විලියම් ටින්ඩේල්—දූරදර්ශී මිනිසෙක්
නියම ස්ථානය හෝ දිනය නිශ්චය කළ නොහැකි වුවත්, විලියම් ටින්ඩේල්, ඇතැම්විට එංගලන්තයේ, “වේල්ස්හි දේශසීමාවේ” ග්ලොස්ටර්ෂයර්වල, උපත ලැබුවා විය හැක. වර්ෂ 1994 ඔක්තෝබර් මාසයේදී, එංගලන්තය “අපට අපේ ඉංග්‍රීසි බයිබලය” දුන් මිනිසාගේ උපතේ 500වන සංවත්සරය පැවැත්වීය. මේ සේවය සඳහා ටින්ඩේල්ට සිය ජීවිතය පරිත්‍යාග කරන්ට සිදුවිය. ඒ මන්ද?
විලියම් ටින්ඩේල් ග්‍රීක් හා ලතින් භාෂා හැදෑරීමේදී නිපුණත්වයක් දැක්වූයේය. වර්ෂ 1515දී, වයස අවුරුදු 21කට නොවැඩි වූ ඔහුට, ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියක් පිරිනමනු ලැබීය. වර්ෂ 1521 වන විට, ඔහුව රෝමානු කතෝලික පූජකයෙකු ලෙස පත් කරනු ලැබීය. ඒ කාලයේදී මාර්ටින් ලූතර්ගේ ක්‍රියාකාරකම් නිසා ජර්මනියේ කතෝලික ධර්මය වියවුල් තත්වයක තිබිණ. එහෙත් අන්තිමේදී VIIIවන හෙන්රි රජු 1534දී, රෝමය සමඟ සම්බන්ධකම් බිඳ හෙළූ අවස්ථාව දක්වා, එංගලන්තය කතෝලික රටක්ව පැවතියේය.
ටින්ඩේල්ගේ කාලයේදී ඉංග්‍රීසි පොදු භාෂාව වශයෙන් පැවතුණත්, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ලතින් භාෂාවෙන් කරන ලදි. පල්ලියේ මෙන්ම බයිබලයේ භාෂාව වශයෙන්ද එය කටයුතු කළේය. වර්ෂ 1546දී, ලතින් වල්ගේට් පරිවර්තනය පමණක් භාවිතයෙහි පැවතිය යුතු බව ට්රෙන්ට්හි සභාව නැවත ප්‍රකාශ කර සිටියේය. කෙසේවෙතත්, එය කියවීමට හැකිවූයේ දැනඋගත් අයට පමණි. ඉංග්‍රීසියෙන් බයිබලයක්ද එය කියවීමට නිදහසද එංගලන්ත ජනයාට ලබා නොදිය යුත්තේ මන්ද? “ජෙරෝම්ද බයිබලය සිය මව් බසට පරිවර්තනය කළා: අපටත් එසේම කළ නොහැක්කේ ඇයි?” යන්න ටින්ඩේල්ගේ තර්කය වූයේය.
ඇදහිල්ලේ පියවරක්
ඔක්ස්ෆර්ඩ්වල මෙන්ම ඇතැම්විට කේම්බ්‍රිජ්හි කළ අමතර අධ්‍යයනවලින් පසුව, ටින්ඩේල් අවුරුදු දෙකකට ග්ලොස්ටර්ෂයර්හි ජොන් වොල්ෂ්ගේ තරුණ පුත්‍රයන්ට පෞද්ගලික ගුරුවරයෙක් සේ කටයුතු කළේය. මෙම කාලපරිච්ඡේදය තුළදී, බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට වූ සිය ආශාව පෝෂණය කළ හේ, සමාන්තර තීරුවල ග්‍රීක් හා ලතින් පාඨය දක්වා තිබූ, ඉරැස්මස්ගේ අලුත් බයිබල් පාඨය ඇසුරෙන් සිය පරිවර්තන කුසලතා වැඩිදියුණු කිරීමට ඔහුට ප්‍රස්තාව ලැබුණු බවට කිසිදු සැකයක් නැත. වර්ෂ 1523දී, වොල්ෂ් පවුලෙන් සමුගත් ටින්ඩේල් ලන්ඩනය බලා පිටත්වූයේය. ලන්ඩනයේ බිෂොප් කත්බර්ට් ටන්ස්ටල්ගෙන් තම පරිවර්තනයට අවසර ලැබීම ඔහුගේ අරමුණ විය.
