යෞවනයන් අසති . . .
මා කර තිබෙන්නේ සමාව නොලැබිය හැකි පාපයද?
“මීට පෙර කවදාවත් මා එතරම් කලකිරීමට පත්වී නෑ.මට තවදුරටත් කිසි ආත්ම-ගෞරවයක් තිබුණේ නෑ, එමෙන්ම දෙවියන්වහන්සේ මට කවදාවත් සමාව දෙන එකක් නෑ කියා මා සිතුවා.”—මාර්කෝ.a
“මා ඉතා අධෛර්යයට පත්වී සිටියා. වරදක් කළාය යන හැඟීමෙන් මගේ හෘදය බර වී තිබුණා. මා සමාව නොලැබිය හැකි යම් වැරදි කර ඇතැයි කියා මා සිතුවා.”—ආල්බෙර්ටෝ.
“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත,” යයි බයිබලය පවසයි. (1 රාජාවලිය 8:46) එහෙත් සමහර විට යෞවනයෙකුට තමන් සුළු වරදකට වඩා වැඩි දෙයක් කර ඇතැයි හැඟෙන්ට පුළුවන. මාර්කෝ සහ ආල්බෙර්ටෝ මෙන්, ඔහු නිරතුරුව පවතින වරද සහිත හැඟීමකින් බර වී සිටිනවා විය හැක. ඔහු කර තිබෙන දෙය කෙතරම් නීචද, කෙතරම් දුෂ්ටද කිවහොත් තමාට කිසිදා දෙවියන්වහන්සේගෙන් සමාව ලැබිය නොහැකි යයි ඔහුට හැඟෙන්ට පුළුවනි.
මෙවැනි හැඟීම්වලින් ඔබව සන්තාපයට පත්වී තිබේ නම් කුමක්ද? ධෛර්යවත් වන්න. ඔබේ තත්ත්වය බලාපොරොත්තු විරහිත නොවේ.
අපගේ හෘදය සාක්ෂිය අපට වද දීමට හේතුව
ඔබ අනුවණ වරදක් කර තිබෙන විට පසුතැවිල්ලේ හැඟීමක් ඇතිවීම ස්වාභාවිකය. අප සියල්ලන්ම උපත ලබන්නේ බයිබලයේ පවසන ‘හෘදය සාක්ෂියේ,’ ඉන්ද්රිය ශක්තිය ඇතිවය. එය හරි වැරැද්ද පිළිබඳව ඇතුළතින් හැඟීමක්, එනම් අප යම් නරක දෙයක් කරන විට අපට සාමාන්‍යයෙන්ම දැනුම් දෙන අභ්‍යන්තර අනතුරු අඟවන්නකි. (රෝම 2:15, 16) උදාහරණයක් වශයෙන්, දාවිත් රජ සලකා බලන්න. ඔහු වෙනත් මිනිසෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කළේය. පසුව, ඔහු ඇගේ ස්වාමිපුරුෂයාව නිශ්චිත මරණයකට ගොදුරු කළේය. (2 සාමුවෙල් 11:2-17) දාවිත් මත ඇති වූ බලපෑම?
“දිවා රාත්‍රි දෙක්හිම [දෙවියන්වහන්සේගේ] හස්තය මා පිට බරවිය,” කියා දාවිත් පිළිගත්තේය. එසේය, ඔහුට දිව්‍ය අනුමැතිය නොලැබීමේ බරක් දැනුණි. දාවිත් මෙසේද පැවසීය: “මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත. මක්නිසාද මාගේ අයුතුකම් මාගේ ඉස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි. . . . දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.” (ගීතාවලිය 32:4; 38:3-6) ඔහු ඒකාන්ත ක්‍රියාවක් ගෙන, සිය වරද ගැන පසුතැවිලි වන තුරුම දාවිත්ගේ හෘදය සාක්ෂිය දිගටම තමාව පීඩාවට භාජන කළේය.
