ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 12/1 9-14 පි.
  • අත් නොහරින්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත් නොහරින්න!
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෙනත් අය අපේ බලාපොරොත්තු සුන් කරන විට
  • අපෙන් වැරදි සිදු වන විට
  • අප ප්‍රමාණවත්ව නොකරන බවට අපට හැඟෙන විට
  • අපෙන් බොහෝ දේ ඉල්ලනු ලබන විට
  • අන්තිමය තවමත් පැමිණ නැති නිසා
  • යෙහෝවඃවහන්සේ වෙහෙසවූවන්ට බලය දෙනසේක
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඉදිරියම බලා සිටින්න”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මා කර තිබෙන්නේ සමාව නොලැබිය හැකි පාපයද?
    1995 පිබිදෙව්!
  • මගේ හිත වධ දෙනවා නම් බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 12/1 9-14 පි.

අත් නොහරින්න!

“යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.”—ගලාති 6:9.

1, 2. (අ) සිංහයෙක් දඩයමෙහි යෙදෙන්නේ කවර ආකාරවලින්ද? (ආ) යක්ෂයා විශේෂයෙන්ම උනන්දු වන්නේ කවුරුන් ගොදුරු කරගැනීමටද?

සිංහයෙක් විවිධ ආකාරවලින් දඩයම් කරයි. ඇතැම් අවස්ථාවලදී, ඌ දිය කඩිති අසල නැතහොත් හොඳින් භාවිත කෙරෙන අඩිපාරවල් අසල රැක සිට, උගේ ගොදුර අල්ලා ගනියි. එහෙත් පෝර්ට්‍රට්ස් ඉන් ද වයිල්ඩ් යන පොත පවසන පරිදි, ඇතැම් අවස්ථාවලදී, සිංහයෙක් “යම් තත්වයකින් නිතැතින්ම ප්‍රයෝජන ගනී—උදාහරණයක් වශයෙන්, නිදා සිටින සීබ්‍රා පැටවෙකු මුණගැසෙන විට ඌ එසේ කරයි.”

2 ප්‍රේරිත පේතෘස් පැහැදිලි කරන පරිදි, අපේ “විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8) තම කාලය කෙටි බව දන්නා සාතන්, මිනිසුන්ව යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් වැළැක්වීම සඳහා ඔවුන් කෙරෙහි පෙරටත් වඩා වැඩි පීඩනයක් යොදමින් සිටී. කෙසේවෙතත්, මෙම ‘ගොරවන සිංහයා’ යෙහෝවඃවහන්සේගේ සේවකයන් ගොදුරු කරගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම උනන්දුව සිටී. (එළිදරව් 12:12, 16ආ) ඔහුගේ දඩයම් කිරීමේ ක්‍රම සත්ව ලෝකයේ සිටින ඔහුගේ ප්‍රතිරූප සිංහයාට සමානය. ඒ කෙසේද?

3, 4. (අ) යෙහෝවඃවහන්සේගේ සේවකයන් ගොදුරු කරගැනීමේ අභිලාෂයෙන් සාතන් භාවිත කරන ක්‍රම කවරේද? (ආ) මේවා වනාහි “කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි කාලවල්” බැවින්, ඉස්මතු වන ප්‍රශ්න කවරේද?

3 ඇතැම් අවස්ථාවලදී සාතන් රැක සිට පහර දීමට වෙර දරයි—එනම් යෙහෝවඃවහන්සේට අප කරන සේවය නතර කිරීමට ඉවහල් වන පරිදි අපේ අඛණ්ඩතාව බිඳදැමීමට ඉලක්ක කර තිබෙන පීඩා නැතහොත් විරුද්ධවාදීකම් මගින්ය. (2 තිමෝති 3:12) එහෙත්, සිංහයා මෙන්, සාතන් වෙනත් අවස්ථාවලදී උද්ගත වන යම් තත්වයකින් නිකම්ම ප්‍රයෝජන ගනී. අප අධෛර්යයට හෝ වෙහෙසට පත් වී සිටින අවස්ථාව දක්වා බලා සිටින ඔහු, අපට අත්හැරීමට සැලැස්වීම සඳහා, අපේ විඩා වූ චිත්තවේගීය තත්වයෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට එවිට වෙර දරයි. අප පහසුවෙන් ගොදුරු නොවිය යුතුය!

4 එහෙත්, අප ජීවත් වෙමින් සිටින්නේ මුළු මහත් මිනිස් ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය තුළය. මෙම “කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි කාලවල්[වලදී,]” අප බොහෝදෙනෙකුට ඇතැම් අවස්ථාවලදී අධෛර්යයට පත් වී නැතහොත් පීඩාවට පත් වී ඇති බවක් හැඟෙන්ට පුළුවන. (2 තිමෝති 3:1, NW) එසේනම්, සාතන්ට ඉතා පහසු ගොදුරක් වීමෙන් වැළකීම සඳහා අපට අධික ලෙස විඩාවට පත්වීමෙන් වැළකිය හැක්කේ කෙසේද? එසේය, “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු,” යන ප්‍රේරිත පාවුල්ගේ දේවානුභාවය ලත් උපදේශයට අපට අවනත විය හැක්කේ කෙසේද?—ගලාති 6:9.

