ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 4/15 28-29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් මට සමාව දෙයිද?
    බයිබලයෙන් උත්තර
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හෘදයෙන්ම සමාව දෙන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාව දීමට කැමති විය යුත්තේ මන්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 4/15 28-29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේ.” මෙම වචනවලින් ක්‍රිස්තියානීන්ට පව් කමා කළ හැකි බව අදහස් වේද?

පොදුවේ, ක්‍රිස්තියානීන්ට හෝ සභාවේ පත් කරන ලද වැඩිමහල්ලන්ට පව් කමා කිරීමට දිව්‍යමය අධිකාරියක් තිබෙන බව නිගමනය කිරීමට ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැත. එහෙත්, ඉහත උපුටා දක්වා ඇති, යේසුස්වහන්සේ තම ගෝලයන්ට යොහන් 20:23හි පැවසු දෙයින්, දෙවියන්වහන්සේ මේ සම්බන්ධයෙන් ප්‍රේරිතයන්ට විශේෂ බලයක් දානය කළ බව ඇඟවේ. එමෙන්ම යේසුස්වහන්සේ එහිදී කළ ප්‍රකාශය, ස්වර්ගික තීරණ පිළිබඳව මතෙව් 18:18හි උන්වහන්සේ පවසන ලද දෙයට සම්බන්ධ විය හැක.

එපීස 4:32හි වාර්තා කර තිබෙන ප්‍රේරිත පාවුල්ගේ අවවාදයට අනුකූලව, ක්‍රිස්තියානීන්ට යම් අමනාපයන්ට සමාව දිය හැක: “එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා.” පාවුල් මෙහිදී කතා කරමින් සිටියේ අපරික්ෂාකාරි ලෙස කතා කිරීම වැනි ක්‍රිස්තියානීන් අතර පවතින පෞද්ගලික ගැටලු සම්බන්ධයෙනි. එකිනෙකාට සමාව දීම මගින් මෙම ප්‍රශ්න නිරාකරණය කරගැනීමට ඔවුන් වෑයම් කළ යුතුය. යේසුස්වහන්සේගේ වදන් සිහියට නඟන්න: “එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න.”—මතෙව් 5:23, 24; 1 පේතෘස් 4:8.

කෙසේවෙතත්, උන්වහන්සේ මෙම විශේෂිත ශ්‍රාවක පිරිසට පැවසූ අනිකුත් දේවලින් අඟවන පරිදි, යේසුස්වහන්සේ ඉතා බරපතළ පව්වලට යොමු දක්වමින් සිටි බව යොහන් 20:23හි සඳහන් පාඨ සම්බන්ධය අඟවයි. ඒ මන්ද කියා අපි බලමු.

නැවත නැඟිටුවනු ලැබූ එම දිනයේදීම, යෙරුසලමේ අගුල් දමන ලද කාමරයක සිටි ගෝලයන් ඉදිරියේ යේසුස්වහන්සේ පෙනීසිටිසේක. වාර්තාව මෙසේ පවසයි: “යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා—පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක. උන්වහන්සේ මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා: ශුද්ධාත්මයාණන් පිළිගනිල්ලා. යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.”—යොහන් 20:21-23.

ඇතැම්විට, සඳහන් කරන ලද ගෝලයන් මූලිකවම විශ්වාසවන්ත ප්‍රේරිතයන් වූවා විය හැක. (යොහ 20:24වන පදය සසඳන්න.) ඔවුන් දෙසට හුස්ම හෙළා “ශුද්ධාත්මයාණන් පිළිගනිල්ලා,” යයි පැවසීමෙන්, ඉක්මනින්ම ශුද්ධාත්මය ඔවුන් මත වගුරුවනු ලබන බව යේසුස්වහන්සේ සංකේතවත් ආකාරයකින් ඔවුන්ට දැනුම් දුන්සේක. පව්වලට සමාව දීම සම්බන්ධයෙන් අධිකාරිය ඔවුන්ට තිබිය හැකි බව යේසුස්වහන්සේ තවදුරටත් පැවසූසේක. සාධාරණ ලෙස, එකක් ඊළඟ එකට මඟ පෙන්වන පරිදි උන්වහන්සේගේ ප්‍රකාශයන් දෙකම එකිනෙකට සම්බන්ධව පවතී.

