බයිබලය අප අතට පත් වූ අයුරු—දෙවන කොටස
බුර බුරා නැඟෙන ගින්න මතට ඉන්ධන වැඩි වැඩියෙන් ගොඩ කරද්දී ගිනිදළු අහස උසට නැඟී ගියා. නමුත් මේක සාමාන්‍ය ගින්නක් නම් නෙවෙයි. පූජකයන් සහ බිෂොප්වරුන් බලා ඉඳිද්දී මහා ගිනිජාලාව බයිබල්වලින් පෝෂණය වුණා. නමුත්, විනාශ කිරීම සඳහා බයිබල් මිල දී ගැනීමෙන්, ලන්ඩනයේ බිෂොප්, තවත් පිටපත් සඳහා මුදල් යෙදවීමට පරිවර්තක විලියම් ටින්ඩේල්ට නොදැනුවත්වම උපකාර කළා!
සටනේ පැති දෙක මත එවැනි තීරණාත්මක සිද්ධියකට මඟ පෑදුවේ කුමක්ද? බයිබල් ප්රකාශනයේ ඉතිහාසය පසු කලෙක මධ්‍යකාලීන යුගය දක්වා දිවෙන ආකාරය කලින් කලාපයකින් අපි සලකා බැලුවා. දේවවචනයේ පණිවිඩය හා අධිකාරිත්වය සමාජය මත ගැඹුරු බලපෑමක් ඇති කිරීමට ඔන්න මෙන්න කියා තිබූ නව යුගයක අරුණෝදයට අපි දැන් පැමිණෙන්නෙමු.
පුරෝගාමියෙක් මතු වෙයි
ගරුතර ඔක්ස්ෆ’ඩ් උගතෙකු වන ජොන් වයික්ලිෆ් කතෝලික සභාවේ බයිබලයට පටහැනි වත්පිළිවෙත්වලට විරුද්ධව බලවත් ලෙස දේශනා කළා; ලිව්වා; අධිකාරිය වශයෙන් බයිබලය යන අර්ථය ඇති ‘දේව නීතිය’ යොදාගත්තා. සවන් දෙන ඕනෑම කෙනෙක්ට ඉංග්‍රීසියෙන් බයිබල් පණිවිඩය දේශනා කිරීමට, ඔහුගේ ශිෂ්‍යයන් හෙවත් ලොලාඩ්වරුන්ව එංගලන්තයේ ගම්බද ප්‍රදේශවලට ඔහු යැව්වා. ඔහු 1384දී මියයෑමට පෙර, ලතින් බයිබලය ඔහුගේ දවස්වලදී භාවිත වුණ ඉංග්‍රීසිවලට පරිවර්තනය කිරීමට මුලපිරුවා.
වයික්ලිෆ්ව හෙළාදැකීමට පල්ලියට බොහෝ හේතු තිබුණා. පළමුවැන්න, ඔහු පූජක පක්ෂයේ පමණ ඉක්මවා කටයුතු කිරීම සහ දුරාචාර හැසිරීම හෙළාදැක්කා. ඊට අමතරව, වයික්ලිෆ්ව අගය කළ බොහෝදෙනෙක් තමන්ගේ අවිසන්නද්ධ කැරලිකාරකම් යුක්තිසහගත කරගැනීමට ඔහුගේ ඉගැන්වීම් වැරදි විදිහට පාවිච්චි කළා. වයික්ලිෆ් කිසිදා ප්‍රචණ්ඩකාරි නැඟීසිටීම්වලට පක්ෂව කතා නොකළත්, ඔහුගේ මරණයෙන් පසුව පවා පූජකයන් ඔහුට චෝදනා කළා.
