“නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා”
“නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.”—1 පේතෘස් 1:15, 16.
1. ක්‍රිස්තියානීන් ශුද්ධ විය යුතු බවට පේතෘස් දිරිගැන්වූයේ ඇයි?
ප්‍රේරිත පේතෘස් ඉහත සඳහන් උපදේශය දුන්නේ ඇයි? ක්‍රිස්තියානියෙකුගේ සිතුවිලි හා ක්‍රියා යෙහෝවඃවහන්සේගේ ශුද්ධකමට එකඟව තබාගැනීමේ අවශ්‍යතාව ඔහු දුටු නිසාය. එබැවින්, ඉහත සඳහන් වදන්වලට කලින් ඔහු මෙසේ කීවේය: “නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට . . . නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්” සිටින්න.—1 පේතෘස් 1:13, 14.
2. සත්‍යය ඉගෙනීමට කලින් අපේ තෘෂ්ණා අශුද්ධ වූයේ ඇයි?
2 කලින් අපට තිබූ තෘෂ්ණා අශුද්ධ ඒවා විය. ඒ ඇයි? ක්‍රිස්තියානි සත්‍යතාව පිළිගැනීමට කලින්, අපෙන් බොහෝදෙනෙකු ලෞකික ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ නිසාය. පේතෘස් පැහැදිලිව මෙසේ ලිවූ විට ඔහු ඒ කාරණය දැනසිටියේය: “සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.” ඇත්තෙන්ම අපේ නූතන ලෝකයට පොදු වූ අශුද්ධ ක්‍රියා පේතෘස් සඳහන් නොකළේ, ඒවා ඒ කාලයේ නොදත් ඒවා වූ නිසාය.—1 පේතෘස් 4:3, 4.
3, 4. (අ) අපට වැරදි තෘෂ්ණාවලට එරෙහිව කටයුතු කළ හැක්කේ කෙසේද? (ආ) ක්‍රිස්තියානීන් හැඟීම් නැති අය විය යුතුද? පැහැදිලි කරන්න.
3 මෙම තෘෂ්ණා මාංසයට, ඉඳුරන් හා හැඟීම්වලට බලපෑම් කරන බව ඔබ සැලකිල්ලට ගත්තේ නැද්ද? මේවාට බලපැවැත්වීමට අප ඉඩ දෙන විට, අපේ සිතුවිලි හා ක්‍රියා පහසුවෙන්ම අශුද්ධ තත්වයකට පත් වෙයි. තර්ක කිරීමේ හැකියාව මගින් අපේ ක්‍රියා පාලනය කිරීමේ අවශ්‍යතාව මෙය පැහැදිලි කරයි. පාවුල් කාරණය මෙසේ පැහැදිලි කළේය: “එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික [තර්ක කිරීමේ හැකියාවෙන් පාලනය වන පරිශුද්ධ, NW] සේවය වේ.”—රෝම 12:1, 2.
4 දෙවියන්වහන්සේට ශුද්ධ යාගයක් ඉදිරිපත් කිරීමට නම්, හැඟීම්වලට නොව, තර්ක කිරීමේ හැකියාවට බලපැවැත්වීමට අප ඉඩ දිය යුතුය. තමුන්ගේ හැසිරීම පාලනය කිරීමට හැඟීම්වලට ඉඩ දීම නිසා කෙතරම් විශාල සංඛ්‍යාවක් දුරාචාරයට ඇද වැටී ඇද්ද! අපේ හැඟීම් මර්දනය කළ යුතු බව මින් අදහස් කරනවා නොවේ; එසේ සිදු වුවහොත් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි ප්‍රීතිය ප්‍රකාශ කිරීමට අපට හැකි වන්නේ කෙසේද? කෙසේවෙතත්, මාංසයේ ක්‍රියාවලට වඩා ආත්මයේ ඵල උපදවන්ට අපට ඕනෑ නම්, අපේ මනස් ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවිලි රටාවට අනුව සකස් කරගැනීමට සිදු වේ.—ගලාති 5:22, 23; පිලිප්පි 2:5.
