“ආරක්ෂා නුවර” තුළ රැඳී සිට ජීවත්වන්න!
“උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර [තුළ රැඳී, NW] සිටිය යුතු වූයේය.”—ගණන් කථාව 35:28.
1. ලෙයෙහි පළියගන්නා කවුද, තවද උන්වහන්සේ වැඩි කලක් යන්ට මත්තෙන් කවර ක්‍රියාමාර්ගයක් ගන්නාසේක්ද?
ලේ පිළිබඳව යෙහෝවඃවහන්සේගේ පළිගන්නා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පහර දීමට සූදානම්ව සිටිනසේක. ලේ වරදට වගකිව යුතු මුත් පසුතැවිලි නොවන සියලුදෙනාට විරුද්ධව මෙම පළිගන්නා, සිය දේවදූතමය බලකාය සමඟින් ක්‍රියා කරන්නේය. එසේය, ශීඝ්‍රයෙන් එළඹෙන ‘මහත් පීඩාවේදී,’ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ වධකයාණන් ලෙස සේවය කරනසේක. (මතෙව් 24:21, 22; යෙසායා 26:21) එවිට මිනිස්වර්ගයාට තම ලේ වරද සමඟ මුහුණට මුහුණ ලා ගැටීමට සිදුවේ.
2. ආරක්ෂාව සඳහා තිබෙන එකම සැබෑ ස්ථානය කවරේද, තවද උත්තර අවශ්‍ය කවර ප්‍රශ්නවලටද?
2 ප්රතිරූපික ආරක්ෂා නුවර තිබෙන මඟට බැස තම ජීවිතය බේරාගැනීමට දිවීම වනාහි ආරක්ෂාව ලැබීම සඳහා මාර්ගය වේ! එම නුවර තුළට පිළිගනු ලැබුවොත්, සරණාගතයෙකු එතුළ රැඳී සිටිය යුතුය, මන්දයත් ආරක්ෂාව සඳහා එකම ස්ථානය එය වන බැවිනි. එහෙත් ‘අපෙන් බොහෝදෙනෙකු කිසිවෙකු ඝාතනය නොකර තිබෙන බැවින්, අප ඇත්තෙන්ම ලේ වරදට හසු වී සිටිනවාද? යේසුස්වහන්සේ ලෙයෙහි පළියගන්නා වන්නේ මන්ද? නවීන දින ආරක්ෂා නුවර කුමක්ද? කිසිවෙකුට ආරක්ෂා සහිතව යම් දිනක ඉන් බැහැර විය හැකිද?’ කියා ඔබ කල්පනා කරනවා විය හැක.
අපි සැබවින්ම ලේ වරදට හසු වී සිටිමුද?
3. මිහිපිට වෙසෙන බිලියන සංඛ්‍යාත සියලුදෙනා ලේ වරදට හසු වී සිටින බව දැකගැනීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කුමන අංගය අපට උපකාර කරනු ඇද්ද?
3 මිහිපිට වෙසෙන බිලියන සංඛ්‍යාත සියලුදෙනා ලේ වරදට හසු වී සිටින බව දැකගැනීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ එක් අංගයක් අපට උපකාර කරනු ඇත. ලේ වැගිරීම සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ ඉශ්රායෙල්වරුන් මතට හවුල් වගකීමක් පැවරූසේක. යමෙකු ඝාතනය වී සොයාගනු ලැබ, ඔහුගේ ඝාතකයා කවුද කියා නොදැන සිටියා නම්, ළඟම නුවර කුමක්ද කියා නිශ්චය කිරීමට අවට නුවරවල් දක්වා තිබෙන දුර මැන බැලීමට විනිසුරුවන්ට සිදුවිය. දෝෂය පහ කිරීම සඳහා, ලේ වරදට හසු වූ බවට පෙනීගිය එම නුවරේ වැඩිමහල්ලන්ට, හාන්ටවත් වපුරන්ටවත් භාවිත නොකරන, වතුර නිතරම ගලායන මිටියාවතක, වැඩ නොකළාවූ එළනෑම්බියකගේ බොටුව කැඩීමට සිදුවිය. මෙය ලෙවී පූජකයන් ඉදිරිපිට කරන ලදි, මන්දයත්, ‘යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ කීමේ හැටියට සියලු දරුණු ක්‍රියා හා සම්බන්ධ විවාද සමථයකට පත් කිරීමට’ තෝරාගෙන තිබූ බැවිනි. නෑම්බි මත තම අත් සෝදා හැරියාවූ නුවරේ වැඩිමහල්ලෝ මෙසේ පැවසූහ: “අපේ අත් මේ ලේ වැගිරෙවුවේවත් අපේ ඇස් මෙය දුටුවේවත් නැත. ස්වාමීන්වහන්ස, ඔබ මුදාගත් ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි නිදොස් ලේවල වරද නොතබා ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්ට කමා වුණමැනව.” (ද්විතීය කථාව 21:1-9) ඉශ්රායෙල් දේශය ලේ වැගිරීම හේතුකොටගෙන දූෂ්‍ය වී තිබීමටත්, එහි ජනයා පිට ලේ වරද තිබීමටත් යෙහෝවඃ දෙවියන්වහන්සේට වුවමනා නොවීය.