වෙනත් අය අපේ බලාපොරොත්තු සුන් කරන විට

5. දාවිත්හට විඩාවට පත්වීමට හේතු වූයේ කුමක්ද, නමුත් ඔහු නොකළේ කුමක්ද?

5 බයිබල් කාලවලදී, යෙහෝවඃවහන්සේගේ වඩාත්ම විශ්වාසවන්ත සේවකයන්ට පවා විඩාවට පත් වූ බවක් හැඟෙන්ට ඇත. “මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි,” කියා ගීතිකාකාර දාවිත් ලීවේය. “රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි. මාගේ ඇස ශෝකයෙන් ක්ෂය [විය].” දාවිත්ට එසේ හැඟුණේ මන්ද? “මාගේ සියලු එදිරිකාරයන් නිසා” යයි හේ පැහැදිලි කළේය. අනුන්ගේ වේදනාකාරි ක්‍රියාවල් දාවිත්ට කොතරම් හෘද වේදනාවක් ඇති කළාද කිවහොත්, ඔහුගේ කඳුළු නිදහසේ වැගිරුණේය. එහෙත්, සෙසු ජනයා ඔහුට කර තිබූ දේ නිසා දාවිත් යෙහෝවඃවහන්සේගෙන් ඉවත්ව නොගියේය.—ගීතාවලිය 6:6-9.

6. (අ) අනුන් කියන කරන දේ අපට බලපෑ හැක්කේ කෙසේද? (ආ) යක්ෂයාට පහසුවෙන්ම ගොදුරක් වීමට ඇතමුන් ඉඩ කඩ සලසා දෙන්නේ කෙසේද?

6 ඒ හා සමානව, අනුන් කියන හා කරන දේ, ඉමහත් හෘද වේදනාවක් ඇතුව අපහට විඩාව දැනීමට සැලැස්විය හැක. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ” යයි හිතෝපදේශ 12:18 කියයි. රළු බස් කියන තැනැත්තා ක්‍රිස්තියානි සහෝදරයෙකු හෝ සහෝදරියක වන විට, ‘කඩුවෙන් ලබන තුවාලය’ ගැඹුරට කාවැදිය හැක. තරහ වීම, සමහරවිට අමනාප ගතියෙන් පසුවීම මිනිස් ප්‍රවණතාව විය හැක. අපට අකාරුණිකව හෝ අයුක්තිසහගතව සලකා තිබෙන බව අපට හැඟේ නම්, මෙය විශේෂයෙන්ම සැබෑවක් විය හැක. වරදකරු සමඟ කතා කිරීම අපට අමාරු යමක් විය හැක; අප ඔහුව හෝ ඇයව වුවමනාවෙන්ම මඟහැරිය හැක. අමනාප ගතියෙන් පසුවීම හේතුකොටගෙන පීඩාවට පත් වී සිටින ඇතැම්හු, අත්හැර, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම නතර කොට ඇත්තාහ. ඔවුන්ව පහසු ගොදුරක් කරගැනීමට ඔවුන් එමගින් “යක්ෂයාට ඉඩ” සැලසීම කනගාටුවට කරුණකි.—එපීස 4:27.

7. (අ) වෙනත් අය අපේ බලාපොරොත්තු සුන් කරන විටත්, අපට වේදනාව ගෙන දෙන විටත්, යක්ෂයාගේ ග්‍රහණයට හසුවන පරිද්දෙන් ක්‍රියා කිරීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද? (ආ) අප අමනාප ගතිය අත්හැරිය යුත්තේ මන්ද?

7 අනුන් අපේ බලාපොරොත්තු සුන් කරන විටත්, අපට වේදනාව ගෙන දෙන විටත්, යක්ෂයාගේ ග්‍රහණයට හසුවන පරිද්දෙන් කටයුතු කිරීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද? අමනාප ගතියෙන් පසු නොවීමට අප වෙර දැරිය යුතුය. ඒ වෙනුවට, සාමය ඇති කරගැනීමට හෝ හැකි ඉක්මනින් කාරණා සමථයකට පත් කිරීමට මූලික පියවර ගන්න. (එපීස 4:26) කොලොස්සි 3:13 අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටී: “යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට [නිරන්තරයෙන්ම, NW] කමාවෙයල්ලා.” වරද කර ඇති තැනැත්තා තම වරද පිළිගෙන, අව්‍යාජ ලෙස පසුතැවිලි වී සිටී නම්, සමාව දීම විශේෂයෙන්ම යෝග්‍ය වේ. (ගීතාවලිය 32:3-5 හා හිතෝපදේශ 28:13 සසඳන්න.) කෙසේවෙතත්, සමාව දීම යනු අනුන් කර තිබෙන වැරදි ගණනකට නොගැනීම හෝ සුළු කොට තැකීම නොවන බව සිහියේ තබාගන්නවා නම්, එය අපට උපකාරවත් වේ. අමනාප ගතිය අත්හැරීම සමාව දීමට ඇතුළත් වේ. අමනාපය රඳවාගෙන සිටීම ඉතා පීඩාකාරි වූ බරක් වේ. අපේ සන්තෝෂය සොරාගනිමින්, අපේ සිතුවිලි සම්පූර්ණයෙන්ම යටපත් කර දැමීමට එයට හැක. එය අපේ සෞඛ්‍යයට පවා බලපෑ හැක. ඊට වෙනස්ව, යෝග්‍ය අවස්ථාවලදී සමාව දීම, අපේම ප්‍රයෝජනය සඳහා කටයුතු කරයි. දාවිත්ට සමානව අපිද, වෙනත් මිනිසුන් කියූ හෝ කළ දේ නිසා, කිසිදාක අත්නෑර, යෙහෝවඃවහන්සේගෙන් ඉවත් නොවෙමු!

