මෙය තීරණය කිරීමට කාලය වන්නේ මන්ද?
පොදු යුගයට පෙර 16වන සියවසේදී, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙලිතයන්ව “සියලු සෙනග අතරෙන්” තෝරාගත්තේ තමන්ගේ “අසහාය වස්තුවක් . . . ශුද්ධ ජාතියක්” හැටියටය. (නික්මයාම 19:5, 6) ඔවුහු රූප නමස්කාරයෙන් මෙන්ම අසල්වැසි ජාතීන්ගේ දූෂිත පුරුදුවලින් තමන්වම දූෂණය වීමට ඉඩහරිමින් ඉක්මනින්ම තමන්ගේ ශුද්ධකම, තමන්ගේ ආගමික නිර්මලභාවය නැති කරගත්හ. එසේ ඔවුහු, තමන් “තද කුළල් ඇති සෙනඟක්” බව හෙළිකළහ. (ද්විතීය කථාව 9:6, 13; 10:16; 1 කොරින්ති 10:7-11) යෝෂුවාගේ මරණයෙන් පසු වසර තුන්සියයකට වැඩි කාලයක් පුරා, යෙහෝවඃවහන්සේ සැබෑ නමස්කාරයට ඉශ්‍රායෙලිතයන්ට මඟ පෙන්විය යුතු වූ විනිශ්චයකරුවන්, එනම් විශ්වාසවන්ත මාර්ගෝපදේශකයන් නැගිටෙවූසේක. කෙසේවෙතත්, එම සෙනඟ “තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.”—විනිශ්චයකාරයන් 2:17-19.
ඉන්පසු, එම සෙනඟ සැබෑ නමස්කාරය වෙත හැරී ඒම පෙලඹවීමට යෙහෝවඃවහන්සේ විශ්වාසවන්ත රජවරුන් හා දිවැස්වරුන් නැගිටෙවූසේක. දිවැස්වර අසරියා, ආසා රජුටත් ඔහුගේ රටවැසියන්ටත් යෙහෝවඃවහන්සේ සොයන්නැයි දිරිගැන්නුවේ මෙසේය: “නුඹලා උන් වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.” ආසා යුදා රාජ්‍යයේ ආගමික ප්රතිසංස්කරණයක් දියත් කළේය. (2 ලේකම් 15:1-16) පසුව, දෙවියන්වහන්සේට ස්වකීය දිවැස්වර යෝවෙල් තුළින් එම ආරාධනය නැවත අලුත් කිරීමට සිදුවිය. (යෝවෙල් 2:12, 13) ඊට පසුව පවා, ශෙපනියා ‘යෙහෝවඃවහන්සේ සොයන’ හැටියට යුදා වාසීන්ට අවවාද කළේය. රූප නමස්කාරය හා දූෂ්‍යකම් ඉවත් කිරීම ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකදී යෞවන යොෂියා රජ එසේ කළේය.—ශෙපනියා 2:3, NW; 2 ලේකම් 34:3-7.
පසුතැවිලි වූ මෙවන් අතුරු අවස්ථා තිබුණද, ජනයාගේ ආගමික තත්ත්වය වඩ වඩාත් උග්‍ර තත්ත්වයකට පත්වෙමින් තිබුණි. (යෙරෙමියා 2:13; 44:4, 5) රූප නමස්කාරමය පුරුදුවලින් දූෂ්‍ය වූ ආගමික පිළිවෙළ, යළිත් ප්‍රතිසංස්කරණය කළ නොහැකි එකක් ලෙස විස්තර කරමින්, යෙරෙමියා ප්‍රසිද්ධියේ එය හෙළාදුටුවේය: “කුෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ” යනුවෙනි. (යෙරෙමියා 13:23) මෙම හේතුව නිසා, දෙවියන්වහන්සේ යුදා රාජ්‍යය කෙරෙහි මහත් දඬුවමක් පැමිණෙවුසේක. යෙරුසලමත් එහි දේව මාළිගයත් පො.යු.පෙ. 607දී විනාශ කරන ලද අතර, එහිදී නොමැරී ජීවත්වූ අය බබිලෝනියට වහලුන් හැටියට ගෙනයනු ලැබ, එහි වසර 70ක් වාසය කළහ.