ශුද්ධ මිලක් ගෙවූ නිසා ශුද්ධ ජීවිතයක්
5. ශුද්ධකමේ අවශ්‍යතාව ගැන පේතෘස් සාවධානව සිටියේ ඇයි?
5 ක්‍රිස්තියානි ශුද්ධකමේ අවශ්‍යතාව ගැන පේතෘස් එතරම් සාවධානව සිටියේ ඇයි? කීකරු මිනිස්වර්ගයා මුදාගැනීමට ගෙවා තිබූ ශුද්ධ මිලය ගැන ඔහු හොඳින් දැන සිටි නිසාය. ඔහු මෙසේ ලීවේය: “නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.” (1 පේතෘස් 1:18, 19) ඔව්, ශුද්ධකමේ උල්පත වන යෙහෝවඃ දෙවියන්වහන්සේ, “ශුද්ධ තැනන්වහන්සේ” වන තම ඒකජාතක පුත්‍රයාණන්ව පොළොවට එව්වේ, දෙවියන්වහන්සේ සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට ජනයාට මාර්ගය විවෘත කර දෙන මිදීමේ මිලයක් ගෙවීමටයි.—යොහන් 3:16; 6:69; නික්මයාම 28:36; මතෙව් 20:28.
6. (අ) ශුද්ධ ලෙස හැසිරීමට වීර්යය කිරීම අපට පහසු දෙයක් නොවන්නේ ඇයි? (ආ) අපේ හැසිරීම ශුද්ධව තබාගැනීමට උපකාර විය හැක්කේ කුමක්ද?
6 කෙසේවෙතත්, සාතන්ගේ දූෂිත ලෝකයේ සිටිද්දී ශුද්ධ ජීවිතයක් ගත කිරීම පහසු දෙයක් නොවන බව අප පිළිගත යුතුයි. ඔහුගේ දේවල පිළිවෙළට ගොදුරු නොවී ජීවත්වීමට වෑයම් කරන සැබෑ ක්‍රිස්තියානීන්ව හසු කරගැනීමට ඔහු උගුල් අටවයි. (එපීස 6:12; 1 තිමෝති 6:9, 10) රැකියාවෙන්, පවුලේ හටගන්නා විරුද්ධවාදිකම්වලින්, පාසැලේදී සමච්චලයට ලක්වීමෙන් හා සමවයසේ අයගෙන් එල්ල වන පීඩනය හේතුවෙන් අප මත ඇති වන පීඩනය නිසා, ශුද්ධකම රැකීමට ශක්තිමත් ආත්මික තත්වයක් අත්‍යවශ්‍ය කරවයි. අපේ පෞද්ගලික පාඩම හා ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා යෑම කෙතරම් වැදගත්ද කියා ඉන් කැපීපෙනෙන්ට සැලැස්වේ. පාවුල් තිමෝතිට මෙසේ උපදෙස් දුන්නේය: “නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටපන්න.” (2 තිමෝති 1:13) රාජ්‍ය ශාලාවේදී මෙන්ම බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී එම සාර වූ වචන ඇසීමට අපට අවස්ථාව ලැබේ. විවිධාකාර අවස්ථාවන්හිදී දිනපතාම අපේ හැසිරීමේදී ශුද්ධ වීමට ඒවා අපට උපකාරවත් විය හැක.
පවුල තුළ ශුද්ධ හැසිරීම
7. ශුද්ධකම අපේ පවුල් ජීවිතයට බලපෑ යුත්තේ කෙසේද?
7 පේතෘස් ලෙවී කථාව 11:44න් උපුටා දැක්වූ විට, ඔහු හැʹජි·ඔස් යන ග්‍රීක් වචනය පාවිච්චි කළේය; එහි තේරුම, “පාපයෙන් වෙන් කර තැබූ, ඒ හේතුවෙන් දෙවියන්වහන්සේට කැප වූ, පරිශුද්ධ” වූ දෙයක් යන්නයි. (ඇන් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස්, ඩබ්. ඊ. වයින් විසිනි) අපේ ක්‍රිස්තියානි පවුල් ජීවිතයේදී මෙය අපට බලපෑ යුත්තේ කෙසේද? “දෙවියන්වහන්සේ ප්‍රේමය” වන බැවින්, සහතිකවම අපේ පවුල් ජීවිතය ප්‍රේමය මත පදනම් විය යුතු බව ඉන් අදහස් කෙරේ. (1 යොහන් 4:8) ප්‍රේමය නමැති තෛලය කලත්‍රයන් මෙන්ම දෙමාපියන් හා දරුවන් අතරද සනීපදායී සබඳතා වර්ධනය වීමට රුකුලක් වෙයි.—1 කොරින්ති 13:4-8; එපීස 5:28, 29, 33; 6:4; කොලොස්සි 3:18, 21.
