යෙහෝවඃවහන්සේ මා සමඟ සිටි බව ඔප්පු වුණා
මැක්ස් හෙනිං පැවසූ පරිදි
එය 1933 වූ අතර, ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය පාලනය කිරීමට ආරම්භ කර තිබුණා පමණයි. එහෙත්, බර්ලින් ප්‍රදේශයේ සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 500ක් පමණ දෙනා චංචල වුණේ නැහැ. යෞවනයන් බොහෝදෙනෙක් පුරෝගාමීන් හෝ පූර්ණ-කාලීන දේවසේවකයන් බවට පත් වූ අතර, සමහරුන් වෙනත් යුරෝපීය රටවල සේවය සඳහා යෑමට පවා පැවරුම් පිළිගත්තා. මගේ මිතුරා වර්නර් ෆ්ලාටෙන් හා මම එකිනෙකාගෙන් මෙසේ අසන්ට වුණා: “අපේ කාලෙ නාස්ති කරමින් අපි දෙන්නා නිකම් ඉන්නේ ඇයි? අපිත් පුරෝගාමී සේවයට ඇතුල් නොවන්නේ ඇයි?”
වර්ෂ 1909දී, මගේ උපතින් දින අටකට පසු, මා ප්‍රේමනීය සුරැකි දෙමාපියන්ගේ රැකවරණය යටතට පැමිණුණා. හදිසියෙන්ම 1918දී, මගේ කුඩා සුළු සහෝදරිය මියයෑමෙන්, අපගේ පවුල ශෝකී තත්වයකට ඇද වැටුණා. ඉන් කෙටි කලකට පසු, එවකට බයිබල් ශිෂ්‍යයන් වශයෙන් හඳුන්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අපව මුණගැසීමට පැමිණි අතර, බයිබල් සත්‍යය පිළිගැනීම සඳහා මගේ සුරැකි දෙමාපියන්ගේ හදවත් මුළුමනින්ම විවෘත වුණා. ආත්මික දේවල් අගය කිරීමට ඔවුන් මටත් ඉගැන්නුවා.
මා වෘත්තීය පුහුණු පාසැලක අධ්‍යයනය වෙත යොමු වී, ජලනළ කාර්මිකයෙකු බවට පත් වුණා. නමුත් වඩාත් වැදගත් ලෙසින්, මා ආත්මික වශයෙන් මගේ ස්ථාවරය ගත්තා. වර්නර් හා මම 1933 මැයි මස 5වන දින පුරෝගාමී සේවය පටන් ගත්තා. අපි බර්ලින් නගරයෙන් කිලෝමීටර් 100ක් පමණ පිටතින් පිහිටි නගරයකට බයිසිකලයෙන් ගොස්, සති දෙකක් එහි රැඳී දේශනා කළා. ඉන්පසු අවශ්‍ය කාරණා ඉටු කිරීම සඳහා අපි නැවතත් බර්ලින් නගරයට පැමිණියා. ඊටපසුව, තවත් සති දෙකකට අපි නැවතත් අපේ දේශනා කිරීමේ බලප්‍රදේශයට ගියා.
වෙනත් රටක සේවය කිරීම සඳහා අපි ඉල්ලුම් කළ අතර, කලින් යුගොස්ලාවියාව නමින් හැඳින්වූ රටේ සේවය කිරීමට අපට 1933 දෙසැම්බර් මාසයේදී පැවරුම් ලැබුණා. කෙසේවෙතත්, එතැනට යෑමට පෙර, අපගේ පැවරුම නෙදර්ලන්තයේ වූට්රෙක්ට් නම් ප්‍රදේශයට වෙනස් කළා. ඉන් කෙටි කලකට පසු මා බව්තීස්ම වුණා. ඒ කාලයේදී බව්තීස්මය කෙරෙහි එතරම් සැලකිල්ලක් දැක්වූයේ නෑ; වැදගත් දේ වුණේ දේවසේවයයි. යෙහෝවඃවහන්සේ කෙරෙහි රඳා පැවතීම, මෙවිට මගේ ජීවිතයේ නිරන්තර අංගයක් බවට පත් වුණා. මා බයිබලයේ ගීතිකාකරුගේ වදන්වලින් මහත් සැනසීමක් ලබාගත්තා: “බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.”—ගීතාවලිය 54:4.