නැවත නැඟිටීමේ සිට පනස් වන දිනය වන පෙන්තකොස්ත දිනයේදී, යේසුස්වහන්සේ ශුද්ධාත්මය වැගිරවූසේක. එය ඉෂ්ට කළේ කුමක්ද? එක් දෙයක් නම්, ශුද්ධාත්මය ලැබුණු අය, ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුව ඇතුව දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් ලෙස නැවත උත්පාදනය වීමය. (යොහන් 3:3-5; රෝම 8:15-17; 2 කොරින්ති 1:22) එහෙත් එම ශුද්ධාත්මය වැගිරවීමෙන් වැඩිමනත් දේවල් සිදු විය. සමහර ප්‍රතිග්‍රාහකයෝ ආශ්චර්යවත් බලයන් ලැබූහ. එමගින් සමහරුන්ට ඔවුන් නොදන්නා විදේශිය භාෂාවලින් කතා කිරීමට හැකි විය. වෙනත් අයට අනාගතවාක්‍ය කීමට හැකි විය. ඇරත් සමහරුන්ට රෝගීන් සුව කිරීමට හෝ මළවුන් ජීවනයට ගෙන ඒමට හැකි විය.—1 කොරින්ති 12:4-11.

යොහන් 20:22හි සඳහන් වදන් ගෝලයන් මත මෙම ශුද්ධාත්ම වැගිරවීමට යොමු දක්වන බැවින්, ශුද්ධාත්ම බලයේ ක්‍රියාකාරිත්වය මාර්ගයෙන් පව්වලට සමාව දීමේ හෝ නොදීමේ අද්විතීය බලය ප්‍රේරිතවරුන්ට දිව්‍යමය ලෙස සපයා තිබෙන බවට, පව්වලට සමාව දීම සම්බන්ධයෙන් වූ ඔහුගේ සම්බන්ධක වචනවලින් අදහස් වන බව පෙනේ.—වර්ෂ 1949 මාර්තු 1 වොච්ටවර් කලාපයේ 78වන පිටුව බලන්න.

එවන් බලය පාවිච්චි කළ සෑම අවස්ථාවක් සම්බන්ධයෙන්ම හෝ නැතහොත් අන්‍ය භාෂාවලින් කතා කිරීම, අනාගතවාක්‍ය කීම හෝ සුව කිරීම වැනි ආශ්චර්යවත් දීමනාවක් ඔවුන් පාවිච්චි කළ සෑම අවස්ථාවක් සම්බන්ධයෙන්ම සම්පූර්ණ විස්තරයක් බයිබලය සපයන්නේ නැත.—2 කොරින්ති 12:12; ගලාති 3:5; හෙබ්‍රෙව් 2:4.

පව්වලට සමාව දීමට හෝ නොදීමට තිබූ අපෝස්තලික බලය සම්බන්ධ එක් අවස්ථාවකට ශුද්ධාත්මයට විරුද්ධව කටයුතු කළ අනනියස් හා සප්පිරාද සම්බන්ධ විය. යොහන් 20:22, 23හි අප කියවන පරිදි යේසුස්වහන්සේ පැවසූ දෙය ඇසුණු පේතෘස්, අනනියස් හා සප්පිරාගේ වරද හෙළි කළේය. පේතෘස් පළමුව අනනියස්ව ඇමතුවේය, තවද ඔහු එතැනම මළේය. පසුව සප්පිරා ඇතුළට පැමිණි අතර බොරුව සඟවා සිටි හෙයින්, පේතෘස් ඇගේ විනිශ්චය ප්‍රකාශ කළේය. පේතෘස් ඇගේ පව් කමා කළේ නැත, නමුත් මෙසේ පැවසුවේය: “අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝය.” ඈද එතැනම මළාය.—ක්‍රියා 5:1-11.