ඔක්ස්ෆර්ඩ්හි සංස්ථාපන ලෙස හඳුන්වනු ලැබූ, 1408දී ඔක්ස්ෆර්ඩ්හි පැවති සිනොඩ් සභාවක ප්‍රතිපාදනවල, බිෂොප්වරයාගේ අවසරය නොමැතිව, බයිබලය ස්වභාෂාවට පරිවර්තනය කිරීම හෝ කියවීම හෝ මත තහනමක් පනවා තිබූ නිසා, ටන්ස්ටල්ගේ අධිබලය අත්‍යවශ්‍ය විය. මෙම තහනම උල්ලංගනය කිරීමට එඩිතර වූ, ලොලාඩ්වරුන් ලෙස හැඳින්වූ සංචාරක දේශනාකරන්නෝ බොහෝදෙනෙක් මිථ්‍යාග්‍රාහකයන් වශයෙන් පුලුස්සනු ලැබූහ. මේ ලොලාඩ්වරු, වල්ගේට් පරිවර්තනයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජොන් වයික්ලිෆ්ගේ බයිබලය කියවීමෙහි හා බෙදාහැරීමෙහි නිරත වූහ. තම පල්ලිය සඳහාත්, එංගලන්ත ජනයා සඳහාත්, ක්‍රිස්තියානි ලියවිලි ග්‍රීක් භාෂාවේ සිට අලුත්, නිරවද්‍ය අනුවාදයකට පරිවර්තනය කිරීම සඳහා සුදුසු කාලය පැමිණ ඇති බව ටින්ඩේල්ට හැඟිණ.
උගත් මිනිසෙක් වූ බිෂොප් ටන්ස්ටල්, ඉරැස්මස්ව දිරිගැන්වීමෙහිලා මහඟු සේවයක් ඉටු කර තිබිණ. ටින්ඩේල්, ටන්ස්ටල්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා තම කුසලතා පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට, ඉතා දුෂ්කර ග්‍රීක් පාඨයක් වූ, අයිසොක්‍රටීස්ගේ දේශනයක් පරිවර්තනය කර තිබිණ. ටන්ස්ටල්ගේ මිත්‍රත්වයද අනුග්රහයද දිනාගැනීමට හැකි වී, ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීම සඳහා වූ තම යෝජනාව ඔහු පිළිගනී කියා ටින්ඩේල් ඕනෑවට වඩා බලාපොරොත්තු ඇති කරගත්තේය. බිෂොප්වරයා කුමක් කරනු ඇද්ද?
ප්රතික්ෂේපය—මන්ද?
ටින්ඩේල්ට හඳුන්වා දීමේ ලිපියක් තිබුණද, ටන්ස්ටල් ඔහුව හමුවීමට අකමැති විය. එමනිසා සම්මුඛ සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් ටින්ඩේල්ට ලිපියක් ලිවීමට සිදුවිය. අවසානයේදී ටින්ඩේල්ව හමුවීමට ටන්ස්ටල් අදහස් කළාද යන්න අපැහැදිලි වුවද, ‘මගේ නිවහනේ ඉඩ කඩ නැත’ යන්න ඔහුගේ පණිවිඩය විය. ටන්ස්ටල් හිතා මතාම ටින්ඩේල්ට එතරම් මදිපුංචිකමක් කළේ මන්ද?