වර්ෂ 1412දී XXIIIවන ජොන් පාප්වරයාට ලියූ ලිපියක, අග්‍ර බිෂොප් ඇරන්ඩල් “ජොන් වයික්ලිෆ්ට” යොමු දැක්වූවේ “වැදගැම්මකට නැති කෙනෙක්, කරදරකාරයෙක්, පිළිකුල් පුද්ගලයෙක් ලෙස මතකයට නඟාගත හැකි කෙනෙක්, පුරාණ සර්පයාගේ පුතෙක්, විරුද්ධ ක්‍රිස්තුස්ට පෙර මඟ සාදන්නෙක් සහ ඔහුගේ දරුවෙක් වශයෙනුයි.” තම හෙළාදැකීම මුදුන්පත් කිරීමේදී ඇරන්ඩල් මෙසේ ලිව්වා: “ඔහුගේ දුෂ්ටකම සම්පූර්ණ කිරීමට, ඔහු ලියවිලිවල අලුත් පරිවර්තනයක් මව් භාෂාවට පරිවර්තනය කිරීමේ උපාය යොදාගත්තා.” ඇත්තෙන්ම, පල්ලි නායකයන්ව වඩාත්ම කෝපයට පත් කළේ ජනයාට තමන්ගේම භාෂාවෙන් බයිබලය ලබා දෙන්න වයික්ලිෆ්ට අවශ්‍ය වීමයි.
කෙසේනමුත්, ප්‍රධාන පෙළේ පුද්ගලයන් කීපදෙනෙකුට ස්වභාෂාවලින් ශුද්ධ ලියවිලි ලබාගත හැකිව තිබුණා. වර්ෂ 1382දී එංගලන්තයේ රජු වන IIවන රිචඩ් විවාහ කරගත් බොහිමියාවේ ඈන්, එක් තැනැත්තියක්. වයික්ලිෆ්ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් වූ සුවිශේෂ සතුව සිටි ඇය නිරතුරුවම එය අධ්‍යයනය කළා. ඇය රැජින බවට පත් වූ විට, ඇගේ ප්‍රසාද ආකල්පය බයිබලයේ වැඩිදියුණුවට උපකාරවත් වුණා; එසේ වුණේ එංගලන්තයේ පමණක් නෙවෙයි. බොහිමියාවේ ප්රාග් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ඔක්ස්ෆ’ඩ් වෙත එන්න කියා ඈන් දිරිගැන්නුවා. එහිදී ඔවුන් උද්යෝගයෙන් වයික්ලිෆ්ගේ වැඩ අධ්‍යයනය කළ අතර, ඒවායින් සමහරක් යළි ප්රාග් වෙත ගෙන ගියා. ප්රාග් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් හා පසුව එහිදී ඉගැන්වූ යාන් හස්ට, වයික්ලිෆ්ගේ ඉගැන්වීම්වල ජනප්‍රියත්වය පසු කලකදී උපකාරවත් වුණා. හස්, කියවිය හැකි චෙක් අනුවාදයක් පරණ ස්ලවොනික් පරිවර්තනයෙන් බිහි කළා. බයිබලය බොහිමියාවෙත්, අසල්වැසි රටවලත් පොදුවේ පාවිච්චි කිරීමට ඔහුගේ වෑයම් අනුබල දුන්නා.
පල්ලිය යළිත් පහර දෙයි
පල්ලියේ අනුමැතිය ඇති බයිබල්වල තීරුවල ඇති “ගැටපද” මගින් කෙරෙන බරපතළ සම්ප්‍රදායානුකූල පැහැදිලි කිරීම්වලට වඩා වැඩි අධිකාරිත්වයක් තිබුණු කිසිවක් එකතු නොකරන ලද ආනුභාව ලත් මුල් ලියවිලි, එනම් “පිරිසිදු පාඨය” ඉගැන්වීම නිසාද පූජකයන් වයික්ලිෆ් සහ හස් සමඟ කෝපයෙන් සිටියා. මේ දේශකයන් පොදු ජනයාට ලබාගැනීමට සලස්වන්න අදහස් කළේ බාල නොකළ දේවවචනයේ පණිවිඩයයි.
