ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ඔක්තෝබර් 24-29 පි.
  • සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශුද්ධ කූඩාරම
  • උත්තම පූජකයා
  • පූජාසන සහ පූජා
  • ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය
  • පිටත මළුව සහ ඇතුල් මළුව
  • වටිනා වරප්‍රසාදයක්!
  • යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ඔක්තෝබර් 24-29 පි.

පාඩම් ලිපිය 45

සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න

‘අහසද පොළොවද සෑදූ තැනැත්තාණන්ට නමස්කාර කරන්න.’—එළි. 14:7.

ගීතිකාව 93 රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු

මේ ලිපියෙන්a

1. එක දේවදූතයෙක් කියන්නේ මොනවාද? ඒ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

දේවදූතයෙක් ඇවිල්ලා ඔයාට කතා කළොත් ඔයා ඇහුම්කන් දෙයිද? ඇත්තම කිව්වොත් අද දේවදූතයෙක් “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” කතා කරනවා. එයා මොනවාද කියන්නේ? එයා කියනවා ‘දෙවිට ගරුබිය දක්වන්න. අහසද පොළොවද සෑදූ තැනැත්තාණන්ට නමස්කාර කරන්න’ කියලා. (එළි. 14:6, 7) යෙහෝවා තමයි එකම සැබෑ දෙවියන්. අපි හැමෝම නමස්කාර කරන්න ඕනෙත් ඔහුටයි. ඉතින් ඔහුගේ සංකේතවත් දේවමාලිගාවේ අපිට නමස්කාර කරන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

2. සංකේතවත් දේවමාලිගාවෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? (“අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද?” කියන කොටුවත් බලන්න.)

2 ඇත්තටම සංකේතවත් දේවමාලිගාව කියන්නේ මොකක්ද? ඒ ගැන අපිට විස්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද? ඒ දේවමාලිගාව ඇත්ත ගොඩනැඟිල්ලක් නෙවෙයි. ඒකෙන් නියෝජනය වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්න දෙවියන් ඇති කරපු සැලැස්මයි. පාවුල් මුල් සියවසේ යුදයේ හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියපු ලියුමේ ඒ ගැන විස්තරාත්මකව පැහැදිලි කළා.b

අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද?

  • එසකියෙල් දර්ශනයකින් දැක්ක දේවමාලිගාව. මොකද ඒකෙන් නියෝජනය වෙන්නේ පවිත්‍ර නමස්කාරය සඳහා දෙවියන් ඇති කරලා තියෙන ප්‍රමිති සහ ඒ ප්‍රමිතිවලට අනුව මෑත කාලේදී පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවන එකයි.—එස. 40:1-5.e

  • “යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාව.” මොකද ඒකෙන් නියෝජනය වෙන්නේ පොළොවේ ඉඳන් දෙවියන්ට සේවය කරන අභිෂේක ලත් අයව.—එෆී. 2:19-22; 1 කොරි. 3:16, 17; 2 කොරි. 6:16.f

  • දැන් අපි අද්දකින පාරාදීසයක් වගේ තත්වය. මොකද ඒකෙන් නියෝජනය වෙන්නේ අපි හැමෝම එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරන නිසා ඔහු එක්ක වගේම සහෝදර සහෝදරියන් එක්ක අපිට තියෙන සමාදානයයි.

3-4. යුදයේ හිටපු ක්‍රිස්තියානීන් ගැන පාවුල් වධ වුණේ ඇයි? පාවුල් එයාලට උදව් කළේ කොහොමද?

