3වන පරිච්ඡේදය
‘යෙහෝවා ශුද්ධය, ශුද්ධය, ශුද්ධය’
1, 2. අනාගතවක්තෘ යෙසායාට ලැබුණු දර්ශනය කුමක්ද? තවද එය අපට යෙහෝවා ගැන උගන්වන්නේ කුමක්ද?
යෙසායාට තමා දුටු දර්ශනයෙන් අතිමහත් ගරුබියක් දැනුණා. එය දෙවිගෙන්ම වූ දර්ශනයක් වීම ඊට හේතුවයි. එය එතරම්ම සැබෑ එකක් බව පෙනෙන්ට තිබුණා! පසුව යෙසායා ලීවේ උසස් වූ සිංහාසනයෙහි ඇත්තටම ‘යෙහෝවා සිටිනවා තමා දුටු’ බවයි. යෙහෝවාගේ වස්ත්‍ර කෙළවරින් යෙරුසලමේ අතිවිශාල මාළිගාව පිරී ගොස් තිබුණා.—යෙසායා 6:1, 2.
2 තමා ඇසූ දෙයින්ද යෙසායා තුළ මහත් ගරු බියක් ඇති වුණා. ගීතිකා ගැයීම කොයිතරම් ප්‍රබල වූවාද කිවහොත් දේවමාළිගාව සහ එහි අත්තිවාරම්ද දෙදරන්ට පටන්ගත්තා. මෙම ගී නාදය පැමිණියේ ඉතා උසස් දේවදූත පංතියක් වූ සෙරාප්වරුන්ගෙන්. ඔවුන්ගේ ප්‍රබල වූ මිහිරි නාදය මෙසේ රැව් පිළිරැව් දෙන්ට වුණා. ‘සේනාවල යෙහෝවා ශුද්ධය, ශුද්ධය, ශුද්ධය. මුළු පොළොව ඔහුගේ තේජසින් පිරී තිබේ.’ (යෙසායා 6:3, 4) “ශුද්ධය” යන වචනය තෙවරක් ප්රතිනාද කිරීමෙන් ඊට විශේෂ අවධානයක් දුන්නා. එය එසේ වීම යුක්තිසහගතයි. මන්ද යෙහෝවාගේ ශුද්ධකම තිබෙන්නේ තිබිය හැකි උසස්ම තලයේ වන බැවිනුයි. (එළිදරව් 4:8) යෙහෝවාගේ ශුද්ධකම බයිබලය පුරාම අවධාරණය කර තිබෙනවා. බයිබල් පාඨ සිය ගණනාවක “ශුද්ධ” සහ “ශුද්ධකම” යන වචන සමඟ ඔහුගේ නාමය සබැඳිව පවතියි.
3. යෙහෝවාගේ ශුද්ධකම පිළිබඳ තිබෙන වැරදි මත, බොහෝදෙනෙකුව දෙවි වෙතට ළං කරනවාට වඩා ඔහුගෙන් ඈත් කිරීමට හේතු වී තිබෙන්නේ කෙසේද?
3 එසේ නම්, අප විසින් මනසින් ග්‍රහණය කරගැනීමට යෙහෝවාට වුවමනා වන දේවල් අතරින් එක් ප්‍රධාන දෙයක් වන්නේ ඔහු ශුද්ධය යන කාරණයයි. එහෙත්, අදදින බොහෝදෙනෙක් එම අදහස මනසින් බැහැර කිරීමට පෙලඹෙනවා. ඇතැම් අය වැරදිසහගතව ශුද්ධකම ආත්ම ධර්මිෂ්ඨකම හෝ ශ්‍රද්ධාවේ මවාපෑමක් සමඟ සම්බන්ධ කරනවා. තමන් ගැනම අඩුවෙන් තක්සේරු කරන තවත් අය සිතන්නේ දෙවිගේ ශුද්ධකම ආකර්ෂණය කරනසුලු දෙයකට වඩා තැතිගන්වනසුලු යමක් විලසින්. මේ ශුද්ධ දෙවිට ළංවීමට තමන් කිසිවිටෙකත් වටින්නේ නැහැ යන අදහසින් ඔවුන් භය වී සිටිනවා වන්ට පුළුවන්. මෙබැවින්, දෙවිගේ ශුද්ධකම නිසා බොහෝදෙනෙක් දෙවි වෙතින් ඈත් වෙන්ටත් පුළුවන්. මෙය කනගාටුවට කරුණක්. මන්ද, දෙවිගේ ශුද්ධකම ඇත්තෙන්ම ඔහු වෙතට ළඟාවීම සඳහා තිබෙන ප්‍රබලම හේතුවක් වන නිසයි. ඒ ඇයි? එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙරාතුව, සැබෑ ශුද්ධකම කියන්නේ කුමක්ද කියා සාකච්ඡා කරමු.
ශුද්ධකම යනු කුමක්ද?
4, 5. (අ) ශුද්ධකම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? තවද එයින් අදහස් නොකරන්නේ කුමක්ද? (ආ) යෙහෝවා “වෙන්ව” සිටින්නේ කිනම් වැදගත් ආකාර දෙකෙන්ද?
