ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 5/15 29-31 පි.
  • ඔබ සමබර පුරෝගාමියෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ සමබර පුරෝගාමියෙක්ද?
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආත්මිකව ශක්තිමත්ව සිටින්න!
  • පවුල් වගකීම් සමබර කිරීම
  • ආර්ථික සමබරතාව
  • සමබර පුරෝගාමීන් සැබෑ ආශීර්වාදයකි
  • පුරෝගාමී සේවයේ ආශීර්වාද
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමිහු ආශීර්වාද පිරිනමා ලබා ගනිති
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමි සේවයේ දිගට ම නියැලෙන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 5/15 29-31 පි.

ඔබ සමබර පුරෝගාමියෙක්ද?

තම බිළිඳු දියණිය ඇගේ මුල්ම අස්ථිර පියවර ගන්නා තෙක්, පියා කාන්තිමත් දෙනෙතින් යුතුව දෑත් දිගු කරගෙන බලා සිටී. හිටිහැටියේම ඇය වැටෙන විට, ඔහු ඇයට නැවත උත්සාහ කිරීමට දිරිගන්වයි. ඉක්මනින්ම ඇය ඇගේ සමබරතාව සහ ශක්තිය ලබාගන්නා බව ඔහු දනී.

ඊට සමාන ආකාරයකින්, පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රචාරකයෙකු ලෙස සාර්ථකත්වය අත් කරගැනීමට අවශ්‍ය සමබරතාව ලබාගැනීමට පෙර, නව පුරෝගාමී දේවසේවකයෙකුට කාලය හා දිරිගැන්වීම අවශ්‍ය විය හැක. බොහෝ පුරෝගාමීහු දශක ගණනාවකට නොකඩවා ප්‍රීතිමත්ව සේවය කරති. ස්වල්පදෙනෙක් තම තත්වයන් සම්බන්ධයෙන් වන අනපේක්ෂිත වෙනස්වීම් නිසා සමබරතාව අහිමි කරගනිති. සමහරුන්ට තම ප්‍රීතිය පවා අහිමි වේ. එක් රටක, පුරෝගාමී සේවය අරඹන අයගෙන් සියයට 20ක්ම පූර්ණ කාලීන සේවයේ මුල් වසර දෙක ඇතුළත නතර වෙති. මෙම ප්‍රීතිමත්ම සේවයෙන් පුරෝගාමියෙකුව ඉවතට ගත හැක්කේ කුමකටද? මෙම බාධාවන් මඟහැරීමට යමක් කළ හැකිද?

දුර්වල සෞඛ්‍යය, මූල්‍යමය අවශ්‍යතා සහ පවුල් වගකීම් නිසා සමහරුන්ට පූර්ණ කාලීන දේවසේවය අත්හැරීමට සිදු වුවත්, වෙනත් අයට බාධාවක් වී තිබෙන්නේ විවිධ ක්‍රිස්තියානි යුතුකම් අතර හොඳ සමබරතාවක් පවත්වාගැනීමට අසමත් වීමය. සමබරතාවෙන් අඟවන්නේ “යම් කොටසක්, මූලද්‍රව්‍යයක්, සාධකයක් හෝ බලපෑමක් තවත් එකක් අබිබවා නොයෑම හෝ අනිකුත් ඒවාට නියමිත ප්‍රමාණය ඉක්මවා නොයෑමයි.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රේරිතයන්ට දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩය කළ යුතු ආකාරය පෙන්වූසේක. සමබරතාව පවත්වාගත හැක්කේ කෙසේද කියා ස්වකීය සේවය තුළම උන්වහන්සේ නිදර්ශනය කළසේක. යේසුස්වහන්සේ මෙසේ පැවසීමෙන්, යුදෙව් ආගමික නායකයන් සමබරතාවෙන් හීනව සිටි බව පෙන්වූසේක: “නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.”—මතෙව් 23:23.