එම කාලපරිච්ඡේදය අවසන් වූ පසු, දෙවියන්වහන්සේ දයාව පෙන්වූසේක. ඉශ්‍රායෙලිතයන්ව නිදහස් කරන්ට උන්වහන්සේ කෝරෙෂ් රජුව පෙලඹූ අතර, ඔවුන්ගෙන් යම් පිරිසක් එම දේව මාළිගාව නැවත ගොඩනැගීම සඳහා යෙරුසලමට හැරී පැමිණියහ. මේ සියල්ලෙන් පාඩමක් ඉගෙනගන්නවා වෙනුවට, යෙහෝවඃ දෙවියන්වහන්සේට ස්වකීය ආරාධනය නැවතත් මෙසේ අලුත් කිරීමට සලස්වමින්, ඔවුහු යළිත් වරක් සැබෑ නමස්කාරයෙන් ඉවත්වූහ: “මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි.”—මලාකී 3:7.
ඉශ්රායෙල් ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතුව
යේසුස්වහන්සේගේ කාලයේදී ඉශ්රායෙල්වරුන්ගේ ආගමික තත්ත්වය කුමක් වීද? ඔවුන්ගේ කුහක ආගමික නායකයෝ “මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට” ඉගැන්වූ “මග පෙන්වන අන්ධයෝ” වූහ. ‘ඔවුහු තමන්ගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩ කරමින් සිටියහ.’ තමන්ගේ “තොල්වලින්” ඔවුන් දෙවියන්වහන්සේට ගෞරව කරමින් සිටියද, ඔවුන්ගේ හෘද උන්වහන්සේ කෙරෙන් දුරුව තිබුණි. (මතෙව් 15:3, 4, 8, 9, 14) ඔවුහු පසුතැවිලි වීමට තවත් ප්‍රස්තාවක් ලැබිය යුතු ජාතියක් වූවෝද? නැත. “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය” යයි යේසුස්වහන්සේ වදාළසේක. “නුඹලාගේ ගෘහය,” එනම් යෙරුසලමේ දේව මාළිගාව, “නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ” යයි උන්වහන්සේ වැඩිදුරටත් වදාළසේක. (මතෙව් 21:43; 23:38) ඔවුන්ගේ වරද අතිමහත් විය. ඔවුහු පීඩා පමුණුවමින් සිටි රෝමානු කායිසර්ව තමන්ගේ රජු හැටියට තෝරාගනිමින්, මෙසියස්වහන්සේ හැටියට යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කර උන්වහන්සේව මරණයට පත් කළහ.—මතෙව් 27:25; යොහන් 19:15.
යේසුස්වහන්සේ තමන්ගේ දේව සේවය ඉටු කළ කාලපරිච්ඡේදය විනිශ්චයේ කාලයක් වූ බව තේරුම්ගැනීමට ඉශ්රායෙල්වරුන් කැමති වූයේ නැත. එම නොඇදහිලිකාර යෙරුසලමේ වැසියන්ට, යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ, “තී විමසා බලන කාලය තී නොදැන සිටි[න්නීය]” යනුවෙනි.—ලූක් 19:43අ, 44.
පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේ, දෙවියන්වහන්සේ අලුත් ජාතියක්, නැතහොත් සෙනඟක් පිළියෙළ කළසේක. මොවුන් වනාහි සෑම ගෝත්‍රයකින් හා ජාතියකින්ම තෝරාගනු ලබන්නාවූද, ආත්මයෙන් ආලේප කරනු ලබන්නාවූද, ස්වකීය පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ, ගෝලයන් වනු ඇත. (ක්‍රියා 10:34, 35; 15:14) අවසානයේ යුදෙව් ආගමික පිළිවෙළ ප්‍රතිසංස්කරණය වනු ඇතැයි යම් බලාපොරොත්තුවක් තිබුණේද? රෝමානු හමුදාවන් යෙරුසලම බිමට සමතලා කරමින්, පො.යු. 70දී ඊට පිළිතුරු සැපයීය. දෙවියන්වහන්සේ එම ආගමික පිළිවෙළ සහමුලින්ම ප්‍රතික්ෂේප කර තිබුණි.—ලූක් 21:5, 6.