නිරුපද්‍රැතව හැසිරෙන්න සලසන බවට බොරු පොරොන්දු දී, විත්තිකරු වශයෙන් තම අදහස් දක්වන්න කියා රවටා, 1414දී හස්ව ජර්මනියේ කොන්ස්ටන්ස්හි කතෝලික මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන්නෙව්වා. මන්ත්‍රණ සභාව පූජකයන්, බිෂොප්වරු හා කාර්දිනල්වරු 2,933දෙනෙකුගෙන් සකස් වී තිබුණා. ශුද්ධ ලියවිලි මගින් තමන්ගේ ඉගැන්වීම් වැරදි බවට ඔප්පු කළ හැකි නම් තම ස්ථාවරය අත්හැරීමට හස් එකඟ වුණා. මන්ත්‍රණ සභාවට ප්රශ්නය වුණේ ඒක නෙවෙයි. ඔවුන්ගේ අධිකාරිත්වයට ඔහු කළ අභියෝගයයි; ඔහු ශබ්ද නඟා යාච්ඤා කරද්දීම 1415දී ඔහුව කණුවක එල්ලා පුලුස්සා දැමීමට ඔවුන්ට එම හේතුව ප්‍රමාණවත් වුණා.
එංගලන්තයේ වැළලූ ජොන් වයික්ලිෆ්ගේ මිනිය ගොඩගෙන පුලුස්සා දැමිය යුතු බවට නියෝග කරමින්, එම මන්ත්‍රණ සභාවම ඔහුව හෙළාදැකීමේ හා ඔහුට අපහාස කිරීමේ අවසන් පියවරක්ද නියම කළා. මේ විධානය කොයිතරම් නින්දිතද කියනවා නම්, පාප්ගේ ඉල්ලීම මත 1428 වන තුරු එය ක්‍රියාත්මක කළේ නැහැ. එහෙත්, එවැනි විරුද්ධවාදිකම් සත්‍යයට ප්‍රේම කරන අනිත් අයගේ ජ්වලිතය කිසිම විටෙක හීන කළේ නැහැ. ඒ වෙනුවට එය, දේවවචනය ප්‍රචාරය කිරීම සඳහා වූ ඔවුන්ගේ අධිෂ්ඨානය වැඩි කළා.
මුද්‍රණයේ බලපෑම
හස්ගේ මරණයෙන් අවුරුදු 35කට පසු 1450 වන විට, යොහාන’ස් ගුට’න්බ’ග් ජර්මනියේදී සචල අකුරුවලින් මුද්‍රණය කිරීමට පටන්ගත්තා. ඔහුගේ මුල්ම මහත් වැඩය වූයේ, 1455දී පමණ සම්පූර්ණ කළ ලතින් වල්ගේට් සංස්කරණයයි. වර්ෂ 1495 වන විට මුළු බයිබලයම හෝ ඉන් කොටසක් පිළිවෙළින් ජර්මානු, ඉතාලි, ප්‍රංශ, චෙක්, ලන්දේසි, හෙබ්‍රෙව්, කැටලෝනි, ග්‍රීක්, ස්පාඤ්ඤ, ස්ලවොනික්, පෘතුගීසි සහ ස’බියානු භාෂාවලින් මුද්‍රණය කරනු ලැබුවා.
ලන්දේසි ප්‍රවීණයෙකු වූ ඩෙසිඩෙරියස් ඉරැස්මස් මුල්ම සම්පූර්ණ මුද්‍රිත ග්‍රීක් සංස්කරණය 1516දී ප්‍රකාශයට පත් කළා. ඉරැස්මස්ගේ ආශාව වුණේ ශුද්ධ ලියවිලි “සියලු ජනයාගේ හැම භාෂාවකින්ම පරිවර්තනය කිරීමයි.” කෙසේවුවත්, ඔහුම එය පරිවර්තනය කිරීමෙන් ඔහුගේ මහත් කීර්තිය අවදානමට ලක් කිරීමට ඔහු පසුබෑවා. කොහොමනමුත්, වැඩි නිර්භීතකමක් තිබූ වෙනත් අය ක්‍රියාත්මක වුණා. මොවුන් අතුරින් කැපීපෙනෙන්නෙකි, විලියම් ටින්ඩේල්.