මෙම ප්‍රතිපත්තිය සමානාකාරයෙන් අදදිනටත්, විශේෂයෙන්ම පුරෝගාමී දේවසේවයටත් හොඳින් අදාළ වේ. උද්‍යෝගයෙන් සහ යහපත් අභිප්‍රායකින් පොලඹවනු ලැබූ සමහරුන්, පුරෝගාමී සේවයට ඇතුල් වී තිබෙන්නේ ඊට හොඳ සූදානමක් හෝ එයට සම්බන්ධ කාරණා සියල්ල හොඳින් සලකා බැලීමකින් තොරවය. (ලූක් 14:27, 28) වෙනත් අය ක්ෂේත්‍ර සේවයේ කෙතරම් ඇලී ගැලී සිටිනවාද කිවහොත්, ඔවුන් විසින් ක්‍රිස්තියානි ධර්මයේ අනිකුත් වැදගත් පැති නොසලකා හැර තිබේ. ඔවුන්ට සමබරතාව අත් කරගෙන එය පවත්වාගත හැක්කේ කෙසේද?

ආත්මිකව ශක්තිමත්ව සිටින්න!

යේසුස්වහන්සේ කිසිදාක තම ආත්මිකත්වය නොසලකා නොහැරියසේක. ඇහුම්කන් දීමටත් සුවය ලබාගැනීමටත් උන්වහන්සේ වෙතට පැමිණි සමූහයා වෙනුවෙන් ස්වකීය කාලයෙන් අසාමාන්‍ය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වුවත්, මෙනෙහි කිරීමකින් යුත් යාච්ඤාව සඳහා උන්වහන්සේ කාලය ගත්සේක. (මාර්ක් 1:35; ලූක් 6:12) අදදිනත් සමබරව පුරෝගාමී සේවයේ යෙදීමට නම්, ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා තිබෙන සියලුම සැපයුම්වලින් හොඳින් ප්‍රයෝජන ගැනීම අවශ්‍යය. පාවුල් මෙසේ කාරණා පැහැදිලි කළේය: “අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වාගන්නේ නැද්ද?” (රෝම 2:21) ප්‍රමාණවත් පෞද්ගලික පාඩම සහ නිතිපතා යාච්ඤාව සඳහා කාලය වෙන් කරගැනීම නොසලකා හරිමින්, කෙනෙකුගේ සම්පූර්ණ කාලයම අන් අයට දේශනා කිරීම සඳහා යෙදවීම අනිවාර්යයෙන්ම වරදක් වනු ඇත.

කුමිකෝ දශක දෙකක කාලයකට පුරෝගාමියක ලෙස සේවය කර ඇත. ඇයට දරුවන් තිදෙනෙකු හා නොඇදහිලිකාර පුරුෂයෙකු සිටියද, බයිබලය කියවීමටත් අධ්‍යයනය කිරීමටත් හොඳම වේලාව ඇය නිදාගැනීමට කලින් ගත කරන වේලාව බව අද්දැකීම් තුළින් ඈ සොයාගත්තාය. ඇගේ දෛනික දේවසේවය උනන්දුව ඇති කරවන ස්වභාවයකින් පවත්වාගැනීම සඳහා, අධ්‍යයනය කරද්දී විශේෂයෙන් ක්ෂේත්‍ර සේවයේදී යොදාගත හැකි කරුණු ඈ සටහන් කරගන්නීය. වෙනත් සාර්ථක පුරෝගාමීහු තමන්ව ආත්මිකව යළි ප්‍රකෘතිමත් කරගැනීම සඳහා, පවුලේ අනිකුත් අය අවදිවීමට පෙර නිසංසල උදෑසන අවදි වෙති. ඔබ රැස්වීම්වලට සූදානම් වීමට හා අලුත්ම ක්‍රිස්තියානි ප්‍රකාශන කියවීමට වෙනත් සුදුසු වේලාවන් වෙන් කර තබා ගෙන තිබෙන්ට පුළුවන. දේවසේවයේ ප්‍රීතිය පවත්වාගැනීමට ඔබ ආශා වන්නේ නම්, පෞද්ගලික පාඩම වේගවත්ව කළ යුතු හෝ නොසලකා හැරිය යුතු යමක් නොවේ.

