ක්‍රිස්තුස්වහන්සේට පෙර ව්‍යවස්ථාව
“ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.”—ගීතාවලිය 119:97.
1. ආකාශයේ වස්තුවල ගමන පාලනය වන්නේ කුමකින්ද?
කුඩා කාලයේ පටන්, යෝබ් ඇතැම්විට තරු දෙස පුදුමයෙන් බලන්ට ඇත. සමහරවිට, මහ තරු රාශි ගැනත්, එම තරු රාශිවල ආකාශ ගමන පාලනය කළ නීති ගැනත් ඔවුන් දැනසිටි දේ ඔහුගේ දෙමාපියන් ඔහුට ඉගැන්වූවා විය හැක. ඒ මන්දයත්, පුරාණ කාලවල විසූ ජනයා මෙම අතිවිශාල අලංකාර තරු රාශිවල ඒකාකාර ගමන, වෙනස් වන ඍතු වර්ග කිරීම සඳහා යොදාගත් බැවිනි. යෝබ් පුදුමයෙන් මේ දේවල් දෙස කොපමණ වාර ගණනක් බැලුවත්, මෙම තරු රාශි එකට තැබූ බලශක්තිය කුමක්ද කියා ඔහු දැන සිටියේ නැත. එබැවින්, “ඔබට ස්වර්ගික නීති වැටහී ගොස් තිබෙනවාද?” කියා යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔහුගෙන් විමසූ විට, ඔහුට දීමට පිළිතුරක් නොතිබුණු තරම්ය. (යෝබ් 38:31-33, ද නිව් ජෙරූසලම් බයිබල්) ඔව්, තරු නීතිවලින් පාලනය වෙයි; මෙම නීති කෙතරම් සුවිශේෂ මෙන්ම සංකීර්ණද කිවහොත්, වර්තමානයේ විද්‍යාඥයන්ට ඒවා මුළුමනින්ම වැටහෙන්නේ නැත.
2. මුළු මැවිල්ලම නීති මගින් පාලනය වන බව පැවසිය හැක්කේ මන්ද?
2 යෙහෝවඃවහන්සේ විශ්වයේ උත්තරීතර නීති සම්පාදකයාණෝ වනසේක. උන්වහන්සේගේ සෑම ක්‍රියාවක්ම නීති මගින් පාලනය වෙයි. “මුළු මැවිල්ලේ කුළුඳුලාණෝ” වන උන්වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයා, භෞතික විශ්වයේ පැවැත්මටත් කලින් තම පියාණන්ගේ නීතිවලට විශ්වාසවන්තව කීකරු වෙමින් සිටියේය! (කොලොස්සි 1:15) දේවදූතයෝද නීතිවලින් මඟ පෙන්වීම ලබති. (ගීතාවලිය 103:20) සතුන් පවා නීති මගින් පාලනය වේ; මැවුම්කරු උන් තුළට කවා ඇති සහජ ආඥාවලට උන් කීකරු වෙද්දී ඒ බව පැහැදිලි වෙයි.—හිතෝපදේශ 30:24-28; යෙරෙමියා 8:7.
3. (අ) මනුෂ්‍යවර්ගයාට නීති අවශ්‍ය වන්නේ ඇයි? (ආ) යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජාතිය පාලනය කළේ කුමන මාධ්‍යයකින්ද?
3 මනුෂ්‍යවර්ගයා ගැන කුමක් පැවසිය හැකිද? අප බුද්ධිය, සදාචාරය හා ආත්මිකත්වය වැනි දීමනාවලින් ආශීර්වාද ලැබ සිටියත්, මෙම හැකියාවන් පාවිච්චි කරද්දී මඟ පෙන්වීම සඳහා යම් ප්‍රමාණයක දිව්‍ය නීති අපට තවමත් අවශ්‍යය. අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව පරිපූර්ණව සිටි බැවින්, මඟ පෙන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ නීති ස්වල්පයකි. ඔවුන් තම ස්වර්ගික පියාණන්ට දක්වන ප්‍රේමය, සතුටින් කීකරු වීම සඳහා හොඳ හේතුවක් විය යුතුව තිබිණ. එහෙත් ඔවුහු අකීකරු වූහ. (උත්පත්ති 1:26-28; 2:15-17; 3:6-19) ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගෙන් පැවත ආ අය පව්කාර ජීවීන් වූ අතර, මඟ පෙන්වීම සඳහා ඔවුන්ට තවත් නීති බොහොමයක් අවශ්‍ය විය. කාලයාගේ ඇවෑමෙන්, යෙහෝවඃවහන්සේ මෙම අවශ්‍යතාව ප්‍රේමනීයව සම්පූර්ණ කළසේක. උන්වහන්සේ නෝවාට සුවිශේෂ නීති දුන් අතර, තම පවුලේ අයට ඒවා භාර දීම නෝවාගේ වගකීම විය. (උත්පත්ති 9:1-7) සියවස් ගණනාවකට පසුව, දෙවියන්වහන්සේ මෝසෙස් මාර්ගයෙන්, අලුත් ඉශ්රායෙල් ජාතියට, සවිස්තර වූ ලිඛිත ව්‍යවස්ථා සංග්‍රහයක් දුන්සේක. යෙහෝවඃවහන්සේ මුළු ජාතියක්ම දිව්‍ය නීතියකින් පාලනය කළ මුල්ම අවස්ථාව මෙය විය. එම ව්‍යවස්ථාව සෝදිසි කර බැලීම, අදදින ක්‍රිස්තියානීන්ගේ ජීවිත තුළ දිව්‍ය නීතියට තිබෙන අතිවැදගත් වැඩ කොටස තේරුම්ගැනීමට උපකාරයක් වේ.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව—එහි අරමුණ
4. ආබ්‍රහම්ගේ තෝරාගත් පැවතෙන්නන්ට පොරොන්දු වංශය ජනිත කිරීම අභියෝගයක් වනු ඇත්තේ මන්ද?
