දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ රාජ්‍යය සොයමින් සිටින්න
“නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; [සොයමින් සිටින්න, NW] මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—මතෙව් 6:33.
ලියන්නෝ සහ ඵරිසිවරු තමන්ගේ ම ආකාරයට ධර්මිෂ්ඨකම සෙවූහ, නමුත් එය දෙවියන් වහන්සේගේ ක්‍රමය නොවීය. එපමණක් නොව, ඔවුන් යහපත් ක්‍රියාවල යෙදුන විට, මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුහු ඒවා කුහක ප්‍රදර්ශනයක් බවට පත් කළහ. ඔවුන් සේවය කරමින් සිටියේ දෙවියන් වහන්සේට නොව, නමුත් තමන්ගේ ම අහංකාර නිෂ්ඵලකමට ය. එබඳු වංක හැසිරීමට එරෙහි ව යේසුස් වහන්සේ මෙසේ අවවාද කළ සේක: “මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගනිල්ලා. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.”—මතෙව් 6:1.
2 දිලිඳුන්ට දෙන අය යෙහෝවඃ වහන්සේ අගය කරන සේක—නමුත් ඵරිසිවරු කළාක්මෙන් කටයුතු කරන අය නොවේ. ඔවුන් ව අනුකරණය කිරීමට එරෙහි ව යේසුස් වහන්සේ තම ගෝලයන්ට මෙසේ අවවාද කළ සේක: “එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.”—මතෙව් 6:2.
3 ‘ඔවුන්ගේ විපාකය ලැබී තිබේ’ යන්න සඳහා යොදා ඇති අ·පේʹඛෝ [a·peʹkho] යන ග්‍රීක් වචනය බොහෝ විට ව්‍යාපාරික ලදුපත්වල දක්නට තිබිණ. කන්ද උඩ දේශනාවේ දී එහි භාවිතයෙන් අඟවන්නේ ‘ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබෙන බව ය,’ එනම් ඔවුන්ගේ විපාකයේ ලදුපත ඔවුන් අත්සන් කර තිබේ: නියම වශයෙන් ම ඒ සඳහා ඔවුන්ට දැනටමත් ලදුපතක් දී තිබුණාක්මෙන්, ඔවුන්ගේ විපාකය ලැබීමට ඇති අයිතිය ඉටු වී තිබිණ.” (ඇන් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස්, ඩබ්ලිව්. ඊ. වයින් විසිනි) දිළිඳුන් සඳහා දීමට ඇති ත්‍යාග විථිවල දී ප්‍රසිද්ධියේ පොරොන්දු කරන ලදහ. සිනගෝගවල දී දානපතියන්ගේ නාම ප්‍රචාරය කරන ලදි. නමස්කාරය තුළ දී රබ්බිවරුන්ගේ ආසනවලට යාබද ආසන දීමෙන් විශාල ප්‍රමාණයන් දුන් අයට විශේෂ ලෙස ගෞරව කරන ලදි. මනුෂ්‍යයන් විසින් දැකීමට ඔවුහු දුන්හ; මනුෂ්‍යයෝ ඔවුන් ව දුටු අතර, ඔවුන්ට ගෞරව කරන ලදහ; ඔවුන්ගේ දීමෙන් පැමිණියා වූ විපාකය සඳහා ලදුපතෙහි ගෙවා ඇතැයි, “සම්පුර්ණයෙන් ම ගෙවා ඇත” යයි යන්න දැමිය හැකි විය. යේසුස් වහන්සේගේ තත්ත්වය මොනතරම් වෙනස් ද! “නුඹේ දානය රහස්ව තිබෙන පිණිස” දෙන්න, “එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.”—මතෙව් 6:3, 4; හිතෝපදේශ 19:17.