එවැනිම අයුරකින්, ක්‍රිස්තියානි දෙමව්පියන් විසින් ඔබව දැනුවත් කර තිබෙනවා නම් සහ ඔබ බයිබල් ප්‍රමිතිවලින් වෙනතකට හැරී යනවා නම්, වරදක් කර තිබෙන බව ඔබට හැඟෙනු ඇත. මෙම පසුතැවී සිටීමේ හැඟීම සාමාන්‍ය, හිතකර දෙයකි. වරදක් තදින් කාවැදුණු පුරුද්දක් වීමට පෙර තමන්ව නිවැරදි කිරීමට හෝ ඒ සඳහා උපකාරය පැතීමට පුද්ගලයෙකුව පෙලඹීමට එයට හැක. අනික් අතට, පාපයෙහි නොකඩවා යෙදී සිටින පුද්ගලයෙක් සිය හෘදය සාක්ෂියට හානි පමුණුවාගනියි. කල්යත්ම එය හංවඩු ගැසූ සමක් මෙන්, අසංවේදී බවට පත් වේ. (1 තිමෝති 4:2) ඉන්පසුව සදාචාර ගතිපැවතුම් දූෂණය වන බවට ස්ථිරය.—ගලාති 6:7, 8.
දේව භක්තිය දනවන ශෝකය
එසේනම්, “මරණයට නොපමුණුවන්නාවූ පාපයක්,” ගැන බයිබලයේ කථා කිරීම පුදුමයක් නොවේ. (1 යොහන් 5:16; සසඳන්න මතෙව් 12:31.) එවැනි පාපයක් මාංශයේ දුර්වලකමක් පමණක්ම නොවේ. එය සිදු කෙරෙන්නේ වුවමනාවෙන්ම, මුරණ්ඩුකමින්ම, හිතුවක්කාරකමින්මය. එවැනි පාපයක් සමාව දිය නොහැකි පාපයක් කරන්නේ පාපයම නොව, නමුත් පාපය කරන්නාගේ හෘදයේ තත්ත්වයමය.
කෙසේවුවද, ඔබේ වැරදි හැසිරීම ගැන ඔබට වේදනාවක් දැනෙනවාය යන කාරණයෙන් හඟවන්නේ ඔබ සමාව නොලැබිය හැකි පාපයක් නොකර තිබෙන බවය. බයිබලය පවසන්නේ “දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, . . . ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය,” කියාය. (2 කොරින්ති 7:10) සැබවින්ම, යාකොබ් 4:8-10හි දී තිබෙන අවවාදය සැලකිල්ලටගන්න: “නුඹලාගේ අත් පවිත්රකරගනිල්ලා; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් [හෘද, NW] පිරිසිදුකරගනිල්ලා. දුක්වෙමින් වැලපෙමින් හඬාපල්ලා. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.” ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉදිරියෙහි පහත්වෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක.
වැරැද්ද ඉතා බරපතළ එකක් විය හැකි බව සැබෑවකි. උදාහරණයක් ලෙස, යෞවන ජූලි, පෙම්වතෙකු සමඟ සිප වැළඳගැනීමට පටන්ගත්තාය. “මට මුලින්ම ලොකු වරදක් කරනවා කියා හැඟුණා,” යයි ඈ වරද පිළිගන්නීය, “නමුත් කාලය ගෙවෙද්දී, මා එයට හුරු වුණා. එය මගේ හෘදය සාක්ෂියට එතරම් වද දුන්නේ නෑ.” කල්යත්ම, අපවිත්‍ර ක්‍රියා, ලිංගික සම්බන්ධකම් පැවැත්වීම දක්වා වැඩි වර්ධනය විය. “මට මහත් දුකක් දැනුණා,” යයි ජූලි පවසන්නීය. “එය කිහිප වතාවක සිදුවන තරමටම මගේ හෘදය සාක්ෂිය දුර්වල වුණා.”
එවැනි අවස්ථාවක් බලාපොරොත්තු විරහිත අවස්ථාවක්ද? අනිවාර්යෙන්ම නැත. යුදාහි රජ කෙනෙකු වූ මනස්සේ ගැන කුමක් කිව හැකිද? ඔහු ආත්ම බන්ධනය සහ දරුවන් පූජා කිරීම ඇතුළු, අතිශයින් බරපතළ පාප සිදු කළේය. එසේවුවත්, ඔහුගේ අවංක පසුතැවිලි වීම කරණකොටගෙන දෙවියන්වහන්සේ ඔහුට සමාව දුන්සේක. (2 ලේකම් 33:10-13) දාවිත් රජ ගැන කුමක් කිව හැකිද? ඔහුගේ දුෂ්ට ක්‍රියා ගැන පසුතැවිලි වූ පසුව, යෙහෝවඃවහන්සේ “යහපත්ය, කමාවෙන්ට සූදානම්” දෙවි කෙනෙකු බව ඔහු දැනගත්තේය.—ගීතාවලිය 86:5.