නෙදර්ලන්තයේ පුරෝගාමී සේවය
නෙදර්ලන්තයට පැමිණීමෙන් වැඩි කල් යන්ට පෙර අපට රොටර්ඩෑම් නගරයේ සේවය කිරීමට පැවරුම් ලැබුණා. අප පදිංචි වූ නිවසේ පියා හා පුතෙක්ද පුරෝගාමීන්ව සිටියා. මාස කිහිපයකට පමණ පසු, වූට්රෙක්ට්ට නුදුරින් පිහිටි ලීසම් නගරයේ, පුරෝගාමීන් සඳහා විශාල නිවසක් මිල දී ගනු ලැබූ අතර, වර්නර් හා මම පදිංචිය සඳහා එතැනට ගියා.
එම පුරෝගාමී නිවසේ සිටියදී, ළඟපාත බලප්‍රදේශවලට අපි බයිසිකලයකින් ගමන් කළ අතර, ඈත බලප්‍රදේශ සඳහා මඟීන් හත්දෙනෙකුට ගමන් කළ හැකි මෝටර් රථයක් පාවිච්චි කළා. ඒ කාලයේදී, මුළු නෙදර්ලන්තයේම සිටියේ සාක්ෂිකරුවන් සියදෙනෙක් පමණයි. අදදින, අවුරුදු 60කට පසුව, එම පුරෝගාමී නිවසේ සිට අපි සේවය කළ බලප්‍රදේශයේ සභාවන් 50ක පමණ, ප්‍රචාරකයන් 4,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිනවා.
අපි සෑම දිනකම පැය 14ක් පමණ ඉතා මහන්සි වී දේවසේවයේ යෙදුණු අතර, එය අපව සන්තෝෂයෙන් තැබුවා. ප්‍රධාන ඉලක්කයක් වූයේ හැකි පමණ පොත් පත් බෙදා දීමයි. අපි උනන්දුව දැක්වූ අයට සාමාන්‍යයෙන් දිනකට පොත් පිංච සියයක් පමණ බෙදා දුන්නා. ඒ කාලයේදී, නැවත බැලීම් කිරීම හා බයිබල් පාඩම් පැවැත්වීම අපගේ නිතිපතා ක්‍රියාකාරකම්වල කොටසක්ව තිබුණේ නෑ.
දිනක් මගේ හවුල්කරුවා හා මම ෆ්රේස්වේක් නගරයේ සේවය කරමින් සිටියා. හමුදා බලකොටුවේ ගේට්ටුව අසල සිටි මිනිසෙකුට ඔහු සාක්ෂිදරමින් සිටිද්දී, මා ඒ කාලය බයිබලය කියවීමට පාවිච්චි කළා. එහි බොහෝ තැන්වල රතු හා නිල් ඉරි ගසා තිබුණා. පසුව, අසල වහලක් මත වැඩ කරමින් සිටි වඩුවෙක් ගේට්ටුව ළඟ සිටි එම මිනිසාට මා ඔත්තුකරුවෙක් විය හැකිය කියා අනතුරු ඇඟෙව්වා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මා වෙළෙඳසැල් හිමියෙකුට සාක්ෂිදරමින් සිටිද්දී එදිනම මාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, මගේ බයිබලයද රාජසන්තක කරනු ලැබුණා.
