ඛාරායිට්වරු සහ සත්‍යය සඳහා ඔවුන්ගේ ගවේෂණය
“මගේ මතය කෙරෙහි රඳාසිටින්නේ නැතුව [ශුද්ධ ලියවිලි] හොඳින් විමසා බලන්න” පොදු යුගයේ අටවන සියවසේ ප්රමුඛ පෙළේ ඛාරායිට්වරයෙකු විසින් එම වදන් පවසන ලදි. ඛාරායිට්වරු යනු කවරහුද? ඔවුන්ගේ ආදර්ශයෙන් අපට වටිනා යමක් උගත හැකිද? මෙම ප්‍රශ්නවලට උත්තර සැපයීම සඳහා, අතීත ඉතිහාසය දෙස හැරී, ඛාරායිට් ව්‍යාපාරයට මඟ පෑදූ බොහෝ කලක් තිස්සේ පැවති මතභේදයක් දෙස අප බැලිය යුතුය.
මතභේදය ආරම්භ වූයේ කෙසේද?
පොදු යුගයට පෙර අවසාන සියවස්වල, යුදෙව්වාදය තුළ නව දර්ශනයක් වර්ධනය විය. එනම් දෙවියන්වහන්සේ සීනයි කන්දේදී ව්‍යවස්ථා දෙකක්, ලිඛිත එකක් හා වාචික එකක් දුන් බවට වූ සංකල්පයයි.a පොදු යුගයේ පළමු සියවසේදී මෙම නවක ඉගැන්වීම වැලඳගත් අය හා එය ප්‍රතික්ෂේප කළ අය අතර, උණුසුම් ඝට්ටනයක් ඇතිවිය. ඵරිසිවරුන් මීට දිරි දුන් අතර, සද්දුසිවරුන් හා එසෙන්නිවරුන් ඊට විරුද්ධ වූවන් අතර විය.
මෙම මතභේදයෙන් යුත් දර්ශනය මධ්‍යයෙහි, පොරොන්දු වූ මෙසියස් හැටියට නාසරිය යේසුස්වහන්සේ පෙනීසිටිසේක. (දානියෙල් 9:24, 25; මතෙව් 2:1-6, 22, 23) එකිනෙකාට විරුද්ධ වූ එම කණ්ඩායම් සියල්ලටම යේසුස්වහන්සේ මුහුණ දුන්සේක. ඔවුන් සමඟ තර්ක කිරීමේදී, දේවවචනය ඔවුන්ගේ සම්ප්රදාය මගින් අවලංගු කිරීමට එරෙහිව උන්වහන්සේ කතා කළසේක. (මතෙව් 15:3-9) එමෙන්ම මෙසියස්ට පමණක් කළ හැකි අන්දමින්, යේසුස්වහන්සේ ආත්මික සත්‍යතා ඉගැන්වූසේක. (යොහන් 7:45, 46) එපමණක්ද නොව, යේසුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෝ පමණක් දිව්‍යමය අනුබලය තිබූ බවට සාක්ෂි දැරුවෝය. ඔවුහු ක්‍රිස්තියානීන් හැටියට නම් දරන්ට පටන්ගත්හ.—ක්‍රියා 11: 26.
යෙරුසලමේ දේවමාළිගාව පො.යු. 70දී විනාශ වූ විට, කිසිදු හානියක් නොලැබ දිගටම පැවතියේ ඵරිසිවරුන් පමණකි. පූජකතන්ත්‍රය, යාග පූජා හා දේවමාළිගාව නොමැතිව, ඵරිසිවරුන්ගේ ආභාෂය තිබූ යුදෙව්වාදයට මේ සියල්ල සඳහා ආදේශක අමුතුවෙන් මවාගැනීමට හැකියාව තිබිණ, එනයින් ලිඛිත ව්‍යවස්ථාව අභිබවා යෑමට සම්ප්‍රදායට හා අර්ථකථනයට ඉඩහරින ලදි. මින් අලුත් “පරිශුද්ධ ග්රන්ථ” ලිවීම සඳහා මඟ පාදන ලදි. පළමුව, මිෂ්නා ග්‍රන්ථය පැමිණියේය, ඊට ඔවුන්ගේ වාචික ව්‍යවස්ථාවට එකතුකිරීම් හා අර්ථදැක්වීම් ඇතුළත් කර තිබිණ. පසුව, තවත් ලියවිලි එකතු කරනු ලැබ, එය තල්මුඩය යනුවෙන් හඳුන්වන ලදි. ඒ කාලයේදීම, ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානීහු, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් තමන්ට රිසි පරිදි වෙනස් කිරීමට පටන්ගත්තෝය. කණ්ඩායම් දෙකම ප්‍රබල ආගමික පද්ධති—එනම් එක් අතකින් ගත් කල රබ්බිවරුන්ගේ අධිකාරයද, අනික් අතට පල්ලි අධිකාරයද ජනිත කළෝය.
