එපප්‍රොදිතස්—පිලිප්පිවරුන්ගේ නියෝජිතයා
ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගනිල්ලා; එබඳු අය ගරුකොට සලකාපල්ලා,” යනුවෙන් පාවුල් පිලිප්පිවරුන්ට ලීවේය. ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු අප ගැන එවැනි ප්‍රශංසනීය ආකාරයකින් කතා කළහොත් අප සන්තෝෂ වන බවට කිසිදු සැකයක් නැත. (පිලිප්පි 2:29) එහෙත් පාවුල් කතා කරමින් සිටියේ කවරෙකු සම්බන්ධයෙන්ද? තවද එවැනි ප්‍රශංසාවක් ලැබීමට සුදුසු වීම සඳහා එම පුද්ගලයා කර තිබුණේ කුමක්ද?
පළමුවන ප්‍රශ්නයට උත්තරය එපප්‍රොදිතස් යන්නයි. දෙවන ප්‍රශ්නයට උත්තර සැපයීම සඳහා, මෙම වචන ලිවීමට පාවුල්ව පෙලඹවූ තත්වයන් අපි සලකා බලමු.
පොදු යුගයේ 58දී පමණ, යෙරුසලමේ කුරිරු කල්ලියක් විසින් පාවුල්ව දේවමාළිගාවෙන් පිටතට ඇද දමා තළනු ලැබ තිබූ බවත්, අධිකාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවත්, තීන්දුවක් නොදුන් සිර දඬුවමකින් පසු, දම්වැල්වලින් බැඳ රෝමයට මාරු කර තිබූ බවත් පිලිප්පිවරුන්ට අසන්ට ලැබිණ. (ක්‍රියා 21:27-33; 24:27; 27:1) ඔහුගේ සුභසාධනය සම්බන්ධයෙන් සැලකිල්ල දැක්වූ ඔවුන්, ඔහු වෙනුවෙන් කුමක් කළ හැකිද කියා තමුන්ගෙන්ම අසාගන්ට ඇත. ඔවුන් ද්‍රව්‍යමය වශයෙන් දිළිඳුව සිටි නිසාත්, පාවුල්ගෙන් බොහෝ දුරස්තරව සිටි නිසාත්, ඔවුන්ට දීමට හැකි වූ උපකාරය සීමා සහිත විය. එහෙත්, ඔහුගේ දේවසේවයට සහයෝගය දීම සඳහා පිලිප්පිවරුන්ව අතීතයේදී පෙලඹවූ උණුසුම් හැඟීමම මෙවිටත් ඔවුන්ව පොලඹවන්ට විය; ඔහු අවදානම් තත්වයක සිටි නිසා එය තවත් වැඩි විය.—2 කොරින්ති 8:1-4; පිලිප්පි 4:16.
ත්‍යාගයක් රැගෙන පාවුල්ව බැහැදැකීමට මෙන්ම ඔහුට අවශ්‍ය යමකින් උපකාර කිරීමට ඔවුන්ගෙන් කෙනෙකුට යා හැකිද කියා පිලිප්පිවරුන් සලකා බලන්ට ඇත. එහෙත් එය දිගු මෙන්ම වෙහෙසකර ගමනක් වූ අතර, ඔහුට උපකාර කිරීමද අන්තරාදායක වූවා විය හැකිය. යෝආචිම් ඥිල්කා මෙසේ සඳහන් කරයි: “සිරකරුවෙකු බැහැදැකීම සඳහා එඩිතරකමක් අවශ්‍ය කරවයි, එහෙත් ‘අපරාධයක්’ කළ කෙනෙකු ලෙස පැහැදිලිව හඳුන්වා නොමැති කෙනෙකුව බැහැදැකීමට යෑම සඳහා විශේෂයෙන්ම ඊටත් වඩා එඩිතරකමක් අවශ්‍යයි.” ලේඛකයෙකු වන බ්‍රයන් රැප්ස්කි මෙසේ පවසයි: “සිරකරුවා සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම නැතහොත් ඔහු කෙරෙහි හෝ ඔහුගේ ආකල්ප කෙරෙහි අනුකම්පාව දැක්වීම සම්බන්ධයෙන් තවත් අමතර අන්තරාවක් තිබිණ. . . . නොදැනුවත්ව ප්‍රකාශ කරනු ලබන වචනයක් හෝ ක්‍රියාවක්, සිරකරුවාගේ පමණක් නොව, නමුත් උපකාර කරන්නාගේද අවසානයට මඟ පෑදිය හැකිය.” පිලිප්පිවරුන්ට යැවීමට හැකි වන්නේ කවරෙකුවද?