මාව අධිකරණයට ගෙනගියා. මගේ බයිබලයේ තිබූ සලකුණු, බලකොටුවේ සැලැස්ම ඇඳීමට වෑයමක් බව එතැනදී චෝදනා කරනු ලැබුණා. මා වරදක් කර තිබුණු බවට ප්‍රකාශ කර, විනිශ්චයකාරයා මට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කළා. කෙසේවෙතත්, නඩුව අසනු ලැබූ අතර, මාව චෝදනාවෙන් නිදහස් කරනු ලැබුවා. නිදහස ලැබූ විට මා කෙතරම් සතුටු වුණාද, නමුත් සටහන්වලින් පිරී තිබුණු මගේ බයිබලය මට නැවත ලැබුණු විට මා ඊටත් වඩා සතුටු වුණා!
වර්ෂ 1936 ග්‍රීෂ්ම ඍතුවේදී, නිවසේ සිටි එක් පුරෝගාමියෙක් වූ රිචර්ඩ් බෘනිං හා මම රටේ උතුරු ප්‍රදේශයේ දේශනා සේවයේ යෙදෙමින් ග්‍රීෂ්ම ඍතුව ගත කළා. මුල් මාසයේ, අපි දේවසේවයේ පැය 240ක් ගත කළ අතර, පොත් පත් විශාල සංඛ්‍යාවක් බෙදා දුන්නා. අපි කූඩාරමක ජීවත් වූ අතර, ඇඳුම් සේදීම, ආහාර පිසීම වැනි අපේ අවශ්‍යතා අපම ඉටු කරගත්තා.
ඊටපසු මාව උතුරු නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ ලයිට්බෙයාර නමින් හැඳින්වූ බෝට්ටුවකට මාරු කරනු ලැබුවා. මේ බෝට්ටුවේ පුරෝගාමීන් පස්දෙනෙක් ජීවත් වූ අතර, එය මාර්ගයෙන් අපට හුදෙකලා ප්‍රදේශ බොහොමයක් කරා ළඟාවීමට හැකි වුණා.
අමතර වරප්‍රසාද
වර්ෂ 1938දී, මට කලාපීය සේවකයෙකු වීමට පැවරුම් ලැබුණා, එවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා අවේක්ෂකයන්ව හැඳින්වූයේ ඒ නමින්. මම ලයිට්බෙයාර බෝට්ටුවෙන් ඉවත් වී, දකුණු පළාත් තුනක සභාවන් හා හුදෙකලාව සිටි සාක්ෂිකරුවන්ව බැහැදැකීම ආරම්භ කළා.
අපට ගමන් කිරීමට තිබුණු එකම වාහනය බයිසිකලයයි. එක් සභාවකින් හෝ උනන්දුව දක්වන කණ්ඩායමකින් අනික් එකට ගමන් කිරීමට බොහෝවිට මුළු දවසක්ම ගත වුණා. මම දැන් ජීවත් වන බ්‍රේඩා නගරය, මා ගිය නගර අතරින් එකක්. ඒ කාලයේදී, බ්රේඩාහි එක සභාවක්වත් නොතිබුණු අතර, එහි සිටියේ වයස්ගත සාක්ෂිකාර යුවළක් පමණයි.
ලිම්බර්ග්හි සහෝදරයන් සමඟ සේවය කරද්දී, පතලක වැඩ කළ යොහාන් පීපර් නම් පුද්ගලයා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට උත්තර සැපයීමට මට ආරාධනා කරනු ලැබුවා. ඔහු බයිබල් සත්‍යය කෙරෙහි නොසැලෙන ස්ථාවරයක් ගත් අතර, නිර්භීත දේශනාකරන්නෙක් බවට පත් වුණා. ඊට වසර හතරකට පසුව, ඔහුව අත්අඩංගුවට ගෙන, වධක ගාල් කඳවුරක සිර කරනු ලැබුවා, ඔහු එහි අවුරුදු තුනහමාරක් ගත කළා. නිදහස් කිරීමෙන් පසු, ඔහු නැවතත් ජ්වලිතව දේශනා කිරීමට පටන්ගත් අතර, අදදින ඔහු තවමත් විශ්වාසවන්ත වැඩිමහල්ලෙක්. ලිම්බර්ග්හි සිටි සාක්ෂිකරුවන් 12දෙනෙක්ගෙන් යුත් කුඩා සභාව, දැන් ප්‍රචාරකයන් 1,550දෙනෙකුගෙන් යුත් සභා 17ක් දක්වා වර්ධනය වී තිබෙනවා!