4 ව්‍යවස්ථාව හොඳින් හැදෑරූ ශිෂ්‍යයෙක් වූ ප්‍රේරිත පාවුල් මෙසේ ඇසීය: “එසේ නම් ව්‍යවස්ථාව කුමට ද?” (ගලාති 3:19, නව අනුවාදය) මෙයට පිළිතුරක් දීමට නම්, ආබ්‍රහම්ගේ පවුලේ පෙළපත, සෑම ජාතියකටම මහත් ආශීර්වාද ගෙන දෙන වංශයක් බිහි කරන බව යෙහෝවඃවහන්සේ තම මිත්‍ර ආබ්‍රහම්ට පොරොන්දු වූ බව අප සිහි කළ යුතුයි. (උත්පත්ති 22:18) එනමුත් මෙහිදී අභියෝගයක් මතු විය: ආබ්‍රහම්ගේ තෝරාගත් පැවතෙන්නන් වූ ඉශ්‍රායෙලිතයෝ සියලුදෙනාම යෙහෝවඃවහන්සේට ප්‍රේම කළ පුද්ගලයෝ නොවූහ. කාලයාගේ ඇවෑමෙන්, බහුතරයක් මුරණ්ඩු කැරලිකාර අය බව ඔප්පු වූහ—සමහරුන්ව පාලනය කිරීම පවා අසීරු කාරණයක් විය! (නික්මයාම 32:9; ද්විතීය කථාව 9:7) එවන් අයට, දෙවියන්වහන්සේගේ සෙනඟ අතර සිටීමේ කාරණය තෝරාගත් දෙයක් වූවා නොව, උපතෙන් ලැබූ දෙයක් වූවා පමණි.
5. (අ) මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට ඉගැන්වූයේ කුමක්ද? (ආ) ව්‍යවස්ථාවට අවනත වූ අයගේ හැසිරීමට බලපාන ආකාරයෙන් එය සැලසුම් කර තිබුණේ කෙසේද?
5 එවන් සෙනඟකට වැඩිවර්ධනය වී පොරොන්දු වූ වංශයෙන් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? ඔවුන්ව රෝබෝවරුන් මෙන් මෙහෙයවන්නේ නැතුව, යෙහෝවඃවහන්සේ ව්‍යවස්ථාවක් මගින් ඔවුන්ට ඉගැන්වූසේක. (ගීතාවලිය 119:33-35; යෙසායා 48:17) ඇත්තෙන්ම, “ව්‍යවස්ථාව” සඳහා භාවිත වන හෙබ්‍රෙව් වචනය වන ටොහ්·රාහ්ʹහි තේරුම “ඉගැන්වීම” යන්නයි. ඉන් ඉගැන්වූයේ කුමක්ද? මූලිකව, ඉශ්රායෙල්වරුන්ට තම පව්කාර තත්වයෙන් ගැළවීමක් ලබා දෙන මෙසියස් අවශ්‍ය බව ඉන් උගන්වනු ලැබීය. (ගලාති 3:24) ව්‍යවස්ථාව දේවභයත් කීකරුකමත් ඉගැන්වීය. ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට එකඟව, අන් සියලු ජාතීන් සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කිරීම ඉශ්රායෙල්වරුන්ගෙන් අපේක්ෂා කෙරිණ. එබැවින් යෙහෝවඃවහන්සේගේ හොඳ නමේ වැඩිදියුණුවට හේතු වන උසස්, ගෞරවනීය හැසිරීමේ නීති සංග්‍රහයක් ඉගැන්වීම ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කෙරිණ; අවට සිටින ජාතීන්ගේ දූෂිත ක්‍රියාවලින් වෙන්ව සිටීමට එය ඉශ්රායෙල්ට උපකාරයක් වනු ඇත.—ලෙවී කථාව 18:24, 25; යෙසායා 43:10-12.
6. (අ) පනත් කීයක් පමණ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට ඇතුළත්ද, එය අධිකයයි නොසැලකිය යුත්තේ මන්ද? (පාදසටහන බලන්න.) (ආ) මෝසෙස්ගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීමෙන් අපට ලබාගත හැක්කේ කුමන තීක්ෂ්ණ බුද්ධියක්ද?
6 එසේනම්, මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අණපනත් රාශියක්—600කටත් වඩා—තිබීම ගැන පුදුම විය යුතු නැත.a මෙම ලිඛිත නීති සංග්‍රහයෙන් නමස්කාරය, ආණ්ඩු කිරීම, සදාචාරය, යුක්තිය, ආහාර හා සනීපාරක්ෂාව වැනි ක්ෂේත්රයන් පාලනය විය. කෙසේවෙතත්, ව්‍යවස්ථාව නිකම්ම, අනුකම්පා විරහිත රෙගුලාසි හා දැඩි ආඥාවල එකතුවක් වූ බව ඉන් අදහස් වේද? කිසිසේත් නැත! මෙම ව්‍යවස්ථා සංග්‍රහය අධ්‍යයනය කිරීමෙන් යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය පෞද්ගලිකත්වය ගැන මනා තීක්ෂ්ණ බුද්ධියක් ලබාගත හැක. සමහර උදාහරණ සලකා බලන්න.