මේ ආකාරයේ ගමනකින් කනස්සල්ල හෝ අවිනිශ්චිතභාවය ඇති කළ හැකි බව අප කල්පනා කළ හැකි නමුත්, එපප්‍රොදිතස් (කොලොස්සියේ එපප්‍රස් සමඟ පටලවා නොගත යුතුය) එම දුෂ්කර පැවරුම ඉසිලීමට කැමැත්තෙන් සිටියේය. ඔහුගේ නාමය ගැන සලකා බලන විට, ඊට ඇෆ්‍රොඩයිට් යන නම ඇතුළත් විය, ප්‍රේමයේ හා සශ්‍රීකත්වයේ ග්‍රීක් දේවතාවියට කැප වූ දෙමාපියන්ගේ පුත්‍රයෙකු වූ ඔහු, ක්‍රිස්තියානි ධර්මයට හැරුණු අන්‍යජාතිකයෙකු වන්ට ඇත. පිලිප්පිවරුන්ගේ ත්යාගශීලිභාවයට ස්තුති කිරීම සඳහා පාවුල් ඔවුන්ට ලියූ විට, ඔහුට හරි ලෙස එපප්රොදිතස්ව “නුඹලාගේ ප්‍රේරිතයෙක්ද [නියෝජිතයෙක්ද, NW] මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාද” වශයෙන් විස්තර කිරීමට හැකි විය.—පිලිප්පි 2:25.
මෙම සේවයේදී පාවුල්ට සහ ඔහුගේම සභාවට උපකාර කිරීම සඳහා තමාවම යොදාගැනීමට වූ ඔහුගේ ප්‍රශංසා කටයුතු සූදානම තිබියදීත්, එපප්රොදිතස්ට අපට මෙන් ගැටලු තිබුණු බවට, එපප්‍රොදිතස් සම්බන්ධයෙන් බයිබලය පවසන දෙයින් අපට වටහාගත හැකිය. අපි ඔහුගේ ආදර්ශය සලකා බලමු.
“මාගේ වුවමනාවලට උපස්ථානකරන්නා”
අප විස්තර නොදන්නා නමුත්, එපප්‍රොදිතස් තම ගමනින් පසු වෙහෙසට පත්ව රෝමයට පැමිණෙන්ට ඇති බව අපට සිතාගත හැකිය. සමහරවිට ඔහු මකිදෝනිය හරහා පිහිටි රෝමයේ පාරක් වන වියා එග්නාටියා දිගේ ගමන් කළා විය හැක. ඔහු ආද්‍රියාතික් මුහුද හරහා ඉතාලි අර්ධ ද්වීපයේ “මායිමට” ගොස්, පසුව ඇපියන් මාර්ගය හරහා රෝමයට යන්ට ඇත. එය සමහරවිට මාසයකට වඩා කාලයක් ගත විය හැකි, ඉතා වෙහෙසකර ගමනක් (යෑමට පමණක් කිලෝමීටර් 1,200ක්) විය.—විසිනවවන පිටුවේ ඇති කොටුව බලන්න.