3 යුදයේ හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් ලියුමක් ලිව්වේ ඇයි? අඩුම තරමේ ඒකට ප්‍රධාන හේතු දෙකක්වත් තිබුණා. (1) එයාලව දිරිගන්වන්න. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් හුඟදෙනෙක් පොඩි කාලේ ඉඳන්ම යුදෙව් ආගම අදහපු අය. ඉතින් එයාලා ක්‍රිස්තියානීන් වෙද්දී යුදෙව් ආගමික නායකයන් එයාලට ගොඩක් අපහාස කරන්න ඇති. ඒ ඇයි? මොකද ක්‍රිස්තියානීන්ට නමස්කාර කරන්න තේජවත් දේවමාලිගාවක් තිබුණේ නැහැ. පූජා ඔප්පු කරන්න පූජාසන තිබුණේ නැහැ. ඒ වගේම එයාලා වෙනුවෙන් සේවේ කරන්න පූජකයන් හිටියෙත් නැහැ. ඒ නිසා ඒ ක්‍රිස්තියානීන් හුඟක් අධෛර්යය වෙලා එයාලාගේ විශ්වාසයත් දුර්වල වෙන්න ඇති. (හෙබ්‍රෙ. 2:1; 3:12, 14) සමහර අයට ආයේ යුදෙව් ආගමට යන්න හිතෙන්නත් ඇති.

4 (2) හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් අලුත් ඉගැන්වීම් වගේම බයිබලේ “ගන ආහාර” විදිහට හඳුන්වන ගැඹුරු සත්‍යයන් තේරුම්ගන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඒක පාවුල් එයාගේ ලියුමේ සඳහන් කළා. (හෙබ්‍රෙ. 5:11-14) පේන විදිහට එයාලාගෙන් සමහරු ඒ වෙද්දීත් මෝසෙස්ගේ නීතිය පිළිපදින එක නවත්තලා තිබුණේ නැහැ. ඒ නිසා පාවුල් කිව්වා නීතියේ තිබුණ විදිහට කොච්චර පූජා ඔප්පු කළත් කවදාවත් පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලබාගන්න බැහැ කියලා. ඒ නිසා නීතිය “අවලංගු වෙලයි” තියෙන්නේ කියලා එයා කිව්වා. ඊටපස්සේ පාවුල් එයාලට ගැඹුරු සත්‍යයන් කීපයක් ගැන කියලා දුන්නා. එයා ඒ ක්‍රිස්තියානීන්ට මතක් කළා යේසුස්ගේ ජීවිත පූජාව නිසා එයාලට දැන් “දෙවි වෙතට ළඟා වෙන්න” පුළුවන් කියලා. ඒ නිසා එයාලට “වඩා උතුම් බලාපොරොත්තුවක්” ලැබිලා තියෙනවා.—හෙබ්‍රෙ. 7:18, 19.

5. හෙබ්‍රෙව් පොතේ තියෙන මොන දේවල්ද අපි තේරුම්ගන්න ඕනේ? ඒ ඇයි?

5 පාවුල් හෙබ්‍රෙව් සහෝදරයන්ට පැහැදිලි කළා එයාලා කලින් නමස්කාර කරපු විදිහට වඩා ක්‍රිස්තියානීන් විදිහට දැන් නමස්කාර කරන විදිහ කොච්චර උසස්ද කියලා. එයා කිව්වා යුදෙව්වන් නමස්කාර කරපු ක්‍රමය “පැමිණීමට තිබූ සැබෑ දේ වන ක්‍රිස්තුස් පිළිබඳ ඡායාවක් පමණි” කියලා. (කොලො. 2:17) සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක ඡායාවක නැත්නම් හෙවණැල්ලක සැබෑ දේට තියෙන හැම ලක්ෂණයක්ම නැහැ. ඒකෙන් සැබෑ දේ ගැන දළ අදහසක් විතරයි අපිට ගන්න පුළුවන්. අන්න ඒ වගේ යුදෙව්වන් නමස්කාර කරපු විදිහ ඉස්සරහට එන්න තිබුණ දේවල්වල ඡායාවක් විතරයි. ඒ නිසා අපේ පව්වලට සමාව ලබාගන්න සහ දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්න යෙහෝවා දෙවියන් දැන් ඇති කරලා තියෙන සැලැස්ම ගැන අපි හොඳ අවබෝධයක් ගන්න එක වැදගත්. ඒ නිසා අපි මේ පාඩමෙන් හෙබ්‍රෙව් පොතේ විස්තර කරලා තියෙන විදිහට “ඡායාව” (යුදෙව්වන් අතීතයේදී නමස්කාර කරපු විදිහ) සහ “සැබෑ දේ” (ක්‍රිස්තියානීන් අද නමස්කාර කරන විදිහ) සන්සන්දනය කරලා බලමු. එහෙම කරද්දී සංකේතවත් දේවමාලිගාව කියන්නේ මොකක්ද, ඒක අපිට බලපාන්නේ කොහොමද කියලා තවත් හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි.

