අගතිය තවදුරටත් නැති කල්හි!
මෙම දුක්ඛදායක ලෝකයේ පරමාණුවක් බිඳ දැමීමට වඩා අගතිය මැඩපැවැත්වීම අපහසු බව වරක් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් පැවසූ බව වාර්තා වේ. ඒ හා සමානවම, IIවන ලෝක යුද්ධ සමයේදී ප්‍රසිද්ධියට පත් පත්‍රකලාවේදියෙකුව සිට පසුව ප්‍රවෘත්ති ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ එඩ්වර්ඩ් ආර්. මරෝ පැවසුවේ “හුදෙක්, අගතිසහගත හැඟීම් හඳුනාගන්නවා හැරෙන්ට—කිසිවෙකුට ඒවා තුරන් කරන්න බැහැ” යනුවෙනි.
මෙම ප්‍රකාශයන්හි සත්‍යතාවක් තිබෙන බව පෙනේද? අසාධාරණ ලෙස සැලකීම සහ වර්ගවාදය මුලිනුපුටා දැමීමට නොහැකිද? අගතිය ගැන දෙවියන්වහන්සේට හැඟෙන්නේ කෙසේද?
දෙවියන්වහන්සේ පක්ෂවාදී නොවනසේක
බයිබලය පක්ෂවාදිකමට එරෙහිව කතා කරයි. (හිතෝපදේශ 24:23; 28:21) “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව [සාධාරණව, NW], [කීකරුකම දැක්වීමට සූදානම්ව, NW], දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව” තිබෙන බව එය ප්‍රකාශ කරයි. (යාකොබ් 3:17) එවන් ප්‍රඥාව ගැන ඉපැරණි ඉශ්‍රායෙලයේ සිටි විනිශ්චයකාරයන්ට කාවද්දවන ලදි. “විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරල්ලා” යනුවෙන්ද, ‘දිළිඳාගේ තරම සැලකීමෙන් හා බලවතාගේ තත්වයට ගරු කිරීමෙන්’ වළකින මෙන්ද ඔවුන්ට උපදෙස් දෙන ලදි.—ලෙවී කථාව 19:15.
පක්ෂවාදිකම සහ අගතියට එරෙහිව බයිබලයේ තිරසාර ස්ථාවරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ සිය ප්‍රේරිතයන් වූ පේතෘස් සහ පාවුල් විසින් අවධාරණය කරන ලදි. “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර” සිටි අය කෙරෙහි යේසුස්වහන්සේ අපක්ෂවාදි වූසේක. (මතෙව් 9:36) උන්වහන්සේ මෙසේ ඉගැන්වූසේක: “පෙනීමේ හැටියට විනිශ්චය නොකරල්ලා, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරපල්ලා.”—යොහන් 7:24.
යෙහෝවඃ දෙවියන්වහන්සේම පක්ෂවාදී නොවන බවට පේතෘස් සහ පාවුල් අපට නිසැකකම සහතික කරති. “සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න” බව පේතෘස් ප්‍රකාශ කළේය. (ක්‍රියා 10:34, 35) ප්‍රේරිත පාවුල් අපට මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.”—රෝම 2:11.
බයිබලයේ බලපෑම
බයිබලයට, එමගින් මඟ පෙන්වනු ලබන්නන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කිරීමට බලය තිබේ. හෙබ්‍රෙව් 4:12 මෙසේ පවසයි: “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය.” යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව අගතිසහගත පුද්ගලයෙකුට තම කල්පනා ක්‍රමය පවා වෙනස් කර, අන් අය සමඟ කටයුතු කිරීමේදී අපක්ෂවාදී විය හැක.
නිදසුනක් වශයෙන්, තාර්සස්හි සාවුල් සම්බන්ධ සිද්ධිය සලකා බලන්න. බයිබල් වාර්තාවට අනුව, ඔහු දැඩි ආගමික සම්ප්‍රදායන් අනුගමනය කළ නිසා, එක් කලක ක්‍රිස්තියානි සභාවට දරුණු ආකාරයකින් විරුද්ධකම් කළේය. (ක්‍රියා 8:1-3) සියලුම ක්‍රිස්තියානීන් ඇදහිල්ල අත්හළ අය බවත්, සැබෑ නමස්කාරයේ සතුරන් බවත්, යුදෙව් සම්ප්‍රදායන් මගින් ඔහු හොඳින් ඒත්තුගෙන සිටියේය. ඔහුගේ අගතිය ක්‍රිස්තියානීන් මරන්ට උපකාර කිරීමට ඔහුව මඟ පෑදුවේය. ඔහු “ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද” සිටි බව බයිබලය පවසයි. (ක්‍රියා 9:1) එසේ කරන අතරතුර, තමා දෙවියන්වහන්සේට පරිශුද්ධ සේවයක් පිරිනමමින් සිටින බව ඔහු සිතුවේය.—යොහන් 16:2, සසඳන්න.
එහෙත්, තාර්සස්හි සාවුල්ට තම අන්තයට ගිය අගතිය ඉවත් කර දැමීමට හැකි විය. ඔහු ක්‍රිස්තියානියෙකු බවට පවා පත් වූයේය! පසුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙකු වූ පාවුල් ලෙස හඳුන්වනු ලැබූ ඔහු මෙසේ ලීවේය: “පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.”—1 තිමෝති 1:13.
