දෙවියන්වහන්සේ සෑම ආකාරයේ නමස්කාරයක්ම අනුමත කරනසේක්ද?
දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව මවනු ලැබුවේ ආත්මික අවශ්‍යතාවක්—එනම් නමස්කාර කිරීමේ අවශ්‍යතාවක් ඇතුවය. එය වනාහි, පරිණාමය වූ යමක් නොවේ. එය ආරම්භයේ සිට මනුෂ්‍යයාගේ ජීවිතයේ අංගයක් විය.
කෙසේවෙතත්, මනුෂ්‍යවර්ගයා නමස්කාර කිරීම සඳහා විවිධ මාර්ග බොහොමයක් පිහිටුවාගෙන ඇති අතර, මෙය බොහෝදුරට සන්තෝෂවත්, එක්සත් මනුෂ්‍ය පවුලක් බිහි කර නොතිබීම කනගාටුවට කරුණකි. ඒ වෙනුවට, ආගමේ නාමයෙන් කරනු ලබන ලේ තැවරුණු සටන් තවමත් පවතී. මෙය වැදගත් ප්‍රශ්නයක් මතු කරයි: කෙනෙක් දෙවියන්වහන්සේට නමස්කාර කරන ආකාරය වැදගත් වන්නේද?
ඉපැරණි කාලවලදී සැකකටයුතු නමස්කාරය
එම ප්‍රශ්නයට උත්තරය ලබාගැනීමට අපට උපකාර කිරීම සඳහා, මැද පෙරදිග විසූ ඉපැරණි ජාතීහූ ඓතිහාසික ආදර්ශයක් සපයති. බොහෝදෙනෙක් බාල් නම් දෙවිකෙනෙකුට නමස්කාර කළෝය. ඔවුහු අෂේරා වැනි බාල්ගේ සහකාරියන්ටද නමස්කාර කළෝය. අෂේරා නමස්කාරයට යොදාගැනුණ ශුද්ධ කණුව, ලිංගික සංකේතයක් බව විශ්වාස කරන ලදි. නිර්වස්ත්‍ර ස්ත්රීන්ගේ රූප අසංඛ්යාතයක්, එම ප්‍රදේශයෙහි වැඩ කරන පුරාවිද්‍යාඥයන් විසින් කැනීම්වලින් සොයාගෙන ඇත. මෙම රූප, “තම පියයුරු ඉහළට කර අල්ලාගෙන සිටින, කැපීපෙනෙන්ට සැලැස්වූ ලිංගේන්ද්‍රියයන් සහිත දේවතාවියක් හුවා දක්වන අතර, මෙය සමහරවිට . . . අෂේරා නියෝජනය කරනවා විය හැකි බව,” දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් පවසයි. බොහෝවිට බාල් නමස්කාරය බෙහෙවින් දුරාචාරමය වූ බව සහතිකය.
එමනිසා, බාල් නමස්කාරයට ලිංගික ආස්වාදය ලැබීමේ සාදයන් ඇතුළත්ව තිබීම පුදුමයට කාරණයක් නොවේ. (ගණන් කථාව 25:1-3) කානානියෙකු වූ ෂෙඛෙම්, යොවුන් කන්‍යාවක වන දීනාව දූෂණය කළේය. මෙවන් දෙයක් සිදු කළත්, ඔහුගේ පවුලේ වඩාත්ම ගෞරවනීය පුද්ගලයා ලෙස ඔහුව සලකනු ලැබීය. (උත්පත්ති 34:1, 2, 19) ව්‍යභිචාරය, සමලිංගිකතාව හා පශු මෛථුනය පොදු දෙයක්ව තිබිණ. (ලෙවී කථාව 18:6, 22-24, 27) සමලිංගික සේවනයේ යෙදෙන්නන්ගේ ක්‍රියාවක් වන, “සොඩමි” (පුංමෛථුනය) නම් ඉංග්‍රීසි වචනය, ලෝකයේ එම ප්‍රදේශයේ වරක් පැවති නගරයක නාමයකින් පැමිණේ. (උත්පත්ති 19:4, 5, 28) බාල් නමස්කාරයට ලේ වැගිරවීම්ද ඇතුළත් විය. ඒ මන්දයත්, බාල් නමස්කාරකයන් තම දෙවිවරුන්ට පූජාවක් වශයෙන්, දරුවන්ව ඇවිළෙන ගින්නට පණපිටින් විසි කළ බැවිනි. (යෙරෙමියා 19:5) මෙම පුරුදු සියල්ලක්ම ආගමික ඉගැන්වීම් හා සම්බන්ධ විය. ඒ කෙසේද?
“ඒ කාලයේදී මැද පෙරදිගෙහි වෙනත් ඕනෑම ප්‍රදේශයකට වඩා වැඩියෙන් කානානීය මිථ්‍යා ප්‍රබන්ධවල කෲරභාවය, රාගය හා අසංවරත්වය දරුණු අන්දමකින් තිබූ බව,” ආකියලොජී ඇන්ඩ් දි ඕල්ඩ් ටෙස්ට්ටමන්ට් නමැති තම පොතෙහි ආචාර්ය මෙරල් අංඥර් පැහැදිලි කරයි. “තවද කානානීය දේවතාවන්ට කිසිසේත් සදාචාර චරිත නොතිබුණු බවට වූ පුදුමාකාර ගතිලක්ෂණය, ඔවුන්ගේ බැතිමතුන් අතර ඇති දරුණුතම ගතිලක්ෂණ ගෙනහැර දක්වා තිබෙනවා විය හැකි අතර, ශුද්ධ ගණිකා වෘත්තිය [හා] දරුවන්ව පූජා කිරීම වැනි ඒ කාලයේදී පැවති වඩාත්ම ගුණධර්ම පිරිහෙන ආකාරයේ පුරුදු බොහොමයක් එයට ඇතුළත් විය.”