ක්‍රිස්තියානි ලෝකයේ සිදුවූ මහත් සේ ඇදහිල්ල අත්හැරයෑම
ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීහු “ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද” සකස් කළහ. (1 පේතෘස් 2:9; ගලාති 6:16) එහෙත් එම මුල් ක්‍රිස්තියානි සභාව පවා එහි ආගමික නිර්මලභාවය වැඩි කාලයකට ආරක්ෂා කරගත්තේ නැත.
ශුද්ධ ලියවිලි, මහා පරිමාණයේ ඇදහිල්ල අත්හැරයෑමක්, නැතහොත් සැබෑ ඇදහිල්ලෙන් වැටීයෑමක් පුරෝකථනය කළේය. යේසුස්වහන්සේගේ උපමාවේ සංකේතවත් කිරිඳි, එනම්, ව්‍යාජ ක්‍රිස්තියානීන්, දෙවියන්වහන්සේගේ ආත්මයෙන් ආලේප ලත් සංකේතවත් තිරිඟු වන, සැබෑ ක්‍රිස්තියානීන්ව අඩපණ කිරීමට වෑයම් කරනු ඇත. එම උපමාව එළිදරව් කළේ දෙවියන්වහන්සේගේ පරම සතුරා වන, යක්ෂයා විසින් පොලඹවනු ලබන ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තියේ ආරම්භය “මනුෂ්‍යයන් නිදාසිටියදී” සිදුවීමට තිබුණු බවය. මෙය සිදුවූයේ, ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, ඉන් විපාක වූ ආත්මික නිදිබර කාලපරිච්ඡේදයක් තුළය. (මතෙව් 13:24-30, 36-43; 2 තෙසලෝනික 2:6-8) ප්‍රේරිතයන් විසින් පුරෝකථනය කරන ලද ආකාරයට ව්‍යාජ ක්‍රිස්තියානීහු බොහෝදෙනෙක් අනියම් ආකාරවලින් රැළ තුළට මං සලසාගත්හ. (ක්‍රියා 20:29, 30; 1 තිමෝති 4:1-3; 2 තිමෝති 2:16-18; 2 පේතෘස් 2:1-3) ප්‍රේරිතයන්ගෙන් අන්තිමට මියගියේ යොහන්ය. පොදු යුගයේ 98වන වසරේදී පමණ, ඔහු ලිව්වේ, ප්‍රේරිතයන්ගේ කාලපරිච්ඡේදයේ අවසාන භාගය වන, “අන්තිම කාලය” පටන්ගෙන තිබූ බවය.—1 යොහන් 2:18, 19.
රෝමානු අධිරාජ්‍යයා වන කොන්ස්ටන්ටයින් විසින් ආගම හා දේශපාලන බලය සම්බන්ධ කරනු ලැබීම වලංගු කිරීමෙන් පසු, ක්‍රිස්තියානි ලෝකයේ ආත්මික, මූලධාර්මික හා සදාචාරමය තත්ත්වය වේගයෙන් පිරිහුණි. “හතරවන ශතවර්ෂය තුළ පල්ලියේ විජයග්‍රහණය” ක්‍රිස්තියානි දෘෂ්ටියකින් ගත් කල “විනාශයක්” බව බොහෝ ඉතිහාසඥයෝ එකඟවෙති. ‘ක්‍රිස්තියානි ලෝකය සිය උසස් සාරධර්ම මට්ටම නැති කරගනිමින්,’ “මරියා ලබ්ධිය” හා “සාන්තුවරයන්” වැඳීම මෙන්ම ත්‍රිත්වයේ සංකල්පය වැනි මිථ්‍යාදෘෂ්ටික වූ බොහෝ පිළිවෙත් හා දර්ශනයන් පිළිගත්හ.
