බාල් වන්දනාව ඉශ්‍රායෙලිතයන්ගේ හද හා බැඳි ගැටුමක්
අවුරුදු දහසකටත් ආසන්න කාලයක් පුරා, ඉශ්‍රායෙලිතයන් තම හද හා බැඳි ගැටුමක නිරත වූවා. එක පැත්තක තිබෙන මිථ්‍යා විශ්වාසයන් හා ලිංගික වත්පිළිවෙත්, තව පැත්තක තිබෙන ඇදහිල්ල හා පක්ෂපාතකම සමඟ ගැටුණා. මෙම ජීවිතය හා මරණය අතර ගැටුම තිබුණේ බාල් නමස්කාරය හා යෙහෝවාට කරන නමස්කාරය අතරයි.
ඉශ්රායෙල් ජාතිය මිසරයෙන් තමන්ව ගළවාගත් සැබෑ දෙවිට ඇදහිලිවන්තව ඇලී සිටීද? (නික්මයාම 20:2, 3) එසේත් නැත්නම් දේශය සමෘද්ධිමත් කිරීමට පොරොන්දු වූ කානාන්හි ප්‍රියතම දෙවියා වන බාල් වෙතට ඔවුන් හැරෙයිද?
වසර දහස් ගණනකට පෙර සිදු වූ මෙම ආත්මික ගැටුම අපට ඇත්තෙන්ම වැදගත් වෙයි. ඇයි? “ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය” කියා ප්‍රේරිත පාවුල් ලීවා. (1 කොරින්ති 10:11) බාල් කියන්නේ කවුද යන්නත් බාල් නමස්කාරයට අයත් වුණේ කුමක්ද යන්නත් අප තේරුම්ගත්තොතින්, මෙම ඓතිහාසික ගැටුමෙහි ගැබ්ව ඇති අනතුරු ඇඟවීම අපට වැඩි අර්ථයක් දෙනු ඇත.
බාල් කියන්නේ කවුද?
පොදු යුගයට පෙර 1473දී පමණ, ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට පැමිණි පසු, බාල් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රමක්‍රමයෙන් දැනගන්න පටන්ගත්තා. මිසරවරුන්ගේ දෙවිවරුන්ට වඩා වෙනස් නම් හා ගති ලක්ෂණ තිබුණත්, එම දෙවිවරුන් හා කානානිවරුන් නමස්කාර කළ බොහෝ දෙවිවරුන් අතර එතරම්ම වෙනසක් නැති බව ඉශ්‍රායෙලිතයන්ට පෙනෙන්න තිබුණා. කොහොම වුණත්, කානානිවරුන්ගේ ප්‍රධානතම දෙවියා හැටියට බාල් වෙතට බයිබලය අවධානය යොමු කරන අතර, ඔහුගේ උත්තරීතරබව පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින්ද තහවුරු වෙයි. (විනිශ්චයකාරයන් 2:11) ඔවුන්ගේ බහු දෙවිදේවතාවන් අතරේ බාල් උත්තරීතරම දෙවියා නොවුණත්, කානානිවරුන්ට වැදගත්ම දෙවියා වූයේ ඔහුයි. වැස්ස, සුළඟ හා වලාකුළු කෙරෙහි ඔහුට බලයක් තිබූ බවත්, වඳබවින් හෝ මරණයෙන් පවා ජනයාව මෙන්ම සතුන්ව හා අස්වනු බේරාගත හැක්කේ ඔහුට පමණක් බවත් ඔවුන් විශ්වාස කළා. බාල්ගේ ආරක්ෂාව නොමැති නම්, පළිගන්නාවූ කානානිය දෙවිකෙනෙකු වූ මොට්, නිසැකවම දුක් කන්දරාවන් ඔවුන් පිටට ගෙන එයි.