නාට්සි පාලනය යටතේ
වර්ෂ 1940 මැයි මාසයේදී, නාට්සිවරුන් නෙදර්ලන්තය ආක්‍රමණය කළා. ඇම්ස්ටර්ඩෑම්හි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට මට පැවරුමක් ලැබුණා. අපට අපේ වැඩය මහත් සැලකිල්ලකින් ඉටු කිරීමට සිදු වූ අතර, මෙම බයිබල් හිතෝපදේශය අගය කිරීමට එය අපට මඟ පෑදුවා: “සැබෑ මිත්‍රයෙක් . . . විපත්තියේදී පිහිටවීමට ඉපද සිටින සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17, NW) මෙම දැඩි පීඩනයෙන් යුත් කාලය තුළදී වැඩිවර්ධනය වූ ප්‍රිය උපදවන එකමුතුකමේ බැම්ම, මගේ ආත්මික වර්ධනයට මහත් බලපෑමක් ඇති කළ අතර, එය මාව ඉදිරියට ඇතිවීමට තිබූ වඩාත් දුෂ්කර කාලවලට පවා සූදානම් කළා.
මගේ පැවරුම වූයේ, බෙදාහරින්නන් විසින් සාමාන්‍යයෙන් කරනු ලබන, සභාවන්වලට පොත් පත් බෙදා දීම අධීක්ෂණය කිරීමයි. ජර්මනියේ ගෙස්ටාපෝ පොලිසිය විසින් බලෙන් වැඩ කරවාගනු ලබන්නන් වශයෙන් ක්‍රියා කිරීමට නිතරම යෞවනයන්ව සොයමින් සිටි නිසා, අපි බෙදාහරින්නන් වශයෙන් ක්‍රිස්තියානි සහෝදරියන්ව පාවිච්චි කළා. ඉන්පසු, නොනී වශයෙන් සැමවිටම හැඳින්වූ විල්හෙල්මීනා බාකර්ව, හේග් සිට අප වෙත එවනු ලැබූ අතර, මා ඇයව අපේ ශාඛා කාර්යාල අවේක්ෂක සැඟවී සිටි තැනට රැගෙන ගියා. හැකි තාක් දුරට මාව හඳුනාගැනීමෙන් වැළැක්වීම සඳහා, මා ලී සපත්තු දාගෙන ඕලන්ද ගොවියෙකු මෙන් ඇඳ පැළඳගෙන, නොනීව වීථි මෝටර් රථයකින් රැගෙන ගියා. බැලූ බැල්මට ඇයට මාව හඳුනාගැනීමට හැකි වූ නිසා, ඇයට සිනහව නතර කිරීමට නොහැකි වූ බව මා පසුව දැනගත්තා.
වර්ෂ 1941, ඔක්තෝබර් 21වන දින, ඇම්ස්ටර්ඩෑම්හි පොත් පත් හා කඩදාසි ගබඩා කර තිබෙන ස්ථානය සතුරාට පාවා දෙනු ලැබුවා. ගෙස්ටාපෝ පොලිසිය විසින් වටලනු ලැබූ විට, වින්කලර් හා නොනීව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ව බන්ධනාගාරයට භාර දෙනු ලැබූ විට, “කළු පැහැති කොණ්ඩයක් ඇති කුඩා මිනිසෙක්” ලුහුබැන්ද ආකාරයත්, ඉන්පසු වීථියේ සිටි මිනිසුන් ගොඩේ ඔහුව සොයාගත නොහැකි වූ ආකාරයත් සම්බන්ධයෙන් ගෙස්ටාපෝ පොලිස් නියෝජිතයන් දෙදෙනෙක් කතා කරනවා ඔවුන්ට ඇසුණා. ඔවුන් කතා කරමින් සිටියේ මා ගැන බව පැහැදිලි වූ නිසා, සහෝදරයන් වෙත පණිවුඩයක් යැවීමට වින්කලර්ට හැකි වුණා. ඒ විගසම මාව හේග්වලට යවනු ලැබුවා.