මෙම සිද්ධියේදී අනනියස්ගේ හා සප්පිරාගේ පාපයට දෙවියන්වහන්සේ සමාව නොදෙන බව ප්‍රකාශ කිරීමට ආශ්චර්යවත් දැනුමක් උපයෝගි වූ අතර, අනිවාර්යයෙන්ම පාපය පිළිගැනීම ප්‍රකාශ කර සිටීමට ප්‍රේරිත පේතෘස් විශේෂ බලයක් පාවිච්චි කළේය. අධි මානුෂික විමර්ශන ශක්තියක්ද ප්‍රේරිතයන්ට තිබූ බව දක්නට ලැබුණු අතර, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ පදනම මත එම පාපවලට සමාව ලැබී ඇති බවට ඔවුහු ස්ථිර වූහ. එමනිසා ආත්මයෙන් බලය පවරන ලද ප්‍රේරිතයන්ට පව්වලට සමාව දීම හෝ නොදීම ප්‍රකාශ කළ හැකි විය.a

මෙසේ සඳහන් කරන්නේ, එවිට සිටි ආත්මයෙන් පත් කරන ලද සියලු වැඩිමහල්ලන්ට එවන් ආශ්චර්යවත් බලයක් තිබූ බව පැවසීමට නොවේ. කොරින්ති සභාවේ ආශ්‍රයෙන් කපා හරින ලද මිනිසා සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් පැවසූ දෙයින් අපට එය තේරුම්ගත හැක. ‘මම එම මිනිසාගේ පව්වලට සමාව දෙමි’ නැතහොත් ‘ස්වර්ගයේ එම මිනිසාට සමාව දී තිබෙන බව මම දනිමි, එමනිසා ඔහුව නැවත පිළිගන්න’ යනුවෙන්වත් පාවුල් පැවසුවේ නැත. ඒ වෙනුවට, යළි පිහිටුවනු ලැබූ මෙම ක්‍රිස්තියානියාට සමාව දී ඔහුට ප්‍රේමය පෙන්වීමට පාවුල් මුළු සභාවෙන් උදක්ම ඉල්ලා සිටියේය. පාවුල් තවදුරටත් මෙසේ පැවසුවේය: “නුඹලා යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි.”—2 කොරින්ති 2:5-11.

එම පුද්ගලයා සභාවේ යළි පිහිටුවනු ලැබූ විට, සියලුම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ඔහු කළ දෙය මතකයේ තබා නොගැනීමෙන්, එම අර්ථයෙන් ඔහුට සමාව දිය හැක. එසේ නමුත්, පළමුවෙන්ම, ඔහු පසුතැවිලි වී යළි පිහිටුවනු ලැබිය යුතුය. එය සිදු වන්නේ කෙසේද?

සොරකම, බොරුකීම හෝ අශික්ෂිත ආකාරයේ වේශ්‍යාකම වැනි බරපතළ පාප සමඟ සභාවේ වැඩිමහල්ලන්ට කටයුතු කිරීමට සිදු වේ. ඔවුන්ව පසුතැවිලි වීමට පොලඹවමින්, එවන් වැරදිකරුවන්ව නිවැරදි කිරීමට හා තරවටු කිරීමට ඔවුහු උත්සාහ කරති. එහෙත් යමෙක් පසුතැවිලි නොවී බරපතළ පාපවල නියැලෙන්නේ නම්, වැරදිකරන්නාව ආශ්‍රයෙන් කපාහැරීමට මෙම වැඩිමහල්ලෝ දිව්‍ය මඟ පෙන්වීම අදාළ කරගනිති. (1 කොරින්ති 5:1-5, 11-13) යේසුස්වහන්සේ යොහන් 20:23හි පැවසූ දෙය එවන් අවස්ථාවලදී අදාළ වන්නේ නැත. මෙම වැඩිමහල්ලන්ට ශාරීරික ලෙස රෝගාතුර වූවන් සුව කිරීම හෝ මළවුන් නැඟිටවීම වැනි ආත්මයේ ආශ්චර්යවත් දීමනා නොමැත; එම දීමනා පළමු ශතවර්ෂයේ ඒවායේ අරමුණ ඉටු කළ අතර, ඉන්පසුව අවසන් විය. (1 කොරින්ති 13:8-10) තවදුරටත්, යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ බරපතළ වැරදිකරුවෙකු පිරිසිදු බව ප්‍රකාශ කිරීමේ අර්ථයෙන්, අදදින සිටින වැඩිමහල්ලන්හට බරපතළ වැරදිවලට සමාව දීමට දිව්‍ය බලය නොමැත. මේ ආකාරයේ සමාව දීමක් මිදීමේ මිලයේ පූජාව මත පදනම් විය යුතු අතර, එම පදනම මත සමාව දිය හැක්කේ යෙහෝවඃවහන්සේට පමණි.—ගීතාවලිය 32:5; මතෙව් 6:9, 12; 1 යොහන් 1:9.

