දූෂණයෙන් තොර ලොවක් පිළිබඳ පොරොන්දුව
දූෂණය සමාජයේ සෑම තලයකටම කිඳා බැස ඇත. ආණ්ඩු තුළ වේවා, විද්‍යාවේ වේවා, ක්‍රීඩාවේ වේවා, ආගම තුළ හෝ ව්‍යාපාර තුළ වේවා දූෂණය පාලනය කළ නොහැකි දෙයක් බවට පෙනෙන්ට තිබේ.
ලොව සෑම රටකම පාහේ, දූෂණය හා සම්බන්ධ කනස්සල්ල ඇති කරවන පුවත්, ප්‍රධාන පුවත් පත්වල ශීර්ෂ වී තිබේ. මහජනයාගේ ශුභසිද්ධිය සඳහා සේවය කිරීමට බැඳී සිටින බොහෝදෙනෙක්, අල්ලස් හා වෙනත් ආකාරයේ ලාභ ලැබීම් නිසා තමාගේම ඕනෑ එපාකම්වලට සේවයකරන්නන් බව හෙළි වී තිබේ. සුදු-කරපටි සේවක අපරාධ හැටියට ප්‍රචලිත වූ අපරාධ සෑම තැනකම පැතිර ඇත. උසස් සමාජීය හා ආර්ථික තත්වයන්හි සිටින වැඩිදෙනෙක්, තමන්ගේ වෘත්තීන් සම්බන්ධව, සාරධර්ම හා සාපරාධී උල්ලංගනය කිරීම් සම්බන්ධව වරදකරුවන් බවට එන්ට එන්ටම පත්වෙමින් සිටිති.
එක් යුරෝපීය පුවත්පතක්, “ ‘මහා දූෂණය’ යනුවෙන් හැඳින්වූ දෙය එනම්— උසස් නිලධාරීන්, ඇමතිවරුන්, බොහෝවිට ආණ්ඩු නායකයන්, යම් විශාල මිල දී ගැනීම් හා සංවර්ධනයන් අනුමත කිරීමට පෙර, තමන්ට යම් ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටීම වූ පිළිවෙත පිළිබඳව තිබෙන කුතුහලය වැඩිවෙමින් තිබේ.” එක් රටක, “වසර දෙකක් පුරා කර ඇති පොලිස් පරීක්ෂණ සහ දිනපතා අත්අඩංගුවට ගැනීම්වලින් තවමත් මුරණ්ඩු දූෂකයන්ව මර්දනය කර නැත” යයි දි ඉකොනොමිස්ට් නම් බ්‍රිතාන්‍ය සඟරාව ප්‍රකාශ කරයි.
හාත්පස පැතිර පවත්නා එවන් දූෂණ නිසා, අදදින බොහෝදෙනෙකුට හැඟෙන්නේ, විශ්වාසය තැබිය හැකි කිසිවෙකු නැති බවය. මෙසේ පැවසූ බයිබල් ලේඛක දාවිත්ගේ හැඟීම් ඔවුහු ප්රතිනාද කරති: “සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.”—ගීතාවලිය 14:3.
හාත්පස පැතිර පවත්නා මෙම දූෂණයේ යථාර්ථය සමඟ ඔබ කටයුතු කරන්නේ කෙසේද? අදදින බොහෝදෙනෙක් එය නිකම්ම නොසලකා හරිති. එහෙත්, ඔබ විසින් දූෂණය නොසලකා හරිනු ලැබුවත්, එය ඔබට හානි කරනු ඇත. කෙසේද?
දූෂණය ඔබට බලපෑම් කරයි
උසස් මට්ටමේ හා සුළු පරිමාණයේ දූෂණයන්, ජීවන වියදම වැඩි කරයි, නිෂ්පාදනවල ගුණාත්මක බව පහත දමයි, එමෙන්ම රැකියා අවම කරමින් වැටුප් අඩු කරයි. නිදසුනක් වශයෙන්, මුදල් වංචාව හා දූෂණවලින් අහිමි වන මුදල් ප්‍රමාණය, ගෙවල් බිඳීමෙන්, මංකොල්ලකෑමෙන් හා සොරකම්වලින් අහිමි වන මුදල්වල ප්‍රමාණයට වඩා දස ගුණයකින් වැඩි බව ගණන් බලා තිබේ. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (1992) ප්‍රකාශ කරන්නේ, “එක්සත් ජනපදවල සමාගම්වලින් සිදු කර ඇති මූල්යාපරාධ වසරක් තුළ අමෙරිකානු ඩොලර් 2,00,00,00,00,000ක්—එනම්, සංවිධානාත්මක අපරාධවල පාඩුව මෙන් තුන් ගුණයක් බවට ගණන් බලා තිබේ” යනුවෙනි. මින් ඇතිවන බලපෑම් සැණකින් සොයාගත නොහැකි වුවත්, “එවන් අපරාධ, සේවකයන්ගේ, පාරිභෝගිකයන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව කෙරෙහි ඉමහත් බලපෑමක්” කරන බව, මෙම මූලාශ්‍රය පැහැදිලි කරයි.