4 දෙවි ශුද්ධය යනුවෙන් අදහස් කරන්නේ, ඔහු තමා ගැනම මහ ලොකුවට සිතන, අහංකාර, උඩඟු නැතහොත් අන්‍යයන් ගැන පහත් ලෙස සිතන කෙනෙකු යන්න නොවේ. මීට පටහැනිව, ඔහු එවන් ගුණාංගවලට ද්වේෂ කරනවා. (හිතෝපදේශ 16:5; යාකොබ් 4:6) එසේනම්, “ශුද්ධ” යන වදනින් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ භාවිත කර ඇති හෙබ්‍රෙව් බසට අනුව, මෙම වචනය රැගෙන තිබෙන්නේ, “වෙන් කළ” යන තේරුම ඇති යෙදුමකින්. නමස්කාරයේදී, “ශුද්ධ” යන වදන අදාළ වන්නේ, පොදු භාවිතයෙන් වෙන් කරන ලද හෝ පරිශුද්ධව තබාගන්නාවූ යමකටයි. එමෙන්ම, ශුද්ධකම යන වදනින් පවිත්‍රකම හෝ නිර්මලත්වය යන අදහසද ප්‍රබල ලෙස ගෙනහැර පානවා. මෙම වචනය යෙහෝවාට අදාළ වන්නේ කොහොමද? මින් අදහස් කරන්නේ ඔහු අසම්පූර්ණ මිනිසුන් වන අපගෙන් “වෙන්ව,” බොහෝ දුරස්තරව සිටින බවද?
5 කොහෙත්ම නැහැ. පව්කාරයන් වුවද සිය ජනයා “අතරෙහි සිටින” ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා’ ලෙස යෙහෝවාව විස්තර කර තිබෙනවා. (හොෂෙයා 11:9; යෙසායා 12:6) එබැවින්, ඔහුගේ ශුද්ධකම ඔහුව අපෙන් දුරස් කරන්නේ නැහැ. එසේනම්, ඔහු “වෙන්ව” සිටින්නේ කොහොමද? වැදගත් ආකාර දෙකකින්. පළමුව, ඔහු සියලු මැවිලිවලින් වෙන්ව සිටිනවා. ඉන් අදහස් වන්නේ ඔහු පමණක් මහෝත්තමයාණන් බවයි. ඔහුගේ නිර්මලත්වය, ඔහුගේ පවිත්රත්වය පරිපූර්ණයි, අසීමිතයි. (ගීතාවලිය 40:5; 83:17) දෙවනුව, යෙහෝවා සියලු පාපතරබවින් මුළුමනින්ම වෙන්ව සිටිනවා. එය නම් අපට සැනසිලිදායක සිතිවිල්ලක්. ඒ ඇයි?
6. යෙහෝවා මුළුමනින්ම පාපතරබවින් තොරව සිටීය යන අදහසින් අපට මහත් අස්වැසිල්ලක් ලබාගත හැක්කේ මන්ද?
6 අප ජීවත් වන්නේ සැබෑ ශුද්ධකම ඉතා විරල ලෝකයකයි. දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජයේ තිබෙන සෑම දෙයක්ම පාපයෙන් සහ අසම්පූර්ණකමින් කැළැල් වී යම් අන්දමකින් දූෂිත වී තිබෙනවා. අප තුළ තිබෙන පාපය සමඟ සටන් කරන්ට අප සැමෝටම සිදු වෙලා. අප පරෙස්සම් නොවුණහොත්, අප තුළම තිබෙන පාපයේ වහල්කමට වැටීමේ අන්තරායට අප සියල්ලන්ටම මුහුණ පාන්ට සිදු වෙනවා. (රෝම 7:15-25; 1 කොරින්ති 10:12) යෙහෝවාට එවන් අන්තරායකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. පව්කාරබවින් මුළුමනින්ම ඉවත් වී සිටින බැවින් පාපයේ පුංචි පලුද්දකින්වත් ඔහු කිසිවිටෙක කැළැල් වන්නේ නැහැ. අපට සිටිය හැකි හොඳම පියා යෙහෝවා බවට ඇති අපගේ හැඟීම මින් අපට තව තවත් තහවුරු වෙනවා. මක්නිසාද ඔහු මුළුමනින්ම විශ්වාසවන්ත රඳා සිටිය හැකි දෙවි කෙනෙකු බව ඉන් අදහස් කරන නිසයි. පව්කාර මිනිස් පියවරුන් බොහෝදෙනෙකු මෙන්, යෙහෝවා කිසිවිටෙකත් දූෂිත වන්නේවත්, සංයමයකින් තොරව බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේවත් නැහැ. ඔහුගේ ශුද්ධකම නිසා එවන් දෙයක් ඔහු කරයි කියා අපට කොහොමටවත් සිතාගන්ට බැහැ. යම් අවස්ථාවන්හිදී යෙහෝවා තමන්ගේම ශුද්ධකමේ නාමයෙන් දිවුරා තිබෙනවා. මීට වඩා විශ්වාසවන්ත වෙන කිසිවකින් යමක් තහවුරු කරන්ට බැරි තරම්. (ආමොස් 4:2, NW) එය අපට මහත් අස්වැසිල්ලක් නොවේද?
