යෙහෝවඃවහන්සේ—උගන්වන දෙවිකෙනෙකි
“සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝය.”—යොහන් 6:45.
1. යේසුස්වහන්සේ දැන් කපර්ණවුමෙහි කරමින් සිටින්නේ කුමක්ද?
මෑතකදී ප්රාතිහාර්යය සිදු කර තිබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ගලීල මුහුද අසල කපර්ණවුමේ සිනගෝගයකදී දැන් උගන්වමින් සිටිනවා දකින්ට ලැබේ. (යොහන් 6:1-21, 59) “මා ස්වර්ගයෙන් බැස ආ[වේ]” යයි උන්වහන්සේ පවසන විට එය අවිශ්වාස කරන බොහෝදෙනෙක් මෙසේ කොඳුරති: “මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොම[ද]”? (යොහන් 6:38, 42) ඔවුන්ට තරවටු කරමින් යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනසේක: “මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.”—යොහන් 6:44.
2. නැවත නැගිටීම පිළිබඳ යේසුස්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කිරීමට තිබෙන පදනම කුමක්ද?
2 මොනතරම් පුදුමාකාර පොරොන්දුවක්ද—දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය කරන විට, අන්තිම දවසේ නැවත නැගිටුවනු ලැබීම! අපට මෙම පොරොන්දුව විශ්වාස කළ හැක, මන්ද මෙය පියාණන් වන යෙහෝවඃවහන්සේ විසින් සහතික කර තිබේ. (යෝබ් 14:13-15; යෙසායා 26:19) ඇත්තවශයෙන්ම, මළවුන් නැඟිටුවනු ඇති බවට උගන්වන යෙහෝවඃවහන්සේ “අසමසම ගුරුවරයාණෝය.” (යෝබ් 36:22, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) පියාණන්ගේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරමින්, යේසුස්වහන්සේ ඊළඟට මෙසේ පවසනසේක: “සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ.”—යොහන් 6:45.
3. අප සලකා බලන්ට යන්නේ කිනම් ප්‍රශ්නද?
3 ස්ථිරවම, “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති” යයි අනාගතවක්තෘ යෙසායා ලියූ අය අතර සිටීම වරප්‍රසාදයක් වනවා ඇත. (යෙසායා 54:13) අපට එසේ සිටිය හැකිද? උන්වහන්සේට දරුවන් මෙන් සිට උන්වහන්සේගේ ඉගැන්වීම ලැබ ඇත්තේ කවුරුන්ද? යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ලබාගැනීමට අප දැනගත යුතු සහ අප ක්‍රියා කළ යුතු, උන්වහන්සේගේ අතිවැදගත් ඉගැන්වීම් මොනවාද? අතීතයේ උන්වහන්සේ ඉගැන්වූයේ කෙසේද, තවද අදදිනත් උන්වහන්සේ ඒ අයුරින්ම උගන්වනසේක්ද? අප සලකා බලන්ට යන ප්‍රශ්න මේවාය.
පියාණෝ, ගුරුවරයාණෝ, ස්වාමිපුරුෂයාණෝ
4. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් ලද උන්වහන්සේගේ පළමු පුත්‍රයන් කවුරුන් වීද?
4 මිනිසෙකු වීමට පෙර ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්ව, එනම් යේසුස්වහන්සේව මවනු ලැබු විට, යෙහෝවඃවහන්සේ පළමු වරට පියාණන්ද, ගුරුවරයාණන්ද බවට පත්වූසේක. මෙම තැනැන්වහන්සේ “වාක්‍යයාණෝ” ලෙසද හැඳින්වේ, මන්ද උන්වහන්සේ වනාහි යෙහෝවඃවහන්සේගේ ප්‍රධාන කතාකරන්නා වන බැවිනි. (යොහන් 1:1, 14; 3:16) මෙම වාක්‍යයාණෝ “[පියාණන්වහන්සේ] වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව” සේවය කරමින්, තම පියාණන්ගේ ඉගැන්වීම්වලින් මැනවින් ඉගෙනගත්තේය. (හිතෝපදේශ 8:22, 30) ඇත්තවශයෙන්ම, ‘දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන්’ ඇතුළු පියාණන්වහන්සේ මැවූ වෙනත් සියලු දේවල් සඳහා නියෝජිතයා හෙවත් උපකරණය බවට උන්වහන්සේ පත්වූසේක. දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලැබීමට ඔවුන් කොතරම් ප්‍රීති වූවා විය යුතුද! (යෝබ් 1:6; 2:1; 38:7; කොලොස්සි 1:15-17) පසුව පළමු මිනිසා වූ ආදම්ව මවන ලදි. ඔහුද ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු’ වූයේය, එමෙන්ම, යෙහෝවඃවහන්සේ ඔහුට ඉගැන්වූ බව බයිබලය හෙළි කරයි.—ලූක් 3:38; උත්පත්ති 2:7, 16, 17.