ඒ අතරතුර, නොනීව බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබූ අතර, ඈ පුරෝගාමී සේවයේ යෙදීමට හේග්වලට පැමිණියා. එතැනදී මට ඇයව නැවතත් මුණ ගැසුණා. නමුත් රොටර්ඩෑම්හි සභා සේවකයාව අත්අඩංගුවට ගනු ලැබූ විට, ඔහුගේ තැන ගැනීමට මාව එතැනට යවනු ලැබුවා. පසුව, ගෞඩා සභාවේ සිටි සභා සේවකයාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ තැන ගැනීම සඳහා මාව එතැනට යවනු ලැබුවා. අවසානයේදී, 1943 මාර්තු මස 29වන දින, මාව අසු වුණා. අපගේ බයිබල් පොත් පත් ගණන් බැලීම පරීක්ෂා කරද්දී, ගෙස්ටාපෝ පොලිසියෙන් වටලනු ලැබීමෙන් මා විස්මයට පත් වුණා.
මේසයක් මත අතුරා තිබූ බයිබල් පොත් පත්වලට අමතරව, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ නම් ලැයිස්තුවක්ද තිබුණු නමුත්, ඒවා තිබුණේ සංකේතමය ආකාරයෙනි. ඒ වන විට දේශනා කිරීමට නිදහස තිබුණු අයව ආරක්ෂා කිරීමට මට මාර්ගයක් සපයන මෙන් මා යෙහෝවඃවහන්සේට ශෝකයෙන් යාච්ඤා කළා. දැකගත නොහැකි වන සේ, මගේ අත දිග හැර එම නම් ලැයිස්තුව උඩ තබා, මගේ අත මිටමොළවා එය පොඩි කර දැමීමට මට හැකි වුණා. ඉන්පසු මා වැසිකිළියට යෑමට අවසර ඉල්ලා, එහිදී එම ලැයිස්තුව කුඩා කැබලිවලට ඉරා වැසිකිළි වළ තුළට සෝදා හැරියා.
එවැනි පීඩාකාරි අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා සමඟ අතීතයේදී කටයුතු කළ ආකාරයෙන් හා උන්වහන්සේගේ ගළවාගැනීමේ පොරොන්දුවලින් ශක්තිය ලබාගැනීමට මා ඉගෙනගත්තා. මෙය සැමවිටම මගේ සිතේ රැඳී තිබෙන දේවානුභාවය ලත් එක් සහතිකයකි: “මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්, . . . ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.”—ගීතාවලිය 124:2, 3.
බන්ධනාගාර හා වධක ගාල් කඳවුරු
මාව රොටර්ඩෑම් බන්ධනාගාරයට ගෙන යනු ලැබූ අතර, මගේ බයිබලය මා ළඟ තිබුණු බැවින් මා බෙහෙවින් ස්තුතිවන්ත වුණා. මා ළඟ සැල්වේෂන් නමැති පොත හා චිල්ඩ්රන් නමැති පොතේ කොටස්ද තිබුණු අතර, මේ පොත් පත් සියල්ලක්ම කියවීම සඳහා ඕනෑ තරම් කාලයද තිබුණා. මාස හයකට පසු මා බරපතළ ලෙස රෝගාතුර වූ අතර, රෝහලකට ඇතුල්වීමට සිදු වුණා. බන්ධනාගාරයෙන් ඉවත්වීමට පෙර, මා මෙට්ටය යට පොත් පත් සඟවා තැබුවා. ඊටපසු, පීට් බෲට්ජස් නම් වෙනත් සාක්ෂිකරුවෙක්ව මා සිටි සිර කුටියට මාරු කරනු ලැබූ බවත්, ඔහු ඒවා සොයාගත් බවත් මා දැනගත්තා. මෙලෙස තව තවත් අයව ඇදහිල්ලේ ශක්තිමත් කිරීම සඳහා එම පොත් පත් භාවිත කරනු ලැබුවා.