7. ශුද්ධකම යෙහෝවාගේ සමස්ත ස්වභාවයේ සහජ ගති ලක්ෂණයක් බව කිව හැක්කේ ඇයි?
7 ශුද්ධකම යෙහෝවාගේ සමස්ත ස්වභාවයේ සහජ ගති ලක්ෂණයක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? එය මෙසේ උපහැරණය කරමු. “මිනිසා” සහ “අසම්පූර්ණකම” යන වචන සලකා බලන්න. මිනිසාව අසම්පූර්ණකමට සම්බන්ධ නොකර මිනිස්කම ගැන විස්තර කරන්ට බැහැ. අප තුළ අසම්පූර්ණකම හාත්පස පැතිර තිබෙන අතර, අප කරන සෑම දෙයකටම එය බලපෑම් කරනවා. දැන් ඊට හාත්පසින්ම වෙනස් වූ “යෙහෝවා” සහ “ශුද්ධකම” යන වචන දෙක සලකා බලන්න. ශුද්ධකම යෙහෝවා යන ඒ පෞරුෂත්වය තුළ හාත්පස පැතිර තිබෙනවා. ඔහු සම්බන්ධ සෑම දෙයක්ම පවිත්‍රයි, නිර්මලයි ඒ වගේම ඍජුයි. “ශුද්ධ” යන මෙම ගැඹුරු වචනය මනසින් හරිහැටි ග්‍රහණය කර නොගෙන යෙහෝවා සැබවින්ම කෙබඳු කෙනෙකුද කියා දැනගැනීමට අපට බැහැ.
“ශුද්ධකම අයිති යෙහෝවාටය”
8, 9. යෙහෝවා අසම්පූර්ණ මිනිසුන්හට සාපේක්ෂී අර්ථයෙන් ශුද්ධව සිටීමට උපකාර කරන බව කුමකින් පෙන්වයිද?
8 යෙහෝවා ශුද්ධකම යන ගුණාංගයේ ප්‍රතිමූර්තිය වන බැවින්, සියලු ශුද්ධකමේ උල්පත ඔහුයැයි කීවොත් එය නිවැරදියි. මේ අනගි ගුණාංගය ඔහු ආත්මාර්ථකාමී ලෙස සඟවා තබාගෙන සිටින්නේ නැහැ. ඔහු අනුන්ටද එය දානය කරනවා. ඔව්, එසේ දානය කරන්නේ ත්‍යාගශීලී ලෙසයි. පඳුර ඇවිළෙමින් තිබියදී දේවදූතයෙකු මගින් දෙවි මෝසෙස්ට කතා කළ විට, අවට තිබෙන බිමද ශුද්ධ වුණා ඔබට මතකද? එය එසේ වුණේ කතා කිරීමට යෙහෝවා විසින් එම පඳුර යොදාගැනීම නිසයි.—නික්මයාම 3:5.
9 යෙහෝවාගේ උපකාරය ඇතුව අසම්පූර්ණ මිනිසුන්ට ශුද්ධව සිටින්ට පුළුවන්ද? ඔව්, සාපේක්ෂී අර්ථයෙන්. දෙවි සිය ඉශ්රායෙල් සෙනඟට “ශුද්ධ ජාතියක්” වීමේ අපේක්ෂාව දුන්නා. (නික්මයාම 19:6) ඔහු එම ජාතියට ආශීර්වාද කළේ ශුද්ධ වූ, පවිත්‍ර වූ මෙන්ම නිර්මල වූ නමස්කාර ක්‍රමයක් ඔවුන්ට ලබා දීම මගින්. මේ නිසා, ශුද්ධකම යනු මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පුන පුනා ඉස්මතු වන දෙයක්. ඇත්තෙන්ම, උත්තම පූජකයාගේ මකුටයේ [හෙවත් තලප්පාවේ] රන් තහඩුවක් තිබුණු අතර, එය ආලෝකයේ දිදුලනවා සියල්ලන්ට පෙනුණා. එහි කොටා තිබුණේ “ශුද්ධකම අයිති යෙහෝවාටය” යන වචනයි. (නික්මයාම 28:36, NW) මෙසේ, පවිත්‍රකම සහ නිර්මලත්වය හා බැඳි උසස් ප්‍රමිතියක් රැකීම මගින් ඔවුන්ගේ නමස්කාර පිළිවෙත හා ඔවුන්ගේ ජීවිත මාර්ගය සුවිශේෂී උසස් තලයක පවත්වාගත යුතු වුණා. යෙහෝවා ඔවුන්ට පැවසුවේ මෙසේයි. “නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවි වූ [යෙහෝවා] වන මම ශුද්ධය.” (ලෙවී කථාව 19:2) ඉශ්‍රායෙලිතයන් අසම්පූර්ණ මිනිසුන් හැටියට තමන්ට හැකි පමණින් දේව උපදෙස්වලට අනුකූලව ජීවත් වූ තාක් කල්, සාපේක්ෂී අර්ථයෙන් ඔවුන් ශුද්ධව සිටියා.
10. ශුද්ධකම ගැන කතා කරන විට, ඉපැරණි ඉශ්රායෙල් ජාතිය සහ ඔවුන් අවට විසූ ජාතීන් අතර තිබූ පැහැදිලි වෙනස කුමක්ද?