5. ආදම් අහිමි කරගත් අනගි වරප්‍රසාදය කුමක් වීද, එහෙත් යෙහෝවඃවහන්සේ ඉගැන්වූයේ කාටද, මන්ද?
5 හිතා මතා කැමැත්තෙන්ම අකීකරු වීම නිසා, දිගටම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු වීමේ වරප්‍රසාදය ආදම් අහිමි කරගැනීම කනගාටුවට කරුණකි. එමනිසා, තමන්ගේ ජන්මය හේතුකොටගෙන, දෙවියන්වහන්සේ සමඟ පුත්‍ර සම්බන්ධතාවක් ඇතුව සිටිනවායයි කීමට ඔහුගෙන් පැවතෙන්නන්ට නොහැකි විය. එහෙත්, තමන්වහන්සේ වෙතින් මඟ පෙන්වීම බලා සිටි අයහට යෙහෝවඃවහන්සේ ඉගැන්වූසේක. නිදසුනක් වශයෙන්, නෝවා “දෙවියන්වහන්සේ සමඟ හැසුරු[ණු]” “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්” බවට ඔප්පු විය. (උත්පත්ති 6:9, 13–උත් 6:13 සිට 7:5) තම කීකරු වීම මඟින්, ආබ්‍රහම් තමා “දෙවියන්වහන්සේගේ මිත්‍රයා” බව ඔප්පු කළ අතර, එබැවින්, ඔහුද යෙහෝවඃවහන්සේ විසින් උගන්වන ලදි.—යාකොබ් 2:23; උත්පත්ති 12:1-4; 15:1-8; 22:1, 2.
6. යෙහෝවඃවහන්සේ ස්වකීය “පුත්‍රයා” ලෙස සැලකුවේ කාවද, උන්වහන්සේ ඔවුන්ට කිනම් ආකාරයක ගුරුවරයෙකු වූසේක්ද?
6 ඊට බොහෝ කාලයකට පසුව, මෝසෙස්ගේ දවස්වලදී, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජාතිය සමඟ ගිවිසුම් සම්බන්ධතාවකට ඇතුළත් වූසේක. ප්‍රතිඵලයක් වශයෙන්, එම ජාතිය උන්වහන්සේගේ තෝරාගත් ජනතාව බවට පත්වූ අතර, උන්වහන්සේගේ “පුත්‍රයා” ලෙස සලකන ලදි. “ඉශ්රායෙල් මාගේ පුත්‍රයාය” යයි දෙවියන්වහන්සේ පැවසූසේක. (නික්මයාම 4:22, 23; 19:3-6; ද්විතීය කථාව 14:1, 2) එම ගිවිසුම් සම්බන්ධතාව මත පදනම්ව, ප්‍රොපේත යෙසායා විසින් වාර්තා කරන ලද පරිදි, “ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය” යයි කීමට ඉශ්රායෙල්වරුන්ට හැකි විය. (යෙසායා 63:16) යෙහෝවඃවහන්සේ ස්වකීය පීතෘ වගකීම භාරගත් අතර, ස්වකීය දරුවන් වූ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේමනීය ලෙස ඉගැන්වූසේක. (ගීතාවලිය 71:17; යෙසායා 48:17, 18) ඇත්තවශයෙන්ම, ඔවුන් නොඇදහිලිවන්ත බවට පත්වූ විට, “අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීවරෙල්ලා” යනුවෙන් උන්වහන්සේ ඔවුන්ට දයාන්විතව ආයාචනා කළසේක.—යෙරෙමියා 3:14.