දෙවියන් වහන්සේ සතුටු කරන යාච්ඤා
4 තමන් වෙතට යොමු කරන ලද යාච්ඤා යෙහෝවඃ වහන්සේ අගය කරන සේක—නමුත් ඵරිසිවරු කළාක්මෙන් නොවේ. යේසුස් වහන්සේ තම අනුගාමිකයන්ට මෙසේ පැවසූ සේක: “නුඹලා යාච්ඤා කරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරල්ලා. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.” (මතෙව් 6:5) තමන් කොතැනක සිටියත්, නියමිත වේලාවල දී දිනපතා කටපාඩමෙන් පැවසීමට බොහෝ යාච්ඤා ඵරිසිවරුන්ට තිබිණ. තර්කානුකූල ව, ඔවුන් ඒවා පෞද්ගලික ව දීමට තිබිණ. කෙසේ වුවද, යාච්ඤා කිරීමේ පැය පැමිණි විට, පැති හතරකින් ගමන් කරන මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස, ‘මංසන්ධිවල සිටගෙන’ සිටීමට ඔවුහු සැලසුම් කළහ.
5 ව්‍යාජ ශුද්ධකමක් ප්‍රදර්ශනය කරමින්, ඔවුහු “වංචා පිණිස දීර්ඝ යාච්ඤා” සිදුකළහ. (ලූක් 20:47) එක වාචික සම්ප්රදායක් මෙසේ පැවසී ය: “පුරාණ ධාර්මික මනුෂ්‍යයෝ ටෙෆිල්ලා [Tefillah, යාච්ඤාව] පැවසීමට පෙර පැයක් බලාසිටීමට පුරුදු වී සිටියහ.” (මිෂ්ණා) ඒ වන විට ඔවුන්ගේ ශ්‍රද්ධාව බලා ඒ ගැන මවිතවීමට සෑම කෙනෙකුට ම හැකිවනු ඇත! එබඳු යාච්ඤා ඔවුන්ගේ හිස්වලට වඩා ඉහළ ගියේ නැත. නිෂ්ඵල ලෙස නැවත නැවත නොකියා, රහසිගත ව යාච්ඤා කිරීමට යේසුස් වහන්සේ පැවසූ සේක, තව ද සරල ආදර්ශ යාච්ඤාවක් උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. (මතෙව් 6:6-8; යොහන් 14:6, 14; 1 පේතෘස් 3:12) යේසුස් වහන්සේගේ ආදර්ශ යාච්ඤාව පළමු දේවල් පළමු තැන දමයි: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත . . . කරනු ලැබේවා.” (මතෙව් 6:9-13) අදදින දෙවියන් වහන්සේගේ නාමය දැන සිටින්නේ ස්වල්ප දෙනෙකි, එය ගෞරවයට පත් කිරීමට ඇති වුවමනාව ඊටත් අඩු ය. එමගින් ඔවුහු උන් වහන්සේ නාමයක් නැති දෙවි කෙනෙකු බවට පත් කරති. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒවා? එය දැනටමත් මෙහි ය, තමන් තුළ ඇතැයි බොහෝ දෙනෙක් සිතති. උන් වහන්සේගේ කැමැත්ත සිදුවීමට ඔවුන් යාච්ඤා කළ හැක, නමුත් වැඩි දෙනෙක් තමන්ගේ කැමැත්ත කරති. — හිතෝපදේශ 14:12.
6 නිරාහාර ව සිටීම යෙහෝවඃ වහන්සේ පිළිගන්නා සේක—නමුත් ඵරිසිවරු එය සිදුකළ පරිදි නොවේ. ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ දානය දීම හා යාච්ඤා කිරීම මෙන්, ඔවුන්ගේ නිරාහාර ව සිටීමත් නිරර්ථක දෙයක් හැටියට යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක : “නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටිල්ලා. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණ විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.” (මතෙව් 6:16) නිරාහාර ව සිටින විට දී ඵරිසිවරුන් විසින් තමන් ව ම සේදීම හෝ ආලේප කිරීම නොකර තමන්ගේ හිස්වල අළු තවරා ගත යුතු බවට ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන් ඇඟවී ය. නිරාහාර ව නොසිටින විට, යුදෙව්වරු නිතිපතා තමන් ව ම සෝදාගෙන තමන්ගේ ශරීරවල තෙල් ආලේප කළහ.