සිය බොරු ජයග්රහණයෙන් පසු, ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය පිරිහුණි. අධර්ම මර්ධනාධිකරණය, කුරුස යුද්ධ මෙන්ම කතෝලිකයන් හා රෙපරමාදු භක්තිකයන් අතර ඇතිවූ “ශුද්ධ” යුද්ධ යනාදියට අමතරව, පාප්වරුන්ගේ හා මන්ත්‍රණ සභාවල නියමයන් හා මූලධර්ම පිළිබඳ අර්ථ දැක්වීම් බිහි කළේ, නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආගමික පිළිවෙළකි.
ඒ වර්ල්ඩ් ලිට් ඔන්ලි බයි ෆයර් නමැති සිය පොතේ, විලියම් මැන්චෙස්ටර් මෙසේ ලියයි: “පහළොස් හා දහසයවන ශතවර්ෂවල පාප්වරුන් ජීවත් වූයේ රෝමානු අධිරාජ්‍යයන් හා සමානවය. ඔවුන් ලෝකයේ ධනවත්ම මනුෂ්‍යයන් වූ අතර, ඔවුන් හා ඔවුන්ගේ කාර්දිනල්වරුන් වැඩිදුරටත් තමන්ව ධනවත් කරගත්තේ ශුද්ධ නිලතල විකිණීමෙනි.” මහත් වූ එම ඇදහිල්ල අත්හැරයෑම තුළ, කුඩා කණ්ඩායම් නැතහොත් තනි පුද්ගලයන් උත්සාහ කළේ සංකේතවත් තිරිඟුවල ගුණාංග විදහා පෙන්වමින්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය නැවත සොයාගැනීමටය. මේ සඳහා ඔවුන්ට බොහෝවිට මහත් ඵලවිපාක විඳින්ට සිදුවිය. එම පොතම පවසන්නේ, “ඇතැම් අවස්ථාවන්හි, රෙපරමාදු හා කතෝලික යන දෙපිරිසටම අයත්, සැබෑ ක්‍රිස්තියානි සාන්තුවරයන් ගිනිදැල්වලින් පුලුස්සන ලද ප්‍රාණ පරිත්‍යාගිකයන් බවට පත්වූ බව පෙනේ” යනුවෙනි. වෙනත් අය, එනම්, මාටින් ලූතර් හා ජොන් කැල්වින් වැනි නාමික ප්රතිසංස්කාරකයන්, කතෝලික සභාවට වෙනස් දීර්ඝ කාලයක් පවතින ආගමික පිළිවෙළක් බිහි කිරීමට සමත් වුවද, කතෝලික සභාවේ මූලික ආගමික ඉගැන්වීම් ඔවුන් විසින් එලෙසම අනුගමනය කරන ලදි. ඔවුහු දේශපාලන කටයුතුවලද මහත් සේ නියැලී සිටියහ.
රෙපරමාදු ක්ෂේත්රය තුළ, නාමික වූ ආගමික යළි පිබිදීමක් ඇති කරන්ට වෑයම් දරනු ලැබීය. උදාහරණයක් ලෙස, 18 හා 19 ශතවර්ෂයන් තුළ, මෙම වෑයමේ විපාකයක් වශයෙන් උනන්දුමත් විදේශ මිෂනාරි ක්‍රියාකාරකම් සිදුවිය. කෙසේවෙතත්, එම එඬේරුන්ම පිළිගන්නා ආකාරයට, අදදින රෙපරමාදු රැළේ ආත්මික තත්ත්වය නිශ්චිත වශයෙන්ම පවතින්නේ දිරිගන්වන තත්ත්වයක නොවේ. රෙපරමාදු දේවධර්මශාස්ත්රඥ වන ඔස්කාර් කෑල්මන් මෑතක පිළිගත්තේ “ඇදහිල්ල සම්බන්ධයෙන් පල්ලි අතරම අර්බුදයක් පවතින” බවය.
