දෙවි මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව සහ මිෂ්නා
“කිසිදාක අපට ග්‍රහණය කරගත නොහැකි විෂයන් ගැන දැනටමත් සෑහෙන කලක් තිස්සේ ගෙන ගොස් ඇති සංවාදයකට අප සම්බන්ධ වෙනවා යන අදහසින් අපේ ගමන ඇරඹේ. . . . අපි . . . දුර බැහැර ගුවන් තොටුපොළක මඟීන් සඳහා නැවතීමේ ශාලාවක සිටින බව හැඟී යනවා. මිනිසුන් කියන වචන අපට තේරුණත්, ඒවායින් අදහස් වන දේ සහ ඔවුන්ගේ සැලකිල්ලට භාජන වී ඇති දේ මෙන්ම සියල්ලට ඉහළින් ඔවුන්ගේ හඬවල්වල තිබෙන හදිසිතාව මගින් අපි අන්දුන් කුන්දුන්ව සිටිනවා.” මිෂ්නා පොත පළමුවරට පෙරළා බලද්දී පාඨකයන්ට හැඟිය හැකි ආකාරය යුදෙව් විශාරද ජේකබ් නොයිස්නෙ විස්තර කරන්නේ මෙලෙසිනි. නොයිස්නෙ තවදුරටත් මෙසේ පවසයි: “මිෂ්නා පටන්ගන්නේ කොතැනින්ද කියා දන්නේ නැහැ. එය හදිස්සියේම අවසන් වෙනවා.”
ඩැනියල් ජෙරමී සිල්ව’, ඒ හිස්ට්‍රි ඔෆ් ජුඩේසම් (යුදෙව්වාදය ගැන ඉතිහාසයක්) යන පොතෙහි මිෂ්නා හඳුන්වන්නේ “රබ්බිවරුන්ගේ යුදෙව්වාදයේ සංස්ථාපක පාඨය” හැටියටයි. ඇත්තෙන්ම ඔහු තවදුරටත් මෙසේ අදහස් දක්වයි: “අඛණ්ඩ [යුදෙව්] අධ්‍යාපනයේ මූලික විෂය මාලාව ලෙස, මිෂ්නා බයිබලයේ තැන ගත්තා.” එතරම් අපැහැදිලි ශෛලියකින් යුත් පොතක්, එතරම් වැදගත් වන්නේ ඇයි?
මිෂ්නාහි සඳහන් මෙම ප්‍රකාශය තුළ උත්තරයෙන් කොටසක් ගැබ්ව පවතී: “මෝසෙස් සීනයිහිදී ටෝරා ලබාගෙන, එය යෝෂුවාට භාර දුන් අතර, යෝෂුවා වැඩිමහල්ලන්ටද, වැඩිමහල්ලන් ප්‍රොපේතවරුන්ටද භාර දුන්නා. තවද ප්‍රොපේතවරුන් මහා සභාවේ පුරුෂයන්ට එය භාර දුන්නා.” (ඇවට් 1:1) මෝසෙස්ට සීනයි කන්දෙහිදී භාර දුන් තොරතුරු—එනම් ඉශ්රායෙල්ට දෙවි දුන් ව්‍යවස්ථාවේ නොලියූ කොටසක්—මිෂ්නාට සම්බන්ධ බව පැවසේ. මහා සභාවේ පුරුෂයන් (පසුව සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව ලෙස හඳුන්වනු ලැබුවා), පරම්පරාවෙන් පරම්පරාවට ඇතැම් ඉගැන්වීම් මුඛ පරම්පරාගතව යැවූ ප්‍රඥාවන්ත විශාරදයන්ගේ හෝ පණ්ඩිතයන්ගේ දිගු පෙළපතකට අයත් බව සලකනු ලැබුවා. මෙසේ සිදු වූයේ ඒවා මිෂ්නාහි වාර්තාගත කරන තුරුයි. එනමුත් එය සත්‍යවාදීද? ඇත්තටම මිෂ්නා ලිව්වේ කවුද සහ මොන හේතුවකටද? එහි අඩංගු දේ මෝසෙස් සීනයිහි සිටි විට ලැබූ යමක් වූවාද? එය අදදින අප සඳහා අර්ථවත්බවකින් යුක්තද?