7 නිරාහාර ව සිටීම පිළිබඳ ව, යේසුස් වහන්සේ තම අනුගාමිකයන්ට මෙසේ පැවසූ සේක : “නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහිසිගතව සිටින නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස, නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදාගනින්න.” (මතෙව් 6:17, 18) යෙසායාගේ දවසේ සිටි ප්‍රතිපත්ති කඩකරන පසුපසට ඇදී ගිය යුදෙව්වරු ඔවුන්ගේ නිරාහාර ව සිටීමට, තමන්ගේ ආත්මවලට වේදනා ඇතිකර ගැනීමට, සහ ගෝණි රෙදි හා අළුවල හිඳගෙන සිටීමට ද සතුටු වූහ. නමුත් ඔවුන් විසින් පීඩිතයන් නිදහස් කිරීම ද, කුසගින්නෙන් සිටින්නන් පෝෂණය කිරීම ද, ඉඳුම් හිටුම් නැත්තන්ට ඉඳුම් හිටුම් ලබාදීම සහ නිර්වස්ත්‍ර ව සිටින්නන්ට වස්ත්‍ර ලබාදීම ද යෙහෝවඃ වහන්සේ අපේක්ෂා කළ සේක.—යෙසායා 58:3-7.
ස්වර්ගික වස්තුව රැස්කර ගන්න
8 ඔවුන් විසින් ධර්මිෂ්ඨකම ලුහුබැඳීමේ දී, ලියන්නෝ හා ඵරිසිවරු දෙවියන් වහන්සේගේ අනුමැතිය දිනාගන්නා ආකාරය නොසලකා හැරිය අතර, මනුෂ්‍යයන්ගේ ප්‍රසාද ගෞරවය දිනාගැනීම කෙරෙහි අවධානය යොමු කළහ. මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් කෙරෙහි ඔවුන් එතරම් ම නියැලි සිටිය බැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය පසෙකින් තැබූහ. ස්වර්ගික වස්තුවට වඩා භූමික තත්ත්වය කෙරෙහි ඔවුහු තමන්ගේ හදවත් යොමු කළහ. වසර ගණනාවකට පසු ක්රිස්තියානිවරයෙකු බවට පත් වූ ඵරිසිවරයෙකු ලියූ සරල සත්‍යය ඔවුහු නොසලකා හැරියහ: “නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරපල්ලා.”—කොලොස්සි 3:23, 24.
9 යෙහෝවඃ වහන්සේ උනන්දුවක් දක්වන්නේ උන් වහන්සේට ඔබ දක්වන භක්තිය කෙරෙහි මිසක, ඔබගේ බැංකු ගිණුම කෙරෙහි නොවේ. ඔබගේ වස්තුව තිබෙන තැන ඔබගේ හදවත තිබෙන බව උන් වහන්සේ දැනසිටින සේක. මලකඩ හා කාවන්ට ඔබගේ වස්තුව විනාශ කර දැමිය හැකි ද? මැටි බිත්ති හාරා ඒවා සොරකම් කිරීමට සොරුන්ට හැකි ද? නැතහොත් ආර්ථික අස්ථීරත්වයක් ඇති මෙම නවීන කාලවල දී, එහි මිල දී ගැනීමේ ශක්තිය හීන කිරීමට උද්ධමනයට හැකි ද නැතහොත් කොටස් වෙළඳපොළේ බිඳවැටීම් නිසා එය විනාශ කළ හැකි ද? ඉහළ යන අපරාධ ප්‍රමාණය නිසා ඔබගේ වස්තුව සොරා ගනු ඇත්ද? ස්වර්ගයෙහි රැස්කර තිබේ නම් එසේ නොවනු ඇත. දෙවියන් වහන්සේගේ රාජ්‍යය හා උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඔබගේ ඇස—මුළු ශරීරය ම ආලෝක කරන පහනකි—යොමුකර තිබෙන්නෙහි නම් එසේ නොවනු ඇත. වස්තු අතුරුදහන්වීමේ මාර්ගයක් තිබේ. “පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න; ඒ අදහස අත්හැරපන්න. නැති වී යන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.” (හිතෝපදේශ 23:4, 5) එබැවින් වස්තුව නිසා නින්ද නැති කරගන්නේ මන්ද? “පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.” (දේශනාකාරයා 5:12) යේසුස් වහන්සේගේ අවවාදය මතක තබාගන්න: “දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.”—මතෙව් 6:19-24.