දෙවියන්වහන්සේ කානානිවරුන්ගේ නමස්කාරය පිළිගත්සේක්ද? ඇත්තෙන්ම නැත. පවිත්‍ර ආකාරයකින් උන්වහන්සේට නමස්කාර කළ යුතු අයුරු උන්වහන්සේ ඉශ්‍රායෙලිතයන්ට ඉගැන්වූසේක. ඉහත සඳහන් පුරුදු සම්බන්ධයෙන්, උන්වහන්සේ මෙසේ අනතුරු ඇඟවූසේක: “මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගනිල්ලා. මක්නිසාද මා විසින් නුඹලා ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති. දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.”—ලෙවී කථාව 18:24, 25.
නිර්මල නමස්කාරය දූෂ්‍ය වේ
ඉශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක්, නිර්මල නමස්කාරය පිළිබඳ දෙවියන්වහන්සේගේ දෘෂ්ටිකෝණය පිළිනොගත්හ. ඒ වෙනුවට, ඔවුහු තම දේශයෙහි බාල් නමස්කාරය දිගටම පැවතීමට ඉඩ දුන්නෝය. වැඩි කලක් යන්ට මත්තෙන්, යෙහෝවඃවහන්සේට කරන නමස්කාරය බාල් නමස්කාරය සමඟ මිශ්‍ර කිරීමට ඉශ්‍රායෙලිතයන්ව මුළා කරනු ලැබීය. දෙවියන්වහන්සේ මෙම මිශ්‍ර නමස්කාරය පිළිගත්සේක්ද? මනස්සේ රජුගේ පාලන සමයේ සිදු වූ දෙය සලකා බලන්න. ඔහු බාල්ට පූජාසන ඉදි කර, තම පුත්‍රයාව යාගයක් වශයෙන් පිලිස්සූ අතර, විජ්ජාවලද නියැලී සිටියේය. “තමා සෑදූ [ශුද්ධ කණුව, NW] [හෙබ්‍රෙව් භාෂාවෙන් ʼඅෂෙ·රහ්ʹ] ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ . . . කථාකොට: මේ ගෘහයෙහිද මා . . . මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි[යි]” කීසේක.—2 රාජාවලිය 21:3-7.
මනස්සේගේ යටත්වැසියෝ තම රජුගේ ආදර්ශය අනුගමනය කළෝය. ඇත්තවශයෙන්ම, “ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස” ඔහු “ඔවුන් මුළාකෙළේය.” (2 රාජාවලිය 21:9) දෙවියන්වහන්සේගේ අනාගතවක්තෲන් යළි යළිත් කරන ලද අනතුරු ඇඟවීම්වලට අවනත වෙනවා වෙනුවට, මනස්සේ ඝාතන සිදු කිරීමෙන් නිදොස් ලෙයින් යෙරුසලම පිරෙව්වේය. පසු කලකදී, මනස්සේ හොඳ අතට වෙනස් වුවත්, ඔහුගේ පුත්‍රයා හා අනුප්‍රාප්තිකයා වූ ආමොන් රජ බාල් නමස්කාරය නැවතත් ප්‍රාණවත් කළේය.—2 රාජාවලිය 21:16, 19, 20
කාලයාගේ ඇවෑමෙන්, වේශ්‍යාකමේ යෙදෙන පුරුෂයෝ දේවමාළිගාවෙහි නුසුදුසු හැසිරීම් රටාවක නියැලීමට පටන්ගත්හ. දෙවියන්වහන්සේ බාල් නමස්කාරයේ මෙම ප්‍රකාශය සැලකුවේ කෙසේද? මෝසෙස් මගින් උන්වහන්සේ මෙසේ අනතුරු අඟවා තිබිණ: “වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ [එනම්, සමලිංගික සේවනයේ යෙදෙන්නෙකුගේ] කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.”—ද්විතීය කථාව 23:17, 18, පාද සටහන, NW.
මනස්සේගේ මුනුපුරා වූ යොෂියා රජු, දුරාචාර බාල් නමස්කාරය දේවමාළිගාවෙන් ඉවත් කළේය. (2 රාජාවලිය 23:6, 7) එහෙත්, මෙයට විසඳුමක් ගෙන ඒමට නොහැකි වන තරමටම දේවල් දුරදිග ගොස් තිබිණ. යොෂියා රජුගේ අභාවයෙන් වැඩි කල් යන්ට මත්තෙන්, යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවෙහි නැවත වරක් රූප නමස්කාරය සිදු වෙමින් තිබිණ. (එසකියෙල් 8:3, 5-17) එනිසා යෙහෝවඃවහන්සේ යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ කිරීමට බබිලෝනියේ රජුට සැලැස්වූසේක. ඉතිහාසයේ සිදු වූ මෙම ඛේදනීය සිද්ධිය, දෙවියන්වහන්සේ ඇතැම් ආකාරයේ නමස්කාර ක්‍රම පිළිනොගන්නා බවට සාක්ෂියකි. අපගේ කාලය ගැන කුමක් කිව හැකිද?