සතියකට පැයකට පමණක් වෙන් කරන ලද නාමික ආගමක් නොවේ. නැත, එය ඔවුන්ගේ සම්පූර්ණ ජීවිත ක්‍රමය වන්නේය. (ගීතාවලිය 145:2) ඇත්තවශයෙන්ම, පසුගිය වසරේ සාක්ෂිකරුවෝ 6,20,000කට වැඩි පිරිසක් පූර්ණ-කාලීනව ක්‍රිස්තියානි දේව සේවයේ හවුල් වීමට සිය දෛනික වැඩකටයුතු සැලසුම් කරගත්හ. ඉතිරි අයද සැබවින්ම යෙහෝවඃවහන්සේගේ නමස්කාරය නොසලකා නොහරිති. ඔවුන්ගේ පවුලේ වගකීම් ලෞකික රැකියාවෙහි වෙහෙසා වැඩ කිරීමක් ඔවුන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවන්හි පවා, සිය එදිනෙදා සංවාදයන්හි මෙන්ම සිය ප්‍රසිද්ධ දේශනාවෙහි මෙය මූලික දෙය හැටියට පෙනෙන්ට තිබේ.
18, 19. සාක්ෂිකරුවන්ගේ ජීවිත කථා කියවීමෙන් ඔබ සමහර විට ලබන්ට ඇති දිරිගැන්වීමේ ආදර්ශයන් ගෙනහැර දක්වන්න.
18 මුරටැඹ සඟරාවේ ප්‍රකාශයට පත් කෙරෙන සාක්ෂිකරුවන්ගේ ජීවිත කථාන්තර, විවිධ සහෝදර සහෝදරියන් සිය ජීවිතවල යෙහෝවඃවහන්සේගේ නමස්කාරය පළමු තැනට තබා ඇති ආකාරයන් සම්බන්ධයෙන් සූක්ෂ්ම දෘෂ්ටියක් ලබා දෙයි. අවුරුදු හයේදී සිය ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කළ එක් යෞවන සහෝදරියක්, සිය ඉලක්කය හැටියට තැබුවේ මිෂනාරි දේව සේවයයි. යෞවන සහෝදර සහෝදරයෙනි, ඔබගේ ජීවිතවල යෙහෝවඃවහන්සේගේ නමස්කාරය පෙරමුණට තැබීමට ඔබට උපකාර කරන කුමන ඉලක්කයක් ඔබට තෝරා ගත හැකිද?—වර්ෂ 1992, මාර්තු 1, ද වොච්ටවර් 26-30 පිටුවල ඇති “වයස අවුරුදු හයේදී ගත් ඉලක්කයක් ලුහුබැඳීම” නමැති ලිපිය බලන්න.
19 මහලු වැන්දඹු සහෝදරියක්ද යෙහෝවඃවහන්සේගේ නමස්කාරය එහි නියම තැන තැබීමෙහි තවත් කදිම ආදර්ශයක් සපයන්නීය. සත්‍යය ඉගෙනගැනීමට ඇය උපකාර කර තිබූ අයගෙන් විඳදරාගැනීමට ඈ මහත් දිරිගැන්වීමක් ලැබුවාය. ඇයගේ ‘පවුල’ හැටියට සිටියේ ඔවුන්ය. (මාර්ක් 3:31-35) ඔබත් එවන් තත්ත්වයකට පත්වුවහොත්, ඔබගේ සභාවේ යෞවනයන්ගේ ආධාර හා උපකාරය ඔබ පිළිගන්නෙහිද? (වර්ෂ 1992 ජූලි 1, ද වොච්ටවර් සඟරාවේ 21-3 පිටුවල ප්‍රකාශිත, “මම අස්වැන්න කපන කාලයේදී ප්‍රතිචාර දැක්වීමි” නම් ලිපියේ සහෝදරි විනිෆ්‍රෙඩ් රෙමි තමාගේ අදහස් දැක්වූ ආකාරය කරුණාකර සැලකිල්ලට ගන්න.) පූර්ණ-කාලීන දේව සේවකයෙනි, දිව්‍යාණ්ඩු මඟ පෙන්වීමට