කනස්සල්ල දුරුකරන ඇදහිල්ල
10 යෙහෝවඃ වහන්සේට වුවමනා කරන්නේ ඔබගේ ඇදහිල්ල උන් වහන්සේ කෙරෙහි තැබීමට මිසක ද්‍රව්‍යමය වස්තු කෙරෙහි තැබීමට නොවේ. “ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” (හෙබ්‍රෙව් 11:6) යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15) බැංකුවෙහි මුදල් මිලියන ගණනක් තිබුණත් අසනීප වූ පෙනහලු ක්‍රියාත්මක කරවීමට හෝ විඩාවට පත් හදවත පොම්ප කරවීමට නුපුළුවන. එබැවින් යේසුස් වහන්සේ තවදුරටත් කන්ද උඩ දේශනාවේ දී මෙසේ පැවසූ සේක: “එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?”—මතෙව් 6:25.
11 වාචික උපමා ගැන යේසුස් වහන්සේ දක්ෂ්යයෙකු වූ සේක. උන් වහන්සේ කොතැනක බැලුවත් උන් වහන්සේ ඒ ගැන කල්පනා කළ සේක. ස්ත්‍රියක් පහනක් දල්වා එය පහන් රුක උඩ තබනවා උන් වහන්සේ දුටු අතර, උන් වහන්සේ එය උපමාවක් බවට පත් කළ සේක. එඬේරෙක් එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරනවා උන් වහන්සේ දුටු සේක; එය උපමාවක් බවට පත් විය. වෙළඳ ස්ථානයෙහි ළමයින් සෙල්ලම් කරන ආකාරය උන් වහන්සේ දුටු සේක; එය උපමාවක් බවට පත් විය. තව ද කන්ද උඩ දේශනාවේදීත් කාරණය එය විය. ශාරීරික අවශ්‍යතා ගැන උන් වහන්සේ කථා කරද්දී, පක්ෂීන් එහා මෙහා පියාසර කිරීම හා කඳු බෑවුම් වසාගෙන තිබූ මානෙල් යනාදියෙහි උන් වහන්සේ උපමා දුටු සේක. පක්ෂීන් වපුරා කපා ගන්නෙහි ද? නැත. මානෙල් නූල් කටින්නෙහි ද? නැත. දෙවියන් වහන්සේ ඒවා සෑදූ සේක. කෙසේ වුවද, පක්ෂීන් හා මානෙල්වලට වඩා ඔබ වටින්නේ ය. (මතෙව් 6:26, 28-30) උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් දුන්නේ ඒවා සඳහා නොව, ඔබ සඳහා ය.—යොහන් 3:16.
