යෝධ හම්පටිපිටාගේ වාර්ෂික පැමිණීම
මලයාසියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
වේලාව මධ්‍යම රාත්‍රිය පමණ වේ. සාමකාමී නිසල මුහුදුකරය සිසාරා ඉහළ පුන් සඳින් රන්වන් කාන්තියක් පැතිර යයි. රාන්ටාඋ ආබාංහි මුහුදු වෙරළේ කණ්ඩායම් වශයෙන් ජනයා රැස්ව සිටිත්, සමහරෙක් සිටගෙන සිටිති, තවත් සමහරෙක් සීතල, සිනිඳු වැල්ලේ ඇන තියාගෙන හෝ බිම වාඩිවී සිටිත්. මේ අසාමාන්‍ය වේලාවේ ඔවුන් මෙතැන කරන්නේ කුමක්ද? ඔවුන් ඉතා ඉවසිලිවන්තව බලා සිටින්නේ පිහිනුම් ගාත්රා හතරකින් සමන්විත කබලක් පැමිණෙන තුරුය—එනම් ඝන හමක් බඳු ආවරණයක් සහිත යෝධ කැස්බෑවෙක්, නැතහොත් හම්පටිපිටා පැමිණෙන තුරුය.
මෙම මවිත කරවන උභයජීවී අමුත්තන් නිසා නොසලකා හරිනු ලබන මෙම මුහුදු වෙරළට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබී තිබේ. රාන්ටාඋ ආබාං පිහිටා තිබෙන්නේ මලයාසියාවේ අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළබඩ ප්රදේශයේය, එනම් සිංගප්පූරුවෙන් සැතපුම් 250ක් පමණ ඉහළට ඩන්ගන්ට උතුරින්ය. මෙය ඉතා වැදගත් කාර්යයක් උදෙසා හම්පටිපිට කැස්බෑවෝ වාර්ෂිකව පැමිණෙන ලෝකයේ තිබෙන ස්ථාන ස්වල්පයෙන් එකකි.
මෙහිදී, බිත්තර දැමීමේ කාලය දළ වශයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා දිව යයි. වැඩි වශයෙන් බිත්තර දමනු ලබන ජූනි, ජූලි සහ අගෝස්තු යන මාස තුළ, බිත්තර-දැමීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම ඉතා පහසු දෙයකි. සාමාන්‍යයෙන් කැස්බෑවෝ ජලයෙන් මතු වෙන්ට පටන්ගන්නේ කළුවර වුණාට පසුවයි. මලයාසියාව, සිංගප්පූරුව සහ බටහිරෙන් පැමිණි මෙම අමුත්තන් සියලුදෙනාම බලා සිටියා විය හැක්කේ ඵලක් නැතිවද?
උන් මුහුදෙන් පිට වී පැමිණෙති!
හිටිගමන්ම, වෙරළ සිට මඳ දුරකින්, දිලිසෙන ජලය මතුපිට කළු ඡායාවක් බඳු උස් පහත් වන යමක් දැකගැනීමට හැකි වේ. සෙනඟ කලබල වෙයි! එය වෙරළට වඩාත් සමීප වෙත්ම, අර්ධ ගෝලයක හැඩැති වස්තුවක් ජලයෙන් මතු වෙන්ට පටන්ගනියි. වෙරළට පැමිණෙන්නේ කැස්බෑවෙකි! පැමිණ සිටින මඟ පෙන්වන්නෝ ස්වල්පදෙනා හැකි තරම් නිශ්ශබ්දව බලා සිටින ලෙස සියල්ලන්ටම අවවාද කරති, මන්දයත් ශබ්දය නිසා කැස්බෑවා බියව හැරී යෑමට හැකි නිසාය.
ප්‍රථමයෙන් හිස මතුවෙයි, පසුව ගෙල, ඉන් අනතුරුව කට්ටේ ඉදිරි කොටසත් ඉදිරි පිහිනුම් ගාත්රා දෙකත්, අවසානයේදී මුළු කැස්බෑවාම වෙරළේ දැකගැනීමට හැකි වෙයි. උගේ වලිගයද පිටුපසේ පිහිනුම් ගාත්රාද උඩින් මෘදු රැළි ගලායයි. ඇත්තවශයෙන්ම මොනතරම් යෝධයෙක්ද, නාසයේ සිට වලිගයේ කොන දක්වා උගේ දිග අඩි හයක් හෝ ඊටත් වඩා වැඩිය! වෙරළ මත ඌ නිසංසලව වැතිර සිටියි.