4. මහ බබිලෝනියට ලේ වරද පිළිබඳ කවර වාර්තාවක් තිබේද?
4 එසේය, හවුල් නොහොත් ප්‍රජා ලේ වරද කියන යමක් තිබේ. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනිය පිට තිබෙන අතිමහත් ලේ වරද සලකා බලන්න. ඇයි, ඈ යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගේ ලෙයින් මත්වී සිටින්නීය! (එළිදරව් 17:5, 6; 18:24) ක්‍රිස්තියානි ලෝකයේ ආගම් සාමයේ කුමරු අනුගමනය කරන බවට කියා සිටියත්, යුද්ධ, ආගමික අධර්ම මර්දනාධිකරණ හා මාරාන්තික කුරුස යුද්ධ හේතුකොටගෙන ඇය දෙවියන්වහන්සේ ඉදිරියේ ලේ වරදට වගකිව යුතුය. (යෙසායා 9:6; යෙරෙමියා 2:34) ඇත්තෙන්ම, මේ සියවසේ ලෝක සංග්රාම දෙකේ සිදුවූ මිලියන ගණනකගේ ඝාතනවලට ඇය ප්‍රධාන වරදකාරිත්වය දැරිය යුතුය. එමනිසා, බොරු ආගම් අදහන අය මෙන්ම, මිනිස් යුද්ධවලට අනුබල දෙන හා ඒවාට සහභාගි වන අය දෙවියන්වහන්සේ ඉදිරියෙහි ලේ වරදකාරිත්වය උසුලති.
5. ඉශ්රායෙල්හි හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තාට ඇතැම් ජනයා සමාන වී තිබෙන්නේ කෙසේද?
5 ඇතැම් ජනයා හිතා මතා නැතහොත් නොසැලකිලිමත්භාවය තුළින් මිනිස් ඝාතන සිදු කර ඇත්තාහ. වෙනත් අය සමූල ඝාතනවලට හවුල් වී ඇත්තේ, මෙය දේවකැමැත්ත බවට ඇතැම් විට ආගමික නායකයන් විසින් පොලඹවනු ලැබ තිබෙන බැවිනි. තවත් අය දෙවියන්වහන්සේගේ සේවකයන්ට පීඩා කොට ඔවුන්ව ජීවිතක්ෂයට පත් කොට ඇත්තාහ. අප එවන් දේවල නිරත නොවී සිටියත්, අප දෙවියන්වහන්සේගේ නීතිය හා කැමැත්ත නොදැන සිටි බැවින්, මිනිස් ජීවිත නැතිවීම සම්බන්ධයෙන් අපිද ප්‍රජා වගකීම දරන්නෙමු. ‘තම අසල්වාසියා කෙරේ වෛරයක් නොතිබී අත්වැරැද්දෙන් ඔහු මරණයට පත් කළ’ මුත් හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තාට අපි සමාන වෙමු. (ද්විතීය කථාව 19:4) දයාව සඳහා දෙවියන්වහන්සේට අයැදිය යුතු මෙවන් පුද්ගලයන්, ප්රතිරූපික ආරක්ෂා නුවර තුළට දිව යා යුතුය. එසේ නොකළොත් ලෙයෙහි පළියගන්නා අතින් මරණයෙන් කෙළවර වන මුණගැසීමකට ඔවුන් නතු වනු ඇත.
යේසුස්වහන්සේගේ අතිවැදගත් භූමිකා
6. යේසුස්වහන්සේ මිනිස්වර්ගයාගේ කිට්ටුම ඥාතියා කියා කිව හැක්කේ මන්ද?