ක්‍රිස්තියානීන්ට අදදින මෙම සහතිකය තිබේ: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.” (1 යොහන් 1:9) කෙනෙකු මෙම පාපෝච්චාරණය කළ යුත්තේ කවරෙකුටද? මූලිකවම, යෙහෝවඃ දෙවියන්වහන්සේටය. “උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් [හෘදය, NW] වගුරුවව්.” (ගීතාවලිය 32:5; 62:8) කළ වරද ගැන පසුතැවිලි වන දාවිත්ගේ පාපෝච්චාරණය ගීතාවලිය 51 තුළ කියවීමට ලැබීම උපකාරවත් වන බව ඔබට දැනෙනවා විය හැකිය.
ඊට අමතරව, බරපතළ පාපයට වැටී සිටින අයට සභාවේ වැඩිමහල්ලන් සමඟ කථා කරන්න කියා බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියි. (යාකොබ් 5:14, 15) දෙවියන්වහන්සේ සමඟ ඔබේ සබඳතාව යළි ගොඩනැගීමට හා පවිත්‍ර හෘදය සාක්ෂියක් යළි ඇති කරගැනීම සඳහා ඔබට උපකාර කිරීමට ඔවුන්ගේ අවංක උපදෙස් සහ යාච්ඤාවලට හැක. දුර්වලකම සහ දුෂ්ටකම අතර වෙනස අවබෝධ කරගැනීමට ඔවුන්ට පුළුවන. ඔබේ වරද නැවත නැවත කිරීමෙන් වළක්වනු වස්, අවශ්‍ය උපකාරය ඔබට ලබා දීමටද ඔවුන් වගබලාගත යුතුය. මෙම ධෛර්යවත් පියවර පෞද්ගලිකව ගෙන තිබෙන ජූලි, මෙසේ නිර්දේශ කරන්නීය: “මටම තරවටු කරගැනීමට මා උත්සාහ කළ අතර, යම් දුරකට එය ක්‍රියාත්මක වූවා කියාත් සිතුවා. නමුත් වර්ෂයකට පසු මා කොතරම් වැරදිදැයි මා දැන සිටියා. වැඩිමහල්ලන්ගේ උපකාරය නැතුව බරපතළ ගැටලු විසඳීමට ඔබට නොහැකියි.”
සුළු පාප ගැන වරදකාරි බවක් හැඟීම
එහෙත්, සමහර විට, යෞවනයෙකු “යම් වැරදි පියවරක් ගැන දැනගන්ට පෙර, ඔහු එම පියවර ග[නියි].” (ගලාති 6:1, NW) නැතහොත් ඔහු හෝ ඇය මාංසික බල කිරීමකට ජයගැනීම සඳහා ඉඩහරියි. මේ තත්ත්වයේ සිටින යෞවනයෙකු වරදකාරිබවේ ගැඹුරු හැඟීම්වලින්—එනම් සමහර විට වරදට ඇත්තෙන්ම ඇතුළත්ව තිබෙන වරදකාරිබවට වඩා වැඩියෙන්—වේදනා විඳිය හැකිය. අනවශ්‍ය බලවත් වේදනාවක් ප්‍රතිඵලයක් සේ ඇති වේ. පැළපදියම් වූ එවැනි වරදකාරිබවේ හැඟීම් ශක්තිමත් නමුත් වුවමනාවට වඩා සංවේදී හෘදය සාක්ෂියක් තිබීමේ ප්‍රතිඵලයක් විය හැක. (රෝම 14:1, 2) අප පව් කරන විට “ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටින,” බව මතක තබාගන්න.—1 යොහන් 2:1, 2.