12 තමන් ව ම පෝෂණය කිරීමට හා ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට තම අනුගාමිකයන් වැඩ නොකළ යුතු බවක් උන් වහන්සේ ඔවුන්ට පවසමින් සිටියේ නැත. (දේශනාකාරයා 2:24; එපීස 4:28; 2 තෙසලෝනික 3:10-12, බලන්න.) එම වසන්ත උදෑසන දී, පක්ෂීහු ආහාර පහුරුගාමින්, පෙම් බස් දොඩමින්, කූඩු සදමින්, බිත්තරවල වාඩිවෙමින්, සිය පැටවුන්ට කවමින් කඩිසර ව ක්‍රියා කරමින් සිටියහ. මල් ද ඒවායේ මුල් ජලය හා ඛණිජ සෙවීම සඳහා පස් තුළට යවමින් ද ඒවායේ කොළ හිරු එළිය දෙසට යවමින් ද කඩිසර ව කටයුතු කළේ ය. ඒවා මියයාමට කලින් පරිණතභාවය ලබා, පීදී ඒවායේ ඇට ලබාදීමට තිබුණි. ඒවා වැඩකරමින් සිටි, නමුත් කනස්සලු වූයේ නැත. පක්ෂීන්ට හා මානෙල්වලට දෙවියන් වහන්සේ සපයනසේක. ‘මඳ ඇදහිල්ල ඇත්තෙනි, උන් වහන්සේ ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබට නොසපයන සේක් ද?’—මතෙව් 6:30.
13 එබැවින් ඇදහිල්ල ඇතුව සිටින්න. කනස්සලු නොවන්න. “කනස්සලුවීමෙන් තමාගේ උසට [ජීවිතයේ ආයුෂවලට NW] එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද” යයි යේසුස් වහන්සේ ඇසූ සේක. (මතෙව් 6:27) ජීවිතයේ ආයුෂ පිළිබඳ කාලයේ මිම්මකට, දුර ප්‍රමාණය මනින මිම්මක් වූ, රියනක් ගැන යේසුස් වහන්සේ සඳහන් කළේ මන්ද? සමහර විට බයිබලය නිතර ම මනුෂ්‍යයන්ගේ ආයු කාලය ගමනකට සමාන කරමින්, ‘පව්කාරයන්ගේ මාර්ගය,’ “ධර්මිෂ්ඨයන්ගේ මාවත,” ‘විනාශයට යන පළල් පාර,’ සහ ‘ජීවනයට යන අවහිර සහිත පාර,’ වැනි ප්‍රකාශයන් භාවිතා කරන නිසා ය. (ගීතාවලිය 1:1; හිතෝපදේශ 4:18; මතෙව් 7:13, 14) දිනපතා අවශ්‍යතා ගැන කනස්සලුවීමෙන් යමෙකුගේ ජීවිතය අල්පයකින්වත්, “රියනකින්වත්,” වැඩි කළ නොහැක. නමුත් ඔබගේ ජීවිතය කෙළවරක් නැති සැතපුම් මිලියන ගණනාවකින් දීර්ඝ කළ හැකි ක්‍රමයක් තිබේ. ‘කුමක් කමුද කුමක් බොමුද කුමක් අදිමුද’ කියා කනස්සලුවීමෙන් නොවේ, නමුත් ඇදහිල්ල ඇතුව යේසුස් වහන්සේ අපට පවසන දෙය කිරීමෙන් ය: “නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—මතෙව් 6:31-33.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අත්කරගැනීම
14 උන් වහන්සේගේ කන්ද උඩ දේශනාවේ ආරම්භක වගන්තියේ දී, තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන අයට ස්වර්ග රාජ්‍යය අයිති වන බව යේසුස් වහන්සේ පැවසූ සේක. සතර වන වගන්තියේ දී, ධර්මිෂ්ඨකමට සාපිපාස ඇත්තෝ තෘප්තිමත් වනු ඇතැයි උන් වහන්සේ පැවසූ සේක. යේසුස් වහන්සේ මෙහි දී රාජ්‍යය හා යෙහෝවඃ වහන්සේගේ ධර්මිෂ්ඨකම පළමු තැනට දමන සේක. කන්ද උඩ දේශනාවේ තේමාව ඒවා ය. සියලු මනුෂ්‍යවර්ගයාගේ අවශ්‍යතාවලට පිළිතුර ඒවා ය. නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අත්කර ගත හැක්කේ කුමන ක්‍රමයෙන් ද? ඒවා නොකඩවා සොයමින් සිටීමට අපට හැක්කේ කෙසේ ද? ලියන්නන් හා ඵරිසිවරුන් කළ ආකාරයට නොවේ. මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන ඔවුහු රාජ්‍යය හා ධර්මිෂ්ඨකම සෙවූහ, ඊට වාචික සම්ප්‍රදායන් ද ඇතුළත් යයි ඔවුහු පවසා සිටියහ, මක්නිසා ද ලිඛිත ව්‍යවස්ථාව හා වාචික සම්ප්‍රදායන් සීනයි කන්දේ දී දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට දෙන ලදැයි ඔවුහු විශ්වාස කළහ.