7. ඉශ්‍රායෙලිතයන්ට යෙහෝවඃවහන්සේ සමඟ තිබුණේ කිනම් සම්බන්ධයක්ද?
7 ඉශ්රායෙල් සමඟ ඇති කරගත් ගිවිසුම් සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේ සංකේතාත්මකව, එම ජාතියේ ස්වාමිපුරුෂයා බවට පත්වූ අතර, එම ජාතිය උන්වහන්සේගේ සංකේතාත්මක භාර්යාව බවට පත්වූවාය. ඈ සම්බන්ධව අනාගතවක්තෘ යෙසායා ලීවේ මෙසේය: “නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.” (යෙසායා 54:5; යෙරෙමියා 31:32) ස්වාමිපුරුෂයෙකු වශයෙන් යෙහෝවඃවහන්සේ ස්වකීය කාර්යභාරය ගෞරවනීය අන්දමින් ඉටු කළද, ඉශ්රායෙල් ජාතිය අවිශ්වාසවන්ත භාර්යාවක් බවට පත්වූවාය. “ඉශ්රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්රෝහිකම්කරන්නාක් මෙන්, නුඹලා මට විරුද්ධව ද්රෝහිකම්කළහුය” යයි යෙහෝවඃවහන්සේ කීසේක. (යෙරෙමියා 3:20) යෙහෝවඃවහන්සේ ස්වකීය අවිශ්වාසවන්ත භාර්යාවගේ පුත්‍රයන්ට දිගටම ආයාචනා කළසේක; උන්වහන්සේ දිගටම ඔවුන්ගේ “උත්තරීතර ගුරුවරයාණෝ” වූසේක.—යෙසායා 30:20, NW; 2 ලේකම් 36:15.
8. ජාතියක් වශයෙන් ඉශ්රායෙල්වරුන්ව යෙහෝවඃවහන්සේ විසින් ප්රතික්ෂ්ප කරනු ලැබුවද, උන්වහන්සේට තවමත් සිටින්නේ කිනම් සාදෘෂ්‍ය සංකේත භාර්යාවක්ද?
8 ඉශ්රායෙල් ජනයා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මැරූ විට, අවසානයේදී දෙවියන්වහන්සේ ඇයව ප්‍රතික්ෂේප කළසේක. එම යුදෙව් ජාතිය තවදුරටත් උන්වහන්සේගේ සංකේත භාර්යාව වූයේවත්, උන්වහන්සේ එම කැරලිකාර පුත්‍රයන්ගේ පියාණන් සහ ගුරුවරයාණන් වූයේවත් නැත. (මතෙව් 23:37, 38) කෙසේවෙතත්, ඉශ්රායෙල් ජාතිය, රූපික, හෙවත් සංකේතාත්මක භාර්යාවක් පමණක් වූවාය. ප්‍රේරිත පාවුල් යෙසායා 54:1න් උපුටා දැක්වූ අතර, “පුරුෂයෙක් ඇති තැනැත්තී” හෙවත්, මාංසික ඉශ්රායෙල් ජාතියට වඩා වෙනස් වූ, “වඳ තැනැත්තිය” ගැන එහි කතා කරයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වනාහි, ‘වඳ තැනැත්තියගේ’ දරුවන් වන බව ඔහු එළිදරව් කරන අතර, ඔහු එම තැනැත්තිය හඳුන්වන්නේ “ඉහළ තිබෙන යෙරුසලම” හැටියටය. මෙම සාදෘෂ්‍ය සංකේත භාර්යාව සමන්විත වන්නේ, ආත්ම මැවිලිවලින් යුත් දෙවියන්වහන්සේගේ ස්වර්ගික සංවිධානයෙන්ය.—ගලාති 4:26, 27.
9. (අ) ‘නුඹේ දරුවෝ යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම’ පිළිබඳව කතා කරමින් සිටින විට, යේසුස්වහන්සේ යොමු දක්වමින් සිටියේ කාටද? (ආ) ජනයා දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් වන්නේ කිනම් පදනමක් මතද?