අපෙන් වැරදි සිදු වන විට

8. (අ) සමහරුන්ට ඇතැම්විට විශේෂයෙන් වරදසහිතභාවයක් හැඟෙන්නේ මන්ද? (ආ) වරදසහිතභාවයෙන් එතරම්ම ගිලී සිටීම හේතුවෙන් අප ගැනම සැලකිලිමත් වීම අත්හැරීමෙහි තිබෙන අවදානම කුමක්ද?

8 “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු” කියා යාකොබ් 3:2 පවසයි. අපට එසේ සිදු වන විට, ඇත්තෙන්ම වරදසහිතභාවයක් හැඟීම ස්වාභාවිකය. (ගීතාවලිය 38:3-8) අපි මාංසයේ දුර්වලකමකට එරෙහිව සටන් කරමින්, කලින් කලට පසුබැසීම් අද්දකින්නෙමු නම්, වරදසහිතභාවයේ හැඟීම් විශේෂයෙන්ම ප්‍රබලව තිබෙනවා විය හැක.a එවන් පොරබැදීමකට මුහුණ දුන් එක් ක්‍රිස්තියානි භක්තිකයෙක් මෙසේ පැහැදිලි කළේය: “මා කර තිබෙන්නේ සමාව නොලැබිය හැකි පාපයද, නැද්ද කියා නොදැන, තවත් ජීවත් වෙන්න මට වුවමනා වුණේ නෑ. ඇතැම්විට මා එතරම් දුරදිග ගොස් තිබූ නිසා, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ වීර්යය කිරීමෙන් ඵලක් නැහැයි කියා මට හැඟුණා.” වරදසහිතභාවය තුළ එතරම්ම ගිලී සිටීම හේතුකොටගෙන අප අත්හරින විට, අපි සාතන්ට පිවිසීමට මඟක් විවෘත කරන්නෙමු—තවද ඔහු විගස ඉන් ප්‍රයෝජන ගත හැක! (2 කොරින්ති 2:5-7, 11) අවශ්‍ය වන්නේ වරදසහිතභාවය පිළිබඳ වඩාත් සමබර දෘෂ්ටියක් විය හැක.

9. අපට දෙවියන්වහන්සේගේ දයාව කෙරෙහි නිසැකභාවයක් තිබිය යුත්තේ මන්ද?

9 අප පව් කරන විට යම් දුරකට වරදසහිතභාවයක් හැඟීම යෝග්‍ය වේ. කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවලදී, තමා දෙවියන්වහන්සේගේ දයාව ලැබීමට කෙදිනකවත් සුදුසුකම් නොලබාවි කියා ක්‍රිස්තියානි භක්තිකයෙකුට හැඟෙන නිසා, වරදසහිතභාවයේ හැඟීම් දිගටම පවතී. එහෙත්, බයිබලය උණුසුම්ව අපට මෙසේ සහතික කරයි: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.” (1 යොහන් 1:9) අප සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ එසේ නොකරන බවට විශ්වාස කිරීමට කිසිම ස්ථිරසාර හේතුවක් තිබේද? යෙහෝවඃවහන්සේ “කමාවෙන්ට සූදානම්” බව උන්වහන්සේ ස්වකීය වචනයෙහි පවසන බව මතක තබාගන්න. (ගීතාවලිය 86:5; 130:3, 4) අපි පසුතැවිලි වන හෘදයකින් යුතුව උන්වහන්සේ වෙත පැමිණෙමු නම්, උන්වහන්සේට බොරු කීමට බැරි නිසා, ස්වකීය වචනය පොරොන්දු වන පරිදි, උන්වහන්සේ ක්‍රියා කරනසේක.—තීතස් 1:1, 2ආ.

10. මාංසයේ දුර්වලකමකට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් කලින් පළ වූ වොච්ටවර් සඟරාවක තිබුණේ කුමන හද උණුසුම් කරවන දිරිගැන්වීමද?