දූෂණයේ මෙම තික්ත ප්‍රතිඵල සාලමොන් රජුගේ වදන් අපගේ මතකයට නංවයි: “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.”—දේශනාකාරයා 4:1.
එසේනම්, අප දූෂණයට ඉඩ දී ඔහේ බලා සිටිය යුතුද? එය වැළැක්විය නොහැකිද? දූෂණයෙන් තොර ලොවක්, ඇති විය නොහැකි සිහිනයක්ද? එසේ නොවීම සන්තෝෂයට කාරණයකි! අයුක්තිය සහ නොපනත්කම ඉතා ළඟදීම මුලිනුපුටා දමනු ඇති බව බයිබලය අපට උගන්වයි.
බයිබලය අපට පවසන දෙය
බලවත් දේවදූතයෙකු දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගසා, ඔහු හා හවුල් වීමට පළමු මිනිස් යුවළ පොලඹවාලූ විට දූෂණය ආරම්භ වූ බව බයිබලය අපට කියයි. (උත්පත්ති 3:1-6) ඔවුන්ගේ පව්කාර ක්‍රියාමාර්ගයෙන් කිසිදු යහපතක් වූයේ නැත. ඒ වෙනුවට, ආදම් සහ ඒව යෙහෝවඃ දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසූ දිනයේ පටන්, දූෂණයේ නරක ඵලවිපාක විඳීමට ඔවුහු පටන්ගත්තෝය. ඔවුන්ගේ ශරීර ක්‍රමානුකූලව පිරිහී ගොස්, වළක්වාලිය නොහැකි මරණයට එය හේතු වූයේය. (උත්පත්ති 3:16-19) එවක් පටන්, අල්ලසේ, රැවටීමේ සහ වංචාවේ ආදර්ශවලින් ඉතිහාසය පිරී තිබේ. එහෙත්, වැරදිකරුවන්ගෙන් වැඩිදෙනෙක්, දඬුවමෙන් බේරී යති.
සාමාන්‍ය වැරදිකරුවන් මෙන් නොව, දූෂිත විධායකයන් සහ දේශපාලකයන්, සිර දඬුවම් විඳින්නේ හෝ තම වැරදි ක්‍රියාවලට වන්දි ගෙවන්නේ හෝ කලාතුරකිනි. අල්ලස්, අයථා ගැනීම් සහ ගෙවීම් කර යමකින් බේරී සිටීම බොහෝවිට රහසිගත අන්දමින් සිදුවන නිසා, ඉහළ පරිමාණයේ දූෂණ හෙළි කරගැනීම බොහෝවිට අසීරුය. එහෙත්, දූෂණයෙන් තොර ලෝකයක් සිදුවිය නොහැකි සිහිනයක් බව මින් අදහස් කරන්නේ නැත.
දූෂණයෙන් මුදාගැනීම පැමිණෙන්නේ මිනිසාගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන්ය. එකම විසඳුම වන්නේ දිව්‍ය මැදිහත්වීමය. මන්ද? මන්දයත්, මිනිස්වර්ගයාගේ නොපෙනෙන සතුරා වන සාතන් නමැති යක්ෂයා, දිගටම මිනිස්වර්ගයාව රවටමින් සිටී. අප 1 යොහන් 5:19හි කියවන්නාක් මෙන්, “මුළු ලෝකයා නපුරා තුළ[ය].” කිසිම දඬුවමක් රහිතව කර ඇති මෙම දූෂණවල වැඩිවීම වෙනත් කිනම් අයුරකින් පැහැදිලි කළ හැකිද?
සාතන් සහ ඔහුගේ භූතයන් අභිබවා යන්ට කිසිම මිනිස් ප්රයත්නයකට නොහැක. කීකරු මිනිස්වර්ගයාට, “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” සහතික කළ හැක්කේ දිව්‍ය මැදිහත්වීමකට පමණි. (රෝම 8:21) තවදුරටත් මිනිස්වර්ගයාව රැවටීමට නොහැකි වන පිණිස, සාතන්ව ඉතා ඉක්මනින් හිර කරනු ලබන බව යෙහෝවඃවහන්සේ පොරොන්දු වනසේක. (එළිදරව් 20:3) මේ අතර, දූෂණයෙන් තොර වූ, දෙවියන්වහන්සේගේ මෙම නව ලෝකයේ ජීවත්වීමට අප ආශාකරන්නේ නම්, අප මේ ලෝකයේ දූෂිත මාර්ග ප්‍රතික්ෂේප කළ යුතුය.