මට සුවය ලැබුණු විට, මාව හේග්හි බන්ධනාගාරයකට මාරු කරනු ලැබුවා. එතැන සිටියදී නාට්සි ආධිපත්‍යයට විරුද්ධ වූ නිසා සිරගත වී සිටි නීතිය හදාරන ශිෂ්‍යයෙක් වන ලේඕ සී. වාන් ඩර් ටාස්ව මට හමු වුණා. ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව කිසිදිනක අසා තිබුණේ නැහැ, එනිසා ඔහුට සාක්ෂිදැරීමට මට අවස්ථාවක් ලැබුණා. සමහර අවස්ථාවලදී, ඔහු මාව මධ්‍යම රාත්රියේදී අවදි කර ප්‍රශ්න අසනවා. විශේෂයෙන්ම, අපගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන බව පවසමින් ලියවිල්ලක් අත්සන් කළ පමණින්ම, අපව නිදහස් කරනු ලබන බව දැනගැනීමෙන් පසු, සාක්ෂිකරුවන් සඳහා තිබුණු ඔහුගේ අගය සඟවා තැබීමට ඔහුට නොහැකි වුණා. යුද්ධයෙන් පසු, ලේඕ නිතිඥයෙක් බවට පත් වූ අතර, ඔහු නමස්කාරයේ නිදහස සම්බන්ධ වූ වොච් ටවර් සමිතියේ නීතික නඩු බොහොමයක් වෙනුවෙන් කතා කළා.
වර්ෂ 1944, අප්‍රියෙල් 29වන දින, ජර්මනියට යෑමට දින 18ක කටුක ගමනක් සඳහා මාව දුම්රියකට නැඟ්ගෙවුවා. මැයි මස 18වන දින මාව බූකන්වාල්ට් වධක ගාල් කඳවුරේ සිරගත කළා. අපව ඊට වසරකට පමණ පසු, මිත්‍ර පාක්ෂික හමුදාව විසින් නිදහස් කරනු ලබන තුරු, අපගේ ජීවිත විස්තර කළ නොහැකි ආකාරයකින් අප්‍රසන්නව තිබුණා. දහස් ගණන්දෙනෙක් මිය ගිය අතර, එයින් බොහෝදෙනෙක් මියගියේ අපගේ ඇස් ඉදිරිපිටදීමයි. යුද්ධ භාණ්ඩ නිපදවූ, අසල පිහිටි කර්මාන්තශාලාවක වැඩ කිරීමට මා ප්‍රතික්ෂේප කළ නිසා, මට කුණුකසළ බැස යන කාණුවක වැඩ කිරීමට සිදු වුණා.
දිනක් එම කර්මාන්තශාලාවේ බෝම්බයක් පිපුරුණා. බොහෝදෙනෙක් ආරක්ෂාව සඳහා බැරැක්කවලට වේගයෙන් දිව ගිය අතර, අනික් අය කැලයට දිව ගියා. නිශ්චිත ඉලක්කයක් නොතිබුණු බෝම්බ බැරැක්කවලට වැදී පිපුරුණු අතර, ඇවිළෙනසුලු බෝම්බ මගින් කැලය ගිනිගත්තා. එය ඉතා බිහිසුණු දර්ශනයක් වුණා! බොහෝදෙනෙක් පණ පිටින් පිළිස්සුනා! හැංගෙන්න ආරක්ෂිත ස්ථානයක් මා සොයාගෙන තිබුණු අතර, ගින්න අඩු වූ පසු, ගණන් කළ නොහැකි මළ සිරුරු පසු කරගෙන මා ඉක්මනින් කඳවුරට ඇවිදගෙන ගියා.
