දේවවචනය “ප්රාතිහාර්ය” සිදු කරයි
ටෙරෙස් ඒයොං පැවසූ පරිදි
වර්ෂ 1965දී දිනක්, මම ව්‍යාපාර ආයතනයකට ඇතුල් වී, වෙළෙන්දන්ට මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පිටපත් ඉදිරිපත් කළා. පිටත්වීමට හැරෙනවාත් එක්කම, මට වෙඩි හඬක් ඇසුණා. වෙඩි උණ්ඩයක් මගේ කකුල ළඟින් පොළොවේ වැදී ගියා. “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කටයුතු කළ යුත්තේ එහෙමයි,” කියා වෙළෙන්දන්ගෙන් කෙනෙක් අපහාස කළා.
එම අද්දැකීම මාව බියගැන්වුවත්, මගේ පූර්ණ කාලීන සේවය අත්හැරීමට තරම් එය ප්‍රමාණවත් වුණේ නැහැ. මගේ දේවසේවය අත්හැරීමට මාව පොලඹවන්න කිසිවකට ඉඩ දීමට නොහැකි වන තරමට, මම ඉගෙනගෙන තිබූ බයිබල් සත්‍යයන් මට ඉතාමත් වටිනා යමක් වුණා. මම මෙසේ පවසන්නේ මන්ද කියා පැහැදිලි කරන්නම්.
වර්ෂ 1918 ජූලි මාසයේ මම ඉපදුණාට පසුව, මගේ දෙමාපියන් ප්රාතිහාර්ය සිදු වන ස්ථානය ලෙසට ප්‍රසිද්ධ, කැනඩාවේ ක්විබෙක්හි කුඩා ගමක් වන කැප්-ඩ-ලා-මැඩෙලේන්වල පදිංචි වුණා. කන්‍ය මරියාගේ සුරුවමට ගරුබුහුමන් පිදීමට සංචාරකයන් මෙහි එක්රොක් වුණා. ප්රාතිහාර්යයන්, මරියා විසින් සිදු කළ බවට ඔප්පු කිරීමට නොහැකි වුවත්, පදිංචිකරුවන් 30,000කට අධික ප්‍රමාණයකින් යුත් නගරයක් බවට ඒ ගම වර්ධනය වී තිබෙනවාත් සමඟම, දේවවචනය මිනිසුන් ගණනාවකගේ ජීවිතවල ප්රාතිහාර්යයන්යයි කිව හැකි දේවල් සිදු කර තිබෙනවා.
මට අවුරුදු 20ක් පමණ වෙද්දී, ආගමික කාරණා කෙරෙහි වූ මගේ උනන්දුව දැක්ක පියා, ඔහුගේ බයිබලය මට දුන්නා. මම එය කියවන්ට පටන්ගත් විට, නික්මයාම 20වන පරිච්ඡේදය රූප වන්දනාව හෙළා දැක තිබෙන බව දැනගැනීමෙන් පුදුමයට පත් වුණා. කතෝලික පල්ලියේ ඉගැන්වීම් කෙරෙහි තිබූ මගේ නිසැකකම විගස නැති වී ගිය අතර, මම පූජාවට යෑම නතර කළා. රූප වන්දනා කිරීමට මට වුවමනා වුණේ නැහැ. “ටෙරෙස්, ඔයා පල්ලි යන්නේ නැද්ද?” යයි මගේ පියා පවසනවා මට තවමත් මතකයි. “නැහැ, මම බයිබලය කියවනවා” කියා මම පිළිතුරු දුන්නා.
වර්ෂ 1938 සැප්තැම්බර් මාසයේදී මා විවාහ වූවාට පසුව පවා, නොකඩවා බයිබලය කියවීම මගේ ජීවිතයේ කොටසක් වුණා. මගේ සැමියා රෝසර් බොහෝවිට රාත්‍රි සේවයේ යෙදී සිටි නිසා, ඔහු රැකියාවේ යෙදී සිටින කාලයේදී, බයිබලය කියවීම මම පුරුද්දක් ලෙස කරගෙන සිටියා. දෙවියන්වහන්සේට සෙනඟක් සිටිය යුතු බව මට ඉක්මනින්ම වැටහී ගිය අතර, මම ඔවුන්ව සෙවීමට පටන්ගත්තා.