එපප්‍රොදිතස් මෙම පැවරුම ආරම්භ කළේ කුමනාකාරයේ මානසික ස්වභාවයකින්ද? ඔහුව යවනු ලැබුවේ, පාවුල්ට ‘පෞද්ගලික උපකාරයක්’ එසේ නැතහොත් ලෙයි·ටෝර්·ජිʹආ ඉදිරිපත් කිරීමටය. (පිලිප්පි 2:30) පුරවැසියෙකු විසින් ස්වේච්ඡාවෙන්ම රජයට සේවය කිරීමට භාරගැනීම, මෙම ග්‍රීක් වචනයෙන් මුලින්ම අඟවනු ලැබීය. පසුව, එය ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම සුදුසුකම් ලැබූ පුරවැසියන්ගෙන් රජය අනිවාර්යයෙන්ම එවැනි සේවයක් අපේක්ෂා කළ බව අදහස් විය. ග්‍රීක් ශුද්ධ ලියවිලිවල එම වචනයේ භාවිතය සම්බන්ධයෙන්, එක් විශාරදයෙක් මෙසේ පවසයි: “ක්‍රිස්තියානියෙක් වනාහි, දෙවියන්වහන්සේට හා මනුෂ්‍යයන්ට සේවය කරන පුද්ගලයෙකි. ඔහු එසේ කරන්නේ, පළමුව තමාගේ මුළු හෘදයෙන්ම එයට ආශා කරන නිසාත්, දෙවනුව ක්‍රිස්තුස්වහන්සේට ඇති ඔහුගේ ප්‍රේමයට බැඳී සිටින බැවින් ඔහු අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නිසාත්ය.” එසේය, එපප්‍රොදිතස් මොනතරම් කදිම ස්වභාවයක් විදහාපෙන්වීද!
‘ඔහු තම ජීවිතය අනතුරට භාජන කළේය’
සූදු කෙළීමේදී පාවිච්චි කරන භාෂාවෙන් රැගත් වචනයක් යොදාගනිමින්, එපප්‍රොදිතස් ‘තම ජීවිතය අනතුරට භාජන [ප·ර·බො·ලෙඋ·සාʹමෙ·නොස්]’ කර තිබුණු බව නැතහොත් වචනානුසාරයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ සේවය සඳහා ඔහු තම ජීවිතය “අවදානමට” ලක් කර තිබුණු බව පාවුල් පවසයි. (පිලිප්පි 2:30) එපප්‍රොදිතස් යම් මෝඩ දෙයක් කළායයි අප සිතීමට අවශ්‍ය නැත; ඒ වෙනුවට, ඔහුගේ පරිශුද්ධ සේවය ඉටු කිරීමේදී, යම් අවදානම් තත්වයක් ඊට සම්බන්ධ විය. ඇතැම්විට ඔහු වර්ෂයේ අයහපත් කාලගුණයක් ඇති කාලයකදී, සහනය සැපයීමේ පැවරුම ඉටු කිරීමට වෑයම් කළාද? එම ගමන අතරතුර ඔහුට අසනීප වීමෙන් පසුවත්, එය සම්පූර්ණ කිරීම සඳහා ඔහු එහි නොකඩවා නියැලී සිටියේද? කාරණාව කුමක් වුවත්, එපප්‍රොදිතස් “මරණාසන්නවෙන තරමට . . . ලෙඩින් සිටියේය.” සමහරවිට, පාවුල්ට උපස්ථාන කිරීම සඳහා ඔහු වැඩි කාලයක් සිටීමට අදහස් කරන්ට ඇති බැවින්, අපේක්ෂා කළාට වඩා කලින් ඔහු නැවත පැමිණි නිසා එයට හේතුව පැහැදිලි කිරීමට සිදු වන්ට ඇත.—පිලිප්පි 2:27.
කෙසේවෙතත්, අවශ්‍යතා ඇති අයට උපකාරය සැපයීම සඳහා, එපප්‍රොදිතස්, අවදානම් තත්වයකදී වුවද පරාර්ථකාමී ලෙස තමාවම ඉදිරිපත් කිරීමට කැමති වූ එඩිතර පුද්ගලයෙක් වූයේය.
අපට අපෙන්ම මෙසේ අසාගත හැක, ‘දුෂ්කර තත්වයන්වල සිටින මගේ ආත්මික සහෝදරයන්ට උපකාර කිරීම සඳහා මම කොතරම් දුරට මාවම යොදවනවාද?’ එවන් සූදානමේ ස්වභාවයක් ක්‍රිස්තියානීන්ට තෝරාගත හැකි යමක් නොවේ. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්රේමකරපල්ලාය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.” (යොහන් 13:34) එපප්‍රොදිතස් තම සේවය “මරණාසන්නවෙන තරමට” ඉටු කළේය. එවිට, පාවුල් පිලිප්පිවරුන්ට තබාගැනීමට දිරිගැන්වූ “මානසික ආකල්පය” [NW] තිබූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් එපප්‍රොදිතස් උදාහරණයක් විය. (පිලිප්පි 2:5, 8, 30) ඔහු කළ තරමටම කිරීමට අප සූදානමින් සිටිනු ඇද්ද?