දයාව හා දයානුකම්පාව පැහැදිලිව විදහාපෙන්වූ ව්‍යවස්ථාවක්
7, 8. (අ) ව්‍යවස්ථාව දයාව හා දයානුකම්පාව අවධාරණය කළේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේ, දාවිත් සම්බන්ධයෙන්, ව්‍යවස්ථාව දයාන්විතව අදාළ කළේ කෙසේද?
7 ව්‍යවස්ථාව විශේෂයෙන්ම පහත් හා අසරණ අය සඳහා දයාව හා දයානුකම්පාව අවධාරණය කළේය. ආරක්ෂාව ලබා දීම සඳහා වැන්දඹුවන් හා අනාථ දරුවන්ට විශේෂ අවධානයක් දෙනු ලැබීය. (නික්මයාම 22:22-24) බර වැඩ සඳහා යොදාගත් සතුන්ව කෲරකමින් ආරක්ෂා කරනු ලැබීය. මූලික දේපොළ අයිතිවාසිකම්වලට ගරු කරන ලදි. (ද්විතීය කථාව 24:10; 25:4) ව්‍යවස්ථාව මිනීමැරීම වෙනුවෙන් මරණ දණ්ඩනය ඉල්ලා සිටියත්, අත්වැරදීමකින් සිදු වූ ඝාතනයකදී දයාව පෙන්වීම සඳහා සැපයුමක් දී තිබිණ. (ගණන් කථාව 35:11) සමහර වැරදිවලට පනවන දණ්ඩනය තීරණය කිරීමට ඉශ්රායෙල්හි විනිසුරුවන්ට යම් නිදහසක් තිබුණු බව පැහැදිලි වන අතර, එයට වරදකරුවාගේ ආකල්පය බලපෑවේය.—නික්මයාම 22:7 හා ලෙවී කථාව 6:1-7, සසඳන්න.
8 අවශ්‍ය අවස්ථාවන්හි ව්‍යවස්ථාව ස්ථිරව අදාළ කළ නමුත්, හැකි සෑම අවස්ථාවකදීම දයාවෙන් අදාළ කිරීමෙන්, යෙහෝවඃවහන්සේ විනිසුරුවන්ට ආදර්ශයක් තැබූසේක. කාමමිථ්‍යාචාරයේ හා මිනීමැරීමෙහි යෙදුණු දාවිත් රජුට දයාව පෙන්වන ලදි. ඔහු දඬුවමක් නොලැබූ බව මින් අදහස් නොකෙරේ; මන්දයත් තම පාපය මුල් කරගෙන ඇති වූ බරපතළ ඵලවිපාකවලින් යෙහෝවඃවහන්සේ ඔහුව ආරක්ෂා නොකළ බැවිනි. එහෙත්, රාජ්‍යය හා සම්බන්ධ ගිවිසුම නිසාත්, දාවිත් ස්වභාවයෙන්ම දයාවන්ත මනුෂ්‍යයෙකු වූ නිසාත්, ගැඹුරින් පසුතැවිලි වූ හෘද ආකල්පයක් තිබූ නිසාත්, ඔහුව මරණයට පත් කළේ නැත.—1 සාමුවෙල් 24:4-7; 2 සාමුවෙල් 7:16; ගීතාවලිය 51:1-4; යාකොබ් 2:13.
9. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රේමයට තිබුණු වැඩ කොටස කුමක්ද?
9 ඊට අමතරව, මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ප්‍රේමය අවධාරණය විය. සැබෑවටම ප්‍රේමය අවශ්‍ය කළ නීති සංග්‍රහයක් වර්තමාන ලෝකයේ ජාතියකට තිබීම ගැන සිතා බලන්න! මෙසේ, මෝසෙස්ගේ ව්‍යවස්ථාව මිනීමැරීම තහනම් කළා පමණක් නොව, එහි මෙසේද ආඥා කර තිබිණ: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න.” (ලෙවී කථාව 19:18) විදේශීය වැසියන්ට අයුක්තිසහගතව සැලකීම ඉන් තහනම් කරනු ලැබුවා පමණක් නොව, එය මෙසේද ආඥා කළේය: “නුඹට මෙන් ඔහුට ප්රේමකරපන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.” (ලෙවී කථාව 19:34) කාමමිථ්‍යාචාරය සම්පූර්ණයෙන්ම තහනම් වූවා පමණක් නොව, පුරුෂයා තම භාර්යාවව සන්තෝෂ කළ යුතු බවට එය ආඥා කළේය! (ද්විතීය කථාව 24:5) ද්විතීය කථාව පොතේ පමණක්, ප්‍රේමය නමැති ගුණාංගය අඟවන හෙබ්‍රෙව් වචන, 20 වාරයක් පමණ පාවිච්චි කර තිබේ. යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බව, එසේ කරන බව, ඉන් ඉදිරියටත් එසේ කරන බව සහතික කළසේක. (ද්විතීය කථාව 4:37; 7:12-14) ඇත්තෙන්ම, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨතම ආඥාව මෙය විය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්රේමකරපන්න.” (ද්විතීය කථාව 6:5) මෙම ආඥාව හා තම අසල්වාසියාට ප්‍රේම කළ යුතු බවට දුන් ආඥාව මත මුළු ව්‍යවස්ථාවම පිහිටා තිබෙන බව යේසුස්වහන්සේ පැවසූසේක. (ලෙවී කථාව 19:18; මතෙව් 22:37-40) ගීතිකාකරු මෙසේ ලිවීම ගැන පුදුම විය යුතු නැත: “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.”—ගීතාවලිය 119:97.