6 ඉශ්රායෙල්හි ලෙයෙහි පළියගන්නා වූ කලි ගොදුරු වූ තැනැත්තාගේ ළඟම නෑයා වූයේය. මිහිපිට ඝාතනය කර තිබෙන සියලුදෙනා වෙනුවෙන්, විශේෂයෙන්ම යෙහෝවඃවහන්සේගේ ඝාතනය වූ සේවකයන් වෙනුවෙන් පළිගැනීමට නම්, වත්මන් ලෙයෙහි පළියගන්නාවූ තැනැත්තා මුළු මිනිස් සංහතියේ ඥාතියෙකු විය යුතුය. එම භූමිකාව යේසුස්වහන්සේ විසින් රඟ පා තිබේ. උන්වහන්සේ පරිපූර්ණ මිනිසෙක් ලෙස උපන්සේක. මිදීමේ පූජාවක් ලෙස තම පව් රහිත ජීවිතය මරණයට පාවා දුන් යේසුස්වහන්සේ, නැවත නැඟිට ස්වර්ගයට යෑමෙන් පසු, පව්කාර ආදම්ගේ මියයන පැවතෙන්නන් වෙනුවෙන් එහි අගය දෙවියන්වහන්සේට ඉදිරිපත් කළසේක. මෙසේ ක්‍රිස්තුස්වහන්සේ මිනිසාගේ මිදුම්කරු, අපේ කිට්ටුම ඥාතියා—එනම් ලෙයෙහි පළිය ගැනීමට හිමිකම් පාන තැනැත්තා බවට පත්වූසේක. (රෝම 5:12; 6:23; හෙබ්‍රෙව් 10:12) යේසුස්වහන්සේ සිය අඩිපාරෙහි ගමන් කරන අභිෂේක ලත් අනුගාමිකයන්ගේ සහෝදරයෙකු ලෙස හඳුන්වා තිබේ. (මතෙව් 25:40, 45; හෙබ්‍රෙව් 2:11-17) ස්වර්ගික රජාණන් වශයෙන් උන්වහන්සේ, භූමික යටත්වැසියන් හැටියට සිය පූජාවෙන් ප්‍රයෝජන ලබන්නාවූ අයගේ “සදාකාල පියාණෝ” බවට පත්වනසේක. මොවුහු සදාකල් ජීවත්වන්නෝය. (යෙසායා 9:6, 7) එසේනම්, යෙහෝවඃවහන්සේ විසින් මිනිස්වර්ගයාගේ මෙම කිට්ටු ඥාතියා ලෙයෙහි පළියගන්නා වශයෙන් පත් කර තිබීම යෝග්‍යය.
7. ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වශයෙන්, යේසුස්වහන්සේ මිනිසා වෙනුවෙන් කුමක් කරනසේක්ද?
7 එමෙන්ම යේසුස්වහන්සේ වූ කලි, පව් රහිත, පරීක්ෂාවලින් ජයගත්, දයානුකම්පිත උත්තම පූජකයෙක්ද වනසේක. (හෙබ්‍රෙව් 4:15) එම තත්වයේ සිටින උන්වහන්සේ, පාපයට වන්දි ගෙවන සිය පූජාවේ අගය මිනිස්වර්ගයා වෙනුවෙන් අදාළ කරනසේක. ‘ඉශ්රායෙල් පුත්‍රයන්ද, විදේශියාද, ඔවුන් අතරේ සිටින ආගන්තුකයාද’ වෙනුවෙන් ආරක්ෂා නුවරවල් පිහිටුවන ලදි. (ගණන් කථාව 35:15) එනිසා ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා සිය පූජාවේ අගය මුලින්ම සිය අභිෂේක ලත් අනුගාමිකයන් වන “ඉශ්රායෙල් පුත්‍රයන්” වෙනුවෙන් අදාළ කළසේක. දැන් එය ප්රතිරූපික ආරක්ෂා නුවරේ සිටින ‘විදේශිකයන්’ හා ‘ආගන්තුකයන්’ වෙනුවෙන් අදාළ කරනු ලැබේ. ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම “වෙනත් බැටළුවෝ” මිහිපිට සදාකල් ජීවත්වීමට බලාපොරොත්තු වෙති.—යොහන් 10:16; ගීතාවලිය 37:29, 34.
අදදින තිබෙන ආරක්ෂා නුවර
8. ප්රතිරූපික ආරක්ෂා නුවර යනු කුමක්ද?
8 ප්රතිරූපික ආරක්ෂා නුවර කුමක්ද? ඉශ්රායෙල්හි උත්තම පූජකයාගේ වාසස්ථානයද ලෙවීවරුන්ගේ ආරක්ෂා නුවරවල් හයින් එකක්ද වූ හෙබ්‍රොන් මෙන්, එය යම් නිශ්චිත භූගෝලීය පිහිටීමක් තිබෙන ස්ථානයක් නොවේ. වත්මන් ආරක්ෂා නුවර වනාහි, රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ දෙවියන්වහන්සේගේ ආඥාව උල්ලංගනය කිරීම හේතුවෙන් අපට හිමිවිය යුතු මරණයෙන් අපව ආරක්ෂා කිරීමට වූ උන්වහන්සේගේ සැපයුම වේ. (උත්පත්ති 9:6) දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ආඥාව උල්ලංගනය කර ඇති සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගෙන් සමාවද, උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන තම පාපය අවලංගු කිරීමද පැතිය යුතුය. ස්වර්ගික බලාපොරොත්තු ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද, භූමික අපේක්ෂා ඇති “මහත් සමූහය[ද]” පාපයට වන්දි ගෙවන යේසුස්වහන්සේගේ පූජාවෙන් ප්‍රයෝජන නෙළාගෙන ඇති අතර, ඔවුහු ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ සිටිති.—එළිදරව් 7:9, 14; 1 යොහන් 1:7; 2:1, 2.