15 මේ පිළිබඳ ව ඔවුන්ගේ සම්ප්රදාය මෙසේ පැවසී ය: “සීනයි කන්දෙන් මෝසෙස් ව්‍යවස්ථාව [අධෝපාඨය, “වාචික ව්‍යවස්ථාව”] ලබා, එය යෝෂුවාට භාරදුන්නේ ය, සහ යෝෂුවා එය වැඩිමහල්ලන්ට ද, වැඩිමහල්ලන් එය අනාගතවක්තෘවරුන්ට ද; තව ද අනාගතවක්තෘවරු මහා සිනගෝගයේ මනුෂ්‍යයන්ට භාර කළහ.” කල්යාමේ දී ලිඛිත ව්‍යවස්ථාවට පවා ඉහළින් ඔවුන්ගේ වාචික ව්‍යවස්ථාව උත්කර්ෂවත් කරන ලදි: “[ලිඛිත] ව්‍යවස්ථාවේ වචන ඔහු උල්ලංඝනය කළෙහි [නම්] ඔහු දඬුවම් ලැබිය යුතු නැත,” නමුත් “ඔහු ලියන්නන්ගේ වචනවලට [වාචික සම්ප්‍රදායන්] යමක් එකතු කළෙහි නම්, ඔහු දඬුවම් ලැබිය යුතු ය.” (මිෂ්ණා) ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන් සීනයි කන්දේ දී ආරම්භ වූයේ නැත. සැබවින් ම, ක්‍රිස්තුස් වහන්සේට සියවස් දෙකකට පමණ කලින් ඒවා ඉක්මනින් එකතුවීමට පටන් ගන්නා ලදි. ඔවුහු මෝසෙස්ගේ ලිඛිත ව්‍යවස්ථාවට, එකතුකර, එයින් අඩුකර, එය නිෂ්ප්රභා කළහ.—ද්විතීය කථාව 4:2; 12:32, සසඳන්න.
16 දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ ව්‍යවස්ථාව කරණකොටගෙන නොව නමුත් ඊට පිටතින් ය: “ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ. නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරන ලද්දේය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන” ය. (රෝම 3:20-22) එබැවින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ය—මෙයට ‘ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් ඕනෑ තරම් සාක්ෂි’ තිබිණ. මෙසියානු අනාවැකි යේසුස් වහන්සේ තුළ ඉටුවිය. උන් වහන්සේ ව්‍යවස්ථාව ද ඉටු කළ සේක; උන් වහන්සේගේ වධ කණුවට ඇණ ගැසීමෙන් එය ඉවත් කරන ලදි.—ලූක් 24:25-27, 44-46; කොලොස්සි 2:13, 14; හෙබ්‍රෙව් 10:1.
17 එමනිසා, ධර්මිෂ්ඨකම සෙවීමෙහි යුදෙව්වරුන්ගේ අසාර්ථකත්වය ගැන ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේම ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය. මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.” (රෝම 10:2-4) ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිබඳ ව පාවුල් මෙසේ ද ලීවේ ය: “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.”—2 කොරින්ති 5:21.