ලිංගික වත්පිළිවෙත් මගින් බාල් වන්දනාවට පිටුවහලක් වුණා. පරිශුද්ධ වූ කුලුනු හා කණු වැනි බාල්ට සම්බන්ධව තිබූ ආගමික වස්තූන්වල පවා ලිංගික අර්ථයක් ගැබ්ව තිබුණා. පෙනෙන ප්‍රකාරයට පරිශුද්ධ කුලුනු, එනම් පුරුෂ ලිංගයේ හැඩය ගත් ගල් හෝ රළු මතුපිටක් ඇති ගල්වලින් නියෝජනය කළේ බාල්වයි; එනම් ලිංගික එක්වීමේ පුරුෂ අවයවය වන ශිෂ්ණයයි. අනික් අතට පරිශුද්ධ කණු, එනම් ලී හෝ ගස්වලින් බාල්ගේ කලත්‍රයා වූ අෂේරාව නියෝජනය කළ අතර, ඇය ස්ත්‍රී ලිංගේන්ද්‍රිය සංකේතවත් කළා.—1 රාජාවලිය 18:19.
මාළිගා වේශ්‍යාකම හා ළමයින් පූජා කිරීම බාල් වන්දනාවේ තවත් ප්‍රධාන අංගයක් වුණා. (1 රාජාවලිය 14:23, 24; 2 ලේකම් 28:2, 3) බයිබලය හා පුරාවිද්‍යාව (ඉංග්‍රීසියෙන්) යන පොතේ මෙසේ පවසනවා: “කානානිවරුන්ගේ ආගමික සිද්ධස්ථානවල වේශ්‍යාකම් කරන පුරුෂයන් හා ස්ත්‍රීන් (‘පරිශුද්ධ’ පුරුෂයන් හා ස්ත්‍රීන්) සිටි අතර, සෑම ආකාරයකම ලිංගික ක්‍රියාවල අන්තයටම යෑමක් දක්නට ලැබුණා. අස්වනු සරුසාර වීමට හා සත්ව රැළවල් වර්ධනය වීමට මෙය යම් ආකාරයකින් බලපෑ බව [කානානිවරුන්] විශ්වාස කළා.” මෙය, නිදහසට කාරණයක් හැටියට ඉදිරිපත් කළ ආගමික හේතුව වුවද, නමස්කාරකයන් මාංශික ආශාවල් පිනවාගැනීම සඳහා එයට ඇදී ගිය බව අමුතුවෙන් කිව යුතු නැහැ. එසේනම්, බාල් ඉශ්රායෙල්වරුන්ගේ හදවත් රැවටුවේ කොහොමද?
එතරම් ආකර්ෂණීය යමක් වූයේ ඇයි?
තමන්ගෙන් එතරම් දෙයක් අපේක්ෂා නොකළ ආගමක් ඇදහීමට ඉශ්රායෙල්වරුන් කැමති වූවා විය හැකියි. බාල්ට වන්දනාමාන කිරීම මගින්, සබත හා වෙනත් සදාචාරමය සීමාවන් වැනි ව්‍යවස්ථාවට අයත් වූ යම් පනත් පැවැත්වීමෙන් ඔවුන්ව නිදහස් කළා. (ලෙවී කථාව 18:2-30; ද්විතීය කථාව 5:1-3) සමහරවිට, කානානිවරුන්ගේ ද්‍රව්‍යමය සමෘද්ධිය, බාල්ට යටත් විය යුතුය කියා ඇඟවීමට දායක වෙන්න ඇති.
උස් තැන් හැටියට හැඳින්වූ කානානීය පූජාසන, තුරුලතාදියෙන් ගහන වූ කන්දෙන් පිටතට නෙරා ආ කොටස්වල පිහිටා තිබූ අතර, පවත්වන ලද සශ්‍රීකත්වයේ වත්පිළිවෙත් සඳහා ඒවා ආකර්ෂණීය පසුබිමක් සපයන්න ඇති. නමුත්, ඉශ්රායෙල්වරු කානානිවරුන්ගේ පරිශුද්ධ භූමිවලට යෑමෙන් තෘප්තිමත් නොවීමට වැඩි කලක් ගත වූයේ නැහැ; ඔවුන් තමන්ගේම පූජාසන සෑදුවා. “ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය.”—1 රාජාවලිය 14:23; හොෂෙයා 4:13.