යුදෙව්වරුන් මිථ්‍යාදෘෂ්ටික රෝමය හා ගැටීමත්, ඉන් අනතුරුව “ක්‍රිස්තියානි” රෝමය හා ගැටීමත් නිසා, යුදෙව්වාදයේ කේන්ද්‍රස්ථානය අන්තිමේදී බබිලෝනිය වෙත මාරු විය. තල්මුඩයේ ලියවිලි ඒවායෙහි වඩාත් පූර්ණ ආකෘතිය අනුව සකස් කරන ලද්දේ එහිදීය. තල්මුඩය වඩාත් පූර්ණ ආකාරයකින් දේවකැමැත්ත එළිදරව් කළ බවට රබ්බිවරුන් කියා සිටියද, රබ්බිවරුන්ගේ අධිකාරයේ වැඩිවන්නාවූ බර දැනුණාවූ යුදෙව්වෝ බොහෝදෙනෙක්, මෝසෙස් හා අනාගතවක්තෲන් කරණකොටගෙන පිරිනමනු ලැබූ දේවවචනය සඳහා දැඩි ආශාවක් දැක්වූහ.
පොදු යුගයේ අටවන සියවසේ අපර භාගයේදී, තම වාචික ව්‍යවස්ථාව තුළ රබ්බිවරුන්ගේ අධිකාරයට හා විශ්වාසයන්ට විරුද්ධ වූ බබිලෝනියේ යුදෙව්වරු, ආනාන් බෙන් ඩේවිඩ් නමැති උගත් නායකයෙකුට ප්‍රතිචාර දැක්වූහ. රබ්බිවරුන්ගේ අර්ථකථනය හෝ තල්මුඩය නොසලකා, සැබෑ ආගමේ එකම මූලාශ්‍රය හැටියට හෙබ්‍රෙව් ලියවිලි සීමා තහංචි රහිතව අධ්‍යයනය කිරීමට සෑම යුදෙව්වෙකුටම අයිතියක් තිබෙන බව හේ ප්‍රකාශ කළේය. ආනාන් මෙසේ ඉගැන්වීය: “මගේ මතය කෙරෙහි රඳාසිටින්නේ නැතුව ටෝරාව [දෙවියන්වහන්සේගේ ලිඛිත ව්‍යවස්ථාව] හොඳින් විමසා බලන්න.” ශුද්ධ ලියවිලි කෙරෙහි මෙලෙස අවධාරණයක් කළ බැවින්, ආනාන්ගේ අනුගාමිකයන්ට ඛා·රා·ʼයිම්ʹ යන නම දෙන ලදි, එය “කියවන්නෝ” යන අරුත දෙන හෙබ්‍රෙව් නමකි.
ඛාරායිට්වරු හා රබ්බිවරු ගැටෙති
රබ්බිවරුන්ට මහත් හිසරදයක් වූ ඛාරායිට් ඉගැන්වීම් පිළිබඳ උදාහරණ සමහරක් මොනවාද? රබ්බිවරු කිරි හා මස් එකට අනුභව කිරීම තහනම් කළහ. ඔවුන් මෙය ඉදිරිපත් කළේ, නික්මයාම 23:19ට වාචික ව්‍යවස්ථාවේ පැහැදිලි කිරීමක් වශයෙනි, එහි මෙසේ පැවසේ: “එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.” අනික් අතට ඛාරායිට්වරුන් ඉගැන්වූයේ—එහි අදහස අඩුකරන්නේවත් වැඩි කරන්නේවත් නැතුව—එම පදයෙහි කියූ දෙයමයි. රබ්බිවරුන්ගේ සීමා මනුෂ්‍යයන් විසින් ගොතන ලද්දක් බව ඔවුහු වාද කළෝය.