පවුල් වගකීම් සමබර කිරීම

තමන්ගේම පවුලේ අයගේ කායික, චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම, ‘යෙහෝවඃවහන්සේගේ කැමැත්ත’ කිරීමෙහි ඔවුන්ට හිමි විශාල කොටසකට ඇතුළත් වන බව පුරෝගාමී සේවයේ නියැලෙන දෙමව්පියන් මනසෙහි තබාගත යුතුය. (එපීස 5:17; 6:1-4; 1 තිමෝති 5:8) සමහරවිට ඇදහිලිවන්ත සහකාරයෙක් හා පවුලේ සාමාජිකයෝ පවා බිරිඳ සහ මව පුරෝගාමී සේවය ආරම්භ කළොත් ඔවුන්ට අවශ්‍ය සැනසිල්ල සහ උපකාරය නොලැබේවියයි බිය වෙති. එවන් හැඟීම්වල ප්‍රතිඵලයක් වශයෙන්, පුරෝගාමියක වීමට වූ ඇගේ ආශාවට එතරම් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් නොලැබේ. කෙසේවෙතත්, හොඳින් සැලසුම් කිරීම හා කලින් සිතා බැලීම මගින් සමබරතාව පවත්වාගත හැක.

ඔවුන්ගේ සියලුම දේශනා කටයුතු පවුලේ සාමාජිකයන් නිවසින් බැහැරව සිටින විට කිරීමට බොහෝ පුරෝගාමීහු වෑයම් කරති. කලින් සඳහන් කළ කුමිකෝ, ඇගේ පවුලේ අය උදෑසන ආහාරය අනුභව කරන විටත්, පුරුෂයා සහ දරුවන් නිවසෙන් පිට වී යන තුරුත් ඔවුන් සමඟ නිවසෙහි රැඳෙන අතර, ඔවුන් නිවසට නැවත පැමිණීමට පෙර ඈ පැමිණ සිටින්නීය. ආහාර වේල් කිහිපයක්ම කල් ඇතුව පිළියෙළ කිරීමට ඇය සඳුදා දිනය යොදාගන්නා අතර, එනිසා කුස්සියේ කාර්ය බහුලව සිටිනවා වෙනුවට විවේකීව තම පවුල සමඟ එකට ආහාර අනුභව කිරීමට ඇයට හැකි වේ. ආහාර පිළියෙළ කරන අතරතුර නිවසේ වෙනත් වැඩ කටයුතුද කිරීම යනාදී වශයෙන්, වරකට සාමාන්‍ය ගෙදර දොරේ වැඩකටයුතු එකකට වඩා වැඩි ප්‍රමාණයක් කිරීම උපකාරවත් වේ. එයාකාරයෙන්, ඇගේ දරුවන්ගේ මිතුරන්ව තම නිවසට ආරාධනා කර, ඔවුන්ට විශේෂ කෑම බීම සූදානම් කිරීමට පවා කුමිකෝට කාලවේලාව තිබේ.

දරුවන් නහඹරවියට පා තබත්ම ඔවුන්ව අබිබවා එන අලුත් චිත්තවේග, ආශා, සැක සහ බිය ආදිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට බොහෝවිට දෙමව්පියන්ගෙන් වැඩි අවධානයක් අවශ්‍ය වේ. මෙය පුරෝගාමියෙක්ව සිටින දෙමව්පියෙකුගෙන්, අවදිව සිටීමත් කාලසටහනේ යම් සැකසීම් කිරීමත් ඉල්ලා සිටී. දරුවන් තිදෙනෙකු සතු පුරෝගාමී මවක් වන හිසාකෝ සලකා බලන්න. ඇගේ වැඩිමහල් දියණිය ලෝකයේ පාසැල් මිතුරන්ගේ බලපෑම නිසා ක්‍රිස්තියානි රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවය සඳහා ප්‍රීතියේ සහ උද්‍යෝගයේ ඌනතාවක් විදහාපෙන්වීමට පටන්ගත් විට ඇය කළේ කුමක්ද? ඇගේ දියණියට සත්‍යය ඇගේම කරගැනීමටත්, ලෝකයෙන් වෙන්ව සිටීම හොඳම ක්‍රියාමාර්ගය බව සම්පූර්ණයෙන් ඒත්තුගැන්වීමටත් සැබෑ අවශ්‍යතාවක් තිබිණ.—යාකොබ් 4:4.

