ධර්මිෂ්ඨකම වාචික සම්ප්‍රදායන් මගින් නොවේ
“නුඹලාගේ ධර්මමිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මමිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.”—මතෙව් 5:20.
යේසුස් වහන්සේ කන්දක් මත රාත්‍රිය ගතකර සිටී සේක. අහස තාරකාවන්ගෙන් පිරී තිබිණ. කුඩා නිශාචර සතුන් පඳුරු තුළ දඟලන හඬ ඇසිණ. නැගෙනහිර පැත්තේහි පිහිටා තිබූ ගලීලයේ මුහුදු රළ සෙමින් වෙරළ සිඹින්නට විය. නමුත් තමා අවට තිබූ සාමකාමී, ප්‍රියමනාප අලංකාරය ගැන වැඩි හැඟීමක් යේසුස් වහන්සේට නොතිබෙන්නට ඇත. තම ස්වර්ගීය පියාණන් වන, යෙහෝවඃ වහන්සේට යාච්ඤා කිරීමෙහි යේසුස් වහන්සේ රාත්‍රිය ගත කර සිටී සේක. උන් වහන්සේට තම පියාණන්ගේ මගපෙන්වීම අවශ්‍ය විය. ඉදිරියෙහි තිබූ දවස තීරණාත්මක විය.
2 නැගෙනහිර අහස ආලෝකමත් විය. පක්ෂීහු එහා මෙහා යමින්, සෙමින් නාද කරන්නට වූහ. වන මල් මඳ පවනෙහි මෘදු ලෙස පැද්දෙන්නට විය. හිරුගේ ප්‍රථම ආලෝක ධාරා ක්ෂිතිජයට ඉහළින් පැමිණි කල, යේසුස් වහන්සේ තම ගෝලයන් තමන් වෙතට කැඳවා, ඔවුන් අතරෙන් 12 දෙනෙක් තමාගේ ප්‍රේරිතවරුන් වීමට තෝරාගත් සේක. ඊළඟට, උන්වහන්සේ ඔවුන් සියල්ලන් සමඟ කන්දෙන් බසින්නට පටන්ගත් සේක. ගලීලය, තීර් සහ සීදොන්, යුදය සහ යෙරුසලමෙන් සමූහයා දැනටමත් පැමිණෙමින් සිටින බව දැකීමට හැකි විය. තමන්ගේ අසනීප සුවකර ගැනීමට ඔවුහු පැමිණියහ. බොහෝ දෙනෙක් උන් වහන්සේ ව ස්පර්ශ කරද්දී යෙහෝවඃ වහන්සේගේ බලය උන් වහන්සේගෙන් පිට වී ගොස් ඔවුන් ව සුව කළේ ය. උන් වහන්සේගේ වචන ද ඔවුන්ට අසන්නට ලැබුණු අතර, එය ඔවුන්ගේ කරදර වූ ආත්මවලට සුවය ගෙන දෙන ආලේපයක් මෙන් විය.—මතෙව් 4:25; ලූක් 6:12-19.
3 ඔවුන්ගේ වඩාත් චාර්ත්රානුකූල ඉගැන්වීමේ සැසිවාරවල දී, රබ්බිවරු වාඩි වී සිටීමට පුරුදු වි සිටියහ, තව ද පොදු යුගයේ 31 මෙම විශේෂ වසන්ත උදෑසනයේ දී, යේසුස් වහන්සේ කළේ එයයි, පෙනෙන ප්‍රකාරයට කඳු බෑවුමෙහි ඉහළ සමතලා ස්ථානයක දී ය. උන් වහන්සේගේ ගෝලයන් සහ සමූහය මෙය දුටු විට, යම්කිසි විශේෂ දෙයක් සැලසුම් කොට ඇතැයි ඔවුන් වටහාගෙන, ඔවුහු අපේක්ෂාසහගත ව උන් වහන්සේ අවට එක්රැස් වූහ. උන් වහන්සේ කථා කිරීමට පටන්ගත් කල, උන් වහන්සේගේ වචන ඇසීමට ඔවුහු අපේක්ෂාවෙන් සිටියහ; ටික වේලාවකට පසු උන් වහන්සේ අවසාන වූ විට, ඔවුන් ඇසු දෙයින් ඔවුහු මවිතයට පත් වූහ. ඊට හේතුව අපි බලමු.—මතෙව් 7:28.