දේවමාළිගයක් නොමැති යුදෙව්වාදය
ශුද්ධ ලියවිලි දේවානුභාවයෙන් ලියනු ලැබූ කාලයේදී, මෝසෙස්ගේ ලිඛිත ව්‍යවස්ථාවට අමතරව දුන් දිව්‍යමය වාචික ව්‍යවස්ථාවක් පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැහැ.a (නික්මයාම 34:27) සියවස් බොහොමයකට පසු යුදෙව්වාදය තුළ මෙම සංකල්පය වර්ධනය කොට එය පතුරුවා හැරියාවූ කණ්ඩායම ඵරිසිවරුන් වුණා. පොදු යුගයේ පළමුවන සියවසේදී, සද්දුසිවරුන් සහ වෙනත් යුදෙව්වන් බයිබලයට සම්බන්ධ නැති මෙම ඉගැන්වීමට විරුද්ධ වුණා. කෙසේවෙතත්, යුදෙව් නමස්කාරයේ මධ්‍යස්ථානය වශයෙන් යෙරුසලමේ දේවමාළිගය පැවති තාක් කල්, වාචික ව්‍යවස්ථාවක් පිළිබඳ වාද විෂයට දෙවන ස්ථානය තමයි හිමි වුණේ. දේවමාළිගයේ නමස්කාරය හැම යුදෙව්වෙකුගේම පැවැත්මට යම් සැලැස්මක් සහ යම් දුරකට ස්ථාවරත්වයක් දුන්නා.
කොහොම වුණත්, පො.යු. 70දී, යුදෙව් ජාතිය අදහාගත නොහැකි තරම් පරිමාණයේ ආගමික අර්බුදයකට මුහුණ දුන්නා. යෙරුසලම රෝම හමුදාවන් අතින් විනාශ කරනු ලැබූ අතර, යුදෙව්වන් දශලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත් කරනු ලැබුවා. ඔවුන්ගේ ආත්මික ජීවිතයේ මධ්‍යස්ථානය වූ දේවමාළිගාව තවදුරටත් තිබුණේ නැහැ. දේවමාළිගයේ පූජා සහ පූජක සේවාවන් අවශ්‍ය කළ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට එකඟව ජීවත් වීම කළ නොහැක්කක් බවට පත් වුණා. යුදෙව්වාදයේ අත්තිවාරම් ගල නැති වී ගියා. තල්මුඩය පිළිබඳ විශාරදයෙක් වන ඒඩන් ස්ටයින්සෝල්ට්ස් මෙසේ ලියයි: “පොදු යුගයේ 70දී සිදු වූ . . . විනාශය නිසා, ආගමික ජීවිතයේ මුළු ව්‍යූහයම ආපසු ඉදි කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත් වුණා.” ඇත්තෙන්ම ආපසු ඉදි කිරීමේ කාර්යයෙහි ඔවුන් නිරත වුණා.
දේවමාළිගයේ විනාශයට කලින්ම, යුදෙව්වාදයේ ආත්මික මධ්‍යස්ථානය සහ සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාව යෙරුසලමේ සිට යාව්නෙහ් දක්වා මාරු කිරීමට, ඵරිසිවරුන්ගේ නායක හිලෙල්ගේ ගෞරවයට පාත්‍ර වූ ගෝලයෙක් වූ යෝහානාන් බෙන් සාකයි, (ඉතා ඉක්මනින්ම අධිරාජ්‍යයා බවට පත් වෙන්න සිටි) වෙස්පේසියන්ගෙන් අවසර ලැබුවා. ස්ටයින්සෝල්ට්ස් පැහැදිලි කරන පරිදි, යෙරුසලමේ විනාශයෙන් පසු, “මහජනයා සඳහා අලුත් මධ්‍යස්ථානයක් පිහිටුවා, අලුත් තත්වයන්ට සකස්වන්න ඔවුන්ට උපකාර කිරීමේ අභියෝගයට” යෝහානාන් බෙන් සාකයි “මුහුණ දුන්නා. දේවමාළිගය තවදුරටත් නොපැවති බැවින්, ආගමික ජ්වලිතය වෙනත් කේන්ද්‍රස්ථානයකට යොමු කරන්න සිදු වුණා.” එම අලුත් කේන්ද්‍රස්ථානය වාචික ව්‍යවස්ථාව වුණා.
