වාචික ව්‍යවස්ථාව එය ලේඛනගත කළේ මන්ද?
පළමු සියවසේ යුදෙව්වන් බොහෝදෙනෙක් යේසුව මෙසියස් හැටියට පිළිගැනීමට අසමත් වුණේ මන්ද? ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ වාර්තා කරනවා: “[යේසු] දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනගගේ වැඩිමහල්ලෝද [ඔහු] ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.” (මතෙව් 21:23) ඔවුන්ගේ අදහසට අනුව, සර්වබලධාරි තැනැත්තා යුදෙව් ජාතියට ටෝරා (ව්‍යවස්ථාව) දී තිබුණා. එමෙන්ම එය තුළින් දෙවි ඇතැම් මිනිසුන්ට අධිකාරිත්වයක් දුන් බවයි ඔවුන් සිතුවේ. යේසුට එවැනි අධිකාරිත්වයක් තිබුණාද?
ටෝරා සහ එය තුළින් සැබෑ අධිකාරිත්වය ලැබූ අය කෙරෙහි යේසු මහත් ගෞරවයක් දැක්වූවා. (මතෙව් 5:17-20; ලූක් 5:14; 17:14) නමුත් දෙවිගේ ආඥා කඩ කළ අයව ඔහු නිතර හෙළාදැක්කා. (මතෙව් 15:3-9; 23:2-28) එවැනි මනුෂ්‍යයන් වාචික ව්‍යවස්ථාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ සම්ප්‍රදායන් අනුගමනය කළා. යේසු එහි අධිකාරිත්වය ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝදෙනෙක් ඔහුව මෙසියස් හැටියට පිළිගත්තේ නැහැ. දෙවිගේ අනුමැතිය ලැබිය හැක්කේ, ඔවුන් අතර අධිකාරිත්වය තිබූ අයගේ සම්ප්‍රදායන්ට සහයෝගය දෙන කෙනෙකුට පමණක් බවයි ඔවුන් විශ්වාස කළේ.
මෙම වාචික ව්‍යවස්ථාව හටගත්තේ කොතැනින්ද? ශුද්ධ ලියවිල්ලේ වාර්තා කර තිබෙන ලිඛිත ව්‍යවස්ථාවලට සමාන අධිකාරිත්වයක් එයට තිබෙන බව යුදෙව්වන් සිතන්න පටන්ගත්තේ කොහොමද? එමෙන්ම එය වාචික ව්‍යවස්ථාවක් වශයෙන් පැවතිය යුතුව තිබුණා නම්, පසුව එය ලේඛනගත කළේ මන්ද?
සම්ප්‍රදායන් හටගත්තේ කොතැනින්ද?
ඉශ්‍රායෙලිතයන් පො.යු.පෙ. 1513දී, සීනයි කන්දේදී යෙහෝවා දෙවි සමඟ ගිවිසුමකින් බැඳුණා. එම ගිවිසුමට ඇතුළත් වූ අණ පනත් මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ට ලැබුණා. (නික්මයාම 24:3) මේ නීති රීති පිළිපැදීම තුළින් ‘ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා ශුද්ධව සිටින්නාක් මෙන් ඔවුනුත් ශුද්ධ’ බව ඔප්පු කිරීමට ඔවුන්ට ප්‍රස්තාවක් සැලසුණා. (ලෙවී කථාව 11:44) ව්‍යවස්ථා ගිවිසුම යටතේ, පත් කරන ලද පූජක පංතියක් මගින් පූජා ඔප්පු කිරීම යෙහෝවාගේ නමස්කාරයට ඇතුළත්ව තිබුණා. නමස්කාරය සඳහා මධ්‍යස්ථානයක් තිබෙන්න නියමිතව තිබුණා; කල් යත්ම යෙරුසලමේ දේවමාළිගාව පිහිටුවනු ලැබුවා.—ද්විතීය කථාව 12:5-7; 2 ලේකම් 6:4-6.
ජාතියක් වශයෙන් යෙහෝවාට නමස්කාර කිරීම සඳහා මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඉශ්රායෙල්වරුන්ට සමස්ත සැලැස්මක් සැපයුවා. කෙසේවුවත්, සමහර කරුණු නිශ්චිත ලෙස ප්‍රකාශ කර තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන්, ව්‍යවස්ථාව සබත් දිනයේදී වැඩ කිරීම තහනම් කළ නමුත්, එය වැඩ සහ වෙනත් ක්‍රියාකාරකම් අතර නිශ්චිත වෙන් කිරීමක් කළේ නැහැ.—නික්මයාම 20:10.