තම කල්පනා ක්‍රමයේ එවන් ප්‍රබල වෙනස්කම් සිදු කළ එකම තැනැත්තා පාවුල් පමණක්ම නොවේ. හවුල් එවැන්ජලිස්තවරයෙකු වූ තීතස්ට ලියූ ලිපියේ පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළේය, “කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව [සාධාරණව, NW] සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවාපන්න. මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වාල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට නිස්සෝව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.”—තීතස් 3:2, 3.
අගතියේ බාධක බිඳ දැමීම
අදදින, අව්‍යාජ ක්‍රිස්තියානීහු එම උපදෙස අනුගමනය කිරීමට වෙර දරති. බැලූ බැල්මට ඇති වන ආකල්ප මත පදනම් කරගෙන මිනිසුන්ව විනිශ්චය කිරීමෙන් වැළකීම ඔවුන්ට අවශ්‍ය වේ. මෙය අන්‍යයන් ගැන ‘හානිකර අන්දමින් කතා කිරීමෙන්’ ඔවුන්ව වළක්වයි. ඔවුහු මේ ලෝකයේ ජාතිවාදී, වාර්ගික සහ වර්ගවාදී සීමා ඉක්මවා යන ජාත්‍යන්තර සහෝදරත්වයක් භුක්තිවිඳිති.
කළු හමකින් යුත් බ්‍රසීලියානු ජාතික ඇන්රීකේගේ අද්දැකීම සලකා බලන්න. වාර්ගික විෂමතාවලට ගොදුරු වූ කෙනෙකු වීම නිසා, සුදු මිනිසුන් කෙරෙහි බද්ධ වෛරයක් ඔහු තුළ ඇති විය. ඔහු මෙසේ පැහැදිලි කරයි: “සුදු හමින් යුත් සාක්ෂිකරුවන් දෙදෙනෙක් දෙවියන්වහන්සේගේ නාමය ගැන කතා කිරීමට මගේ නිවසට ආවා. මම සුදු ජාතිකයන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ට සවන් දීමට මට මුලින් වුවමනා වුණේ නැහැ. එහෙත් ඔවුන්ගේ පණිවුඩයේ සත්‍යය තිබූ බව මට ඉක්මනින්ම වැටහුණා. එනිසා, මම බයිබල් පාඩමකට එකඟ වුණා. මට තිබූ පළමු ප්‍රශ්නය වුණේ, ‘ඔයාලගේ පල්ලියේ කළු මිනිස්සු හුඟදෙනෙක් ඉන්නවාද?’ යන්නයි. ඔවුන් ‘ඔව්’ කියා උත්තර දුන්නා. ඉන්පසුව ඔවුන් මගේ බයිබල් කතන්දර පොතෙහි,a විවිධ ජාතීන්ට අයත් යෞවනයන්ව චිත්‍රයට නඟා තිබූ අන්තිම පින්තූරය මට පෙන්නුවා. එහි කළු ජාතික පිරිමි ළමයෙක් සිටියා, මෙය මාව දිරිගැන්වූවා. පසුව මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකට ගියා, එතැනදී විවිධ ජාතීන්වලට අයත් ජනයා එකිනෙකාට ගෞරවයෙන් සලකනවා මම දැක්කා. මෙය මට ඉතා වැදගත් වුණා.”
දැන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස, අව්‍යාජ ක්‍රිස්තියානි සහෝදරත්වයකට අයිති වීම නිසා ඇන්රීකේ අතිශයින් සතුටු වෙයි. ඒ සඳහා ප්‍රශංසාව කිසිම මිනිසෙකුට හිමි නොවන බව ඔහු තේරුම්ගනී. ඔහු මෙසේ පවසයි: “යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ මා වෙනුවෙන් කර තිබෙන සෑම දෙයකටම මම අද ස්තුතිවන්ත වෙනවා. සියලුම ජාති, වර්ණ සහ පසුතලයන්ට අයත්, එක් අරමුණකින් එක්සත් වූ මිලියන ගණන් යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සේවකයන් සමඟ මම සේවය කරනවා.”
හැදී වැඩෙන කාලයේදී අගතියට ගොදුරු වූ තවත් කෙනෙකි, ඩේරියෝ. වයස අවුරුදු 16දී, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තේය. ඔහු මෙය නිරීක්ෂණය කළේය: “සාක්ෂිකරුවන් අතර, වාර්ගික උතුම්කම ගැන කිසිම හැඟීමක් නොමැති බව මම දැනගත්තා.” අව්‍යාජ ප්‍රේමයේ වාතාවරණය ඔහුගේ සිත ඇදගත්තේය. විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් සභාව තුළ වගකීමෙන් යුත් තනතුරුවල සේවය කළ බව විශේෂයෙන්ම ඔහු දැක්කේය. සභාවෙන් පිටත මිනිසුන්ගෙන් යම් ආකාරයක අගතියට හෝ අසාධාරණ සැලකීම්වලට ඔහු යටත් වන ඕනෑම විටක, සියලුම ජාති, ගෝත්‍ර සහ භාෂාවලට අයත් මිනිසුන්ට යෙහෝවඃවහන්සේ ප්‍රේම කරන බව ඩේරියෝ මතක් කරගනී.