නමුත් මූලික වශයෙන් ගතහොත්, බාල් වන්දනාව මාංසික තෘෂ්ණාවලට ආකර්ෂණය කිරීමක් වුණා. (ගලාති 5:19-21) සරුසාර වගාවන් හා විශාල සත්ව රැළවල් අත් කරගැනීමේ ආශාවට වඩා වැඩි යමක් මෙම කාමුක හැඟීම් දනවන ක්‍රියාවන්ට සම්බන්ධ වී තිබුණා. එය ලිංගික සබඳතා උලුප්පා දැක්වුවා. මෙය තහවුරු වී ඇත්තේ, කැණීම් මගින් සොයාගෙන ඇති ලිංගික උද්දීපනය නිරූපණය කරන, එය වැඩියෙන් අවධාරණය කොට ඇති ලිංගික අංගයන්ගෙන් යුත් ප්රතිමාවලිනි. සදාචාරමය සීමාවලින් තොර හැසිරීමකට මංගල්‍යයන්, නැටුම් හා සංගීතය මහත් සේ දායක වුණා.
සරත් සමයේ මුල් කාලයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දසුනක් අපට සිතේ මවාගත හැකියි. සිත් අලවන රමණීය වටපිටාවකින් යුත් භූමියක, ප්‍රණීත ආහාර හා මුද්‍රිකපානයෙන් ප්‍රබෝධවත්ව සිටින නමස්කාරකයන් නටමින් සිටියි. දේශයට වැස්සෙන් ආශීර්වාද කිරීම සඳහා ගිම්හානයේ අක්රියශීලීව සිටි බාල්ව අවදි කිරීමයි, මෙම සශ්‍රීකත්ව නැටුමේ පරමාර්ථය වන්නේ. ලිංගවල හැඩය ගත් කුලුනු හා පරිශුද්ධ කණු වටේට කැරකෙමින් ඔවුන් නටයි. ඔවුන්ගේ අංගචලනයන් ඇත්තෙන්ම රාගික හා කාමුක ඒවායි; මෙයට සිද්ධස්ථානවල වේශ්‍යාවන්ගේ නැටුම් විශේෂයෙන්ම අයත් වෙයි. සංගීතය හා ප්‍රේක්ෂකයන් ඔවුන්ට තල්ලුව දෙයි. එමෙන්ම බොහෝදුරට, නැටුමේ උච්චාවස්ථාවටම පැමිණි කල, දුරාචාරමය සබඳතා සඳහා බාල්ගේ ගෘහයේ ඇතුල් කාමරවලට යෑමට ඔවුන් සූදානම් වෙයි.—ගණන් කථාව 25:1, 2; සසඳන්න නික්මයාම 32:6, 17-19; ආමොස් 2:8.
ඔවුන් හැසිරුනේ ඇදහීමෙන් නොව පෙනීමෙන්
බොහෝදෙනෙකු මෙවැනි කාමුක වන්දනාවකට ඇදී ගිය බව ඇත්තයි. එහෙත් ඉශ්රායෙල්වරු බාල් වන්දනාවට යොමුවීමට භයද හේතුවක් වුණා. යෙහෝවා කෙරෙහි තිබූ ඇදහිල්ල ඉශ්රායෙල්වරුන්ට නැතුව යෑමත් සමඟ, මළවුන්ට ඇති භය, අනාගතය ගැන ඇති භය හා ගුප්ත කාරණාවල තිබූ ආකර්ෂණීය බලය නිසා භූතවාදයට ඔවුන් නැඹුරු වුණා. තවද එයින් අදහස් වූයේ, තුච්ඡබවේ ඉහළම තැනක් ගත් වත්පිළිවෙත් එයට අයත් වූ බවයි. මුතුන්මිත්තන්ට නමස්කාර කිරීමේදී, වෙන්ව ගිය ආත්මයට කානානිවරුන් ගෞරව කළ ආකාරය දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩ’ඩ් බයිබල් එන්සයික්ලොපීඩියාහි මෙසේ විස්තර කෙරෙයි: “පවුල්වලට අයත් සොහොන් ගෙවල්වල හෝ සුසාන භූමිවල මංගල්‍යයන් . . . පැවැත්වූ අතර, මියගිය අයද සහභාගි වුණායයි කියැවෙන බීමත්කමේ හා ලිංගික හැසිරීමේ (මෙයට බොහෝදුරට ව්යභිචාරයද අයත් වන්න ඇති) ඔවුන් නියැලුණා.” එවැනි පහත් භූතවාදී වත්පිළිවෙත්වල සහභාගි වීම, යෙහෝවා දෙවිගෙන් ඉශ්රායෙල්වරුන්ව තව තවත් ඈත් කළා.—ද්විතීය කථාව 18:9-12.