දේවමාළිගය විනාශ වී තිබුණු බැවින්, සද්දුසිවරුන් සහ වෙනත් යුදෙව් නිකායන් ඒත්තුගන්වනසුලු විකල්පයක් ඉදිරිපත් කළේ නැහැ. ඵරිසිවරුන් විරුද්ධවාදීන්ව යටපත් කරමින්, යුදෙව්වන් අතර ප්‍රධාන බලපෑම බවට පත් වුණා. එක්සත්කම අවධාරණය කරමින්, ප්‍රධාන පෙළේ රබ්බිවරුන්, නිකායවාදී මෙන්ම පක්ෂවාදී ඇඟවීම්වලින් පිරී තිබුණු පදයක් වූ ඵරිසිවරුන් කියා තමුන්ව හඳුන්වා දීම නවතා දැමුවා. සරලව ඔවුන්ව හඳුන්වන්න පටන්ගත්තේ, “ඉශ්රායෙල්හි පණ්ඩිතයන් වූ” රබ්බිවරුන් ලෙසයි. වාචික ව්‍යවස්ථාව පිළිබඳව ඔවුන්ගේ සංකල්පය රක්ෂා කිරීමට, මෙම පණ්ඩිතයන් යම් ව්‍යූහයක් බිහි කරාවි. එය දේවමාළිගය මෙන් නොව, මිනිස් ප්රහාරයන්ට පහසුවෙන් ගොදුරු විය නොහැකි ආත්මික ව්‍යූහයක් තැනීම ඔවුන්ගේ අදහස වුණා.
වාචික ව්‍යවස්ථාවේ ඒකාබද්ධ වීම
යාව්නෙහ්හි (යෙරුසලමට කිලෝමීටර් 40ක් බටහිරින්) පිහිටි රබ්බි ශාස්ත්‍රාලය ප්‍රධාන මධ්‍යස්ථානය වුණත්, වාචික ව්‍යවස්ථාව උගන්වන වෙනත් ශාස්ත්රාල ඊශ්‍රායෙලය පුරා මෙන්ම බබිලෝනිය සහ රෝමය තරම් ඈත ප්‍රදේශවලත් බිහි වෙන්න පටන්ගත්තා. කෙසේවෙතත්, මෙයින් ගැටලුවක් මතු වුණා. ස්ටයින්සෝල්ට්ස් මෙසේ පැහැදිලි කරයි: “පණ්ඩිතයන් සියලුදෙනා එකට රැස්වී සිටි තාක් කල්, [යෙරුසලමේ] එක පුරුෂ කණ්ඩායමක් මගින් පාණ්ඩිත්‍යයේ කාර්යය සිදු කරනු ලැබූ තාක් කල්, සම්ප්රදායේ ඒකීයතාව රැකගනු ලැබුවා. එනමුත් ගුරුවරුන් ගහන වීමත් වෙනම පාසැල් පිහිටුවීමත් සමඟම අදහස් ප්‍රකාශ කිරීමේ ස්වරූප සහ ක්‍රම රාශියක් බිහි වුණා.”
වාචික ව්‍යවස්ථාවේ ගුරුවරුන්ව ටානාඉම් යනුවෙන් හඳුන්වනු ලැබුවා; මෙම යෙදුම “අධ්‍යයනය කිරීම,” “නැවත කීම” හෝ “ඉගැන්වීම” යන අර්ථය ඇති ඇරමයික මූලයකින් රැගෙන තිබෙනවා. අධික ලෙස නැවත කීමෙන් සහ කටපාඩම් කිරීමෙන් වාචික ව්‍යවස්ථාව ඉගෙනගැනීම සහ ඉගැන්වීම නමැති ඔවුන්ගේ ක්‍රමය මෙයින් අවධාරණය වුණා. වාචික සම්ප්‍රදායන් කටපාඩම් කිරීම පහසු කිරීමට, හැම නියමයක්ම හෝ සම්ප්රදායක්ම, ලුහුඬු සංක්ෂිප්ත වාක්යඛණ්ඩ දක්වා කෙටි කරනු ලැබුවා. එසේ කළේ වචන අඩු වන තරමට හොඳ නිසයි. ශෛලීයගත, කාව්‍යමය ස්වරූපයක් අත් කරගන්න වෑයම් දරනු ලැබූ අතර, මෙම වාක්යඛණ්ඩ බොහෝදුරට මතුරනු හෝ ගායනා කරනු ලැබුවා. එනමුත්, මෙම නියමයන් නිසි ලෙස සංවිධානය කරනු නොලැබූ අතර, ඒවා ගුරුවරයාගෙන් ගුරුවරයාට බොහෝ සෙයින් වෙනස් වුණා.