ශුද්ධ කූඩාරම

“ඡායාව සහ සැබෑ දේ” කියන රූප සටහනෙන් පෙන්නන්නේ අතීතයේ ශුද්ධ කූඩාරමේ තිබුණ එක එක කොටස් ගැනයි. 1. උත්තම පූජකයා; 9 ඡේදය බලන්න. 2. දවන පූජා ඔප්පු කළ පූජාසනය; 11 ඡේදය බලන්න. 3. තඹ වතුර භාජනය; 16 ඡේදය බලන්න. 4. ඇතුල් මළුව; 16 ඡේදය බලන්න. 5. ශුද්ධ කූඩාරම; 7 ඡේදය බලන්න. 6. ශුද්ධස්ථානය; 13 ඡේදය බලන්න. 7. තිර රෙද්ද; 13 ඡේදය බලන්න. 8. අතිශුද්ධස්ථානය; 13-14 ඡේද බලන්න.

6. ශුද්ධ කූඩාරම පාවිච්චි වුණේ මොන විදිහටද?

6 ඡායාව. මේ ලිපිය ලියද්දී පාවුල්ගේ මනසේ තිබුණේ ක්‍රි.පූ. 1,512දී ඒ කියන්නේ මෝසෙස්ගේ කාලේදී හදපු ශුද්ධ කූඩාරමයි. (“ඡායාව සහ සැබෑ දේ” කියන රූපසටහන බලන්න.) මුලින්ම ඊශ්‍රායෙල්වරු ශුද්ධ කූඩාරම එයාලා යන යන තැනට ගෙනිච්චා. යෙරුසලමේ දේවමාලිගාව ගොඩනඟන කල්ම අවුරුදු 500ක් විතර එයාලා ඒක තමයි නමස්කාරය සඳහා පාවිච්චි කළේ. (නික්. 25:8, 9; ගණන්. 9:22) ශුද්ධ කූඩාරම “සම්මුඛ වීමේ කූඩාරම” කියලත් හැඳින්නුවා. එතනට තමයි ඊශ්‍රායෙල්වරු දෙවියන්ට පූජා ඔප්පු කරන්න සහ නමස්කාර කරන්න ගියේ. (නික්. 29:43-46) හැබැයි ශුද්ධ කූඩාරමෙන් ඊටත් වඩා උතුම් දෙයක් නියෝජනය වුණා.

7. සංකේතවත් දේවමාලිගාව පිහිටෙව්වේ කවදාද?

7 සැබෑ දේ. අතීතයේ තිබුණ ශුද්ධ කූඩාරම ‘ස්වර්ගයේ තියෙන දේවල ඡායාවක්.’ ඒකෙන් නමස්කාරය සඳහා දෙවියන් ඇති කරපු ශ්‍රේෂ්ඨ සැලැස්ම නියෝජනය වුණා. ඒකයි පාවුල් කිව්වේ “එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී සිදු වන දේවලට සංකේතයක්” කියලා. (හෙබ්‍රෙ. 8:5; 9:9) සංකේතවත් දේවමාලිගාව පිහිටෙව්වේ ක්‍රි.ව. 29දී. ඒ යේසුස් බව්තීස්ම වෙනවාත් එක්කම ඔහු දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු වෙලාවේ. මොකද ඒ අවස්ථාවේ ඉඳන් තමයි යේසුස් යෙහෝවා දෙවියන්ගේ “ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා” විදිහට සංකේතවත් දේවමාලිගාවේ සේවේ කරන්න පටන්ගත්තේ.c (හෙබ්‍රෙ. 4:14; ක්‍රියා 10:37, 38) එහෙමනම් පාවුල් මේ ලිපිය ලියන කාලේ වෙද්දීත් නමස්කාරය සඳහා යෙහෝවා දෙවියන් ඇති කරපු ශ්‍රේෂ්ඨ සැලැස්ම ක්‍රියාත්මක වෙමින් තිබුණා කියලා පැහැදිලියි.