දෙවියන්වහන්සේගේ සෙනඟ සඳහා වූ මගේ සෙවීම
බාල කාලයේදී මම පල්ලියෙන් ඉගෙනගෙන තිබූ දේවල් හේතුවෙන්, මා අවදි වන විට නිරයේ සිටිනු ඇතැයි යන බිය නිසා මම නිදාගන්ට බය වුණා. එවන් බියට එරෙහිව සටන් කිරීම සඳහා, ප්‍රේමයේ දෙවියන්වහන්සේ එවන් භයානක දෙයක් සිදුවීමට ඉඩ දෙන්නේ නැති බව මම මටම කියාගත්තා. මම නිසැකකමකින් යුතුව, සත්‍යය සොයමින් බයිබලය දිගටම කියෙව්වා. මම හරියට, කියෙව්වත් තේරුම් නොගත් එතියෝපිය නපුංසකයා වගේ සිටියා.—ක්‍රියා 8:26-39.
අපගේ මහලට යට මහලේ පිහිටි නිවසක ජීවත් වූ මගේ සහෝදරයා ආංඩ්රේ සහ ඔහුගේ බිරිඳ, 1957දී පමණ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. සාක්ෂිකරුවන් දේශනා කිරීමට ගොඩනැඟිල්ලට පැමිණි විට, සීලිමට තට්ටු කිරීමෙන් මට අනතුරු අඟවන්න කියා මම මගේ නෑනට කිව්වා. එවිට දොර විවෘත නොකළ යුතු බව මම දැන සිටියා. දිනක් ඇය මට අනතුරු ඇඟවීමට අසමත් වුණා.
එදින දොර විවෘත කළ විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන් ලෙස හඳුන්වනු ලබන පුරෝගාමියෙක් වන කේ මන්ඩේව මට හමු වුණා. ඇය මා සමඟ දෙවියන්වහන්සේගේ නාමය ගැන කතා කළ අතර, දෙවියන්වහන්සේට යෙහෝවා කියා පෞද්ගලික නමක් තිබෙන බව මට පැහැදිලි කළා. ඇය පැවසූ දෙයට ඇත්තටම ආධාරක බයිබල් පද තිබුණාද කියා ස්ථිර කරගැනීම සඳහා ඇය ගියාට පසුව, මම මගේ බයිබලය පරීක්ෂා කර බැලුවා. මගේ පර්යේෂණය මාව වඩාත් සතුටට පත් කළා.—නික්මයාම 6:3, ඩුඒ වර්ෂන්, පාද සටහන; මතෙව් 6:9, 10; යොහන් 17:6.
කේ නැවත පැමිණි විට, දෙවියන්වහන්සේ වනාහි එක දෙවිකෙනෙක් තුළ සිටින පුද්ගලයන් තිදෙනෙක් බව කියන කතෝලික මූලධර්මයක් වන ත්‍රිත්වය ගැන අපි සාකච්ඡා කළා. පසුව මගේ බයිබලය ත්‍රිත්වය ගැන උගන්වන්නේ නැති බවට මාවම සෑහීමකට පත් කරගැනීම සඳහා මම එය පරෙස්සමින් පරීක්ෂා කළා. (ක්‍රියා 17:11) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ තරම්ම ශ්‍රේෂ්ඨ නොවන බව මගේ අධ්‍යයනයෙන් ස්ථිර වුණා. උන්වහන්සේව මවනු ලැබුවා. උන්වහන්සේට ආරම්භයක් තිබුණා, නමුත් යෙහෝවඃවහන්සේට එසේ තිබුණේ නැහැ. (ගීතාවලිය 90:1, 2; යොහන් 14:28; කොලොස්සි 1:15-17; එළිදරව් 3:14) මා ඉගෙනගනිමින් සිටි දේ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ නිසා, බයිබල් සාකච්ඡා දිගටම කරගෙන යෑමට මම සතුටු වුණා.
වර්ෂ 1958දී, නොවැම්බර් මාසයේ හිම කුණාටුවක් අතරතුර දිනක, එම සන්ධ්‍යාවේම කුලියට ගත් ශාලාවක පවත්වනු ලබන චාරිකා එක්රැස්වීමට පැමිණීමට කේ මට ආරාධනා කළා. මම ආරාධනය පිළිගත් අතර, වැඩසටහනින් සතුටක් ලැබුවා. පසුව, මා ළඟට ආවා වූ සාක්ෂිකරුවෙකු සමඟ කළ සාකච්ඡාවකදී, මම මෙසේ ඇසුවා, “සැබෑ ක්‍රිස්තියානියෙක් ගෙයින් ගෙට දේශනා කළ යුතුද?”