විවිධාකාර වූ එකිනෙකට වෙනස් වාචික සම්ප්රදායන්වලට සුවිශේෂී සැකැස්මක් සහ ව්‍යූහයක් දුන් පළමුවන රබ්බිවරයා අකිවා බෙන් ජෝසෆ් (පො.යු. 50 පමණ-135). ඔහු සම්බන්ධයෙන්, ස්ටයින්සෝල්ට්ස් මෙසේ ලියයි: “කෙතට ගොස් තමාට අහම්බෙන් හම්බ වන කොයි දේ වුවත් තම කූඩයට රැස් කරගෙන, නිවසට පැමිණ, සෑම දෙයක්ම වෙනම වර්ග කොට පිළියෙළ කරන වැඩකාරයෙකුට ඔහුගේ සමකාලීනයන් ඔහුගේ කාර්යය සමාන කළා. අකිවා කිසිම සංවිධානයකින් තොර විෂයන් කිහිපයක් අධ්‍යයනය කර තිබූ අතර, ඒවා නිශ්චිත ප්‍රභේද අනුව වර්ග කර තිබුණා.”
යෙරුසලමේ විනාශයෙන් අවුරුදු 60කටත් වඩා පසුව, පො.යු. දෙවන සියවසේදී, බාර් කෝච්බාගේ මෙහෙයවීම යටතේ දෙවන යුදෙව් කැරැල්ලක් රෝමයට එරෙහිව දියත් කරනු ලැබුවා. නැවතත්, කැරැල්ල විපත්තිදායක වුණා. අකිවා සහ ඔහුගේ ගෝලයන් බොහොමයක්, ගොදුරු වූ යුදෙව්වන් දශලක්ෂයකට ආසන්න සංඛ්‍යාව අතර සිටියා. රෝම අධිරාජ්‍යයා වන හේඩ්රියන්, දේවමාළිගයේ විනාශයේ සංවත්සරයේදී මිසක, යුදෙව්වරුන්ට යෙරුසලමට ඇතුල් වීම තහනම් කළ විට, දේවමාළිගය නැවත ගොඩනැඟීමට යම් බලාපොරොත්තුවක් තිබුණා නම්, එයද සුන් වී ගියා.
අකිවාට පසුව ජීවත් වූ ටානාඉම්වරු යෙරුසලමේ දේවමාළිගය කිසිදාක දැක තිබුණේ නැහැ. එනමුත්, වාචික ව්‍යවස්ථාවේ සම්ප්‍රදායන් පිළිබඳව යම් ව්‍යූහයක් අනුව ගෙනගිය ඔවුන්ගේ අධ්‍යයන පිළිවෙත, ඔවුන්ගේ “දේවමාළිගය” නොහොත් නමස්කාර මධ්‍යස්ථානය බවට පත් වුණා. අකිවා සහ ඔහුගේ ගෝලයන් ආරම්භ කළ වාචික ව්‍යවස්ථාවේ මෙම ව්‍යූහය ශක්තිමත් කරවීමේ වැඩය, අන්තිම ටානාඉම්වරයා වන ජූඩා හ-නසී භාරගත්තා.
