අප අතර දේවදූතයෝ සිටිත්ද?
එය සිදුවූයේ ඉතාමත් ඉක්මනටය. සිතුවිලි සයුරේ ගිලී, තම වටපිටාව කෙරෙහි අනවධානයෙන්, මැරිලින් කෙමෙන් කෙමෙන් දුම්රිය මඟට පිවිසිණ. හදිසියෙන්ම, ඇයට මහ ගොරහැඩි හඬක් ඇසිණ. ඇය හිස ඔසවා බැලූ විට, තමා ඉදිරියට දුම්රියක් පැමිණෙමින් තිබෙන බව ඇයට තේරුණා! තැතිගත් මැරිලින් බියෙන් ගල්ගැසී සිටියාය. දුම්රිය කෙතරම් සමීප වූවාද කිවහොත්, ඇයට දුම්රිය පාලකයාගේ නිල්වන් වූ නෙත්ද, තැතිගත් මුහුණද දැකගත හැකි විය. ඊළඟට සිදුවූ දෙය මැරිලින්ට කිසිදා අමතක නොවීය. “හරියට යෝධයෙක් මගේ පිටුපසින් මාව තල්ලුකර දැමුවා වාගේ,” යයි ඈ පැවසුවාය. “මා දුම්රිය මාර්ගයෙන් විසිවී ගිහින් ඊට ටිකක් ඔබ්බෙන් තිබූ ගල්අඟුරු මත වැටුණා.” සුළු සීරීම් ඇතුව මැරිලින් නැඟිටුණේ, ඇගේ ගැළවුම්කරුවාට ස්තුති කිරීමටය—නමුත් එහි කිසිවෙකු සිටියේ නැත! ඇගේ නිගමනය? “මගේ ඉටුදෙවියා, මගේ ජීවිතය බේරුවා,” යයි මැරිලින් පවසයි. “ඒ වෙන කවුරු වූවා විය හැකිද?”
සැකයෙන් පිරි ලෝකයක් තුළ හදිසියෙන් දේවදූතයන් සම්බන්ධ සිතුවිලිවලින් ග්‍රහණය වී තිබෙන බවක් පෙනෙන්ට තිබේ. මෑත වසරවලදී, රූපවාහිනී දර්ශනවල, චිත්‍රපටවල හා බ්‍රෝඩ්වේ නාට්‍යයක පවා ස්වර්ගික ජීවීන්, විෂය වී තිබේ. ආගමික පොත්වලින් දේවදූතයන් පිළිබඳ පොත් වඩාත්ම විකිණෙන ඒවාවල ලැයිස්තුවට වැටේ. දේවදූත සමාජයන්, සම්මන්ත්රණ හා පුවත් ලිපි තිබේ. එක් ලිපියක් සඳහන් කරන පරිදි, “ඔබේ අභ්‍යන්තර දේවදූතයා,” ගැන සාවධානව සිටීමට උපකාර කිරීමට වැඩමුළු අරඹා ඇත.
අවස්ථාවාදී වෙළෙන්දෝ, පහසුවෙන්ම දේවදූතමය උනන්දුව වාසියට ගනිමින්, අඛණ්ඩ පාරිභෝගික නිෂ්පාදන වැලකට අනුබල දෙමින් සිටිති. “දේවදූතයන් සම්බන්ධ ඕනෑම දෙයක් හොඳින් විකිණෙන” බවට, එක්සත් ජනපදයේ සාප්පු හවුල්-හිමිකාරියක් පවසයි. විකිණෙන විශාල පොත් තොගයට අමතරව, පත්රකලාවේදියෙකු විසින් “ස්වර්ගික ලාභයන්” අත් කරගන්නා බවට නම් කරන “දේවදූත පිළිම, කටු, බෝනික්කන්, ටී-ෂර්ට්, පෝස්ටර් සහ සුබපැතුම් කාඩ්පත්” යන සියල්ල, ඈ එම ලැයිස්තුවට ඇතුළත් කරයි.
එහෙත් දේවදූතයන්ට පක්ෂව කතා කරන අය, මෙය විලාසිතාවක් පමණක් නොවන බවට තරයේ කියා සිටිති. ඔවුන්ගේ ප්රකාශයන්ට අනුබල දීම සඳහා, ඔවුහු දේවදූතයන් සම්බන්ධ “සැබෑ-ජීවිත” අද්දැකීම් පිළිබඳව සාක්ෂි සම්බාරයක් ඉදිරිපත් කරති. සමහරු මිනිස් ස්වරූපයකින් සිටි දේවදූතයෙකු දුටු බව පවසති. වෙනත් අයට ආලෝකයක් දකින්ට ලැබිණ, හඬක් ඇසිණ, යමෙකු තමා ළඟ සිටි බවට හැඟිණ, නැතහොත් දේවදූතමය මූලාශ්‍රයකින් පැමිණි බවට විශ්වාස කරන පෙලඹීමක් ඔවුන්ට දැනිණ. මැරිලින් මෙන් බොහෝදෙනෙක්, තම ජීවිතය දේවදූතයෙකු විසින් බේරාගත් බව පවසති.
සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? “අධිස්වභාව” අද්දැකීම් පිළිබඳ පොත් දෙකක් ලියා ඇති ජෝන් වෙස්ටර් ඇන්ඩර්සන්, “ආත්මික දේ පිළිබඳ පුනර්ජීවනයක් තිබෙන බව මා සිතනවා” යයි පවසයි. තවත් පොතක් ලිවීමට උපකාර කළ ඇල්මා ඩැනියෙල් තවත් පියවරක් ඉදිරියට තබයි. “තව තවත් ජනයා වෙත ළඟාවිය හැකිවන පරිදි තමන්වම හඳුන්වා දීමට” දේවදූතයන් දැන් “උපදෙස් ලබමින් සිටින බව” ඈ පවසයි. “අප ඔවුන් ගැන එතරම් දැනගැනීමට හේතුව නම් ඔවුන්ට එසේ වුවමනා වන නිසාය. ඔවුන් එය කරමින් සිටිනවා.”
මෙය ඇත්තෙන්ම එසේමද? නැතහොත් දේවදූතයන් ගැන තිබෙන වත්මන් ආකර්ෂණය පිටුපස වෙනත් යමක් තිබේද? සොයා බැලීම සඳහා, අප දේවවචනය පිරික්සා බැලිය යුතුය. අප බැලීමට යන ආකාරයට, දේවදූතයන් පිළිබඳ සැබෑව බයිබලයේ අඩංගු වේ.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු 3 සහ 4: The New Testament: A Pictorial Archive from Nineteenth-Century Sources, by Don Rice/Dover Publications, Inc.