18 මියයන මෙසියස්වරයෙකු දුර්වල නිෂ්ඵලකමක් ලෙස යුදෙව්වරු සැලකූහ. එබඳු මෙසියස්වරයෙකු මෝඩකමක් වශයෙන් ග්‍රීක දර්ශනවාදීහු සමච්චල් කළහ. කෙසේ වුවද, එය පාවුල් ප්‍රකාශ කළ පරිදි විය: “යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්රීක්වරු ප්‍රඥාව සොයති. නුමුත් අපි කුරුසයෙහි [වධ කණුවෙහි NW] ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමක්ය; නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්රඥාවත්ය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.” (1 කොරින්ති 1:22-25) ක්‍රිස්තුස් යේසුස් වහන්සේ වනාහි දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාවේ ප්‍රකාශවීමකි, තව ද කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම හා සදාකාල ජීවනයේ මාධ්‍යය වේ. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.”—ක්‍රියා 4:12.
19 විනාශයෙන් බේරී සදාකාල ජීවනය අත්කර ගැනීමට අපි යන්නෙමු නම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය හා උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අප සොයමින් සිටිය යුතු බව ඊළඟ ලිපිය දක්වනු ඇත. එය කළ යුත්තේ යේසුස් වහන්සේගේ කීම්වලට සවන් දීමෙන් පමණක් නොව නමුත් ඒවා කිරීමෙන් ය. w90 10/01
◻ යුදෙව් ආගමිකයන් දාන දීම, යාච්ඤා, සහ නිරාහාර ව සිටීම හැරෙව්වේ කුමකට ද?
◻ ඔබගේ වස්තුව රැස්කිරීමට ඇති සුරක්ෂිත ස්ථානය කොතැන ද?
◻ අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා කෙරෙහි කනස්සලුවීම අප මගහැරිය යුත්තේ මන්ද?
◻ තමන්ගේ වාචික සම්ප්රදායන්ගේ ආරම්භය ගැන යුදෙව්වරු සිදුකළ බොරු ප්‍රකාශය කුමක් ද?
◻ දෙවියන් වහන්සේගේ රාජ්‍යය හා උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ කුමන ක්‍රමයෙන් ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. ලියන්නන් හා ඵරිසිවරු යහපත් වූ ක්‍රියා හැරෙව්වේ කුමකට ද, තව ද තම අනුගාමිකයන්ට යේසුස් වහන්සේ දුන් අනතුරු ඇඟවීම කුමක් ද?
3. (අ) ලියන්නන් හා ඵරිසිවරුන්ගේ දීමට ඔවුන්ට මුළුමනින් ම ගෙවනු ලැබුවේ කෙසේ ද? (ආ) දීම පිළිබඳ ව යේසුස් වහන්සේගේ ස්ථාවරය වෙනස් වූයේ කෙසේ ද?
4. ඵරිසිවරුන්ගේ යාච්ඤා නිසා ඔවුන් වංචාකරුවන් යයි යේසුස් වහන්සේ හැඳින්වූයේ මන්ද?
5. (අ) ඵරිසිවරුන්ගේ යාච්ඤා දෙවියන් වහන්සේ විසින් නොඅසන්නට හේතු වූයේ තවත් කුමන ව්‍යවහාරයන් නිසා ද? (ආ) තමන්ගේ ආදර්ශ යාච්ඤාවේ දී යේසුස් වහන්සේ පළමු තැන දැමුවේ කුමන දේවල් ද, අද දින සිටින මනුෂ්‍යයන් ඊට එකඟ වී සිටිත් ද?
6. යුදෙව්වරුන්ගේ නිරාහාරයන් නිරර්ථක යනුවෙන් යේසුස් වහන්සේ හෙලා දුටුවේ මන්ද?
7. (අ) නිරාහාර ව සිටින විට යේසුස් වහන්සේගේ ගෝලයන් හැසිරිය යුත්තේ කෙසේ ද? (ආ) නිරාහාර ව සිටීම පිළිබඳ ව, යෙසායාගේ දවසේ දී යෙහෝවඃ වහන්සේට අවශ්‍ය වූයේ කුමක් ද?
