ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 11/15 4-7 පි.
  • වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම!
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වඩාත් හොඳ ජීවිතයක්—කවදාද?
  • වඩාත් හොඳ ජීවිතයක්—කෙසේද?
  • ඔබ කළ යුතු දේ
  • පාරාදීසය අත ළඟයි!
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • පොළොව පාරාදීසයක් වෙන්නේ කවදාද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 11/15 4-7 පි.

වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම!

කාලගුණ නිවේදකයෙකුගේ අනාවැකි සැමවිටම පාහේ සැබෑ වේයයි සිතමු. ඔහු සන්ධ්‍යා ප්‍රවෘත්තිවලදී, පසුදා වහින බවට පූර්ව නිවේදනයක් කළහොත්, පසුදා උදෑසන ඔබ නිවසින් පිටව යන විට, ඔබේ කුඩය රැගෙන යෑමට ඔබ අදි මදි කරන්නේ නැත. ඔහුගේ විශ්වාසදායක අතීත වාර්තාව ඔබේ විශ්වාසය දිනාගෙන ඇත. ඔබ ක්‍රියා කරන්නේ ඔහු පවසන දේ අනුවය.

එසේනම්, පාරාදීස පොළොවක වඩාත් හොඳ ජීවිතයක් පිළිබඳ යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව කෙතරම් විශ්වාසදායකද? හොඳයි, උන්වහන්සේගේ අතීත කාලගුණ වාර්තාවෙන් අඟවනු ලබන්නේ කුමක්ද? බයිබල් අනාවැකිවල ඉටුවීම, පැහැදිලිවම යෙහෝවඃවහන්සේගේ වාර්තාව තහවුරු කරයි. උන්වහන්සේ, නිරවද්‍යතාව හා සැබෑකම සම්බන්ධයෙන් නොවරදින දෙවිකෙනෙකි. (යෝෂුවා 23:14; යෙසායා 55:11) යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙතරම් විශ්වසනීයද කිවහොත්, පොරොන්දු කළ අනාගත සිද්ධීන් ගැන ඇත්තෙන්ම උන්වහන්සේ කතා කරන්නේ, දැනටමත් ඒවා සිදුවී ඇත්තාක් මෙනි. උදාහරණයක් වශයෙන්, මරණය සහ වේදනාව තවදුරටත් නොමැති නව ලොවක් පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දුවට පසු, අපට මෙසේ කියවීමට තිබේ: “ඒවා [පොරොන්දු වූ ආශීර්වාද] ඉෂ්ට වුණේය.” වෙනත් වචනවලින් කියනවා නම්, “ඒවා සැබෑවකි!”—එළිදරව් 21:5, 6, NW පාද සටහන.

යෙහෝවඃවහන්සේගේ අතීත පොරොන්දුවල ඉටුවීම, උන්වහන්සේ මිනිස්වර්ගයා සඳහා පොරොන්දු වී තිබෙන වඩාත් හොඳ ජීවිතයක් පිළිබඳ වටහාගැනීම අපට නිසැකකම ලබා දෙයි. එහෙත් මෙම වඩාත් හොඳ ජීවිතය පැමිණෙනු ඇත්තේ කවදාද?

වඩාත් හොඳ ජීවිතයක්—කවදාද?

ළඟදීම බෙහෙවින් වඩාත් හොඳ ජීවිතයක් ලැබෙනු ඇත! අපට ඒ ගැන ස්ථිර විය හැක්කේ මන්දයත්, වඩාත් හොඳ ජීවිතයක් සඳහා පාරාදීසය ඇතිවීමට පෙර පොළොව මත බොහෝ නරක දේ සිදුවනු ඇතැයි බයිබලය පවසන බැවිනි. එම නරක දේවල් දැන් සිදුවෙමින් පවතී.

උදාහරණයක් වශයෙන්, මහත් යුද්ධ ඇතිවනු ඇතැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරෝකථනය කළසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.” (මතෙව් 24:7) මෙම අනාවැකිය සැබෑ වී ඇත. වර්ෂ 1914 සිට 1945 දක්වා, ලෝක යුද්ධ දෙකක් පැවත ඇති අතර, ජාතීන් එකිනෙකාට එරෙහිව යුද්ධ කර තිබෙන වෙනත් අසංඛ්‍යාත යුද්ධද පැවත ඇත. “වාර්ෂිකව පදනම් කරගත් සාමාන්‍යයක් වශයෙන්, [දෙවන ලෝක යුද්ධයේ පටන්] මෙම කාලපරිච්ඡේදයෙහි යුද්ධයෙන් ඇතිවූ මරණ සංඛ්‍යාව 19වන ශතවර්ෂයෙහි මරණවලට වඩා දෙගුණයකින්ද, 18වන ශතවර්ෂයට වඩා සත්ගුණයකින්ද වැඩිවී තිබේ.”—වර්ල්ඩ් මිලිටරි ඇන්ඩ් සෝෂල් එක්ස්පෙන්ඩිචර්ස් 1993.