10 ශුද්ධකම මෙසේ අවධාරණය කිරීම හේතුවෙන්, ඉශ්‍රායෙල්ගේ නමස්කාරය, අවට විසූ ජාතීන්ගේ නමස්කාරයට වඩා හාත්පසින්ම වෙනස් වුණා. එම මිථ්‍යා දෘෂ්ටික ජාතීන් නමස්කාර කළේ, ප්‍රචණ්ඩකාරි, ගිජු සහ අනාචාරය විචිත්‍රණය කළ දෙවිවරුන්ටයි. ඔවුන්ගේ පැවැත්ම අමූලික බොරුවක් සහ වංචාවක් වුණා. සිතාගත හැකි සෑම පැත්තකින්ම ඔවුන් අශුද්ධව සිටියා. එවැනි දෙවිවරුන්ට නමස්කාර කළ මිනිසුන්ද සිටියේ අශුද්ධවයි. මේ නිසා, මෙම මිථ්‍යා නමස්කාරකයන්ගෙන්ද, ඔවුන්ගේ දූෂිත වූ ආගමික වතාවත්ගෙන්ද වෙන්ව සිටින ලෙස යෙහෝවා සිය සේවකයන්ට අනතුරු ඇඟෙව්වා.—ලෙවී කථාව 18:24-28; 1 රාජාවලිය 11:1, 2.
11. යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයේ ශුද්ධකම (අ) දේවදූතයන් තුළ (ආ) සෙරාප්වරුන් තුළ (ඇ) යේසුස් තුළ පැහැදිලිව පෙනෙන්ට තිබෙන්නේ කෙසේද?
11 යෙහෝවා විසින් තෝරාගන්නා ලද ඉපැරණි ඉශ්රායෙල් ජාතියට, ආශීර්වාද ලත් තත්වයන් යටතේදී පවා පිළිබිඹු කළ හැකි වූයේ යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයේ ශුද්ධකමෙන් අල්ප මාත්‍රයක් පමණයි. දෙවිට පක්ෂපාතව සේවය කරන මිලියන ගණනක් ආත්ම මැවිලිවලට ඔහුගේ “දසදහසක් ශුද්ධවන්තයන්” ලෙස යොමු දක්වා තිබෙනවා. (ද්විතීය කථාව 33:2; යූද් 14, 15) ඔවුන් දෙවිගේ ශුද්ධකමේ දීප්තිමත් නිර්මල අලංකාරය පරිපූර්ණ ලෙස පිළිබිඹු කරනවා. යෙසායා සිය දර්ශනයේදී දුටු සෙරාප්වරුන්ව සිහියට නඟන්න. මෙම බලවත් ආත්ම මැවිලි යෙහෝවාගේ ශුද්ධකම මුළු විශ්වය පුරා ප්‍රචලිත කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන බව ඔවුන්ගේ ගීතිකාවේ අඩංගු දේවලින් මනාව පෙනී යනවා. එහෙත්, එක් ආත්ම මැවිල්ලක් මේ සියලු මැවිලිවලට වඩා ශ්‍රේෂ්ඨ අන්දමින් යෙහෝවාගේ ශුද්ධකම මුළු විශ්වය පුරා ප්‍රචලිත කරනවා. ඔහු තමයි දෙවිගේ ඒක ජාතක පුත්‍රයා. යෙහෝවාගේ ශුද්ධකමේ උසස්ම ප්‍රතිමූර්තිය වන්නේ යේසුස්. එසේ නම්, ඔහු ‘දෙවිගේ ශුද්ධ තැනැත්තා’ යනුවෙන් පැවසීම නිවැරදියි.—යොහන් 6:68, 69.
ශුද්ධ නාමය, ශුද්ධ ආත්මය
12, 13. (අ) දෙවිගේ නාමය ශුද්ධයයි කියා එතරම් උචිත ලෙස විස්තර කර ඇත්තේ ඇයි? (ආ) දෙවිගේ නාමය විශුද්ධ කළ යුත්තේ ඇයි?
12 දෙවිගේ නාමය පිළිබඳව කුමක් කිව හැකිද? අප පළමු පරිච්ඡේදය තුළ දුටුවාක් මෙන් එම නාමය නිකම්ම පදවි නාමයක් හෝ ලේබලයක් නොවෙයි. එය යෙහෝවා දෙවිගේ සියලු ගුණාංග ආවරණය කරමින් යෙහෝවා දෙවිව නියෝජනය කරනවා. මෙබැවින්, ඔහුගේ “නාමය ශුද්ධය” කියා බයිබලය අපට පවසනවා. (යෙසායා 57:15, NW) දෙවිගේ නාමයට පරිභව කිරීම මරණය ලැබිය හැකි වරදක් හැටියට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වුණා. (ලෙවී කථාව 24:16) යාච්ඤාවේදී ප්‍රමුඛස්ථානය දිය යුතු බවට යේසුස් කී දේ කුමක්ද කියා සැලකිල්ලට ගන්න. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙව් 6:9, NW) යමක් විශුද්ධ කරනවා කීමෙන් අදහස් කරන්නේ එය පරිශුද්ධ යමක් ලෙස සලකා වෙන් කොට තැබීමයි, නැතහොත් එය ශුද්ධ දෙයක් ලෙස සැලකීමයි. එහෙත් දෙවිගේ නාමය බඳු සහජයෙන්ම නිර්මල දෙයක් අමුතුවෙන් ගෞරවයෙන් සැලකීමට අවශ්‍ය ඇයි?
