සිහිනවලට අනාගතය ගැන කලින් කීමට හැකිද?
ඉපැරණි කාලයේ පටන් මිනිස්වර්ගයාට සිහින කෙරෙහි ඉමහත් උනන්දුවක් තිබී ඇත. සිහින අර්ථකථනය කිරීමට මිසරවරුන් නොයෙකුත් විස්තර සහිත පොත් ප්‍රකාශයට පත් කළ අතර, බබිලෝනිවරුන්ට ඔවුන්ගේ සිහින අර්ථකථනය කරන්නාවූ අයද සිටියේය. රෝගී පුද්ගලයන්ට තම සිහින මාර්ගයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගත හැකි වන සේ ඔවුන්ව අස්ක්ලීපියස්ගේ සිද්ධස්ථානවල නිදාගැනීමට සැලැස්වීම ග්‍රීකයන් අතර චාරිත්‍රයක් විය. අපගේ පොදු යුගයේ දෙවන ශතවර්ෂයේදී, සිහින සංකේත සඳහා අර්ථකථනයක් ඉදිරිපත් කළ පොතක් ආර්ටෙමිඩෝරස් රචනා කළේය. එවක් පටන් නිකුත් කරන ලද ඒ හා සමාන පොත් බොහොමයක් ඔහුගේ පොත මත පදනම් වී ඇත. මේ දක්වා සිහින අර්ථකථනය කිරීමට වෑයම් කර තිබුණත්, ඒවා සැබවින්ම අනාගත සිදුවීම් ගැන අවබෝධයක් ලබා දේද?
ඔවුන්ට සිහින මාර්ගයෙන් අනාගතය පිළිබඳ අදහසක් ලබාගැනීමට නම්, ඒවා අතිඋත්තරීතර බලවේගයක බලපෑමට යටත් විය යුතුය. දෙවියන්වහන්සේ එම බලවේගය සැපයූ බොහෝ අවස්ථාවන් අපට බයිබලයේ දැකගත හැක. උන්වහන්සේ ස්වකීය සේවකයන්ට මෙන්ම උන්වහන්සේට නමස්කාර නොකළ සමහරෙකුටද අනාවැකිමය සිහින දුන්සේක. ඇත්තවශයෙන්ම යෝබ් 33:14, 15, 18 මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ . . . ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක. උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරව[නසේක].”
පොදු යුගයට පෙර වර්ෂ 1,700කට වඩා වැඩි කාලයකට ඉහත ජීවත් වූ යෝසෙප්ගේ දවස්වලදී, මිසරයේ ඵාරාවෝ සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ මෙය කළසේක. ඵාරාවෝගේ සිහිනය ගැන උත්පත්ති 41:1-7හි දක්නට ලැබේ. එමෙන්ම 25 සිට 32 දක්වා පදවල “මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු” සතක් සහ ඉන් අනතුරුව, සාගතයෙන් පිරි අවුරුදු සතක් පැමිණෙන බවට එය කලින් දැනුම් දෙන බව පවසමින් යෝසෙප් එය අර්ථකථනය කරයි. යෝසෙප් ඵාරාවෝට මෙසේ පැහැදිලි කළේය: “දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට දැක්වූසේක.” (උත්පත්ති 41:28) එම සිහිනය සැබවින්ම සිදු වූ දේ පිළිබඳ අනාවැකිමය පළ කිරීමක් විය.
බබිලෝනිවරුන්ගේ කාලයේ සිටි එක් සුප්‍රසිද්ධ රජකෙනෙකුටද මේ හා සමාන අද්දැකීමක් තිබිණ. නෙබුකද්නෙශර් රජු සිහිනයක් දුටු අතර, එය ඔහුව ඉමහත් ලෙස කැළඹූ නමුත්, ඔහුට එය මතක් කරගැනීමට නොහැකි විය. එනිසා ඔහු ඔහුගේ සිහිනය කියා දීමට හා එහි අර්ථය පහදා දීමට මන්ත්රකාරයන් කැඳවීය. මෙය ඔවුන්ට ඉටු කළ නොහැකි ඉල්ලීමක් විය.—දානියෙල් 2:1-11.