8. දෙවියන් වහන්සේගේ අනුමැතිය දිනාගන්නා ආකාරය ගැන නොසලකා හරින්ට ලියන්නන්ට හා ඵරිසිවරුන්ට සැලැස්වූයේ කුමක් ද, ඔවුන් නොසලකා හැරියේ, පසුකලෙක පාවුල් විසින් ප්‍රකාශ කරන ලද කුමන ප්‍රතිපත්තිය ද?
9. භූමික වස්තුවට තර්ජනය කළ හැකි අන්තරායන් කවරේ ද, නමුත් සැබෑ වස්තුව කුමකින් ආරක්ෂා වනු ඇත්ද?
10. ද්‍රව්‍යමය වස්තු වෙනුවට දෙවියන් වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල තැබීම එතරම් වැදගත් වන්නේ මන්ද, එමෙන් ම යේසුස් වහන්සේ දුන් උපදේශය කුමක් ද?
11. තමන් වහන්සේගේ උපමාවලින් බොහොමයක් යේසුස් වහන්සේ සොයා ගත්තේ කොතැනින් ද, කන්ද උඩ දේශනාවේ දී මෙය විදහා දැක්වූයේ කෙසේ ද?
12. පක්ෂීන් හා මල් පිළිබඳ උපමාවලින් අදහස් වූයේ යේසුස් වහන්සේගේ ගෝලයන් වැඩ නොකර සිටිය යුතු බවක් ද? (ආ) වැඩ කිරීම හා ඇදහිල්ල පිළිබඳ ව යේසුස් වහන්සේ අදහස් කළ කාරණය කුමක් ද?
13. (අ) යමෙකුගේ ආයු කාලය වැඩි කිරීම ගැන කථා කරද්දී යේසුස් වහන්සේ විසින් රියනක් භාවිතා කිරීම සුදුසු වන්නේ මන්ද? (ආ) ඔබගේ ජීවිතය කෙළවරක් නැති සැතපුම් මිලියන ගණනක් මෙන් දීර්ඝ කළ හැක්කේ කෙසේ ද?
14. (අ) කන්ද උඩ දේශනාවේ තේමාව කුමක් ද? (ආ) ලියන්නන් හා ඵරිසිවරු රාජ්‍යය හා ධර්මිෂ්ඨකම සෙව්වේ කුමන වැරදි ආකාරයට ද?
15. (අ) යුදෙව්වරු පවසන පරිදි, ඔවුන්ගේ වාචික සම්ප්‍රදායන් ආරම්භ වූයේ කවදා ද, සහ ඔවුන් ඒවා මෝසෙස්ගේ ලිඛිත ව්‍යවස්ථාවට ඉහළින් දැමුවේ කෙසේ ද? (ආ) මෙම සම්ප්‍රදායන් සැබෑවට ම ආරම්භ වූයේ කවදා ද, තව ද මෝසෙස්ගේ ව්‍යවස්ථාව කෙරෙහි කුමන බලපෑමක් ඇතුව ද?
16. මනුෂ්‍යවර්ගයා සඳහා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ කෙසේ ද?
17. ප්‍රේරිත පාවුල් පවසන පරිදි, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැනගැනීම යුදෙව්වරු අතපසු කළේ කෙසේ ද?
18. යුදෙව් සම්ප්‍රදායන් පවත්වන්නන් ‘ක්‍රිස්තුස් වහන්සේගේ ඇණගැසීම සැලකුවේ කෙසේ ද, ‘ග්‍රීක දර්ශනවාදීන්’, ‘කැඳවනු ලැබුවන්’ එය සැලකුවේ කෙසේ ද?
19. ඊළඟ ලිපිය කුමක් දක්වනු ඇත්ද?
මිනිසුන් විසින් දකිනු පිණිස වීථි මංසන්ධිවල සිට යාච්ඤා කිරීමට ඵරිසිවරු කැමති වූහ
පුනරීක්ෂණ ප්‍රශ්න