සභා ඇසුරෙන් ඉවත් කිරීම—ප්‍රේමනීය සැපයුමක්ද?
“සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” (එළිදරව් 4:8) එම විස්තරයට අනුව, යෙහෝවඃවහන්සේ වනාහි ශුද්ධ ප්‍රමිතිවල මූලාශ්‍රය වනසේක. මේවා “ශුද්ධලියවිලි” තුළ දක්වා තිබෙන අතර, මෙම මාර්ග දර්ශක අනුගමනය කිරීමට ක්‍රිස්තියානීහු වගකීමෙන් බැඳී සිටිති. ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ අපවිත්‍ර ඕනෑම දෙයකින් ඔවුන් වැළකී සිටිය යුතුය.—2 තිමෝති 3:15; යෙසායා 52:11.
බයිබලය පැහැදිලිව මෙසේ ආඥා කරයි: “නුඹලා කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.” (1 පේතෘස් 1:15, 16) සියවස් 19කට පෙර ක්‍රිස්තියානි සභාවේ බිහිවීම පටන්, එය ආත්මික හා සදාචාරමය අපවිත්‍රකමින් ආරක්ෂා කිරීමට, ක්‍රිස්තියානීන් මහත් පොර ඇල්ලීමක් කර තිබේ.—යූද් 3.
ආරක්ෂාව අවශ්‍ය වීමට හේතුව
සදාචාරමය ලෙස හා ආත්මික ලෙස පිරිසිදුව සිටීමේ අභියෝගයට දෙවියන්වහන්සේගේ සියලු සේවකයෝ මුහුණ දෙති. එසේ කිරීමේ අටියෙන්, ප්‍රබල සතුරන් තිදෙනෙකුට විරුද්ධ විය යුතුය—එනම්, සාතන්, ඔහුගේ ලෝකය හා අපේ පව්කාර මාංසික නැඹුරුවාවන් යන ඒවාය. (රෝම 5:12; 2 කොරින්ති 2:11; 1 යොහන් 5:19) සාතන්ගේ ලෝකය දුරාචාරයේ යෙදීමට ඔබව පරීක්ෂා කරන්නේය, එහි ක්‍රියාකලාපය අනුගමනය කිරීමට ඔබට අභියෝග කරන්නේය, එමෙන්ම ඔබට ද්‍රව්‍යමය සැප සම්පත්, කීර්තිය, තත්වය, ප්‍රමුඛත්වය හා බලය ඉදිරිපත් කරන්නේය. එහෙත් සැබෑ නමස්කාරය අනුව යෑමට අදිටන් ගෙන සිටින අය, සාතන් ඉදිරිපත් කරන දේ ප්‍රතික්ෂේප කොට, “ලෝකයෙන් කිලුටු” නොවී සිටිති. ඒ මන්ද? මන්දයත්, යෙහෝවඃවහන්සේගේ පිරිසිදු සංවිධානයේ ආරක්ෂා සහිත ප්‍රේමනීය රැකවරණය යටතේ සිටීමට ඔවුන්ට වුවමනා වන බැවිනි.—යාකොබ් 1:27; 1 යොහන් 2:15-17.
මිනිස් දුර්වලකම් නිසා සාතන්ගේ පරීක්ෂාවලට ගොදුරු වන ක්‍රිස්තියානි සභාවේ ඕනෑම සාමාජිකයෙකු සඳහා යෙහෝවඃවහන්සේ උපකාර සපයා ඇත. සභාව ආරක්ෂා කිරීමටත්, වරදට වැටෙන අයට තම පාපයෙන් පසුතැවිලි වී, යළි ප්‍රකෘතිමත් තත්වයට පැමිණීම සඳහා අවශ්‍ය සකස්වීම් කිරීමටත් ආත්මික සුදුසුකම් තිබෙන වැඩිමහල්ලන්ව පත් කර තිබේ. වරදට හසුවන ඕනෑම ක්‍රිස්තියානි භක්තිකයෙකුට පසුතැවිලි වීමටත්, තම මාර්ග වෙනස් කිරීමටත්, ඉවසිලිවන්තව උපකාර කළ යුතුය.—ගලාති 6:1, 2; යාකොබ් 5:13-16.