හදිස්සියේම වගේ, කැස්බෑවා උගේ ඉදිරි පිහිනුම් ගාත්රා මගින් තමාව උස්සා උගේ ශරීරය ඉදිරියට හෙළා, බිම මත වැදෙන්නේ බොල්හඬක් ඇසීමට සැලසීමෙනි. ඌ මොහොතකට නිශ්චලව සිටියි, හරියට ඊළඟ වර තමාව උස්සා හෙළීමට ප්‍රමාණවත් හුස්මත් ශක්තියත් රැස්කරගැනීමට මෙනි. ඌ ගොඩබිමේ ගමන් කරන්නේ මෙයාකාරයටයි. උගේ දෙපැත්තේ සිටින සෙනඟට මඳක් ඈතින් සිටීමට සලස්වා තිබේ. මඟ පෙන්වන්නෝ මේ ගැන බුරුලක් නැතුව කටයුතු කරති. ඉදිරියට ගන්නා සෑම පියවරක් සමඟම, සෙනඟද ඉදිරියට ගමන් කරති—එහෙත් ඉතා නිශ්ශබ්දවයි.
හම්පටිපිටා අමාරුවෙන් වෙරළට ඇදෙත්ම, සහජයෙන්ම උගේ ගමනාන්තය ඌ දැන සිටියි. උගේ බිත්තරවලින් පැටවුන්ට සාර්ථකව උපදින්ට හැම අතින්ම වාසිදායක වූ ස්ථානයක් සොයාගැනීම සඳහා සහජයෙන්ම ඌ තුළ ක්‍රමලේඛනය වූ දැනුම ඌට උපකාරවත් වෙයි. එතැන ඌ වළක් හාරන්ට පටන්ගනියි. පස්සා පිහිනුම් ගාත්රා ඉස්කෝප්ප මෙන් ක්‍රියා කරමින්, වැලි ඉවතට ගනු ලැබේ.
දීර්ඝ කාලයක් මෙන් පෙනෙන්ට තිබෙන වේලාවකට පසුව, බලපත්‍ර ලත් බිත්තර එකතු කරන්නෙක්ද වන, මඟ පෙන්වන්නන්ගෙන් එක්කෙනෙක්, ඉදිරියට පැමිණ ඔහුගේ අත දිගුකොට වළට දමයි, එම වළ කොතරම් ගැඹුරුද කිවහොත් ඔහුගේ වැලමිට දක්වා නොපෙනෙන තරම් ඇතුල් කිරීමට හැකි වෙයි. ඔහු වළෙන් ඔහුගේ අත ආපසු එළියට ගන්නා විට, සියලුදෙනාම පුදුමයෙන් හා කුතුහලයෙන් සුසුම්ලති. ඔහුගේ අතේ බිත්තරයක් ඇත!
හම්පටිපිටාගේ බිත්තරය අඳුරු සුදු පැහැති එකකි. එය පිංපොං බෝලයක ප්‍රමාණය සිට ටෙනිස් බෝලයක ප්‍රමාණය දක්වා විවිධ ප්‍රමාණවලින් යුක්ත වේ. බිත්තර ගොඩක තිබෙන අන්තිම බිත්තර ටික බොහෝ විට ජිල්බෝලයක ප්‍රමාණය පමණ වේ. කුකුල් බිත්තර මෙන් නොව, ඇත්තවශයෙන්ම මෙම බිත්තරවල කට්ට වනාහි තදින් එබූවිට පහසුවෙන් එබෙන දැඩි සමකි. මෙම බිත්තර තැම්බූ විට ඒවායේ සුදුමදය (ඇල්බියුමන්) දියරයක් මෙන් පැවතීමත් පුදුමයට කරුණකි. එහි රස යම් දුරකට කහට ගතියකින් සහ යන්තම් පිළි රසකින් සමන්විත බව කියවේ. කැස්බෑවෙක් වරකට බිත්තර 85ක පමණ සාමාන්‍ය ප්‍රමාණයක් දමයි. එහෙත් 1967දී බිත්තර 140ක් තිබූ කැදැල්ලක් ගැන වාර්තා කරන ලදි.