එහෙත්, එපප්‍රොදිතස් කලකිරීමට පත් වූයේය. ඒ මන්ද?
ඔහුගේ කලකිරීම
ඔබ එපප්රොදිතස්ගේ තත්වයේ සිටින බව සිතන්න. පාවුල් මෙසේ වාර්තා කළේය: “ඔහු නුඹලා හැමදෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව නුඹලා ඇසූ බැවින් ඉතා කනගාටුවෙන් [කලකිරී, NW] සිටියේය.” (පිලිප්පි 2:26) තමා අසනීපයෙන් සිටි බවත්, ඔවුන් අපේක්ෂා කළ ආකාරයට පාවුල්ට උපකාර කිරීමට තමාට නොහැකි වීම ගැන සභාවේ සහෝදරයන් සාවධානයෙන් සිටි බවත් එපප්‍රොදිතස් දැන සිටියේය. ඇත්තවශයෙන්ම, එපප්‍රොදිතස් පාවුල්ට විශාල බරක් ඇති කළ බවට පෙනෙන්ට පුළුවන. පාවුල්ගේ සහයකයා වන වෛද්යාචාර්ය ලූක්ට එපප්රොදිතස්ට සැලකිල්ල දැක්වීම සඳහා වෙනත් කාරණා අතපසු කිරීමට සිදු වීද?—පිලිප්පි 2:27, 28; කොලොස්සි 4:14.
මෙම තත්වය හේතුවෙන්, එපප්‍රොදිතස් කලකිරුණේය. ඔහුගේ සභාවේ සහෝදරයන් ඔහුව අසමර්ථ කෙනෙකු ලෙස සලකාවියයි සමහරවිට ඔහු සිතුවා වන්ට පුළුවන. ඇතැම්විට ඔහුට වරදසහිතබවක් හැඟුණා විය හැකි අතර, තමාගේ විශ්වාසවන්තකම සම්බන්ධයෙන් ඔවුන්ට නිසැකකමක් ලබා දීම සඳහා ඔවුන්ව දකින්ට “බොහෝ ආශාවක්” ඇතුව සිටියා විය හැක. එපප්රොදිතස්ගේ තත්වය විස්තර කිරීමට, “කලකිරීමට පත්වීම” යන වචනය සඳහා අ·ඩෙ·මෝ·නිʹඕ නම් ඉතා ප්‍රබල ග්‍රීක් වචනය පාවුල් භාවිත කළේය. විශාරද ජේ. බී. ලයිට්ෆුට් පවසන පරිදි, “ශාරීරික ව්‍යාකූලත්වයෙන් හෝ ශෝකය, ලජ්ජාව, බලාපොරොත්තු සුන්වීම යනාදි මානසික පීඩාවන්ගෙන් හෝ ඇති වන ව්‍යාකූලත්වය, නොසන්සුන්බව හා හරි අවධානයක් නොදීමේ ස්වභාවය,” මෙම වචනයෙන් ඇඟවිය හැකිය. ග්‍රීක් ශුද්ධ ලියවිලිවල මෙම වචන භාවිත කරන අනිත් එකම අවස්ථාව වන්නේ, ගෙත්සෙමනේ උයනේ යේසුස්වහන්සේගේ මහත් වේදනාව විස්තර කරන විටදීය.—මතෙව් 26:37.