8, 9. (අ) ඇතැම් අවස්ථාවල ක්‍රිස්තියානි නිවසක වර්ධනය වන තත්වය කුමක්ද? (ආ) මේ කාරණය සම්බන්ධයෙන් බයිබලය දෙන්නේ කුමන වටිනා උපදෙස්ද?
8 එවැනි ප්‍රේමයක් ක්‍රිස්තියානි පවුලක ඉබේම දක්වනු ලැබෙයි කියා අපට සිතිය හැක. එහෙත්, පිළිගත යුතු දෙයක් වන්නේ, ඇතැම් ක්‍රිස්තියානි නිවෙස්වල පැවතිය යුතු ප්‍රමාණයට ප්‍රේමය නොතිබෙන බවයි. රාජ්‍ය ශාලාවේදී එවන් ප්‍රේමයක් තිබෙන බව පෙනුණත්, නිවසේදී අපේ ශුද්ධකම ඉතා පහසුවෙන් හීන වී යා හැක. එවිට භාර්යාව අපේ ක්‍රිස්තියානි සහෝදරිය බවත්, රාජ්‍ය ශාලාවේදී ගෞරව කරන බවට දැක්වූ ස්වාමිපුරුෂයා එම සහෝදරයාම (ඇතැම්විට උපස්ථායක සේවකයෙකු හෝ වැඩිමහල්ලෙකු) බවත් හදිස්සියේම අමතක කරදැමීමට අප නැඹුරු විය හැක. කෝපය ඇති වන අතර, සැර විවාද හටගනී. අපේ ජීවිත තුළට දෙබිඩි ප්‍රමිතියක් පවා රහසින් ඇතුල් විය හැක. තවදුරටත් තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේට සමාන ස්වාමිපුරුෂයෙකු හා භාර්යාවක අතර සබඳතාවක් නොව, නමුත් සටන් වදින පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර දක්නට ලැබෙන සබඳතාවකි. නිවසේදී ශුද්ධ වාතාවරණයක් තිබිය යුතු බව ඔවුහු අමතක කරති. ඇතැම්විට ඔවුන් ලෝකයේ පුද්ගලයන් මෙන් කතා කරනවා විය හැක. එවිට කටින් අශිෂ්ට, සරදම්ශීලී අදහස් කෙතරම් ලෙහෙසියෙන් නික්මෙනවා ඇද්ද!—හිතෝපදේශ 12:18; සසඳන්න ක්‍රියා 15:37-39.
9 කෙසේවෙතත්, පාවුල් මෙසේ උපදෙස් දෙයි: “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් [ග්‍රීක්, ලෝʹගොස් සා·ප්‍රොස්ʹ, “අපවිත්‍ර කරවන කතා” එබැවින් අශුද්ධ යමක්] නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියාපල්ලා.” දරුවන් ඇතුළුව නිවසෙහි “අසන්නන්” සියලුදෙනාටම එය යොමු දක්වයි.—එපීස 4:29; යාකොබ් 3:8-10.
10. ශුද්ධකම පිළිබඳ උපදෙස් දරුවන්ට අදාළ වන්නේ කෙසේද?