සාර්ථකව කටයුතු කරන අන්දම
අපි සියලුදෙනාම අභිමානයෙන් සහ ගෞරවයෙන් යුතුව සලකනු ලබනවාට කැමැත්තෙමු. අගතියට ගොදුරු වූ කෙනෙකු වීම, විඳදරාගැනීමට අසීරු පරීක්ෂාවක් වන්නේ එනිසාය. මෙම දුෂ්ට ලෝකයේ සියලුම අගතිසහගත ආකල්පවලට නිරාවරණය වීමෙන් ක්‍රිස්තියානි සභාව අපව ආරක්ෂා කරන්නේ නැත. සාතන් නමැති යක්ෂයා ලොව කටයුතු පාලනය කරන තාක් කල්, අයුක්තිය පවතිනු ඇත. (1 යොහන් 5:19) එළිදරව් 12:12 අපට මෙසේ අනතුරු අඟවයි: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” ඔහුගේ අභිප්‍රාය වන්නේ හුදෙක් නොසන්සුන්බව ඇති කිරීම පමණක් නොවේ. ඔහුව ගොදුරු අල්ලා කන සත්වයෙකුට සමාන කර තිබේ. ප්‍රේරිත පේතෘස් අපට මෙසේ පවසයි: “නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘස් 5:8.
බයිබලය අපට මෙසේද පවසයි: “දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටපල්ලා, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.” (යාකොබ් 4:7) දාවිත් රජ කළාක් මෙන්, ආරක්ෂාව සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි රඳා සිටීම වනාහි අගතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට තිබෙන කදිම උපකාරයකි: “මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.” (ගීතාවලිය 71:4) අපට ගීතිකාකරු මෙන් යාච්ඤා කිරීමට පවා හැක: “දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව; මක්නිසාද මනුෂ්‍යයා මා ගිලගන්ට කැමැත්තේය. ඔහු දවස මුළුල්ලේම යුද්ධකරමින් මට පීඩාකරයි.”—ගීතාවලිය 56:1.
දෙවියන්වහන්සේ එවන් යාච්ඤාවලට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? බයිබලය මෙසේ පිළිතුරු සපයයි: “උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.” (ගීතාවලිය 72:12, 13) අසාධාරණකම්වලට ගොදුරු වූ සියලුදෙනාටම යෙහෝවඃවහන්සේ නියමිත කාලයේදී සහනය ගෙනෙන බව දැනගැනීම මොනතරම් යහපත් දෙයක්ද!
“කිසි අනතුරු කිරීමක් . . . නොවන්නේය”
මේ ලෝකයේ ආණ්ඩු තම නීති හා වැඩසටහන් මගින් දිගටම අගතියට විරුද්ධව නැඟී සිටිය හැක. ඔවුන් සමානත්වය හා සාධාරණත්වය ගැන දිගටම පොරොන්දු විය හැක. එහෙත් ඔවුන්ට සාර්ථක විය නොහැක. (ගීතාවලිය 146:3) අගතිසහගත සැලකිලි සියල්ලම තුරන් කළ හැක්කේ, එමෙන්ම එය කරනු ඇත්තේ දෙවියන්වහන්සේ පමණි. උන්වහන්සේ මනුෂ්‍යවර්ගයාව එක්සත් පවුලක් බවට පත් කරනු ඇත. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” මෙම දුෂ්ට පිළිවෙළේ අවසානයෙන් බේරී, සමාදානයෙන් යුත් ජීවිතයක් භුක්තිවිඳිනු ඇත.—එළිදරව් 7:9, 10.
වාර්ගික හා සමාජීය අගතිය මගින් සිදු කර තිබෙන හානි සියල්ලක්ම යෙහෝවඃවහන්සේ තුරන් කර දමනසේක. කිසිවෙකුව අසාධාරණ ලෙස සලකනු නොලැබීම ගැන සිතා බලන්න! “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.” (මීකා 4:4) එමෙන්ම යෙසායා 11:9 මෙසේ පවසයි: “කිසි අනතුරු කිරීමක් . . . නොවන්නේය.”
ඔබ දැන් අගතියට ගොදුරු වූ කෙනෙක් නම්, අනාගතය සඳහා ඇති මෙම මවිතකර බලාපොරොත්තුව, යෙහෝවඃවහන්සේ සමඟ තිබෙන ඔබගේ සබඳතාව ශක්තිමත් කරනු ඇත. මෙම දුෂ්ට පිළිවෙළේ තිබෙන අයුක්තිය විඳදරාගැනීමට එය ඔබට උපකාර කරනු ඇත. ඔබ අගතිය සමඟ සාර්ථකව කටයුතු කරමින් ඉදිරිය දෙස බලත්ම, බයිබලයේ ඥානවන්ත උපදෙස පිළිපදින්න: “ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.”—ගීතාවලිය 31:24.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතය.
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. National Archives photo