රබ්බිවරුන් ද්විතීය කථාව 6:8, 9 අර්ථ දැක්වූ පරිදි, යුදෙව්වෙකු ටෙෆිලින්, හෙවත් පිලාක්තරි පැළඳ යාච්ඤා කළ යුතු බවත්, හැම උළුවහුවකම මෙසූසාහ්වක් තැබිය යුතු බවත්, ඔවුහු තරයේ කියා සිටියහ.b මෙම පදවලට උපමාලංකාර හා සංකේතාත්මක අර්ථයක් පමණක් තිබෙන බව ඛාරායිට්වරු සැලකූහ, මෙසේ ඔවුහු එවන් රබ්බිවරුන්ගේ රෙගුලාසි ප්‍රතික්ෂේප කළහ.
වෙනත් කාරණාවලදී ඛාරායිට්වරු රබ්බිවරුන්ට වඩා සීමා තහංචි පැනවූහ. උදාහරණයක් ලෙස නික්මයාම 35:3 පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටිය සලකා බලන්න, එහි මෙසේ කියවේ: “සබත් දවසේදී නුඹලාගේ සියලු වාසස්ථානවල ගින්දර පත්තු නොකළ යුතුය.” ලාම්පුවක් හෝ ආලෝකය විහිදුවන යමක් හෝ සබත් දවසට කලින් පවා පත්තු කර තිබුණත්, එය දැල්වීම ඛාරායිට්වරු තහනම් කළහ.
විශේෂයෙන්ම ආනාන්ගේ මරණයෙන් පසු, සමහර සීමා තහංචිවල තරම හා ස්වභාවය ගැන ඛාරායිට්වරු නිතරම පාහේ එකඟ නොවූහ, එමෙන්ම ඔවුන්ගේ පණිවුඩය හැමවිටම පැහැදිලි නොවීය. ඛාරායිට්වරුන් කිසිම තනි නායකයෙකු නොපිළිගත් නිසාත්, ඒ වෙනුවට රබ්බිවරුන්ගේ අධිකාරි ශෛලියට වෙනස්ව, ශුද්ධ ලියවිලි පෞද්ගලිකව කියවීම හා අර්ථ දැක්වීම අවධාරණය කළ නිසාත්, ඔවුන් අතර සමගියක් නොතිබිණ. කෙසේවෙතත්, මේ මධ්‍යයෙහි වුවත්, ඛාරායිට් ව්‍යාපාරයේ ජනප්‍රියත්වය හා බලපෑම බබිලෝනියේ යුදෙව් ප්‍රජාව සිට බොහෝ ඈතට වැඩිවර්ධනය වූ අතර, එය මැද පෙරදිග පුරා ව්‍යාප්ත වූයේය. යෙරුසලමෙහි පවා ප්‍රධාන ඛාරායිට් මධ්‍යස්ථානයක් පිහිටුවන ලදි.
පොදු යුගයේ නවවන හා දහවන සියවස්වලදී, හෙබ්‍රෙව් භාෂාව යළි අධ්‍යයනය කිරීමේදී ඛාරායිට් විශාරදයෝ දස්කම් දැක්වූ අතර, යම් දුරකට රන්වන් යුගයක් අද්දුටූහ. ශුද්ධ සේ ඔවුන් සැලකුවේ, වාචික සම්ප්‍රදායන් නොව, නමුත් ලිඛිත හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිමය පාඨයයි. සමහර ඛාරායිට්වරු හෙබ්‍රෙව් ලියවිලිවල සුපරීක්ෂාකාරි පිටපත්කරන්නෝ බවට පත්වූහ. ඇත්තෙන්ම සියලුම යුදෙව්වන් අතර ශුද්ධ ලියවිලිවල මැසොරෙටික් අධ්‍යයනයට දිරි දුන්නේ ඛාරායිට්වරුන්ගෙන් එල්ල වූ අභියෝගයයි, අදදින වඩාත් නිරවද්‍ය ලෙස ආරක්ෂා වූ බයිබල් පාඨයක් ඉන් සහතික කරන ලදි.