10 එමෙන්ම ශුද්ධකම පිළිබඳ මෙම මාර්ග දර්ශකය ක්‍රිස්තියානි පවුලේ සිටින දරුවන්ට එක සමානව අදාළ වෙයි. ඔවුන් පාසැල් ඇරී ගෙදර පැමිණ තම ලෝකයේ සමවයසේ මිතුරන්ගේ කැරලිකාර අගෞරවනීය කතා අනුකරණය කිරීම කෙතරම් පහසුද! දරුවෙනි, යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘට අපහාස කළ අශිෂ්ට පිරිමි ළමුන් විදහාපෙන්වූ ආකල්ප පෙන්වීමට නොපෙලඹෙන්න! ඒ ළමුන්ට සමානව අදදිනත් කැත වචන පාවිච්චි කරන, අපහාසාත්මක ළමයි සිටිති. (2 රාජාවලිය 2:23, 24) ශිෂ්ටසම්පන්න වචන පාවිච්චි කිරීමට තරම් වෙහෙසක් නොදරන ජනයාගේ අසභ්‍ය භාෂාවෙන් ඔබේ කතාව අපවිත්‍ර නොවිය යුතුය. ක්‍රිස්තියානීන් වශයෙන්, අපේ කතාව, ශුද්ධ, ප්‍රියමනාප, වර්ධනය ගෙන දෙනසුලු, කාරුණික හා “ලුණෙන් රසවත්ව” තිබිය යුතුය. අප අනුන්ට වඩා වෙනස් බව අපේ කතාවෙන් පැහැදිලි විය යුතුය.—කොලොස්සි 3:8-10; 4:6.
අපේ නොඇදහිලිකාර පවුල් සාමාජිකයන් හා ශුද්ධකම
11. අපේම ධර්මිෂ්ඨකම නුවමනා සේ පෙන්වීම ශුද්ධකම පෙන්වීමට ඇතුළත් නොවන්නේ ඇයි?
11 ශුද්ධකම දැක්වීමට අප අවංක උත්සාහයක් දැරුවත්, විශේෂයෙන්ම නොඇදහිලිකාර පවුල් සාමාජිකයන් සමඟ කටයුතු කරන විට, අප අහංකාරව හා අපේම ධර්මිෂ්ඨකම නුවමනා සේ මවා පෙන්වන්ට උත්සාහ කරමින් කටයුතු නොකළ යුතුය. අඩුම තරමින් අප ඒකාන්ත ආකාරයකින් වෙනස් බවත්, යේසුස්වහන්සේගේ උපමාවේ යහපත් සමාරියයා කළාක් මෙන්, ප්‍රේමය හා දයානුකම්පාව දැක්වීමට අප දන්නා බවත් පෙන්වීමට අපේ කාරුණික ක්‍රිස්තියානි හැසිරීම රුකුලක් විය යුතුය.—ලූක් 10:30-37.
12. තම කලත්‍රයන්ට සත්‍යය වඩාත් ආකර්ෂණීය දෙයක් කරවීමට ක්‍රිස්තියානි කලත්‍රයන්ට හැකි වන්නේ කෙසේද?
12 පේතෘස් ක්‍රිස්තියානි භාර්යාවන්ට පහත දැක්වෙන ආකාරයට ලිවූ විට, අපේ නොඇදහිලිකාර පවුල් සාමාජිකයන් කෙරෙහි නිසි ආකල්පයක් දැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය: “එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙයල්ලා.” ක්‍රිස්තියානි භාර්යාවකගේ (එසේ නැතහොත් ස්වාමිපුරුෂයෙකුගේ) හැසිරීම පිරිසිදු, කාරුණික හා ගෞරවය දක්වන තත්වයක තිබේ නම්, නොඇදහිලිකාර කලත්‍රයෙකුට සත්‍යය වඩාත් ආකර්ෂණීය කරවීමට ඇය සමත් විය හැක. මින් අදහස් කරන්නේ නොඇදහිලිකාර කලත්‍රයාව නොසලකා හැරීමට හේතු නොවන අයුරින්, දිව්‍යාණ්ඩු කාලසටහන නම්‍යසුලු එකක් කරගත යුතු බවයි.a—1 පේතෘස් 3:1, 2.
13. සත්‍යය අගය කිරීමට නොඇදහිලිකාර පුරුෂයන්ට උපකාර කිරීමට, ඇතැම්විට වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට හැක්කේ කෙසේද?