සභා ඇසුරෙන් ඉවත් කිරීම ප්‍රේමනීය වන අන්දම
හිතාමතා දුෂ්ට ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් වෙනස් වීමට ප්‍රතික්ෂේප කරන බව්තීස්ම ලත් යෙහෝවඃවහන්සේගේ සේවකයන් පසුතැවිලි නොවන අය වශයෙන්ද, එනයින් ක්‍රිස්තියානි ඇසුර සඳහා නුසුදුසු අය වශයෙන්ද සැලකිය යුතුය. (1 යොහන් 2:19 සසඳන්න.) ක්‍රිස්තියානි සභාව තුළ තවදුරටත් සිට එමගින් එය දූෂ්‍ය කිරීමට එවන් පුද්ගලයන්ට ඉඩහැරිය නොහැක. ඔවුන්ව නෙරපා දැමිය යුතුය.
දුෂ්ට ක්‍රියාවල පුරුද්දක් ලෙස යෙදෙන අයව නෙරපා දැමීමේ යෝග්‍යතාව මතු දැක්වෙන තත්වයෙන් නිදර්ශනය කළ හැක: ශිෂ්‍යයන්ට විරුද්ධව ප්‍රහාර හා දරුණු අපරාධ වැඩිවීම නිසා, “අවි භාවිත කිරීමට තර්ජනය කරන ශිෂ්‍යයන් සඳහා, ජීවිත කාලය පුරා පාසැලට පැමිණීම තහනම් කිරීම ඉල්ලා සිටින” ප්‍රතිපත්තියක් සමහර පාසැල් මගින් අනුගමනය කරන බව කැනඩාවේ, ටරොන්ටෝහි පුවත්පතක් වන ද ග්ලෝබ් ඇන්ඩ් මේල් වාර්තා කරයි. ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට ගොදුරු නොවී, අධ්‍යාපන වැඩසටහනෙන් ප්‍රයෝජන ලබාගැනීමට කැමති ශිෂ්‍යයන්ට ආරක්ෂාව සැපයීම සඳහා මෙලෙස නෙරපීමක් කරනු ලැබේ.
පසුතැවිලි නොවන වරදකරුවෙකු සභාවෙන් නෙරපීම ප්‍රේමනීය යමක් වන්නේ මන්ද? එසේ කිරීම යෙහෝවඃවහන්සේ සඳහාත්, උන්වහන්සේගේ මාර්ග සඳහාත් ප්‍රේමය දැක්වීමේ ප්‍රකාශයකි. (ගීතාවලිය 97:10) මෙම ක්‍රියාමාර්ගය ගැනීම ධර්මිෂ්ඨ ක්‍රියාමාර්ගයක් අනුව යන අය සඳහා ප්‍රේමය පෙන්වීමක් වේ, මන්දයත් ඔවුන් කෙරෙහි නරක බලපෑමක් කළ හැකි අයව එමගින් ඔවුන් අතරින් පහ කර දමනු ලබන බැවිනි. එමෙන්ම එය සභාවේ නිර්මලභාවයද රකිනු ලැබේ. (1 කොරින්ති 5:1-13) අශික්ෂිත දුරාචාරය සභාව තුළ පැවතීමට ඉඩහරිනු ලැබුවේ නම්, එය දූෂ්‍ය වන අතරම, ශුද්ධ වූ යෙහෝවඃවහන්සේට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා එය නුසුදුසු තත්වයකට පත්වනවා ඇත. එපමණක්ද නොව, වරදකරුවා නෙරපීම, ඔහුගේ හිතුවක්කාර ක්‍රියාමාර්ගයේ බැරෑරුම්කම දැකීමටත්, පසුතැවිලි වී, අවශ්‍ය වෙනස්කම් කොට, මෙසේ නැවතත් සභාව තුළට පිළිගනු ලැබීමටත් ඔහුට උපකාර කළ හැක.