කැමැත්තෙන් යටත් වෙමින්, ඔබට පැවරුම් ලැබෙන ස්ථානයෙහි නිහතමානීව සේවය කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය සැබවින්ම ඔබගේ ජීවිතවල මුල් තැනට පැමිණෙන බව විදහා පෙන්වන්න. (වර්ෂ 1992 අගෝස්තු 15, මුරටැඹ 24-7 පිටුවල “දෙවියන්වහන්සේගේ සංවිධානයට සමීපව ඇලී සිටීම” නම් ලිපියේ ප්‍රකාශිත ආකාරයට, සහෝදර රෝයි රයන්ගේ ආදර්ශය කරුණාකර සැලකිල්ලට ගන්න.) අප යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට ප්‍රමුඛත්වය ලබා දෙන විට, උන්වහන්සේ අප කෙරෙහි සැලකිල්ල දක්වන බවට වූ සහතිකය අපට ඇති බව මතක තබාගන්න. ජීවිතයේ අවශ්‍යතා කෙසේ ලැබෙනු ඇද්ද යනවග පිළිබඳව අප කනස්සලු විය යුතු නැත. සහෝදරියන් වන ඔලිව් හා සෝනියා ස්ප්රිංගේට්ගේ අද්දැකීම් මෙය පැහැදිලි කරයි.—වර්ෂ 1994 පෙබරවාරි 1වන දිනැති මුරටැඹ සඟරාවේ 20-5 පිටුවල, “අපි පළමුකොට රාජ්‍යය සොයා ඇත්තෙමු” නම් ලිපිය බලන්න.
20. දැන් අප අපගෙන්ම ඇසිය යුත්තේ උචිත වූ කිනම් ප්‍රශ්නද?
20 එසේනම් පෞද්ගලිකව, අප අපෙන්ම සිතට කාවදින ඇතැම් ප්‍රශ්න ඇසිය යුතු නොවේද? යෙහෝවඃ වහන්සේගේ නමස්කාරයට මගේ ජීවිතයේ ලබන ස්ථානය කුමක්ද? මගේ උපරිම හැකියාවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට වූ මගේ කැපවීමට අනුව මා ජීවත් වනවාද? මට වැඩිදියුණු විය හැක්කේ ජීවිතයේ කුමන ක්ෂේත්‍රයන්හිද? මීළඟ ලිපිය ගැඹුරින් සලකා බැලීම, ජීවිතයේ අප තෝරාගෙන තිබෙන ප්‍රමුඛතාවන්ට—එනම් අපගේ ප්‍රේමනීය පියාණන් වන, පරමාධිපති ස්වාමිවූ යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට—එකඟව අපට අපගේ සම්පත් පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳව මෙනෙහි කිරීමට අපට ප්‍රස්තාවක් ලබා දෙනවා ඇත.—දේශනාකාරයා 12:13; 2 කොරින්ති 13:5.
පුනරීක්ෂණය
◻ නමස්කාරය සම්බන්ධයෙන් ගත් කල, යෙහෝවඃවහන්සේ කුමක් ඉල්ලා සිටිනසේක්ද?
◻ මණ්ඩපය කුමක සිහිගැන්වීමක් හැටියට ක්‍රියා කළේද?
◻ පොදු යුගයේ පළමුවන සියවසේ, සැබෑ නමස්කාරය සඳහා ජ්වලිතයේ කැපී පෙනෙන ආදර්ශයන්ව සිටියේ කවුරුන්ද, එමෙන්ම ඒ කෙසේද?
◻ වර්ෂ 1919 පටන්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරය නගා සිටුවා ඇත්තේ කෙලෙසද?