හිසාකෝ මෙසේ ප්‍රකාශ කළාය: “දිනපතා පදනමක් මත සදා ජීවනය පොතේ මූලික ධර්මයන් නැවත ඇය සමඟ අධ්‍යයනය කිරීමට මම තීරණය කළා. බොහෝවිට ඉගෙනගන්නා වේලාව පැමිණි විට, මගේ දියණිය තද බඩේ රුදාවන් හා හිසේ කැක්කුම් ගැන නිතර සඳහන් කළ නිසා මුලින්ම අපට ඉගෙනගත හැකි වූයේ විනාඩි කිහිපයකට පමණයි. නමුත් මම පාඩම නිතිපතා කරගෙන ගියා. මාස කිහිපයකට පසු, ඇගේ ස්වභාවය පෙරට වඩා අතිශයින් දියුණු වූ අතර, මෙය ඉතා කෙටි කලකින් කැපවීම සහ බව්තීස්මය කරා ඇයව මඟ පෙන්නුවා.” දැන් හිසාකෝ ඇගේ දියණිය සමඟ පූර්ණ කාලීන දේවසේවය භුක්තිවිඳින්නීය.

වැඩෙන්නාවූ තම දරුවන්ට අවශ්‍ය ශක්තිමත් චිත්තවේගීය අනුබලය සහ මඟ පෙන්වීම දීමට අසමත් වන තරමටම, ක්ෂේත්‍රයේ උනන්දුව දක්වන අය ගැන සැලකිලිමත් වීම මෙන්ම තම සභාවේ යුතුකම්වලින් එතරම්ම වෙළී නොසිටින බවට පුරෝගාමී පියවරුන් වගබලා ගත යුතුය. මෙය පුරුෂයෙකු තම භාර්යාවට පැවරිය යුතු යමක් නොවේ. දිගු කලකට පුරෝගාමියෙක් ලෙස සේවය කරමින්, කුඩා ව්‍යාපාරයක් ගෙන යන කාර්ය බහුල ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, තම දරුවන් සිව්දෙනා සමඟ තනි තනිවම පාඩම් කිරීමට කාලය සොයාගනියි. (එපීස 6:4) මීට අමතරව, සතිපතා රැස්වීම් සඳහා ඔහු තම පවුල සමඟ සූදානම් වෙයි. සමබර පුරෝගාමීන් තම පවුල් ද්‍රව්‍යමයව හෝ ආත්මිකව නොසලකා හරින්නේ නැත.