මෙම සිහිනය දෙවියන්වහන්සේ විසින් රජුට දෙනු ලැබූ බැවින්, උන්වහන්සේ අනාගතවක්තෘ දානියෙල්ට සිහිනය හා එහි අර්ථය එළිදරව් කිරීමට හැකියාව ලබා දුන්සේක. දානියෙල් 2:19 මෙසේ පවසයි: “එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය.” දානියෙල් මෙම සිහිනය සඳහා ප්‍රශංසාව දෙවියන්වහන්සේට දුන්නේය: “රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන; නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක. උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ.”—දානියෙල් 2:27, 28.
ඇතැම් අවස්ථාවලදී දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්ට සිහින මාර්ගයෙන් උපදෙස් දුන්සේක. වෙනත් අවස්ථාවලදී, එමගින් දිව්‍ය අනුග්‍රහය ගැන සහතිකය හෝ තමන් ඔවුන්ට ආධාර කරන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට උන්වහන්සේ උපකාර කළසේක. යාකොබ් සම්බන්ධයෙන් ගත් කල, සිහිනයක් මාර්ගයෙන් දෙවියන්වහන්සේ ස්වකීය අනුමැතිය ඔහුට සැපයූසේක.—උත්පත්ති 48:3, 4.
යේසුස්වහන්සේගේ සුරැකි පියා වූ යෝසෙප්, මරියා ගැබ්ගෙන සිටි බව දැනගත් විට, ඇයව දික්කසාද කිරීමට තීරණය කළේය. පසුව, එසේ නොකිරීමට ඔහුට සිහිනයක් මාර්ගයෙන් උපදෙස් ලැබිණ. මතෙව් 1:20 මෙසේ පවසයි: “ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මය . . . කරණකොටගෙනය.” වෙනත් අවස්ථාවකදී ඔහුට සිහිනයකින් අනතුරු ඇඟවීමක් ලැබිණ: “ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා[යන්න].”—මතෙව් 2:13.
දෙවියන්වහන්සේගෙන් නොවන සිහින
දෙවියන්වහන්සේගේ ජනයා නොවන අය අතරේ සිහින පහදා දීම පොදු දෙයක්ව තිබීමෙන් අඟවන්නේ, සිහින අනාගතය ගැන විශ්වාස කටයුතු හෙළි කිරීම් කරන බවට සැලකිය නොහැකි බවයි. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා වූ යෙරෙමියාගේ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු මෙසේ පවසමින් සිටියෝය: “ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමි”! (යෙරෙමියා 23:25) ඔවුන්ගේ අභිප්‍රාය වූයේ, දෙවියන්වහන්සේ ඔවුන් මාර්ගයෙන් කතා කරන බව සිතීම සඳහා ජනයාව මුළා කිරීමය. මෙම සිහින දකින්නන් සම්බන්ධයෙන් මෙසේ පැවසීමට යෙරෙමියා ආනුභාවය ලැබීය: “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා [ඔවුන්, NW] දකින නුඹලාගේ [ඔවුන්ගේ, NW] ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු මාගේ නාමයෙන් බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති[යි] . . . ස්වාමීන්වහන්සේ කියනසේක.”—යෙරෙමියා 29:8, 9.
මෙම බොරු අනාගතවක්තෘවරුන් “පේන කීම සඳහා පුහුණුවූවන්” බැවින්, ඔවුන්ගේ සිහින මිනිසුන්ව මුළා කිරීමේ අරමුණින් දුෂ්ට ආත්ම බලවේග මගින් පොලඹවනු ලැබූ ඒවා විය හැකිය. මෙය සෙකරියා 10:2හි සඳහන් දෙයින් ඇඟවේ: “තෙරථීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති.”