දෙවර්ගයක ධර්මිෂ්ඨකම
4 මතෙව් 5:1–7:29 සහ ලූක් 6:17-49හි උන් වහන්සේගේ කන්ද උඩ දේශනාවේ දී, යේසුස් වහන්සේ පංති දෙකක් පැහැදිලි ව ම වෙනස් කොට දැක්වූ සේක: ලියන්නන් හා ඵරිසිවරුන් සහ ඔවුන් විසින් පීඩා කළ සාමාන්‍ය ජනයා ය. උන් වහන්සේ දෙවර්ගයක ධර්මිෂ්ඨකම ගැන කථා කළ සේක, ඵරිසිවරුන්ගේ කුහක ධර්මිෂ්ඨකම සහ දෙවියන් වහන්සේගේ සැබෑ ධර්මිෂ්ඨකම ය. (මතෙව් 5:6, 20) ඵරිසිවරුන්ගේ ආත්ම-ධර්මිෂ්ඨකම වාචික සම්ප්‍රදායන් මත මුල් බැස තිබිණ. ග්‍රීක් සංස්කෘතියේ ආක්‍රමණයෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට “ව්‍යවස්ථාව වටා වැටක්” ලෙස පොදු යුගයට පෙර දෙවන සියවසේ දී මේවා ඇති කරන ලදි. ඒවා ව්‍යවස්ථාවේ කොටසක් වශයෙන් සැලකීමට පැමිණ තිබිණ. සැබවින් ම, ලියන්නෝ ලිඛිත ව්‍යවස්ථාවට ඉහළින් පවා වාචික සම්ප්‍රදායන් සැලකූහ. මිෂ්ණා නැමති යුදෙව් ග්‍රන්ථය මෙසේ පවසයි: “ලිඛිත ව්‍යවස්ථාවේ වචන පැවැත්වීමට වඩා ලියන්නන්ගේ වචන [ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන්] පැවැත්වීමට වැඩි තදබල අදාළ වීමක් තිබේ.” එමනිසා, එය ආරක්ෂා කිරීමට “ව්‍යවස්ථාව වටා වැටක්” වෙනවා වෙනුවට, ඔවුන්ගේ සම්ප්‍රදායන් මගින් ව්‍යවස්ථාව දුර්වල කර එය අවලංගු කළේ ය, යේසුස් වහන්සේ පැවසූ පරිදී ය: “නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂාරන්නහුය.—මාර්ක් 7:5-9; මතෙව් 15:1-9.
5 යේසුස් වහන්සේට සවන් දීමට පැමිණි සාමාන්‍ය ජනයා “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්’’ ඔවුහු ආත්මික ලෙස දිලිඳුභාවයට පත් වී සිටියහ. (මතෙව් 9:36) ලියන්නෝ සහ ඵරිසිවරු අහංකාර උඩඟුකම ඇතුව ඔවුන්ට නින්දා කළ අතර, ‘අම්හා·’ආʹරෙට්ස් [‘amha·’aʹrets] නාහොත් දේශයේ ජනයා වශයෙන් ඔවුන් ව හඳුන්වා, වාචික සම්ප්‍රදායන් ඔවුන් නොපැවැත්වූ නිසා, නැවත නැගිටීමකට නුසුදුසු නූගත්, ශාපලත් පව්කාරයන් වශයෙන් ඔවුන්ට අවමන් කළහ. යේසුස් වහන්සේගේ කාලය වන විට එම සම්ප්‍රදායන් එතරම් ම අතිවිශාල වී තිබූ බැවින් එය ඉතා වෙහෙසකාරී හා පීඩාකාරී දෙයක් වී තිබිණ—කාලය වැය වෙන චාරිත්‍රානුකූල වත්පිළිවෙත් මගින් එතරම් බර වී තිබූ බැවින්—සාමාන්‍ය වැඩ කරන කිසිදු මනුෂ්‍යයෙකුට ඒවා පැවැත්විය නොහැකි විය. ‘මනුෂ්‍යයන්ගේ කරේ තබන මහත් බර’ වශයෙන් එම සම්ප්‍රදායන් යේසුස් වහන්සේ විසින් හෙලාදැකීම පුදුමයක් නොවේ.—මතෙව් 23:4; යොහන් 7:45-49.
