25වෙනි පාඩම
නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්
මෝසෙස් සීනයි කන්දේ ඉද්දී යෙහෝවා එයාට කිව්වා තැනින් තැනට ගෙනියන්න පුළුවන් විදිහට විශේෂ කූඩාරමක් හදන්න කියලා. ඒකට කිව්වේ ශුද්ධ කූඩාරම කියලයි. දෙවියන්ට නමස්කාර කරන්න ඒක ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන නිසයි ඔහු ඒක හදන්න කිව්වේ.
‘ශුද්ධ කූඩාරම හදන්න ඕන දේවල් දෙන්න කියලා සෙනඟට කියන්න’ කියලා යෙහෝවා කිව්වා. ඊශ්‍රායෙල්වරු ළඟ රත්තරන්, රිදී, තඹ, වටිනා ගල් වර්ග, ආභරණ ගොඩක් තිබුණා. ලොම්, ලිනන්, සත්ව හම් වගේ දේවලුත් තිබුණා. එයාලා ඒ හැම දේම දුන්නා. අන්තිමේදී මෝසෙස්ට සිද්ධ වුණා ‘දැන් ඇති, තව ගේන්න එපා’ කියලා කියන්න.
ශුද්ධ කූඩාරම හදන්න දක්ෂ ගැහැනු, පිරිමි හුඟදෙනෙක් උදව් වුණා. ඒ දක්ෂතා එයාලට දුන්නේ යෙහෝවා. සමහරු රෙදි වියන්න, රෙදි මහන්න උදව් වුණා. තවත් අය වටිනා ගල්වලින්, රත්තරන්වලින් සැරසිලි කරන්නත් ලී කැටයම් කරන්නත් උදව් වුණා.
සෙනඟ යෙහෝවා කියපු විදිහටම ශුද්ධ කූඩාරම හැදුවා. ඒකේ ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානය කියලා කොටස් දෙකක් තිබ්බා. ඒක වෙන් කරලා තිබ්බේ තිර රෙද්දකින්. අතිශුද්ධස්ථානයේ තමයි ඇකේෂියා ලීවලිනුයි රත්තරන්වලිනුයි හදලා තිබුණු ගිවිසුම් පෙට්ටිය තිබුණේ. ශුද්ධස්ථානයේ රත්තරන් පහන් රුකකුයි මේසයකුයි සුවඳ දුම් ඔප්පු කරන්න පූජාසනයකුයි තිබුණා. එළියේ තඹවලින් හදපු වතුර භාජනයකුයි පූජාසනයකුයි තිබුණා. ගිවිසුම් පෙට්ටිය එයාලට උදව් වුණා එයාලා යෙහෝවාට දීපු පොරොන්දුව මතක තියාගන්න. ඔයා දන්නවාද ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා? ගිවිසුමක් කියන්නේ විශේෂ පොරොන්දුවකට.
යෙහෝවා පූජකයන් විදිහට සේවය කරන්න තෝරගත්තේ ආරොන්වයි එයාගේ පුතාලවයි. ශුද්ධ කූඩාරමේ වැඩ බලාගන්න වගකීමයි යෙහෝවාට පූජා ඔප්පු කරන වගකීමයි භාර දුන්නේ එයාලට. අතිශුද්ධස්ථානයට යන්න අවසර තිබුණේ උත්තම පූජක ආරොන්ට විතරයි. එයා අවුරුද්දකට එක පාරක් එතනට ගිහින් එයාගෙයි පවුලේ අයගෙයි මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙයි පව්වලට පූජාවක් ඔප්පු කළා.
ඊජිප්තුවෙන් ඇවිත් අවුරුද්දකට පස්සෙයි ඊශ්‍රායෙල්වරු ශුද්ධ කූඩාරම හදලා ඉවර කළේ. එදා ඉඳන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න එයාලට තැනක් ලැබුණා.
යෙහෝවා ඔහුගේ බලයෙන් ශුද්ධ කූඩාරම පුරවලා ඒක වලාකුළකින් වැහිලා යන්න සැලැස්සුවා. වලාකුළ එතනින් උඩට යන්න පටන්ගත්තාම ඊශ්‍රායෙල්වරු දැනගත්තා එයාලත් කූඩාරම ගලවගෙන ඉස්සරහට යන්න ඕනෙ කියලා. වලාකුළ නතර වුණු තැන එයාලත් නතර වුණා.
“ඒත් එක්කම සිංහාසනයෙන් ආපු හඬක් හයියෙන් මෙහෙම කියනවා මට ඇහුණා. ‘බලන්න! දෙවියන්ගේ කූඩාරම දැන් තියෙන්නේ මිනිස්සු අතරේ. ඔහු එයාලා එක්ක ජීවත් වෙනවා. එයාලා ඔහුගේ සෙනඟ වෙනවා. දෙවියනුත් එයාලා එක්කම ඉන්නවා.’”—එළිදරව් 21:3