විලියම් ටින්ඩේල් සහ ඉංග්‍රීසි බයිබලය
ඔක්ස්ෆ’ඩ්හි අධ්‍යාපනය ලැබූ විලියම් ටින්ඩේල් 1521දී පමණ සර් ජොන් වොල්ෂ්ගේ ගෙදරට පැමිණියේ ඔහුගේ දරුවන්ට ගුරුවරයෙක් හැටියටයි. වොල්ෂ්ගේ ත්‍යාගශීලී මේසයේ කෑම වේලාවලදී බොහෝවිට තරුණ ටින්ඩේල් ප්‍රාදේශීය පූජකයන් සමඟ වාග් ප්‍රහාර ඇති කරගත්තා. බයිබලය විවෘත කර, ශුද්ධ ලියවිලි පෙන්වීම මගින් ටින්ඩේල් කෙළින්ම ඔවුන්ගේ මතයන්ට අභියෝග කළා. කල් යත්ම, ටින්ඩේල් කියමින් හිටි දේ ඒත්තුගත් වොල්ෂ්ලා, පූජකයන්ට ආරාධනා කරන එක අඩු කළා; ඔවුන්ව එතරම් උණුසුම් ලෙස පිළිගත්තෙත් නෑ. ස්වභාවයෙන්ම, මෙය, ටින්ඩේල් සහ ඔහුගේ විශ්වාසයන්ට එරෙහිව දේවගැතියන්ව තව තවත් කුපිත කළා.
වතාවක විවාදයකදී ටින්ඩේල්ගේ ආගමික විරුද්ධවාදියෙක් මෙසේ තහවුරු කළා: “දෙවිගේ නීති නැති වුණත් පාප්ගේ නීති තියෙන එක වැඩිය හොඳයි.” මෙසේ පිළිතුරු දීමෙන් ටින්ඩේල් කොයිතරම් ඒත්තුගෙන සිටියාදැයි කල්පනා කර බලන්න: “මම පාප් සහ ඔහුගේ නීති සියල්ලටම විරුද්ධයි. දෙවි මට ජීවත් වෙන්න ඉඩහැරියොත්, වැඩි කල් යන්න මත්තෙන් නඟුල ගෙන යන කොල්ලෙක්ට ඔහෙලාට වඩා හොඳින් ශුද්ධ ලියවිලි දැනගන්න මම සලස්වනවා.” ටින්ඩේල්ගේ අධිෂ්ඨානයට පැහැදිලි ස්ථාවරත්වයක් තිබුණා. ඔහු පසුව මෙසේ ලිව්වා: “ශුද්ධ ලියවිලි පදය ගිහියන්ගේම භාෂාවෙන් ඔවුන්ගේ ඇස් ඉදිරියේ තබා, ඔවුන්ට වැදගත් කාරණා එකිනෙක තේරුම්ගැනීමටත්, පදයේ තේරුම අවබෝධ කරගැනීමටත් සලසනවා නම් මිසක නැත්නම් එක සත්‍යයක්වත් ඔවුන් තුළ පිහිටුවන්න බැරි බව මට අද්දැකීමෙන්ම ඒත්තු ගොස් තිබෙනවා.”