13 නොඇදහිලිකාර පුරුෂයා සමඟ සුහද ඇසුරක් පැවැත්වීම මගින් ඔහුට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට හැක. මෙයාකාරයෙන් සාක්ෂිකරුවන් බයිබලයට පමණක් සීමා නොවන, එහෙත් විවිධ රුචිකත්වයන් ඇති සාමාන්‍ය ශිෂ්ටසම්පන්න මනුෂ්‍යයන් බව දැකගැනීමට ඔහුට හැකි වනු ඇත. ස්වාමිපුරුෂයෙකුට මසුන් ඇල්ලීමට තිබූ ආශාව ගැන එක් අවස්ථාවකදී, වැඩිමහල්ලෙකු උනන්දුව දැක්වීය. මිත්‍රත්වයක් ගොඩනැංවීමට එය මඟ පෑදීය. එම ස්වාමිපුරුෂයා පසුකලකදී බව්තීස්ම ලත් සහෝදරයෙකු බවට පත් විය. තවත් අවස්ථාවක, නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙකුට කහපාට කුරුලු විශේෂයක් ගැන විශේෂ ඇල්මක් තිබිණ. වැඩිමහල්ලන් ඔහු ගැන බලාපොරොත්තු අත්හැරියේ නැත. එක්කෙනෙකු ඒ විෂය ගැන අධ්‍යයනයක් කළ අතර, ඔහු එසේ කළේ එම තැනැත්තා හමු වන ඊළඟ වතාවේදී එම ස්වාමිපුරුෂයාගේ ප්‍රියතම විෂය ගැන අදහස් දක්වමින් සාකච්ඡාව ඇරඹීමේ අදහසිනි! එසේනම්, ශුද්ධ වීමෙන් අදහස් කරන්නේ දැඩි, එමෙන්ම පටු ලෙස සිතන කෙනෙකු වීම නොවේ.—1 කොරින්ති 9:20-23.
අපට සභාවේදී ශුද්ධ විය හැක්කේ කෙසේද?
14. (අ) සභාව දුර්වල කිරීමට සාතන් පාවිච්චි කරන එක් උපක්‍රමයක් නම් කරන්න. (ආ) අපට සාතන්ගේ උගුලට විරුද්ධ විය හැක්කේ කෙසේද?
14 යක්ෂයා සඳහා භාවිත කරන ඩයි·අʹබො·ලොස් යන ග්‍රීක් නමෙහි තේරුම “චෝදනාකරන්නා” නොහොත් “අපහාසකරන්නා” වන බැවින්, සාතන් නමැති යක්ෂයා අපහාසකරන්නෙකි. අපහාස කිරීම ඔහුගේ එක් විශේෂ උපක්‍රමයක් වන අතර, එය සභාව තුළ යොදාගැනීමට ඔහු උත්සාහ කරයි. ඔහුගේ ප්‍රියතම ක්‍රමය ඕපාදූප පැතිරවීමට සැලැස්වීමයි. මෙම අශුද්ධ හැසිරීමට දායක වෙමින්, අප පහසුවෙන්ම ඔහුගේ උගුලට හසු වනවාද? ඒ කෙසේද? ඕපාදූප ආරම්භ කිරීමෙන්, වෙනත් අය අතරේ ඒවා පතුරුවාහැරීමෙන් හා ඒවාට සවන් දීමෙන් ඊට දායක විය හැක. නැණවත් හිතෝපදේශයක් මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.” (හිතෝපදේශ 16:28) ඕපාදූප හා අපහාසකීම් නතර කිරීමට පිළියම කුමක්ද? අපේ කතාව හැමවිටම වර්ධනය ගෙන දෙනසුලු හා ප්‍රේමය මත පදනම්ව තිබෙන බවට අප වගබලා ගත යුතු වීමයි. අපේම මතයට අනුව අපේ සහෝදරයන්ගේ දුසිරිත් සොයනවා වෙනුවට, ඔවුන්ගේ සුසිරිත් ගැන අවධානයක් යොමු කිරීමෙන්, අපේ කතා බහ හැමවිටම ප්‍රියමනාප මෙන්ම ආත්මික තලයක තබාගනු ඇත. විවේචනය කිරීම පහසු බව මතක තබාගන්න. එමෙන්ම අනුන් ගැන ඔබට ඕපාදූප කියන තැනැත්තා, එපරිද්දෙන්ම ඔබ ගැනත් අනුන්ට ඕපාදූප කියන තැනැත්තෙකු විය හැක!—1 තිමෝති 5:13; තීතස් 2:3.