යුරෝපා මහාද්වීපයේ ලූතර් යටතේ කරනු ලැබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාව කතෝලික සභාවේ මහත් සැලකිල්ලට භාජන වූ අතර, එහි බලපෑම එංගලන්තයටද දැනෙන්ට විය. වර්ෂ 1521දී, VIIIවන හෙන්රි රජ, ලූතර්ට එරෙහිව පාප්ගේ පැත්ත ගනිමින්, ප්‍රබල ග්රන්ථයක් ප්‍රකාශයට පත් කළේය. කෘතඥතාවෙන් පෙලඹුණු පාප්, හෙන්රිට “ආගම ආරක්ෂක” යන විරුදාවලිය පිරිනැමුවේය.a එමෙන්ම ක්‍රියාශීලීව කටයුතු කළ හෙන්රිගේ කාර්දිනල් වුල්සී, නීතිවිරෝධීව ආනයනය කරන ලද ලූතර්ගේ පොත් පත් විනාශ කළේය. පාප්ටද, රජුටද, තම කාර්දිනල්වරයාටද පක්ෂපාතව සිටි කතෝලික බිෂොප්වරයෙකු වශයෙන්, ටන්ස්ටල් කැරලිකාර ලූතර්ට අනුග්‍රහය දැක්විය හැකි බවට පෙනිය හැකි ඕනෑම චින්තනයක් මර්දනය කිරීමට වගකීමෙන් බැඳී සිටියේය. ටින්ඩේල් ප්රමුඛ සැකකරුවෙක් විය. ඒ මන්ද?
ටින්ඩේල් වොල්ෂ් පවුල සමඟ ගත කළ කාලය තුළදී, හේ ප්‍රාදේශීය පූජක පක්ෂයේ නූගත්කම හා අන්ධ භක්තියට එරෙහිව නිර්භීතව එළිපිට කතා කර තිබිණ. ඔක්ස්ෆර්ඩ්හි ටින්ඩේල් හඳුනාගෙන සිටි ජොන් ස්ටෝක්ස්ලි ඔවුන් අතර විය. ඔහු ලන්ඩනයේ බිෂොප්වරයා වශයෙන් අවසානයේදී කත්බර්ට් ටන්ස්ටල්ගේ තැන ගත්තේය.
“පාප්ගේ නීතිය නොව දෙවියන්වහන්සේගේ නීතිය නැතුව සිටීම අපට වඩාත් හොඳය” කියා පැවසූ ඉහළ පෙළේ පූජකයන් සමඟ ඝට්ටනයකදී ටින්ඩේල්ට විරුද්ධවාදීකම් පෑමෙන්ද මෙය ප්රත්යක්ෂ වේ. අමතක නොවන වදන් පැවසූ ටින්ඩේල් මෙසේ පිළිතුරු දුන්නේය: ‘මම පාප්වහන්සේටද ඔහුගේ නීති සියල්ලටද විරුද්ධ වෙමි. දෙවියන්වහන්සේ මගේ ජීවිතය රක්ෂා කරනසේක් නම්, මම වැඩි කලක් යන්ට මත්තෙන්, නුඹලාට වඩා නඟුලිසේ එල්ලී සාන කොලුවෙකුට ශුද්ධ ලියවිල්ල පිළිබඳව වැඩි දැනුමක් ලබා දෙන්ට සලස්වන්නෙමි.’
මිථ්‍යාග්‍රාහය සම්බන්ධ බොරු චෝදනා පිට වූස්ටර් දියෝකීසියේ පරිපාලක ඉදිරිපිට පෙනී සිටීමට ටින්ඩේල්ට සිදුවිය. මේ ගැන පසුව සිහි කළ ටින්ඩේල් පැවසුවේ, “ඔහු මට දරුණු ලෙස තර්ජනය කරමින් මට නින්දා කළා” යනුවෙනි, තවද තමාට “බල්ලෙකුට” මෙන් සලකා තිබූ බවත් ඔහු අමතරව පැවසීය. එහෙත් මිථ්‍යාග්‍රාහය නමැති චෝදනාව පිට ටින්ඩේල්ව වරදකරුවෙකු ලෙස තීන්දු කිරීමට සාක්ෂි නොතිබිණ. ටන්ස්ටල්ගේ තීරණයට බලපෑම් කිරීම සඳහා මේ කාරණා සියල්ල ඔහු වෙත රහසිගතව දන්වනු ලැබූ බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.