මේ වන විට, ඉංග්‍රීසියෙන් එක බයිබලයක්වත් මුද්‍රණය කරලා තිබුණේ නෑ. එනිසා 1523දී, පරිවර්තන ව්‍යාපෘතියකට බිෂොප් ටන්ස්ටල්ගේ සහාය ලබාගැනීම සඳහා ඇවිටිලි කිරීමට ටින්ඩේල් ලන්ඩනයට ගියා. තරවටු ලැබූ ඔහු තම අරමුණ ඉටු කරගැනීම අරබයා එංගලන්තය අතහැර ගියේ යළි නොඑන්නයි. ජර්මනියේ ක’ලෝන්හිදී ටින්ඩේල්ගේ මුල් මුද්‍රණාලයට හදිසියෙන් කඩාවැදුණු අතර, නොබඳින ලද වටිනා පිටු සමහරක් රැගෙන ඔහු පලාගියේ නූලෙන් බේරෙමින්. කෙසේවුවත්, ජර්මනියේ වොර්ම්ස්හිදී අඩුම තරමින් ඔහුගේ ඉංග්‍රීසි “නව තෙස්තමේන්තුව” පිටපත් 3,000ක්වත් සම්පූර්ණ කළා. මේවා එංගලන්තයට යවනු ලැබූ අතර, එහිදී 1526 මුල්භාගයේදී ඒවා බෙදාහැරීමට පටන්ගත්තා. මේවායින් සමහර බයිබල් ටින්ඩේල්ට සිය වැඩය දිගටම කරගෙන යෑමට නොදැනුවත්වම උපකාර කරමින් බිෂොප් ටන්ස්ටල් විසින් මිල දී ගෙන පුලුස්සා දැමූ ඒවායි!
පර්යේෂණ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙයි
ටින්ඩේල් ඔහුගේ වැඩය ප්‍රීතියෙන් කරගෙන ගිය බවට සැකයක් නෑ. ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ද බයිබල් (කේම්බ්‍රිජ් බයිබල් ඉතිහාසය) මේ විදිහට පවසනවා: “ශුද්ධ ලියවිල්ල ඔහුව සන්තෝෂයෙන් තැබුව අතර, ඔහුගේ සන්තෝෂය පළ කිරීමේ රිද්මයෙහි යම් අප්‍රමාද ප්‍රීතියක් දක්නට තිබෙනවා.” ටින්ඩේල්ගේ ඉලක්කය වුණේ හැකි තරම් සරල භාෂාවෙන් පොදු මිනිසාට ශුද්ධ ලියවිලි ලබා දීමයි. සියවස් ගණනාවක් පුරා පල්ලි ධර්මය තුළ වැසී පැවතුණ බයිබල් වචනවල තේරුම ඔහුගේ අධ්‍යයනයන් ඔහුට පෙන්නුම් කරමින් තිබුණා. මරණ බවට කරන ලද තර්ජනයෙන් හෝ ඔහුගේ ප්‍රබලම සතුරා වන සර් තොමස් මෝර්ගේ දරුණු ලියවිලිවලින් බියට පත් නොවූ ටින්ඩේල් තම සොයාගැනීම් තම පරිවර්තනයෙහි අන්තර්ගත කළා.
ලතින් වෙනුවට ඉරැස්මස්ගේ මුල් ග්‍රීක් පාඨය සම්බන්ධයෙන් සලකා බලමින් වඩා පූර්ණ ලෙස අ·ගාʹපේ නම් ග්‍රීක් යෙදුමේ අර්ථය ප්‍රකාශ කිරීමට ටින්ඩේල් “කරුණාව” වෙනුවට “ප්‍රේමය” යන වචනය තෝරගත්තා. “පල්ලිය” වෙනුවට “සභාව” සහ “ආත්මදණ්ඩනය” වෙනුවට ‘පසුතැවිලි වීම’ මෙන්ම “පූජකයන්” වෙනුවට “වැඩිමහල්ලෝ” නමැති වචනද ඔහු යෙදුවා. (1 කොරින්ති 13:1-3; කොලොස්සි 4:15, 16; ලූක් 13:3, 5; 1 තිමෝති 5:17, ටින්ඩේල්) මෙම සකස් කිරීම් පල්ලියේ අධිකාරිත්වයටත්, පූජකයන්ට පාපෝච්චාරණය කිරීම වැනි සම්ප්‍රදායානුකූල වත්පිළිවෙත්වලටත් මහත් පහරක් වුණා.