“ඔව්, ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි, ඒ වගේම මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් ඒ අයව බැහැදැකීම දේශනා සේවයේ වැදගත් ක්‍රමයක් බව බයිබලය පෙන්වනවා” කියා ඔහු පැවසුවා.—ක්‍රියා 20:20.
එම පිළිතුරෙන් මම කෙතරම් සතුටු වුණාද! මම දෙවියන්වහන්සේගේ සෙනඟව සොයාගෙන තිබූ බව, එය මට ඒත්තුගැන්වුවා. “නැහැ, එය අවශ්‍ය නැහැ” කියා ඔහු පවසා තිබුණා නම්, මම සත්‍යය සොයාගෙන තිබේදැයි කියා මා සැක කරන්ට ඉඩ තිබුණා, මොකද, ගෙයින් ගෙට දේශනා කිරීම ගැන බයිබලය පවසන දෙය මම දැනගෙන සිටියා. එතැන් පටන්, ඉතා ඉක්මන් ආත්මික ප්‍රගතියක් ලබාගත්තා.
එම චාරිකා එක්රැස්වීමට පසුව, ළඟපාත පිහිටි ට්රවාරිවියර් නමැති නගරයේ පවත්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑමට මම පටන්ගත්තා. එවකට කැප්-ඩ-ලා-මැඩෙලේන්වල ජීවත්ව සිටි සාක්ෂිකරුවන් වූයේ කේ සහ ඇගේ හවුල්කාරිය ෆ්ලොරන්ස් බෝමන් පමණයි. දිනක් මම මෙසේ පැවසුවා, “හෙට ඔයාලත් එක්ක දේශනා සේවයේ යන්න මමත් එනවා.” ඔවුන් හා කැටුව යෑමට මාත් සිටීම ගැන ඔවුන් සතුටු වුණා.
මගේ ගමේ දේශනා කිරීම
බයිබල් පණිවුඩය සෑම කෙනෙක්ම පිළිගනී කියා මම සිතුවා, ඒත් තත්වය එසේ නොවූ බව මම ඉක්මනින් දැනගත්තා. කේ සහ ෆ්ලොරන්ස් වෙනත් ස්ථානයකට පැවරුම් ලැබූ විට, නගරයේ ගෙයින් ගෙට බයිබල් සත්‍යයන් දේශනා කළ එකම පුද්ගලයා වූයේ මා පමණයි. වර්ෂ 1963 ජූනි මස 8වනදා මගේ බව්තීස්මය තෙක්, මම නිර්භයව දිගටම වසර දෙකක් පමණ තනියම දේශනා සේවයේ යෙදුණා. එදිනම, එවකට නිවාඩු කාල පුරෝගාමී සේවය යනුවෙන් හඳුන්වනු ලැබූ සේවයට මම ඇතුල් වුණා.
නිවාඩු කාල පුරෝගාමියෙකු වශයෙන් මම දිගටම වසරක් සේවය කළා. ඉන්පසුව, මම ස්ථාවර පුරෝගාමියෙකු බවට පත් වුවහොත්, සතියකට වරක් කැප්-ඩ-ලා-මැඩෙලේන්වලට පැමිණ මා සමඟ සේවය කිරීමට ඩෙල්වීනා සැංලෝරාං පොරොන්දු වුණා. ඉතින් මම මගේ පුරෝගාමී අයදුම්පත පිරෙව්වා. එසේවුවත්, මම පූර්ණ කාලීන සේවය පටන්ගැනීමට හුදෙක් සති දෙකකට පෙර ඩෙල්වීනා මියයෑම කනගාටුවට කරුණක් වුණා. මා කුමක් කරනු ඇද්ද? ඇත්තෙන්ම, මම අයදුම්පත පුරවා තිබුණු නිසා, මගේ අදහස වෙනස් කිරීමට මම කැමති වුණේ නැහැ. ඉතින් මම 1964 ඔක්තෝබර් මස මගේ වෘත්තිය ලෙස පූර්ණ කාලීන සේවය පටන්ගත්තා. ඊළඟ වසර හතර පුරාම මම ගෙයින් ගෙට ගියේ තනියමයි.