9 මේ අනුව, කපර්ණවුමේ සිනගෝගයේදී, “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති” යන යෙසායාගේ අනාවැකිය යේසුස්වහන්සේ විසින් උපුටා දැක්වූ විට, උන්වහන්සේ කතා කරමින් සිටියේ, “ඉහළ තිබෙන යෙරුසලම” එනම් දෙවියන්වහන්සේගේ භාර්යාව බඳු ස්වර්ගික සංවිධානයේ “දරුවෝ” ගැනය. ස්වර්ගයෙන් පැමිණි, දේවනියෝජිතයාගේ, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් පිළිගැනීම මගින්, කලින් වඳව සිටි, දෙවියන්වහන්සේගේ ස්වර්ගික භාර්යාවගේ දරුවන් බවට පත්වීමටත්, “ශුද්ධ ජාතියක්,” එනම්, ආත්මිකව “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” බවට පත්වීමටත්, එම යුදෙව් සවන්දෙන්නන්ට හැකිකම තිබිණ. (1 පේතෘස් 2:9, 10; ගලාති 6:16) දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් බවට පත්වීම සඳහා යේසුස්වහන්සේ ඇති කළාවූ උදාර ප්‍රස්තාව විස්තර කරමින්, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය. නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.”—යොහන් 1:11, 12.
යෙහෝවඃවහන්සේගේ අතිවැදගත් ඉගැන්වීම්
10. ඒදන් උයනේ කැරැල්ල නිම වූ වහාම, “වංශය” සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ඉගැන්වූයේ කුමක්ද, තවද මෙම වංශය බවට ඔප්පු වූයේ කවුද?
10 ප්‍රේමනීය පියෙකු වශයෙන් යෙහෝවඃවහන්සේ, සිය දරුවන්ට ස්වකීය අරමුණු දන්වනසේක. මෙසේ, කැරලිකාර දේවදූතයෙක්, අකීකරු වීමට පළමු මිනිස් යුවළ පෙලඹු විට, පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට වූ ස්වකීය අරමුණ ඉටු කිරීමට තමන් කුමක් කරන්නේදැයි යෙහෝවඃවහන්සේ විගස දැන්වූසේක. “පුරාණ සර්පයා” හෙවත් සාතන් වන යක්ෂයා සහ “ස්ත්‍රිය” අතර සතුරුකම තබන බව උන්වහන්සේ වදාළසේක. මෙම ස්ත්‍රියගේ “වංශය” සාතන්ගේ “හිස” මාරාන්තික ලෙස පොඩි කරන බව ඉන්පසුව උන්වහන්සේ පැහැදිලි කළසේක. (උත්පත්ති 3:1-6, 15; එළිදරව් 12:9; 20:9, 10) අප සලකා බැලූ පරිදි, මෙම ස්ත්‍රිය—“ඉහළ තිබෙන යෙරුසලම” ලෙස පසුව හඳුනා ගැණින—ආත්ම මැවිලිවලින් යුත් දෙවියන්වහන්සේගේ ස්වර්ගික සංවිධානයයි. එහෙත්, ඇගේ “වංශය” කවුරුන් වීද? උන්වහන්සේ වනාහි, ස්වර්ගයෙන් එවන ලද, අවසානයේදී, සාතන්ව විනාශ කරන්ට යන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.—ගලාති 4:4; හෙබ්‍රෙව් 2:14; 1 යොහන් 3:8.
11, 12. යෙහෝවඃවහන්සේ “වංශය” සම්බන්ධව ස්වකීය ඉගැන්වීම පුළුල් කළේ කෙසේද?
11 “වංශය” පිළිබඳව මෙම වැදගත් ඉගැන්වීම යෙහෝවඃවහන්සේ විසින් තවදුරටත් පුළුල් කරනු ලැබුවේ, උන්වහන්සේ ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු වන විටය: “මම ඒකාන්තයෙන්ම . . . අහසේ තාරකා මෙන්ද . . . නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි.” (උත්පත්ති 22:17, 18) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වනාහි ආබ්‍රහම්ගේ පොරොන්දු වූ “වංශය” බවත්, නමුත් තවත් අයද මෙම ‘වංශයේ’ කොටසක් බවත්, පැහැදිලි කිරීමට යෙහෝවඃවහන්සේ ප්‍රේරිත පාවුල් යොදාගත්සේක. “ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.”—ගලාති 3:16, 29.