ආර්ථික සමබරතාව

හොඳ සමබරතාවක් පවත්වාගැනීමට පුරෝගාමීන් උත්සාහ කළ යුතු තවත් ක්ෂේත්‍රයක් වන්නේ, දෛනික අවශ්‍යතා ගැන සුදුසු දෘෂ්ටියක් තබාගැනීමය. නැවතත් මෙහිදී, යේසුස්වහන්සේගේ කදිම ආදර්ශයෙන් සහ උපදෙස්වලින් අපට බොහෝ දේ ඉගෙනගත හැක. ද්‍රව්‍යමය අවශ්‍යතා සම්බන්ධයෙන් වුවමනාවට වඩා කනස්සලු වීමට එරෙහිව උන්වහන්සේ අනතුරු ඇඟවූසේක. ඒ වෙනුවට, රාජ්‍යය පළමු ස්ථානයෙහි තැබීමට උන්වහන්සේ සිය ගෝලයන්ට දිරිගැන්වූයේ, දෙවියන්වහන්සේ ස්වකීය අනිකුත් මැවිලි සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නාක් මෙන්ම ඔවුන් සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන බව පොරොන්දු වෙමිනි. (මතෙව් 6:25-34) මෙම යහපත් උපදෙස් අනුගමනය කිරීමෙන්, බොහෝ පුරෝගාමීන්ට වසර ගණනාවකට පූර්ණ කාලීන සේවයේ රැඳී සිටීමට හැකි වී තිබෙන අතර, “දවස්පතා භෝජනය” ලබාගැනීමට වූ ඔවුන්ගේ උත්සාහයන්ට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කර තිබේ.—මතෙව් 6:11.

‘ඔබලාගේ සාධාරණත්වය සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා’ යනුවෙන් ප්‍රේරිත පාවුල් හවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළේය. (පිලිප්පි 4:5, NW) සැබවින්ම, අපගේ සෞඛ්‍යය පිළිබඳව සුදුසු සැලකිල්ලක් දැක්වීම සාධාරණත්වයෙන් අදහස් කෙරේ. සමබර පුරෝගාමීහු ඔවුන්ගේ ජීවිත රටාව සහ ද්‍රව්‍යමය දේවල් කෙරෙහි තම ආකල්පය තුළ සාධාරණත්වය දැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරති, මන්දයත් තම හැසිරීම අන් අය නිරීක්ෂණය කරන බව ඔවුන් දන්නා බැවිනි.—1 කොරින්ති 4:9, සසඳන්න.

පුරෝගාමී සේවයට ඇතුල්වන්නාවූ යෞවනයන් තම දෙමව්පියන්ගේ ත්‍යාගශීලීභාවයෙන් අනිසි ප්‍රයෝජන ගැනීමෙන් වැළකිය යුතුය. ඔවුන් දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වන්නේ නම්, ගේ දොර වැඩකටයුතුවලට හවුල්වීම මෙන්ම පවුලේ නඩත්තුවට දායක වීමට ඔවුන්ට හැකි කරවන්නාවූ අර්ධ කාලීන රැකියාවක් කිරීම, හොඳ සමබරතාව හා අගය කිරීම විදහාපෙන්වනු ඇත.—2 තෙසලෝනික 3:10.

සමබර පුරෝගාමීන් සැබෑ ආශීර්වාදයකි

ඔබ සුදුසු සමබරතාව පවත්වාගැනීමට වෙහෙස වී ක්‍රියා කරන පුරෝගාමියෙකු වන්ට පුළුවන. නිසැකකම ඇතුව සිටින්න. කුඩා දරුවෙකුට සමබරතාවකින් යුතුව ඇවිදින්ට ඉගෙනගැනීමට කාලය අවශ්‍ය වන්නාක් මෙන්, තම සියලුම වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් සමබරතාව අත් කරගැනීමට කාලයක් ගත වූ බව බොහෝ මේරූ පුරෝගාමීහු පවසති.

පෞද්ගලික පාඩමේ නියැලීම, පවුල් සාමාජිකයන්ට සැලකිල්ල දැක්වීම සහ ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීම වනාහි, පුරෝගාමීන් සමබරතාව පවත්වාගැනීමට උත්සාහ කරන ක්ෂේත්‍රවලින් සමහරකි. බොහෝ පුරෝගාමීන් ඔවුන්ගේ වගකීම් විශිෂ්ට ආකාරයකින් ඉටු කරන බව වාර්තා පෙන්වයි. ඔවුහු සැබවින්ම සමාජයට ආශීර්වාදයක් වන අතර, යෙහෝවඃවහන්සේට හා උන්වහන්සේගේ සංවිධානයට ප්‍රශංසාවද ගෙන දෙති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න