ලන්ඩනයේ අවුරුද්දක් ගත කිරීමෙන් පසු, ටින්ඩේල් මෙසේ නිගමනය කළේය: “නව ගිවිසුම පරිවර්තනය කිරීමට ලන්ඩනයේ මගේ ස්වාමියාගේ මාළිගයේ ඉඩ කඩ නොතිබුණේය, නමුත් . . . එසේ කිරීමට මුළු එංගලන්තයේවත් ඉඩ කඩ නොතිබුණේය.” ඔහු නිවැරදි විය. ලූතර්ගේ කෘති හේතුකොටගෙන ඇතිවූ මර්දනය කිරීමේ වාතාවරණය තුළදී, ඉංග්‍රීසියෙන් බයිබලයක් නිපදවීමට එඩිතර වනු ඇත්තේ එංගලන්තයේ කුමන මුද්‍රණ ශිල්පියෙක්ද? එබැවින් 1524දී, ඉංග්‍රීසි ඕඩය හරහා ගිය ටින්ඩේල්, කිසිදාක නැවත නොපැමිණියේය.
යුරෝපය බලා, තවත් ගැටලු
සිය අනගි පොත් සමඟින්, විලියම් ටින්ඩේල්ට ජර්මනියේ සරණ සොයාගත හැකි විය. ලන්ඩනයේ බලපුළුවන්කාර වෙළෙන්දෙකු වූ, සිය මිත්‍ර හම්ෆ්රි මොන්මත් ඔහුට කාරුණිකව දී තිබුණු £10, හේ රැගෙන ආවේය. ටින්ඩේල් පරිවර්තනය කිරීමට සැලසුම් කළාවූ ග්‍රීක් ලියවිලි මුද්‍රණය කිරීමට ඒ කාලවලදී මෙම ත්‍යාගය යන්තමින් ප්‍රමාණවත් විය. ටින්ඩේල්ට උපකාර කිරීම නිසාත්, චෝදනාවට අනුව ලූතර්ට පක්ෂව මත දැරීම නිසාත්, අවසානයේදී මොන්මත්ව අත්අඩංගුවට ගන්නා ලදි. විමසුමකට භාජන වී ලන්ඩන්හි ටවර් බන්ධනාගාරයට දමනු ලැබූ මොන්මත්ව නිදහස් කරනු ලැබුවේ, කාර්දිනල් වුල්සීගෙන් සමාව අයැද සිටීමෙන් පසුව පමණි.
ටින්ඩේල් හරියටම ජර්මනියේ කොතැනට ගියාද යන්න අපැහැදිලිය. සාක්ෂි සමහරක් හැම්බර්ග් වෙත යොමු දක්වන අතර, එහිදී ඔහු අවුරුද්දක් පමණ ගත කරන්ට ඇත. ඔහු ලූතර් මුණගැසුණාද? මොන්මත්ට විරුද්ධව කරන ලද චෝදනාවේදී ඔහු එසේ කළ බවට පවසා තිබුණත්, මෙය අවිනිශ්චිතය. එක් දෙයක් නම් පැහැදිලිය: ටින්ඩේල් ග්‍රීක් ලියවිලි පරිවර්තනය කිරීමෙහිලා මහන්සි වී වැඩ කරමින් සිටියේය. ඔහුට තම අත්පිටපත මුද්‍රණය කරගත හැකි වූයේ කොතැනින්ද? කලෝන්හි පීටර් ක්වෙන්ටෙල්ට ඔහු එම කාර්යය භාර දුන්නේය.
කොක්ලියස් හැටියටද හඳුන්වනු ලැබූ විරුද්ධවාදී ජොන් ඩොබනෙක්, සිදුවන දේ කුමක්ද කියා දැනගන්නා තාක්කල්, කටයුතු සියල්ල හොඳින් කෙරීගෙන යන ලදි. කොක්ලියස් තම සොයාගැනීම් යුහුසුලුව VIIIවන හෙන්රිගේ කිට්ටු මිතුරෙකුට වාර්තා කළ අතර, ක්වෙන්ටෙල් විසින් ටින්ඩේල්ගේ පරිවර්තනය මුද්‍රණය කරනු ලැබීමට එරෙහිව වහාම රජ තහනමක් ලබාගත්තේය.