12 ක්‍රිස්තුස්වහන්සේ හෙවත් වංශය යූදා නමැති රාජකීය පෙළපතින් පැමිණෙන බවද, “මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම” උන්වහන්සේට වන බවද, යෙහෝවඃවහන්සේ හෙළි කළසේක. (උත්පත්ති 49:10) යූදා ගෝත්‍රයේ දාවිත් රජ සම්බන්ධව යෙහෝවඃවහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි. ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.” (ගීතාවලිය 89:3, 4, 29, 36) ගාබ්‍රියෙල් දේවදූතයා යේසුස්වහන්සේගේ උපත ගැන නිවේදනය කළ විට, දරුවා දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද පාලකයා, හෙවත් දාවිත්ගේ වංශය බවත්, ඔහු පැහැදිලි කළේය. “උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක,” ගාබ්‍රියෙල් පැවසීය, “උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක. . . . උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.”—ලූක් 1:32, 33; යෙසායා 9:6, 7; දානියෙල් 7:13, 14.
13. යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ලැබීමට, අප උන්වහන්සේගේ ඉගැන්වීමට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
13 යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ලැබීමට නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ මෙම අතිවැදගත් ඉගැන්වීම අප දැනගෙන ඒ මත ක්‍රියා කළ යුතුය. උන්වහන්සේ ස්වර්ගයෙන් බැස ආ බවත්, උන්වහන්සේ වනාහි දෙවියන්වහන්සේ පත් කළ රජු බවත්, එනම්, පොළොව මත පාරාදීසය යළි පිහිටුවීම අධීක්ෂණය කරන්ට යන රාජකීය වංශය බවත්, උන්වහන්සේ මළවුන් නැවත නැගිටවනු ඇති බවත්, අප විශ්වාස කළ යුතුය. (ලූක් 23:42, 43; යොහන් 18:33-37) කපර්ණවුමේදී, යේසුස්වහන්සේ මළවුන් නැවත නැගිටුවීම ගැන කතා කළ අවස්ථාවේදී, උන්වහන්සේ කතා කළේ සත්‍යය බව යුදෙව්වන්ට පැහැදිලි වූවා විය යුතුය. ඇරත්, ඊට සති කිහිපයකට පෙර, සමහරවිට කපර්ණවුමේදීම, සිනගෝගයේ ප්‍රධාන නිලධාරියාගේ 12හැවිරිදි දියණියව උන්වහන්සේ නැවත නැගිටුවා තිබිණ! (ලූක් 8:49-56) සහතිකවම, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය පිළිබඳව බලාපොරොත්තු ඇති කරවන උන්වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කර, ඊට අනුකුලව ක්‍රියා කිරීමට අපටද සෑම හේතුවක්ම ඇත!
14, 15. (අ) යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය යේසුස්වහන්සේට කොතරම් වැදගත්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ගැන අප වටහාගත යුත්තෙත්, පැහැදිලි කිරීමට අපට හැකි විය යුත්තෙත් කුමක්ද?
14 යේසුස්වහන්සේ සිය භූමික ජීවිතය කැප කළේ, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ගැන ඉගැන්වීමටය. එය සිය දේවසේවයේ තේමාව කරගත් උන්වහන්සේ, ඒ සඳහා යාච්ඤා කරන මෙන් සිය ගෝලයන්ට උපදෙස් පවා දුන්සේක. (මතෙව් 6:9, 10; ලූක් 4:43) ජන්මයෙන් යුදෙව්වෝ, “රාජ්‍යයේ පුත්‍රයෝ” වීම සඳහා පෙළ ගැසී සිටි නමුත්, ඔවුන්ගේ ඇදහිල්ලේ ඌනතාව නිසා, ඔවුන්ගෙන් වැඩිදෙනෙක්, එම වරප්‍රසාදය අහිමි කරගත්හ. (මතෙව් 8:12; 21:43) ‘කුඩා රැළක්’ පමණක් එම වරප්‍රසාදය ලබමින් ‘රාජ්‍යයේ පුත්‍රයන්’ බවට පත්වන බව යේසුස්වහන්සේ හෙළි කළසේක. මෙම “පුත්‍රයෝ” ස්වර්ගික රාජ්‍යයේ “ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ” බවට පත්වෙති.—ලූක් 12:32; මතෙව් 13:38; රෝම 8:14-17; යාකොබ් 2:5.