ඇදහීමෙන් නොව පෙනීමෙන් හැසිරීමට කැමති වූ සමහරක් ඉශ්රායෙල්වරුන් රූප හා ඒ ආශ්රිත වත්පිළිවෙත්වලටද ඇදී ගියා. (2 කොරින්ති 5:7) යෙහෝවා සිදු කළ චමත්කාරජනක ආශ්චර්යයන් දැකීමෙන් පසුව පවා, මිසරය අතහැර ආ ඉශ්රායෙල්වරු බොහෝදෙනෙක් බලා සිටියේ දෘශ්‍යමාන මතක් කිරීමක් යළි කරන තුරායි. (නික්මයාම 32:1-4) ඒ අතරතුරම, බාල්ගේ රූප වැනි දෘශ්‍යමාන යමකට වන්දනාමාන කිරීමට ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් සමහරෙක් කැමති වූවා.—1 රාජාවලිය 12:25-30.
ජයග්‍රාහකයෝ වූයේ කවුද?
ඉශ්රායෙල්වරුන්ගේ හද හා බැඳි ගැටුම ශතවර්ෂ ගණනාවක් පුරා පැවතියා. එය, පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර මෝවබ් සමභූමි අසලට පැමිණි කාලයේ සිට බබිලෝනියට ඔවුන්ව ගෙනයෑම දක්වා පැවතියා. පෙනෙන ප්‍රකාරයට තෝරාගැනීම කලින් කලට වෙනස් වුණා. සමහරක් කාලවල ඉශ්රායෙල්වරුන්ගෙන් බහුතරයක් යෙහෝවාට පක්ෂපාතව සිටි මුත්, නිතර නිතර බාල් වෙතට හැරුණා. මේ සඳහා මූලික හේතුවක් වූයේ ඔවුන් අවට වාසය කළ මිථ්‍යා ලබ්ධිකයන්ව ඇසුරු කිරීමයි.
කානානිවරුන්ගේ හමුදාමය පරාජයෙන් පසුව, වෙනත් කූට විධි යොදාගනිමින් ඔවුන් සටන් කළා. ඔවුන් ඉශ්රායෙල්වරුන්ට නුදුරින් ජීවත් වූ අතර, තමන්ව යටත් කරගත් අයට දේශයේ දෙවිවරුන්ව තමන්ගේම දෙවිවරුන් කරගන්නා හැටියට උනන්දු කළා. ගිඩියොන් හා සාමුවෙල් වැනි නිර්භීත විනිශ්චයකරුවන් මෙම රැල්ලට විරුද්ධව කටයුතු කළා. සාමුවෙල් ජනයාට මෙසේ උනන්දු කළා: “අන්‍ය දෙවිවරුන් . . . පහකර දමා නුඹලාගේ සිත් [යෙහෝවා] දෙසටම යොමුකොට [ඔහුට] පමණක් සේවයකරන්න.” කාලයක් යන තුරා, ඉශ්රායෙල් වැසියෝ සාමුවෙල්ගේ උනන්දු කිරීම් පිළිගෙන “බාල් දේවතාවන්ද අෂ්ටාරොත්ද පහකරදමා [යෙහෝවාට] පමණක් සේවයකළෝය.”—1 සාමුවෙල් 7:3, 4; විනිශ්චයකාරයන් 6:25-27.