13 බොරු හා අපහාස මගින් දෙවිගේ නාමයට දරුණු චෝදනා එල්ල කර තිබෙනවා. ඒදන් උයනේදී යෙහෝවා ගැන බොරු කී සාතන් ඔහු අයුක්තිසහගත පරමාධිපතියෙකු බව ඇඟෙව්වා. (උත්පත්ති 3:1-5) එදා පටන්, මේ අශුද්ධ ලෝකයේ පාලකයා වන සාතන්, දෙවි ගැන කියා ඇති මේ බොරු ප්‍රවර්ධනය කිරීමෙහිලා සාර්ථක වී තිබෙනවා. (යොහන් 8:44; 12:31; එළිදරව් 12:9) දෙවි යනු ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන, දුරස්තර වූ හෝ කුරිරු කෙනෙකු බවට හැඟීමක් ආගම් විසින් ජනයා තුළ ඇති කර තිබෙනවා. ඔවුන්ගේ ලේ පිපාසිත යුද්ධවලදී දෙවි ඔවුන්ට සහයෝගය දී ඇතැයි ඔවුන් කියා සිටිනවා. දෙවිගේ පුදුමාකාර මැවිලි සම්බන්ධයෙන් ප්‍රශංසාව ඔවුන් බොහෝ විට දී ඇත්තේ අන්ධ අහඹු බලවේගයකටයි, නැතහොත් පරිණාමවාදයටයි. ඔව්, දෙවිගේ නාමයට අපහාස කර තිබෙන්නේ ඉතා දරුණු අන්දමටයි. මේ නිසා එය නිසි ලෙස විශුද්ධ කරනු ලැබිය යුතුයි. එයට ලැබිය යුතු මහිමය ඊට යළි ලබා දිය යුතුයි. අප ඔහුගේ නාමයේ විශුද්ධ කිරීම හා ඔහුගේ පරමාධිපතිකම තහවුරු කිරීම සිදු වන තුරු බලා සිටින්නේ මහත් ආශාවෙන්. ඒ වගේම එම උදාර අරමුණ තුළ මොනයම් දෙයක් හෝ කිරීමට හැකිවීමත් අපට මහත් ප්‍රීතියක්.
14. දෙවිගේ ආත්මය ශුද්ධයයි කියා හඳුන්වන්නේ ඇයි? ශුද්ධාත්මයට අපහාස කිරීම එතරම්ම බරපතළ කාරණයක් වන්නේ ඇයි?
14 යෙහෝවා සමඟ ඉතා සමීප ලෙස බැඳී තිබෙන නියත වශයෙන් ශුද්ධ ලෙස සලකන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි, ඔහුගේ ආත්මය හෙවත් ක්‍රියාකාරික බලය. (උත්පත්ති 1:2) යෙහෝවා තම අරමුණ ඉටු කිරීමට කිසිවෙකුට මැඩපැවැත්විය නොහැකි මෙම බලය යොදාගන්නවා. දෙවි කරන සෑම දෙයක්ම කරන්නේ ශුද්ධ වූ, නිර්මල වූ මෙන්ම පවිත්‍ර ආකාරයකින්. එබැවින් ඔහුගේ ක්‍රියාකාරික බලය ශුද්ධ ආත්මය හෙවත් ශුද්ධකමේ ආත්මය ලෙස නම් කර තිබෙනවා. (ලූක් 11:13; රෝම 1:4, 5) යෙහෝවාගේ අරමුණට එරෙහිව හිතාමතා ක්‍රියා කිරීම ඇතුළු ශුද්ධාත්මයට අපහාස කිරීම සමාව දිය නොහැකි පාපයක්.—මාර්ක් 3:29.
යෙහෝවාගේ ශුද්ධකම අපව ඔහු කරා ළං කිරීමට හේතුව
15. දේවභය ඇතුව සිටීම යෙහෝවාගේ ශුද්ධකම කෙරෙහි දක්වන ඉතා සුදුසු ප්‍රතිචාරයක් වන්නේ මන්ද? එවන් භයකට ඇතුළත් වන්නේ කුමක්ද?
15 එමනිසා, දෙවිගේ ශුද්ධකම සහ මිනිසාගේ පැත්තෙන් දැක්විය යුතු දේවභය අතර සම්බන්ධයක් බයිබලයේ දක්වා ඇත්තේ මන්දැයි තේරුම්ගැනීම අපහසු දෙයක් නොවෙයි. නිදසුනක් වශයෙන්, ගීතාවලිය 99:3හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “ඔවුහු ඔබගේ උතුම් වූ භයංකර වූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; ඔහු [එය, NW] ශුද්ධය.” එහෙත් ඇත්ත වශයෙන්ම මේ භය තැතිගන්වන භීතියක් නොවෙයි. ඒ වෙනුවට හද පත්ලෙන්ම නැඟෙන ගෞරවය මුසු භයක්, එනම් පිදිය හැකි උතුම්ම ආකාරයේ ගෞරවයක් එයින් අදහස් කරනවා. ඒ ආකාරයට හැඟීම සුදුසුයි. මන්ද දෙවිගේ ශුද්ධකම ඉතා උසස් මට්ටමක තිබෙනවා. එය ප්රභාවත්, පිරිසිදු, අතිඋදාර ශුද්ධකමක්. එහෙත් එය අපව දෙවිගෙන් ඈත් කළ යුතු නැහැ. ඇත්තෙන්ම, දෙවිගේ ශුද්ධකම පිළිබඳ නිසි දෘෂ්ටිය අපව ඔහු වෙතට ළං කරාවි. ඒ මන්ද?