ව්‍යවස්ථාව අනිසි ලෙස යොදාගැනීම
10. යුදෙව්වන් බොහෝදුරට මෝසෙස්ගේ ව්‍යවස්ථාව සැලකුවේ කෙසේද?
10 එසේනම්, පොදුවේ ඉශ්රායෙල්ට මෝසෙස්ගේ ව්‍යවස්ථාව සඳහා අඩු අගය කිරීමක් තිබීම මොනතරම් දුකක්ද! ජනයා ව්‍යවස්ථාවට අකීකරු විය; එය නොසලකා හැරියේය; නැතහොත් එය අමතක කර දැමුවේය. වෙනත් ජාතීන්ගේ පිළිකුල්සහගත ආගමික වතාවත් අනුගමනය කිරීමෙන් ඔවුහු නිර්මල නමස්කාරය දූෂ්‍ය කළෝය. (2 රාජාවලිය 17:16, 17; ගීතාවලිය 106:13, 35-38) එපමණක්ද නොව, වෙනත් ආකාරවලින්ද ඔවුහු ව්‍යවස්ථාවට ද්‍රෝහි වූහ.
11, 12. (අ) එස්රාගේ කාලයෙන් පසු, ආගමික නායකයන්ගෙන් සෑදුණු කණ්ඩායම් හානි සිදු කළේ කෙසේද? (කොටුව බලන්න.) (ආ) ‘ව්‍යවස්ථාව වටා වැටක් ගොඩනැඟීමට’ අවශ්‍ය බව පුරාණ රබ්බිවරුන්ට හැඟුණේ ඇයි?
11 බොහෝදුරට ව්‍යවස්ථාවට වැඩිම හානියක් සිදු කරනු ලැබුවේ, එය උගන්වමින් රැකගන්නා බව කියා සිටි අය විසිනි. පොදු යුගයට පෙර පස්වන සියවසේ විසූ විශ්වාසවන්ත ලියන්නා වූ එස්රාගේ කාලයෙන් පසුව මෙය සිදු විය. වෙනත් ජාතීන්ගෙන් එල්ල වූ දූෂ්‍ය කරවන බලපෑම්වලට එරෙහිව සටන් කළ එස්රා, ව්‍යවස්ථාව කියවීම හා ඉගැන්වීම අවධාරණය කළේය. (එස්රා 7:10; නෙහෙමියා 8:5-8) ඇතැම් ගුරුවරු එස්රාගේ අඩිපාරෙහි ගමන් කළ බව කියා සිටි අතර, “මහා සිනගෝගය” යනුවෙන් හඳුන්වනු ලැබූ ආයතනය පිහිටවූහ. එහි කියමන් අතරෙහි මෙම නියෝගය තිබිණ: “ව්‍යවස්ථාව වටා වැටක් ගොඩනඟන්න.” ව්‍යවස්ථාව වටිනා උද්‍යානයකට සමාන බවට මෙම ගුරුවරු තර්ක කළෝය. මෙම උද්‍යානයේ නීති උල්ලංගනය කිරීමෙන් එයට අනවසරයෙන් ඇතුල්වීමට කිසිවෙකුට ඉඩ නොදීම සඳහා ඔවුහු තවත් නීති, එනම් එවන් වරදක සමීපයට ළංවීම වැළැක්වීමට “වාචික ව්‍යවස්ථාව” සම්පාදනය කළහ.
12 යුදෙව් නායකයන්ට මෙලෙස හැඟීම සාධාරණ බවට ඇතමෙකු තර්ක කළ හැක. එස්රාගේ කාලයෙන් පසු, යුදෙව්වෝ විදේශීය ආධිපත්‍යයට, විශේෂයෙන්ම ග්‍රීසියේ ආධිපත්‍යයට යටත් වූහ. ග්‍රීක් දර්ශනයේ හා සංස්කෘතියේ බලපෑමට එරෙහිව කටයුතු කිරීම සඳහා, යුදෙව්වන් අතුරින් ආගමික නායකයන්ගෙන් සෑදුණු කණ්ඩායම් නැඟී සිටියහ. (10වන පිටුවේ කොටුව බලන්න.) කල්යත්ම ව්‍යවස්ථාවේ ගුරුවරුන් වීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් සමහරක් ලෙවී පූජක තන්ත්රය හා තරඟ වැදුණු අතර, ඔවුන්ව අභිභවා පවා ගියෝය. (මලාකි 2:7, සසඳන්න.) පොදු යුගයට පෙර 200 වන විට, වාචික ව්‍යවස්ථාව යුදෙව් ජීවිතය කෙරෙහි බලපවත්වන්ට විය. ලිඛිත ව්‍යවස්ථාවට සමාන සේ සැලකීම වැළැක්වීමට, මුලදී මෙම නීති ලිඛිතව දක්වනු ලැබුවේ නැත. එහෙත් ක්‍රමානුකූලව, දිව්‍යමය කල්පනාවට ඉහළින් මනුෂ්‍ය කල්පනාවට තැන දෙනු ලැබීය; එබැවින් අන්තිමේදී, “උද්‍යානයට” ආරක්ෂාව සපයාවියයි බලාපොරොත්තු වූ මෙම ‘වැටෙන්’ ඇත්තෙන්ම හානියක් සිදු විය.
ඵරිසිවාදයේ දූෂණය
13. නීති බොහොමයක් සෑදීම සාධාරණ බව ඇතැම් යුදෙව් ආගමික නායකයන් පෙන්නුම් කළේ කෙසේද?