මිෂ්නා ප්‍රබන්ධ කිරීම
ජූඩා හ-නසී, හිලෙල් සහ ගමාලියෙල්ගෙන් පැවත ආ කෙනෙක්.b බාර් කෝච්බාගේ කැරැල්ල සිදු වූ කාලපරිච්ඡේදයේදී ඉපදුණු ඔහු, පො.යු. දෙවන සියවසේ අවසානය සහ තුන්වන සියවසේ ආරම්භය අතර කාලයේදී ඊශ්‍රායෙල්හි යුදෙව් ප්‍රජාවේ මූලිකයා බවට පත් වුණා. හ-නසී යන පදවි නාමයේ තේරුම “කුමාරයා.” මෙයින් ඔහු සෙසු යුදෙව්වන් ඉදිරියේ දැරූ පදවිය ඇඟෙව්වා. බොහෝවිට ඔහුට නිකම්ම රබ්බි කියා කියනවා. ජූඩා හ-නසී ඔහුගේම ශාස්ත්රාලයේද සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාවේද මූලිකත්වය හෙබෙව්වා. මුලින්ම බෙට් ෂි’ඇරිම්හි සහ පසුව ගලීලයේ සෆෝරිස්හි ඔහු එසේ කළා.
වාචික ව්‍යවස්ථාව ඉදිරි පරම්පරාවලට ගෙනයෑමේ ක්‍රියාවලිය, රෝමය සමඟ අනාගතයෙහි සිදු විය හැකි ඝට්ටන මගින් අනතුරට ලක් විය හැකි බව තේරුම්ගනිමින්, එහි අඛණ්ඩ පැවැත්ම සහතික කරන ව්‍යූහයක් එයට දීමට ජූඩා හ-නසී තීරණය කළා. ඔහු තම ශාස්ත්රාලයට තම කාලයෙහි විසූ වඩාත් කැපීපෙනෙන විශාරදයන්ව එක්රැස් කළා. වාචික ව්‍යවස්ථාවේ සෑම කාරණයක්ම සහ සම්ප්රදායක්ම තර්කයට භාජන කරනු ලැබුවා. මෙම සාකච්ඡාවල සාරාංශයන්, ඍජු කාව්‍යමය හෙබ්‍රෙව් ගද්‍ය ශෛලියක් අනුව සකස් වූ, ඉතා පුදුම ලෙස සංක්ෂිප්ත වූ වාක්යඛණ්ඩවලට ඒකාබද්ධ කරනු ලැබුවා.
මෙම සාරාංශයන් මූලික විෂයන් අනුව ප්‍රධාන බෙදීම් හෝ වර්ග හයකට සංවිධානය කරනු ලැබුවා. ජූඩා මේවා තවත් කොටස් හෝ නිබන්ධන 63කට බෙදුවා. ආත්මික ගොඩනැඟිල්ලේ ඉදි කිරීම නිමකොට තිබුණා. ඒ වන තෙක්, එවන් සම්ප්‍රදායන් හැමවිටම ඉදිරියට ගෙනගොස් තිබුණේ මුඛ පරම්පරාවෙන්. එනමුත් අමතර ආරක්ෂාවක් වශයෙන්, ඉමහත් වෙනසකට තුඩු දුන් අවසාන පියවර ගනු ලැබුවා: එනම්, සෑම දෙයක්ම ලේඛනගත කිරීමයි. වාචික ව්‍යවස්ථාව රැකගත් මෙම සිත්ගන්නා අලුත් ලිඛිත ව්‍යූහය, මිෂ්නා යනුවෙන් හඳුන්වනු ලැබුවා. මිෂ්නා යන නම පැමිණෙන්නේ ෂා·නාහ්ʹ යන හෙබ්‍රෙව් මූලයෙන්; එහි තේරුම “නැවත කීම,” “අධ්‍යයනය කිරීම” හෝ “ඉගැන්වීම.” එය ටෙනාʼʹ යන ඇරමයික භාෂාවේ වචනයට සමාන වන අතර, මිෂ්නාහි ගුරුවරුන්ට අදාළ කරන යෙදුම වන ටන්·නා·ʼඉම්ʹ යන්න එයින් පැමිණෙනවා.