සාවුල් හා දාවිත්ගේ පාලනයෙන් පසු, සාලමොන් තම සැඳෑ සමයේදී විදේශීය දෙවිවරුන්ට යාග පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. (1 රාජාවලිය 11:4-8) ඉශ්රායෙල් හා යූදාහි වෙනත් රජවරුන්ද එසේ කරමින් බාල්ට යටත් වුණා. කොහොම වුණත්, එලියා, එලිෂා හා යොෂියා වැනි ඇදහිලිවන්ත ප්‍රොපේතවරුන් හා රජවරුන් බාල් වන්දනාවට විරුද්ධව සටන් කිරීමෙහි පෙරමුණ ගත්තා. (2 ලේකම් 34:1-5) තවදුරටත්, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයේ මෙම කාලපරිච්ඡේදය තුළදී, යෙහෝවාට ඇදහිලිවන්තව සිටි පුද්ගලයන් සිටියා. බාල් වන්දනාව හිණිපෙත්තටම නැඟ තිබූ කාලයක් වන ආහබ් හා යෙසෙබෙල් වැනි අයගේ කාලවල පවා, ‘බාල්ට දණ නොනැමූ’ හත්දහස්දෙනෙක් සිටියා.—1 රාජාවලිය 19:18.
අන්තිමේදී, යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයෙන් පැමිණීමෙන් පසු, බාල් වන්දනාව ගැන කිසිම සඳහනක් නැහැ. එස්රා 6:21හි සඳහන් කර ඇති අය හා සමානව, සියල්ලන්ම ‘දෙවි වූ යෙහෝවාව සෙවීමට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී සිටියා.’
බාල් වන්දනාවෙන් අනතුරු ඇඟවීම්
බාල් වන්දනාව නැති වී ගොස් බොහෝ කලක් වන නමුත්, ඒ කානානීය ආගම හා වර්තමාන සමාජය අතර පොදු කාරණයක් පවතියි. එනම් ලිංගිකත්වය උලුප්පා දැක්වීමයි. දුරාචාරය සඳහා ඇති පෙලඹවීම් අප අවට වාතාවරණයේ පවා පැතිරී ඇති බව පෙනෙන්න තිබෙනවා. (එපීස 2:2) “අපේ පොරබැදීම වනාහි . . . මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් [නොපෙනෙන බලවේගයන්ටත්, ෆිලිප්ස්] ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය” කියා පාවුල් අනතුරු අඟවයි.—එපීස 6:12.
සාතන්ගේ මෙම “නොපෙනෙන බලවේගය” මිනිසුන්ව ආත්මිකව වහලුන් බවට පත් කිරීමට ලිංගික දුරාචාරයට දිරි දෙයි. (යොහන් 8:34) වත්මන් දින ප්රතිපත්තිවලින් තොර සමාජය, ලිංගික අන්තයන්ට යෑම්වල නිරත වන්නේ සශ්රීකබවේ වත්පිළිවෙතක් හැටියට නොව, ඒ වෙනුවට, පෞද්ගලික තෘප්තියක් ලැබීමට හෝ හිතු මනාපෙට කටයුතු කිරීමක් හැටියටයි. තවද දෙන ප්‍රචාරය ඒ තරම්ම නම්මාගන්නාසුලුයි. විනෝදාස්වාදය, සංගීතය හා ප්‍රචාරණයෙන් මිනිසුන්ගේ හෘද සාක්ෂිවලට ලිංගික අදහස් කවමින් පවතී. මෙවැනි ප්‍රහාරයකට විරුද්ධව සිටීමට දෙවිගේ සේවකයන්ට සහජ හැකියාවක් නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ක්‍රිස්තියානි සභාවෙන් බහුතරයක්ව කපාහරිනු ලබන්නේ මෙවැනි පුරුදුවල නියැලෙන නිසයි. මෙවැනි දුරාචාරමය ඉඟි නොනවත්වා හෙළාදැකීමෙන් පමණයි ක්‍රිස්තියානියෙකුට පිරිසිදුව සිටිය හැක්කේ.—රෝම 12:9.