ටින්ඩේල්ද සිය සහයක විලියම් රෝයිද, තම ජීවිත ගළවාගැනීම සඳහා මතෙව්ගේ සුවිශේෂයේ මුද්‍රිත පිටුද රැගෙන පලා ගියෝය. ඔවුහු රයින් නදිය ඔස්සේ වෝම්ස් දක්වා යාත්‍රා කළ අතර, එහිදී තම කාර්යය නිමා කළෝය. කල් යත්ම, ටින්ඩේල්ගේ අලුත් ගිවිසුමෙහි පළමු සංස්කරණයේ පිටපත් 6,000ක් නිපදවන ලදි.b
විරුද්ධවාදීකම් හමුවේ—සාර්ථකත්වය
පරිවර්තනය හා මුද්‍රණය එක් කාරණයක්ව තිබිණ. බයිබල් බ්‍රිතාන්‍යයට ලැබෙන්ට සැලැස්වීම ඉඳුරාම වෙනත් කාරණයක් විය. පල්ලියේ නියෝජිතයෝ හා ලෞකික බලධාරීහු, ඉංග්‍රීසි ඕඩය හරහා ඒවා නැව්ගත කිරීම වළක්වාලීමට අදිටන් කරගෙන සිටියහ, නමුත් මිත්‍රශීලී වෙළඳුන්ගෙන් සහය ලැබිණ. රෙදිපිළි මිටිවල හා වෙනත් වෙළඳ බඩු තුළ සඟවා, මෙම ග්රන්ථ එංගලන්තය වෙතටද, ස්කොට්ලන්තය වෙතටද හොර රහසින් ප්රවාහණය කරන ලදි. ටින්ඩේල්ට මෙය දිරිගැන්වීමක් වුවද, ඔහුගේ සටන ආරම්භව තිබුණා පමණි.
වර්ෂ 1526 පෙබරවාරි 11වන දිනේදී, බිෂොප්වරුන් 36දෙනෙකු හා පල්ලියේ වෙනත් සම්භාවනීය නිලධාරීන් සමඟ පැමිණි කාර්දිනල් වුල්සී, ලන්ඩනයේ ශා. පාවුල් ආසන දෙව් මැදුර අසල එක්රැස්වූයේ, “පොත්වලින් පිරුණු විශාල කූඩ පුලුස්සනු ලැබීම දැකීමටය.” මේවා අතර ටින්ඩේල්ගේ අනර්ඝ පරිවර්තනයේ පිටපත් සමහරක්ද විය. මෙම පළමු සංස්කරණයේ තවමත් ඉතිරිව පවතින්නේ පිටපත් දෙකක් පමණි. එකම සම්පූර්ණ පිටපත බ්‍රිතාන්‍ය පුස්තකාලයෙහි තිබේ (එහි නැත්තේ මුල් පිටුව පමණි). පිටු 71ක් අඩුවෙන් තිබෙන අනික් පිටපත, ශා. පාවුල් ආසන දෙව් මැදුර පුස්තකාලයේ සොයාගැනීමට ලැබීම හාස්‍යයකි. එය එතැනට පැමිණියේ කෙසේද කියා, කිසිවෙක් නොදනිත්.