මිෂ්නාහි අරමුණ වූයේ නියත නීති සංග්‍රහයක් ස්ථාපිත කිරීම නොවෙයි. පාඨකයා මූලික ප්‍රතිපත්ති දැනගෙන සිටි බව උපකල්පනය කරමින්, එය වැඩියෙන් කටයුතු කළේ පොදු නොවන ඒවා සමඟයි. ඇත්තවශයෙන්ම, ජූඩා හ-නසීගේ කාලය තුළදී රබ්බිවරුන්ගේ ශාස්ත්‍රාලවල සාකච්ඡා කළ සහ ඉගැන්වූ දේවල් එය කැටිකොට දැක්වූවා. මිෂ්නා ප්‍රබන්ධ කිරීමේ අදහස වූයේ තවදුරටත් තර්ක කිරීමට, වාචික ව්‍යවස්ථාවේ දළ සටහනක් සේ ක්‍රියා කිරීමයි; ගොඩනැඟීම සඳහා සැකිල්ලක් නොහොත් මූලික ව්‍යූහයක් සේ ක්‍රියා කිරීමයි.
මෝසෙස්ට සීනයි කන්දෙහිදී දුන් යම් කිසිවක් එළිදරව් කරනවා වෙනුවට, ඵරිසිවරුන්ගෙන් ඇරඹුණු සංකල්පයක් වන වාචික ව්‍යවස්ථාවේ වර්ධනය පිළිබඳව හොඳ අවබෝධයක් මිෂ්නා මගින් සැපයේ. මිෂ්නාහි වාර්තා කර තිබෙන තොරතුරු, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල කළ ප්‍රකාශයන් මත සහ යේසුස් ක්‍රිස්තුස් සහ ඵරිසිවරුන් අතර සිදු වූ ඇතැම් සාකච්ඡා මත යම් ආලෝකයක් හෙළයි. කෙසේවෙතත්, මිෂ්නාහි සොයාගත හැකි අදහස් පො.යු. දෙවන සියවසේ යුදෙව් දෘෂ්ටිකෝණ පිළිබිඹු කරන නිසා, පරෙස්සම් වීම සඳහා අවශ්‍යතාවක් තිබෙනවා. මිෂ්නා යනු දෙවන දේවමාළිගා යුගය සහ තල්මුඩය අතර තිබෙන සම්බන්ධයයි.
[පාදසටහන්වල]
a අමතර තොරතුරු සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ පවතීද? (ඉංග්‍රීසියෙන්) යන විවරණිකාවේ 8-11 පිටු බලන්න.
b මුරටැඹ 1996 ජූලි 15, “ගමාලියෙල්—තාර්සස්හි සාවුල්ට ඉගැන්වීය” යන ලිපිය බලන්න.
[26වන පිටුවේ කොටුව]
මිෂ්නාහි බෙදීම්
මිෂ්නා වර්ග හයකට බෙදී තිබෙනවා. මේවා පරිච්ඡේද සහ මිෂ්නායොට් නැතහොත් ඡේදවලට (පද නොව) බෙදා ඇති වඩාත් කුඩා පොත් හෙවත් නිබන්ධන 63කින් සමන්විතයි.
1. සෙරාඉම් (කෘෂිකාර්මික නීති)
ආහාර ගන්නා විටත්, කෘෂිකර්මය සම්බන්ධයෙනුත් කියන යාච්ඤා පිළිබඳ සාකච්ඡා මෙම නිබන්ධනවලට ඇතුළත් වෙනවා. ඔතු දීම, පූජකයන් සඳහා වෙන් කරන දේ, වැටෙන දේ ඇහිඳගැනීම සහ සබත් වර්ෂ පිළිබඳ නීතිද මෙයට ඇතුළත් වෙනවා.
2. මොඑඩ් (ශුද්ධ අවස්ථා, උත්සව)
මෙම වර්ගයේ නිබන්ධන, සබත් දිනය, සමඟි කිරීමේ දවස සහ වෙනත් උත්සවවලට සම්බන්ධ නීති සාකච්ඡා කරනවා.
3. නාෂිම් (ස්ත්‍රීන්, විවාහ නීතිය)
මේවා විවාහය සහ දික්කසාදය, භාරයන්, නාසරීයයන් සහ කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් සැක කරනු ලබන අවස්ථා සාකච්ඡා කරන නිබන්ධන වෙනවා.