ඔවුන්ගේ නියෝජිතයාගේ අනපේක්ෂිත පැමිණීම පැහැදිලි කරන ලිපියක් අතැතිව, එපප්රොදිතස්ව නැවතත් පිලිප්පිවරුන් වෙත එවීම, කළ හැකි වඩාත්ම හොඳ දේ බව පාවුල් නිගමනය කළේය. “එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි” යයි පැවසීමෙන්, පාවුල් එමගින් එපප්‍රොදිතස් අසමත් වූ බවට ඇඟවිය හැකි ඕනෑම සැකයක් පහ කරමින්, ඔහුගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් වගකීම භාරගත්තේය. (පිලිප්පි 2:25) මීට පටහැනිව, එපප්‍රොදිතස් සිය පැවරුම සම්පූර්ණ කිරීම වෙනුවෙන් ජීවිතය අහිමිවීමට ආසන්න තත්වයක සිටියේය. පාවුල් උණුසුම් ලෙස ඔවුන්ට මෙසේ නිර්දේශ කරයි: “ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගනිල්ලා; එබඳු අය ගරුකොට සලකාපල්ලා. මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.”—පිලිප්පි 2:29, 30.
“එබඳු අය ගරුකොට සලකාපල්ලා”
එපප්‍රොදිතස් හා සමාන මානසික ආකල්පයක් සතු ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව සැබවින්ම අගය කළ යුතු වේ. සේවය කිරීම සඳහා ඔවුහු තමන්වම කැප කරති. තම නිවෙස්වලින් බොහෝ ඈත ප්‍රදේශවල, මිෂනාරිවරුන් ලෙස, සංචාරක අවේක්ෂකයන් ලෙස හෝ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක සේවය කිරීමට තමන්වම ඉදිරිපත් කර ඇති අය ගැන කල්පනා කර බලන්න. සමහරෙකුගේ වයස හෝ පිරිහෙන සෞඛ්‍ය තත්වය, තමන් වරක් කළ දේවල්වල නිරතවීමෙන් ඔවුන්ව වළක්වන්නේ නම්, වසර ගණනාවක ඔවුන්ගේ විශ්වාසවන්ත සේවය සඳහා ගෞරවය කිරීමට හා උතුම් කොට සලකනු ලැබීමට ඔවුහු සුදුස්සෝ වෙති.
ඒ කෙසේදයත්, දුර්වල කරවන අසනීපයක්, කලකිරීමට පත්වීමේ හෝ වරදසහිතබවේ හැඟීම්වල හේතුකාරකයක් විය හැකිය. කෙනෙකු වැඩියෙන් කිරීමට කැමති විය හැක. මොනතරම් බලාපොරොත්තු සුන් කරවන්නක්ද! තමා එවැනි තත්වයක සිටින බව සොයාගන්නා ඕනෑම පුද්ගලයෙකුට එපප්‍රොදිතස්ගෙන් ඉගෙනගත හැක. කෙසේවුවත්, ඔහු අසනීප වීම ඔහුගේ වරදද? කිසිසේත් නැත! (උත්පත්ති 3:17-19; රෝම 5:12) දෙවියන්වහන්සේට සහ තම සහෝදරයන්ට සේවය කිරීමට එපප්‍රොදිතස් ආශා කළ මුත්, අසනීපය ඔහුව සීමා කළේය.
එපප්රොදිතස්ගේ ශාරීරික අසනීපය නිසා ඇති වූ කලකිරීම සම්බන්ධයෙන්, පාවුල් ඔහුව හික්මවූයේ නැත, ඒ වෙනුවට ඔහු අසලම සිටින මෙන් පාවුල් පිලිප්පිවරුන්ට පැවසුවේය. ඒ හා සමානව, අපගේ සහෝදරයන් අධෛර්යයට පත් වී සිටින අවස්ථාවලදී අප ඔවුන්ට සැනසීම ලබා දිය යුතුය. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සේවයේ විශ්වාසවන්ත ආදර්ශය සඳහා ඔවුන්ට ප්‍රශංසා කරන්ට අපට හැක. එපප්‍රොදිතස් සම්බන්ධයෙන් ඉතා හොඳින් කතා කිරීමෙන් පාවුල් ඔහුව අගය කළ බවට වූ කාරණය, ඔහුගේ කලකිරීම අඩු කිරීමට හා ඔහුට සහනයක් ගෙන දීමට හැකි කරවන්ට ඇත. ‘අපගේ වැඩයද අප ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැති’ බවට, අපටද සහතික විය හැක.—හෙබ්‍රෙව් 6:10.