මෙම ශීඝ්‍ර වර්ධනයෙන් යුත් කාලපරිච්ඡේදයේදී, ඛාරායිට් යුදෙව්වාදය අනික් යුදෙව්වන් අතර විවෘතව මිෂනාරි වැඩයෙහි යෙදුණේය. මෙය රබ්බිවරුන්ගේ යුදෙව්වාදයට පැහැදිලි තර්ජනයක් එල්ල කළේය.
රබ්බිවරුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
රබ්බිවරුන්ගේ ප්‍රතිප්‍රහාරය, ප්‍රබල වාග් ප්‍රහාරයක් විය, ඊට ඉගැන්වීම් සූක්ෂ්ම ලෙස නම්මවාගැනීම හා යළි සකස් කිරීම ඇතුළත් විය. ආනාන්ගේ ප්‍රහාරයෙන් පසුව උදා වූ සියවසේදී, රබ්බිවරුන්ගේ යුදෙව්වාදය ඛාරායිට් ක්‍රම කිහිපයක්ම පිළිගත්තේය. සිය වාග් අලංකාරයේ ඛාරායිට් ශෛලිය හා ක්‍රමය උපයෝගි කළාවූ රබ්බිවරු, ශුද්ධ ලියවිලි උපුටා දැක්වීමේදී වඩාත් දක්ෂයෝ බවට පත්වූහ.
ඛාරායිට්වරුන් සමඟ වූ මෙම වාග් ප්‍රහාරයෙහි අවිවාදයෙන් නම් කළ හැකි නායකයා සේඩියා බෙන් ජෝසෙෆ් වූයේය, ඔහු පො.යු. දහවන සියවසේ මුල් භාගයේ බබිලෝනියේ යුදෙව් ප්‍රජාවේ මූලිකයා බවට පත්වූයේය. සේඩියාගේ ප්‍රධානතම කෘතිය, එනම්, විශ්වාස හා මත පිළිබඳ ග්‍රන්ථය, සැමුවල් රෝසන්බ්ලැට් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදි, එහි පෙරවදනෙහි ඔහු මෙසේ පැවසුවේය: “තම කාලයේදී තල්මුඩය සම්බන්ධයෙන් ඔහු පරම අධිකාරය . . . වුවද, යුදෙව් සම්ප්රදායේ මෙම මූලාශ්‍රය [සේඩියා] භාවිත කළේ අල්ප වශයෙනි, වලංගු යමක් සේ ලිඛිත ව්‍යවස්ථාව පමණක් පිළිගත් ඛාරායිට්වරුන් තම ආයුධවලින්ම පරාජයට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය වූ නිසා විය හැක.”
සේඩියාගේ පියසටහන් අනුගමනය කරමින්, රබ්බිවරුන්ගේ යුදෙව්වාදය අන්තිමේදී වඩාත් බලවත් විය. ඛාරායිට් වාදවලින් ප්‍රමාණවත් ප්‍රබලතාවක් ඉවත් කරගැනීමට තරම් අවශ්‍ය හැඩගැස්වීම් කිරීම තුළින් මෙය ඉටු කරන ලදි. අවසාන පහර එල්ල කරන ලද්දේ, 12වන සියවසේ නම් දැරූ තල්මුඩ් විශාරද වූ, මෝසස් මයිමොනඩීස් විසිනි. ඊජිප්තුවේ තමා සමඟ ආශ්‍රය කළ ඛාරායිට්වරුන් කෙරෙහි ඉවසිලිවන්ත ආකල්පයක් දැක්වීම තුළින්ද, සිය ඒත්තුගන්වනසුලු පාණ්ඩිත්‍ය ශෛලිය තුළින්ද, ඔහු ඔවුන්ගේ ප්‍රසාදය දිනාගෙන ඔවුන්ගේම නායකත්වයේ තත්වය බෙලහීන කළේය.