අපගේ හැඳින්වීමෙහි සඳහන් වී ඇති යෞවන මාර්කෝගේ සිද්ධිය ගැන නැවත සලකා බලන්න. මෙම ක්‍රිස්තියානි යෞවනයාට තමා සමාව නොලැබිය හැකි පාපයක් කර තිබෙන බවට ඒත්තු ගොස් තිබුණි. ඔහු තමාටම මෙසේ පවසන්ට විය: ‘මා මෙතරම් හොඳින් බයිබල් ප්‍රතිපත්ති දන්නවා වුණත්, මට පව් කිරීම නවත්වන්න බෑ!’ ඔහුගේ පාපය? ස්වයංවින්දනයේ යෙදීමේ ගැටලුවයි. ‘මට පුරුද්ද නවත්වන්න බැරි නම්, මට සමාව දීමට දෙවියන්වහන්සේට හැකි වන්නේ කෙසේද?’ යයි මාර්කෝ හේතු දක්වන්ට විය. එලෙසම ස්වයංවින්දනයේ බෙහෙවින් යෙදුණු ආල්බෙර්ටෝ, මෙසේ පැවසීය: “මට මාව පාපයෙන් මුදවාගැනීමට නොහැකි වූ නිසා, මට හදපත්ලෙන්ම වරදකාරිබව හැඟුණා.”
ස්වයංවින්දනය වනාහි අපවිත්‍ර පුරුද්දකි. (2 කොරින්ති 7:1) කෙසේවුවත්, බයිබලය එය වේශ්‍යාකම වැනි බරපතළ පාපවල ගණයට දමන්නේ නැත. ඇරත්, එහි ඒ ගැන කෙසේවත් සඳහන් වන්නේ නැත. එමනිසා, ස්වයංවින්දනයට වැටීම සමාව නොලැබිය හැකි පාපයක් වන්නේ නැත. එය සමාව නොලැබිය හැකි පාපයක් ලෙස සැලකීම ඇත්තෙන්ම අනතුරුදායක විය හැක; මෙම ගැටලුව ජයගැනීමට වෑයම් කිරීමෙහි එතරම් වැදගත්කමක් නැතැයි යෞවනයෙකු හේතු දක්වනවා විය හැකිය. එහෙත් ක්‍රිස්තියානියෙකු මෙම පුරුද්ද නැවැත්වීම සඳහා බලවත් වෑයමක් දැරිය යුතු බව බයිබල් ප්‍රතිපත්ති පෙන්නුම් කරයි.b (කොලොස්සි 3:5) “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙ[න],” බව යෙහෝවඃවහන්සේ දන්නාසේක. (යාකොබ් 3:2) යළි පාපයට වැටීමක් සිදුවුවහොත්, වරදකාරයෙකු යයි තීන්දු කරගැනීමට යෞවනයෙකුට අවශ්‍ය නැත.
වෙනත් වැරදි පියවරවල් සහ වැරදි සම්බන්ධයෙන් සැබෑවද එයමයි. අපි අපටම අතිරේක වරදකාරිබවකින් දඬුවම් පමුණුවාගැනීම යෙහෝවඃවහන්සේට අවශ්‍ය කරන්නේ නැත. ඊට වඩා, ගැටලුව නිවැරදි කරගැනීමට අප පියවරගන්නා විට උන්වහන්සේ ප්‍රසන්න වනසේක.—2 කොරින්ති 7:11; 1 යොහන් 3:19, 20.