6 එබැවින් යේසුස් වහන්සේ කඳු බෑවුමෙහි වාඩි වූ විට, උන් වහන්සේට සවන් දීමට සමීප වූයේ උන් වහන්සේගේ ගෝලයන් සහ ආත්මික වශයෙන් හාමතේ සිටී සමූහයා ය. උන් වහන්සේගේ ආරම්භක ප්රකාශයන්ගෙන් ඔවුන් පුදුම වන්නට ඇත. ‘සන්තෝෂය ඇත්තේ දිළින්දන්ට ය, සන්තෝෂය බඩගිනි ඇත්තන්ට ය, සන්තෝෂය හඬන්නන් හට ය, වෛර කරනු ලබන්නන්ට සන්තෝෂය.’ නමුත් දිළිඳු ව, බඩගින්නෙන්, හඬමින් සහ වෛර කරන ලදු ව සිටින විට සතුටු විය හැක්කේ කවරෙකුට ද? තවද ධනවත් වූ, තෘප්තියට පැමිණි, සිනාසෙන හා හොඳ කියනු ලබන්නා වූ අයට ශාපය ප්‍රකාශ කරන ලදි! (ලූක් 6:20-26) වචන ස්වල්පයකින්, යේසුස් වහන්සේ සියලු ම සම්ප්‍රදායික අගයන් හා පිළිගත් මනුෂ්‍ය ප්‍රමිති වෙනස් කළ සේක. “තමුන්ම උසස් කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේ” යයි යේසුස් වහන්සේගේ පසු කලෙක සඳහන් වචනවලට එකඟ ව, එය වනාහි විස්මජනක වෙනස් කිරීමකි.—ලූක් 18:9-14.
7 ආත්ම-තෘප්තියට පත් වූ ලියන්නන් සහ ඵරිසිවරුන්ට වෙනස් ව, මෙම විශේෂ උදෑසන යේසුස් වහන්සේ වෙතට පැමිණි අය තමන්ගේ කණගාටුදායක ආත්මික තත්ත්වය ගැන දැන සිටියහ. උන් වහන්සේගේ ආරම්භක වචන ඔවුන් ව බලාපොරොත්තුවෙන් පූර්ණ කරන්නට ඇත: “සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය; [තම ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ භාග්‍යවන්තයෝ ය. NW] මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.” උන් වහන්සේ තවදුරටත් මෙසේ පැවසූ විට ඔවුන්ගේ ස්ප්‍රීතුව මොනතරම් ඉහළ යන්නට ඇත්ද: “ධර්මමිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය”! (මතෙව් 5:3, 6; යොහන් 6:35; එළිදරව් 7:16, 17) ධර්මිෂ්ඨකමෙන් පූර්ණ විය, එසේ ය, නමුත් ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමෙන් නොවේ.
‘මනුෂ්‍යයන් ඉදිරියෙහි ධර්මිෂ්ඨවීම’ ප්‍රමාණවත් නොවේ
8 “නුඹලාගේ ධර්මමිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මමිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහු” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. (මතෙව් 5:17-20; මාර්ක් 2:23-28; 3:1-6; 7:1-13 බලන්න.) ඇතමෙක් මෙසේ සිතන්නට ඇත: ‘ඵරිසිවරුන්ට වඩා ධර්මිෂ්ඨ විය හැක්කේ කෙසේ ද? ඔව්හු නිරාහාර ව සිට යාච්ඤා කරමින් දසයෙන් කොටස දෙති, තව ද දානය දෙමින් ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීමට ජීවිත වැය කරති. ඔවුන්ගේ ධර්මිෂ්ඨකම අපට ඉක්මවා යා හැක්කේ කෙසේ ද?’ නමුත් ඊට වඩා වැඩි විය යුතු ව තිබිණ. මනුෂ්‍යයන් ඵරිසිවරුන් ව අතීශයින් අගයකොට සලකන්නට ඇත, එහෙත් දෙවියන් වහන්සේ විසින් නොවේ. තවත් අවස්ථාවක දී යේසුස් වහන්සේ මෙම ඵරිසිවරුන්ට මෙසේ පැවසූ සේක: “නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමන් ධර්මමිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන් වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.”—ලූක් 16:15.