15. සභාවේ සිටින සියලුදෙනාටම ශුද්ධ තත්වයක් පවත්වාගැනීම සඳහා, ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය විදහාපෙන්වන කුමන ගුණාංග උපකාරවත් වේවිද?
15 සභාවේ ශුද්ධකම රැකගැනීමට නම්, අප සියලුදෙනාටම ක්‍රිස්තුස්වහන්සේගේ මනස තිබිය යුතුයි; එමෙන්ම උන්වහන්සේගේ බලපවත්වන ගුණාංගය ප්‍රේමය බව අපි දනිමු. මෙසේ ක්‍රිස්තුස්වහන්සේ හා සමාන දයානුකම්පාවක් දැක්වීමට පාවුල් කොලොස්සිවරුන්ට උපදෙස් දුන්නේය: “එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, . . . එකිනෙකාට [අදි මදි නොකර, NW] කමාවෙයල්ලා . . . මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිල්ලා.” ඊළඟට ඔහු මෙම අදහස එකතු කළේය: “ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා.” සමාව දීමට කැමති මෙම ස්වභාවය ඇතුව, සභාවේ සමඟිය හා ශුද්ධකම රැකගැනීමට අපට සහතිකවම හැකි වනු ඇත.—කොලොස්සි 3:12-15.
අප අවට සිටින අසල්වාසීන් අතර අපේ ශුද්ධකම ප්‍රකාශ වනු ඇද්ද?
16. අපේ ශුද්ධ නමස්කාරය සන්තෝෂයෙන් පිරුණු නමස්කාරයක් විය යුත්තේ ඇයි?
16 අපේ අසල්වාසීන් ගැන කුමක් කියමුද? ඔවුන් අපව සලකන්නේ කෙසේද? අප සත්‍යයෙන් ලබන ප්‍රීතිය බැබළෙන්ට සලස්වනවාද, එසේ නැතහොත් එය බරක් මෙන් පෙන්වීමට සලස්වනවාද? යෙහෝවඃවහන්සේ ශුද්ධ වන්නාක් මෙන්, අපත් ශුද්ධ නම්, ඒ බව අපේ කතාවෙන් හා ක්‍රියාවෙන් පැහැදිලි විය යුතුයි. අපේ ශුද්ධ නමස්කාරය සන්තෝෂයෙන් පිරුණු නමස්කාරයක් බව පැහැදිලි විය යුතුයි. ඒ ඇයි? අපේ දෙවි වූ යෙහෝවඃවහන්සේ සන්තෝෂවත් දෙවිකෙනෙකු නිසාත්, තම නමස්කාරකයන් ප්‍රීතිමත්ව සිටිනවා දකින්ට උන්වහන්සේ කැමති වන නිසාත්ය. මෙනිසා, පුරාණ කාලවලදී විසූ යෙහෝවඃවහන්සේගේ ජනයා ගැන ගීතිකාකාරයාට මෙසේ පැවසීමට හැකි විය: “ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW].” අප එම සන්තෝෂය පිළිබිඹු කරනවාද? රාජ්‍ය ශාලාවේ මෙන්ම එක්රැස්වීම්වලදී යෙහෝවඃවහන්සේගේ ජනයා අතර සිටීමෙන් අපේ දරුවන් තෘප්තියක් විදහාපෙන්වනවාද?—ගීතාවලිය 89:15, 16; 144:15ආ.
17. ප්‍රායෝගික ආකාරයකින්, ශුද්ධකම සමබරව විදහාපෙන්වීමට අපට කුමක් කළ හැකිද?