යක්ෂයා ප්‍රධාන මුළාකරන්නෙකි. යෙරෙමියාගේ හා සෙකරියාගේ කාලයේදී බොරු අනාගතවක්තෘවරුන් කළාක් මෙන්, දර්ශන හා සිහින මාර්ගයෙන් දෙවියන්වහන්සේ ආගමික නායකයන්ට කතා කර තිබෙන බව බොරුවට කියා සිටීමට, අවුරුදු දහස් ගණනාවක් පුරා සාතන් විසින් ඔවුන්ව උපයෝගි කරගෙන තිබේ. එවන් අය සම්බන්ධයෙන්, ආනුභාවය ලත් බයිබල් ලේඛක යූද් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.” වෙනත් විදිහකින් කිවහොත්, මෙම මිනිසුන් “නිස්සාර හීන දැක්වීම්වල” යෙදී සිටි බව ඔහු පැවසුවේය.—යූද් 4, 8.
කියා සිටින දේ පරීක්ෂා කර බලන්න
දෙවියන්වහන්සේ ඔහුට සිහිනයකින් කතා කළ බව, නැතහොත් අනාගත සිදුවීම් පිළිබඳව ඔහු දුටු සිහින සැබෑ වූ බව පුද්ගලයෙකු කියා සිටිය හැක. එහෙත් ඔහුව විශ්වාස කිරීමට හා අන්ධ ලෙස ඔහුව අනුගමනය කිරීමට ඒවා ප්‍රමාණවත් හේතු නොවේ. ද්විතීය කථාව 13:1-3, 5හි දක්නට ලැබෙන, ඉශ්‍රායෙලිතයන්ට ලියන ලද උපදෙස් සලකා බලන්න: “නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට, නුඹ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් නුඹට නියමකළ කල්හි, ඔහු නුඹට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්, ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. . . . ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය.” ස්වකීය ජනයාගේ පක්ෂපාතකම පරීක්ෂා කර බැලීම සඳහා, ව්‍යාජ අන්දමින් කතා කිරීමට එවන් අයට දෙවියන්වහන්සේ ඉඩ දුන්සේක.
“මුළු ලෝකයා රවටන්නා” වන අදෘශ්‍යමාන වූ ප්‍රධාන මුළා කරන්නා අතින් මුළාවීමෙන් වැළකී සිටීමට නම්, සිහිනෙන් අද්භූත දේවල් දකින අයගේ අදහස් මෝඩ ලෙස විශ්වාස කරනවා වෙනුවට, ඔවුන් කියා සිටින දේ පරීක්ෂා කර බැලීම ඥානවන්ත ක්‍රියාමාර්ගයයි. (එළිදරව් 12:9) එහෙත් විශ්වාස කළ හැකි අන්දමින් ඒවා පරීක්ෂා කර බලන්නේ කෙසේද?
සත්‍යය සඳහා දිව්‍යමය ලෙස අපට දී තිබෙන මඟ පෙන්වීමකි, දෙවියන්වහන්සේගේ ලිඛිත වචනය. ඒ සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:18) එනිසා 1 යොහන් 4:1හි අපට මෙසේ අවවාද කර තිබේ: “ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂා කරන්න.” බයිබලය සමඟ පරෙස්සමින් පරීක්ෂා කර බැලූ විට, ඔවුන්ගේ මත, දර්ශන සහ ක්‍රියාවන් එයට පටහැනිව තිබෙනු ඇත. සත්‍යය යන්න කුමක්ද කියා දැනගැනීම පිළිබඳ අධිකාරිත්වය දේවවචනය දරයි.
තමාට විශේෂ දැනුමක් තිබෙන බව කියා සිටින සිහින දකින්නා, පේන කීම හෝ වෙනත් ආත්ම බන්ධන ක්‍රම ඇත්තෙන්ම භාවිත කරමින් සිටිනවාද? එය එසේනම්, දේවවචනය ඔහුව හෙළා දකියි: “පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.”—ද්විතීය කථාව 18:10-12.