9 ධර්මිෂ්ඨකම ලබාගැනීම සඳහා රබ්බිවරු තමන්ගේ ම නියෝග බිහිකර ගත්හ. ආබ්‍රහම්ගෙන් පැවත ඒමෙන් එක සුදුසුකමක් හිමි වේ: “අපගේ පියවූ ආබ්‍රහම්ගේ ගෝලයෝ මේ ලෝකය භුක්තිවිඳින අතර, පැමිණෙන ලෝකය උරුමකර ගනිති.” (මිෂ්ණා) තමා වෙතට පැමිණි ඵරිසිවරුන්ට යොහන් බව්තීස්ත මෙසේ අනතුරු අඟවූයේ මෙම සම්ප්‍රදායට එරෙහි ව විය හැක: “[එය පමණක් ප්රමාණවූවාක් මෙන් සිතා] ආබ්‍රහම් අපගේ පියාණෝයයි කියාගන්ට නොසිතා, පසුතැවිල්ලට සුදුසු ඵල උපදවාපල්ලා.”—මතෙව් 3:7-9; එමෙන් ම යොහන් 8:33, 39 බලන්න.
10 ධර්මිෂ්ඨකම ලබාගත හැකි දෙවනි මාර්ගය නම් දානය දීමෙන් යයි ඔව්හු පැවසූහ. පොදු යුගයට පෙර දෙවන සියවස තුළ දී භක්තිවන්ත යුදෙව්වරුන් විසින් ලියනු ලැබූ පසු කලක සම්මත කළ දෙකක් මෙම සම්ප්‍රදායික මතය පිළිබිඹු කරයි. තෝබිත් හි එක ප්‍රකාශයක් මෙසේ දක්නට තිබේ: “දන් දීම මරණයෙන් මුදයි. විවිධාකාර පාපයන්ගෙන් පවිත්‍ර කරයි.” (12:9, පොදු නව අනුවාදය) සිරාක්ගේ පොත (උපදේශකයා) මෙසේ එකඟ වෙයි: “ජලයෙන් ගින්නක් නිවේ. දන් දීමෙන් පව් කමා කරනු ලැබේ.”—3:30, පො. න. අ.
11 ඔවුන් ධර්මිෂ්ඨකම සෙවූ තුන්වන ආකාරය නම් ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් ය. මනුෂ්‍යයකුගේ ක්‍රියා බොහෝ සෙයින් යහපත් නම් ඔහු ගැලවෙනු ඇතැයි ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන් ඉගැන්නුවේ ය. ”විනිශ්චය සිදුවන්නේ යහපත් හෝ අයහපත් ක්‍රියාවල අතිරික්තය අනුව ය.” (මිෂ්ණා) විනිශ්චයේ දී අනුග්‍රහය ලැබීමට, ඔවුන්ගේ සැලකිල්ල වූයේ “පාප ඉක්මවා යන පින් අත්කර ගැනීමට ය.” ඔවුන්ගේ සුළු ක්‍රියා දෙවියන් වහන්සේ ගණන් තැබීමක් කරනවා යැයි සිතමින්—මනුෂ්‍යයෙකුගේ අයහපත් ක්‍රියා ඉක්මවා ඔහුගේ යහපත් ක්‍රියා එකක් වැඩි වූයේ නම්—ඔහු ගැලවෙනු ඇතැයි ඔව්හු සිතූහ! (23:23, 24) නිවැරදි මතයක් ඉදිරිපත් කරමින්, පාවුල් මෙසේ ලීවේ ය: “ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ධර්මමිෂ්ඨකරනු නොලබන්නේය.” (රෝම 3:20) සැබෑවට ම, ක්‍රිස්තියානි ධර්මිෂ්ඨකම ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවා යා යුතු ය!
“ [එය] කී බව නුඹලා අසා තිබේ”
12 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් යේසුස් වහන්සේ කලින් උපුටා දැක්වූ විට, උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “ලියා තිබේ.” (මතෙව් 4:4, 7, 10) නමුත් හය වතාවක් කන්ද උඩ දේශනාවේ දී, “එය ලියා තිබේය” යන වචන සමඟ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවලින් ලබාගත් දේවල් මෙන් පෙනෙන්ට තිබුණා වූ දේවල් උන් වහන්සේ හඳුන්වා දුන් සේක. (මතෙව් 5:21, 27, 31, 33, 38, 43) මන්ද? දේව ආඥාවලට පටහැනි වූ ඵරිසිවරුන්ගේ සම්ප්‍රදායන්ට අනුව අර්ථ කථනයක් දෙන ලද ශුද්ධ ලියවිලි උන් වහන්සේ සඳහන් කරමින් සිටී නිසා ය. (ද්විතීය කථාව 4:2; මතෙව් 15:3) මෙම මාලාවේ යේසුස් වහන්සේගේ හයවන සහ අන්තිම සඳහන් කිරීමේ දී මෙය පැහැදිලි වේ: “තාගේ අසල්වාසීයාට ප්‍රේමකරව, තාගේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ.” නමුත් “තාගේ සතුරාට වෛරකරව” යනුවෙන් පැවසූ කිසිදු පනතක් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තිබුණේ නැත. ලියන්නෝ හා ඵරිසිවරු එය පැවසූහ. ඔබගේ අසල්වාසියාට ප්‍රේම කරව යන පනතට ඒ ඔවුන් දුන් අර්ථ කථනය විය—ඔබගේ යුදෙව් අසල්වාසියාට මිස වෙන කිසිවෙකුට නොවේ.