13 ටෝරා නොහොත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව අංග සම්පූර්ණ වූ බැවින්, ඉස්මතු විය හැකි සෑම ප්‍රශ්නයකටම උත්තරයක් එහි තිබිය යුතු බවට රබ්බිවරු තර්ක කළෝය. මෙම අදහස සැබවින්ම ගෞරවාන්විත එකක් නොවීය. යථාර්ථයෙන්ම, රබ්බිවරුන්ට දක්ෂ මනුෂ්‍ය තර්කයන් උපයෝගි කිරීමට ඉන් ඉඩ කඩ සලසා දුන් අතර, පෞද්ගලික මෙන්ම බොළඳ ආකාරයේ සෑම ප්‍රශ්නයක් සඳහාම දේවවචනය නීති පැනවීමේ පදනමක් වන බවට වූ අදහස ඉන් ඉස්මතු විය.
14. (අ) යුදෙව් ආගමික නායකයන්, ජාතීන්ගෙන් වෙන්ව සිටීමේ ශුද්ධ ලියවිලිමය පනත, ශුද්ධ ලියවිල්ලට විරුද්ධ වූ අන්තයක් දක්වා ගෙනගියේ කෙසේද? (ආ) යුදෙව් ජනයාව මිථ්‍යාදෘෂ්ටික බලපෑම්වලින් ආරක්ෂා කිරීමට, රබ්බිවරුන්ගේ නීතිවලට නොහැකි වූ බව පෙන්නුම් කරන්නේ කුමක්ද?
14 ආගමික නායකයෝ නැවත නැවතත් ශුද්ධ ලියවිලිවලින් ප්‍රමිති ගෙන, ඒවා අන්තයටම ගෙන ගියහ. නිදසුනක් වශයෙන්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ජාතීන්ගෙන් වෙන්ව සිටිය යුතු බවට දිරිගැන්වූ නමුත්, සාධාරණ හේතුවක් නොමැතිව යුදෙව් නොවන සෑම දෙයකටම අවමන් කළ යුතු බව රබ්බිවරු දේශනා කළහ. අන්‍යජාතිකයන් “මෘග සංවාසයේ යෙදෙන බවට සැකයක්” තිබුණු බැවින්, යුදෙව්වෙකු අන්‍යජාතික නවාතැන්පොළක තම ගවයන් තැබීම තහනම් බව ඔවුහු ඉගැන්වූහ. දරු උපතකදී අන්‍යජාතික ස්ත්‍රියකට උපකාර කිරීමට යුදෙව් ස්ත්‍රියකට අවසර නොතිබිණ; මන්දයත් එමගින් ඇය “රූප නමස්කාරය වෙනුවෙන් දරුවෙකු බිහි කිරීමට සහාය” වනු ඇති බැවිනි. ග්‍රීක සරඹ ශාලා ගැන ඔවුන්ට ස්ථිර සැකයක් තිබූ නිසා, රබ්බිවරු සියලුම ශාරීරික ව්‍යායාම් තහනම් කළෝය. අන්‍යජාතික විශ්වාසයන්ගෙන් යුදෙව්වන්ව ආරක්ෂා කිරීමට මේ සියල්ල එතරම් උපකාරයක් නොවූ බව ඉතිහාසයෙන් ඔප්පු වේ. ඇත්තෙන්ම, ඵරිසිවරු ප්‍රාණයේ අමරණීයභාවය පිළිබඳ මිථ්‍යාදෘෂ්ටික ග්‍රීක් ධර්මය පවා ඉගැන්වීමට පටන්ගත්හ!—එසකියෙල් 18:4.
15. පවිත්‍ර වීම හා ව්‍යභිචාරය පිළිබඳ නීති යුදෙව් ආගමික නායකයන් විකෘති කර දැක්වූයේ කෙසේද?
15 ඵරිසිවරු පවිත්‍ර වීමේ නීතිද විකෘති කර දැක්වූහ. ඵරිසිවරුන්ට හැකියාවක් තිබුණා නම්, ඔවුන් ඉරත් පවිත්‍ර කරන බවට කියමනක් තිබිණ. ඔවුන්ගේ නීතියට අනුව, “වැසිකිළියට යෑම” ප්‍රමාද කිරීම මනුෂ්‍යයෙක්ව අපවිත්‍ර කරන්නේය! අත් සේදීම සංකීර්ණ චාරිත්‍ර විධියක් බවට පත් විය; ඊට මුලින්ම සේදිය යුත්තේ කුමන අතද, එමෙන්ම සේදිය යුත්තේ කෙසේද යන්න ඇතුළත් විය. ස්ත්‍රීන්ව විශේෂයෙන්ම අපවිත්‍ර කොට ගණන් ගන්නා ලදි. කිට්ටුම ඥාතියෙකුට “ළංනොවිය යුතු” බවට වූ ශුද්ධ ලියවිලිමය ආඥාවේ පදනම මත (මෙය ඇත්තෙන්ම ව්‍යභිචාරයට විරුද්ධව පනවන ලද නීතියකි), පුරුෂයෙකු තම භාර්යාවට පිටුපසින් ගමන් නොකළ යුතු බවට රබ්බිවරු තීරණය කළහ; ඇය සමඟ වෙළඳපොළෙහි අදහස් හුවමාරු කිරීමට ඔහුට අවසර තිබුණේ නැත.—ලෙවී කථාව 18:6.
16, 17. සතිපතා සබතක් පැවැත්වීමේ ආඥාව වාචික ව්‍යවස්ථාව වඩාත් පුළුල් කළේ කෙසේද, එමෙන්ම එහි ප්‍රතිඵලය කුමක් වීද?