එසේ කිරීම යෝග්‍යයයි කියා යෙහෝවා සැලකුවා නම් පැනනැඟිය හැකි ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සවිස්තර නීති සැපයීමට ඔහුට හැකිකම තිබුණා. නමුත් ඔහු මනුෂ්‍යයන්ව හෘදය සාක්ෂියක් ඇතුව මවා තිබුණ අතර, මුල් පියවර ගනිමින් තමාට සේවය කිරීම සඳහා ඔවුන්ට ඉඩ දී තිබුණා. මෙලෙස, ඔහුගේ අණ පනත් කඩ නොකර ඒ සීමාව තුළ තීරණ ගනිමින් දෙවිට සේවය කිරීමට ඔවුන්ට හැකියාව තිබුණා. පූජකයන්, ලෙවීවරුන් හා විනිශ්චයකරුවන්ට විනිශ්චයමය නඩු පැවැත්වීම සඳහා ව්‍යවස්ථාව මගින් ප්‍රස්තාවක් සැලසුවා. (ද්විතීය කථාව 17:8-11) නඩු වැඩි වෙද්දී, පසුකාලීනව ප්‍රයෝජනවත් විය හැකි ඇතැම් ප්‍රතිපත්ති පිහිටෙවූ අතර, මේවායින් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගිය බවට සැකයක් නැහැ. යෙහෝවාගේ දේවමාළිගාවේ පූජක වගකීම් ඉටු කිරීමේ ක්‍රමද පියාගෙන් පුතාට දෙනු ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් ජාතියේ අද්දැකීම් වැඩි වෙද්දී, සම්ප්රදායන්ද ගොඩගැහෙන්න පටන්ගත්තා.
කෙසේවුවත් මෝසෙස්ට දුන් ලිඛිත ව්‍යවස්ථාව ඉශ්රායෙල්වරුන්ගේ නමස්කාරයේ අතිවැදගත් තැනක් ගත්තා. නික්මයාම 24:3, 4 මෙසේ ප්‍රකාශ කරනවා: ‘මෝසෙස් අවුත් යෙහෝවාගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තර දෙමින්: යෙහෝවා කී සියල්ල කරන්නෙමුයයි කීවෝය. මෝසෙස්ද යෙහෝවාගේ සියලු වචන ලියුවේය’ (ඇල අකුරු අපගේය). දෙවි ඉශ්රායෙල්වරුන් සමඟ තම ගිවිසුම පිහිටෙව්වේ ලිඛිත ආඥාවලට අනුකූල වෙමිනුයි. (නික්මයාම 34:27) ඇත්තවශයෙන්ම, වාචික ව්‍යවස්ථාවක් තිබුණ බව ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ.
‘මේ බලය නුඹට දුන්නේ කවුද?’
මෝසෙස්ගේ ව්‍යවස්ථාව පැහැදිලිවම මූලික ආගමික අධිකාරිත්වය හා උපදෙස් තැබුවේ, ආරොන්ගෙන් පැවතෙන්නන් වන පූජකයන්ගේ අතෙයි. (ලෙවී කථාව 10:8-11; ද්විතීය කථාව 24:8; 2 ලේකම් 26:16-20; මලාකී 2:7) කෙසේවුවත්, සියවස් ගණනාවක් ගෙවී යද්දී ඇතැම් පූජකයන් නොඇදහිලිවන්ත හා දූෂිත තත්වයකට පත් වුණා. (1 සාමුවෙල් 2:12-17, 22-29; යෙරෙමියා 5:31; මලාකී 2:8, 9) ග්‍රීක පාලනය පැවති සමයේදී, බොහෝ පූජකයන් ආගමික මතභේද සම්බන්ධයෙන් ප්‍රතිපත්ති පාවා දුන්නා. පොදු යුගයට පෙර දෙවන සියවසේදී, පූජක පක්ෂය විශ්වාස නොකළ යුදෙව් ආගමේ සිටි අලුත් කණ්ඩායමක් වූ ඵරිසිවරුන්, සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තමාව පූජකයෙකුගේ තරමටම ශුද්ධයයි සැලකිය හැකි සම්ප්‍රදායන් පිහිටුවන්න පටන්ගත්තා. බොහෝදෙනෙකුට මේ සම්ප්‍රදායන් සිත්ගන්නා ඒවා බවට පත් වූ නමුත්, ඒවා ව්‍යවස්ථාවට එකතු වූ පිළිගත නොහැකි සම්ප්‍රදායන් වුණා.—ද්විතීය කථාව 4:2; 12:32 (යුදෙව් සංස්කරණවල 13:1).