15 ක්‍රිස්තුස්වහන්සේ සමඟ පොළොව පාලනය කිරීම සඳහා රාජ්‍ය උරුමක්කරුවන් කී දෙනෙකුව ස්වර්ගයට ගනු ලබත්ද? බයිබලයට අනුව, 1,44,000ක් පමණි. (යොහන් 14:2, 3; 2 තිමෝති 2:12; එළිදරව් 5:10; 14:1-3; 20:4) එහෙත්, එම රාජ්‍ය පාලනයේ භූමික යටත් වැසියන් වන්ට යන “වෙනත් බැටළුවන්” තමාට සිටි බව යේසුස්වහන්සේ පැවසූසේක. මේ අය පාරාදීස පොළොවක් මත සදාකාලයටම පරිපූර්ණ සෞඛ්‍යය හා සමාදානය භුක්තිවිඳිනවා ඇත. (යොහන් 10:16; ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4) රාජ්‍යය පිළිබඳ යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් තේරුම්ගෙන ඒවා පහදා දීමට අපට හැකි විය යුතුය.
16. අප විසින් ඉගෙනගෙන පිළිපැදීමට අවශ්‍ය විය යුත්තේ යෙහෝවඃවහන්සේගේ කිනම් අතිවැදගත් ඉගැන්වීම්ද?
16 යෙහෝවඃවහන්සේ පිළිබඳ තවත් අතිවැදගත් ඉගැන්වීමක් ප්‍රේරිත පාවුල් හඳුනාගත්තේය. ඔහු මෙසේ පැවසීය: “එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.” (1 තෙසලෝනික 4:9) යෙහෝවඃවහන්සේව සතුටු කිරීමට නම්, එවන් ප්‍රේමයක් නිරූපනය කිරීමට අපට අවශ්‍යය. “දෙවියන්වහන්සේ ප්‍රේමය” කියා බයිබලය කියයි, එමෙන්ම ප්‍රේමය පෙන්වීමෙහිලා උන්වහන්සේගේ ආදර්ශය අප අනුගමනය කළ යුතුය. (1 යොහන් 4:8; එපීස 5:1, 2) ප්‍රේම කරන ලෙසට දෙවියන්වහන්සේ අපට උගන්වනවාක් මෙන්, වැඩිදෙනෙක් තමන්ගේ සෙසු මිනිසුන්ට ප්‍රේම කිරීමට අපොහොසත් වීම කනගාටුවට කරුණකි. අප ගැන කුමක් කිව හැකිද? අපි උන්වහන්සේගේ මෙම ඉගැන්වීමට ප්‍රතිචාර දක්වා ඇත්තෙමුද?
17. අප අනුකරණය කළ යුත්තේ කාගේ ආකල්පයද?
17 යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් සියල්ලම ලබාගැනීමට අප කැමැත්තෙන් සිටීම අතිශයින් වැදගත්ය. අපගේ ආකල්පය මෙසේ ලියූ බයිබල් ගීතිකාකරුගේ ආකල්පය මෙන් වේවා: “ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුවමැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව.” “ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව . . . ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4, 5; 119:12, 66, 108) ඔබගේ හැඟීම්, එම ගීතිකාකරුවන්ගේ හැඟීම් මෙන් නම්, යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන අතිවිශාල සමූහය අතරෙහි ඔබටද සිටිය හැකිය.
උගන්වනු ලබන්නන්ගේ මහත් සමූහය
18. අපගේ කාලයේ සිදුවනු ඇති බවට අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළ දේ කුමක්ද?
18 අපේ කාලයේ සිදුවනු ඇති දේ ගැන අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළේ මෙසේය: “මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය . . . බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක.” (යෙසායා 2:2, 3; මීකා 4:2) යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන මෙම පුද්ගලයෝ කවරහුද?
19. අදදින යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන අයට ඇතුළත් වන්නේ කවරහුද?