කැප්-ඩ-ලා-මැඩෙලේන්වල සිටි භක්තිවන්ත කතෝලිකයන් බොහෝවිට දැඩි විරෝධයක් දැක්වූවා. දේශනා කිරීමෙන් මාව වැළැක්වීමේ උත්සාහයක් වශයෙන් සමහරු පොලීසිය කැඳෙව්වා. ආරම්භයේදී මම සඳහන් කළාක් මෙන්, දිනක්, වෙළෙන්දෙක් මගේ කකුල ළඟට වෙඩි තැබීමෙන් මාව භයගන්වන්ට උත්සාහ කළා. කොහොම වුණත්, මෙය නගරයේ සැලකිය යුතු තරම් කැළඹීමක් ඇති කළා. ප්‍රාදේශීය රූපවාහිනී මධ්‍යස්ථානය එය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ බලවත් ව්‍යාපාරයක් ලෙස හැඳින්වුවා. සිද්ධියේ ප්‍රතිඵලය වූයේ සතුටුදායක සාක්ෂියකි. ඇරත්, වසර දහයකට පසුව, මට වෙඩි තැබූ වෙළෙන්දාගේ ඥාතියෙක් සාක්ෂිකරුවෙක් බවට පත් වුණා.
දේවවචනය මගින් ක්‍රියාත්මක වූ “ප්රාතිහාර්ය”
ගෙවී ගොස් තිබෙන වසර ගණනාව පුරා කැප්-ඩ-ලා-මැඩෙලේන්හි බයිබල් සත්‍යයන් සඳහා තිබූ මහත් විරුද්ධවාදිකම් ක්‍රම ක්‍රමයෙන් අඩු වී යෑම මම දැක තිබෙනවා. වර්ෂ 1968දී පමණ, වෙනත් සාක්ෂිකරුවන් මෙහි පැමිණි අතර, ප්‍රදේශවාසීන් බයිබල් සත්‍යයන්ට ප්‍රතිචාර දැක්වීමට පටන්ගත්තා. ඇත්තෙන්ම කියනවා නම්, 1970 ගණන්වල මුල්භාගයේදී පමණ, බයිබල් පාඩම් සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් තිබුණා. එය කෙතරම්ද කියනවා නම්, මට දිගටම යම් සහභාගිත්වයක් තිබීමට හැකි වන පරිදි, මා පවත්වමින් සිටි බයිබල් පාඩම්වලින් කිහිපයක් භාරගන්නා මෙන් වෙනත් සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටීමට මට සිදු වුණා.
දිනක් තරුණ කාන්තාවක් සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය නම් බයිබල් අධ්‍යයන ආධාරකය මගෙන් ලබාගත්තා. ඒ අවස්ථාවේදී ඇය සමඟ ආශ්‍රය කරමින් සිටි සැර පරුෂ අපරාධකරුවෙක් වූ ආංඩ්රේ නම් තරුණයාද සාකච්ඡාවට සම්බන්ධ වුණා. ආංඩ්රේ සමඟ කළ සාකච්ඡාවකින් ඔහුගේ උනන්දුව අවදි වුණු අතර, බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබුවා. ඉන් වැඩි කලක් යන්ට මත්තෙන් තමා ඉගෙනගනිමින් සිටි දේ ගැන ඔහු තම මිතුරන් සමඟ කතා කරන්ට පටන්ගත්තා.
එක් අවස්ථාවකදී, මැරවරයන් හතරදෙනෙක් සමඟ මම බයිබලය පාඩම් කරමින් සිටි අතර, ඉන් එක් අයෙක් වැඩියෙන් කිසිවක් නොපැවසූ මුත් හොඳින් ඇහුම්කන් දුන්නා. ඔහුගේ නම පයර්. දිනක් පාන්දර දෙකට පමණ මටයි මගේ සැමියාටයි දොරට තට්ටු කරන හඬක් ඇසුණා. මේ දර්ශනය සිතා බලන්න: මගෙන් ඇසීමට ප්‍රශ්න ඇතුව මැරවරයන් හතරදෙනෙක් සිටගෙන සිටියා. භාග්‍යයකට මෙන්, අවෙලාවේ කරන එවන් බැහැදැකීම් ගැන රෝසර් කිසිදාක පැමිණිලි කළේ නැහැ.