උත්තම පූජකයා

8-9. ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයන් සහ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වන යේසුස් අතර තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? (හෙබ්‍රෙව් 7:23-27)

8 ඡායාව. සෙනඟව නියෝජනය කරලා යෙහෝවා දෙවියන් ඉදිරියේ පෙනී ඉන්න පත් කරලා තිබුණේ උත්තම පූජකයාවයි. ඊශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි උත්තම පූජකයාව ඒ කියන්නේ ආරොන්ව යෙහෝවා පත් කළේ ශුද්ධ කූඩාරම කැප කරපු අවස්ථාවේදී. හැබැයි පාවුල් මෙහෙම කිව්වා. “පූජකයන් ලෙස බොහෝදෙනෙකුට අනුපිළිවෙළින් සේවය කිරීමට සිදු විය. එසේ වූයේ මරණය නිසා එක් කෙනෙකුට දිගටම පූජකයෙකු ලෙස සේවය කිරීමට නොහැකි වූ නිසාය.”d (හෙබ්‍රෙව් 7:23-27 කියවන්න.) ඒ වගේම ඒ උත්තම පූජකයන් පාපය උරුම කරගෙන හිටපු නිසා එයාලාගෙම පව් වෙනුවෙනුත් එයාලට පූජා ඔප්පු කරන්න වුණා. එහෙම බලද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයන් සහ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වන යේසුස් ක්‍රිස්තුස් අතර තියෙන වෙනස අහසට පොළොව වගේ.

9 සැබෑ දේ. අපේ උත්තම පූජකයා විදිහට යේසුස් ක්‍රිස්තුස් ‘මිනිසා විසින් නොව යෙහෝවා දෙවි විසින් ඉදි කරන ලද සැබෑ කූඩාරමෙහි සේවය කරනවා.’ (හෙබ්‍රෙ. 8:1, 2) යේසුස් “සදහටම ජීවත්ව සිටින නිසා වෙන කිසි කෙනෙකු ඔහුගේ පූජක තනතුර ලබාගන්නේ නැත” කියලත් පාවුල් කිව්වා. ඒ වගේම යේසුස් “පවිත්‍ර කෙනෙක්. ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස්.” ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයන් වගේ ‘ඔහු දිනපතාම තමන් වෙනුවෙන් පූජා ඔප්පු කරන්න ඕනෙ නැහැ.’

පූජාසන සහ පූජා

10. තඹ පූජාසනයේ ඔප්පු කරපු පූජාවලින් නියෝජනය වුණේ මොකක්ද?

10 ඡායාව. ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන තඹවලින් පූජාසනයක් හදලා තිබුණා. ඒකේ තමයි යෙහෝවා දෙවියන් වෙනුවෙන් සත්ව පූජා ඔප්පු කළේ. (නික්. 27:1, 2; 40:29) හැබැයි ඒකේ කොච්චර පූජා ඔප්පු කළත් ඒවාවලින් සෙනඟගේ පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලබාගන්න පුළුවන් වුණේ නැහැ. (හෙබ්‍රෙ. 10:1-4) ඇත්තටම දිගින් දිගටම ශුද්ධ කූඩාරමේ ඔප්පු කරපු පූජාවලින් නියෝජනය වුණේ මිනිස්සුන්ගේ පව් සම්පූර්ණයෙන්ම මකලා දාන එක විශේෂ පූජාවක්.