ප්‍රතිසංස්කරණවලට හා ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරවලට කතෝලික සභාව තුළද අනුබල ලැබී ඇත. එකළොස්වන ශතවර්ෂයේ සිට 13වන ශතවර්ෂය දක්වා, පුළුල්ව ව්‍යාප්ත වූ දූෂණයත් පූජක පක්ෂය සතු අසීමිත ධනසම්භාරයත් හමුවේ, දිළිඳුකමේ බාරය දැඩිව අනුගමනය කළ ආශ්‍රමික නිකායන් පිහිටුවාගනු ලැබීය. එහෙත් ඔවුන් කෙරෙහි සමීප අවධානයක් යොමු කරන ලද අතර, විශාරදයන් දක්වන ආකාරයට, පූජක ධුරාවලිය මගින් ඔවුන්ව මැඩපවත්වනු ලැබීය. ඉන් අනතුරුව ට්‍රෙන්ට් ජගත් මන්ත්‍රණ සභාව විසින් පොලඹවන ලද 16වන ශතවර්ෂයේ ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරය පැමිණි අතර, එය මූලික වශයෙන්ම යොමු කර තිබුණේ රෙපරමාදු ප්රතිසංස්කරණයත් සමඟ සටන් කිරීමටය.
දහනවවන ශතවර්ෂයේ මුල් භාගයේ, පූජක ප්රතිසංස්ථාපන කාලපරිච්ඡේදය තුළදී, කතෝලික සභාව පෞද්ගලික නිදහස නැති කරන හා ගතානුගතික දේ සංරක්ෂණය කිරීමේ ස්ථාවරයන් ආරූඪ කරගත්තේය. එහෙත්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය නැවත පිහිටුවීමට සැබෑ වූ කිසියම් ප්රතිසංස්කරණයක් කරනු ලැබුවේ යයි කිව නොහැක. ඒ වෙනුවට, මේවා ලෝකයේ ආගමික, දේශපාලන හා සමාජ වෙනස්කම් හමුවේ පූජකයන්ගේ අධිකාරය තහවුරු කිරීමට දැරූ හුදු වෑයම් පමණි.
වඩාත් මෑත කාලයේ, එනම් 1960 ගණන්වලදී, ක්‍රිස්තියානි ලෝකයට අයත් IIවැනි වතිකානු මන්ත්‍රණ සභාවත් සමඟ කතෝලික සභාවට ගැඹුරු වෙනස්කම්වලින් යුත් ක්‍රියාමාර්ගයක් දියත් කරන්ට වුවමනා වූ බව පෙනෙන්ට තිබුණි. කෙසේවෙතත්, පල්ලියේ ප්රගතිශීලී සාමාජිකයන්ගේ ස්ප්‍රීතුව මැඩපැවැත්වීමට, නාමික වූ එම මන්ත්‍රණ සභාව මත පදනම් අලුත්වැඩියාවේ හදිසි නැවැත්වීමක් වත්මන් පාප් විසින් පනවනු ලැබීය. වොයිටිවාගේ ප්රතිසංස්ථාපන යනුවෙන් ඇතමෙකු හඳුන්වන, මෙම අවස්ථාව, එක් කතෝලික කණ්ඩායමක් විසින් අර්ථ දක්වා ඇත්තේ කොන්ස්ටන්ටීනියානුවාදයේ නව ආකාරයක්” හැටියටය. ලා චිවිල්ටා කාටෝලිකා නම් ජේසු නිකායික ජර්නලයෙන් ගෙනහැර දක්වනු ලැබූ ආකාරයට, වෙනත් ආගම් මෙන්, කතෝලික සභාවත්, “මූලික හා සමස්ත ලෝක අර්බුදයකට” මුහුණ දී සිටී: “මූලික වන්නේ එය ඇදහිල්ලේ හා ක්‍රිස්තියානි ජීවිතයේ මුල්වලටම සම්බන්ධව තිබෙන නිසාය; සමස්ත ලෝකයම වන්නේ එය ක්‍රිස්තියානි ධර්මයේ සියලු පාර්ශ්වයන් හා සම්බන්ධ වන නිසාය.”