16 වාචික ව්‍යවස්ථාවෙන් සබත් නීතියට ආත්මික වශයෙන් කළ සරදම විශේෂයෙන් කැපීපෙනෙන දෙයකි. දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ට දුන්නේ සරල ආඥාවකි: සතියේ හත්වන දවසේදී කිසි වැඩක් නොකරන්න. (නික්මයාම 20:8-11) කෙසේවෙතත්, තහනම්යයි සැලකිය යුතු වැඩ වර්ග 39ක් පමණ දැක්වීමට තරම් වාචික ව්‍යවස්ථාව දුරදිග ගියේය; ගැටයක් ගැසීම හෝ ලිහීම, මැහුමක් දෙකක් ගැසීම, හෙබ්‍රෙව් අක්ෂර දෙකක් ලිවීම ආදිය මීට ඇතුළත් විය. ඊළඟට මේ සෑම වර්ගයකටම කෙළවරක් නැති නීති තවත් අවශ්‍ය විය. අවසර දී තිබුණෙත් තහනම් කර තිබුණෙත් කුමන වර්ගයේ ගැටද? වාචික ව්‍යවස්ථාව හිතුවක්කාර රෙගුලාසි සමඟින් උත්තර දුන්නේය. සුව කිරීම තහනම් ක්‍රියාවක් හැටියට සලකනු ලැබීය. උදාහරණයක් හැටියට, සබත් දවසේ බිඳුණු අතක් හෝ කකුළක් හරිගැස්සීම තහනම් දෙයක් විය. දත් කැක්කුමකින් පෙළෙන මනුෂ්‍යයෙකුට තම ආහාරය රසගැන්වීමට විනාකිරි පාවිච්චි කරන්ට ඉඩ දී තිබුණු නමුත්, ඒ විනාකිරි දත් අතරින් උරා බීම කළ නොහැක්කක් විය. මන්දයත් එයින් සමහරවිට දත් කැක්කුම සුව වන හෙයිනි!
17 බොහෝ යුදෙව්වන්ගේ ඇස් හමුවේ, මනුෂ්‍යයා විසින් පනවන ලද නීති සියගණනකින් යටපත් වූ සබත් නීතියට එහි ආත්මික අර්ථය අහිමි වී ගියේය. “සබත් දවසේ ස්වාමියා” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සබත් දවසේදී සිත් ඇදගන්නා, හද උණුසුම් කරවන ප්රාතිහාර්යයන් සිදු කළ විට, ලියන්නන් හා ඵරිසිවරුන් එය වැදගත් කොට සැලකුවේ නැත. ඔවුන් කලබලයට පත් වූයේ, උන්වහන්සේ ඔවුන්ගේ රෙගුලාසි නොසලකා හැරිය බවක් පෙනෙන්ට තිබූ නිසා පමණි.—මතෙව් 12:8, 10-14.
ඵරිසිවරුන්ගේ මෝඩකමින් ඉගෙනීම
18. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වාචික ව්‍යවස්ථා හා සම්ප්‍රදායන් එකතු කිරීම කුමන බලපෑමක් වීද? පැහැදිලි කරන්න.
18 කෙටියෙන් කියනවා නම්, බෙල්ලන් නැවක කඳට සවිවන්නා සේම, අමතරව එකතු වූ මෙම නීති හා සම්ප්‍රදායන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට සම්බන්ධ වූවායයි අපට කිව හැක. නැවක අයිතිකරුවෙකු, හිසරදයක් වන මෙම සතුන්ව තම නැවෙන් ඉවත ලෑමට මහත් වෑයමක් දරන්නේ, උන් ඔහුගේ නැවේ ගමන් වේගය අඩාල කරමින්, මලකඩට ඔරොත්තු දෙන එහි තීන්තාලේපයට හානි පමුණුවන නිසාය. ඒ හා සමානව, වාචික ව්‍යවස්ථා හා සම්ප්‍රදායන් ව්‍යවස්ථාවට බාධාවක් වූ අතර, බෙලහීන කරවන අනිසි භාවිතයට එය ලක් විය. කෙසේවෙතත්, එවැනි අමතර නීති ඉවත් කරන්නේ නැතුව, රබ්බිවරු දිගටම තවත් ඒවා එකතු කළෝය. ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට මෙසියස් පැමිණි විට, “නැවෙහි” “බෙල්ලන්” කොපමණ සංඛ්‍යාවක් ඇලී සිටියාද කිවහොත්, එය පාවෙමින් තිබුණේ ඉතා අමාරුවෙනි! (හිතෝපදේශ 16:25, සසඳන්න.) ව්‍යවස්ථා ගිවිසුම ආරක්ෂා කරනවා වෙනුවට, එය උල්ලංගනය කිරීමේ මෝඩකමට මෙම ආගමික නායකයෝ හසු වූහ. කෙසේවෙතත්, නීතිවලින් යුත් ඔවුන්ගේ “වැට” අසාර්ථක වූයේ මන්ද?
19. (අ) “ව්‍යවස්ථාව වටා වැට” අසමත් වූයේ මන්ද? (ආ) යුදෙව් ආගමික නායකයන්ට සැබෑ ඇදහිල්ලේ ඌනතාවක් තිබූ බව පෙන්වන්නේ කුමක්ද?