දැන් සෙනඟට වැඩි නිදහසෙන් හැසිරිය හැක. ඇතමෙක් මඳක් බියෙන් යුතුව කැස්බෑවා අතගා පරීක්ෂා කරති. තවත් සමහරු තම පවුලේ ඡායාරූප ඇල්බම සඳහා ඡායාරූපවලට පෙනීසිටීමට ඌ පිට නගිති නැතහොත් ඌට හේත්තු වෙති. කැස්බෑවා දෙස සමීප බැල්මක් හෙළූ විට, වැලි කැටවලින් පිරුණු උගේ ඇස්වලින් ඝන විනිවිද පෙනෙන දියරයක් වෑහෙන බව හෙළි වෙයි. ජලයේ සිට වාතයට මාරුවීම නිසා මෙය සිදුවන බව කියවේ. කැස්බෑවා වරින් වර උගේ කට විවෘත කර මහත් ශබ්දයක් පිට කරමින් හුස්ම ගනියි.
බිත්තර වැළලීම
යම් වේලාවකට පසුව, වැලි ටික නැවතත් වළට තල්ලු කිරීම සඳහා එම සත්ත්වයා උගේ පස්සා පිහිනුම් ගාත්රා දෙක සොලවන්ට පටන්ගනියි. වළ පිරුණු වහාම, හම්පටිපිටා වාහනවල වීදුරු පිසදමන ‘වයිපර්’ උපකරණ මෙන් උගේ පිටුපස පිහිනුම් ගාත්රා දෙක වේගවත්ව ක්‍රියාත්මක කරවයි. සෑම පැත්තෙන්ම වැලි විසි වෙයි! සෙනඟ තමන්ගේ මුහුණු සහ ශරීර ආරක්ෂා කිරීම සඳහා පිටුපසට පියවර තබති. මෙසේ සොලවනු ලබන පිහිනුම් ගාත්රා සෑහෙන වෙලාවකට එසේ දිගටම සොලවනු ලැබේ. මොනතරම් ශක්තියත් බලයත් යොදවනු ලැබේද! අන්තිමේදී පිහිනුම් ගාත්රා සෙලවීම නතර වන විට, හම්පටිපිටා හෑරූ වළ තිබූ තැනවත් සොයාගැනීමට සෙනඟට නොහැකි වෙයි. ඇත්තවශයෙන්ම සහජයෙන් ලැබූ ප්රඥාවයි! එනමුත් මෙම කැස්බෑවා මැවූ තැනැන්වහන්සේගේ ප්‍රඥාව ඊටත් වඩා කොතරම් අනන්ත අප්‍රමාණ අයුරින් ශ්‍රේෂ්ඨද!
හම්පටිපිටා නැවතත් මුහුද කරා උගේ ගමන ආරම්භ කිරීමට පෙර, බිත්තර එකතු කිරීමට බලය ලත් පුද්ගලයෙක් උගේ පිහිනුම් ගාත්රාවලින් එකකට ලේබලයක් සවි කරයි. මෙසේ කරනු ලබන්නේ ඊළඟට ඌ වෙරළට පැමිණෙන අවස්ථා සහ මුහුදු ජලාශවල උගේ ගමන් රටාව සටහන් කිරීමටයි. සෑම සමයකදීම ඌ වාර හයේ සිට නවයක් දක්වා බිත්තර දමයි, එමෙන්ම බිත්තර දැමීම අතර දින 9ක් සිට 14ක් දක්වා පරතරයක් තිබේ.
හිටිගමන්ම හම්පටිපිටා හුස්මක් රැගෙන ශරීරය පිටින්ම ඉදිරියට විසි වෙයි. ඌ හැරී නැවතත් මුහුද වෙතට පිට වී යයි, මෙවර ඌ පැමිණෙන විට ගමන් කළ වේගයටත් වඩා වේගවත්ව ගමන් කරයි. ජලය තුළට ඇතුල් වූ ගමන්ම, හිස එතුළට දමයි, ඊළඟට කට්ට ඇතුල් වේ. අන්තිමේදී ඌ නොපෙනී යයි. නැවතත් හිස මතුවන විට, කැස්බෑවා සෑහෙන දුරක් ගොස් හමාරයි. ඌ වේගවත්ව මහ මුහුද දෙසට පීනා යයි, සඳ එළියෙන් උගේ නාස් කොන පමණක් දක්නට ලැබෙයි. ඌ ජලයේදී කොපමණ අලංකාර ලෙස වේගවත්ව ගමන් කරනවාද! ගොඩබිම මත උගේ අශෝභන ලීලාවටත් උගේ සෙමින් ගමනටත් වඩා මෙය අතිශයින් වෙනස් වේ.