16. (අ) ශුද්ධකම අලංකාරය සමඟ සම්බන්ධ කර තිබෙන්නේ කෙසේද? උදාහරණයක් දෙන්න. (ආ) දර්ශනවල යෙහෝවා ගැන කර ඇති විස්තරයන්හි පවිත්‍රකම, නිර්මලත්වය සහ ආලෝකය අවධාරණය කෙරෙන්නේ කෙසේද?
16 එක් පැත්තකින් බැලූ කල, බයිබලය ශුද්ධකම අලංකාරය සමඟ සම්බන්ධ කරනවා. යෙසායා 63:15ට අනුව, ස්වර්ගය දෙවිගේ ‘ශුද්ධකමේ සහ තේජසේ [අලංකාරයේ, NW] නිවාසය’ ලෙස විස්තර කර තිබෙනවා. අලංකාරය අපව ආකර්ෂණය කරනවා. නිදසුනක් වශයෙන්, 33වන පිටුවේ තිබෙන පින්තූරය බලන්න. ඔබ එම දසුන වෙත ඇදී යන්නේ නැද්ද? එය එතරම්ම ආකර්ෂණීය වන්නේ මන්ද? මේ වතුර කොතරම් සුපිරිසිදුද කියා බලන්න. නිල්වන් අහස් කුස, දිදුලන ආලෝකය අවට වාතය පිරිසිදු බව කියා පායි. දැන් එම දසුනම වෙනස් වුණොත්, එනම් මේ හැළෙන දිය දහරට කුණු කසළ මුසු වුණොත්, ගස්වැල් හා ගල්පරවල කුරුටු ගා ඇත්නම්, අවට වාතය දුමෙන් හෝ දූවිලිවලින් ගහන වේ නම්, අප එම දසුන වෙත තවදුරටත් ආකර්ෂණය වන්නේ නැහැ. අපි එයින් ඈත් වෙමු. අප ස්වභාවයෙන්ම අලංකාරය සම්බන්ධ කරන්නේ පවිත්රත්වය, නිර්මලත්වය සහ ආලෝකය සමඟයි. යෙහෝවාගේ ශුද්ධකම විස්තර කිරීමට එම වචනම යොදාගන්ට පුළුවන්. එම දර්ශනය තුළ යෙහෝවා ගැන කර තිබෙන විස්තරය අපගේ සිත් ඇද බැඳ තබාගන්නවාට කිසිදු සැකයක් නැහැ! මැණික් ගල්වලින් විහිදුවන මනස්කාන්ත දිදුලන ආලෝකය, ගින්දරවලින් හෝ ඉතා පිරිසිදු හෝ දීප්තිමත් වටිනා ලෝහවලින් විහිදුවන රශ්මිය යම් සේද අපගේ ශුද්ධ දෙවිගේ අලංකාරයත් එවැනියි.—එසකියෙල් 1:25-28; එළිදරව් 4:2, 3.
17, 18. (අ) යෙසායා මුල් අවස්ථාවේදී තම දර්ශනය මගින් බලපෑමට ලක් වූයේ කෙසේද? (ආ) යෙසායාව සැනසීමට යෙහෝවා සෙරාප්වරයෙකුව යොදාගත්තේ කෙසේද? සෙරාප්වරයාගේ ක්රියාවේ විශේෂත්වය වූයේ කුමක්ද?
17 කෙසේවෙතත්, දෙවිගේ ශුද්ධකම හා සසඳද්දී අප තුළම අප ගැන යම් අඩුවක් දැනිය යුතුද? ඇත්තෙන්ම ඊට පිළිතුර වන්නේ ඔව් යන්නයි. මොනවා වුවත්, අප යෙහෝවාට වඩා පහත්. සියලු පැතිවලින් බලද්දී එය එසේම බව තව තවත් තහවුරු වෙනවා. එය දැනගෙන සිටීම අපව ඔහු වෙතින් ඈත් කළ යුතුද? යෙහෝවාගේ ශුද්ධකම ප්‍රකාශ කරන සෙරාප්වරුන්ට සවන් දීමේදී යෙසායාගේ ප්‍රතික්‍රියාව සලකා බලන්න. “එවිට මම කතා කොට: අහෝ! මට දුක් වේ! මක්නිසාද මට විනාශය විය. කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල [යෙහෝවා වූ රජ්ජුරුවන්] මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.” (යෙසායා 6:5) ඔව්, යෙහෝවාගේ අසීමිත ශුද්ධකම දැකීමෙන්, තමා කොතරම් පව්කාර අසම්පූර්ණ කෙනෙකුදැයි යෙසායාට සිහිපත් වුණා. මුලින් එම ඇදහිලිවන්ත මිනිසා සිටියේ මහත් භීතියකින් හා සන්ත්රාසයකින්. නමුත් යෙහෝවා ඔහුට එම තත්වයේ දිගටම සිටින්න ඉඩහැරියේ නැහැ.