19 දූෂණයට එරෙහිව කරන සටන නීති පොත්වල නොව, හෘදයෙහි කරන බව තේරුම්ගැනීමට යුදෙව්වාදයේ නායකයෝ අසමත් වූහ. (යෙරෙමියා 4:14) ජයග්‍රහණයට යතුර ප්‍රේමයයි—එනම් යෙහෝවඃවහන්සේ, උන්වහන්සේගේ නීතිය හා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සඳහා ප්‍රේමයයි. එවැනි ප්‍රේමයක් යෙහෝවඃවහන්සේ ද්වේෂ කරන දේ ද්වේෂ කිරීමට, එයට අනුරූප වන ද්වේෂයක් ජනිත කරයි. (ගීතාවලිය 97:10; 119:104) මෙලෙස ප්‍රේමයෙන් පිරුණු හදවත් ඇති අය, මෙම දූෂිත ලෝකයේදී යෙහෝවඃවහන්සේගේ නීතිවලට විශ්වාසවන්තව සිටිත්. එවැනි ප්‍රේමයකට දිරි දීමේ හා එය පුබුදුවාලීමේ අරමුණෙන් ජනයාට ඉගැන්වීමේ මහත් වරප්‍රසාදය යුදෙව් ආගමික නායකයන්ට තිබිණ. එසේ කිරීමට ඔවුන් අසමත් වූයේ ඇයි? ඔවුන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබූ බව පැහැදිලිය. (මතෙව් 23:23, NW පාදසටහන) යෙහෝවඃවහන්සේගේ ආත්මයේ බලය මනුෂ්‍යයන්ගේ හදවත්වලට ක්‍රියාශීලීව බලපෑ හැකි බවට විශ්වාසය ඔවුන් තුළ තිබුණා නම්, අනුන්ගේ ජීවිත දැඩි ලෙස පාලනය කිරීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති නොවනු ඇත. (යෙසායා 59:1; එසකියෙල් 34:4) ඔවුන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබූ නිසා, ඔවුන් ඇදහිල්ල ජනිත කළේද නැත; මනුෂ්‍යයන් සෑදූ ආඥාවලින් ඔවුහු ජනයා මත බර පැටවූහ.—මතෙව් 15:3, 9; 23:4.
20, 21. (අ) සම්ප්‍රදායන් වටා ගෙතූ සිතේ ස්වභාවයක් යුදෙව්වාදය මත ඇති කළේ කුමන සමස්ත බලපෑමද? (ආ) යුදෙව්වාදයට සිදු වූ දෙයින් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද?
20 එම යුදෙව් නායකයන් ප්‍රේමයට දිරිදුන්නේ නැත. ඔවුන්ගේ සම්ප්‍රදායන් හේතුවෙන්, ප්‍රදර්ශනය සඳහා යාන්ත්‍රික කීකරුකමකින් යුත්, බාහිර පෙනුමට අනවශ්‍ය තැනක් දුන් ආගමක් බිහි විය—මෙය කුහකකම සඳහා තෝතැන්නක් විය. (මතෙව් 23:25-28) ඔවුන්ගේ රෙගුලාසි නිසා අනුන්ව විනිශ්චය කිරීම සඳහා නොයෙක් ආකාර හේතු මතු විය. මෙසේ, උඩඟු, ඒකාධිපතීන් සේ කටයුතු කළ ඵරිසිවරුන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විවේචනයට ලක් කිරීම සාධාරණ බව පෙනී ගියේය. ව්‍යවස්ථාවේ මූලික අරමුණ ඔවුන්ගේ දෘෂ්ටියෙන් ඉවත්ව ගිය අතර, ඔවුහු එකම සැබෑ මෙසියස්වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුදෙව් ජාතියට මෙසේ කීමට උන්වහන්සේට සිදු විය: “බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.”—මතෙව් 23:38; ගලාති 3:23, 24.
21 අපට උගත හැකි පාඩම කුමක්ද? දැඩි, සම්ප්‍රදායන් වටා ගෙතූ සිතේ ස්වභාවයක් තිබීම යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරයට දිරි නොදෙන බව පැහැදිලිය! එහෙත්, ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිව දක්වා නැත්නම්, අදදින යෙහෝවඃවහන්සේට නමස්කාර කරන අයට කිසිම නීතියක් නොතිබිය යුතු බව මින් අදහස් කෙරේද? නැත. සම්පූර්ණ පිළිතුරක් සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව වෙනුවට අලුත්, වඩා හොඳ ව්‍යවස්ථාවක් පිහිටෙවූ අන්දම අපි ඊළඟට සලකා බලමු.
[පාදසටහන]
a ඇත්තෙන්ම, නූතන ජාතීන්ගේ නීති පද්ධති සමඟ සැසඳූ විට, ඊට ඇතුළත් වී තිබෙන්නේ ඉතා සුළු සංඛ්‍යාවකි. උදාහරණයක් හැටියට, 1990ගණන්වල මුල්භාගය වන විට, එක්සත් ජනපදයේ ෆෙඩරල් නීතිවලට පිටු 1,25,000ක් අවශ්‍ය වූ අතර, වාර්ෂිකව අලුත් නීති දහස් ගණනක් එකතු කරනු ලැබේ.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ මුළු මැවිල්ලම දිව්‍ය නීතියෙන් පාලනය වන්නේ කෙසේද?
◻ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ මූලික අරමුණ වූයේ කුමක්ද?
◻ මෝසෙස්ගේ ව්‍යවස්ථාව දයාව හා දයානුකම්පාව අවධාරණය කළ බව පෙන්නුම් කරන්නේ කුමකින්ද?
◻ යුදෙව් ආගමික නායකයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කෙළවරක් නැති නීති එකතු කළේ ඇයි, එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?