මිනිසුන්ට වෙනස්විය හැක
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස්වලදී තම බලය අනිසි ලෙස යොදාගත්, තම සෙසු මිනිසුන්ව පීඩාවට පත් කළ අය සිටියහ. නිදසුනක් වශයෙන්, අයබදු එකතුකරන්නෝ තම දූෂිත ව්‍යවහාරයන් ගැන දැඩි අපකීර්තියට ලක්ව සිටියෝය. මෙය දෙවියන්වහන්සේගේ සවිස්තරාත්මක මෙම නීතියට පටහැනි යමක් විය: “අල්ලස් නොගනින්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.” (නික්මයාම 23:8) ප්‍රධාන අයබදු එකතුකරන්නෙකු වූ, සාකෙවුස්, තමා බොරු චෝදනා මාර්ගයෙන් මුදල් අයථා ලෙස ලබාගෙන ඇති බව පිළිගත්තේය. එහෙත්, පුළුල් පරිමාණයෙන් සාමාජීය ප්රතිසංස්කරණයක් සඳහා පොලඹනවා වෙනුවට, යේසුස්වහන්සේ පුද්ගලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ, තමන්ගේ දූෂිත ක්‍රියාමාර්ග ගැන පසුතැවිලි වී, ඒවා අත්හරින ලෙසටයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මතෙව් සහ සාකෙවුස් වැනි සුප්‍රකට දූෂිත අයබදු එකතුකරන්නෝ, තමන්ගේ පැරණි ජීවන-රටාවන් අත්හැරියෝය.—මතෙව් 4:17; 9:9-13; ලූක් 19:1-10.
අදදින වංක පුරුදුවලට සම්බන්ධ වී සිටින අයට, ඒ හා සමානව, “සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම තුළ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව, මවන ලද නව පෞද්ගලිකත්වය” පැළඳගැනීම මගින්, දූෂණය ප්‍රතික්ෂේප කළ හැක. (එපීස 4:24, NW) අවංක ලෙස බදු ගෙවීම හෝ ප්රශ්නකටයුතු ව්‍යාපාරවල යෙදීම නවතාලීම අපහසු විය හැක. එහෙත්, ඇතිවන ඵල ප්රයෝජනවල වටිනාකම කියා නිම කළ නොහැක.
මෙම දූෂිත ලෝකය මගින් තවදුරටත් බලපෑමට ලක් වී නොසිටින, අන්‍යයන්ගේ ශුභසාධනය ගැන සැලකිලිමත් වන අය අභ්‍යන්තර සාමය භුක්තිවිඳිති. වැරදි කර හසුවෙයි කියා කිසිම භයක් නැත. ඒ වෙනුවට, ඔවුහු හොඳ හෘදය සාක්ෂියක් භුක්තිවිඳිති. දානියෙල් නම් අනාගතවක්තෘවරයාගේ බයිබල් ආදර්ශය ඔවුහු අනුකරණය කරති. උසස් නිලධාරීන් නිතරම දානියෙල්ට එරෙහිව යම් කාරණයක් සෙවීමට උත්සාහ කළ බව බයිබල් වාර්තාව පවසයි. “නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය.”—දානියෙල් 6:4.
යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව
“පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි. නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධ වෙන්නේවත්, සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.”—දේශනාකාරයා 8:12, 13.
දූෂණය තවදුරටත් අසන්තෝෂය ඇති නොකරන විට එය මොනතරම් සහනයක් වනු ඇත්ද! දූෂණයෙන් තොර ලෝකයක ජීවත්වීම මොනතරම් ආශීර්වාදයක්ද! මෙය සිදුවිය නොහැකි දෙයක් නොවේ. “බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ, . . . සදාකාල ජීවනයේ බලාපොරොත්තුව” ගැන බයිබලය කතා කරයි. (තීතස් 1:2) ඔබ දූෂණයට වෛර කොට, ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නේ නම්, දූෂණයෙන් තොර ලෝකයක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ ඉටුවීම ඔබ විසින් අද්දකිනවා නොඅනුමානය.
[4වන පිටුවේ පින්තූරය]
ආණ්ඩු සහ ව්‍යාපාර කවයන් දූෂණයෙන් පිරී ඇත
[5වන පිටුවේ පින්තූරය]
බොහෝවිට මහජන නිලධාරීන්ගේ කටයුතුවලට දූෂණය බලපායි