ඵරිසිවරුන්, පූජකවරුන් ඉටු කරන්නේ නැහැයි කියා තමන්ට හැඟුණු වැඩය ඉටු කරමින් ව්‍යවස්ථාවේ නව පණ්ඩිතයන් බවට පත් වුණා. මෝසෙස්ගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ අධිකාරිත්වය සඳහා ඉඩ නොහළ බැවින්, සැඟවුණු අදහස් මගින් හා ඔවුන්ගේ අදහස්වලට අනුබල දෙනවායයි පෙනෙන්න තිබෙන වෙනත් ක්‍රම මගින් ඔවුන් ශුද්ධ ලියවිල්ල අර්ථකථනය කිරීමේ නව ක්‍රම සාදාගත්තා.a මෙම සම්ප්‍රදායන්වල ප්‍රධාන රැකවලුන් හා ඒවා වැඩිදියුණු කරන්නන් හැටියට, ඔවුන් ඉශ්රායෙල්හි අධිකාරිත්වය පිළිබඳ නව පදනමක් බිහි කළා. පොදු යුගයේ මුල් සියවස වන විට, ඵරිසිවරුන් යුදෙව් ආගමේ ප්‍රබල බලවේගයක් බවට පත් වී තිබුණා.
ඵරිසිවරුන් පවතින වාචික සම්ප්‍රදායන් එක්රැස් කරද්දී සහ තමුන්ගේම සම්ප්රදායන්වලට පදනමක් සැපයීම සඳහා ශුද්ධ ලියවිල්ලෙන් යම් ඉඟි සොයද්දී, තමුන්ගේ ක්‍රියාකාරකම්වලට වැඩි අධිකාරිත්වයක් දීමේ අවශ්‍යතාවක් තිබෙන බව දැක්කා. මේ සම්ප්‍රදායන්වල මූලාරම්භයන් සම්බන්ධයෙන් නව සංකල්පයක් බිහි වුණා. රබ්බිවරුන් උගන්වන්න පටන්ගත්තා: “සීනයි කන්දේදී මෝසෙස්ට ටෝරා ලැබුණු අතර, එය යෝෂුවාටත්, යෝෂුවා එය වැඩිමහල්ලන්ටත්, වැඩිමහල්ලන් එය ප්‍රොපේතවරුන්ටත් දෙනු ලැබුවා. එමෙන්ම ප්‍රොපේතවරුන් එය එක්රැස් වී සිටි විශාල සෙනඟ අතර සිටි මනුෂ්‍යයන්ගේ අතට පත් කළා.”—එවොට් 1:1, මිෂ්නා.
‘මෝසෙස්ට ටෝරා ලැබුණා’ යයි පවසද්දී රබ්බිවරුන් යොමු දක්වමින් සිටියේ ලිඛිත ව්‍යවස්ථාවට පමණක් නොව නමුත් ඔවුන්ගේ සියලුම වාචික සම්ප්රදායන්වලටයි. මනුෂ්‍යයන් සොයාගත් සහ සෑදූ මේ සම්ප්‍රදායන් දෙවි විසින් සීනයිහිදී මෝසෙස්ට දෙනු ලැබුවායයි ඔවුන් කියා සිටියා. එමෙන්ම දෙවි මනුෂ්‍යයන්ට හිස්තැන් පුරවන්න ඉඩ දී තිබුණේ නැති අතර, ලිඛිත ව්‍යවස්ථාවේ නොපැවසූ දේවල් දෙවි විසින්ම වාචිකව පැවසූ බවත් ඔවුන් ඉගැන්වූවා. ඔවුන් පැවසූ ආකාරයට, මෝසෙස් මේ වාචික ව්‍යවස්ථාව පරම්පරාවෙන් පරම්පරාවට යැව්වේ පූජකයන්ට නොව නමුත් වෙනත් නායකයන්ටයි. අධිකාරිත්වයේ මෙම “නොබිඳුණු” දම්වැලේ ස්වාභාවික උරුමක්කාරයන් තමන්යයි ඵරිසිවරුන් කියාගත්තා.