17 සහයෝගය දැක්වීමෙන් හා අසල්වාසීන්ට කරුණාව පෙන්වීමෙන්ද අපේ සමබර වූ ශුද්ධකම පෙන්නුම් කිරීමට අපට හැක. ඇතැම් අවස්ථාවලදී, අසල්වාසි ප්‍රදේශය පිරිසිදු කිරීමට නැතහොත් ඇතැම් රටවල සිදු වන්නාක් මෙන් මං මාවත්වල තත්වය වැඩිදියුණු කිරීමට අත හිත දීමෙන්, අසල්වාසීන් වශයෙන් එකට සහයෝගයෙන් වැඩ කිරීම සඳහා අවශ්‍යතාවක් තිබිය හැක. මේ හා සම්බන්ධව, අපේ වතු පිටි හා වෙනත් දේපොළ බලාකියා ගන්නා ආකාරයෙන්ද අපේ ශුද්ධකම පෙන්නුම් කළ හැක. අපේ මිදුල කුණු කසළ විසිරී තිබෙන, ඇතැම්විට අබලං වූ වාහනයක් දෙකක් ඇති පිළිවෙළක් නැති අපිරිසිදු තත්වයක පවතී නම්, අප අපේ අසල්වාසීන්ව ගෞරවයෙන් යුක්තව සලකනවා කියා අපට පැවසිය හැකිද?—එළිදරව් 11:18.
රැකියා ස්ථානයේදී හා පාසැලේදී ශුද්ධකම දැක්වීම
18. (අ) අදදින ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන අසීරු තත්වය කුමක්ද? (ආ) අපට ලෝකයෙන් වෙනස්ව සිටිය හැක්කේ කෙසේද?
18 ප්‍රේරිත පාවුල් අශුද්ධ වූ කොරින්ති නගරයේ ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “වේශ්‍යාකම්කරන්නන් සමඟ සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි; නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය.” (1 කොරින්ති 5:9, 10) දුරාචාරමය හා සදාචාර හැඟීමක් නැති මනුෂ්‍යයන් සමඟ දිනපතා ගැවසීමට සිදු වන ක්‍රිස්තියානීන් සඳහා මෙය අසීරු තත්වයක් උදා කරවයි. විශේෂයෙන්ම ලිංගික අතවර, අල්ලස් දූෂණ හා වංකකමට අනුබල ලැබෙන හෝ ඉඩ දෙනු ලබන සංස්කෘතීන්වල මෙය අඛණ්ඩතාවට විශාල අභියෝගයක් එල්ල වේ. මෙහිදී, අප අවට සිටින අය ඉදිරියෙහි “සාමාන්‍ය” අය මෙන් පෙනීමට අපේ ප්‍රමිති බාල කළ නොහැක. ඒ වෙනුවට, අපේ කාරුණික නමුත් වෙනස් ක්‍රිස්තියානි ගතිගුණවලින් යුත් හැසිරීම හේතුකොටගෙන, තම ආත්මික අවශ්‍යතාව පිළිගනිමින් වඩාත් හොඳ දෙයක් සොයමින් සිටින, සියුම් නුවණක් ඇති ජනයා ඉදිරියෙහි අප කැපීපෙනිය යුතුය.—මතෙව් 5:3, NW; 1 පේතෘස් 3:16, 17.
19. (අ) දරුවෙනි, පාසැලේදී ඔබට තිබෙන පරීක්ෂා මොනවාද? (ආ) තම දරුවන්ට හා ඔවුන්ගේ ශුද්ධ හැසිරීමට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද?