11. යේසුස් ජීවිතය පූජා කළේ මොන පූජාසනය මතද? (හෙබ්‍රෙව් 10:5-7, 10)

11 සැබෑ දේ. යෙහෝවා දෙවියන් යේසුස්ව මිනිසෙක් විදිහට මේ පොළොවට එව්වේ මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ඔප්පු කරන්නයි කියලා යේසුස් දැනන් හිටියා. (මතෙ. 20:28) ඒ නිසා බව්තීස්ම වුණ වෙලාවේ යේසුස් පෙන්නුවා ඔහු දෙවියන්ගේ කැමැත්ත කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. (යොහ. 6:38; ගලා. 1:4) යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කළේ දෙවියන්ගේ “කැමැත්ත” කියන සංකේතවත් පූජාසනය මත. මොකද දෙවියන්ගේ “කැමැත්ත” වුණේ යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජාවක් විදිහට ඔප්පු කරන එකයි. යේසුස්ට ඔහුගේ ජීවිතේ පූජා කරන්න වුණේ “එක් වරක් පමණයි.” ඒකෙන් යේසුස්ගේ ජීවිත පූජාව විශ්වාස කරන හැමෝගෙම පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලැබුණා. (හෙබ්‍රෙව් 10:5-7, 10 කියවන්න.) දැන් අපි ශුද්ධ කූඩාරම ඇතුළේ තියෙන කොටස් ගැන ටිකක් බලමු.

ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය

12. ශුද්ධ කූඩාරමේ එක් එක් කොටසට ඇතුල් වෙන්න පුළුවන් වුණේ කාටද?

12 ඡායාව. ශුද්ධ කූඩාරමෙයි, පස්සේ කාලේ හදපු දේවමාලිගාවලයි සැලැස්ම ගොඩක් දුරට එක සමානයි. ඒවා ඇතුළේ කොටස් දෙකක් තිබුණා. ඒ තමයි “ශුද්ධස්ථානය” සහ “අතිශුද්ධස්ථානය.” ඒ දෙක වෙන් වුණේ තිර රෙද්දකින්. (හෙබ්‍රෙ. 9:2-5; නික්. 26:31-33) ශුද්ධස්ථානය ඇතුළේ රන් පහන් රුකක්, සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයක් සහ පුදන රොටි තියන මේසයක් තිබුණා. ඒකට ඇතුල් වෙලා තමන්ගේ පරිශුද්ධ සේවය පිරිනමන්න අවසර තිබුණේ ‘පූජකයන් විදිහට අභිෂේක කරපු’ අයට විතරයි. (ගණන්. 3:3, 7, 10) ඒ වගේම අතිශුද්ධස්ථානය ඇතුළේ තිබුණේ රන් ආලේප කරපු ගිවිසුම් පෙට්ටිය. ඒ ගිවිසුම් පෙට්ටියෙන් යෙහෝවා දෙවියන් සෙනඟ අතර ඉන්නවා කියලා නියෝජනය වුණා. (නික්. 25:21, 22) අතිශුද්ධස්ථානයට යන්න අවසර තිබුණේ උත්තම පූජකයාට විතරයි. හැබැයි ඒකත් අවුරුද්දට වතාවක් පවත්වපු සමඟි වීමේ දවසේදී විතරයි. (ලෙවී. 16:2, 17) අවුරුද්දක් අවුරුද්දක් පාසා සෙනඟගේ පව් වෙනුවෙනුත් තමන්ගේ පව් වෙනුවෙනුත් සමාව ලබාගෙන දෙවියන් එක්ක සමඟි වෙන්න උත්තම පූජකයා සත්තුන්ගේ ලේ අරගෙන අතිශුද්ධස්ථානයට ඇතුල් වුණා. කාලයත් එක්කම දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ශුද්ධ කූඩාරමේ එක් එක් කොටසෙන් නියෝජනය වුණ දේ හෙළි කළා.—හෙබ්‍රෙ. 9:6-8.