10 ඔබ දුර්වලකමකට එරෙහිව සටන් කරන කල්හි, පසුබසින්නෙහි නම්, ඔබ කුමක් කළ යුතුද? අත් නොහරින්න! ඔබ මේ වන විටත් ලබාගෙන තිබෙන ප්‍රගතිය පසුබැසීමක් හේතුකොටගෙන අනිවාර්යයෙන්ම අවලංගු නොවේ. මෙම සඟරාවේ 1954 පෙබරවාරි 15වන කලාපය (ඉංග්‍රීසියෙන් පමණි), මෙම හද උණුසුම් කරවන දිරිගැන්වීම සපයා දුන්නේය: “අපට වැටහී තිබුණාට වඩා අපේ කලින් ජීවිත රටාව තුළට ඉතා ගැඹුරින් කාවැදුණු යම් නරක පුරුද්දකට නොයෙක් වර අප වැටෙමින් සිටින බවක් අපට හැඟී යනවා විය [හැක]. . . . අධෛර්යය නොවන්න. ඔබ සමාව නොලැබිය හැකි පාපය කර තිබෙන බවට නිගමනය නොකරන්න. ඔබ එසේ තර්ක කරනවා දැකීමට සාතන් කැමතිය. ඔබ ශෝකයෙන් හා කලකිරීමෙන් සිටින බවට වූ කාරණයෙන් සහතික ලෙස ඔප්පු වන්නේ, ඔබ එතරම් දුරදිග නොගොස් ඇති බවය. දෙවියන්වහන්සේ වෙත නිහතමානීව හා ඕනෑකමින් හැරීම සම්බන්ධයෙන්ද, උන්වහන්සේගෙන් සමාව, පවිත්‍ර කිරීම හා උපකාරය පැතීම සම්බන්ධයෙන්ද කෙදිනකවත් වෙහෙසට පත් නොවන්න. එකම දුර්වලකම පිළිබඳව කොතරම් වාර ගණනක් කටයුතු කිරීමට සිදු වුවත්, කරදරයකට පත් වී සිටින දරුවෙකු තම පියා වෙත යන්නාක් මෙන් උන්වහන්සේ වෙත යන්න, තවද යෙහෝවඃවහන්සේ ස්වකීය ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව හේතුකොටගෙන ඔබට අනුග්‍රහයෙන් යුක්තව උපකාර පිරිනමනසේක, එමෙන්ම ඔබ අවංක වන්නෙහි නම්, ඔබට පිරිසිදු කරන ලද හෘදය සාක්ෂියක් තිබෙන බවට වූ අවබෝධය උන්වහන්සේ ඔබට දානය කරනසේක.”

අප ප්‍රමාණවත්ව නොකරන බවට අපට හැඟෙන විට

11. (අ) රාජ්‍යය ගැන දේශනා කිරීමේ කර්තව්‍යය තුළ සහභාගි වීම සම්බන්ධයෙන් අපට හැඟිය යුත්තේ කෙසේද? (ආ) දේවසේවයෙහි සහභාගි වීම සම්බන්ධයෙන් ඇතැම් ක්‍රිස්තියානීන් පොරබදන්නේ කුමන හැඟීම් සමඟද?

11 දේශනා කිරීමේ කර්තව්‍යය ක්‍රිස්තියානි භක්තිකයෙකුගේ ජීවිතය තුළ වැදගත් කාර්යයක් ඉටු කරන අතර, එයට සහභාගි වීමෙන් ප්‍රීතිය අත් වේ. (ගීතාවලිය 40:8) කෙසේවෙතත්, දේවසේවයෙහි වැඩියෙන් නියැලීමට නොහැකි වීම ගැන ඇතැම් ක්‍රිස්තියානීන්ට ඉමහත් වරදසහිතභාවයක් හැඟේ. එවන් වරදසහිතභාවයකට අපේ ප්‍රීතිය නැති කර දැමිය හැකි අතර, අප කිසිදාක ප්‍රමාණවත්ව නොකරන බව යෙහෝවඃවහන්සේට හැඟෙන බව සිතමින්, අපහට අත්හැරීමට සැලැස්විය හැක. ඇතමුන්ට පොරබදන්ට සිදු වන හැඟීම් සලකා බලන්න.

“දුගීකම නිසා කොතරම් කාලයක් වැය වනවාද කියා ඔබ දන්නවාද?” කියා සිය පුරුෂයා හා එක්ව දරුවන් තිදෙනෙකු ඇති දැඩි කරන ක්‍රිස්තියානි සහෝදරියක් ලීවාය. “මට හැකි සෑම අවස්ථාවකදීම මා දේවල් පරෙස්සම් කළ යුතුයි. මෙනිසා පාවිච්චි කරන ලද බඩු විකුණන සාප්පුවලින්ද, තොග අවසන් කිරීමේ ‘සේල්වලින්ද’ මහත් ආයාසයක් දරා අවශ්‍ය දේ ලබාගැනීමට, එසේ නැතහොත් ඇඳුම් මැසීමට පවා කාලය ගත කිරීමට සිදු වෙනවා. එමෙන්ම [ආහාර වට්ටම්] කූපන් පත් කපා, පිළිවෙළකට එක්රැස් කොට, ඒවා මුදල්වලට දීම සඳහාද හැම සතියකම පැයක් හෝ දෙකක් මම ගත කරනවා. මෙවැනි දේවල් කරන විට, එම කාලය ක්ෂේත්‍ර සේවයේ යෙදවිය යුතු බව සිතීමෙන්, ඇතැම්විට මට බලවත් වරදසහිතබවක් හැඟෙනවා.”