ඒ වගේම බයිබලයට පටහැනි නිසා ශුද්ධගිනිස්ථානය සහ මරණයෙන් පසු සිහි ඇතුව සිටීම ප්‍රතික්ෂේප කරමින් ටින්ඩේල් ‘නැවත නැඟිටීම’ යන වචනයට ඇලී සිටියා. මළවුන් සම්බන්ධයෙන්, ඔහු මෝර්ට මෙසේ ලිව්වා: “ඔවුන්ව ස්වර්ගයේ, නිරයේ හා ශුද්ධගිනිස්ථානයේ දැමීමෙන් [ඔබ] ක්‍රිස්තුස් සහ පාවුල් නැවත නැඟිටීම පිළිබඳව ඔප්පු කරන තර්කයන් නිෂ්ප්‍රභ කරනවා.” මේ සම්බන්ධයෙන්, ටින්ඩේල් මතෙව් 22:30-32 සහ 1 කොරින්ති 15:12-19ට යොමු දක්වනවා. අනාගත නැවත නැඟිටීමක් ලබන තුරු මියගියවුන් සිහිසුන්ව සිටින බවට ඔහු නිවැරදිව විශ්වාස කරන්න පටන්ගත්තා. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5; යොහන් 11:11, 24, 25) මරියාට සහ “සාන්තුවරයන්ට” යාච්ඤා කිරීමේ මුළු විධිවිධානයම නිරර්ථක බවයි මින් අදහස් වුණේ; හේතුව ඔවුන්ගේ සිහිසුන් තත්වයේදී ඔවුන්ට සවන් දෙන්නවත්, මැදිහත්කාරයන් වෙන්නවත් බැරි නිසයි.
ටින්ඩේල් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පරිවර්තනය කරයි
ටින්ඩේල් 1530දී හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල මුල් පොත් පහ, එනම් පංචපුස්තකයේ සංස්කරණය බිහි කළා. ඔහු මෙලෙස බයිබලය හෙබ්‍රෙව්වලින් කෙළින්ම ඉංග්‍රීසිවලට පරිවර්තනය කළ පළමු පුද්ගලයා බවට පත් වුණා. යෙහෝවා යන නම පාවිච්චි කළ මුල්ම ඉංග්‍රීසි පරිවර්තකයාත් ටින්ඩේල්. ලන්ඩනයේ ප්‍රවීණයෙක් වූ ඩේවිඩ් ඩැනියෙල් මෙසේ ලියනවා: “දෙවිගේ නම අලුතෙන් හෙළි වී ඇති බව ටින්ඩේල්ගේ පාඨකයන්ගේ සිතට අනිවාර්යයෙන්ම කාවදින්න ඇති බවට නිසැකයි.”
පැහැදිලිකම අත් කරගැනීමේ ප්රයත්නයක් වශයෙන් ටින්ඩේල් තනි හෙබ්‍රෙව් වචනයක් පරිවර්තනය කිරීමට විවිධ ඉංග්‍රීසි වචන යොදාගත්තා. කෙසේවෙතත්, ඔහු හෙබ්‍රෙව් ව්‍යාකරණ සැකැස්ම කිට්ටුවෙන් අනුගමනය කළා. ප්‍රතිඵලයක් වශයෙන් හෙබ්රෙව්වල සංක්ෂිප්ත නමුත් පැහැදිලි බලය ආරක්ෂා වෙනවා. ඔහුම මෙසේ පැවසුවා: “හෙබ්‍රෙව් භාෂාවේ අංග ලක්ෂණ ලතින්වලට වඩා ඉංග්‍රීසිවලට දහස් වාරයක් සමානයි. දෙකේම භාෂණ විලාසය එකයි; එනිසා අවස්ථා ගණනාවකදීම ඔබට අවශ්‍ය වන්නේ හෙබ්‍රෙව් වචනයෙන් වචනය ඉංග්‍රීසිවලට පරිවර්තනය කිරීම පමණයි.”