13. ශුද්ධස්ථානයෙන් සහ අතිශුද්ධස්ථානයෙන් නියෝජනය වුණේ මොකක්ද?

13 සැබෑ දේ. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් සීමිත පිරිසක්ව දෙවිගේ බලයෙන් අභිෂේක කරලා තියෙනවා. එයාලට යෙහෝවා දෙවියන් එක්ක තියෙන්නේ හරිම විශේෂ බැඳීමක්. ඒ 1,44,000දෙනා යේසුස් එක්ක පූජකයන් විදිහට ස්වර්ගයේ සේවය කරන්න යනවා. (එළි. 1:6; 14:1) ශුද්ධස්ථානයෙන් නියෝජනය වෙන්නේ පොළොවේ ඉද්දීම දෙවියන්ගේ පුත්‍රයන් විදිහට අභිෂේක ලත් අය අද්දකින තත්වයයි. (රෝම 8:15-17) අතිශුද්ධස්ථානයෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවියන් වාසය කරන ස්වර්ගයයි. ඒ කොටස් දෙක වෙන් කරපු “තිර රෙද්ද” තමයි මනුෂ්‍යයෙක් විදිහට යේසුස්ට තිබුණ ශරීරය. මොකද යේසුස්ට ස්වර්ගයට ඇතුල් වෙලා සංකේතවත් දේවමාලිගාවේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා විදිහට සේවය කරන්න තිබුණ බාධාව ඔහුගේ මිනිස් ශරීරයයි. හැබැයි ඒ ශරීරය හැමෝම වෙනුවෙන් පූජා කරපු එකෙන් ඔහු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ස්වර්ගයට යන්න මඟ විවෘත කළා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ සංකේතවත් දේවමාලිගාවේ අතිශුද්ධස්ථානයට ඇතුල් වුණා. ඒ කියන්නේ ස්වර්ගයේ දෙවියන් ඉදිරියේ පෙනී හිටියා. ක්‍රමානුකූලව අභිෂේක ලත් අයත් ස්වර්ගයේදී යේසුස් එක්ක එකතු වෙනවා. හැබැයි ඒකට එයාලත් එයාලාගේ මිනිස් ශරීර අත්හරින්න ඕනේ.—හෙබ්‍රෙ. 10:19, 20; 1 කොරි. 15:50.

14. නමස්කාර කරන්න යෙහෝවා දෙවියන් දැන් ඇති කරලා තියෙන සැලැස්ම ශ්‍රේෂ්ඨ එකක් වෙන්නේ ඇයි? (හෙබ්‍රෙව් 9:12, 24-26)

14 යේසුස්ගේ ජීවිත පූජාව සහ උත්තම පූජකයා විදිහට යේසුස් කරන කාර්යභාරය පදනම් කරගෙන තමයි සැබෑ නමස්කාරය සඳහා යෙහෝවා දෙවියන් දැන් ඇති කරලා තියෙන සැලැස්ම ගොඩනැඟිලා තියෙන්නේ. ඒක කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ටිකක් හිතලා බලන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා ඇතුල් වුණේ මිනිස්සු හදපු අතිශුද්ධස්ථානයකට. ඒකත් සත්තුන්ගේ ලේ අරගෙන. හැබැයි යේසුස් ඇතුල් වුණේ මේ විශ්වයේ තියෙන ශුද්ධම තැන වන “ස්වර්ගයට.” ඒ යෙහෝවා ඉස්සරහා පෙනී ඉන්න. අපි දන්නවා යේසුස්ට මේ පොළොවේ පරිපූර්ණ කෙනෙක් විදිහට හැමදාටම ජීවත් වෙන්න අයිතිය තිබුණා. හැබැයි ‘පාපය නැති කරලා දාන්න’ ඔහු ඒ ජීවිතේ පූජා කළා. ඒ ජීවිත පූජාවේ වටිනාකම තමයි යේසුස් ඒ වෙලාවේ දෙවියන් ඉදිරියේ ඔප්පු කළේ. (හෙබ්‍රෙව් 9:12, 24-26 කියවන්න.) යේසුස් කරපු ඒ පූජාවට සම කරන්න වෙන කිසිම පූජාවක් නැහැ. මොකද ඒ පූජාව නිසා අපේ පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලැබෙනවා. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ වුණත් පොළොවේ වුණත් සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න අපි හැමෝටම පුළුවන්.