19 ඒ හා සමානවම, පාසැලේදී අපේ දරුවන්ට මුහුණ දීමට සිදු වන පරීක්ෂා බොහොමයක් තිබේ. දෙමාපියෙනි, ඔබේ දරුවා යන පාසැල බැහැදකින්ට ඔබ කාලය ගන්නවාද? එහි තිබෙන වාතාවරණය කුමන ආකාරයේ එකක්දැයි ඔබ දන්නවාද? ඔබට ගුරුවරුන් සමඟ හොඳ සම්බන්ධයක් තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න වැදගත් වන්නේ ඇයි? ලෝකයේ නාගරික ප්‍රදේශ බොහොමයක පාසැල් ප්‍රචණ්ඩකාරිත්වය, මත්ද්‍රව්‍ය හා ලිංගික දුරාචාරය බලපවත්වන කැලෑවන් බවට පත් වී තිබෙන නිසාය. දරුවන්ට තම දෙමාපියන්ගෙන් අනුකම්පාවෙන් යුත් පූර්ණ උපකාරයක් ලැබෙන්නේ නැත්නම්, ඔවුන්ට තම අඛණ්ඩතාව රැකගැනීමටත් තම හැසිරීම ශුද්ධව පවත්වාගැනීමටත් හැකි වන්නේ කෙසේද? පාවුල් හොඳ හේතු ඇතුව දෙමාපියන්ට මෙසේ උපදෙස් දුන්නේය: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.” (කොලොස්සි 3:21) දරුවන්ව කලකිරීමකට ලක් කළ හැකි එක් මාර්ගයක් නම්, ඔවුන්ගේ දෛනික ගැටලු හා පරීක්ෂා අවබෝධ කරගැනීමට අපොහොසත් වීමයි. පාසැලේ ඇති වන පරීක්ෂාවලට කල්තියා සූදානම් වීම ඇරඹෙන්නේ, ක්‍රිස්තියානි නිවසක තිබෙන ආත්මික වාතාවරණයෙනි.—ද්විතීය කථාව 6:6-9; හිතෝපදේශ 22:6.
20. අප සියලුදෙනා සඳහාම ශුද්ධකම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
20 අවසාන වශයෙන්, අප සියලුදෙනා සඳහාම ශුද්ධකම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? එය සාතන්ගේ ලෝකයේ හා සිතුවිලිවල භේදභින්න කරවන බලපෑමට එරෙහිව ආරක්ෂාවක් වශයෙන් ක්‍රියා කරන නිසාය. එය දැනුත් අනාගතයටත් ආශීර්වාදයක් වනු ඇත. ධර්මිෂ්ඨකමේ නව ලොවෙහි සැබවින් ජීවනය වූ ජීවනය සහතික කරගැනීමට එය උපකාරවත් වෙයි. එය උපකාර කරන්නේ හිතක් පපුවක් නැති උන්මත්තකයන් වීමට නොව, සමබර, ළඟා විය හැකි, අදහස් හුවමාරු කිරීමට කැමති ක්‍රිස්තියානීන් වීමටයි. සරලව කියනවා නම්, අපව ක්‍රිස්තුස්වහන්සේ හා සමාන කරවීමට එය දායක වෙයි.—1 තිමෝති 6:19.
[පාදසටහන]
a නොඇදහිලිකාර කලත්‍රයන් සමඟ උපායශීලී සබඳතා පවත්වාගත හැකි අන්දම ගැන වැඩිදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා ද වොච්ටවර්, 1990 අගෝස්තු 15, 20-2 පිටුවල “ඔබේ කලත්‍රයා නොසලකා නොහරින්න!” (ඉංග්‍රීසියෙන්) සහ 1988 නොවැම්බර් 1 24-5 පිටුවල 20-2 ඡේද බලන්න.
ඔබට මතකද?
◻ ශුද්ධකම ගැන ක්‍රිස්තියානීන්ට උපදෙස් දීමේ අවශ්‍යතාව පේතෘස්ට හැඟුණේ ඇයි?
◻ ශුද්ධ ජීවිතයක් ගත කිරීම පහසු දෙයක් නොවන්නේ ඇයි?
◻ පවුලේ ශුද්ධකම වැඩිදියුණු කිරීම සඳහා අප සියලුදෙනාටම කුමක් කළ හැකිද?
◻ සභාවේ ශුද්ධකම රැකගැනීමට නම්, අප වැළකී සිටිය යුත්තේ කුමන අශුද්ධ හැසිරීමෙන්ද?
◻ රැකියා ස්ථානයේදී හා පාසැලේදී අපට ශුද්ධකම රැකගත හැක්කේ කෙසේද?
[16, 17වන පිටුවේ පින්තූර]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන්, දෙවියන්වහන්සේට සේවය කිරීමේදී හා වෙනත් ක්‍රියාකාරකම්වලදී අප ප්‍රීතිමත් විය යුතුයි