9. තාර්සස්හි සාවුල් රුධිරය පිළිබඳ දෙවියන්වහන්සේගේ ආඥාව උල්ලංගනය කළේ කෙසේද, නමුත් ඔහු සිය ආකල්පයේ වෙනස්වීමක් විදහාපෙන්වූයේ කෙසේද?
9 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි භක්තිකයෙකු වීමට පෙර, හෙතෙම රුධිරය පිළිබඳ ආඥාව උල්ලංගනය කර තිබිණ. තාර්සස්හි සාවුල් වශයෙන්, යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට පීඩා කළ හේ, ඔවුන්ව ඝාතනය කිරීමට පවා අනුමැතිය දුන්නේය. කෙසේවෙතත්, “නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි” කියා පාවුල් පැවසීය. (1 තිමෝති 1:13; ක්‍රියා 9:1-19) පසුතැවිල්ල පෙන්නුම් කළ ආකල්පයක් ඇතුව සිටි පාවුල්, පසුව ඇදහිල්ලේ ක්‍රියා බොහොමයක් මගින් එය ඔප්පු කළේය. එහෙත් ප්රතිරූපික ආරක්ෂා නුවර තුළට පිවිසීම සඳහා මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීමට වඩා වැඩි යමක් අවශ්‍ය කෙරේ.
10. යහපත් හෘදය සාක්ෂියක් අත් කරගත හැක්කේ කෙසේද, තවද එය පවත්වාගැනීමට කුමක් කළ යුතුද?
10 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තෙකුට ඉශ්රායෙල්හි ආරක්ෂා නුවරවලින් එකක සිටීමට අවසර ලැබුණේ, තමාට ලේ වැගිරවීම සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත් හෘදය සාක්ෂියක් තිබෙන බවට ඔප්පු කළ හැකි වූවා නම් පමණි. යහපත් හෘදය සාක්ෂියක් අත් කරගැනීමට නම්, අපි යේසුස්වහන්සේගේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වා, අපේ පාප ගැන පසුතැවිලි වී, අපේ ගමන් මාර්ගය වෙනස් කළ යුත්තෙමු. අප ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට යාච්ඤාපූර්වකව කැපවීම මගින් යහපත් හෘදය සාක්ෂියක් ඉල්ලා සිටිය යුතු අතර, එම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළ යුතුය. (1 පේතෘස් 3:20, 21) යෙහෝවඃවහන්සේ සමඟ පිරිසිදු සබඳතාවක් අත් කරගැනීමට මෙම යහපත් හෘදය සාක්ෂිය අපහට අවකාශ සලසා දෙයි. පුරාණ ආරක්ෂා නුවරවල සිටි සරණාගතයන්ට ව්‍යවස්ථාවට කීකරුවීමටත්, තමුන්ට පවරන ලද වැඩ ඉටු කිරීමටත් සිදුවූවාක් මෙන්, දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවලට අවනත වීමත්, ප්රතිරූපික ආරක්ෂා නුවරෙහි අපට පවරා තිබෙන වැඩය කිරීමත්, යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට තිබෙන එකම මඟ වේ. අදදින යෙහෝවඃවහන්සේගේ ජනයා සඳහා තිබෙන ප්‍රධානතම කාර්යය වනාහි රාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමය. (මතෙව් 24:14; 28:19, 20) වත්මන් ආරක්ෂා නුවරේ වැඩදායක වැසියන් වීමට එම කාර්යයෙහි නිරත වීම අපහට උපකාරවත් වන්නේය.
11. අප වත්මන් ආරක්ෂා නුවර තුළ සුරැකිව රැඳී සිටීමට නම්, කුමකින් වැළකී සිටිය යුතුද?