පාරාදීසයෙහි වඩාත් හොඳ ජීවිතයකට ළඟාවීම සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් වනාහි රෝග පැතිරීමය. ‘නොයෙක් තැන්වල වසංගත’ තිබෙනු ඇති බවට යේසුස්වහන්සේ පුරෝකථනය කළසේක. (ලූක් 21:11) මෙම අනාවැකිය සැබෑ වී ඇද්ද? එසේය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු, ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව මිලියන 20කට වැඩි ජනතාවකට මරු කැඳවීය. එදා පටන්, පිළිකාව, හෘද රෝග, මැලේරියාව, ඒඩ්ස් සහ වෙනත් අසනීප මගින් මිලියන ගණන් ජනයා මරා දමා ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල, දූෂිත ජලය මගින් ඇතිවන රෝග (පාචනය හා ආන්ත්‍ර පණු ආසාදනද) සෑම වසරකම ජීවිත මිලියන ගණනක් බිලිගෙන ඇත.

යේසුස්වහන්සේ මෙසේද පැවසූසේක: “සාගතද . . . සිදුවෙනවා ඇත.” (මතෙව් 24:7) පෙර ලිපියේ සඳහන් පරිදි, ලෝකයේ දුගී ජනයාට ප්‍රමාණවත් ආහාර නැත. ළඟදීම, පාරාදීසයෙහි වඩාත් හොඳ ජීවිතයක් ඇතිවන බවට සාක්ෂියේ තවත් කොටසකි මෙය.

“මහත් භූමිකම්පාද . . . වන්නේය,”යි යේසුස්වහන්සේ පැවසූසේක. (ලූක් 21:11) මෙයද අපගේ කාලයෙහි සැබෑවක් වී ඇත. විනාශකාරි භූමිකම්පා, 1914 විනාශයේ පටන් ජීවිත සිය දහස් ගණනක් බිලිගෙන ඇත.

මිනිසුන් තුළ වෙනසක් සිදුවීම මගින් “අන්තිම දවස්” ලකුණු කරනු ඇති බව බයිබලය තවදුරටත් කියා සිටී. ඔවුන් “තමුන්ටම ප්‍රේමකරන්නෝ” හා “මුදලට ප්‍රේමකරන්නෝ” වනු ඇත, එමෙන්ම දරුවන් “මවුපියන්ට අකීකරුවන්නෝ” වනු ඇත. පොදුවේ ජනයා “දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ” වනු ඇත. (2 තිමෝති 3:1-5) බොහෝදෙනෙකු මෙම විස්තරයට ගැළපෙන බවට ඔබ එකඟ නොවන්නෙහිද?

ජනයා වැඩි වැඩියෙන් නරක දේවල නිරත වන බැවින්, නොපනත්කම් වැඩිවීමක් දක්නට තිබේ. මෙයද පුරෝකථනය කර තිබිණ. මතෙව් 24:12ට අනුව, යේසුස්වහන්සේ “අධර්මිෂ්ඨකම [නොපනත්කම, NW] බෝවෙන” බව පැවසූසේක. වසර ගණනකට පෙර තිබුණාට වඩා දැන් අපරාධ වැඩිවී ඇති බවට ඔබ එකඟ වනවා ඇත. සෑමතැනම සිටින ජනයා තමුන් සොරකම් කිරීමකට, වංචා කිරීමකට හෝ යම් අයුරකින් අනතුරු කිරීමකට ලක් වෙයි කියා බිය වෙති.

බයිබලය පුරෝකථනය කළාක් මෙන්ම, යුද්ධ, පැතිර පවතින රෝග, ආහාර හිඟකම් භූමිකම්පා, අපරාධ වැඩිවීම සහ මිනිස් සබඳතා නරක අතට හැරීම යන මේ සියල්ල අදදින ප්‍රත්‍යක්ෂව තිබේ. ‘නමුත් මුළු මිනිස් ඉතිහාසය පුරාම මේ දේවල් සිදුවී නැද්ද?’ ‘අපේ කාලය සම්බන්ධයෙන් වෙනස කුමක්ද?’ කියා ඔබ ඇසිය හැක.