අධෛර්යයට පත් නොවූ ටින්ඩේල්, සිය පරිවර්තනයේ අලුත් සංස්කරණ නිපදවීමෙහි දිගටම නිරත වූ අතර, ඉංග්‍රීසි පූජකයන් විසින් ක්‍රමානුකූලව මේවා රාජසන්තක කොට පුලුස්සන ලදි. එවිට ටන්ස්ටල් සිය උපා වෙනස් කළේය. අලුත් ගිවිසුම ඇතුළුව ටින්ඩේල් රචනා කළ ඕනෑම පොතක් පිලිස්සීමේ අරමුණින්, ඒවා මිල දී ගැනීමට හේ ඔගස්ටින් පැකිංටන් නම් වෙළෙන්දෙකු සමඟ ගිවිසුමකට එළඹීය. පැකිංටන් ගිවිසුමක් කර තිබූ ටින්ඩේල් සමඟ මෙය සැලසුම් කරන ලදි. හැලීගේ ක්‍රොනිකල් මෙසේ කියයි: “බිෂොප්වරයාට පොත් තිබිණ, පැකිංටන්ට ස්තුති පුදන ලදි, තවද ටින්ඩේල්ට මුදල් ලැබිණ. පසුව තව තවත් අලුත් ගිවිසුම් මුද්‍රණය කරනු ලැබූ විට, නැවැත්විය නොහැකි රැල්ලක් මෙන් ඒවා එංගලන්තය තුළට පැමිණියේය.”
පූජක පක්ෂය ටින්ඩේල්ගේ පරිවර්තනයට මෙතරම් දරුණු ලෙස විරුද්ධවාදීකම් පෑවේ මන්ද? ලතින් වල්ගේට් පරිවර්තනය පරිශුද්ධ පාඨයේ අර්ථය වසං කිරීමට ප්‍රවණතාවක් දැක්වූ අතර, මුල් ග්‍රීක් භාෂාවෙන් පරිවර්තනය කරන ලද ටින්ඩේල්ගේ පරිවර්තනය, පළමු වතාවට බයිබලයේ පණිවිඩය ඉංග්‍රීසි ජනයාට පැහැදිලි වූ භාෂාවකින් ඉදිරිපත් කළේය. උදාහරණයක් වශයෙන්, 1 කොරින්ති 13වන පරිච්ඡේදයෙහි, අ·ගාʹපෙ යන ග්‍රීක් වචනය “දයානුග්රහය” ලෙස නොව “ප්‍රේමය” ලෙස පරිවර්තනය කිරීමට ටින්ඩේල් තෝරාගත්තේය. පල්ලි ගොඩනැඟිලි නොව, නමස්කාරකරන්නන් අවධාරණය කිරීම සඳහා “පල්ලිය” යෙදීම වෙනුවට හේ “සභාව” යෙදීමට බල කර සිටියේය. කෙසේවෙතත්, ටින්ඩේල් “පූජකයා” වෙනුවට “වැඩිමහල්ලා” යෙදූ විටත්, “ආත්මදණ්ඩනය” වෙනුවට “පසුතැවිලි වීම” භාවිත කළ විටත්, මෙය පූජක පක්ෂයට ඉසිලිය නොහැකි බරක් විය, මෙමගින් පූජක පක්ෂය තමුන් සතු කරගෙන තිබූ පූජක බලතල ඉවත් කරන ලදි. ඩේවිඩ් ඩැන්යල් මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි: “ශුද්ධගිනිස්ථානය නොපවතී; දෙකන් පාපොච්චාරණයක්වත් ආත්මදණ්ඩනයවත් නැත. පල්ලියේ ධනයට හා බලයට රුකුල් දුන් දේවල් දෙකක් බිඳ වැටිණ.” (විලියම් ටින්ඩේල්—ඒ බයොග්‍රෆි) ටින්ඩේල්ගේ පරිවර්තනයෙන් එල්ල වූ අභියෝගය එයයි, තවද ඔහුගේ වාග් වරණයේ නිරවද්‍යතාව නූතන පාණ්ඩිත්‍යය මුළුමනින්ම අනුමත කරයි.