පිටත මළුව සහ ඇතුල් මළුව

15. ශුද්ධ කූඩාරමේ මළුවල සේවය කළේ කවුද?

15 ඡායාව. ශුද්ධ කූඩාරමට තිබුණේ එක මළුවක් විතරයි. ඒක වැටකින් වට වුණ ලොකු එළිමහන් තැනක්. එතන තමයි පූජකයන් එයාලාගේ පැවරුම් ඉටු කළේ. ඒකේ දවන පූජා ඔප්පු කරන විශාල තඹ පූජාසනයක් තිබුණා. ඒ වගේම පරිශුද්ධ සේවය පිරිනමන්න කලින් පූජකයන්ට පවිත්‍ර වෙන්න වතුර පුරවපු විශාල තඹ භාජනයකුත් තිබුණා. (නික්. 30:17-20; 40:6-8) හැබැයි පස්සේ කාලෙක හදපු දේවමාලිගාවල ඇතුල් මළුවට අමතරව පිටත මළුවකුත් තිබුණා. ඒ මළුවේ ඉඳන් තමයි පූජකයන් නොවන අය යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ.

16. සංකේතවත් දේවමාලිගාවේ එක් එක් මළුවල සේවය කරන්නේ කවුද?

16 සැබෑ දේ. යේසුස් එක්ක ස්වර්ගයේ පූජකයන් විදිහට සේවේ කරන්න යන්න කලින් අභිෂේක ලත් අය විශ්වාසවන්තව සංකේතවත් දේවමාලිගාවේ ඇතුල් මළුවේ ඒ කියන්නේ මේ පොළොවේ සේවේ කරනවා. මළුවේ තිබුණ විශාල වතුර භාජනයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මතක් කරනවා එයාලා බොරු ඉගැන්වීම්වලින් ඈත් වෙලා සදාචාරමය අතින් පිරිසිදුව ඉන්න එකේ වැදගත්කම. ඒක එයාලට විතරක් නෙවෙයි අපි හැමෝටම හොඳ සිහිගැන්වීමක්. එතකොට අභිෂේක ලත් අයට සහය දෙන “මහත් සමූහය” නමස්කාර කරන්නේ කොතන ඉඳන්ද? යොහන් දකිනවා එයාලා දෙවියන්ගේ ‘සිංහාසනය ඉදිරියේ හිටගෙන ඉන්නවා.’ වෙනත් විදිහකින් කියනවා නම් එයාලා ඉන්නේ පිටත මළුවේ. ඒ කියන්නේ මහත් සමූහය මේ පොළොවේ ඉඳලා තමයි ‘දිවා රෑ දෙකේ දේවමාලිගාවේ ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනමන්නේ.’ (එළි. 7:9, 13-15) එහෙම බලද්දී සැබෑ නමස්කාරය සඳහා දෙවියන් ඇති කරපු සැලැස්මේ අපි හැමෝටම තැනක් තියෙන එක අපි කොච්චර අගය කරන්න ඕනෙද!

වටිනා වරප්‍රසාදයක්!

17. අපිට යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔප්පු කරන්න පුළුවන් මොන වගේ පූජාවන්ද?