අර්බුදයට ලක් වූ ව්‍යවස්ථාව—නව විසඳුමක්
යේසුට දෙවිගෙන් ලැබුණු අධිකාරිත්වය යුදෙව් ආගමික නායකයන් ප්‍රශ්න කරනු ලැබුවා. ඔහු දේවමාළිගාවේ විනාශය ගැන පුරෝකථනය කර තිබුණා. (මතෙව් 23:37–24:2) රෝමවරුන් පො.යු. 70දී දේවමාළිගාව විනාශ කළ පසු, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබූ පූජා ඔප්පු කිරීම් හා පූජක මෙහෙය තවදුරටත් එහි සිදු කිරීමට නොහැකි වුණා. යේසුගේ මිදීමේ මිල පූජාවේ පදනම මත දෙවි අලුත් ගිවිසුමක් පිහිටුවා තිබුණා. (ලූක් 22:20) මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම සමාප්ත වුණා.—හෙබ්‍රෙව් 8:7-13.
යේසු මෙසියස් බව වටහාගැනීමට මේ සිද්ධීන් සාක්ෂියක් හැටියට ගන්නවා වෙනුවට ඵරිසිවරුන් වෙනත් විසඳුමක් සොයාගත්තා. ඔවුන් ඒ වන විටත් පූජක පක්ෂයේ අධිකාරිත්වයෙන් වැඩිහරියක් බලෙන් පැහැරගෙන තිබුණා. දේවමාළිගාව විනාශ වීමත් සමඟම ඔවුන්ට තවත් පියවරක් ඉදිරියට තබන්න හැකි වුණා. යාව්නෙහ්හි රබ්බි ශාස්ත්‍රාලය, යුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය වූ යළි සංවිධානය කළ සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාවක් සඳහා මධ්‍යස්ථානය බවට පත් වුණා. යාව්නෙහ්හි යෝහානාන් බෙන් සාකයිගේ සහ IIවන ගමාලියෙල්ගේ නායකත්වය යටතේ, යුදෙව් ආගම සම්පූර්ණයෙන්ම යළි සකස් කරනු ලැබුවා. පූජකයන්ගේ අධීක්ෂණය යටතේ තිබූ දේවමාළිගාවේ නමස්කාරය වෙනුවට සිනගෝගයේ මෙහෙයන් පවත්වනු ලැබුවේ රබ්බිවරුන්ගේ නායකත්වය යටතේයි. පූජාවන් ඔප්පු කිරීම වෙනුවට, විශේෂයෙන්ම සමඟි කිරීමේ දවසේදී යාච්ඤාවන් පැවැත්තුවා. මෙවැනි වෙනස්කම් සිදු වන බව කලින් දැන සිටි නිසා දෙවි සීනයිහිදී මෝසෙස්ට දෙනු ලැබූ වාචික ව්‍යවස්ථාව තුළින් ඒ වන විටත් ඒ සඳහා ඉඩ සලසා දී තිබුණා කියා ඵරිසිවරුන් තර්ක කළා.
රබ්බි ශාස්ත්‍රාලවල බලය එන්න එන්නම වැඩි වුණා. ඔවුන්ගේ ප්‍රධාන විෂය මාලාව වුණේ අධික ලෙස සංවාදයේ යෙදීම, කටපාඩම් කිරීම හා වාචික නීති පැනවීමයි. ඊට කලින්, මිඩ්රාෂ්, එනම් ශුද්ධ ලියවිලි අර්ථකථනය මතයි වාචික නීති පදනම් වී තිබුණේ. ඒ වන විට, වැඩි වෙමින් තිබූ සම්ප්‍රදායන් ගොඩගැහෙන්න පටන්ගත් අතර ඒවා ඉගැන්වීමටත්, වෙන් වෙන් වශයෙන් සකස් කිරීමටත් පටන්ගත්තා. වාචිකව පැනවූ සෑම නීතියක්ම කෙටි, කටපාඩම් කළ හැකි වාක්‍ය ඛණ්ඩ බවට සරල කළ අතර බොහෝවිට සකස් කර තිබුණේ යම් තාලයකටයි.
වාචික ව්‍යවස්ථාවක් ලේඛනගත කරන්නේ මන්ද?