4. නෙසිකින් (අලාභහානි සහ සිවිල් නීතිය)
මෙම වර්ගයේ නිබන්ධන, සිවිල් සහ දේපොළ නීතිය, උසාවි සහ දණ්ඩන, සැන්හීඩ්‍රින් මන්ත්‍රණ සභාවේ ක්‍රියාකාරිත්වය, රූප වන්දනාව, දිවුරුම් සහ පියවරුන්ගේ ආචාරධර්මවලට සම්බන්ධ විෂයන් ආවරණය කරනවා. (ඇවට්)
5. කෝඩාෂිම් (යාග)
සත්ව සහ ධාන්‍ය පූජා මෙන්ම දේවමාළිගයේ මිනුම්වලට සම්බන්ධ රෙගුලාසි මෙම නිබන්ධනවල සාකච්ඡා කෙරෙනවා.
6. ටෝහාරොට් (පවිත්‍ර වීමේ පිළිවෙත්)
චාරිත්‍රානුකූල පවිත්‍රතාව, නෑම, අත් සේදීම, සමේ රෝග සහ විවිධාකාර වස්තූන්වල අපවිත්‍රතාව සාකච්ඡා කරන නිබන්ධන මෙම වර්ගයට ඇතුළත් වෙනවා.
[28වන පිටුවේ කොටුව]
මිෂ්නා සහ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි
මතෙව් 12:1, 2: “එසමයෙහිදී [යේසු] සබත් දවසේදී ගොයම් කෙත් මැදින් [ගියේය; ඔහුගේ] ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය. ඵරිසිවරු ඒ දැක: [බලන්න], සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.” යේසුගේ ගෝලයන් කළ දෙය හෙබ්‍රෙව් ලියවිලි තහනම් කරන්නේ නැහැ. එනමුත්, සබත් දවසේදී රබ්බිවරුන් විසින් තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් 39ක ලැයිස්තුවක් අපිට මිෂ්නාහි සොයාගන්න පුළුවන්.—ෂාබාට් 7:2.
මතෙව් 15:3: “[යේසු] ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා [දෙවිගේ] ආඥාව කඩකරන්නේ මක්නිසාද?” මිෂ්නා මෙම ආකල්පය සනාථ කරයි. (සැන්හීඩ්‍රින් 11:3) අපට මෙසේ කියවිය හැකියි: “[ලිඛිත] ව්‍යවස්ථාවේ වචන [පැවැත්වීමට] වඩා, ලියන්නන්ගේ වචන [පැවැත්වීම] වඩාත් තදින් බලපායි. ව්‍යවස්ථාවේ වචන උල්ලංගනය කරමින්, ‘පිලාක්තරි පැළඳීමට බැඳීමක් නැහැයි’ පුරුෂයෙක් කිව්වොත්, ඔහුට දඬුවම් කළ යුතු නැහැ; [එනමුත්] ලියන්නන්ගේ වචනවලට යමක් එකතු කරමින්, ‘එය කොටස් පහකට බෙදිය යුතුයි’ [කියා ඔහු පැවසුවොත්] ඔහුට දඬුවම් කළ යුතුයි.”—ද මිෂ්නා, හ’බට් ඩැන්බි විසින්, 400 පිටුව.
එපීස 2:14: “වෙන්කිරීමේ මැද භිත්තිය බිඳදමා, . . . දෙගොල්ල එක්කළ [ඔහු] අපේ සමාදානයව [සිටියි].” මිෂ්නා මෙසේ පවසයි: “දේවමාළිගා කන්ද අභ්‍යන්තරයෙහි වියත් දහයක් උසට විහිදී ගිය ගරාදි වැටක් (සෝරෙග්) තිබුණා.” (මිඩ්ඩොට් 2:3) මෙම ස්ථානය පසු කර ගොස් අභ්‍යන්තර මළුවලට ඇතුල් වන්න අන්‍යජාතිකයන්ට අවසර තිබුණේ නැහැ. ප්‍රේරිත පාවුල් පො.යු. 60 හෝ 61දී එපීසවරුන්ට ලියද්දී, ඒ වන විටත් පැවති වැටට උපහැරණාත්මක ආකාරයකින් යොමු දැක්වූවා විය හැකියි. සංකේතාත්මක භිත්තිය, යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් බොහෝ කලක් තිස්සේ වෙන් කර තැබූ ව්‍යවස්ථා ගිවිසුම් වුණා. කෙසේවෙතත්, පො.යු. 33දී ක්‍රිස්තුස්ගේ මරණය නමැති පදනම මත, එම භිත්තිය අහෝසි වුණා.