11 අදදින තිබෙන ආරක්ෂා නුවරින් බැහැර වීමෙන් සිදුවන්නේ විනාශවීමට අපවම නිරාවරණය කිරීමකි, මන්දයත් ලේ වරදට හසු වී සිටින සෑම කෙනෙකුටම එරෙහිව ලෙයෙහි පළියගන්නා ක්‍රියා කරන බැවිනි. මෙම ආරක්ෂා සහිත නුවරින් පිටත හෝ එහි ගොදුරු බිම්වල පිටත සීමාවට ආසන්න වූ අනතුරුදායක ප්‍රදේශයක හෝ සිටීම නිසා අසුවීමට මෙය කාලය නොවේ. පාපයට වන්දි ගෙවන උත්තම පූජකයාගේ පූජාව කෙරෙහි අප ඇදහිල්ල නැති කරගතහොත් අප ප්රතිරූපික ආරක්ෂා නුවරින් පිටතට යනවා ඇත. (හෙබ්‍රෙව් 2:1; 6:4-6) එමෙන්ම, අප ලෝකයේ පුරුදු අනුගමනය කළහොත්, යෙහෝවඃවහන්සේගේ සංවිධානයේ මායිමේ සිටියහොත්, එමෙන්ම අපේ ස්වර්ගික පියාණන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින් ඉවත්ව ගියහොත්, අප අනාරක්ෂිත වනු ඇත.—1 කොරින්ති 4:4.
ආරක්ෂා නුවරින් නිදහස් වී
12. කලින් ලේ වරදට හසු වී සිටි අය ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ කොපමණ කල් රැඳී සිටිය යුතුද?
12 ඉශ්රායෙල්හි හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තෙකු “උත්තම පූජකයා නසින තුරු” ආරක්ෂා නුවරක රැඳී සිටිය යුතුව තිබිණ. (ගණන් කථාව 35:28) එබැවින් කලින් ලේ වරදට හසු වී සිටි අය ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ කොපමණ කලක් ගෙවිය යුතුද? උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් පිරිනැමෙන සේවාව ඔවුන්ට තවදුරටත් අවශ්‍ය නොවන තාක්කල්ය. “උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් . . . කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන,” කියා පාවුල් පැවසීය. (හෙබ්‍රෙව් 7:25) යම් ලේ වරදක් පවතින තාක්කල්, අසම්පූර්ණ මිනිසුන්ට දෙවියන්වහන්සේ සමඟ නිසි ස්ථාවරයක් ඇතුව සිටීමට හැකිවන පිණිස උත්තම පූජකයාගෙන් පිරිනැමෙන සේවාව අවශ්‍ය වේ.
13. වත්මන් “ඉශ්රායෙල් පුත්‍රයන්” කවුරුන්ද, තවද ඔවුන් “ආරක්ෂා නුවර” තුළ කොපමණ කලක් රැඳී සිටිය යුතුද?
13 පුරාණ ආරක්ෂා නුවරවල් “ඉශ්රායෙල් පුත්‍රයන්,” විදේශිකයන් හා ආගන්තුකයන් වෙනුවෙන් පිහිටුවනු ලැබූ බවට සිහිකරන්න. “ඉශ්රායෙල් පුත්‍රයන්” වනාහි ආත්මික ඉශ්රායෙල්වරුන් වේ. (ගලාති 6:16) ඔවුන් මිහිපිට ජීවත්වන තාක්කල් ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ රැඳී සිටිය යුතුය. ඒ මන්ද? ඔවුන් තවමත් අසම්පූර්ණ මාංසය තුළ සිටින බැවින්ය, එමනිසා ඔවුන්ට සිය ස්වර්ගික උත්තම පූජකයාගේ වන්දි ගෙවන පූජාවේ අගය අවශ්‍ය වේ. එහෙත් මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මියගොස් ස්වර්ගයේ ආත්ම ජීවිතයකට නැවත නැඟිටුවනු ලබන විට, ඔවුන්ට තවදුරටත් උත්තම පූජකයාගේ වන්දි ගෙවන සේවාව අවශ්‍ය නොවනු ඇත; ඔවුන් සදහටම මාංසය හා ඊට සම්බන්ධ වූ ලේ වරද අත්හැර සිටිනු ඇත. නැවත නැඟිටුවන ලද එවන් අභිෂේක ලත් අය කෙරෙහි, වන්දි ගෙවීමේ හා ආරක්ෂාව සැපයීමේ කාර්යය සම්බන්ධයෙන් උත්තම පූජකයා එවිට මියගොස් සිටිනු ඇත.
14. ස්වර්ගික බලාපොරොත්තු ඇත්තාවූ අය දැන් වත්මන් ආරක්ෂා නුවර තුළ රැඳී සිටිය යුත්තේ මන්ද?