13 ප්‍රකාශයන් හයකින් යුත් මෙම මාලාවේ පළමුවැන්න දැන් සලකා බලන්න. යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය.” (මතෙව් 5:21, 22) හදවතෙහි ඇති කෝපය දොස්තැබීමට මගපෙන්විය හැකි අතර, එතනින් හෙලාදකින විනිශ්චයන්ටත්, අන්තිමේ දී මිනීමැරීමේ ක්‍රියාවට ද මගපෙන්විය හැක. හදවත තුළ බොහෝ කලක් රඳවාගන්නා කෝපය මාරාන්තික විය හැක: “තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය.”—1 යොහන් 3:15.
14 යේසුස් වහන්සේ ඊළඟට මෙසේ පැවසූසේක: “කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” (මතෙව් 5:27, 28) ඔබ කාමමිථ්‍යාචාරය කිරීමට නොයන්නෙහි ද? එසේ නම් ඒ පිළිබඳ කල්පනා ඇති කර ගැනීමෙන් ඒ මාර්ගයෙහි යාම ආරම්භ කිරීමෙන් පවා වළකින්න. ඔබගේ හදවත ආරක්ෂා කර ගන්න, එබඳු දේවල උල්පත ඇත්තේ එතැන ය. (හිතෝපදේශ 4:23; මතෙව් 15:18, 19) යාකොබ් 1:14, 15 මෙසේ අවවාද කරයි: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.” සමහර විට මනුෂ්‍යයෝ මෙසේ පවසති: ‘අවසාන කරන්න බැරි දෙය පටන් ගන්න එපා.’ නමුත් මේ කාරණයේ දී අප මෙසේ පැවසිය යුතු ය: ‘නවත්වන්න බැරි දෙය පටන් ගන්න එපා.’ මරණ දඬුවම දීමේ තර්ජනය ඉදිරිපිට දී පවා විශ්වාස ව සිටී ඇතමෙක් පසු කලෙක දී ලිංගික දුරාචාරයේ කපටි පෙලඹීමට අසු වී තිබේ.
15 දැන් අපි යේසුස් වහන්සේගේ තුන්වන ප්‍රකාශයට පැමිණෙමු. උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “ඇරත්, තමාගේ භාර්‍ය්‍යාව අත්හරින [දික්කසාද කරන NW] කවරෙක් නුමුත් ඈට අත්හැරීමේ [දික්කසාද කිරීමේ NW] පත්‍රයක් දේවයි කියා තිබුණේය. මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්‍ය්‍යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරනු ලැබූ ඇය [එනම්, ලිංගික දුරාචාරය හැර වෙන කාරණයකට අත්හැරීම] විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.” (මතෙව් 5:31, 32) ඇතැම් යුදෙව්වරු තමන්ගේ භාර්යාවන් සමඟ ද්‍රෝහි ලෙස කටයුතු කර තිබූ අතර, ඉතා සුළු පදනමක් මත ඔවුන් ව දික්කසාද කළහ. (මලාකි 2:13-16; මතෙව් 19:3-9) “ඇය ආහාරයක් නරක් කළේ නම්” හෝ “ඈට වඩා පැහැපත් කෙනෙකු ඔහුට සම්බ වූයේ නම්” (මිෂ්ණා) සිය භාර්යාව දික්කසාද කිරීමට වාචික සම්ප්‍රදායන් මනුෂ්‍යයෙකුට අවකාශ දුන්නේ ය.