18 සෙරාප්වරයෙක් විගස පැමිණ ඔහුව සැනසුවා. කොහොමද? ඒ බලවත් ආත්ම මැවිල්ල පූජාසනය කරා පියඹා ගොස්, ඉන් ගිනි අඟුරක් ගෙන, යෙසායාගේ තොල්වල එම ගිනි අඟුර ආලේප කිරීමෙන්. එය සනසනවාට වඩා වේදනා ගෙන දෙන දෙයක් ලෙස පෙනෙන්ට පුළුවන්. එහෙත්, මෙය ගැඹුරු සංකේතමය අර්ථයක් සහිත දර්ශනයක් බව මතක තබාගන්න. ඇදහිලිවන්ත යුදෙව්වෙකුව සිටි යෙසායා, පව් කමාව සඳහා දේවමාළිගා පූජාසනයේ දිනපතා පූජා ඔප්පු කරනු ලැබූ බව හොඳින් දැන සිටියා. යෙසායා ඇත්ත වශයෙන්ම අසම්පූර්ණ මිනිසෙකු වුවද, “අපවිත්‍ර තොල්” ඇත්තෙකු වුවද, ඔහුට තවමත් දෙවි ඉදිරියේ පවිත්‍ර තත්වයකට පත්වීමට හැකිකම තිබුණු බව ඒ සෙරාප්වරයා ඔහුට ප්‍රේමනීයව සිහිගැන්වූවා.a යෙහෝවා අසම්පූර්ණ පව්කාර මිනිසෙකුව, අඩු තරමින් සාපේක්ෂ වශයෙන් ශුද්ධ කෙනෙකු ලෙසවත් සැලකීමට කැමැත්තෙන් සිටියා.—යෙසායා 6:6, 7.
19. අප අසම්පූර්ණ වුවද, අපහට සාපේක්ෂී අර්ථයෙන් ශුද්ධව සිටීමට හැකි වන්නේ කෙසේද?
19 අද දිනත් තත්වය එසේමයි. යෙරුසලමේ පූජාසනය මත කරන ලද එම පූජා සියල්ලම පැමිණීමට තිබූ වඩා උතුම් දෙයක ඡායාවක් පමණයි. එම උතුම් දෙය වූයේ පො.යු. 33දී, යේසුස් ක්‍රිස්තුස් විසින් ඔප්පු කරන ලද පරිපූර්ණ පූජාවයි. (හෙබ්‍රෙව් 9:11-14) අප අපේ පව් ගැන සැබවින්ම පසුතැවිලි වන්නේ නම්, අපේ වැරදි ක්‍රියා මාර්ග නිවැරදි කරගන්නේ නම් හා එම පූජාව කෙරෙහි ඇදහිල්ල තබන්නේ නම්, අපට සමාව ලැබෙනවා. (1 යොහන් 2:2) එමෙන්ම අපටත් දෙවි ඉදිරියේ පිරිසිදු තත්වයක් භුක්ති විඳින්ට පුළුවන්. එමනිසා, ප්‍රේරිත පේතෘස් අපට මතක් කරන්නේ මෙයයි. “මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුය.” (1 පේතෘස් 1:16) මෙහිදී, තමා ශුද්ධව සිටින්නා සේ අප ශුද්ධව සිටිය යුතුය කියා යෙහෝවා පැවසුවේ නැති බව සැලකිල්ලට ගන්න. කරන්ට බැරි කිසිවක් ඔහු අපෙන් කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැහැ. (ගීතාවලිය 103:13, 14) ඒ වෙනුවට, යෙහෝවා අපට කියන්නේ ඔහු ශුද්ධව සිටින හෙයින් අප ශුද්ධව සිටිය යුතුය කියායි. අසම්පූර්ණ මිනිසුන් වන අප “ප්‍රිය දරුවන් මෙන්” අපට හැකි උපරිමයෙන් ඔහුව අනුකරණය කිරීමට වෑයම් කරමු. (එපීස 5:1) එමනිසා, ශුද්ධකම අත් කරගැනීම දිගින් දිගටම සිදු වන නිරන්තර ක්‍රියාවලියක්. අප ආත්මිකව වැඩෙනවාත් සමඟම, අපි දවසින් දවස “ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.”—2 කොරින්ති 7:1.
20. (අ) අපගේ ශුද්ධ දෙවිගේ ඇස් හමුවේ අපට පවිත්‍රව සිටිය හැකි බව වටහාගැනීම වැදගත් වන්නේ මන්ද? (ආ) තමන්ගේ පව්වලට සමාව ලැබී තිබෙන බව යෙසායා දැනගත් විට එය ඔහුට බලපෑවේ කෙසේද?
