ඔබගේ ආගම—කවදාවත් අත් නොහළ යුතු නැවක්ද?
නැවක් දැඩි කුණාටුවකට හසුවී ඇත. තමන්ගේ එම යාත්‍රාව ආරක්ෂා කරගැනීමට ජීවිතය පරදුවට තබා සටන් කරන එහි නාවික පිරිස මුහුණ දී සිටින්නේ, නැවේම සිටිනවාද නැතහොත් නැව අත්හැර දමා ඔවුනොවුන්ම බේරාගන්නවාද යන භාරදූර තීරණයකටයි. මහත් සේ භය උපදවන මෙම දර්ශනය, දේවධර්මය පිළිබඳ නිදර්ශනයක් හැටියට පාවිච්චි කරනු ලබන බව ඔබ දන්නෙහිද?
දේවධර්මශාස්ත්රඥයන්, විශේෂයෙන්ම කතෝලික විශාරදයන්, බොහෝවිට තමන්ගේ පල්ලිය සසඳන්නේ කුණාටුවක් දරා ඉන් ආරක්ෂා සහිතව ගමන් කරන නැවකටයි. ඔවුන් කියා සිටින්නේ සුක්කානම මෙහෙයවමින් යේසුස්වහන්සේ නැතහොත් පේතෘස් සිටින මෙම නැව, ගැළවීමට තිබෙන එකම මාර්ගය නියෝජනය කරන බවය. මෙම දේවගැතියන්ගේ ස්ථාවරය වනුයේ, ‘කවදාවත් නැව අත් නොහරින්න. මීට පෙර පල්ලිය දැඩි අර්බුදවලට මුහුණ දී ඇතත්, එය ඉතිහාසයේ සියලු කුණාටු තුළින් ආරක්ෂා සහිතව ගමන් කර ඇති නැවක්’ යනුවෙනි. ඇතමෙක් මෙසේ පවසති, ‘ඇය අත්හළ යුත්තේ මන්ද? තිබෙන්නේ කෙබඳු විකල්පයක්ද? ඇයත් සමඟ රැඳී සිට වඩාත් නිසල මුහුදක් වෙතට ඇයව පැදවීමට උපකාර නොකරන්නේ මන්ද?’
මෙම සංකේතවත් අදහස් ප්‍රකාශයට එකඟව, විවිධාකාර ආගම්වලට අයත් බොහෝදෙනෙකු තර්ක කරන්නේ, ‘කාරණා බොහොමයක් සම්බන්ධයෙන් මගේ ආගම වැරදි බව මා දැන සිටියත්, එය වෙනස් වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මට එය අත්හරින්ට වුවමනාවක් නැහැ. එහි දුෂ්කරතා ජයගැනීම සඳහා උපකාර කිරීමෙහිලා මමත් පංගුකාරයෙක් වෙන්න කැමතියි,’ කියාය. කෙනෙකුට උරුමවන ආගම සඳහා අවංක ආදරයක් මගින් නැතහොත් ඇතැම්විට ඊට “ද්‍රෝහි” වීමට තිබෙන බියක් මගින් මෙලෙස තර්ක කිරීමට පෙලඹිය හැක.
කතෝලික විරෝධී මතධාරි දේවධර්මාධරයෙකු වන හාන්ස් කූං මෙයට උචිත උදාහරණයකි, ඔහු මෙසේ අදහස් දැක්වීය: “සුළඟට මුහුණ දීමටත්, කාන්දුවන ජලය ඉවත් කිරීමටත්, එමෙන්ම, ඇතැම්විට බේරී ජීවත්වීම සඳහා සටන් කරන්ටත්, මෙතෙක් මා සමඟ යාත්‍රා කළ අයගෙන් වෙන්ව, දැඩි කුණාටුවේදී මා යාත්‍රාව අත්හළ යුතුද?” ඔහු පිළිතුරු දුන්නේ, “පල්ලිය වෙත මා කරන මගේ බලපෑම මා අත්හරින්නේ නැහැ” යනුවෙනි. “වඩාත් උසස් සාරධර්ම සඳහා ප්‍රේමයත්, ඇතැම්විට, වඩාත් සත්‍යවාදී ක්‍රිස්තියානීන් වීමටත් හිලව්වක් හැටියට පල්ලියේ වැටීයෑම හේතුවෙන්, ඉන් වෙන්වීම” තවත් විකල්පයක් වනු ඇත.—ඩයි හොෆ්නුං බිවාහ්රෙන්.
එහෙත් දෙවියන්වහන්සේ, ස්වකීය දයාව නිසා, සියලුම ආගම්වලට ප්‍රතිසංස්කරණය වීමට අසීමිත කාලපරිච්ඡේදයක් ලබා දෙනු ඇති බවට වූ බලාපොරොත්තුව තබාගෙන, කෙනෙකුට තමාගේම පල්ලිය නමැති නැවේ සිටින්ට පුළුවන්ද? එය බැරෑරුම් ප්රශ්නයකි. උදාහරණයෙන් අඟවනු ලැබූ ආකාරයට, එතරම් ආරක්ෂාවක් නොසපයන ආරක්ෂක බෝට්ටුවලට නගිමින් අනතුරට ගොදුරු වූ නැවෙන් හදිසියේ ඉවත්වීම, ගිලෙන නැවේ සිටීම තරම්ම අනතුරු සහිත දෙයක් වනු ඇත. පල්ලියක තත්ත්වය කුමක්වෙතත්, විපාකය නොතකා එහි රැඳී සිටීම ප්‍රඥාවන්ත වේද? අදදින ආගම් ඉදිරිපත් කරන්නේ ප්‍රතිසංස්කරණය පිළිබඳව කුමන මතු බලාපොරොත්තුද? ස්වකීය කැමැත්තට විරුද්ධව කටයුතු කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ට කොතරම් කල් ඉඩහරිනසේක්ද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Chesnot/Sipa Press