මූලිකවම, මේ පදගතාර්ථ එළඹීම හෙබ්‍රෙව් ප්‍රකාශනවලින් ටින්ඩේල්ගේ පරිවර්තනය රසගැන්නුවා. ඒවායින් සමහරක් මුලින්ම කියවද්දී සම්පූර්ණයෙන්ම අමුතු දෙයක් මෙන් පෙනෙන්න තිබුණා විය යුතුයි. එහෙත්, අවසානයේදී බයිබලය මොනතරම් හුරු වූවාද කිවහොත් මේ ප්රකාශනයන්ගෙන් බොහෝමයක් දැන් ඉංග්‍රීසි භාෂාවේ කොටසක් බවට පත් වී තිබෙනවා. උදාහරණ වශයෙන් “තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු” (1 සාමුවෙල් 13:14ට අනුව), “පාස්කුව” සහ ‘පාප පූජාවේ එළුවා’ දැක්විය හැකියි. ඊටත් වඩා, ඉංග්‍රීසි බයිබලයේ පාඨකයන් හෙබ්‍රෙව් සිතුවිලිවලට හුරු වුණේ ආනුභාව ලත් ශුද්ධ ලියවිලි පිළිබඳ වඩාත් හොඳ තීක්ෂ්ණ බුද්ධියක් ඔවුන්ට ලබාගනිමින්.
බයිබලය සහ ටින්ඩේල් තහනම යටතේ
තමන්ගේම භාෂාවෙන් දේවවචනය කියවීමේ හැකියාව සතුටෙන් ඉපිළ යන්නක්. ඇඳුම් මිටි හෝ වෙනත් භාණ්ඩ ලෙස ව්‍යාජ රූපයක් බිහි කර, රට තුළට හොරෙන් ගෙන්වා ගත හැකි බයිබල් සියල්ල මිල දී ගැනීමෙන් ඉංග්‍රීසි ජනයා ප්‍රතිචාරය දැක්වූවා. ඒ අතරතුර, බයිබලය අවසාන අධිකාරය වශයෙන් සලකනු ලැබුවහොත් තම තත්වය අහිමි වී යෑම වැළැක්විය නොහැකියි කියා පූජක පක්ෂය කල්පනා කරන්න වුණා. මේ නිසා, පරිවර්තකයාට හා ඔහුගේ සහයකයන්ට මේ තත්වය පෙරට වඩා ජීවනය හා මරණය පිළිබඳ කාරණයක් බවට පත් වුණා.
පල්ලිය හා රජය විසින් නිරතුරුවම ලුහුබැන්දත් ටින්ඩේල් බෙල්ජියමේ ඇන්ට්ව’ප්හි සැඟවී දිගටම වැඩ කළා. එහෙත්, වෙනත් ඉංග්‍රීසි සරණාගතයන්, දුගීන් සහ රෝගීන්ට සේවය කිරීම තමයි තමාගේ විනෝදය කියා ඔහු හැඳින්වූ දෙයට ඔහු සතියකට දවස් දෙකක් කැප කළා. ඔහුගේ අරමුදලින් බොහෝමයක් ඔහු වැය කළේ මේ ආකාරයටයි. ටින්ඩේල්ට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අවසාන භාගය පරිවර්තනය කිරීමට හැකිවීමට පෙර, මිත්‍රයෙකු වශයෙන් බොරු වේශයෙන් පෙනී සිටි ඉංග්‍රීසි ජාතිකයෙක් ඔහුව මුදල්වලට පාවා දුන්නා. වර්ෂ 1536දී, බෙල්ජියම්, විල්වූඩෙහි මරණ දණ්ඩනයට නියම වූ ඔහුගේ අවසාන වදන් වැල මෙයයි: “ස්වාමිනි! එංගලන්තයේ රජුගේ ඇස් විවෘත කරවන්න.”