14 “ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ [ස්වර්ගික] හවුල් උරුමක්කාරයෝ” වනු ඇති අය, මරණයේදී සිය භූමික ජීවිතය විශ්වාසවන්තව අවසන් කරන තාක්කල්, ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ රැඳී සිටිය යුතු වීමට අවශ්‍ය වන තවත් ශුද්ධ ලියවිලිමය හේතුවක් තිබේ. ඔවුන් මියයන විට, ඔවුහු සදහටම සිය මිනිස් ස්වභාවය පූජා කරන්නෝය. (රෝම 8:17; එළිදරව් 2:10) යේසුස්වහන්සේගේ පූජාව අදාළ වන්නේ මිනිස් ස්වභාවයක් ඇති අයට පමණි. එබැවින්, ආත්මික ඉශ්රායෙල්හි සාමාජිකයන්, “දේව ස්වභාවට පංගුකාරයන්” වශයෙන් ස්වර්ගයෙහි සදහටම වාසය කරන්නාවූ ආත්ම ජීවීන් වශයෙන් නැවත නැඟිටුවනු ලබන විට, උත්තම පූජකයා ඔවුන් සම්බන්ධයෙන් මියයන්නේය.—2 පේතෘස් 1:4.
15. වත්මන් ‘විදේශිකයෝ’ හා ‘ආගන්තුකයෝ’ කවරහුද, තවද උත්තම පූජකයා ඔවුන් වෙනුවෙන් කරනු ඇත්තේ කුමක්ද?
15 වත්මන් ‘විදේශිකයන්ට’ හා ‘ආගන්තුකයන්ට’ ප්රතිරූපික ආරක්ෂා නුවරින් ඉවත්වීමට අවසර දෙමින්, ඔවුන් සම්බන්ධයෙන් උත්තම පූජකයා ‘නසින්නේ’ කවදාද? මහත් පීඩාව අවසන් වූ වහාම මහත් සමූහයේ මේ සාමාජිකයන්ට මෙම ආරක්ෂා නුවරින් ඉවත්විය නොහැකිය. ඉවත් විය නොහැක්කේ මන්ද? මන්දයත් ඔවුන් තවමත් සිය අසම්පූර්ණ, පව්කාර මාංසයේ පවතින බැවිනි, එබැවින් ඔවුන් උත්තම පූජකයාගේ රැකවරණය යටතේ සිටීම අවශ්‍ය වනු ඇත. උන්වහන්සේගේ දහස් අවුරුදු රාජ්‍ය පාලනය හා පූජකත්වය දිවයන කාලය තුළදී, උන්වහන්සේගේ වන්දි ගෙවන සේවාවන්ට අවනත වීමෙන්, ඔවුන් පරිපූර්ණත්වය ලබා ගන්නවා ඇත. ඔවුන්ගේ අඛණ්ඩතාව සම්බන්ධයෙන් අවසාන, සදහටම තීරණාත්මක වන පරීක්ෂණයක් සඳහා යේසුස්වහන්සේ ඔවුන්ව දෙවියන්වහන්සේට භාර දෙනසේක, මෙය කරනු ලබන්නේ සාතන්වද, ඔහුගේ භූතයන්වද කෙටි කලකට මුදාහැරීම මගින්ය. ඔවුන් මෙම පරීක්ෂණයෙන් දිව්‍ය අනුමැතිය ඇතුව සමත් වන හෙයින්, යෙහෝවඃවහන්සේ ඔවුන්ව ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනසේක. මෙසේ ඔවුහු මිනිස් පරිපූර්ණත්වයේ උපරිමය කරා එළඹෙන්නෝය.—1 කොරින්ති 15:28; එළිදරව් 20:7-10.a
16. මහත් පීඩාවෙන් බේරී ජීවත්වන්නන්හට උත්තම පූජකයාගේ වන්දි ගෙවන සේවා තවදුරටත් අවශ්‍ය නොවන්නේ කවදාද?
16 එසේනම්, මහත් පීඩාවෙන් ගැළවෙන අය, ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය අවසානය දක්වා යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගත යුත්තේ ප්රතිරූපික ආරක්ෂා නුවරෙහි රැඳී සිටීමෙනි. පරිපූර්ණත්වයට පත් කරන ලද මිනිසුන් වශයෙන්, උත්තම පූජකයාගේ වන්දි ගෙවන සේවා තවදුරටත් අවශ්‍ය නොකරන ඔවුහු, උන්වහන්සේගේ රැකවරණයෙන් ඉවතට පැමිණෙන්නෝය. එවිට යේසුස්වහන්සේ උත්තම පූජකයා වශයෙන් ඔවුන් සම්බන්ධයෙන් මියයනසේක, මන්දයත්, සිය පූජාවේ පිරිසිදු කරන රුධිරය උපයෝගි කරමින්, ඔවුන් වෙනුවෙන් උන්වහන්සේට ක්‍රියා කිරීමට තවදුරටත් අවශ්‍යතාවක් නොතිබෙන බැවිනි. එම අවස්ථාවේදී ඔවුහු ප්රතිරූපික ආරක්ෂා නුවරින් ඉවතට පැමිණෙන්නෝය.
17. ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය තුළදී නැවත නැඟිටුවනු ලබන්නන්ට ප්රතිරූපික ආරක්ෂා නුවර තුළට ඇතුල් වී එතුළ රැඳී සිටීමට අවශ්‍ය නොවනු ඇත්තේ මන්ද?
17 යේසුස්වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය තුළදී නැවත නැඟිටුවනු ලබන අය, ප්රතිරූපික ආරක්ෂා නුවරට ඇතුල් වී උත්තම පූජකයාගේ අභාවය සිදුවන තාක්කල් එහි රැඳී සිටිය යුතුද? නැත, මන්දයත් මියයෑමෙන් ඔවුන් සිය පව්කාරකමට වන්දිය ගෙවා තිබෙන බැවිනි. (රෝම 6:7; හෙබ්‍රෙව් 9:27) කෙසේවෙතත්, පරිපූර්ණත්වය කරා එළඹීමට උත්තම පූජකයා ඔවුන්ට උපකාර කරන්නේය. දහස් අවුරුදු සමයෙන් පසු අවසාන පරීක්ෂණයෙන් ඔවුන් සාර්ථකව සමත් වනවා නම්, පොළොව මත සදාකල් ජීවනය නමැති සහතිකයක් ඇතුව දෙවියන්වහන්සේ ඔවුන් ධර්මිෂ්ඨ බවත් ප්‍රකාශ කරනසේක. ඇත්තවශයෙන්ම, අඛණ්ඩතාව පවත්වන්නන් වශයෙන් අවසාන පරීක්ෂණයෙන් අසමත් වන ඕනෑම මිනිසෙකුට දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවලට අවනත වීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපවාද සහිත විනිශ්චයක්ද, විනාශයක්ද ලැබෙනවා ඇත.
18. යේසුස්වහන්සේගේ රාජ්‍යතන්ත්‍රය හා පූජකතන්ත්‍රය සම්බන්ධයෙන්, මිනිස්වර්ගයා සමඟ සදහටම පවතිනු ඇත්තේ කුමක්ද?
18 ඉශ්රායෙල්හි උත්තම පූජකයෝ අවසානයේදී මියගියෝය. එහෙත් යේසුස්වහන්සේ, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක්” බවට පත්වී තිබේ. (හෙබ්‍රෙව් 6:19, 20; 7:3) එබැවින් මිනිස්වර්ගයා වෙනුවෙන් මැදහත්කරුවෙකු හැටියට සේවය කරන උත්තම පූජකයෙකු වශයෙන් යේසුස්වහන්සේට හිමි නිලය අහෝසි වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, උන්වහන්සේගේ ජීවිතය කෙළවරකට පත් නොවේ. රජාණන් හා උත්තම පූජකයාණන් ලෙස උන්වහන්සේ පිරිනමන සේවයේ යහපත් බලපෑම් මිනිස්වර්ගයා සමඟ සදහටම පවතිනු ඇති අතර, උන්වහන්සේ මෙම ධුරයන්හි සේවය කිරීම හේතුකොටගෙන, මිනිස්සු උන්වහන්සේට සදහටම ණයගැතිව සිටින්නෝය. එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේට පිරිනමන නිර්මල නමස්කාරයේදී, යේසුස්වහන්සේ සදහටම පෙරමුණ ගන්නාසේක.—පිලිප්පි 2:5-11.
අපට අනගි පාඩම්
19. ආරක්ෂා නුවරවල සැපයුමෙන්, වෛරය හා ප්‍රේමය පිළිබඳ කුමන පාඩම උගත හැකිද?
19 ආරක්ෂා නුවරවල සැපයුම තුළින් අපට පාඩම් රාශියක් උගත හැක. උදාහරණයක් වශයෙන්, තමාට ගොදුරු වූ තැනැත්තා කෙරෙහි බද්ධ වෛරයක් තිබූ මනුෂ්‍ය ඝාතකයෙකුට ආරක්ෂා නුවර තුළ වාසය කිරීමට අවසර ලැබුණේ නැත. (ගණන් කථාව 35:20, 21) එබැවින් ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ වාසය කරන කිසිවෙකුට තම හෘදය තුළ සහෝදරයෙකුට එරෙහිව වෛරයක් වර්ධනය වීමට ඉඩහැරිය හැක්කේ කෙසේද? ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුය.” එසේනම්, “අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්” වන නිසාය.—1 යොහන් 3:15; 4:7.