20 යෙහෝවා ප්‍රේම කරන්නේ ඍජු සහ නිර්මල දෙයටයි. ඔහු පාපයට ද්වේෂ කරනවා. (හබක්කුක් 1:13) එහෙත් ඔහු අපට ද්වේෂ කරන්නේ නැහැ. පාපය දෙස ඔහු බලන විදිහටම අපත් බලන තාක් කල්, එනම් නපුරට ද්වේෂ කරමින්, යහපතට ප්‍රේම කරමින් ක්‍රිස්තුස් යේසුස්ගේ පරිපූර්ණ අඩිපාරේ ගමන් කිරීමට දැඩි ප්රයත්නයක් දරනවා නම්, යෙහෝවා අපේ පව්වලට සමාව දෙනවා. (ආමොස් 5:15; 1 පේතෘස් 2:21) අපට අපගේ ශුද්ධ දෙවිගේ ඇස් හමුවේ පවිත්‍රව සිටීමට හැකි බව වටහාගෙන සිටිනවා නම්, ඉන් ඇති වන බලපෑම ඉතා ගැඹුරුයි. පළමු අවස්ථාවේදී යෙසායා යෙහෝවාගේ ශුද්ධකම දුටු විට යෙසායාට තමන්ගේ අපවිත්‍රකම ගැන සිහිගැන්වුණ බව මතකයට ගන්න. “අහෝ, මට දුක් වේ!” කියා ඔහු මොර දුන්නා. එහෙත්, තමාගේ පව්වලට සමාව ලැබී තිබෙන බව දැනගත් විගස, ඔහුගේ ආකල්පය වෙනස් වුණා. යම් පැවරුමක් භාරගන්නේ කවුදැයි යෙහෝවා විසින් අසනු ලැබූ විට, තමන්ට කරන්ට තිබෙන්නේ මොනවාදැයි නොදැන සිටියත් ඔහු සැණෙකින් ප්‍රතිචාරය දැක්වූයේ මෙසේයි. “මෙන්න, මම මෙහිය; මා යැවුව මැනව” කියා ඔහු මහ හඬින් මොර දුන්නා.—යෙසායා 6:5-8.
21. අපට ශුද්ධකම නමැති ගුණාංගය වගා කිරීමට හැකිය යන ස්ථිර විශ්වාසය සඳහා තිබෙන්නේ කිනම් පදනමක්ද?
21 අපව සාදා තිබෙන්නේ ශුද්ධ දෙවිගේ ස්වරූපයට අනුවයි. එනම් ආත්මිකත්වයක් ඇතුව සිටීමේ හැකියාවකින් යුතුව සහ හරි වැරැද්ද පිළිබඳ හැඟීමක් සහිතවයි. (උත්පත්ති 1:26) අප සියල්ලන්ටම ශුද්ධකම අත් කරගැනීම සඳහා හැකියාවක් තිබෙනවා. අප ශුද්ධකම දිගින් දිගටම වගා කරන තාක් කල්, යෙහෝවා අපට උදව් කිරීමට ඉතා ආශාවෙන් සිටිනවා. මේ ක්‍රියාවලියේදී අප අපේ ශුද්ධ දෙවිට තව තවත් ළං වෙනවා ඇති. එපමණක්ද නොව, අප ඊළඟ පරිච්ඡේද තුළ යෙහෝවාගේ ගුණාංග සලකා බලත්ම, ඔහු වෙතට ළංවීමට බොහෝ ප්‍රබල හේතු තිබෙන බව අප දකිනු ඇති!
[පාදසටහන]
a “අපවිත්‍ර තොල්” යන ප්‍රකාශය ඉතා සුදුසුයි. මන්ද, තොල් යන වචනය බයිබලයේ බොහෝ විට සංකේතමය ලෙස භාවිතා කර තිබෙන්නේ කතාව හෝ භාෂාව නියෝජනය කිරීමටයි. සියලු අසම්පූර්ණ මිනිසුන් කරන පාපවලින් වැඩි ප්‍රතිශතයකට මූලික හේතුව වී ඇත්තේ අප කතාව හසුරුවන ආකාරයයි.—හිතෝපදේශ 10:19; යාකොබ් 3:2, 6.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ලෙවී කථාව 19:1-18 අපගේ හැසිරීම ශුද්ධ වීමට නම්, අප විසින් අදාළ කරගත යුතු ප්‍රතිපත්ති සමහරක් මොනවාද?
ද්විතීය කථාව 23:9-14 ශාරීරික පිරිසිදුකම ශුද්ධකමට සම්බන්ධ වන්නේ කෙසේද? අපගේ ඇඳුම් සහ හිසකෙස් සකස් කිරීමට මෙන්ම අපගේ නිවසට මෙය කෙසේ බලපෑ යුතුද?
රෝම 6:12-23; 12:1-3 අප ශුද්ධව සිටීමට දැඩි ප්රයත්න දරනවාත් සමඟම, පාපය දෙසත් මේ ලෝකයේ බලපෑම් දෙසත් අප බැලිය යුත්තේ කෙසේද?
හෙබ්‍රෙව් 12:12-17 අප පරිශුද්ධකම හෝ ශුද්ධකම ලුහුබැඳිය යුත්තේ කෙසේද?
[33වන පිටුවේ පින්තූරය]
සුන්දරත්වයට මෙන්ම ශුද්ධකමටද අප ඇදී යා යුතුයි