අනුන් කෙරෙහි බලපෑම
සභාවේ සාමාජිකයෙකු කාමමිථ්‍යාචාරය වැනි බැරෑරුම් පාපයක යෙදෙන විට, ඔහු යෙහෝවඃවහන්සේගේ හෘදය සතුටු නොකරන්නේය. (හිතෝපදේශ 27:11) ලිංගික දුරාචාරයට ගොදුරු වන ඕනෑම ක්‍රිස්තියානි භක්තිකයෙකු, යෝසෙප් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට පෝතිඵර්ගේ භාර්යාව ඔහුව පොලඹවා ගැනීමට වෑයම් කළ විට, ඔහු කල්පනා කළ අන්දමට කල්පනා නොකරන බව සහතිකය. යෝසෙප්ගේ ප්‍රතික්‍රියාව මෙසේ විය: “මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද”? (උත්පත්ති 39:6-12) යෙහෝවඃවහන්සේගේ ශුද්ධ ප්‍රමිතිවලට ගෞරව දැක්වූ යෝසෙප් එම ස්ථානයෙන් පලා ගියේය. අනික් අතට, කාමමිථ්යාචාරිකයෙකු තම මාංසික තෘෂ්ණාව සන්සිඳුවාලීමෙන් වැළකීමට තරම් ප්‍රේමයක් දෙවියන්වහන්සේ සඳහා නැති බව පෙනේ.—ගලාති 5:19-21.
දෙවියන්වහන්සේගේ ආඥා උල්ලංගනය කරන බව්තීස්ම ලත් පුද්ගලයෙක්, තම ඇදහිලිවන්ත ඥාතීන්ට ඔහු සිදු කරන්නාවූ හානිය හා වේදනාව ගැන සැලකිල්ල නොදක්වයි. ඉන් ඇතිවන චිත්තවේගීය බලපෑම සමහරුන්ට දරාගත නොහැකි තරම්ය. තම පුත්‍රයා දුරාචාරයේ යෙදී තිබුණු බවට සොයාගැනීමෙන් පසු, එක් ක්‍රිස්තියානි කාන්තාවක් මෙසේ ශෝකය පළ කළාය: “අපට කොතරම් වේදනාවක් හා බලාපොරොත්තු සුන්බවක් දැනෙනවාද කියා, සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුට නොතේරෙන තරම්ය. . . . අපේ හෘදය බිඳී ගොස් තිබෙනවා.” මුළු පවුලකම හොඳ නම සැකයට භාජන විය හැක. විශ්වාසවන්ත පවුල් සාමාජිකයන් විෂාදයෙන් හා යම් දුරකට වරද සහිත හැඟීමකින් පෙළෙනවා විය හැක. මෙසේ වරදකරුගේ දුෂ්ට ක්‍රියාමාර්ගය පවුලට හෘද වේදනාවක් ගෙන දෙන්නේය.
පවුල් සාමාජිකයන් සඳහා ප්‍රේමනීය උපකාර
සභා ඇසුරෙන් ඉවත් කිරීම ප්‍රේමනීය මෙන්ම ආරක්ෂාව සලසන යමක් බව, නෙරපනු ලැබූ පුද්ගලයන්ගේ විශ්වාසවන්ත ක්‍රිස්තියානි පවුල් සාමාජිකයන් මතක තබාගත යුතුය. වරදකරුවාට උපකාර පිරිනැමීම සඳහා හැකි හැම උත්සාහයක්ම දරනු ලැබේ. එහෙත් ඔහු දෙවියන්වහන්සේට අකීකරුව, පසුතැවිලි වීමට මුරණ්ඩු ලෙස අකමැති ස්වභාවයක් දක්වනවා නම්, සභාව රැකගත යුතු අතර, “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරපල්ලා” කියා දේවවචනය මඟ පෙන්වන පරිදි ක්‍රියා කිරීමට වඩා වෙන දෙයක් කරන්ට නැත. (1 කොරින්ති 5:13) එක් සාක්ෂිකරුවෙකු පැවසුවේ, “සභා ඇසුරෙන් ඉවත් කිරීම යෙහෝවඃවහන්සේට පක්ෂපාතව සිටීම හා සම්බන්ධ දෙයක්” කියාය.
පවුලේ සාමාජිකයෙකු සභා ඇසුරෙන් ඉවත් කරනු ලබන විට, ක්‍රිස්තියානි ඥාතීහු වේදනාවක් අද්දකිති. එමනිසා ඔවුන්හට හැකිතරම් ආත්මික නැවුම්බවක් ගෙන දීමට පත් කරන ලද වැඩිමහල්ලන් වෑයම් කළ යුතුය. (1 තෙසලෝනික 5:14) වැඩිමහල්ලන්ට ඔවුන් සඳහාද, ඔවුන් සමඟද යාච්ඤා කළ හැක. මෙම විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් සමඟ බොහෝවිට වර්ධනය ගෙන දෙන ශුද්ධ ලියවිලිමය අදහස් සාකච්ඡා කිරීම කළ හැක්කකි. ක්‍රිස්තියානි රැස්වීම්වලට පෙර හා පසුව මෙම හිතවත් අයට ආත්මික ශක්තිය ලබා දීමට රැළෙහි එඬේරුන් හැම ප්‍රස්තාවක්ම උපයෝගි කරගත යුතුය. ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි යෑමෙන් අමතර දිරිගැන්වීමක් පිරිනැමිය හැක. (රෝම 1:11, 12) යෙහෝවඃවහන්සේගේ මෙම විශ්වාසවන්ත සේවකයන්ට ලැබීමට වටිනා වූ ප්‍රේමය හා අවධානය ආත්මික එඬේරුන් විසින් පෙන්විය යුතුය.—1 තෙසලෝනික 2:7, 8.