නාට්සි සමයේ සිදු වූ මහත් සමූලඝාතන භීෂණයන් ගැන අදදින බොහෝදෙනෙක් දන්නවා. වසර ගණනාවක් පුරා මගේ සිතුවිලි මා අද්දුටු භීෂණයන් මගින් පාලනය නොවන ලෙස යෙහෝවඃවහන්සේ මගේ චින්තන හැකියාව ශක්තිමත් කළාට මා උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මා සිරගත වී සිටි කාලය ගැන කල්පනා කරන විට, යෙහෝවඃවහන්සේගේ නාමය මහිමවත් කිරීම සඳහා උන්වහන්සේට අඛණ්ඩතාව රැක තිබීම සම්බන්ධයෙන්, මට මූලික වශයෙන්ම ප්‍රීතියක් දැනෙනවා.—ගීතාවලිය 124:6-8.
යුද්ධයෙන් පසු ක්‍රියාකාරකම්
මගේ නිදහස් වීමෙන් හා ඇම්ස්ටර්ඩෑම්ට පැමිණීමෙන් පසු, මම පැවරුමක් සඳහා කෙළින්ම ශාඛා කාර්යාලයට වාර්තා කළා. මා නොසිටි කාලය තුළදී සිදු වූ දේවල් සම්බන්ධයෙන් දැනගැනීමට මා ආශාවෙන් සිටියා. නොනී මේ වන විටත් එතැන වැඩ කරමින් සිටියා. යුද්ධයේ අවසාන වසර තුළ, ඇය සභාවන්ට බයිබල් පොත් පත් බෙදාහරින්නියක් ලෙස සේවය කර තිබුණා. ඈ යන්තමින් බේරුණු අවස්ථා බොහොමයක් අද්දැක තිබුණත්, ඇයව නැවත වරක් අත්අඩංගුවට ගනු ලැබුවේ නෑ.
මා හාලම්හි ටික කාලයක් පුරෝගාමී සේවයේ යෙදුණ නමුත්, 1946දී ඇම්ස්ටර්ඩෑම්හි ශාඛාවේ බඩු නැව්ගත කිරීමේ අංශයේ සේවය කිරීමට මගෙන් ඉල්ලා සිටියා. වර්ෂ 1948 අගභාගයේදී, නොනී හා මා විවාහ වූ අතර, එකට පුරෝගාමී සේවයේ යෙදීමට අපි ශාඛා කාර්යාලයෙන් ඉවත් වුණා. අපගේ පුරෝගාමී පැවරුම වූයේ අසෙන්හි සේවය කිරීමයි. අවුරුදු දොළහකට පෙර, රිචර්ඩ් බෘනිං හා මම, එතැන කූඩාරමක ජීවත් වී දේශනා කරමින් ශ්රීෂ්ම කාලය ගත කළා. වධක ගාල් කඳවුරකට ගෙනයන අතරතුර, රිචර්ඩ්ට වෙඩි තබා මරණයට පත් කරනු ලැබූ බව මා දැනගත්තා.
මා සිරගත වී සිටි කාලපරිච්ඡේදය තුළ, මගේ සෞඛ්‍ය තත්වය දුර්වල වූ බව පැහැදිලියි. බූකන්වාල්ට් කඳවුරෙන් නිදහස ලැබී වසර හයකට පසු, අසනීප වීම හේතුවෙන් මට මාස හතරකට ඇඳටම වී ඉන්න සිදු වුණා. ඉන් වසර ගණනාවකට පසු, 1957දී මට ක්ෂය රෝගය වැළඳුණ අතර, සම්පූර්ණ වසරක්ම රෝගීව සිටියා. මගේ ශරීර ශක්තිය දුර්වල වී තිබුණත්, මගේ පුරෝගාමී ස්ප්‍රීතුව තවමත් ශක්තිමත්ව තිබුණා. අසනීප කාලය තුළදී, සාක්ෂිදැරීම සඳහා මා හැකි සෑම අවස්ථාවක්ම යොදාගත්තා. අසනීප තත්වය මගින්, මාව නිකම්ම නිකම් ලෙඩෙක් බවට පත් කිරීමෙන් වැළැක්වීමට, මෙම පුරෝගාමී ස්ප්‍රීතුව වැදගත් සාධකයක් වූ බව මට හැඟෙනවා. අපගේ සෞඛ්‍ය තත්වය ඉඩ දෙන තාක් කල්, පූර්ණ-කාලීන සේවයට ඇලී සිටීමට නොනී හා මම තීරණය කර තිබෙනවා.