19 ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයෙහි පාලනය කරන අයට අමතරව තවත් අයද මොවුන්ට ඇතුළත් වෙති. කලින් සලකා බැලූ පරිදි, රාජ්‍ය උරුමක්කරුවන්ගේ ‘කුඩා රැළට’ අමතරව, ‘වෙනත් බැටළුවන්’—රාජ්‍යයේ භූමික යටත් වැසියන්—තමාට සිටින බව යේසුස්වහන්සේ පැවසූසේක. (යොහන් 10:16; ලූක් 12:32) ‘මහත් පීඩාවෙන්’ බේරී ජිවත් වන “මහත් සමූහය” වෙනත් බැටළුවන්ගේ පංතියට අයත් වන අතර, යේසුස්වහන්සේගේ වගුරවන ලද රුධිරය කෙරෙහි දක්වනු ලබන ඔවුන්ගේ ඇදහිල්ලේ පදනම මත, ඔවුහු යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වයක් භුක්තිවිඳිති. (එළිදරව් 7:9, 14) යෙසායා 54:13හි කතා කර ඇති ‘දරුවන්’ අතරට වෙනත් බැටළුවන් කෙළින්ම ඇතුළත් නොවුවත්, යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීමෙන් ඔවුහු ආශීර්වාද ලැබ සිටිති. එබැවින්, ඔවුහු දෙවියන්වහන්සේව නිවැරදි ලෙස “පියාණෙනි” කියා අමතති, මක්නිසාද, “සදාකාල පියාණෝ” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් උන්වහන්සේ ඔවුන්ගේ උතුම් පියාණන් වන බැවින්ය.—මතෙව් 6:9; යෙසායා 9:6.
යෙහෝවඃවහන්සේ උගන්වන ආකාරය
20. යෙහෝවඃවහන්සේ උගන්වන්නේ කිනම් මාර්ගවලින්ද?
20 යෙහෝවඃවහන්සේ බොහෝ ආකාරවලින් උගන්වනසේක. නිදසුනක් වශයෙන්, ස්වකීය පැවැත්ම හා ස්වකීය මහත් ප්‍රඥාව යන දෙකටම සාක්ෂි දරන, උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවන් කරණකොටගෙන උන්වහන්සේ උගන්වනසේක. (යෝබ් 12:7-9; ගීතාවලිය 19:1, 2; රෝම 1:20) මීට අමතරව, මනුෂ්‍යභාවයට පෙර විසූ යේසුස්වහන්සේට ඉගැන්වීමේදී කළාක් මෙන්, උන්වහන්සේ ඍජු අදහස් හුවමාරුව මගින් උගන්වනසේක. ඒ හා සමානව, වාර්තාගත අවස්ථා තුනකදී, උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව මත මිනිසුන්ට කතා කළසේක.—මතෙව් 3:17; 17:5; යොහන් 12:28.
21. ස්වකීය නියෝජිතයා ලෙස යෙහෝවඃවහන්සේ විශේෂයෙන් යොදාගත්තේ කිනම් දේවදූතයාද, නමුත් තවත් අයවද යොදාගනු ලැබු බව අප දන්නේ කෙසේද?
21 යෙහෝවඃවහන්සේ ස්වකීය කුලුඳුලා හෙවත් “වාක්‍යාණෝ” ඇතුළු දේවදූතමය නියෝජිතයන්වද, ඉගැන්වීම සඳහා යොදාගත්සේක. (යොහන් 1:1-3) සිය පරිපූර්ණ මිනිස් පුත්‍ර ආදම්ට කෙළින්ම කතා කිරීමට යෙහෝවඃවහන්සේට හැකි වුවද, පෙනෙන විදිහට තමන්වහන්සේ වෙනුවෙන් කතා කිරීමට උන්වහන්සේ මනුෂ්‍යභාවයට පෙර විසූ යේසුස්වහන්සේව යොදාගත්සේක. (උත්පත්ති 2:16, 17) මෙම තැනැත්තා, “ඉශ්රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා” බව පෙනෙන්ට ඇති අතර, “උන්වහන්සේගේ හඬට කන්දීපල්ලා” යයි යෙහෝවඃවහන්සේ අණ කළසේක. (නික්මයාම 14:19; 23:20, 21) යෝෂුවාව ශක්තිමත් කිරීම සඳහා ඔහුට දර්ශනය වූ “ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියා” මනුෂ්‍යභාවයට පෙර වූ යේසුස්වහන්සේ බවට කිසිදු සැකයක් නැත. (යෝෂුවා 5:14, 15) ස්වකීය ව්‍යවස්ථාව මෝසෙස් වෙත ගෙන යෑම සඳහා යොදාගත් දේවදුතයන් මෙන්, යෙහෝවඃවහන්සේ සිය ඉගැන්වීම් දානය කිරීම සඳහා වෙනත් දේවදුතයන්වද යොදාගන්නාසේක.—නික්මයාම 20:1; ගලාති 3:19; හෙබ්‍රෙව් 2:2, 3.