ඇන්ට්වර්ප්, පාවාදීම හා මරණය
ඇන්ට්වර්ප්හි ඉංග්‍රීසි ජාතික වෙළඳුන් අතර යම් සුරක්ෂිතභාවයක් දැනිය හැකි බැවින්, 1526ත් 1528ත් අතර, ටින්ඩේල් එහි පදිංචියට ගියේය. එහිදී, ඔහු දුෂ්ට මැමන් පිළිබඳ උපමාව, ක්‍රිස්තියානි පුරුෂයෙකුගේ කීකරුකම හා නායක දේවගැතියන්ගේ ක්‍රියා පිළිවෙත යන කෘති ලීවේය. සිය පරිවර්තන කාර්යයෙහි දිගටම නිරත වූ ටින්ඩේල්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ඉංග්‍රීසි පරිවර්තනයක යෙහෝවා නමැති දෙවියන්වහන්සේගේ නාමය භාවිත කළ පළමුවැන්නා විය. එම නාමය 20 වතාවකට වැඩිය දක්නට ලැබේ.
ටින්ඩේල්, ඇන්ට්වර්ප්හි සිය මිත්‍ර හා අනුග්‍රාහක වූ ටොමස් පොයින්ට්ස් සමඟ සිටිය තාක්කල්, හේ වුල්සීගේද සිය ඔත්තුකාරයන්ගේද ප්රයෝගවලින් ආරක්ෂා වී සිටියේය. අසනීප වූවන්ට හා දුප්පතුන්ට කළ සාත්තු සප්පායම් හේතුවෙන් හේ සුප්‍රසිද්ධ වූයේය. අන්තිමේදී, ඉංග්‍රීසි ජාතික හෙන්රි ෆිලිප්ස් ප්රයෝගකාරිව ටින්ඩේල්ගේ විශ්වාසය දිනාගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1535දී, පාවා දෙනු ලැබූ ටින්ඩේල්ව, බ්රසල්ස්වලට කිලෝමීටර් 10ක් උතුරින් පිහිටි විල්වෝර්ඩ් බලකොටුව වෙත ගෙනයනු ලැබීය. එහිදී ඔහු මාස 16ක් සිරභාරයෙහි සිටියේය.
ෆිලිප්ස්ව යොදාගත්තේ කවුද කියා හරියටම නිශ්චය කරගත නොහැකි වුවද, එවිට ලන්ඩනයේ “මිථ්‍යාග්‍රාහකයන්” පිලිස්සීමෙහි කඩිසරව නිරත වූ බිෂොප් ස්ටෝක්ස්ලි පිට කෙළින්ම සැක පහළ වේ. වර්ෂ 1539හි සිය මරණ මොහොතේදී, “සිය ජීවිත කාලය තුළදී, තමා මිථ්‍යාග්‍රාහකයන් පනස්දෙනෙකු පුලුස්සා දමා තිබූ බවට” ස්ටෝක්ස්ලි “ප්‍රීති වුණේය,” යයි ද බයිබල් ඔෆ් ද රෙෆර්මේෂන් නම් කෘතියෙහි ඩබ්. ජේ. හීටන් පවසයි. වර්ෂ 1536 ඔක්තෝබර්හි ප්‍රසිද්ධියේම පුලුස්සනු ලැබීමට පෙර බෙල්ල මිරිකා මරනු ලැබූ විලියම් ටින්ඩේල් එම සංඛ්‍යාවට ඇතුළත් විය.
ෆිලිප්ස් බැඳී සිටි කතෝලික ලොවේන් සරසවියෙන් පැමිණි ප්රමුඛ පෙළේ දේවධර්ම උපාධිධරයෝ තිදෙනෙක්, ටින්ඩේල් විභාග කළ කොමිසමේ සිටියෝය. ටින්ඩේල්ව මිථ්යාග්රාහකයෙකු වශයෙන් වරදකරුවෙකු හැටියට නියම කොට, තම පූජක ධුරයෙන් පහ කර දමනු ලැබීම දැකීමට, ලොවේන් සිට උසස් පූජකයෝ තිදෙනෙක්ද, බිෂොප්වරු තිදෙනෙක්ද, වෙනත් සම්භාවනීය පිරිසක්ද පැමිණ සිටියහ. අවුරුදු 42ක පමණ වයසකදී ඔහුගේ අභාවය ගැන සියලුදෙනාම ප්‍රීතිවූහ.