මගේ සුවවීමෙන් පසු, අපිට බ්‍රේඩා නගරයට පැවරුම් ලැබුණා. මෙය මා කලාපීය සේවකයෙක් වශයෙන් එම නගරයට පළමු වතාවට ගිහින් අවුරුදු 21කින් පසුවයි. වර්ෂ 1959දී අපි එයින් පැමිණි විට, එතැන සාක්ෂිකරුවන් 34දෙනෙක්ගෙන් යුත් කුඩා සභාවක් තිබුණා. අදදින, අවුරුදු 37කින් පසු, එය රාජ්‍ය ශාලා තුනක රැස්වෙන, සාක්ෂිකරුවන් 500කට වඩා වැඩි සංඛ්‍යාවකින් යුත් සභා හයක් දක්වා වර්ධනය වී තිබෙනවා! අපගේ ප්‍රාදේශීය රැස්වීම් හා එක්රැස්වීම්වලදී, අපගේ යම් වෑයමක් නිසා බයිබල් සත්‍යය පිළිබඳ අවබෝධයක් ලබා තිබෙන බොහෝදෙනෙක් අපට දැකීමට හැකි වී තිබෙනවා. ප්‍රේරිත යොහන් මෙසේ ලිවූ විට ඔහුට හැඟුණ ආකාරයට බොහෝවිට අපටත් හැඟෙනවා: “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.”—3 යොහන් 4.
අප දැන් මහලු වී සිටිනවා. මට අවුරුදු 86ක් වන අතර, නොනීට 78යි, නමුත් පුරෝගාමී සේවයේ යෙදීම සෞඛ්‍යසම්පන්න කාර්යයක් කියා මා කිව යුතුයි. මා සිරගත වී සිටි කාලය තුළදී මට ඇති වූ සෞඛ්‍ය ගැටලු වැඩි හරියක්ම, මා බ්රේඩාවල පදිංචි වීමෙන් පසු ජයගෙන තිබෙනවා. මා යෙහෝවඃවහන්සේගේ සේවය තුළ ඵලදායක වසර බොහොමයක්ද භුක්තිවිඳ තිබෙනවා.
වසර ගණනාවක ඵලදායී සේවය දෙස හැරී බලන විට, එය අප දෙදෙනාටම ප්‍රීතියේ උල්පතක්. අප දිනපතා යාච්ඤා කරන්නේ, අප ජීවත් වන තුරු යෙහෝවඃවහන්සේගේ සේවයේ නොකඩවා නිරතවීම සඳහා උන්වහන්සේ අපට ආත්මය හා ශක්තිය දෙන ලෙසටයි. අපි ගීතිකාකරුගේ වදන්වලින් නිසැකකමින් මෙසේ ප්‍රකාශ කරනවා: “බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.”—ගීතාවලිය 54:4.
[23වන පිටුවේ පින්තූරය]
එක්දහස් නවසිය තිස්ගණන්වල පුරෝගාමී සේවයේ යෙදෙද්දී පාවිච්චි කළ කූඩාරම ළඟ සිටගෙන
[23වන පිටුවේ පින්තූරය]
හුදෙකලා ප්‍රදේශ කරා ළඟාවීමට පාවිච්චි කළ බෝට්ටුව
[23වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1957 සමුළු වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවක යෙදෙද්දී
[24වන පිටුවේ පින්තූරය]
අද මගේ බිරිඳ සමඟ