අදදින සිදුවන දේ පිළිබඳව බෙහෙවින් සැලකිය යුතු ඇතැම් පැති තිබේ. අප අන්තිම කාලයේ සිටින බවටත්, වඩාත් හොඳ ජීවිතයක් අතළඟ බවටත්, සාගතය වැනි එක ලක්ෂණයකින් ඔප්පු වන බව බයිබලය පවසන්නේ නැත. අන්තිම කාලය සම්බන්ධ බයිබල් අනාවැකි අභක්තික පරම්පරාවක් තුළ ඉටුවීමට තිබිණ.—මතෙව් 24:34-39; ලූක් 17:26, 27.

එපමණක්ද නොව, යේසුස්වහන්සේගේ අනාවැකියේ ඇතැම් ලක්ෂණ—විශේෂයෙන්ම සාගත හා පැතිර පවත්නා රෝග—අදදින සැබෑවක් වෙමින් පැවතීම ඉතා අසාමාන්‍ය දෙයකි. මන්ද? විද්‍යාත්මක කාර්ය සිද්ධීන්, අද මෙන් දියුණු තත්වයක පැවත නැති හෙයිනි. වෛද්‍ය දැනුම හා ප්‍රතිකාර ක්‍රම අද මෙන් වඩා දියුණුවක් හෝ පැතිර පැවතීමක් කිසිදා ලබා නැත. මෙවන් කාලයක් තුළදී, රෝග හා වසංගත හොඳ අතට නොහැරී වඩා දරුණු වන බව ස්වකීය දේවවචනය වන බයිබලය තුළින් පැවසිය හැකි වූයේ දෙවියන්වහන්සේට පමණකි.

අවසාන කාලය නැතහොත් “අන්තිම දවස්” පිළිබඳ බයිබල් අනාවැකි සියල්ල සැබෑ වන බැවින්, අපට නිගමනය කළ හැක්කේ කුමක්ද? වඩා හොඳ ජීවිතයක් ළඟ බව! එහෙත් එය සිදුවනු ඇත්තේ කෙසේද?

වඩාත් හොඳ ජීවිතයක්—කෙසේද?

මිනිසාට පාරාදීසයක් බිහි කළ හැකියයි ඔබ සිතන්නෙහිද? මෙදින දක්වා ඉතිහාසය පුරාම, විවිධාකාර මිනිස් ආණ්ඩු පැවත ඇත. ජනයාගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ඇතමුන් ඉමහත් සේ වෙහෙස දරා ඇත. එහෙත්, බොහෝ ගැටලු වඩාත් දරුණු වෙමින් පවතී. ධනවත් රටවල මෙන්ම දුප්පත් රටවල, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම, නිවාස හිඟය, දුගීකම, අපරාධ, විරැකියාව සහ යුද්ධ සම්බන්ධයෙන් ආණ්ඩු පොරබදති.

මේ ගැටලුවලින් සමහරක් විසඳීමට ආණ්ඩුවලට හැකි වුවත්, අයහපත් සෞඛ්‍යයකින් සම්පූර්ණ මිදීම සැපයීමට ඔවුන්ට කිසිදා නොහැක; මහලු වයස සහ මරණයට විරාමයක් ගෙන ඒමටද ඔවුන්ට නොහැක. මිනිසාට කෙදිනක හෝ මෙම පොළොව පාරාදීසයක් කළ නොහැකි බව පැහැදිලිය.

බයිබලය ඥානවන්ත ලෙස මෙසේ පවසයි: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” එසේනම්, අප විශ්වාසය තැබිය යුත්තේ කා තුළෙහිද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.” (ගීතාවලිය 146:3, 5) යෙහෝවඃ දෙවියන්වහන්සේ තුළ අපි අපගේ බලාපොරොත්තුව තබන්නෙමු නම්, අපි කවදා හෝ බලාපොරොත්තු සුන් කර නොගන්නෙමු.

පොළොව, ඉර සහ තරු මැවීමට ප්‍රඥාව සහ බලය ඇති තැනැන්වහන්සේට පොළොව පාරාදීසයක්ද කළ හැකි බවට සැකයක් නැත. වඩාත් හොඳ ජීවිතයක් භුක්තිවිඳීමට මිනිසාට සැලැස්වීමට උන්වහන්සේට හැක. යෙහෝවඃ දෙවියන්වහන්සේ අරමුණු කරන ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේට හැක, එමෙන්ම එය ඉටු කරනසේක. උන්වහන්සේගේ වචනය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය.” (ලූක් 1:37) එහෙත් දෙවියන්වහන්සේ වඩාත් හොඳ ජීවිතයක් ගෙනෙන්නේ කෙසේද?