එක් පුද්ගලයෙකු පව්කාර ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම නිසාම, යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සිටින ඔහුගේ පවුලේ අනික් අයව නොසලකා හැරීමට හේතුවක් නොවේ. ඉශ්රායෙල්හි දුෂ්ට සාවුල් රජ දෙවියන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නමුත්, දාවිත් සාවුල්ගේ පුත්‍ර යොනාතාන් සඳහා දැක්වූ සෙනෙහසට මෙය බාධාවක් කර නොගත්තේය. ඇත්තෙන්ම දාවිත් සහ යොනාතාන් අතර බැඳීම ඉතා ශක්තිමත් වූයේය. (1 සාමුවෙල් 15:22, 23; 18:1-3; 20:41) එමනිසා යෙහෝවඃවහන්සේට විරුද්ධව පව් කරන ඥාතීන් සිටින ක්‍රිස්තියානීන්ට, සභාවේ සෑමකෙනෙකුම රුකුලක් විය යුතු අතර, ඔවුන් කෙරෙහි ප්‍රේමය දැක්විය යුතුය.
එවන් විශ්වාසවන්ත අය ගණනකට නොගැනීම හෝ ඔවුන්ට අකාරුණික වීම මොනතරම් ප්‍රේමනීය නොවන යමක්ද! දිරිගැන්වීම සඳහා පවුලේ පක්ෂපාත සාමාජිකයන්හට විශේෂ අවශ්‍යතාවක් තිබේ. ඔවුන්ට තනිකමක් දැනෙන අතර, තම තත්වය ඉතා අසීරු බව ඔවුන්ට වැටහෙනවා ඇත. සමහරවිට ඔවුන්ට දුරකථනයෙන් අමතා, මැණිකක් බඳු ආත්මික අදහසක් නැතහොත් වර්ධනය ගෙන දෙන අද්දැකීමක් ඔවුන් සමඟ හවුලේ භුක්තිවිඳිය හැක. නෙරපනු ලැබූ පුද්ගලයා දුරකථන රිසීවරය ගෙන කතා කරයි නම්, නිකම්ම ක්‍රිස්තියානි ඥාතියාට කතා කරන මෙන් ඉල්ලන්න. එවන් පවුලක විශ්වාසවන්ත සාමාජිකයන්ව ඔබේ නිවසේ සුහද හමුවකට නැතහොත් කෑමකට ඔබට ආරාධනා කළ හැක. කඩ සාප්පු යන අතර ඔවුන්ව මුණගැසේ නම්, යම් දුරක වර්ධනය ගෙන දෙන ඇසුරක් පැවැත්වීම සඳහා ඔබට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැක. සභා ඇසුරෙන් ඉවත් කොට ඇති ඥාතීන් සිටින පක්ෂපාත ක්‍රිස්තියානීන්, තවමත් යෙහෝවඃවහන්සේගේ පිරිසිදු සංවිධානයේ කොටසක් බව මතක තබාගන්න. පහසුවෙන්ම වෙන්වුණු අධෛර්යයට පත්වූ තත්වයකට ඔවුන් පත්විය හැක. එමනිසා ඔවුන්ට කරුණාව හා ප්‍රේමය පෙන්වීමට අවදිව සිටින්න. ‘ඇදහිල්ලේ අපට අයිති සියලුදෙනා කෙරෙහි’ යහපත්කම් කිරීමෙහි නියැලෙන්න.—ගලාති 6:10.
යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සැපයුම අගය කරන්න
යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය නමස්කාරකරන්නන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත පවුලේ සෑමකෙනෙකු සඳහාම, මුදු මොළොක් සැලකිල්ලක් දැක්වීම ගැන අපට බෙහෙවින් ස්තුතිවන්ත විය හැක. උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ අන්දමකින් ගමන් කිරීමට අපහට උපකාර කිරීම සඳහා, උන්වහන්සේ ස්වකීය සංවිධානය කරණකොටගෙන ප්‍රේමනීයව විධිවිධානයක් සපයා ඇත. පවුලේ සාමාජිකයෙකු හිතාමතා පාපය පුරුද්දක් වශයෙන් කර සභාවෙන් නෙරපීමට පවා සිදුවුවත්, ඔහු සැබවින්ම පසුතැවිලි වේ නම්, යළි පැමිණීම සඳහා මඟක් තිබේ. මතු දැක්වෙන උදාහරණයෙන් මෙය නිදර්ශනය කෙරේ:
ඇනා ලෙස අපට හැඳින්විය හැකි තැනැත්තියකට උපකාර කිරීමට වැඩිමහල්ලන් උත්සාහ කර තිබූ නමුත්, ඈ දුම්පානයට, බීමත්කමට හා මත්ද්‍රව්‍ය භාවිතයට හැරුණාය. පසුතැවිලි නොවූ ඈ සභාවෙහි රැඳී නොසිටියාය. කෙසේවෙතත්, වැඩිකලක් යන්ට මත්තෙන්, යෙහෝවඃවහන්සේගේ පිරිසිදු සභාවේ ප්‍රේමනීය ඇසුර නොලැබීමේ පාඩුව ඇයට දැනීමට පටන්ගත් අතර, ඈ උන්වහන්සේගේ උපකාරය සඳහා යාච්ඤා කළාය. නොමඟ යන අය ගැන වැඩිමහල්ලන්ට මොනතරම් සැලකිල්ලක් තිබෙනවාද කියා ඇය මුළුමනින්ම අගය නොකර තිබූ බව ඈ පිළිගන්නීය. ඇනා නැවත රැස්වීම්වලට යෑමට පටන්ගත් අතර, මෙය පසුතැවිල්ලට මඟපෑදීය. ඉන් අනතුරුව, ප්‍රේමනීය ආරක්ෂාව සපයන සභාව තුළට ඇයව යළිත් පිළිගන්නා ලදි. දැන් නැවතත්, ඇනා යෙහෝවඃවහන්සේගේ උසස් සදාචාර ප්‍රමිතිය රක්ෂා කරමින් සිටින්නීය. වැඩිමහල්ලන් විසින් පෙන්වන ලද ප්‍රේමය සඳහා කෘතඥපූර්වකව සිටින ඈ මෙම අදහසද පළ කරයි: “ක්‍රිස්තියානි ප්‍රකාශන මට කෙතරම් උපකාරයක් වී තිබෙනවාද කියා ඔබට සිතාගන්ට බැරි තරම්ය. යෙහෝවඃවහන්සේ අපේ අවශ්‍යතා හොඳින් සපුරාලන බවට කිසිම සැකයක් නැහැ.”
එසේය, සභාවෙන් නෙරපා ඇති මුත්, පසුව පසුතැවිලි වන අය සඳහා දෙවියන්වහන්සේ මාර්ගයක් සපයා ඇත. අප දැක තිබෙන පරිදි, සභා ඇසුරෙන් ඉවත් කිරීමම පවා ප්‍රේමනීය සැපයුමක් වේ. එහෙත් අපේ ශුද්ධ දෙවිඳාණන්ගේ ධර්මිෂ්ඨ මාවත්වලට හැමවිටම ඇලී සිටීමෙන්, මෙම දුක්දායක අද්දැකීම මඟහැරීම මොනතරම් වඩාත් හොඳ ක්‍රියාමාර්ගයක්ද! යෙහෝවඃවහන්සේගේ පිරිසිදු, ප්‍රේමනීය, රැකවරණය සපයන සංවිධානයේ කොටසක් වශයෙන් උන්වහන්සේට ප්‍රශංසා පිරිනැමීමේ වරප්‍රසාදයට අපි කවදත් කෘතඥපූර්වක වෙමු.
[26වන පිටුවේ පින්තූරය]
සභාවෙන් නෙරපා තිබෙන අයගේ විශ්වාසවන්ත ඥාතීන්ට ඔබ ප්‍රේමය දක්වමින් සිටින්නෙහිද?