යෞවන සාක්ෂිකරුවන් අනතුරුවලට විශේෂයෙන්ම නිරාවරණය වී ඇති අතර, එය එසේ වන්නේ, ඔවුන් ආශා කරන දේවල් ලිංගිකත්වය සමඟ සම්බන්ධව ඇති නිසයි. ඒ විතරක්ද නෙවෙයි, ඔවුන්ට පෙරැත්ත කරන යෞවන අයගේ බලපෑමට ඔවුන් විරුද්ධව සිටීම අවශ්‍ය කරවයි. (හිතෝපදේශ 1:10-15 සසඳන්න.) උදාහරණයක් හැටියට, විශාල එකතු වීම්වලදී බොහෝදෙනෙකු කරදරේ වැටී තිබෙනවා. අතීතයේ සිදු වූ බාල් වන්දනාවට සමානව, සංගීතය, නැටුම් හා ලිංගික ආකර්ෂණය යන මේවා අත්වැල් බැඳගන්නවා.—2 තිමෝති 2:22.
“යෞවනයෙක් තම මාර්ගය පිරිසිදු කරගන්නේ කෙසේද?” කියා ගීතිකාකරු ඇසුවා. “ඔබේ [යෙහෝවාගේ] වචන ප්‍රකාර හැසිරීමෙනි” කියා ඔහු පිළිතුරු දුන්නා. (ගීතාවලිය 119:9, NW) කානානිවරුන් සමඟ තිබූ කිට්ටු සබඳතාව නවත්වන හැටියට දෙවිගේ ව්‍යවස්ථාවේ අණ කොට තිබුණාක් මෙන්, අඥාන වූ ඇසුරේ ඇති අවදානම ගැන බයිබලයෙත් අපට අනතුරු අඟවයි. (1 කොරින්ති 15:32, 33) කාමුක වශයෙන් ආකර්ෂණය විය හැකි, එහෙත් සදාචාරමය වශයෙන් හානිදායක බව දන්නා දෙයකට බැහැයි හෝ එපා කියා පැවසීමෙන් යෞවන ක්‍රිස්තියානියෙක් තම මේරූබව පෙන්නුම් කරයි. එලියා කළාක් මෙන් අපත්, අප වෙනුවෙන් තීරණය ගැනීමට පොදු ජන මතයට ඉඩ නොදිය යුතුයි.—1 රාජාවලිය 18:21; සසඳන්න මතෙව් 7:13, 14.
“පහසුවෙන් අප අසුකරන පාපය” වන ඇදහිල්ලේ ඌනතාව තවත් අනතුරු ඇඟවීමක් වෙතට අපේ අවධානය යොමු කරවයි. (හෙබ්‍රෙව් 12:1) ඉශ්රායෙල්වරුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවාව විශ්වාස කළ බව පෙනෙන්ට තිබුණද, තම අස්වනු ආරක්ෂා කිරීම සඳහා හා තමන්ගේ දෛනික අවශ්‍යතා සපයා දීම සඳහා ඔවුන් බාල් වෙතට හැරුණා. යෙහෝවාගේ දේවමාළිගාව හුඟක් ඈත පිහිටා ඇති බවත් ඔහුගේ පනත් පැවැත්වීම ප්‍රායෝගික නොවන දෙයක් බවත් ඔවුන් හිතන්න ඇති. බාල් වන්දනාව ඇත්තෙන්ම පීඩනයක් ඇති කළේවත් අපහසු වූයේවත් නැහැ. තමන්ගේ නිවසේ උඩුමහල්වල පවා බාල්ට දුම් ඔප්පු කිරීමට ඔවුන්ට හැකිව තිබුණා. (යෙරෙමියා 32:29) ඇතැම්විට සමහරක් වත්පිළිවෙත්වල සහභාගි වීම හෝ යෙහෝවාගේ නාමයෙන් බාල්ට පූජා ඔප්පු කිරීම මගින් ඔවුන් බාල් වන්දනාවට ඇදී යන්න ඇති.