16 එවැනි ම අර්ථයකින්, යේසුස් වහන්සේ තවදුරටත් මෙසේ පැවසූ සේක: “බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරල්ලා.” මේ වන විට යුදෙව්වරු දිවිරීම අයුතු අන්දමින් භාවිතාකර තිබූ අතර, සුළු දේවල් ගැන බොහෝ දිවුරුම් දුන් නමුත් ඒවා ඉටු කළේ නැත. නමුත් යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.” උන් වහන්සේගේ සරල රීතිය වූයේ: සෑම විට ම සත්‍යවාදි වන්න, දිවුරුමක් මගින් ඔබගේ වචනය සහතික කිරීමට අවශ්‍ය නැත. දිවුරුම් ඉතා වැදගත් කාරණාවලට වෙන්කොට තබන්න.—මතෙව් 5:33-37; 23:16-22 සසඳන්න.
17 යේසුස් වහන්සේ ඊළඟට මෙසේ පැවසූ සේක: “ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමග පොරට නොසිටිල්ලා. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවාපන්න.” (මතෙව් 5:38-42) මෙහි දී තුවාල කිරීමේ අරමුණෙන් දෙන ලද පහරක් ගැන යේසුස් වහන්සේ අදහස් කළේ නැත, නමුත් නින්දා කිරීම සඳහා අතේ පිටුපසෙන් දෙන පහරකි. නින්දා හුවමාරුකර ගැනීමෙන් ඔබට ම අවමන්කර නොගන්න. නපුරට නපුර කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවට, යහපත්කම් කර “යහපත්කමෙන් නපුරුකම පරාජයකරපල්ලා.”—රෝම 12:17-21.
18 හයවන සහ අන්තිම උදාහරණයේ දී, රබ්බිවරුන්ගේ සම්ප්‍රදායෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව දුර්වල වූ ආකාරය යේසුස් වහන්සේ පැහැදිලි ව ම පෙන්වූසේක: “තාගේ අසල්වාසියාට ප්‍රේමකරව, තාගේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරපල්ලා, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරපල්ලා.” (මතෙව් 5:43, 44) මෝසෙස්ගේ ලිඛිත ව්‍යවස්ථාව ප්‍රේමයට සීමා දැමුවේ නැත: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න.” (ලෙවි කථාව 19:18) මෙම ආඥාව නිෂ්ප්රභා කළේ ඵරිසිවරුන් ය, තව ද එයින් ගැලවීමට සම්ප්‍රදායන් පැවැත්වූ අයට “අසල්වාසියා” යන යෙදුම ඔවුහු සීමා කළහ. එබැවින් ‘තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේමකරව’ යන ආඥාව යේසුස් වහන්සේ පසු කලෙක එක්තරා නීතිඥවරයෙකුට සිහිපත් කළ විට, එම මනුෂ්‍යයා මෙසේ ඇසීය: “මාගේ අසල්වාසියා කවුද?” යහපත් සමාරිවරයාගේ උපමාවෙන් යේසුස් වහන්සේ පිළිතුරු දුන්සේක—ඔබ ව අවශ්‍ය කරන තැනැත්තාට ඔබ අසල්වාසියෙකු වන්න.—ලූක් 10:25-37.
19 තමාගේ දේශනාව තවදුරටත් කරගෙන යමින්, යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: ‘දුෂ්ටයාට දෙවියන් වහන්සේ ප්‍රේම කළසේක. ඔවුන් කෙරෙහි හිරු උදාවීමට හා වැසී ඇති වීමට සැලැස්වූ සේක. ඔබට ප්‍රේම කරන අයට ප්‍රේම කිරීමෙහි කිසිදු අසාමාන්යකමක් නැත. දුෂ්ටයෝ එසේ කරති. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බව ඔප්පු කරන්න. උන් වහන්සේ ව අනුකරණය කරන්න. සියල්ලන්ට ම ඔබ ව අසල්වාසියෙක් කරගෙන ඔබගේ අසල්වාසියාට ප්‍රේම කරන්න. “මෙසේ නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා.” (මතෙව් 5:45-48) ජීවත්වීමට මොනතරම් අභියෝගාත්මක ප්‍රමිතියක් ද! තව ද ලියන්නන් සහ ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමේ මොනතරම් අඩුවක් තිබෙන බව එය දක්වත් ද!