17 ක්‍රිස්තියානීන් විදිහට අපිටත් පුළුවන් දෙවියන්ට පූජා ඔප්පු කරන්න. ඒ කොහොමද? අපිට පුළුවන් දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය සහ අපිට තියෙන දේවල් පාවිච්චි කරන්න. ඒ වගේම පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට කිව්වා වගේ “නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කර ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නත්” අපිට අවස්ථාව තියෙනවා. (හෙබ්‍රෙ. 13:15) ඒ නිසා අපේ හොඳම දේ දීලා යෙහෝවාට නමස්කාර කරන්න අපිට ලැබිලා තියෙන වටිනා අවස්ථාව අපි අගය කරනවා කියලා පෙන්නමු.

18. අපි කවදාවත් අතපසු කරන්න හොඳ නැත්තේ මොනවාද? කවදාවත් අමතක කරන්න හොඳ නැත්තේ මොනවාද? (හෙබ්‍රෙව් 10:22-25)

18 හෙබ්‍රෙව් 10:22-25 කියවන්න. අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරද්දී කවදාවත් අතපසු කරන්න හොඳ නැති දේවල් කීපයක් ගැන හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ අවසාන හරියේ පාවුල් සඳහන් කරනවා. ඒකට යාච්ඤාව, ශුභාරංචිය දේශනා කරන එක, සභාවක් විදිහට එකට රැස් වෙන එක වගේම ‘දෙවියන්ගේ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එකිනෙකාව දිරිගන්වන’ එකත් ඇතුළත්. එළිදරව් පොතේ අවසාන හරියේදී දේවදූතයෙක් කියනවා “ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය” කියලා. (එළි. 19:10; 22:9) එයා ඒක දෙපාරක්ම කිව්වේ ඒ දේ කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්නයි. ඒ නිසා අපේ ශ්‍රේෂ්ඨ දෙවි යෙහෝවාට නමස්කාර කරන්න ඔහු ඇති කරලා තියෙන ශ්‍රේෂ්ඨ සැලැස්ම ගැන තියෙන මේ ගැඹුරු සත්‍යය කවදාවත් අමතක කරන්න එපා!

පැහැදිලි කරන්න පුළුවන්ද?

  • පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ගැන වධ වුණේ ඇයි?

  • සංකේතවත් දේවමාලිගාව ශ්‍රේෂ්ඨ එකක් වෙන්නේ ඇයි?

  • අපි අතපසු කරන්න හොඳ නැත්තේ මොනවාද? අමතක කරන්න හොඳ නැත්තේ මොනවාද?

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

a සංකේතවත් දේවමාලිගාව කියන්නේ බයිබලේ සඳහන් ගැඹුරු සත්‍යයන්වලින් එකක්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ ගැන හෙබ්‍රෙව් පොතේ කියලා තියෙන්නේ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ලැබිලා තියෙන වටිනා අවස්ථාව ගැන ඔයාගේ හිතේ තියෙන අගය වැඩි කරගන්න මේ ලිපිය උදව් වෙයි.

b හෙබ්‍රෙව් පොත ගැන තවත් විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන ‘හෙබ්‍රෙව් පොතට හැඳින්වීමක්’ කියන වීඩියෝ එක බලන්න.

c ග්‍රීක ලියවිලිවල යේසුස්ව උත්තම පූජකයා විදිහට හඳුන්වලා තියෙන්නේ හෙබ්‍රෙව් පොතේ විතරයි.

d එක පොතක කියන විදිහට ක්‍රි.ව. 70දී යෙරුසලමේ තිබුණ දේවමාලිගාව විනාශ වෙන කල් උත්තම පූජකයන් 84දෙනෙක් විතර සේවය කරලා තියෙනවා.

e ‘යෙහෝවා දෙවියන්ට කරන පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි’ කියන පොතේ 240වෙනි පිටුව බලන්න. (සිංහලෙන් නැහැ.)

f 2010 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 22වෙනි පිටුවේ තියෙන “දෙවිගේ බලයේ උපකාරයෙන් සංකේතමය දේවමාලිගාව ගැන අවබෝධය වැඩි වෙයි” කියන කොටුව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න