රබ්බි ශාස්ත්‍රාලවල බහුලත්වය සහ වැඩි වෙමින් පැවති රබ්බි නීති පැනවීම් නිසා, අලුත් ගැටලුවක් ඉස්මතු වුණා. රබ්බි පණ්ඩිතයෙකු වූ ඒඩන් ස්ටයින්සෝල්ට්ස් මෙසේ පැහැදිලි කරනවා: “සෑම ගුරුවරයෙකුටම තමාගේම ක්‍රමයක් තිබුණු අතර, තමන් සෑදූ වාචික නීති තමන්ටම විශේෂිත වූ ආකාරයකින් වාක්‍ය ඛණ්ඩ ලෙස සකස් කළා. . . . ශිෂ්‍යයා තමන්ගේම ගුරුවරයාගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් හොඳින් දැන සිටීම පමණක් ප්‍රමාණවත් වුණේ නැති අතර, වෙනත් පණ්ඩිතයන්ගේ වැඩ සම්බන්ධයෙන්ද හොඳින් දැන සිටීමට ඔහු බැඳී සිටියා . . . මේ ආකාරයෙන් ‘දැනුම වැඩිවර්ධනය වීම’ හේතුවෙන් කරුණු රැසක් කටපාඩම් කිරීමට ශිෂ්‍යයන්ට අනිවාර්යයෙන්ම සිදු වුණා.” මෙතරම් අවුල්සහගත තොරතුරු සම්භාරයක් මධ්‍යයෙහි කටපාඩම් කිරීමට සිදු වූ ශිෂ්‍යයන්ව සෑහෙන මානසික පීඩනයකට ලක් වුණා.
පොදු යුගයේ දෙවන සියවසේදී, බාර් කෝච්බා විසින් රෝමයට එරෙහිව දියත් කරනු ලැබූ යුදෙව් කැරැල්ල, රබ්බි පණ්ඩිතයන්ට අධික ලෙස පීඩා කිරීමට මඟ පෑදුවා. බාර් කෝච්බාට සහාය දී තිබූ ප්‍රධාන රබ්බිවරයෙක් වූ අකිවා මෙන්ම තව ප්‍රධාන පෙළේ පණ්ඩිතයන් බොහෝදෙනෙකුව මරණයට පත් කළා. යළි හටගත් පීඩාවන් නිසා ඔවුන්ගේ වාචික ව්‍යවස්ථාවට අනතුරු විය හැකියි කියා රබ්බිවරුන් බිය වුණා. ගුරුවරයාගෙන් ගෝලයාට සම්ප්‍රදායන් වාචිකව යැවීම හොඳම ක්‍රමය බව ඔවුන් විශ්වාස කර තිබූ නමුත්, මෙම වෙනස් වන තත්වයන් නිසා පණ්ඩිතයන්ගේ ඉගැන්වීම් සදහටම අමතක නොවන ලෙස ආරක්ෂා කරගැනීම සඳහා සංවිධානාත්මක සැලැස්මක් ඇති කරගැනීමට වැඩි වැඩියෙන් යත්න දරන්න පටන්ගත්තා.
ඉන්පසු රෝමය සමඟ යම් දුරකට සාමය පැවති කාලපරිච්ඡේදයක, පො.යු. දෙවන සියවසේ අවසානය හා තුන්වන සියවසේ ආරම්භය අතර කාලයේදී ප්‍රධාන පෙළේ රබ්බිවරයෙකුව සිටි ජූඩා හ-නසී, පණ්ඩිතයන් ගණනාවක් එකතු කරගෙන, වාචික සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් එක්රැස් කරගෙන, සංවිධානාත්මක පිළිවෙළක් අනුව කොටස් හයකට බෙදුවා. ඒවා එකිනෙක තව කුඩා කොටස් 63කට බෙදුවා. මේ කෘතිය මිෂ්නා වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණා. වාචික ව්‍යවස්ථාව පිළිබඳ අධිකාරිත්වයක් හෙබවූ ඉෆ්‍රායිම් යූර්බාක් මෙසේ ප්‍රකාශ කරනවා: “ටෝරා හැර වෙනත් කිසිම පොතකට කවදාවත් දී නොතිබුණු ආකාරයේ අනුමැතියක් හා අධිකාරිත්වයක් . . . මිෂ්නාට දී තිබෙනවා.” මෙසියස්ව ප්‍රතික්ෂේප කර තිබුණා; දේවමාළිගාව නටබුන් බවට පත් වී තිබුණා; නමුත් ලිඛිතමය ආකාරයකින් මිෂ්නාහි අඩංගු කළ වාචික ව්‍යවස්ථාව, යුදෙව් ආගමේ නව යුගයක් බිහි කළා.
[පාදසටහන]
a මෙම ශුද්ධ ලියවිලි අර්ථකථනයේ ශෛලිය හැඳින්නුවේ මිඩ්රාෂ් ලෙසයි.
[26වන පිටුවේ පින්තූරය]
බොහෝ යුදෙව්වන් යේසුගේ අධිකාරිය ප්‍රතික්ෂේප කළේ මන්ද?