[29වන පිටුවේ කොටුව]
ගමනේදී ඇති වන අපහසුතා
එපප්‍රොදිතස් විසින් භාරගත් එකට සමානව, අදදින වැදගත් යුරෝපීය නගර දෙකක් අතර ගමනක යෙදීමට එතරම් වෙහෙසක් දරන්ට සිදු නොවනවා විය හැක. එම සංචාරය ජෙට් යානාවකින් පැයකින් හෝ දෙකකින් සැප පහසු අන්දමින් නිම කළ හැකි වේ. පළමුවන ශතවර්ෂයේදී එවන් ගමනක යෙදීම, සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් වූයේය. ඒ කාලයේදී, එක තැනක සිට තවත් තැනකට යෑමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු විය. කාලගුණයට හා විවිධ උපද්‍රවවලට මෙන්ම “සොර උපද්‍රවවලටද” තමාව නිරාවරණය කරමින්, පයින් ගමන් කරන්නෙකුට දිනකට කිලෝමීටර් 30ත් 35ත් අතර දුරක් ගමන් කිරීමට සිදු විය හැකිය.—2 කොරින්ති 11:26.
රාත්‍රියෙහි නවාතැන් සහ ආහාර පාන සැපයුම් ගැන කුමක් කිව හැකිද?
රෝමයේ පාරවල් ඔස්සේ, “මාන්ස්යෝනෙස්, එනම් තානායම් තිබිණ. ඒවායේ ආහාර ගබඩා, ඉස්තාල හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට නවාතැන් පහසුකම් තිබිණ; පිළිවෙළින් පිහිටි මාන්ස්යෝනෙස් දෙකක් අතර, කෙනෙකුට අශ්වයන් හෝ වාහන හුවමාරු කළ හැකි එමෙන්ම සැපයුම් සොයාගත හැකි මූටාට්යෝනෙස් එසේ නැතහොත් නැවතුම්පොළවල් ගණනාවක්ද තිබුණු බව” ඉතිහාසඥ මයිකල්ඇන්ජලෝ කාජානෝ ඩෙ ආසේවේඩෝ පෙන්නුම් කරයි. මෙම තානායම්වල ඉතාම පහත් සමාජීය පංතියේ අය නිතර ගැවසුණ බැවින් එයට නරක නාමයක් තිබිණ. සංචාරකයන්ව කොල්ලකෑමට අමතරව, තානායම්කරුවෝ ගණිකාවන්ගෙන් ලැබෙන මුදල් බොහෝවිට තම ආදායමට එකතු කරගත්හ. එවැනි තානායමක සිටීමට යම් කෙනෙකුට බල කරනු ලැබුවහොත්, සමහරවිට තමාට “ද්‍රෝහියෙකු අසල නිදාගැනීමට සිදු විය හැකි බවත්, නැවෙන් ගොඩබිමටත්, ගොඩබිමේ සිට නැවටත් බඩු ගෙනයන්නන්ගේ, සොරුන්ගේ හා පලායන වහලුන්ගේ සමාගමේ මෙන්ම වධකයන් හා මිනී පෙට්ටි සාදන්නන් අසල සිටීමට සිදු වන බවත්, . . .” සොයාගත හැකියයි, උපහාසාත්කම කවි රචනා කළ ලතින් ජාතික කවියෙකු වූ ජූවනල් තම අදහස් ප්‍රකාශ කළේය. “සියලුදෙනාම පාවිච්චි කරන්නේ එක කෝප්පයකි; කිසිවෙකුට තමාටම ඇඳක් හෝ වෙනත් අයගෙන් වෙන්ව සිටීමට මේසයක් හෝ නොමැත.” වෙනත් ඉපැරණි ලේඛකයෝ දූෂිත ජලය සම්බන්ධයෙන් හා මිනිසුන්ගෙන් පිරී ඉතිරුණු මෙන්ම අපිරිසිදු වූ, තෙත් වූ හා මැක්කන්ගෙන් ගහන වූ කාමර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළෝය.
[27වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
රෝමය
[පින්තූරය]
රෝමානු කාලවල සංචාරකයෙක්
[හිමිකම් විස්තර]
සිතියම: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.; සංචාරකයා: Da originale del Museo della Civiltà Romana, Roma