සංරක්ෂණ ප්රයත්න
වැඩිවෙමින් පවතින වෙනත් සත්ත්ව වර්ගවලට සිදුවන්නාක් මෙන්, දූෂිත පරිසරයක මෙන්ම මිනිස් ගිජුකමෙන් ඇතිවන උවදුරු නිසා හම්පටිපිට කැස්බෑවෝ අන්තරාවට ලක්ව සිටිත්. එක්දහස් නවසිය හැත්තෑ-ගණන්වල මැද භාගයේදී, සම්පූර්ණයෙන්ම පරිණතභාවයට නොපැමිණි කැස්බෑවන් සිය ගණනක් අසල්වැසි පහැං ප්‍රාන්තයේ වෙරළට ගහගෙන ගොස් තිබූ බවට සොයාගන්නා ලදි—නමුත් මිය ගොසිනි! තවද විශේෂ යමකට ආශාවක් දක්වන අයගේ දිව පිනවීම සඳහා කැස්බෑවන්ගේ බිත්තර අනුකම්පා රහිතව එක්රැස් කරනු ලැබේ.
වාසනාවකට මෙන් මෙම කැස්බෑවන්ගේ අඩුවන සංඛ්‍යාව උදෙසා මලයාසියාවේ ගැඹුරු සැලකිල්ලක් ඇතිවීම 1951දී කැස්බෑ නියෝගය පැනවීමට හේතු විය. පෞද්ගලික මට්ටමෙන් බිත්තර එකතු කිරීමට විරුද්ධව නීති පනවන ලදි. කෙසේවෙතත්, ඉන් ලබාගත හැකි ලාභය ඉතා ආකර්ෂණීය වන හෙයින්, ලාභය තකා ක්‍රියා කරන පුද්ගලයෝ මෙම නීතිය නොසලකා හරිති. එසේවුවත් සංරක්ෂණය සඳහා වූ ප්රයත්න නිෂ්ඵල වී නැත.
රාන්ටාඋ ආබාංහි මුහුදු වෙරළේ, කුඩා දැන්වීම් පත්‍ර පේලි, වැල්ලේ හිටවා තිබීම දක්නට ලැබීම ප්‍රීතියට කරුණකි. සෑම එකක්ම හම්පටිපිටාගේ බිත්තර කුඩා සංඛ්‍යාවක් වළලා තිබෙන ස්ථානය දක්වයි. බිත්තර සංඛ්‍යාව, වැළලූ දිනය සහ මූලික බිත්තර ගොඩ හඳුන්වන අංකයක් දැන්වීමේ සඳහන් වේ. වැළලීමෙන් දින 45කට පමණ පසුව, බිත්තරවලින් පිටවන පැටවුන් ඉවත්ව යෑමෙන් වැළැක්වීම සඳහා, සෑම දැන්වීමක් වටේටම කම්බි දැලක් දමනු ලැබේ. බීජෞෂණ සමය දින 52 සිට 61 දක්වා කාලපරිච්ඡේදයක් පුරා දිව යයි. බොහෝ විට සැන්දෑවේ ඉරු බැස යෑමෙන් පසුව, බිත්තරවලින් පැටවුන් පිට වෙත්ම, සෑම වළකින්ම පිටවන සංඛ්‍යාව වාර්තාගත කරනු ලැබේ. අනතුරුව උන්ව භාජනවලට දමා පසුව මුහුද අසලම මුදාහරිනු ලැබේ.
සංරක්ෂණ වැඩසටහන මගින් සාර්ථකව පැටවුන් සිය ගණනක් හදා ඇති අතර, උන්ට උන්ගේ ජලජ නිවසට නැවත යෑමට ඉඩදී තිබේ. එසේවුවත් බේරී ජීවත්වීම සම්බන්ධව උන්ගේ පහත් මට්ටම මෙන්ම රාන්ටාඋ ආබාං වෙතට පැමිණෙන හම්පටිපිට කැස්බෑවන්ගේ අඩුවන සංඛ්‍යාව, දිගටම සැලකිල්ලටගත යුතු කරුණක්ව තිබේ. g94 7/8
[28වන පිටුවේ පින්තූර]
හිස සිට වලිගය දක්වා දිග අඩි හයක් වන, හම්පටිපිටා බිත්තර දුසිම් ගණන් දමයි. සති අටකට පමණ පසුව, පැටවුන් පිට වෙයි
[හිමිකම් විස්තර]
හම් බඳු පිටක් ඇති කැස්බෑවා ලයිඩෙක්කර්
C.Allen Morgan/ Peter Arnold
David Harvey/SUPERSTOCK
[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සී. ඇලන් මෝර්ගන්⁄පීටර් ආනෝල්ඩ්