නොනැසී පවතින ප්‍රාණයක් තමා තුළ තිබෙන බව ඔහු කියා සිටින්නේ නම්, දේවවචනයේ මෙසේ පැහැදිලිව ප්‍රකාශ කරන දෙයට පටහැනිව ඔහු ක්‍රියා කරමින් සිටියි: “පව්කරන ප්‍රාණයම නසින්නේය.” (එසකියෙල් 18:4) ඔහු තමාවම උසස් කරගනිමින් තමාව අනුගමනය කිරීමට අන් අයව ඇදගනිමින් සිටීද? මතෙව් 23:12 මෙසේ අනතුරු අඟවයි: “තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය.” එමෙන්ම ක්‍රියා 20:30හි ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු අඟවා තිබේ: “නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.”
ඔහු සාහසික ක්‍රියාවලට අනුබල දෙන්නේද? යාකොබ් 3:17, 18 ඔහුව මෙසේ හෙළා දකී: “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ. තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.” ඔහු ලෝකයේ දේශපාලනමය අධිකාරිත්වයක් හෝ අනුග්‍රහයක් සොයන්නේද? දේවවචනය ඔහුව දැඩි ලෙස හෙළාදකින්නේ මෙසේ පවසමිනි: “කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.” මෙලෙස, අසත්‍යය කුමක්ද කියා බයිබලය අනාවරණය කරයි.—යාකොබ් 4:4.
පවුලේ සාමාජිකයෙකුගේ හෝ මිතුරෙකුගේ මරණයක් පිළිබඳ සිහිනයක් පුද්ගලයෙක් දකින්නේ නම්, එසේ වන්නේ සමහරවිට, මෙම පුද්ගලයා පිළිබඳව ඔහු සැලකිලිමත් වී සිටි නිසා විය හැක. හරියටම සිහිනය දුටු රාත්‍රියේම පුද්ගලයා මියගිය බවට වූ කාරණයෙන්, එම සිහිනය අනාවැකිමය එකක් වූ බව ඔප්පු කරන්නේ නැත. මෙයාකාරයේ සෑම සිහිනයක්ම යථාර්ථයක් වන බවට පෙනෙන්ට තිබුණත්, එසේ සැබෑ නොවන සිහින සිය ගණනක්ද තිබේ.
දෙවියන්වහන්සේ තම ලිඛිත වචනය ප්‍රකාශයට පත් කරමින් සිටියදී, අනාවැකිමය සිදුවීම් හෙළි කිරීමටත්, උපදෙස් දීමටත් සිහින යොදාගත්තත්, අදදින එසේ කිරීමට උන්වහන්සේට කිසි අවශ්‍යතාවක් නොමැත. මනුෂ්‍යවර්ගයාට මෙම කාලයේදී අවශ්‍ය සියලුම දේවඋපදෙස් එම ලිඛිත වචනයේ අඩංගු වන අතර, එහි අනාවැකිවල වසර දහසකට වඩා වැඩි කාලයකට දිවයන අනාගතයක් පිළිබඳව සඳහන් වේ. (2 තිමෝති 3:16) එමනිසා අපගේ සිහින, අනාගත සිදුවීම් පිළිබඳව දෙවියන්වහන්සේ දෙන ඇඟවීම් නොව, නමුත් ඒවා අපගේ මානසික සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා මොළයට අත්‍යවශ්‍ය ක්රියාකාරිත්වයන් බවට සහතික වීමට අපට හැකිය.
[7වන පිටුවේ පින්තූරය]
ඵාරාවෝගේ සිහිනයෙන්, පැමිණෙන්ට තිබූ දේ පෙන්වූවාක් මෙන්, දේවවචනය අපගේ අනාගතය මත ආලෝකය හෙළයි