පුරාණ කොරින්තියේ සිටි මිනිසාගේ කාරණයේදී මෙන්, බරපතළ ලෙස පව් කර තිබෙන පුද්ගලයෙක් පසුතැවිලි වීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔහුව සභා ආශ්‍රයෙන් කපාහැරිය යුතුය. පසුව ඔහු පසුතැවිලි වී, ඊට සුදුසු ක්‍රියාවන් කරන්නේ නම්, දිව්‍ය සමාව ලැබිය හැක. (ක්‍රියා 26:20) එවන් තත්වයකදී, යෙහෝවඃවහන්සේ ඇත්තවශයෙන්ම වරදකරුට සමාව දී ඇති බව විශ්වාස කිරීමට ශුද්ධ ලියවිලි හේතු ලබා දේ. ඉන්පසු, පුද්ගලයා යළි පිහිටුවනු ලැබූ විට, ඇදහිල්ලේ ස්ථිරව සිටීමට ඔහුට ආත්මික ලෙස උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැක. එම අවස්ථාවේදී සභා ආශ්‍රයෙන් කපාහැර සිටි පුද්ගලයා යළි පිහිටුවනු ලැබූ විට, කොරින්තියේ ක්‍රිස්තියානීන් ඔහුට සමාව දුන්නාක් මෙන්, සභාවේ සිටින අන් අයද එලෙසම සමාව දිය යුතුය.

මේ අයුරින් කාරණා හසුරුවන විට, වැඩිමහල්ලන් විනිශ්චය සම්බන්ධයෙන් ඔවුන්ගේම ප්‍රමිති පිහිටුවන්නේ නැත. ඔවුහු බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා අතර, යෙහෝවඃවහන්සේ පිහිටුවා ඇති ශුද්ධ ලියවිලිමය ක්‍රියා පිළිවෙත් කිට්ටුවෙන් අනුගමනය කරති. මේ නිසා, වැඩිමහල්ලන්ගේ පැත්තෙන් සමාව දීම හෝ නොදීම රඳා පවතින්නේ මතෙව් 18:18හි දක්නට ලැබෙන යේසුස්වහන්සේගේ වචනවල අර්ථයෙනි: “සැබෑවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.” බයිබලයේ ඉදිරිපත් කර තිබෙන පරිදි, ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත පැහැදිලිවම කාරණා කෙරෙහි යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය පිළිබිඹු කරයි.

ප්‍රතිඵලයක් වශයෙන්, යොහන් 20:23හි වාර්තා කර තිබෙන පරිදි, යේසුස්වහන්සේ පැවසූ දෙය අනෙකුත් ශුද්ධ ලියවිලි සමඟ පටහැනි වන්නේ නැත, නමුත් ක්‍රිස්තියානි සභාවේ බිළිඳු අවධියේ සිට ඔවුන්ගේ විශේෂ භූමිකාවට එකඟව සමාව දීම සම්බන්ධයෙන් ප්‍රේරිතයන්ට විශේෂ අන්දමින් බලය දානය කර තිබූ බව එය අඟවයි.

[පාදසටහන]

a යේසුස්වහන්සේ මියගොස්, මිදීමේ මිලය සැපයීමට පෙර පවා, කෙනෙකුගේ පව්වලට සමාව දී තිබෙන බව පැවසීමට උන්වහන්සේට බලය තිබිණ.—මතෙව් 9:2-6; 1995 ජූනි 1, මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” සසඳන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න