“මම හිතුවේ මම ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේට ඇති තරම් ප්‍රේම කරන්නේ නෑ කියලයි,” යනුවෙන් දරුවන් සිව්දෙනෙකු හා නොඇදහිලිකාර පුරුෂයෙකු සිටින සහෝදරියක් පැහැදිලි කළාය. “එනිසා යෙහෝවඃවහන්සේට සේවය කරන විට මට මහත් පොරබැදීමක් කරන්න සිද්ධ වුණා. මම මහත් වෑයමක් දැරුවත්, එය ප්‍රමාණවත් බව මට කිසිවිටකත් හැඟුණේ නැහැ. ඒ කියන්නේ, මට මා ගැන ගෞරවාන්විත හැඟීමක් තිබුණේ නැහැ, එනිසා යෙහෝවඃවහන්සේ කවදාකවත් මගේ සේවය පිළිගනී කියා මට සිතාගන්ට බැරි වුණා.”

පූර්ණ-කාලීන සේවය අත්හැරීමට සිදු වූ ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ පැවසුවාය: “යෙහෝවඃවහන්සේට පූර්ණ-කාලීනව සේවය කිරීමට වූ මගේ පොරොන්දුව සම්බන්ධයෙන් මා අසමත් වෙනවා යන අදහස මට දරාගත නොහැකි තරම්. මා කොතරම් බලාපොරොත්තු රහිත තත්වයකට පත් වුණාද කියා ඔබට සිතාගන්නවත් බැරි වේවි! එය සිහිවන විටත් මට ඇඬෙනවා.”

12. ඇතැම් ක්‍රිස්තියානීන්ට සේවය තුළ වැඩියෙන් කිරීමට බැරිවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වරදසහිතභාවයක් හැඟෙන්නේ මන්ද?

12 උපරිමයෙන් යෙහෝවඃවහන්සේට සේවය පිරිනැමීමට ආශාවීම ඇත්තෙන්ම ස්වාභාවික දෙයකි. (ගීතාවලිය 86:12) එහෙත්, තව තවත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමහරුන්ට මහත් වරදසහිතභාවයක් හැඟෙන්නේ මන්ද? ඇතමුන් සඳහා, එය ඇතැම්විට ජීවිතයේ අප්‍රසන්න අද්දැකීම් හේතුකොටගෙන ඉස්මතු වන පොදුවේ අද්දකින නොවටිනාභාවයේ හැඟීමකට සම්බන්ධ බව පෙනේ. තවත් අය සම්බන්ධයෙන්, යෝග්‍ය නොවන වරදසහිතභාවයක් ඇතිවීම, යෙහෝවඃවහන්සේ අපෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව යථාර්ථවාදී නොවන දෘෂ්ටියක ප්‍රතිඵලයක් විය හැක. “ඔබට ඉන් මහත් වෙහෙසක් දැනුණා නම් මිස, නැත්නම් ඔබ ඇති තරම් කර නැති බවට වූ හැඟීම මට තිබුණා,” යයි එක් ක්‍රිස්තියානි භක්තික ස්ත්‍රියක් පිළිගත්තාය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඈ වුවමනාවට වඩා තමාටම ඉහළ ප්‍රමිති තබාගැනීමට නැඹුරු වූවාය—ඉන් අනතුරුව ඒවා අත් කරගැනීමට ඇය අපොහොසත් වූ විට, ඊටත් වඩා වරදසහිතභාවයක් ඇයට හැඟිණ.

13. යෙහෝවඃවහන්සේ අපෙන් කුමක් අපේක්ෂා කරනසේක්ද?

13 යෙහෝවඃවහන්සේ අපෙන් කුමක් අපේක්ෂා කරනසේක්ද? සරලව කියනවා නම්, අපේ තත්වයන් අපට ඉඩ දෙන තරමට, උන්වහන්සේට ආත්ම-පූර්ණ සේවයක් පිරිනැමීම යෙහෝවඃවහන්සේ අපෙන් අපේක්ෂා කරනසේක. (කොලොස්සි 3:24) කෙසේවෙතත්, අප කරන්ට කැමති දේ අතරද අපට යථාර්ථවාදීව කළ හැකි දේ අතරද විශාල පරතරයක් තිබිය හැක. වයස, සෞඛ්‍ය තත්වය, කායික ශක්තිය නැතහොත් පවුල් වගකීම් වැනි සාධක මගින් අප සීමා විය හැක. කෙසේවෙතත්, අප අපට කළ හැකි සියල්ල කරන විට, යෙහෝවඃවහන්සේට වූ අපේ සේවය ආත්ම-පූර්ණ එකක් බව අපට සහතිකවම හැඟිය හැක—එය වනාහි තම සෞඛ්‍ය තත්වය හා වෙන තත්වයන් මගින් පූර්ණ-කාලීන සේවයෙහි සිටීමට ඉඩ කඩ සලසන කෙනෙකුට නොවැඩි මෙන්ම නොඅඩු වූ ආත්ම-පූර්ණ සේවයකි.—මතෙව් 13:18-23.

14. ඔබට ඔබෙන්ම යථාර්ථවාදීව කුමක් අපේක්ෂා කළ හැකිද යන වග නිශ්චය කරගැනීමට උපකාර අවශ්‍ය නම්, ඔබට කුමක් කළ හැකිද?