20 එබැවින් යේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ කොටස් සඳහන් කරමින්, “මම නුඹලාට කියමි”, යනුවෙන් පැවසූ විට, උන් වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පසෙකින් තබා ඒ වෙනුවට යම්කිසි ආදේශයක් ඉදිරිපත්කරමින් සිටියේ නැත. නමුත් ඒ පිටුපස තිබූ ස්ප්‍රීතුව පෙන්වීමෙන් උන් වහන්සේ එහි බලය ගැඹුරුකරමින් හා පුළුල්කරමින් සිටී සේක. නොකඩවා වෛරය පැවැත්වීම මිනීමැරීම වශයෙන් සහෝදරත්වයේ උසස් නීතිය සලකයි. නොකඩවා කාමුක ආශාවක් පැවැත්වීම කාමමිථ්‍යාචාරය වශයෙන් පවිත්‍රත්වයේ උසස් නීතිය සලකයි. තේරුමක් නැති දික්කසාද කිරීම කාමමිථ්‍යාචාරික නැවත විවාහයන්ට මගපෙන්වන ක්‍රියාමාර්ගයක් වශයෙන් විවාහයේ උසස් නීතිය ප්‍රතික්ෂේප කරයි. පුන පුනා දිවිරීම අනවශ්‍ය බව සත්‍යයේ උසස් නීතිය දක්වයි. මෘදුකමේ උසස් නීතිය විසින් පළිගැනීම පසෙක තබයි. කිසිදු සීමාවක් නොදන්නා භක්තිවන්ත ප්‍රේමයක් ප්‍රේමයේ උසස් නීතිය අපේක්ෂා කරයි.
21 පළමු වතාවට එම නොඇසුවා වූ උපදේශයන් මනුෂ්‍යයන්ගේ කන්වලට ඇසෙද්දී ඒවා මොනතරම් බලපෑමක් ඇතිකරන්ට ඇත්ද! රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන්ට වහල්කම් කිරීමෙන් පැමිණෙන කුහක ආත්ම-ධර්ම්ෂ්ඨකම මුළුමනින් ම නොවැදගැන්මක් බවට පත් කිරීමට ඊට හැකි විය! නමුත්, ඊළඟ ලිපිය දක්වන පරිදි, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති සමූහයා එය අත්කර ගත හැකි ආකාරය, යේසුස් වහන්සේ තමන්ගේ කන්ද උඩ දේශනාව තවදුරටත් පවත්වද්දී, ඔවුන් ඉගෙනගනු ඇත. w90 10/1
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යුදෙව්වරුන් ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන් බිහි කළේ මන්ද?
◻ ලියන්නන්, ඵරිසිවරුන් හා සාමාන්‍ය ජනයාට සාපේක්ෂ ව, යේසුස් වහන්සේ සිදු කළ විස්මජනක වෙනස්වීම කුමක් ද?
◻ දෙවියන් වහන්සේ සමඟ ධර්මිෂ්ඨ තත්ත්වයක් ලබාගැනීමට ලියන්නන් හා ඵරිසිවරුන් අපේක්ෂා කළේ කෙසේ ද?
◻ වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය මගහැරීමට මාර්ගය කුමක් බව යේසුස් වහන්සේ පෙන්නුම් කළ සේක් ද?
◻ මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිටුපස ඇති ස්ප්‍රීතුව පෙන්වීමෙන්, යේසුස් වහන්සේ පිහිටෙවූ වඩා උසස් ප්‍රමිති කවරේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව දීමට ටිකකට පෙර සිදු වූයේ කුමක් ද?
3. යේසුස් වහන්සේ කථා කිරීමට පටන් ගත් විට ගෝලයන් හා සමූහයා අපේක්ෂාසහගත ව සිටියේ මන්ද?
4. (අ) වාදයට භාජනය වී තිබුණේ කුමන ධර්මිෂ්ඨකම් දෙවර්ගය ද? (ආ) වාචික සම්ප්රදායන්ගේ අරමුණ කුමක් වූයේ ද, සහ එය ඉටු වූයේ ද?
5. (අ) යේසුස් වහන්සේට සවන්දීමට පැමිණී සාමාන්‍ය ජනයාගේ තත්ත්වය කුමක් වී ද, සහ ලියන්නන් හා ඵරිසිවරු විසින් ඔවුන් ව සලකන ලද්දේ කෙසේ ද? (ආ) වැඩ කරන මනුෂ්‍යයන් කෙරෙහි වාචික සම්ප්‍රදායන් එතරම් බරක් වූයේ මන්ද?
6. යේසුස් වහන්සේගේ ආරම්භක ප්‍රකාශයන් එපමණ විස්මජනක වූයේ මන්ද, සහ තමන්ගේ ගෝලයන් සඳහා සහ ලියන්නන් හා ඵරිසිවරුන් සඳහා ඒවායින් ඇඟ වූ වෙනස්වීම කුමක් ද?