උපකාරයේ සහ සැනසීමේ උල්පත්
එහෙත්, එසේ කිරීමට ඔබට පෞද්ගලික උපකාරය අවශ්‍ය වෙනවා විය හැක. දේව-බියැති දෙමව්පියන්ට තම දරුවන්ට උපකාර සහ ආධාර කිරීම සඳහා බොහෝ දෑ කළ හැක. තවද ක්‍රිස්තියානි සභාව ආධාර කිරීමේ වෙනත් මාධ්‍යයන්ද ඉදිරිපත් කරයි. මාර්කෝ මෙසේ සිහිපත් කරයි: “මට ඇත්තෙන්ම උදව් වූ දෙය වුණේ වැඩිමහල්ලෙකු සමඟ සංවාදයක් පැවැත්වීමයි. විවෘතව ඔහුට මගේ වඩාත්ම ඇතුළාන්ත සිතුවිලි පැවසීමට මට ධෛර්යය ඇතුව සිටීමට අවශ්‍ය වුණා. නමුත් ඔහු ගැන නිසැක හැඟීමක් ඇතුව සිටීමට ඔහු සැලැස්සූ නිසා මා ඔහුගෙන් උපදෙස් ලබාගත්තා.” ආල්බෙර්ටෝද වැඩිමහල්ලෙකුගෙන් උපදෙස් පැතුවා. “ඔහුගේ දිරිගන්වන උපදෙස් අමතක කරන්න මට පුළුවන්කමක් නෑ,” යයි ආල්බෙර්ටෝ පවසයි. “ඔහු යෞවන වියේ සිටින විට ඔහුටත් එම ගැටලුවම තිබුණ බව ඔහු මට පැවසුවා. මට කොහෙත්ම එය විශ්වාස කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඔහුගේ අවංකකම නිසා මා ඉමහත් අගයකින් යුතුව ඔහුට සවන්දුන්නා.” එවැනි උපකාරය සහ ආධාර ලැබීමෙන්, මාර්කෝ සහ ආල්බෙර්ටෝ ඔවුන්ගේ ගැටලු ජයගත්හ. දෙදෙනාම දැනට ඔවුන්ගේ සභාවල වගකීම් දරමින් සිටිති.
බලවත් යාච්ඤාව තවත් ආධාරයකි. “පවිත්‍ර සිතක් [නිර්මල හෘදයක්, NW]” සහ “ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව,” කියා දාවිත් මෙන් යාච්ඤා කිරීමට ඔබට හැක. (ගීතාවලිය 51:10) දෙවියන්වහන්සේගේ වචනය කියවීම තවත් සැනසීමේ උල්පතකි. උදාහරණයක් වශයෙන්, ප්‍රේරිත පාවුල්ට පවා ඇතුළාන්ත ඝට්ටන තිබුණු බව ඉගෙනීමට ලැබීම දිරිගන්වනසුලු දෙයක් බව ඔබට දැනිය හැක. ඔහු මෙසේ පිළිගත්තේය: “යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇ[ත].” (රෝම 7:21) පාවුල් සිය වැරදි නැඹුරුවාවන් පාලනය කොට තබාගැනීමේදී සාර්ථකත්වය ලැබුවේය. ඔබටත් එසේ කළ හැක. ගීතාවලිය කියවීම විශේෂයෙන්ම සැනසිලිදායක බව ඔබට දැනෙන්ට පුළුවනි, විශේෂයෙන්ම ගීතාවලිය 25, 86 සහ 103වැනි දෙවියන්වහන්සේගේ සමාව සමඟ සම්බන්ධ ඒවා කියවීම.
කුමක්වුවත්, ඔබව තනි කරගැනීමෙන් හා සැමවිටම අශුභ පැත්ත ගැන සිතීමෙන් යටපත් වී සිටීමට ඉඩ දීමෙන් වළකින්න. (හිතෝපදේශ 18:1) යෙහෝවඃවහන්සේගේ දයාවෙන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනගන්න. යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත උන්වහන්සේ ‘අතිශයින් සමාව දෙන’ බව මතක තබාගන්න. (යෙසායා 55:7; මතෙව් 20:28) ඔබේ වැරදි සුළුකොට නොසලකන්න, නමුත් ඔබට සමාව දීමට දෙවියන්වහන්සේට නොහැකියි කියා නිගමනය නොකරන්න. උන්වහන්සේට සේවය කිරීමට ඔබේ ඇදහිල්ල සහ ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරන්න. (පිලිප්පි 4:13) කල්යත්ම ඔබට සමාව දී තිබෙන බව දැනගැනීමෙන් ඔබට මනසේ සාමය සහ හෘදයාංගම ප්‍රීතිය ලැබෙනු ඇත.—ගීතාවලිය 32:1 සසඳන්න. g94 11/8
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර තිබේ.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ 25 සහ 26වන පරිච්ඡේදවල උපකාරවත් යෝජනා ඉදිරිපත් කර ඇත.
[25වන පිටුවේ පින්තූරය]
සුදුසුකම් ඇති ක්‍රිස්තියානියෙකු සමඟ දේවල් කථා කිරීම මගින් ඔබට කාරණා දෙස නව කෝණයකින් බැලීමට හැකි කරවයි