20. ලෙයෙහි පළියගන්නාගෙන් ආරක්ෂා වීම සඳහා, ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ වාසයකරන්නන් කුමක් කළ යුතුද?
20 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අයට ලෙයෙහි පළියගන්නාගෙන් ආරක්ෂා වී සිටීම සඳහා, ආරක්ෂා නුවර තුළ සිටීමටත්, එහි ගොදුරු බිම්වලින් ඔබ්බට නොයා සිටීමටත් සිදුවිය. ප්රතිරූපික ආරක්ෂා නුවර තුළ සිටින්නන් ගැන කුමක් කිව හැකිද? ලෙයෙහි පළිය ගන්නාවූ ශ්‍රේෂ්ඨ තැනැත්තාගෙන් ආරක්ෂා වීමට, ඔවුන් නුවරින් පිටතට නොයා සිටිය යුතුය. රූපික ලෙස කතා කරනවා නම්, ගොදුරු බිම්වල මායිමට යෑම සඳහා තිබෙන පෙලඹීම්වලින් ආරක්ෂා වීමට ඇත්තෙන්ම ඔවුන් වගබලා ගත යුතුය. ඔවුන්ගේ හෘදයේ සාතන්ගේ ලෝකය සඳහා ප්‍රේමය වර්ධනය වීම සඳහා ඉඩ නොදීමට ඔවුන් වගබලා ගත යුතුය. මේ සඳහා යාච්ඤාවද වෑයමද අවශ්‍යය, ඔවුන්ගේ ජීවිතද ඒ මත රඳා පවතී.—1 යොහන් 2:15-17; 5:19.
21. වත්මන් ආරක්ෂා නුවර තුළ සිටින්නන් විසින් කරනු ලබන්නේ කෙබඳු විපාකදායී වැඩක්ද?
21 පුරාතන ආරක්ෂා නුවරවල සිටි හිතා මතා මනුෂ්‍ය ඝාතන සිදු නොකළ අය, වැඩදායක වැඩකරුවන් විය යුතුව තිබිණ. ඒ හා සමානව, අස්වැන්න නෙළීමේ වැඩකරුවන් හා රාජ්‍ය ප්‍රකාශකරන්නන් වශයෙන්, අභිෂේක ලත් “ඉශ්රායෙල් පුත්‍රයන්” කදිම ආදර්ශයක් තබා ඇත. (මතෙව් 9:37, 38; මාර්ක් 13:10) වත්මන් ආරක්ෂා නුවරේ ‘විදේශිකයන්’ හා ‘ආගන්තුකයන්’ හැටියට පෙනී සිටින භූමික බලාපොරොත්තු ඇති ක්‍රිස්තියානීහු, තවමත් මිහිපිට සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා උරින් උර ගැටී, ජීවිත ගළවන මෙම කර්තව්‍යය කිරීමට වරප්‍රසාද ලබා සිටිත්. තවද මෙය මොනතරම් විපාකදායී කර්තව්‍යයක්ද! ප්රතිරූපික ආරක්ෂා නුවරෙහි විශ්වාසවන්තව වැඩකරන්නෝ ලෙයෙහි පළියගන්නා අතින් සදාකාල මරණය නොවිඳ ගැළවෙන්නෝය. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වශයෙන් උන්වහන්සේ පිරිනමන සේවයෙන් ඔවුහු සදාකාලික ප්‍රයෝජන ලබන්නෝය. ඔබ ආරක්ෂා නුවර තුළ රැඳී සදහටම ජීවත්වනු ඇද්ද?
[පාදසටහන්වල]
ඔබ කෙලෙස උත්තර දෙන්නෙහිද?
◻ මිහිපිට වෙසෙන බිලියන සංඛ්‍යාත සියලුදෙනා ලේ වරදට හසු වී සිටින බව පැවසිය හැක්කේ මන්ද?
◻ මිනිස්වර්ගයා සම්බන්ධයෙන් යේසුස්වහන්සේ රඟපාන්නේ කවර භූමිකාද?
◻ ප්රතිරූපික ආරක්ෂා නුවර යනු කුමක්ද, තවද යමෙකු එතුළට ඇතුල්වන්නේ කෙසේද?
◻ ජනයා ප්රතිරූපික ආරක්ෂා නුවරින් නිදහස ලබනු ඇත්තේ කවදාද?
◻ ආරක්ෂා නුවරවල සැපයුමෙන් අපට කුමන අනගි පාඩම් උගත හැකිද?
[16වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් රඟපානු ලබන අතිවැදගත් භූමිකා කුමක්ද කියා ඔබ දන්නෙහිද?