ඇදහිල්ල අඩු වී ජීවමාන දෙවිගෙන් අපව ඉවතට ඇදී යා හැක්කේ කෙසේද? (හෙබ්‍රෙව් 3:12) රැස්වීම් හා එක්රැස්වීම් සඳහා අපට කලින් තිබූ අගය ක්‍රමක්‍රමයෙන් නැතුව යන්න ඉඩ තිබෙනවා. එවැනි ආකල්පයක් මගින්, ‘නියමිත වේලාවට [ආත්මික] කෑම සැපයීමට’ වූ දෙවිගේ සැපයුම කෙරෙහි විශ්වාසයේ ඌනබවක් පිළිබිඹු කරයි. (මතෙව් 24:45-47) මෙසේ දුර්වල වීමෙන්, “ජීවනදායක වචනය කෙරෙහි ඇති ග්‍රහණය” අඩුවීමට හෝ බෙදුණු හදවතක් වගා කිරීමට ඉඩ තිබෙනවා; මෙමගින් ද්‍රව්‍යමය ලුහුබැඳීම්වලට හෝ දුරාචාරයට යටත් වීමටත් ඉඩ තිබෙනවා.—පිලිප්පි 2:16, NW; සසඳන්න ගීතාවලිය 119:113.
අපේ අඛණ්ඩතාවට තදින් ඇලී සිටීම
අපේ හදවත සඳහා ගැටුමක් තිබෙන බවට කිසිම සැකයක් නැහැ. අප යෙහෝවාට පක්ෂපාත වන්න යනවාද එසේත් නැත්නම් මෙම ලෝකයේ ඇති දුරාචාරමය ජීවන ක්‍රමය මගින් සිත වෙනතකට යොමු කරගන්න යනවාද? කණගාටුවට කරුණක් වන්නේ, එදා ඉශ්රායෙල්වරු කානානිවරුන්ගේ තුච්ඡ වත්පිළිවෙත්වලට ඇදී ගියා සේ, ලජ්ජාසහගත ක්‍රියාවල නිරත වීමට ක්‍රිස්තියානි ස්ත්‍රීන් හා පුරුෂයන් සමහරදෙනෙක් පෙලඹී තිබීමයි.—හිතෝපදේශ 7:7, 21-23 සසඳන්න.
අපත් මෝසෙස් මෙන් ‘අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටියොත්’ එවැනි ආත්මික පරාජයක් අත්වීම වළක්වාගන්න පුළුවන්. (හෙබ්‍රෙව් 11:27) ඇත්තෙන්ම, “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් [පොර ඇල්ලීම]” අවශ්‍යයි. (යූද් 3) නමුත් අපේ දෙවිට හා ඔහුගේ ප්‍රතිපත්තිවලට පක්ෂපාතව සිටීමෙන්, බොරු ආගම සදහටම තුරන් වන කාලය දෙස අපට වුවමනාවෙන් බලා සිටිය හැකියි. බාල් වන්දනාව අබිබවා යෙහෝවාගේ නමස්කාරය ජයගත්තාක් මෙන්, ළඟදීම, ‘මුහුද ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන් පොළොවද යෙහෝවා ගැන දැනගැන්මෙන් පිරී යන’ බව අප නිසැක විය හැකියි.—යෙසායා 11:9.
[31වන පිටුවේ පින්තූරය]
බාල් වන්දනාවේදී යොදාගැනුණු පරිශුද්ධ කුලුනු ඇති ගෙශෙර්හි නටබුන්
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Musée du Louvre, Paris