14 එසේනම්, ඔබට ඔබෙන්ම යථාර්ථවාදීව අපේක්ෂා කළ හැකි දේ කුමක්ද කියා ඔබට නිශ්චය කළ හැක්කේ කෙසේද? ඔබේ හැකියාවන්, ඔබේ සීමාවන් හා ඔබේ පවුලේ වගකීම් ගැන දන්නා, සමහරවිට වැඩිමහල්ලෙකු හෝ අද්දැකීම් ඇති සහෝදරියක විය හැකි, විශ්වාසවන්ත, මේරූ ක්‍රිස්තියානි මිතුරෙකු හෝ මිතුරියක සමඟ මේ කාරණය ගැන කතා කිරීමට ඔබ කැමති වනවා විය හැක. (හිතෝපදේශ 15:22) දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ, පුද්ගලයෙකු වශයෙන් ඔබේ අගය ඔබ ක්ෂේත්‍ර සේවය තුළ කරන ප්‍රමාණය මගින් මනිනු නොලබන බව මතක තබාගන්න. යෙහෝවඃවහන්සේගේ හැම සේවකයෙකුම උන්වහන්සේට ඉතා අගනේය. (හග්ගයි 2:7; මලාකි 3:16, 17) ඔබ දේශනා සේවය තුළ කරන දේ අනුන් කරන දේට වඩා අඩු හෝ වැඩි හෝ විය හැකි මුත්, ඉන් ඔබේ උපරිමය නියෝජනය කරන තාක්කල්, යෙහෝවඃවහන්සේ සතුටු වන අතරම, වරදසහිතභාවයක් හැඟීමට ඔබට අවශ්‍යතාවක් නැත.—ගලාති 6:4.

අපෙන් බොහෝ දේ ඉල්ලනු ලබන විට

15. සභා වැඩිමහල්ලන්ගෙන් බොහෝ දේ ඉල්ලනු ලබන්නේ කුමන ආකාරවලින්ද?

15 “යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය” යි යේසුස්වහන්සේ වදාළසේක. (ලූක් 12:48) සභා වැඩිමහල්ලන් වශයෙන් සේවය කරන අයගෙන් ‘වඩා ඉල්ලනු ලබන’ බවට සහතිකය. පාවුල් කළාක් මෙන් ඔවුහු සභාව උදෙසා මුළු වැර යොදති. (2 කොරින්ති 12:15) තමුන්ගේ පවුල්වල අවශ්‍යතා කිසිසේත් නොසලකා නොහරිමින්, ඔවුන්ට කතා සූදානම් කිරීමටත්, එඬේර බැහැදැකීම් කිරීමටත්, විනිශ්චයක කාරණා හැසිරවීමටත් සිදු වේ. (1 තිමෝති 3:4, 5) සමහර වැඩිමහල්ලෝ, රාජ්‍ය ශාලා ගොඩනැංවීමේ කටයුතුවල නියුක්ත වෙමින්, රෝහල් සබඳතා කමිටුවල සේවය කරමින්, එක්රැස්වීම් හා සමුළුවලදී ස්වේච්ඡාවෙන් සේවය පිරිනමමින් කාර්ය බහුලව සිටිති. එවන් වගකීම්වල බර යටතේ විඩාවට පත්වීමෙන් වැළකීමට මෙම වෙහෙස මහන්සි වී වැඩ කරන, කැපවූ පුරුෂයන්ට හැක්කේ කෙසේද?

16. (අ) යෙත්‍රෝ මෝසෙස්ට ඉදිරිපත් කළේ කුමන ප්‍රායෝගික විසඳුමද? (ආ) අනුන් සමඟ යෝග්‍ය වගකීම් හවුලේ බෙදාගැනීමට වැඩිමහල්ලෙකුට ඉඩ කඩ සලසා දෙන්නේ කුමන ගුණාංගයද?

16 පමණ දැන ක්‍රියා කළ නිහතමානී මිනිසෙක් වූ මෝසෙස්, අනුන්ගේ ගැටලු ගැන සැලකිලිමත් වීමෙන් මහත් වෙහෙසට පත්වෙමින් සිටියදී, ඔහුගේ මාමණ්ඩිය වූ යෙත්‍රෝ ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කළේය: සුදුසුකම් ඇති වෙනත් පුරුෂයන් සමඟ යම් වගකීම් හවුලේ බෙදාගන්න. (නික්මයාම 18:17-26; ගණන් කථාව 12:3) “යටහතුන් [පමණ දැන කටයුතුකරන්නන්, NW] වෙත ප්‍රඥාව තිබේ,” යයි හිතෝපදේශ 11:2 කියයි. පමණ දැන කටයුතු කිරීමෙන් අදහස් කරන්නේ ඔබේ සීමාවන් හඳුනාගෙන ඒවා පිළිගැනීමය. පමණ දැන කටයුතු කරන පුරුෂයෙක් අනුන් වෙත වැඩ පැවරීමට අදි මදි නොකරන අතර, සුදුසුකම් සහිත වෙනත් පුරුෂයන් සමඟ යෝග්‍ය වගකීම් හවුලේ බෙදාගැනීමෙන් තමාට යම් හෙයකින් පාලනය අහිමි වෙයි කියා බියවන්නේද නැත.b (ගණන් කථාව 11:16, 17, 26-29) ඒ වෙනුවට, ප්‍රගතිය ලැබීමට ඔවුන්ට උපකාර කිරීමට ඔහු යුහුසුලු වන්නේය.—1 තිමෝති 4:15.