යෙහෝවඃවහන්සේ ස්වකීය රාජ්‍යය මගින් මිනිස්වර්ගයා වෙත බෙහෙවින් වඩාත් හොඳ ජීවිතයක් ගෙනෙනසේක. තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යය යනු කුමක්ද? එය දෙවියන්වහන්සේ විසින් පත් කළ පාලකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිටින සැබෑ ආණ්ඩුවකි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇති නමුත්, එය ළඟදීම මවිතකර ආශීර්වාද හා පාරාදීස පොළොවේ වෙසෙන්නන්ට බෙහෙවින් වඩාත් හොඳ ජීවිතයක් ගෙනෙනු ඇත.—යෙසායා 9:6, 7.

ඔබ දැනටමත් බයිබලයේ මතෙව් 6:9-13හි තිබෙන යේසුස්වහන්සේගේ ආදර්ශ යාච්ඤාව හොඳින් දන්නවා විය හැක. දෙවියන්වහන්සේට කරන යාච්ඤාවේ කොටසක මෙසේ පැවසේ: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” එම යාච්ඤාවට එකඟව, පොළොව සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු කිරීමට, දේවරාජ්‍යය ‘එනු’ ඇත. තවද පොළොව පාරාදීසයක් බවට පත්වීම උන්වහන්සේගේම අරමුණය.

අවසාන ප්‍රශ්නයක් පැන නඟියි: පැමිණෙන පාරාදීසයෙහි වඩාත් හොඳ ජීවිතයක් භුක්තිවිඳීමට ඔබ කුමක් කළ යුතුද?

ඔබ කළ යුතු දේ

යෙහෝවඃ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ කැමැත්ත කරන සියලුදෙනාට, පාරාදීසයෙහි වඩාත් හොඳ ජීවිතයක අපේක්ෂාව, ප්‍රේමනීය ලෙස ඉදිරිපත් කරනසේක. බයිබලය අපට මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) එහෙත් දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ කෙනෙකු ධර්මිෂ්ඨ කරන්නේ කුමක්ද?

යෙහෝවඃවහන්සේව සතුටු කිරීමට නම්, උන්වහන්සේ අපෙන් අපේක්ෂා කරන දෙය පිළිබඳව අප තව තවත් ඉගෙනගත යුතුය. දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම ලබා, අපගේ ජීවිතවලට එය අදාළ කරගන්නවා නම්, අපට සදහටම ජීවත්විය හැක. දෙවියන්වහන්සේට කළ යාච්ඤාවකදී, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ, එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.

යෙහෝවඃ දෙවියන්වහන්සේ ගැනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් අපට පවසන ග්‍රන්ථය නම්, දේවවචනය වන බයිබලයයි. එය යෙහෝවඃවහන්සේගේ ඉතාමත්ම වටිනා දීමනාවලින් එකකි. බයිබලය ප්‍රේමනීය පියෙකුගෙන් සිය දරුවන්ට ලැබෙන හසුනක් මෙනි. මිනිස්වර්ගයා සඳහා වඩාත් හොඳ ජීවිතයක් ගෙන ඒම සඳහා වූ දෙවියන්වහන්සේගේ අරමුණ ගැන එය අපට පවසන අතර, අපට එය ලබාගත හැකි ආකාරය පෙන්වා දෙයි. දෙවියන්වහන්සේ අතීතයේදී කර ඇති දෙයත්, අනාගතයේදී උන්වහන්සේ කරන්ට යන දෙයත් දැනගැනීමට බයිබලය අපට සලස්වයි. අපගේ ගැටලු සමඟ දැන් සාර්ථකව කටයුතු කරන ආකාරය ගැනද, එය අපට ප්‍රායෝගික උපදෙස් දෙයි. සැබවින්ම, කරදරවලින් පිරි මෙම ලෝකයෙහි පවා, තරමක් දුරට හෝ සන්තෝෂය ලබන ආකාරය ගැන දේවවචනය අපට උගන්වයි.—2 තිමෝති 3:16.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔබ සඳහා සතුටෙන් නොමිලේ බයිබල් පාඩමක් පිළියෙළ කරනු ඇත. නුදුරු අනාගතයේදී බෙහෙවින් වඩාත් හොඳ ජීවිතයක් පිළිබඳ අපේක්ෂාව සහිතව, ඔබට දැන් වඩාත් සන්තෝෂවත් ජීවිතයක් ඇතුව සිටිය හැකි අයුරු ඉගෙනගන්න.

[5වන පිටුවේ පින්තූරය]

වඩාත් හොඳ ජීවිතයක් ළඟ බව බයිබල් අනාවැකිවලින් අඟවනු ලැබේ

[7වන පිටුවේ පින්තූරය]

දෙවියන්වහන්සේගේ රාජ්‍යය මිනිස්වර්ගයා සඳහා වඩාත් හොඳ ජීවිතයක් ගෙනෙනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න