“ටින්ඩේල් හැමවිටම පාහේ කැපීපෙනුණේ සිය නිර්භීත අවංකකම වෙනුවෙන්” බව, අවුරුදු සියයකට ඉහතදී, ජීවන චරිත රචක රොබර්ට් ඩිමෙයස් පැවසුවේය. ලන්ඩනයේ ස්ටෝක්ස්ලි විසින් පුලුස්සනු ලැබූ සිය හවුල් සේවක ජොන් ෆ්රිත්ට, ටින්ඩේල් මෙසේ ලීවේය: “මම මගේ හෘදය සාක්ෂියට විරුද්ධව දේවවචනයේ එක අක්ෂරයක්වත් වෙනස් නොකළෙමි, අදවත්, වෙනත් දවසකවත් සැප සෙල්ලම, ගෞරවය හෝ ධනය හෝ වේවා, මිහිපිට තිබෙන සෑමදෙයක්ම මට දෙනු ලැබුවත් මම එසේ නොකරන්නෙමි.”
එංගලන්ත ජනයාට පහසුවෙන් තේරුම්ගත හැකි බයිබලයක් ලබාදීමේ වරප්‍රසාදය වෙනුවෙන්, විලියම් ටින්ඩේල් සිය ජීවිතය පරිත්‍යාග කළේ එයාකාරයටය. ඔහුට විඳින්ට සිදුවූ විපාකය මොනතරම්ද—නමුත් මොනතරම් මිල කළ නොහැකි ත්‍යාගයක්ද!
[පාදසටහන්වල]
a වැඩි කලක් යන්ට මත්තෙන්, රාජ්‍යයෙහි කාසිවල ෆිඩෙයි ඩිෆෙන්සර් යන්න කොටන ලදි, තවද තම අනුප්රාප්තිකයන්හට එම පදවිය ප්රදානය කරන මෙන් හෙන්රි ඉල්ලා සිටියේය. අදදින එය බ්‍රිතාන්‍ය කාසිවල මහ රැජිනගේ හිස වටා ෆිඩ්. ඩෙෆ්., නැතහොත් එෆ්.ඩී., වශයෙන් දක්වා තිබේ. වර්ෂ 1611දී, කිං ජේම්ස් වර්ෂන්හි ජේම්ස් රජුට කරන ලද පිළිගැන්වීම තුළ “ආගම ආරක්ෂක” යනුවෙන් පසුව මුද්‍රණය කරනු ලැබීම සිත්ගන්නා කරුණකි.
b මෙම සංඛ්‍යාව අවිනිශ්චිතය; ඇතැම් අධිකාරීහු 3,000ක් කියා පවසති.
[29වන පිටුවේ කොටුව]
මුල් පරිවර්තන
පොදු ජනයාගේ භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම සඳහා ටින්ඩේල් කළ ඉල්ලීම අසාධාරණ යමක්වත්, පූර්වාදර්ශයක් නැති යමක්වත් නොවීය. දහවන සියවසේදී ඇංග්ලෝ-සැක්සන් භාෂාවට පරිවර්තනයක් කරන ලදි. ලතින් භාෂාවෙන් පරිවර්තනය කර තිබූ මුද්‍රිත බයිබල්, සීමා තහංචි රහිතව යුරෝපය පුරා බෙදාහැර තිබිණ: ජර්මන් (1466), ඉතාලි (1471), ප්රංස (1474), චෙක් (1475), ඕලන්ද (1477) හා කැටලැන් (1478). වර්ෂ 1522දී, මාර්ටින් ලූතර් සිය අලුත් ගිවිසුම ප්‍රකාශයට පත් කළේය. ටින්ඩේල් අසා සිටියේ, එංගලන්තයටත් එසේ කිරීමට අවසර නොලැබිය යුත්තේ මන්දැයි යන්න පමණි.
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පසුබිමෙහි බයිබලය: © The British Library Board; විලියම් ටින්ඩේල්: Principal, Fellows and Scholars of Hertford College, Oxford යන අයගේ සාදර අනුග්රහයෙනි