17. (අ) සභාවේ සාමාජිකයන්ට වැඩිමහල්ලන්ගේ බර සැහැල්ලු කළ හැක්කේ කෙසේද? (ආ) වැඩිමහල්ලන්ගේ භාර්යාවෝ කුමන පරිත්‍යාග කරත්ද, තවද මේවා සුළු කොට නොතකන බවට අපට පෙන්විය හැක්කේ කෙසේද?

17 සභා සාමාජිකයන්ට වැඩිමහල්ලන්ගේ බර සැහැල්ලු කිරීමට බොහෝ දේ කළ හැක. වැඩිමහල්ලන්ට තමුන්ගේ පවුල් රැකබලා ගැනීමට සිදුවන බව තේරුම්ගන්නා වෙනත් අය, වැඩිමහල්ලන්ගේ කාලය හා අවධානය අසාධාරණ ලෙස ඉල්ලා නොසිටිත්. එමෙන්ම, වැඩිමහල්ලන්ගේ භාර්යාවන්, සභාව තුළ සේවය කිරීම සඳහා පරාර්ථකාමී ලෙස සිය ස්වාමිපුරුෂයන්ට ඉඩ සලසන අතරතුර, එම ස්ත්‍රීන් කැමැත්තෙන්ම කරන පරිත්‍යාග ඔවුන් සුළු කොට සලකන්නේ නැත. එක් වැඩිමහල්ලෙකුගේ භාර්යාව මෙන්ම තිදෙනෙකුගේ මවක් මෙසේ පැහැදිලි කළාය: “මගේ පුරුෂයාට වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට හැකි වන පරිද්දෙන්, මා පවුල තුළ කැමැත්තෙන්ම උසුලන අමතර බර ගැන මා කවදාවත් පැමිණිලි කරන්නේ නැහැ. ඔහු පිරිනමන සේවය නිසා අපේ පවුල තුළ යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද බහුලව ලැබෙන බව මා දන්නවා, එමෙන්ම ඔහු ඔවුන් වෙනුවෙන් වැය කරන දෙය ගැනවත් මම ඊර්ෂ්‍යා වන්නේ නැහැ. එහෙත් යථාර්ථවාදීව බලනවා නම්, මගේ පුරුෂයා කාර්ය බහුලව සිටින නිසා, සාමාන්‍යයට වඩා මට වත්තේ වැඩ කිරීමටත්, අපේ දරුවන්ව හික්මවීම සම්බන්ධයෙන් වැඩි කාර්යයක් කිරීමටත් මට නිතර සිදු වෙනවා.” ඇගේ අමතර බර අගය කරන්නේ නැතුව, “ඔබ පුරෝගාමී සේවය නොකරන්නේ ඇයි?” වැනි අසංවේදී ප්‍රකාශයන් ඇතමුන් කළ බව මෙම සහෝදරීට දැනගැනීමට ලැබීම කනගාටුවට කරුණකි. (හිතෝපදේශ 12:18) අනුන් නොකරන දේ වෙනුවෙන් ඔවුන්ව විවේචනයට භාජන කරනවාට වඩා, ඔවුන් කරන දේ වෙනුවෙන් ඔවුන්ට ප්‍රශංසා කිරීම මොනතරම් හොඳ දෙයක්ද!—හිතෝපදේශ 16:24; 25:11.

අන්තිමය තවමත් පැමිණ නැති නිසා

18, 19. (අ) සදාකාල ජීවනය සඳහා ධාවන තරඟයෙහි දිවීම නතර කිරීමට මෙය කාලය නොවන්නේ මන්ද? (ආ) ප්‍රේරිත පාවුල් යෙරුසලමේ ක්‍රිස්තියානීන්ට දුන්නේ කුමන කාලෝචිත අවවාදයද?

18 තමා ඉතා දීර්ඝ ධාවන තරඟයක අවසානයට ආසන්නව සිටින බව ධාවකයෙකු දැනගන්නා විට, ඔහු අත් නොහරියි. ඔහුගේ ශරීරය, එහි දරාගැනීමේ සීමාවටම පැමිණ තිබෙනවා විය හැක—එය මුළුමනින්ම විඩාවට පත් වී, අධික ලෙස තෙහෙට්ටු වී, විජලනය වී තිබිය හැක—නමුත් අවසානයට එතරම් ළංවී තිබෙන බැවින් දිවීම නතර කිරීමට එය කාලය නොවේ. ඒ හා සමානව, ක්‍රිස්තියානි භක්තිකයන් වශයෙන් අප සිටින්නේ ජීවනය නමැති ත්‍යාගය සඳහා ධාවන තරඟයකය, තවද අපි දිනුම් කණුවට ඉතා ආසන්නව සිටිමු. දිවීම අත්හැරීමට මෙය කාලය නොවේ!—සසඳන්න 1 කොරින්ති 9:24; පිලිප්පි 2:15අ, 16; 3:13, 14.