ක්‍රිස්තියානි ලෝකයේ ආගම් සැබෑ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයකට යටත් වී නොමැති අතර, ඊට එසේ කරන්ටද නොහැකිය; ඒ මන්දයත් සැබෑ ක්‍රිස්තියානි ධර්මය, සංකේතවත් තිරිඟු එකම නිර්මල සභාවක් තුළට රැස්කිරීමත් සමඟ “කපන” කාලයේදී පමණක් නැවතත් පිහිටුවීමට නියමිතව තිබූ බැවිනි. (මතෙව් 13:30, 39) ක්‍රිස්තියානි යයි කියාගනිමින් හෝ නැතත්, ආගමේ නාමයෙන් කරන ලද අපරාධ හා වැරදිවලින් සමන්විත දීර්ඝ ලැයිස්තුව ඉස්මතු කිරීමට සලස්වන ප්රශ්නය වන්නේ, ක්‍රිස්තියානි ලෝකයෙන් සැබෑ ප්රතිසංස්කරණයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී වේද? යන්නය.
ප්රතිසංස්කරණයක් කළ නොහැකිද?
එළිදරව්, නැතහොත් දර්ශන නමැති පොත, “මහා බබිලෝනිය” යන ගුප්ත නාමය දරන සංකේතවත් මහත් වේශ්‍යාවක් ගැන කථා කරයි. (එළිදරව් 17:1, 5) ශතවර්ෂ ගණනාවක් පුරා බයිබල් පාඨකයෝ මෙම සංකේතයේ අභිරහස පැහැදිලි කිරීමට වෑයම් කර ඇත්තාහ. බෙහෝදෙනෙක් පූජක පක්ෂයේ ධනය හා දූෂණය ගැන කලකිරී සිටියහ. ඇතමෙක් කල්පනා කළේ මහා බබිලෝනිය පූජක ධුරාවලිය නියෝජනය කළ බවය. එක්දහස් හාරසිය පහළොවේදී පණපිටින් පුලුස්සනු ලැබූ බොහීමියානු කතෝලික පූජක, යාන් හූස් හා 1570දී එල්ලා ගිනි තබනු ලැබූ ඉතාලි ජාතික මානවවාදියෙක් වූ ආඕන්යෝ, පාලෙආර්යෝ ඔවුන් අතර වූහ. මේ දෙදෙනාම කතෝලික සභාව “එහි මුල් ගෞරවය” වෙතට රැගෙන යෑමේ බලාපොරොත්තුවෙන් එය ප්‍රතිසංස්කරණය කිරීමට අසාර්ථක වෑයම් දැරුවෝය.
මෙයට පටහැනිව, එළිදරව් 17වන හා 18වන පරිච්ඡේද අඟවන්නේ මහා බබිලෝනිය සියලු බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය නියෝජනය කරන බවය.a මෙම සංයුක්ත “වේශ්‍යාව” ප්‍රතිසංස්කරණය කළ නොහැකිය, මන්දයත්, “ඇගේ පව් ස්වර්ගය දක්වා නැ[ඟ]” තිබෙන නිසාය. ඇත්තවශයෙන්ම, මෙම 20වන ශතවර්ෂයේ ක්‍රිස්තියානි ලෝකය පමණක් නොව, සැබවින්ම සියලුම ආගම් පාහේ, රුධිරය බොහෝ සේ වගුරුවන්නාවූ යුද්ධ සඳහාත්, මනුෂ්‍යවර්ගයාට පීඩා සිදු කරන්නාවූ දැඩි සදාචාර පිරිහීම සඳහාත්, වගකීම භාරගත යුතුය. ඒ හේතුවෙන්, දෙවියන්වහන්සේ “බබිලෝනියේ” විනාශය නියම කර ඇත.—එළිදරව් 18:5, 8.