22. (අ) ඉගැන්වීම සඳහා යෙහෝවඃවහන්සේ පොළොව මතදී යොදාගත්තේ කාවද? (ආ) යෙහෝවඃවහන්සේ අදදින මනුෂ්‍යයන්හට උගන්වන මූලිකම මාර්ගය කුමක්ද?
22 මීට අමතරව, ඉගැන්වීම සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේ මිනිස් නියෝජිතයන්වද යොදාගන්නාසේක. ඉශ්රායෙලයේ විසූ දෙමාපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුව තිබිණ; අනාගතවක්තෘවරු, පූජකවරු, අධිපතීහු සහ ලෙවීවරු යෙහෝවඃවහන්සේගේ නීතිය ජාතියට ඉගැන්වූහ. (ද්විතීය කථාව 11:18-21; 1 සාමුවෙල් 12:20-25; 2 ලේකම් 17:7-9) පොළොව මතදී දෙවියන්වහන්සේගේ ප්‍රධාන කතාකරන්නා වූයේ යේසුස්වහන්සේය. (හෙබ්‍රෙව් 1:1, 2) තමා ඉගැන්වූ දෙය හරියටම තමා පියාණන්වහන්සේගෙන් ඉගෙනගත් දේයයි යේසුස්වහන්සේ බොහෝවිට පැවසූසේක. මේ අනුව උන්වහන්සේට සවන් දෙන්නන්ට ඇත්තටම උගන්වනු ලැබුවේ යෙහෝවඃවහන්සේ විසිනි. (යොහන් 7:16; 8:28; 12:49; 14:9, 10) යෙහෝවඃවහන්සේ ස්වකීය කියමන් වාර්තාගත කොට තිබූසේක, තවද අපගේ දවසේදී, මූලික වශයෙන් උන්වහන්සේ මනුෂ්‍යයන්හට උගන්වන්නේ, මෙම දේවානුභාව ලත් ශුද්ධ ලියවිලි මගින්ය.—රෝම 15:4; 2 තිමෝති 3:16.
23. ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබන්නේ කිනම් ප්‍රශ්නද?
23 ‘අන්තිම දවස්වලදී, [අප ජීවත් වෙමින් සිටින] බොහෝ ජනයන්ට යෙහෝවඃවහන්සේ මාර්ග ගැන උගන්වනු ලැබේ’ යයි බයිබලය පොරොන්දු වන බැවින්, අප ජීවත් වෙමින් සිටින්නේ වැදගත් කාලවලය. (යෙසායා 2:2, 3, NW) මෙම උපදෙස් සපයනු ලබන්නේ කෙසේද? දැන් ඉදිරිපත් කරනු ලබමින් තිබෙන යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමටත්, ඒවාට හවුල් වීමටත්, අප කුමක් කළ යුතුද? අපි එවන් ප්‍රශ්න ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු.
ඔබ පිළිතූරු දෙනු ඇත්තේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ, පියෙකු, ගුරුවරයෙකු සහ ස්වාමිපුරුෂයෙකු බවට පත්වූයේ කෙසේද?
◻ “වංශය” සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ උගන්වන්නේ කුමක්ද?
◻ අප පිළිපැදිය යුත්තේ දෙවියන්වහන්සේගෙන් වූ කිනම් ඉගැන්වීමද?
◻ යෙහෝවඃවහන්සේ උගන්වන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
යායිරස්ගේ දියණියව නැවත නැගිටුවීම, යේසුස්වහන්සේගේ නැවත නැගිටුවීම පිළිබඳ පොරොන්දුව විශ්වාස කිරීමට පදනමක් සැපයීය