[10වන පිටුවේ කොටුව]
යුදෙව් ආගමික නායකයෝ
ලියන්නෝ: ඔවුහු එස්රාගේ අඩිපාරේ ගමන් කළ අය හා ව්‍යවස්ථාව පහදාදෙන්නන් වශයෙන් තමුන්වම සැලකූහ. ඒ හිස්ටරි ඔෆ් ද ජූස් යන පොතට අනුව, “ලියන්නෝ සියලුදෙනාම රදළයෝ නොවූහ; එමෙන්ම ව්‍යවස්ථාවෙන් ගුප්ත අර්ථ ඈඳාගැනීමට ඔවුන් දැරූ වෑයම, තේරුමක් නැති සූත්‍ර හා මෝඩ සීමා දක්වා පිරිහී ගියේය. මේවා චාරිත්‍ර වශයෙන් ස්ථාපිත වූ අතර, මේ චාරිත්‍ර අනුකම්පා විරහිත කෲරයෙකු බවට පත් විය.”
හැසිඩියවාදය: මෙම නමෙහි තේරුම නම් “භක්තිමත් අය” නොහොත් “ශුද්ධවන්තයන්” යන්නයි. පංතියක් වශයෙන් ඔවුන් ගැන මුලින්ම සඳහන් කරන ලද්දේ පො.යු.පෙ. 200දී පමණය; ඔවුහු දේශපාලනමය වශයෙන් බලවත් වූ, කෲර ග්‍රීක් බලපෑමට එරෙහිව උන්මත්තක ආකාරයකින් ව්‍යවස්ථාවේ නිර්මලභාවය රැකගත් අය වූහ. හැසිඩියවාදය කණ්ඩායම් තුනකට බෙදී ගියේය: ඵරිසිවරු, සද්දුසිවරු හා එස්සෙනිවරු.
ඵරිසිවරු: මෙම නම, “වෙන් කරන ලද්දවුන්” නොහොත් “බෙදුම්වාදීන්” සඳහා යොදන වචනවලින් පැමිණෙන බව සමහර විශාරදයෝ විශ්වාස කරති. අන්‍යජාතිකයන්ගෙන් වෙන්ව සිටීමට ඔවුහු සැබවින්ම උන්මත්තක ප්රයත්නයක් දැරූහ; එහෙත් වාචික ව්‍යවස්ථාවේ සංකීර්ණ කාරණා ගැන නොදැන සිටි පොදු යුදෙව් ජනයාට වඩා, ඔවුන්ගේ කණ්ඩායමට අයත් අය වෙනස් හා වඩා උසස් බවට ඔවුහු සැලකූහ. ඵරිසිවරුන් ගැන ඉතිහාසඥයෙක් මෙසේ පැවසීය: “සමස්තයක් වශයෙන් ගත් කල, ඔවුහු මනුෂ්‍යයන්ව ළමයින් මෙන් සැලකූහ; ඔවුහු චාරිත්‍රානුකූල වතාවත්වල ඉතා සුළු අංගවලට පවා යම් විධිමත් සැකැස්මක් දුන්හ.” විශාරදයෙක් මෙසේ පැවසීය: “සෑම තත්වයකටම බලපාන නීතික පනත් රැසක් ඵරිසිවරුන් බිහි කළ අතර, එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය වූයේ, ඔවුන් සුළු දේ ලොකු කොට දැක්වීමත් ලොකු දේ සුළු කොට දැක්වීමත්ය. (මතෙ. 23:23).”
සද්දුසිවරු: රදළ පංතියට හා පූජක තන්ත්රයට කිට්ටු සම්බන්ධකමක් දැක්වූ කණ්ඩායමකි. ලිඛිත ව්‍යවස්ථාවේ වලංගුභාවය වාචික ව්‍යවස්ථාවට නොතිබූ බව පවසමින්, ඔවුහු ක්‍රියාශීලීව ලියන්නන්ට හා ඵරුසිවරුන්ට විරුද්ධ වූහ. එම වාදය සම්බන්ධයෙන් ඔවුන් පැරදුණු බව මිෂ්නාහි වදන්වලින් පැහැදිලි වෙයි: “[ලිඛිත] ව්‍යවස්ථාවේ වදන් [පිළිපැදීමට] වඩා ලියන්නන්ගේ වදන් [පිළිපැදීම] ඊටත් වඩා තදින් බලපායි.” වාචික ව්‍යවස්ථාව ගැන අදහස් රාශියක් ඇතුළත් වූ තල්මුඩය මෙසේ පැවසීමට තරම් දුරදිග ගියේය: “ටෝරාහි වදන්වලට වඩා . . . ලියන්නන්ගේ වදන් අගනේය.”
එස්සෙනිවරු: වෙන් වූ ප්‍රජාවල හුදෙකලාවේ ජීවත් වූ තාපසයෝ කණ්ඩායමකි. දි ඉන්ටර්ප්රිටර්’ස් ඩික්ෂනරි ඔෆ් ද බයිබල් අනුව, එස්සෙනිවරුන් ඵරිසිවරුන්ටත් වඩා අන්ත විය; “ඇතැම් අවස්ථාවලදී ඔවුහු ඵරිසිවරුන්ගේ ගති ඉක්මවා යමින් කටයුතු කළෝය.”
[8වන පිටුවේ පින්තූරය]
යෝබ්ගේ දෙමාපියන් සමහරවිට තරු රාශි පාලනය කරන නීති ගැන ඔහුට ඉගැන්වූවා විය හැක