දැන් “ඇගෙන් ඉවත්ව” එන්ට කාලයයි
බයිබල් අනාවැකිවල ඉටුවීම හෙළි කරන්නේ අපගේ කාලය මෙම දුෂ්ට “දේවල පිළිවෙළේ” “සමාප්තියට” අනුරූප වන බවය. (මතෙව් 24:3, NW) අවංකව දෙවියන්වහන්සේට නමස්කාර කරන්ට වුවමනා ඕනෑම කෙනෙකුට තමාගේම අදහස් හා මනාපයන් අනුගමනය කිරීමේ අවදානම දැරිය නොහැකිය. ‘යෙහෝවඃවහන්සේ සම්බවෙන්ට සිටිද්දී’ ඔහු ‘උන්වහන්සේව සෙවිය යුතුය,’ මේ සම්බන්ධයෙන් ඔහු දැන්ම එසේ කළ යුතු වන්නේ මන්දයත්, යේසුස්වහන්සේ විසින් පුරෝකථනය කරන ලද “මහත් පීඩාව” අතළඟ නිසාය. (යෙසායා 55:6; මතෙව් 24:21) ඉශ්රායෙල් ජනතාව සම්බන්ධයෙන් සැබෑ වූවාක් මෙන්, එහි පෞරාණිකත්වය ගැන එය පුරසාරම් දොඩන නිසාම, දෙවියන්වහන්සේ ආගමක දූෂ්‍ය තත්ත්වය ඉවසා සිටින්ට යන්නේ නැත. ගිලෙන්ට නියමිත නැවක් අලුත් වැඩියා කරන්ට වෑයම් දරනවා වෙනුවට, දෙවියන්වහන්සේගේ අනුමැතිය හා ගැළවීම ආශාවෙන් සිටින සියල්ලන්ම නොපමාව එළිදරව් 18:4හි ඇති “මාගේ සෙනගෙනි, [මහා බබිලෝනියේ] පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා” යන දේවානුභාවය ලත් ආඥාවට කීකරු විය යුතුය.
එහෙත් “ඉවත්” විය යුත්තේ කොහේ යෑමටද? ගැළවීම සොයාගත හැක්කේ වෙනත් කොතැනකද? වැරදි ස්ථානයේදී සරණ පැතීමේ අවදානම නොපවතීද? දෙවියන්වහන්සේගේ අනුමැතිය ඇති එකම ආගම හඳුනාගත හැක්කේ කෙසේද? විශ්වාස කළ හැකි එකම පිළිතුරු සොයාගත හැක්කේ දේව වචනයේ පමණකි. (2 තිමෝති 3:16) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරන්නේ වඩාත් සමීපව බයිබලය පරීක්ෂා කර බලන හැටියටයි. ළඟදී ඇතිවන්ට යන දෙවියන්වහන්සේගේ උදහස් දවසේදී තමන් ආරක්ෂා කරන්ට යන, “තමන්ගේ නාමයට . . . සෙනඟක්” හැටියට උන්වහන්සේ තෝරාගෙන තිබෙන්නේ කවරෙකුදැයි ඔබට තේරුම්ගත හැකි වෙනවා ඇත.—ක්‍රියා 15:14; ශෙපනියා 2:3; එළිදරව් 16:14-16.
[පාදසටහන්වල]
a ශුද්ධ ලියවිලිමය වශයෙන් නිවැරදි ආකාරයකට සංකේතවත් මහා බබිලෝනිය හඳුනාගැනීමට, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නම් පොතේ 33 සිට 37 දක්වා පරිච්ඡේද බලන්න.
[7වන පිටුවේ පින්තූරය]
ඔබගේ ආගමික නැව ගිලෙමින් පවතිනවා නම්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය නමැති ආරක්ෂක නැව දෙසට හැරෙන්න