ඛාරායිට් ව්‍යාපාරයේ දියුණුව අඩාල වේ
සමගියෙන් තොරවූද, ප්‍රතිචාරය දැක්වීම සඳහා හොඳින් සැලසුම් කළාවූ උපායක් නොමැතිව, ඛාරායිට් ව්‍යාපාරයට එහි වේගය මෙන්ම අනුගාමිකයන් අහිමි වී ගියේය. කාලයාගේ ඇවෑමෙන්, ඛාරායිට්වරු සිය මත හා ප්‍රතිපත්ති සංශෝධනය කළෝය. ඛාරායිට් ව්‍යාපාරය පිළිබඳ කර්තෘවරයෙක් වන ලියොන් නිමෝයි මෙසේ ලියයි: “න්‍යායානුකූලව තල්මුඩය තහනම් යමක් වුවද, තල්මුඩයේ තොරතුරු බොහොමයක්, නොදැනුවත්වම වාගේ, ඛාරායිට් නීති හා චාරිත්‍ර පිළිවෙත් තුළට ඈඳාගන්නා ලදි.” සාරයක් වශයෙන් ගත් කල, ඛාරායිට්වරු සිය මුල් අරමුණ අහිමි කරගත් අතර, රබ්බිවරුන්ගේ යුදෙව්වාදයෙන් බොහොමයක් යළි පිළිගත්තෝය.
ඉශ්රායෙල්හි තවමත් ඛාරායිට්වරු 25,000ක් පමණ සිටිති. වෙනත් ප්‍රජාවල, වැඩි වශයෙන් රුසියාවේ හා එක්සත් ජනපදවල ස්වල්ප දහසක් සොයාගත හැක. කෙසේවෙතත්, ඔවුන්ට තමුන්ගේම වාචික සම්ප්‍රදායන් තිබෙන බැවින්, ඔවුහු මුල් ඛාරායිට්වරුන්ට වඩා වෙනස් වෙති.
ඛාරායිට්වරුන්ගේ ඉතිහාසයෙන් අපට කුමක් උගත හැකිද? එනම් ‘දේවවචනය සම්ප්රදාය මගින් අවලංගු කිරීම’ බැරෑරුම් වරදක් බවය. (මතෙව් 15:6) මිනිසුන්ගේ පීඩාකාරි සම්ප්රදායන්ගෙන් නිදහස් වීමට නම්, ශුද්ධ ලියවිලි පිළිබඳ ඒකාන්ත දැනුමක් අවශ්‍යය. (යොහන් 8:31, 32; 2 තිමෝති 3:16) එසේය, දේවකැමැත්ත දැනගැනීමටත්, කිරීමටත් යත්න දරන අය මිනිසුන්ගේ සම්ප්‍රදායන් මත රඳා නොසිටිති. ඒ වෙනුවට, ඔවුහු බයිබලය ඕනෑකමින් සොයා දෙවියන්වහන්සේගේ ආනුභාවය ලත් වචනයෙහි ප්‍රයෝජනදායක උපදෙස් අදාළ කරති.
[පාදසටහන්වල]
a වාචික ව්යවස්ථාවයයි කියන දෙයෙහි පැහැදිලි කිරීමක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත විල් දෙයාර් එවර් බී ඒ වර්ල්ඩ් විතෞට් වෝර්? යන විවරණිකාවේ පිටු 8-11 බලන්න.
b ටෙෆිලින් යනු ශුද්ධ ලියවිලිමය වගන්ති සමන්විත ලිපි අඩංගු කුඩා හතරැස් හම් පසුම්බි දෙකකි. සතියේ උදෑසන යාච්ඤාවේදී මෙම පසුම්බි සම්ප්‍රදායානුකූලව වම් බාහුවේ හා හිසේ පළඳිනු ලැබීය. මෙසූසාහ් යනු ද්විතීය කථාව 6:4-9 හා 11:13-21 ලියවා තිබෙන කුඩා හම් කඩදාසි ලියවිල්ලක්, මෙය උළුවස්සට සවි කරන ලද පසුම්බියක තබන ලදි.
[30වන පිටුවේ පින්තූරය]
ඛාරායිට්වරුන් කණ්ඩායමක්
[හිමිකම් විස්තර]
From the book The Jewish Encyclopedia, 1910