19 පළමු සියවසේ ක්‍රිස්තියානීහු සමාන තත්වයකට මුහුණ දුන්හ. ප්‍රේරිත පාවුල්, පො.යු. 61දී පමණ යෙරුසලමේ ක්‍රිස්තියානීන්ට ලීවේය. කාලය ගෙවී යමින් තිබුණේය—ඇදහිල්ල අත්හළ යුදෙව් දේවල පිළිවෙළ නමැති නපුරු “පරම්පරාව,” ‘පහව යෑමට’ ආසන්නව තිබිණ. යෙරුසලමෙහි විසූ ක්‍රිස්තියානීන්ට විශේෂයෙන්ම අවදිව හා විශ්වාසවන්තව සිටීමට සිදු විය; කඳවුරු බැඳ සිටි සේනාවන් විසින් එය වටලනු ලබනවා ඔවුන් දුටු විට, නගරයෙන් පලා යෑමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත. (ලූක් 21:20-24, 32) එසේනම් පාවුල්ගේ දේවානුභාවය ලත් මෙම උපදේශය කාලෝචිත විය: ‘නුඹලාගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන්න.’ (හෙබ්‍රෙව් 12:3) ප්‍රේරිත පාවුල් මෙහිදී විචිත්‍ර ක්‍රියා පද දෙකක් භාවිත කළේය: “ක්ලාන්ත වීම” (කැʹම්නෝ) සහ “වෙහෙස වීම” (එ·ක්ලිʹඔ·මෙයි). එක් බයිබල් විශාරදයෙකුට අනුව, “දිනුම් කණුව පසු කිරීමෙන් වෙහෙස නිවන ඇද වැටෙන ධාවකයන් සම්බන්ධයෙන් ඇරිස්ටෝටල් විසින් මෙම ග්‍රීක් වදන් භාවිත කරනු ලැබේ. [පාවුල්ගේ ලිපියේ] පාඨකයෝ එවිටමත් ධාවන තරඟයෙහි සිටියෝය. ඔවුන් නියම කාලයට පෙර අත් නොහැරිය යුතුය. විඩාවට පත්වීම හේතුවෙන් ක්ලාන්තව ඇද වැටීමට ඔවුන් තමන්ටම ඉඩ නොහළ යුතුය. නැවත වරක් දුෂ්කරතා හමුවේ අඛණ්ඩ උත්සාහයක යෙදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.”

20. පාවුල්ගේ අවවාද අදදින අපහට කාලෝචිත වන්නේ මන්ද?

20 අදදින අප සඳහා පාවුල්ගේ උපදේශය මොනතරම් කාලෝචිතද! වැඩි වන්නාවූ පීඩන හමුවේ, ඇද වැටීමට ආසන්නව සිටින ධාවකයෙකුට සමාන හැඟීමක් අප තුළ පහළ වන අවස්ථා තිබිය හැක. එහෙත් දිනුම් කණුවට එතරම් ආසන්නව සිටින අපි, අත් නොහැරිය යුත්තෙමු! (2 ලේකම් 29:11) ‘ගොරවන සිංහයා’ වන අපේ විරුද්ධකාරයා අප කරනවා දැකීමට කැමති වන්නේ හරියටම ඒ දෙයයි. “ක්ලාන්තවූ අයට ශක්තිය” ලබා දෙන සැපයුම් යෙහෝවඃවහන්සේ විසින් සපයා තිබීම ගැන ස්තුතිවන්ත විය හැක. (යෙසායා 40:29) ඒවා මොනවාද යන වගත්, ඒවායින් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද යන වගත් ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ලැබේ.

[පාදසටහන්වල]

a උදාහරණයක් වශයෙන්, වහා කිපෙනසුලු වීම වැනි ගැඹුරට කාවැදුණු පෞද්ගලික ගතිලක්ෂණයක් පාලනය කිරීමට, නැතහොත් ස්වයංවින්දනය හා සම්බන්ධව ගැටලුවක් පරාජය කිරීමට ඇතමුන් මහත් ආයාසයක් දරනවා විය හැක.—වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත 1988 ඔක්තෝබර් 8, පිබිදෙව්!, පිටු 28-31; 1981 නොවැම්බර් 8, එවේක්!, පිටු 16-20; සහ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු, පිටු 198-211 බලන්න.

b 1992 දෙසැම්බර් 1, මුරටැඹ කලාපයේ පිටු 20-3හි, “වැඩිමහල්ලෙනි—පවරන්න!” යන ලිපිය බලන්න.

ඔබේ උත්තරය කුමක්ද?

◻ අනුන් අපේ බලාපොරොත්තු සුන් කරන විටත්, අපට වේදනාව ගෙන දෙන විටත් අත්හැරීමෙන් අපට වැළකිය හැක්කේ කෙසේද?

◻ අත්හැරීමෙන් අපව වළකාලීමට වරදසහිතභාවය පිළිබඳ කිනම් සමබර දෘෂ්ටිය අපට ඉවහල් වේවිද?

◻ යෙහෝවඃවහන්සේ අපෙන් කුමක් අපේක්ෂා කරනසේක්ද?

◻ සභාවේ වැඩිමහල්ලන්ට විඩාවට පත්වීමෙන් වැළකී සිටීමට පමණ දැන කටයුතු කිරීම උපකාරවත් විය හැක්කේ කෙසේද?

◻ හෙබ්‍රෙව් 12:3හි පාවුල්ගේ අවවාදය අදදින අපහට කාලෝචිත වන්නේ මන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න