7. යේසුස් වහන්සේට සවන් දෙමින් සිටි ආත්මික ලෙස සාගින්නෙන් පෙළුනා වූ සමූහයා කෙරෙහි උන් වහන්සේගේ ආරම්භක වචනවලට කුමන බලපෑමක් තිබෙන්නට ඇත්ද?
8. ලියන්නන් හා ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා තමන්ගේ ධර්මිෂ්ඨකම වැඩිවිය හැක්කේ කෙසේදැයි ඇතමෙක් කල්පනා කරනු ඇත්තේ මන්ද, නමුත් එසේ විය යුත්තේ මන්ද?
9-11. (අ) දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ට ධර්මිෂ්ඨ තත්ත්වයක් ලැබෙනු ඇතැයි ලියන්නන් හා ඵරිසිවරුන් සිතූ එක ක්‍රමයක් කුමක් ද? (ආ) ධර්මිෂ්ඨකම ලබාගැනීමට ඔවුන් අපේක්ෂා කළ දෙවන ක්‍රමය කුමක් ද? (ඇ) ඔවුන් බලාපොරොත්තු තැබූ තුන්වන ක්‍රමය කුමක් ද, තව ද ප්‍රේරිත පාවුල් පැවසූ කුමකින් මෙය නිෂ්ප්රභා කළේ ද?
12. (අ) තමන්ගේ කන්ද උඩ දේශනාවේ දී යේසුස් වහන්සේ හෙබ්‍රෙව් ශුද්ධලියවිලි හඳුන්වා දෙන සාමාන්‍ය ක්‍රමයට කුමන වෙනසක් කළ සේක් ද, සහ මන්ද? (ආ) “කී බව නුඹලා අසා තිබේ” යන ප්‍රකාශයේ හයවන භාවිතයෙන් අප ඉගෙන ගන්නේ කුමක් ද?
13. සැබෑ මිනීමැරීමට මගපෙන්විය හැකි හැසිරීම පටන් ගැනීමට එරෙහි ව පවා යේසුස් වහන්සේ අවවාද කළේ කෙසේ ද?
14. කාමමිථ්‍යාචාරයට මගපෙන්විය හැකි මාර්ගයෙහි යාම ආරම්භ කිරීම නොකර සිටින්ට පවා යේසුස් වහන්සේ අපට උපදෙස් දුන්නේ කෙසේ ද?
15. යුදෙව්වරුන්ගේ වාචික සම්ප්‍රදායන් හි දික්කසාදය පිළිබඳ ව විස්තර කර තිබූ දෙයින් යේසුස් වහන්සේගේ මතය මුළුමනින් ම වෙනස් වූයේ කෙසේ ද?
16. දිවුරුම් දීම නිරර්ථක දෙයක් බවට පත් කළේ කුමන යුදෙව් සිරිත ද, සහ යේසුස් වහන්සේගේ මතය කුමක් වූයේ ද?
17. “ඇසට ඇසක්, දතට දතක්,” යන යේසුස් වහන්සේ ඉගැන්වූ වඩා හොඳ ක්‍රමය කුමක් වී ද?
18. (අ) ඔබගේ අසල්වාසියාට ප්‍රේම කිරීම පිළිබඳ නීතිය යුදෙව්වරු වෙනස් කළේ කෙසේ ද, නමුත් යේසුස් වහන්සේ මෙයට එරෙහි ව ක්‍රියා කළේ කෙසේ ද? (ආ) “අසල්වාසියා” යන අදාළ කිරීම සීමා කිරීමට කැමති වූ ඇතැම් නීතිඥයෙකුට යේසුස් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?
19. දුෂ්ටයා කෙරෙහි යෙහෝවඃ වහන්සේගේ කුමන ක්‍රියාව අප අනුගමනය කළ යුතු බවට යේසුස් වහන්සේ නිර්දේශ කළ සේක් ද?
20. මෝසෙස්ගේ ව්‍යවස්ථාව පසෙකින් තබනවා වෙනුවට, යේසුස් වහන්සේ එහි බලපෑම පුළුල්කර සහ ගැඹුරුකර එය වඩාත් උසස් තත්ත්වයක තැබුවේ කෙසේ ද?
21. රබ්බිවරුන්ගේ ආත්ම-ධර්මිෂ්ඨකම පිළිබඳ ව, යේසුස් වහන්සේගේ උපදේශයන් හෙළි කළේ කුමක් ද, තව ද සමූහයා තවත් ඉගෙන ගනු ඇත්තේ කුමක් ද?