වර්ෂ 1538 වන විට, තමාගේම චේතනා උදෙසා VIIIවන හෙන්රි රජ එංගලන්තයේ හැම පල්ලියකම බයිබල් තබන්න කියා නියෝග කළා. ටින්ඩේල්ට ගරුනම්බු නොදුන්නත්, තෝරාගන්නා ලද පරිවර්තනය අනිවාර්යයෙන්ම ඔහුගෙයි. මේ ආකාරයට ටින්ඩේල්ගේ වැඩය කොයිතරම් හොඳින් ප්‍රසිද්ධ වුණාද, ප්‍රිය වූවාද කියනවා නම්, ඉංග්‍රීසියෙන් “පිළිවෙළින් ආ සංස්කරණ වැඩිහරියක මූලික ගතිලක්ෂණය තීරණය වුණේ” එමගින්. (කේම්බ්‍රිජ් බයිබල් ඉතිහාසය) ටින්ඩේල්ගේ පරිවර්තනයෙන් සියයට 90ක් තරම්වත්, 1611 ජේම්ස් රජුගේ අනුවාදයට කෙළින්ම පිටපත් කර තිබෙනවා.
බයිබලය නිදහසේ ලබාගැනීමට හැකිවීම එංගලන්තයට විශාල වෙනසක් අදහස් වුණා. බයිබල් සම්බන්ධයෙන් පල්ලිවල පැවති සාකච්ඡා මොනතරම් ප්‍රාණවත් වුණාද කිවහොත්, ඇතැම් අවස්ථාවලදී ඒවා පල්ලියේ මෙහෙයන්වලට බාධා කළා! “තමන්ට කෙළින්ම දේවවචනය කියවිය හැකි වන පිණිස මහලු ජනයා කියවීමට ඉගෙනගත් අතර, දරුවන් සවන් දීමට තම වැඩිමහල්ලන්ට එකතු වුණා.” (ඒ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් දි ඉංග්ලිෂ් බයිබල් [ඉංග්‍රීසි බයිබලයේ සංක්ෂිප්ත ඉතිහාසයක්]) මේ කාලපරිච්ඡේදය, අනිත් යුරෝපීය රටවල සහ භාෂාවල, බයිබලයේ බෙදාහැරීමෙහි විශාල වැඩිවීමක්ද අද්දුටුවා. නමුත් එංගලන්තයේදී බයිබලය බෙදාහැරීම ලෝක ව්‍යාප්ත බලපෑමක් ඇති කළා. මෙය සිදු වුණේ කොහොමද? තවද තවදුරටත් කළ සොයාගැනීම් හා පර්යේෂණ අදදින අපි පාවිච්චි කරන බයිබල්වලට බලපෑවේ කොහොමද? මේ ලිපි මාලාවේ ඊළඟ ලිපිය සමඟින් අපි අපේ වාර්තාව අවසන් කරන්නෙමු.
[26වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1526 ටින්ඩේල්ගේ “නව තෙස්තමේන්තුව”—ගිනිදළු මැදින් බේරාගත හැකි වූ ප්‍රසිද්ධ එකම සම්පූර්ණ පිටපත
[හිමිකම් විස්තර]
© The British Library Board
[26, 27වන පිටුවේ වගුව⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ප්‍රධාන දින බයිබලයේ පැතිර යෑම
පොදු යුගය
වයික්ලිෆ් බයිබලය පටන්ගත්තේ (1384ට පෙර)
1400
හස්ගේ මරණ දණ්ඩනය 1415
ගුටන්බග්—බයිබලය මුලින්ම මුද්‍රණය කළේ 1455 පමණ
1500
මුල් මුද්‍රිත ස්වභාෂා
ඉරැස්මස්ගේ ග්‍රීක් පාඨය 1516
ටින්ඩේල්ගේ 1526 “නව තෙස්තමේන්තුව”
ටින්ඩේල්ගේ මරණ දණ්ඩනය 1536
පල්ලිවල බයිබල් තැබීමට VIIIවන හෙන්රිගේ නියෝගය 1538
1600
ජේම්ස් රජුගේ අනුවාදය 1611
[පින්තූර]
වයික්ලිෆ්
හස්
ටින්ඩේල්
VIIIවන හෙන්රි