පාඨකයන්ගෙන් ප්‍රශ්න
යේසුස්වහන්සේගේ මව බවට පත්වූ මරියා ඇගේ ඥාතියෙකු වූ එලිසබෙත් බැහැදැකීමට ගිය කල ගර්භිණීව සිටියාද?
එසේය, පෙනෙන ප්‍රකාරයට ඈ ගර්භිණීව සිටියාය.
ලූක් පළමු පරිච්ඡේදයේ, පූජක සෙකරියස්ගේ භාර්යාව වූද, යොහන් (බව්තීස්ත) වැදුවාවූද එලිසබෙත්ගේ ගර්භිණීභාවය ගැන අපි මුලදී කියවමු. “[ඇගේ] සවෙනි මාසෙයේදී, . . . ගාබ්‍රියෙල් නම් දූතයා” මරියා බැහැදැකීමට පැමිණ, ඇය ගැබ්ගෙන, “මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ” බිහි කරන බව දැනුම් දුන්නේය. (ලූක් 1:26, 27, 30-33) එහෙත් මරියා ගර්භිණී වූයේ කවදාද?
එවෙලේම මරියා ඇගේ ගැබ්ගත් ඥාතියා වූ එලිසබෙත් බැහැදැකීමට යුදය වෙතට ගිය බව ලූක්ගේ වාර්තාව විස්තර කරයි. කාන්තාවන් දෙදෙනා හමුවූ විට, එලිසබෙත්ගේ ගර්භාශයේ සිටි ළදරුවා (යොහන්) පැන නැංගේය. ‘මරියාගේ ගර්භයේ ඵලයට’ යොමු දැක්වූ එලිසබෙත්, මරියාව “මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන්” හැටියට ඇමතුවාය. (ලූක් 1:39-44) එසේනම්, මරියා එවිටමත් පිළිසිඳගෙන සිටි බවත්, එලිසබෙත් බැහැදැකීමට ගිය විට ඇය ගර්භිණීව සිටි බවත් නිගමනය කිරීම තර්කානුකූලය.
ලූක් 1:56හි මෙසේ කියවේ: “මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.” දිනදර්ශනයේ නියමිත දිනය දක්වාම නිශ්චිත ගණනය කිරීමක් මෙම පදයෙහි නොදැක්වේ. එහි “තුන් මසක් පමණ” යයි පැවසේ, ඒ වන විට එලිසබෙත් ගැබ්ගෙන නවවන මාසයේ සිටිනු ඇත.
එලිසබෙත්ගේ ගර්භිණීභාවයේ අවසාන භාගයේදී ඇයට උපකාරවත් වීමෙන් පසු, මරියා නාසරෙත්හි ඇගේ නිවස බලා පිටත් වූවාය. එලිසබෙත් (යොහන්) ප්‍රසූත කළ පසු, සමහර නෑදෑයන් පවා ඇතුළත්ව, අමුත්තන් බොහෝදෙනෙකු පැමිණෙයි කියා මරියා තේරුම්ගත්තා විය හැක. ගැබ්ගෙන සිටි අවිවාහක වූ තරුණ ස්ත්‍රියකට එය අසීරු නොහොත් ව්‍යාකූල කරවන යමක් විය හැක. මරියා නාසරෙත් බලා පිටත්ව ගිය විට ඇය කොපමණ කල් ගර්භිණීව සිටියාද? ඇය එලිසබෙත් සමඟ සිටියේ “තුන් මසක් පමණ” බැවින්, මරියා නැවතත් නාසරෙත් බලා පිටත්ව යද්දී, ඇය සමහර විට ගැබ්ගෙන තුන්වන මාසයේ අග භාගයේදී හෝ සිව්වන මාසයේ මුල් භාගයේදී සිටියා විය හැක.