ආරම්භයේදී එම පුරුෂයන් හතරදෙනාම රැස්වීම්වලට පැමිණියා. කෙසේවෙතත්, දිගටම සිටියේ ආංඩ්රේ සහ පයර් පමණයි. ඔවුන් තම ජීවිත දෙවියන්වහන්සේගේ ප්‍රමිතිවලට එකඟ කරගෙන බව්තීස්ම වුණා. දැන් අවුරුදු 20කට වැඩි කාලයක් පුරා මෙම පුරුෂයන් දෙදෙනාම විශ්වාසවන්තව යෙහෝවඃවහන්සේට සේවය කර තිබෙනවා. ඔවුන් පාඩම් කිරීමට පටන්ගත් විට, ඔවුන්ගේ අපරාධ ක්‍රියා සඳහා ඔවුන් ප්‍රසිද්ධව සිටි නිසා පොලීසියේ අවධානයට ලක් වී සිටියා. සමහරවිට අපගේ බයිබල් පාඩමකට පසුව, නැත්නම් සභාවේ රැස්වීමක් අතරතුර පොලීසිය ඔවුන් සොයාගෙන ආවා. “සියලු ආකාර මනුෂ්‍යයන්ට” දේශනා කිරීම මගින්, සැබවින්ම ප්රාතිහාර්යමය වෙනස්කම් සිදු කිරීමට දේවවචනය බලපාන ආකාරය කෙළින්ම දැකගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.—1 තිමෝති 2:3, NW.
මගේ දේවසේවය ආරම්භයේදී කැප්-ඩ-ලා-මැඩෙලේන්වල රාජ්‍ය ශාලාවක් තිබෙන්ට යන බවටත්, එය යෙහෝවඃවහන්සේගේ ජනයාගෙන් පිරී තිබෙන්ට යන බවටත් මට කියා තිබුණා නම්, මම එය පිළි නොගන්ට ඉඩ තිබුණා. ට්රවාරිවියර් නමැති අසල්වැසි නගරයක වූ එක් කුඩා සභාවක්, කැප්-ඩ-ලා-මැඩෙලේන් සභාව ඇතුළුව, රාජ්‍ය ශාලා තුනක රැස්වන වැඩිදියුණු වූ සභා හයකට වර්ධනය වීම මගේ සතුටට හේතුවක් වී තිබෙනවා.
කැපවීම හා බව්තීස්මය කරා ළඟාවීමට 30දෙනෙකුට පමණ උපකාර කිරීමේ ප්‍රීතිය මම පෞද්ගලිකව ලබා තිබෙනවා. දැන්, වයස අවුරුදු 78 පසු වන මට, මගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කිරීම නිසා සතුටින් සිටින බව සැබවින්ම කියන්න පුළුවන්. කෙසේවෙතත් අධෛර්යයට පත් වූ අවස්ථා මට තිබූ බව මම පිළිගත යුතුයි. එවන් කාලපරිච්ඡේදයන්ගෙන් ජයගැනීම සඳහා, මම සෑමවිටම මගේ බයිබලය ඇර මට මහත් ප්රබෝධයක් ලබා දෙන සමහරක් ඡේද කියවනවා. දේවවචනය නොකියවා දිනක් ගත කිරීම මට සිතාගන්ටවත් බැහැ. යොහන් 15:7 විශේෂයෙන් දිරිගන්වනසුලු පදයක්, එහි මෙසේ කියවන්ට තිබෙනවා: “නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා, එවිට නුඹලාට ලැබේ.”
ඉතාමත් ආසන්නව තිබෙන නව ලෝකයේ රෝසර්ව හමුවීම මගේ බලාපොරොත්තුවයි. (2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) වර්ෂ 1975දී ඔහුගේ මරණයට පෙර ඔහු බව්තීස්මය කරා හොඳ ප්‍රගතියක් ලබමින් සිටියා. පූර්ණ කාලීන දේවසේවය නොනවත්වා කරගෙන යෑමටත්, දිගටම යෙහෝවඃවහන්සේගේ සේවයේ ඉමහත් ප්‍රීතියක් ලබමින් සිටීමටත්, මම දැනට තීරණය කර තිබෙනවා.